මූල්‍ය සමාගම් පනත උල්ලංඝනය කරමින් සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන්ස් ප්‍රයිවට් ලිමිටඩ් නමින් සමාගමක් පිහිටුවා ගනුදෙනුකරුවන්ගෙන් රුපියල් කෝටි 16 කට අධික මුදලක් භාරගෙන සාපරාධී විශ්වාසය කඩකිරීමේ චෝදනාවට වරද පිළිගත් අබය රණසිංහ මුදියන්සේලාගේ චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ හා ඔහුගේ බිරිඳ වන කුමාරි අනුරාධිනී යන විත්තිකරුවන් දෙදෙනාට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ (22දා) බරපතළ වැඩසහිත වසර බැගින් වූ සිරදඬුවම් නියම කොට සිරදඬුවම වසර දහයකට අත්හිටුවනු ලැබීය.
එයට අමතරව එම විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 25,000 බැගින් වූ දඩයක් ද නියම කළ විනිසුරුවරයා විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු වාර්තා ලබාගන්නා ලෙසට ද නියම කළේය.
2006.11.01 හා 2008.09.11 කාලය අතරතුරදී අධික ප්‍රතිලාභ ලබාදෙන බව පවසා පෙර කී සමාගමේ අධ්‍යක්‍ෂවරුන් ලෙස කටයුතු කරමින් එකී මුදල් තැන්පතු ලබාගෙන තිබූ බව පැමිණිල්ලේ සාක්‍ෂි මගින් අනාවරණය කරගෙන තිබිණි. කෙසේ නමුත් නඩුව කැඳවූ අවස්ථාවේදී එකී තැන්පතු මුදලින් සියයට හැටක් එනම් රුපියල් නවකෝටි අසූපන් ලක්‍ෂ එකොළොස් දහසකට ආසන්න මුදලක් රුපියල් ලක්‍ෂ 50
බැගින් වූ වාරික 20 කින් ගෙවීමට විත්තිය කළ යෝජනාවට තැන්පත්කරුවන් එකඟවීම නිසා එකී මුදල ගෙවන ලෙසට අධිකරණය නියම කොට තිබිණි. පෙර කී රුපියල් කෝටි දහයකට ආසන්න මුදල අධිකරණය හමුවේ තැන්පත් කොට නිම කිරීමෙන් අනතුරුව දඬුවම් නියම කිරීම සඳහා එම නඩුව ඊයේ කැඳවිණි. විත්තිකරුවන් අධිකරණය හමුවේ ඇතිකර ගත් එකඟතාව අනුව මුදල් ගෙවා අවසන් කර ඇති බවත් දෙදරු පියකු වන සක්විති රණසිංහ පුරා වසර 9ක් ද දෙවන විත්තිකාරිය වසර 2ක් ද රක්‍ෂිත බන්ධනාගාරගතව සිටීම, ඔවුනට පෙර වැරදි නොමැතිවීම යන කරුණු සලකා ලිහිල් දඬුවම් නියම කරන්නැයි නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මහතා සමග විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.
මේ වනවිට අධිකරණ භාරයේ පවතින එම මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවට යැවීමෙන් අනතුරුව ගැනුම්කරුවන්ට ගෙවීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා බව අගතියට පත්
ගනුදෙනුකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ හා නීතිඥ අසෝක විජේවර්ධන යන මහත්වරු අධිකරණයට පැවැසූහ. මවුපියන් දෙදෙනා බන්ධනාගාර ගතව සිටි සමයේ ළමා නිවාසයක හැදී වැඩුන විත්තිකරුවන්ගේ පුත්‍රයා හා දියණිය නොබෝ දිනකින් විවාහවීමට නියමිත බැවින් විත්තිකරුවන්ට සක්‍රීය සිරදඬුවම් නියම නොකරන ලෙස ද විත්තියේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ඒ. ජේ. ඒ. අබේනායක