ඉසබෙල් ඇලන්ඩේ ශ්‍රී ලාංකේය පාඨකයනට හඳුන්වා දීමට අවශ්‍ය නොවන්නේ ඇයගේ කෘති බොහොමයක් සිංහල භාෂාවට පරිවර්තනය වී ඇති නිසාම නොව ඇයගේ මායා යථාර්ථවාදී ලිවීමේ ශෛලිය අපගේ පාඨකයන් අතර සෑහෙන ජනප්‍රියත්වයකට හිමිකම් කියනා නිසාවෙනි. කැලිෆෝනියාවේ සැන් රෆායෙල්හි දිවි ගෙවන 83 හැවිරිදි ඇලන්ඩේ තවමත් ලේඛනයේ නිරතව හිඳින අතර තම නවතම කෘතිය වූ My Name Is Emilia del Valle නම් නවකතාව පසුගියදා ප්‍රකාශයට පත් කළාය. ඇලන්ඩේගේ පොත් භාෂා 42 කට වඩා පරිවර්තනය වී ඇති අතර පිටපත් මිලියන 77 කට වඩා අලෙවි වී ඇත්තේය.

1977 දී ඇලන්ඩේ වෙනිසියුලාවේ කැරකස් නගරයේ EI Nacional නම් පුවත්පතෙහි නිදහස් මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරන අතරේ දිනක ඇයට ලැබුණු දුරකථන ඇමතුමකින් කියැවුණේ ඇගේ 99 හැවිරිදි සීයා මරණාසන්නව පසුවන බවය. තම සීයාට අසීමිතව ආදරය කළ ඇලන්ඩේ ඔහුට ලිපියක් ලිවීමට පෙළඹුණේ ‘අඩු වශයෙන් ඔහු ආත්මීය වශයෙන්වත් ජීවතුන් අතර’ තබා ගතයුතු යැයි සිතමිනි. එම ලිපිය ඇයට ලේඛිකාවක් ලෙස කලඑළි බසින්නට ඉඩහසර විවර කළ අතර එය පොතක් ලෙස වර්ධනය වී The House of Spirits නමින් 1982 දී ප්‍රකාශයට පත්ව ඇයට කීර්තිය හා ධනය එකවිටම ලබා දීමට සමත් විය. The House of Spirits ප්‍රකාශයට පත් කිරීම ලතින් අමෙරිකානු ප්‍රකාශකයන් ගණනාවක් විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් අවසානයේ බුවනෝස් අයර්ස් හිදී ප්‍රකාශයට පත් කරන ලදී. ස්පාඤ්ඤ භාෂාවෙන් නිකුත් වූ The House of Spirits ඉක්මණින්ම භාෂා ගණනාවකට පරිවර්තනය විය. එයින් ඇලන්ඩේ මායා යථාර්ථවාදී ශෛලියේ ලේඛිකාවක් ලෙස හැඳින් වූ අතර ගේබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේෂ් සමග සංසන්දනය කරන තරමට එක් රැයකින් ජනප්‍රිය වූවාය.

ඇයගේ දියණිය වූ පෝලා 1991 දී වෛද්‍ය ප්‍රතිකාරවල දෝෂයක් නිසාවෙන් මොළයට දැඩි හානි සිදු වී අකර්මන්‍ය තත්ත්වයකට පත් වූ අතර ඇලන්ඩේ මාස ගණනාවක් සිය දියණියගේ රෝගී සයනය අසල ගත කළාය. වයස 29 දී 1992 දෙසැම්බර් 06 වන දින පෝලා සිහි නොලබාම මිය ගිය අතර ඇලන්ඩේ එම කම්පනයෙන් යුතුව Paula පොත ලියා නිම කරනා ලද්දේ සිය දියණියට ලියනා ලිපියක් පරිද්දෙනි.

ලෝකයේ නොයෙක් රටවලින් 40 කට අධික ගෞරව සම්මාන ලබා කෘති 30 කට ආසන්න සංඛ්‍යාවක් පාඨකයනට ඉදිරිපත් කොට ඇති 83 හැවිරිදි ඉසබෙල් ඇලන්ඩේ තවමත් සක්‍රියව ලේඛන කාර්යයේ යෙදී සිටින්නීය. පහත පළවන්නේ ඇය සමග Harvard Business Review සඟරාවෙහි විධායක සංස්කාරවරියක් වූ ඇලිසන් බියර්ඩ් විසින් 2016 දී පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි.

ඔබ මෙතෙක් ලියූ සෑම පොතක්ම ලිවීමට පටන්ගෙන ඇත්තේ The House of the Spirits ලිවීම ආරම්භ කළ දිනයේමයි. ඊට හේතුවක් තිබෙනවාද?

මුලදී ඒක මිථ්‍යා විශ්වාසයක්, මොකද පළමු පොත හරිම වාසනාවන්තයි. නමුත් දැන් ඒක පුරුද්දක් විතරයි. මගේ ජීවිතය කාර්යබහුලයි. ඒ නිසා හුදකලාවීම පිණිස මට අවුරුද්දේ මාස කිහිපයක් ඉතිරි කර ගත යුතුයි. මට නිශ්ශබ්දතාවය අවශ්‍යයි, නැත්නම් මට කවදාවත් ලියන්න බැරි වෙයි. ආරම්භක දිනයක් තිබීම මට සහ මා වටා සිටින සියල්ලන්ටම හොඳයි.

ඔබේ සිතේ නිතරම වස්තු බීජයක් තිබෙනවාද?

බොහෝ විට. නමුත් ඉතා නොපැහැදිලි ලෙස. මට කවදාවත් පිටපතක් තිබුණේ නැහැ. මම පර්යේෂණ කළ කාලයක් සහ ස්ථානයක් තිබිය හැකියි. උදාහරණයක් ලෙස, මම වසර 200 කට පෙර හයිටියේ වහල් කැරැල්ලක් ගැන කතාවක් ලියන විට, මම එම සිදුවීම අධ්‍යයනය කරනවා. නමුත් මට චරිත තිබුණේ නැහැ, කතාවක් නැහැ, අවසානයක් නැහැ. බොහෝ අවස්ථාවලදී මම පරිගණකය ඉදිරිපිට වාඩි වූ විට පළමු වාක්‍යය එළියට එනවා. ඒ කතාවක ආරම්භක පේළියයි, නමුත් එය කුමක් ගැනදැයි මම දන්නේ නැහැ.

එතනින් එහාට ඔබ කොහොමද ඉදිරියට යන්නේ?

සෙමින්.. මුල් සති කිහිපය භයානකයි, මොකද මට තවම ආඛ්‍යානයක්, තානයක් හෝ පොටක් අහුවෙලා නැහැ. ඒ නිසා ඒක අවුල් සහගතයි. ඒ පිටු ඔක්කොම කුණු කූඩයට යන බව මම දන්නවා. නමුත් ඒක පුහුණුවක්: මට හැඩය ගන්න ඕන. සති කිහිපයකට පස්සේ චරිත පෙනී ඉඳලා මට එයාලගේ කතා කියන්න පටන් ගන්නවා. එතකොට මට දැනෙනවා මම නිවැරදි මාර්ගයේ ඉන්නවා කියලා.

ඒ මාර්ගය මතුවෙන්න ගොඩක් කල් ගියොත් ඔයා මොකද කරන්නේ?

සමහර වෙලාවට මට හිතෙනවා මම ඒ කතාව ලියන්න සුදුසු නැහැ කියලා. නමුත් බොහෝ විට මම ඇවිත් ඒක කරනවා, ඉක්මනින් හෝ පසුව එය සිදුවෙනවා. මම මගේ දක්ෂතාවය විශ්වාස කරන්න ඉගෙන ගෙන තියෙනවා, නමුත් ඒකට ගොඩක් කාලයක් ගියා. මුලදී මට අදහසක් තිබුණා සෑම පොතක්ම ස්වර්ගයෙන් ලැබුණු තෑග්ගක් වගේ කියලා. නමුත් දැන්, අවුරුදු 35ක ලිවීමෙන් පසු, මට විෂයක් සහ ප්‍රමාණවත් කාලයක් ලබා දුන්නොත්, මට ඕනෑම දෙයක් ගැන ලිවිය හැකි බව මම දන්නවා. ඒ නිසා ඒක මට ආත්ම විශ්වාසයක් ලබා දෙනවා, ඒ වගේම මට විවේකීව ඒ ක්‍රියාවලිය භුක්ති විඳින්න පුළුවන්.

ඔබ ස්වභාවික කතන්දරකරුවකු ලෙස ඔබව හඳුන්වනවා. වඩා වැදගත් වන්නේ දක්ෂතාවයද නැතහොත් පුහුණුවද?

ඉස්සර මම විද්‍යාල කිහිපයක නිර්මාණාත්මක ලිවීම ඉගැන්නුවා, මට සිසුන්ට කතාවක් ලියන ආකාරය ඉගැන්විය හැකියි, නමුත් මට ඔවුන්ට කතන්දර කීමේ හැකියාව ඉගැන්විය නොහැකියි. කතන්දර කීම යනු සංගීතයට සවන් දීමක් වගේ. ඔබට එය තිබෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. කුමක් කිව යුතුද සහ කුමක් වළක්වා ගත යුතුද යන්න සහ චරිත වර්ධනය කිරීමට භාෂාව භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳ පරිචයක් තිබිය යුතුයි. එය – සහජ බුද්ධිය – මම හිතන්නේ ඔබට එය උපත සමග ලැබිය යුතු බවයි. සෑම කෙනෙකුටම නැති කතන්දර කීමේ ජානයක් මා සතුව ඇතැයි මම හිතනවා. නමුත් මට ලිවීමේ හැකියාව තිබුණේ නැහැ. මට ඔබට කතාවක් වාචිකව පැවසිය හැකි නමුත් එය ලිවීමට නොහැකිව තිබුණා. කාලයත් සමඟ, පුහුණුවීම් සහ වැඩ කිරීමෙන්, මම ඒ කුසලතාව ලබා ගත්තා.

ඔබ වයස අවුරුදු 39 දී ලේඛිකාවක වීමට පෙර මාධ්‍යවේදියෙකු, රූපවාහිනී සත්කාරකයෙකු සහ පාසල් පරිපාලකයෙකු ලෙස සේවය කළා. ඔබ, ඔබව සොයා ගැනීමේ ක්‍රියාවලිය ගැන කතා කරමුද?

මම හිතන්නේ නැහැ මම තේරීමක් කළා කියලා. “මම ලේඛකයෙක් වෙන්න යනවා” කියලා මම කිව්වේ නැහැ. ඒක සිද්ධ වුණා. චිලී හමුදා කුමන්ත්‍රණයෙන් පස්සෙ මම වෙනිසියුලාවේ දේශපාලන සරණාගතයෙක් විදිහට ජීවත් වුණා. එහිදී මට මාධ්‍යවේදියෙක් විදිහට රැකියාවක් හොයාගන්න බැරි වුණා. ඒ නිසා මම පාසලක වැඩ කරමින් හිටියා. මගේ ඇතුළේ ගොඩක් කතා තියෙනවා කියලා මට දැනුනා, නමුත් ඒවාට පිටවීමක් තිබුණේ නැහැ. ඊට පස්සේ 1981 ජනවාරි 8 වෙනිදා, මගේ සීයා, චිලීවල මිය යන බවට මට දුරකථන ඇමතුමක් ලැබුණා, මට ඔහුගෙන් සමුගන්න ආපහු යන්න බැරි වුණා. ඒ නිසා මම ඔහුට ලිපියක් ලියන්න පටන් ගත්තා, ඔහු මට කියපු හැම දෙයක්ම මට මතකයි කියලා. ඔහු විශිෂ්ට කතන්දරකරුවෙක්. ඔහු මියගියා – ඔහුට කවදාවත් ලිපිය ලැබුණේ නැහැ – නමුත් මම රැකියාවෙන් පසු සෑම රාත්‍රියකම මුළුතැන්ගෙයි ලිවීම දිගටම කරගෙන ගියා. අවුරුද්දක් ඇතුළත මට පැහැදිලිවම ලිපියක් නොවන පිටු 500 ක් තිබුණා. ඒක The House of the Spirits බවට පත් වුණා. ඒ පොත ප්‍රකාශයට පත්වෙලා හරිම සාර්ථක වුණා. ඒක මගේ අනිත් පොත් වලටත් මග පෑදුවා. නමුත් ඒක වෘත්තීය මාර්ගයක් කියලා මට දැනුනේ නැති නිසා මම මගේ දෛනික රැකියාවෙන් වහාම ඉවත් වුණේ නැහැ. ඒක අහම්බෙන් සිදු වූ ආශ්චර්යයක් වගේ පෙනුනා.

ඛේදවාචකයකින් උපන් ඉසබෙල් ඇලන්ඩ්

ඔබේ නව වෘත්තිය එනම් ලේඛන වෘත්තිය තුළ අවසානයේ ඔබට සුරක්ෂිත බවක් දැනෙන්නට වූයේ කෙසේද?

මට ප්‍රකාශකයන්ගෙන් චෙක්පත් ලැබුණා. මගේ පොත් භාෂා 35 කට පරිවර්තනය කර උණු කැවුම් වගේ අලෙවි වුණා. මට ලිවීම දිගටම කරගෙන යන්න පුළුවන් නම්, මගේ පවුලට සහයෝගය දක්වන්න පුළුවන් කියලා මට වැටහුණා.

ඔබේ වඩාත්ම ප්‍රසිද්ධ පොත්වල සාර්ථකත්වය පසුපස ඔබ හඹා යන බවක් ඔබට කවදා හෝ හැඟී තිබේද?

මගේ නියෝජිතවරිය වන කාමන් බැල්සෙල්ස් – මම ලියපු හැම පොතකම කැපකාර මෑණියන්, අවාසනාවකට ඇය මෑතකදී මියගියා – ඇය The House of the Spirits අත්පිටපත ලබා ගත් විට, මට කතා කර, “හැමෝටම හොඳ පළමු පොතක් ලිවිය හැකියි, මොකද ඔවුන් තමන් ළඟ තියෙන හැම දෙයක්ම ඒකට වත් කරනවා – ඔවුන්ගේ අතීතය, මතකයන්, අපේක්ෂාවන්, සියල්ල. නමුත් ඔහු ලේඛකයකුද යන්න දෙවන පොතෙන් ඔප්පු වෙනවා.” යැයි කිවුවා. ඉතින් මම ඊළඟ වසරේ ජනවාරි 8 වන දින මගේ දෙවන පොත ලිවීමට පටන් ගත්තා, මට කවදාවත් මුණගැහිලා නැති මේ නියෝජිතයාට මට ලේඛකයෙක් වෙන්න පුළුවන් කියලා ඔප්පු කරන්න. The House of the Spirits හිසියලු සාර්ථකත්වය යුරෝපයේ සිදුවෙමින් පැවතුන අතර, මම එය දැනුවත් වන විට, මම දැනටමත් දෙවන පොත අවසන් කර තිබුණා. එසේම, සෑම පොතක්ම වෙනස් අභියෝගයක්. මතක සටහන්, ඓතිහාසික නවකතා, ප්‍රබන්ධ, තරුණ හා වැඩිහිටි කතා පමණක් නොව අපරාධ නවකතාවක් පවා ලියා තිබෙනවා. ඒ නිසා මම කවදාවත් සංසන්දනය කරන්නේ නැහැ, මේක The House of the Spirits ට වඩා හොඳ ද නරක ද කියලා. සෑම පොතක්ම පූජාවක්; ඔබ එය ඔබේ මේසය මත තබා එය පිළිගන්නේ කවුද කියලා බලන්න.

‘පෝලා’ ඔබේ දියණියගේ මරණය පිළිබඳ මතක සටහන් පොතක්. The House of the Spirits ඔබේ මිය යන සීයාට ලියූ ලිපියක්. එම ඛේදවාචක ජය ගැනීමට ලේඛනය ඔබට උපකාර කළාද?

ඒක සුවයක්. The House of the Spirits මා පිටුවහල් කිරීමේදී මට අහිමි වූ ලෝකය එනම් මගේ පවුල, මගේ රට, මගේ අතීතය, මගේ සීයා නැවත ලබා ගැනීමට ගත් උත්සාහයක් වූ අතර මම එසේ කළ බව මම සිතනවා. එය සදහටම ඒ පොතේ පවතීවි. මගේ දුව මිය ගිය පසු, මගේ ලෝකය අඳුරු වුණා. මගේ ජීවිතයෙන් සියලු වර්ණ නැති වී ගියා. සෑම දිනක්ම එක හා සමාන බවක් පෙනෙන්නට වුණා. ඇය අවුරුද්දක් කෝමා තත්ත්වයේ සිටියා. මම ඇයව නිවසේදී රැකබලා ගත්තා. මාසයකට පසු මගේ අම්මා ඒ වසර තුළ මා ඇයට එවූ ලිපි 180 ක් මට ආපසු දුන්නා. ඉන්පසු මම ලිවීමට පටන් ගත්තා. එය ඉතා වේදනාකාරී දෙයක් වුණත් මට සුවයක් වුණා. මන්ද, මට ඒ පිටු තුළ, සිදු වූ සියලු දේ අඩංගු කළ හැකි වූ අතර ඒවා මා වටා නැවත දැකීමට මට ඉඩ සැලසුණා. ඒ වනවිට මගේ මුණුබුරන් ඉපදී සිටියා. මට ආදරය කරන සැමියෙක් සිටියා. ජීවිතය පුරාම ජීවිතය තිබුණා.

ඔබ, ඔබේ පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ කරන්න හරිම කැමතියි වගේ?

මම ‘පෝලා’ ලියනකොට මගේ අම්මා කිව්වා, “ඔයා, ඔයාගේ පෞද්ගලික ජීවිතය ගැන ගොඩක් ලියලා තියෙනවා, ඔයා හරිම අවදානමට ලක් වෙනවා.” කියලා. මම කිව්වා, “අම්මේ, මම අවදානමට ලක් වෙන්නේ මම පවසන සත්‍යය නිසා නෙවෙයි, මම සඟවන රහස් නිසා විතරයි.” කියලා. මගේ ජීවිතය, අනිත් අයගේ ජීවිතවලට වඩා වෙනස් නැහැ. මට කතා කරන්න බැරි තරම් භයානක දෙයක් මම කරලා නැහැ, මම මගේ ජීවිතය පාඨකයන් සමග බෙදාගන්න කොට, ඔවුන් ඔවුන්ගේ ජීවිතය මාත් එක්ක බෙදාගන්නවා. ඒක කතා සහ හැඟීම් හුවමාරුවක් වගේ.

ඔබේ පොත්වල බොහෝ විදේශීය පරිවර්තන ගැන ඔබ සඳහන් කළා. ඔබේ කෘති විවිධ සංස්කෘතීන් තුළ අනුගත වන්නේ යැයි කියා ඔබ සිතන්නේ ඇයි?

මම සැමවිටම අවධානය යොමු කරන්නේ මිනිසුන්ගේ සමේ වර්ණය, සංස්කෘතිය, භාෂාව, ජාතිකත්වය, කුමක්ද කියා නොවෙයි, ඔවුන්ගේ ජීවන වෙනස්කම් පිළිබඳවයි. සෑම තැනකම සිටින මිනිසුන් බොහෝ සමාන යි. ඔවුන් සියල්ලෝම එකම දේට බිය වෙනවා. ඔවුන් සියල්ලෝම එකම දේට කැමති වෙනවා. අපි සියල්ලන්ටම තිබෙන්නේ එකම අවයව, එකම මොළය, එකම සිහින. එබැවින් සැන් ෆ්‍රැන්සිස්කෝ හි සිදුවන වයස්ගත වීම පිළිබඳ කතාවක් ඊට සමානව තුර්කියේද සිදු වෙනවා.

ඛේදවාචකයකින් උපන් ඉසබෙල් ඇලන්ඩ්

ඔබ කිව්වා, ඔබ සෑම දිනකම වැඩ කරන්න අධිෂ්ඨාන කරගෙන හිටියා කියලා. ඒ ඇයි?

මොකද, මට මාවම නඩත්තු කරගන්න ඕන වුණා. මගේ ජීවිතේ මාව හැඩගස්වපු එක දෙයක් තමයි, මගේ අම්මාව ගොදුරක් විදිහට දැකීම. ඇය ලස්සන තරුණ කාන්තාවක්. වැරදි මිනිහෙක් එක්ක විවාහ වෙලා, අවුරුදු හතරකින් දරුවන් තුන්දෙනෙක් හිටියා. නමුත් ඒ මිනිහා විසින් ඇයව අතහැරලා දැම්මා, ඒ නිසා ඇය මගේ සීයාගේ ගෙදර ජීවත් වෙන්න ගියා. ඇයට නිසි අධ්‍යාපනයක් හෝ දක්ෂතාවයක් තිබුණේ නැහැ. ඇය සම්පූර්ණයෙන්ම යැපුණේ ඇගේ තාත්තා මත. මම මගේ අම්මට ආදරෙයි. අපි ජීවිත කාලය පුරාම සමීපව හිටියා. නමුත් මට ඇය වගේ වෙන්න ඕන වුණේ නැහැ. ඒ වගේම, මට ගෙදර ඉන්න කැමැත්තක් තිබුණේ නැහැ. මම මගේ ළමයි දෙන්නට ආදරෙයි, නමුත් මගේ නැන්දම්මා සහ හදාගත් ආච්චි මාව විශ්වාස කළා. මොකද මට ලෝකයෙන් එළියට යන්න ඕන වුණා.

ඔබ වරක් ඔබේ (හිටපු) සැමියා සමඟ පොතක් ලිවීමට උත්සාහ කළා. දැන් ඔහු අපරාධ නවකතාකරුවෙක්. ඒක සිදු වුණේ කොහොමද?

ඒක මගේ නියෝජිතයාගේ අදහසක්, නමුත් ඒක කරන්න බැරි දෙයක්. ඔහු ඉංග්‍රීසියෙන් ලියනවා; මම ස්පාඤ්ඤ භාෂාවෙන් ලියනවා. ඔහු ලිවීමට අවධානය යොමු කරන කාලය මිනිත්තු 11යි; මම පැය 11ක් ලියනවා. මම පර්යේෂණ කරනවා; ඔහු එහෙම කරන්නේ නැහැ. ඉතින් මම ඒ කාලයේ “Ripper” ලිව්වා, ඔහු ඔහුගේ පස්වන අපරාධ නවකතාව ලිව්වා.

The House of the Spirits ඇසුරෙන් චිත්‍රපටයක් නිර්මාණය වුණා. නමුත් ඔබ එයට සම්බන්ධ වුණේ නැහැ?

චිත්‍රපට, නාට්‍ය, ඔපෙරා ආදියට මම කවදාවත් සම්බන්ධ වෙන්නේ නැහැ, මොකද ඒක තවත් මාධ්‍යයක්. මම කිසිම දෙයක් දන්නේ නැති සම්පූර්ණයෙන්ම වෙනස් නිෂ්පාදනයක්. මම ලියනකොට කවුරුහරි මගේ කරට උඩින් බලාගෙන ඉන්නවට මම කැමති නැහැ. ඉතින් මම අධ්‍යක්ෂකවරයෙකුගේ කරට උඩින් බලාගෙන ඉන්නේ ඇයි? ඒගොල්ලෝ අවශ්‍ය දෙය කරනවා. මම The House of the Spirits කෘතියේ අයිතිය චිත්‍රපටයක් සඳහා විකුණනකොට, මම ගිවිසුමේ අතින් ලිව්වා ඩෙන්මාර්ක් අධ්‍යක්ෂ බිල් ඔගස්ට් චිත්‍රපටය කළ යුතුයි කියලා. මම ඔහුගේ Pelle the Conqueror බලලා ඒකට ගොඩක් කැමත්තෙන් සිටියේ. ඉතින් අන්තිමේදී ඔහු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළා. නමුත් නිෂ්පාදකයින් ජර්මානුවන්, නළු නිළියන් ඉංග්‍රීසි ජාතිකයන්, භාෂාව ඉංග්‍රීසි, එය රූගත කළේ යුරෝපයේ. ඒ නිසා චිලී භාෂාව එතරම් තිබුණේ නැහැ. කෙසේ වෙතත්, මම හිතන්නේ එය ඉතා හොඳින් නිර්මාණය කර ඇති බවයි.

2011 දී ඔබ විශ්‍රාම ගැනීමක් ගැන කතා කළා. ඔබ තවමත් ඒ ගැන සිතනවාද?

ඒක නරක කාලයක්, මට ගොඩක් මහන්සියි. මම ගොඩක් ගමන් කළා. මගේ යාළුවෝ හැමෝම විශ්‍රාම ගිහින් හොඳ ජීවිතයක් ගත කළා. ඒ නිසා මම හිතුවා, “මට බැරි ඇයි?” කියලා. නමුත් දැන් මට විශ්‍රාම යන්න බැහැ කියලා මම දන්නවා. ඇයි මම එහෙම කරන්නේ? මම කරන දේට මම ආදරෙයි. මට කරන රැකියාවට යෝග්‍ය වෙන්න, මම තරුණ වෙන්න අවශ්‍ය නැහැ. මට අවශ්‍ය වන්නේ මගේ මොළය හොඳ තත්ත්වයේ තබා ගැනීම පමණයි.

ඔබේ පවුල චිලියේ වැදගත් දේශපාලන උරුමයක් නියෝජනය කරන පවුලක්. ඔබ කවදා හෝ රජයේ උසස් වෘත්තියක් ගැන සලකා බලා තිබෙනවාද?

නැහැ. මගේ නම තිබෙන මගේ ඥාති සහෝදරියක් ඉන්නවා, ඉසබෙල් ඇලෙන්ඩේ බස්සි. එයා තමයි පවුලේ දේශපාලනඥයා, මම නෙවෙයි. මම ඒකට නිර්මාණය වෙලා නැහැ. මම ලේඛකයෙක්. මම නිහඬව, තනිව ඉන්න කැමතියි. මගේ ඔළුවේ සහ මගේ හදවතේ මගේම කතා නිර්මාණය වෙනවා. මට දේශපාලනඥයන් සමඟ සම්මුතියකට යන්න, පැටලෙන්න සහ ගනුදෙනු කරන්න බැහැ. ඔයාට පිස්සුද? කවදාවත් නෑ.

● නිමල් ෆ්‍රැන්සිස්


advertistmentadvertistment