ඉන්දියානු ව්‍යවස්ථාවේ ප්‍රධාන නිර්මාතෘවරයා වන ආචාර්ය භීම්රාඕ අම්බෙඩ්කාර් ඉන්දීය බෞද්ධ පුනරුදය නැවත ඇති කළ පුද්ගලයා ලෙස අවිවාදිතය. එතුමා දාලිත් උප කුලයක් වූ මහාර් කුලයේ ය. ඉන්දීය සමාජයේ කුලහීනයන් දලිත්වරුන් වේ. ඔවුනට වන පීඩා අදත් අවසන් නැත. අම්බෙඩ්කාර් උපත ලැබූ මහාර් කුලයෙහි වැසියන්ගේ මතය වන්නේ තමන් බුදුන් දවස සිට බෞද්ධයන් ය යන්නයි. එනමුත් ඉන්දීය වැසියන්ගේ සම්මතය වූයේ මහාර් යනු ස්පර්ශයෙන්වත් ඇසුරු කිරීමට නුසුදුසු පුද්ගලයන් බවයි. ශ්‍රී ලංකාවේ තරුණ බෞද්ධ සංගමයෙන් කරන ලද ආරාධනයෙන් සම්මේලනයක් සඳහා 1950 වර්ෂයේ මැයි මස දී ආචාර්ය අම්බෙඩ්කාර් ශ්‍රී ලංකාවට පැමිණියේ ය. මෙරටට පැමිණි අම්බෙඩ්කාර් ලක්දිව බුදුදහම පිළිබඳව දක්වන පිළිවෙත් දැක සතුටට පත් වී නිර්මල බුදු දහම පවතිනුයේ මෙහි යැයි ප්‍රකාශ කළේ ය. සමුළුව ඇමතීම සඳහා කෙරුණු ආරාධනාව ප්‍රතික්ෂේප කළ ආචාර්ය අම්බෙඩ්කාර් බුදු දහම ප්‍රචාරය කිරීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත්කිරීම හා ඒ සඳහා කැපවීමේ අවශ්‍යතාව පසුව අවධාරණය කළේ ය. “මා බෞද්ධ අනුගාමිකයකු බවට පත් නොවූවත්, ඒ සංචාරය මා මත දැඩි බලපෑමක් ඇති කළේ යැයි” ඔහු පසුව සඳහන් කළේ ය. ඇත්තෙන්ම අම්බෙඩ්කාර් 1956 වසරේ දී බුදු සමය වැළඳ ගත්තේ හින්දු කුල ක්‍රමයට එරෙහිවයි. 1956 දී නොවැම්බර්හිදී බුදුන් උපන් නේපාලයේ පැවැත්වුණු සතර වැනි ලෝක බෞද්ධ සම්මේලනයට ද අම්බෙඩ්කාර් සහභාගි විය. එහිදී ජනතාව ඔහු පිළිගනු ලැබූයේ බෝධිසත්වයකු ලෙසයි. එහිදී අම්බෙඩ්කාර් අවුරුද්දක් දෙකක් තුළ මිලියන 60ක පමණ හරිජන පිරිසක් බුදුදහමට හරවන බව ප්‍රකාශ කර සිටියේ ය. බුදු දහම වැළඳ ගත් අවස්ථාවේ දී එතුමා ප්‍රකාශ කළ කියමන මෙතුමන්ගේ ආගමික පුනරුදය මැනවින් විදහා දක්වයි. “දැන් මම මහර්වරයෙක් මෙන්ම හින්දු භක්තිකයෙක් නොවෙමි. මම පාරිශුද්ධ මිනිසෙකි. මම තවදුරටත් උසස් කුල හින්දුවරුන්ගේ වහලෙක් හෝ කුලීකරුවෙක් හෝ නොවෙමි.”
මේ වෙසක් සතිය ගෙවෙන අවස්ථාවේ අප භීම්රාඕ අම්බෙඩ්කාර්තුමා සිහි කරන්නේ මන්ද? 1956 දී එතුමා සමග එක්ව බුදු දහම වැළඳ ගත් රාමක්‍රිෂ්ණ සූර්යභන් ගවයි මහතාගේ පුත්‍රයා එනම් භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි ඉන්දියාවේ 52 වන අගවිනිසුරුවරයා ලෙස පසුගිය බදාදා දිවුරුම් දුන් නිසාය. භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි ඉන්දියාවේ පළමු බෞද්ධ අගවිනිසුරු වන අතරම මෙම තනතුරට පත්වූ දෙවැනි දාලිත්වරයාය. විනිසුරු ගවයිට පෙර, විනිසුරු කේ.ජී. බාලක්‍රිෂ්ණන් 2007 දී පළමු දලිත් අගවිනිසුරුවරයා බවට පත්විය. 64 හැවිරිදි ගවයි ඉන්දියාවේ නව අගවිනිසුරුවරයා ලෙස ඉන්දීය ජනාධිපති ද්‍රවුපදී මුර්මු ඉදිරියේ රාෂ්ට්‍රපති භවන්හි පැවති චාම් උත්සවයකදී දිවුරුම් දෙන ලදී. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 65 කි. ඒ අනුව මේ බෞද්ධයාට මාස හයක් තම තනතුරේ කටයුතු කළ හැකිය. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අම්රාවති පැල්පතක උපත ලැබූ ගවයි ගේ ගමන රටේ ඉහළම විනිසුරු ධුරයෙන් අවසන් විය. ඔහුගේ පත්වීම වෙහෙස මහන්සි වී වැඩ කිරීම සහ නොපසුබට උත්සාහය තුළින් මහජන ජීවිතයේ ඉහළම තනතුරු කරා ළඟා විය හැකි බවට තහවුරු කිරීමක් ලෙස සැලකෙන බව ඉන්දීය මාධ්‍ය කියයි. ඇත්තෙන්ම මෙය නොපසුබට උත්සාහයේ ජයග්‍රහණයකි.
රාමක්‍රිෂ්ණ සූර්යභන් ගවයි 2015 දී මිය ගියේය, ඔහුගේ පුත් භූෂාන් රාමක්‍රිෂ්ණ ගවයි ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස උසස් කරනු ලැබීමට වසර හතරකට පෙරය. රාමක්‍රිෂ්ණ සූර්යභන් ඉන්දීය ජනරජ පක්ෂයේ නිර්මාතෘවරයාය. හෙතෙම 2006 සහ 2011 අතර කාලය තුළ බිහාර්, සීකිම් සහ කේරළ ආණ්ඩුකාරවරයා ලෙසද සේවය කර තිබිණි. නව අගවිනිසුරුවරයාට ගෘහ නිර්මාණ ශිල්පියකු වීමට අවශ්‍ය වූ බව බොහෝදෙනෙක් දැන නොසිටිනු ඇත. නමුත්, ඔහු තම පියාගේ ආශාව ඉටු කිරීම සඳහා නීතිඥයකු බවට පත් වූ බව හෙතෙම එක් රූපවාහිනී සාකච්ඡාවකදී පවසා තිබිණි.
විනිසුරු බී.ආර්. ගවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාමය විනිසුරු මඬුලු රැසක සාමාජිකයකු විය. මෙම කාලය තුළ ඔහු ඓතිහාසික තීන්දු රැසකටම දායක විය.
2019 දී ජම්මු සහ කාශ්මීරයට විශේෂ තත්ත්වය ලබා දුන් 370 වන වගන්තිය ඉන්දීය මධ්‍යම රජය විසින් අවලංගු කරන ලදී. ඔහු මධ්‍යම රජයේ එම තීරණය ඒකමතිකව තහවුරු කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයකු විය. දේශපාලන කටයුතු සඳහා අරමුදල් සැපයීම සඳහා භාවිතා කරන ලද මැතිවරණ බැඳුම්කර යෝජනා ක්‍රමය අහෝසි කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ද විනිසුරු ගවයි සාමාජිකයකු විය. රුපියල් 1,000 සහ රුපියල් 500 නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය මධ්‍යම රජය 2016 වසරේදී ගත් තීරණය හතරට එකක බහුතරයකින් තහවුරු කළ විනිසුරු මඩුල්ල ද විනිසුරු ගවයි නියෝජනය කළේය.
උපලේඛනගත කුල තුළ උප වර්ගීකරණයන් සිදු කිරීමට ප්‍රාන්තවලට ව්‍යවස්ථාපිත අයිතිය ඇති බවට හයට එකක් ලෙස බහුතරයකින් තීන්දු කළ සත් පුද්ගල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිසුරු මඩුල්ලේ ද විනිසුරු ගවයි සාමාජිකත්වය දැරුවේ ය. 2024 නොවැම්බර් මාසයේදී, විනිසුරු බී.ආර්. ගවයිගේ ප්‍රධානත්වයෙන් යුත් ද්වි පුද්ගල-විනිසුරු මඩුල්ලක් විත්තිකරුවන්ගේ දේපළ බුල්ඩෝසර් යොදා විනාශ කිරීම විවේචනය කළේය. මෙම නඩුවේදී ඔහු තීන්දු කළේ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර කිසිවෙකුගේ දේපළ කඩා දැමීම නීතියට පටහැනි බවයි.