නෙළුම් කුලුන ගැන කතාවක්
ඉලංගෝ රාම් අධ්‍යක්ෂණය කළ නෙළුම් කුලුන චිත්‍රපටයේ කතා කරන්නේ කොළඹ නගර මධ්‍යයේ ඇති නෙළුම් කුලුන ගැන නොවෙයි. නෙළුම් කුලුන පූර්ව ප්‍රචාරක පටය නරඹන ඕනෑම කෙනකුට පෙනෙන පරිදි මේ චිත්‍රපටයේ කතා කරන්නේ වෙනත් කුලුනක් ගැන.
සියල්ලට කලින් යමක් සහතික ලෙසම පොරොන්දු විය යුතුයි. වැඩිහිටියන්ට වඩාත් උචිත මේ චිත්‍රපටයේ මුල සිට අග දක්වා ම අනිවාර්යයෙන් ඔබට කෙළවරක් නැතිව සිනහ වෙන්නට ඉඩකඩ ලැබෙනවා. ඇතැම් තැන්වල ඔබ අපහසුතාවට පත් වෙනවා වගේ දැනේවි. සමහරවිට කියාගන්න බැරි දෙයක් කියන්න දඟලලා කියන්න හැකිවුණා වගෙත් දැනේවි.
මන්ද යත් චිත්‍රපටයේ තේමාව සදාචාරය සහ සංස්කෘතිය. විශේෂයෙන් සාම්ප්‍රදයක පසුතලයක සදාචාරය හා සංස්කෘතිය.
ඒත් මේක ඉතාම සංකීර්ණ විධියට ඩාක් කොමඩියක්. මේක අඩු වියදම් ඩාක් කොමඩියක්. ලාංකික සිනමාවට ආදරය කරන ඕනෑ කෙනකුට සුබාරංචියක්. ඕනෑ සිනමා කලාවක් ගොඩගන්න ඩාක් කොමඩි තරම් ගැලපෙන ශානරයක් තවත් නෑ. මේ තරම් ලුහුවාදී ඩාක් කොමඩියකට තමයි අපව ගොඩගන්න පුළුවන්. මෙහෙම චිත්‍රපටයකට වැය වෙන මුදල විශාල නෑ. ඒත් දක්ෂ රචකයකු සහ කණ්ඩායමක් එකතු වූ පසු අතේ තියෙන මුදල් ගණන නෙවෙයි, නිර්මාණශීලීත්වය තුළින් විශිෂ්ටම චිත්‍රපටයක් බිහි කළ හැකියි.
යුරෝපීය ආකෘතියක් තියෙන පරණ වළව්වක්. යුරෝපයෙන්ම ආ අතින් පණනැංවිය යුතු මෝටර් රථයක්. මේ සියල්ලෙන් අපට වැටහෙනවා අපේ කථානායක පවුල සෑහෙන සදාචාර සීමා තියෙන, සාම්ප්‍රදායික පවුලක් විත්තිය.
අපේ ජීවිතයෙත් ලිංගිකත්වයට සම්බන්ධ සමහර දේවල් තියෙනවා අපට අම්මලා, තාත්තලා, බිරින්දෑවරු සහ සහෝදර සහෝදරියන් ඉස්සරහා විවෘතව කතා කරන්නම බැරි. ඒත්, සමහර වෙලාවල් එනවා කතා නොකරම බැරි. එහෙම වෙලාවක ඒ කතා කරන්න අසීරු දේවල් කියාගන්න ගොහින් වෙච්ච අකරතැබ්බ අපි මැරෙන තුරු කතා කරන්නේ හිනාවෙවී. සරලවම කීවොත් මේ විචාර සටහන ලියද්දී පවා පාවිච්චි කළ හැකි සහ නොහැකි වචන තියෙනවා. විවෘතව කිව හැකි සහ සදාචාරාත්මකව නොකිව යුතු දේවල් තියෙනවා. ඒවා අපි වක්‍රව කියන්න උත්සාහ කරනවා. එදිනෙදා ජීවිතයේදීත්, මේ විචාර සටහනේදීත්. දරුවන් සහ මාපියන් අතරත්, සමීපතමයන් අතරත් ලිංගිකත්වය තහනම් මාතෘකාවක් වන නිසා මෙවැනි අකරතැබ්බ වගේම ඊටත් වඩා ඛේදවාචක පවා සිදුව තිබෙන බව චිත්‍රපටයට හිනාවෙද්දී කල්පනා කරන්න ඕනෑ.
චිත්‍රපටයත් උත්සාහ කරන්නේ ඇත්තට ම අප තුළම තියෙන සදාචාර සීමාවලට ලැජ්ජාවෙන් අපවම හිනස්සන එක. සමහර දේවල් ඍජු කියාගන්න බැරිව චරිත අපහසුතාවට පත් වෙනවා. ඒත්, සමහර චරිත සමහර දේවල් එකපාර අමුවෙන් කියා දාන්නේ ප්‍රේක්ෂකාගාරයම හිනස්සමින්.
නෙළුම් කුලුන චිත්‍රපටයේ එන්නේ සහෝදරයන් දෙන්නෙක් තමන්ගේ තාත්තාගේ අවසන් කටයුතු කරන්න ගන්න උත්සාහයක්. බැලූ බැල්මට කතාව සරලයි. රට බේරා ගැනීමට, ලෝකය බේරා ගැනීම හෝ විශ්වය බේරා ගැනීමට සටන් කරන වීරයන් නැතත් අපට පොරොන්දු වෙන්න පුළුවන් ලෝකයේ ඕනෑ සිනමා කර්මාන්තයකින් බිහි වූ චිත්‍රපටයකින් නොලැබෙන අන්දමේ විනෝදාස්වාදයක් නෙළුම් කුලුන චිත්‍රපටයෙන් ලැබිය හැකියි.
‘පුංචි බාත්රූම් එකට යද්දී වැටුණා. එතකොට අම්මා ගියා දුවගෙන. හැබැයි තාත්තාට මොකුත් නෑ.’ සහෝදරයන් දෙන්නා තමන්ගේ තාත්තා මියගොස් ඇති ස්වාභාවය සඟවන්නට නොහැකිව අසල්වාසීන්ට බොරු කියනවා.
පියාගේ සිරුරට ඇඳුම් අන්දවන්නේ කොහොමද? පියාගේ සිරුර තබන්නේ කොහොමද? මේවා නෑයන්ට කියන්නේ කොහොමද? ආගමික කටයුතු කරන්නේ කොහොමද? ප්‍රශ්න තොගයකට සහෝදරයන් දෙන්නා මුහුණ දෙනවා.
එක සහෝදරයෙක් මේ ගැන සඟවන්නට බය නෑ. ඔහුට සදාචාර සීමා ඇත්තෙත් නෑ. ඔහුට මේ තත්ත්වය ගැන හැමෝට ම බොරු කීම දිරවන්නෙත් නෑ. ඒ සහෝදරයා බාලයා. විශ්වවිද්‍යාලයේ ගිය නැති කෙනා. තාත්තා එක්ක නිතර මත්පැන් බිව්ව කෙනා. ඒ සහෝදරයා තමයි ගමේම හිටපු කෙනා. බොහෝවිට පහළ පන්තියට වෙලා ඉන්න කෙනා. ත්‍රීවිල් රියැදුරන්, කට්ටඩියන් යනාදී නොයකුත් අය එක්ක භේදයක් නැතිව ගල් අරක්කු බොන කෙනා.
අනෙක් සහෝදරයා ඉහළට ඉගෙනගත් කෙනා. ඒ නිසාම තාත්තාගෙන් ඈත් වූ කෙනා. තාත්තා අන්තිමට මල්ලි එක්ක කතා කළේ මොනවද? සියල්ල මැද්දේ ඔහුගේ හිතට වධ දෙනවා. ඔහු කැමැති නෑ තාත්තාගේ මරණය ගැන ඇත්තම කතාව රටට ලෝකයට කියන්න.
ඇත්තට ම අද කාලේ සාම්ප්‍රදායික ග්‍රාමීය සමාජය උගත්, රජයේ රස්සා කරන මධ්‍යම පන්තියට වඩා ලිංගිකත්වය ගැන විවෘත බව හැඟෙනවා. පෙර පරම්පරාවට අයිති ගැමියන් කිසි චකිතයක් හා බයක් නැතිව සමහර මාතෘකා විවෘතව කතා කරනවා.
මේ ඔක්කොම මැද්දේ අම්මා සිය සැමියාගේ වෙන්වීම භාරගන්නට උත්සාහ කරනවා. ඇයට අත්තට ම ලොකු ලැජ්ජාවක් මේ තත්ත්වය ගැන ඇත්තේ නෑ. ඒත්, ඇයට දරාගන්නට නොහැකි වන්නේ මළගෙදර අවසාන අඩියේ තමන්ට නොසිතූ ලෙස දැනගන්නට ලැබෙන අලුත් කරුණක් නිසා.
තාත්තාගේ ලේලිලා දෙන්නාටත් තියෙනවා අමුතුම ප්‍රශ්නයක්. තාත්තාගෙන් තම තමන්ගේ සැමියන්ට උරුම නොවූ දෙයක් ගැනත් ඔවුන් ලතැවෙනවා. ලොකුයි නේද? ආලෝකා ගයාත්‍රිගේ චරිතය සිය බාල නෑනාගෙන් විමසනවා.
මිනීපෙට්ටි වෙළෙන්දන්, ත්‍රීවීල් රියැදුරන්, කට්ටඩියන්, අසල්වැසියන් ඇතුළු බොහෝ දෙනෙක් චිත්‍රපටයේ කතාවට යනවා එනවා. ඔවුන් හැමෝම තම තමන්ගේ වුවමනා ඉටු කරන්නට වලිකනවා. ඒ නිසාම මේ සිදුවීම් පෙළ හැම මොහොතක්ම අලුත් ගෝරියක් බවට පත් වෙන කතාවක් වෙනවා.
කතාව අන්තිමේ හාස්‍යජනක විධියට හැමෝම වගේ අනුමාන කරනවා තාත්තාගේ මරණය මේ විධියට සිද්ධ වුණේ, තමාට තහනම් වූ ලිංගික රසයක් තම තමන් විඳින්නට උත්සහ කළ නිසාය කියලා. ඒ රසය විඳින්නට කුමන හෝ සමාජයට තහනම් දෙයක් උත්සාහ කළ නිසා තාත්තා මියගිය බව ඔවුන් හිතනවා. ඒත් එහෙම දෙයක් නැති බව, තාත්තා ජීවිතේ වින්ද බව දන්න බේබදු පුතා විතරක් තාත්තා එක්ක අවසන් මත්පැන් වඩිය හුවමාරු කර ගන්නවා.
කොහොම නමුත් සංස්කෘතිය, පීතෘ මූලිකත්වය සහ ලිංගිකත්වය වැනි මාතෘකාවක් ගැන සමාජයේ විවෘතව කතා කරන්නට තියෙන බය. ඒක අපූරු හාස්‍යමය කතාවකින් ඉදිරිපත් කරන්නට ඉලංගෝ රාම් සමත්වෙලා. රාම්ගේ අදහස සිනමාවට නඟන්නට කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තුසිත ලක්නාත් ගලිඳවත්ත, චාන්දනී සෙනෙවිරත්න, චමිලා පීරිස්, ආලෝකා ගයාත්‍රි, දිල්හානි ඒකනායක, කෝරළගේ සමන් සහ සංජීව උපේන්ද්‍ර, ඇතුළු රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් සමත්වෙලා. මේ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ ලැයිස්තුව බලන්න. සිනමාවෙන්ම පදම් වූ විශිෂ්ට ශිල්පිනිය වූ දිල්හානි හැරුණු කොට අන් සියලුදෙනා වේදිකා නාට්‍ය රංගනයෙන් පදම්වූවන්. මේ චිත්‍රපටය තුළ මනුෂ්‍ය සම්බන්ධතා සියුම් ලෙස හාස්‍යයට නඟා ඇත්තේ වේදිකාවෙන් ඔවුන් ලැබූ ආභාසයෙන් විය යුතුයි. තාත්තාගේ මළ සිරුරට රඟපාන රංජිත් පනාගොඩ නිසල ලෙස චිත්‍රපටය පුරා ඉන්න ආකාරය පවා මේ චිත්‍රපටය තුළ රංගන ශිල්පීන් කරන භූමිකාව මනාව පෙන්වනවා.
උඩින් කී නළුනිළියන් අතරින් ප්‍රියන්ත සහ තුසිත අතර ගොඩනැඟෙන අන්තර් සම්බන්ධය මිල කරන්නට බැරි තරම්. සිංහල සිනමාවේ මෑත කාලයේ දක්නට ලැබුණු අපූරුම රසායනයක් දෙන්නා අතර තියෙනවා. ප්‍රේක්ෂකයාව වැඩිපුර හිනස්සන්නේ තුසිත. ඒත්, තුසිතගේ චරිතයට සිය සැහැල්ලු පෞරුෂත්වය මතු කරන්නට උපරිම සහයෝගය දෙන්නේ ප්‍රියන්ත සිරිකුමාර. ඒ සියල්ල මැද නූතන ඉතිහාසයේ විශිෂ්ට ම සිංහල රංගන ශිල්පිනියන් දෙතුන්දෙනාගෙන් කෙනකු වන කෞෂල්‍යා ප්‍රනාන්දු කියන විශිෂ්ට රංගන ශිල්පිනිය සම්භාව්‍ය චරිතයක සිට නොරුස්නා මූණක් තියෙන අම්මා කෙනකු විධියට මිනිස්සු හිනැස්වීම දක්වා ඕනෑ රංගන කටයුත්තක දී තමාට ළංවෙන්නට වෙන කිසිවෙක් නැති බව ඔප්පු කරනවා.
චිත්‍රපටයේ ප්‍රචාරක පාඨය තමයි රට වැටුණත් කුලුන කෙළින් කියන එක. තාත්තාගේ වළව්ව දුප්පත්කමින් මිරිකෙන බවකුත් පේනවා. ඒත්, තාත්තා ඉහළ පාසලක ඉගෙන ගත්ත පම්පෝරි ගසන්නට ඉතිහසයක් තියෙන වළව්කාර මධ්‍යම පාන්තිකයෙක්. ඒත් පවුල විඳින ආර්ථික අහේනිකම්වලින් පේනවා. සියල්ල නැතත්, වළව්කාරකම තියෙනවා. මේ සියල්ල යට පිරිමිකම තියෙනවා.
කොළඹ නගරයේ නෙළුම් කුලුන ඇතුළු උසැති ඉදිකිරීම් රැසක් පාලකයන්ගේ පුරුෂත්වය සංකේතවත් කරන බව විචාරකයන් පෙන්වනවා. ලෝක ඉතිහසය පුරා ගෘහ නිර්මාණ විශේෂඥයන් කියන්නේ ඇතැම් ඉදිකිරීම් කිසි හේතුවක් නැතිව උසැතිව ඉදි වෙන්නේ. ෆැලික සංකේත විධියට ඒවා ඉදිකරන අයගේ පුරුෂත්වය ඉස්මතු කිරීමට බව. මේ පුරුෂ සංකේත මැද මේ රටත් පසුගිය කාලයක් තිස්සේ ඉදිරියට ඇවිත් ක්‍රමානුකූල ආර්ථික, සමාජයීය, දේශපාලනික, සංස්කෘතිකමය කඩාවැටීමකට පත්ව හමාරයි. ඒත්, කොළඹ මැද්දේ නෙළුම් කුලුන ඇතුළු කුලුනු කෙළින් තියෙනවා. මේ කුලුනුවලට කරන්නේ කුමක් දැයි දැන් මේ රටේ උරුමය ලද ඊළඟ පරපුරට හිතාගන්න බෑ. අන්තිමේ නෙළුම් කුලුන චිත්‍රපටයෙන් නොකියා කියන්නේ ඒකද?
● තරිඳු උඩුවරගෙදර