බුද්ධ ආදහන මළුවේ දී ශේෂ වූ ධාතුන් වහන්සේ වැඩිම ප්‍රමාණයක් වර්තමානයේ තැන්පත් කොට තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බව සැදැහැවත් බෞද්ධයන්ගේ විශ්වාසයයි. බුදුන් වහන්සේගේ යටි වම් දළදාව සහ දකුණු දළදාව පිළිබඳ උත්තුංග ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරන සිංහල බෞද්ධයන්ට, විශේෂිත ධාතු කරඬුවක දවටා තිබූ පූජනීය සේද සළුවක් ද වටිනා බව කිව යුතු නොවේ. දේවානම්පියතිස්ස රජ දවස දී ධර්මාශෝක රජුගේ පුත් මහින්ද මහ රහතන් වහන්සේ මිහින්තලයට වැඩම කොට සම්බුද්ධ ශාසනය මෙරට ස්ථාපිත කොට රජු ලවා යොදුනෙන් යොදුන විහාරස්ථාන කරවා ලංකා රාජ්‍යය බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කොට දැනට වසර දෙදහස් තුන්සීයක් පමණ ඉකුත් වී තිබේ. මේ එළැඹෙන්නේ බුදු උපතින් දෙදහස් පන්සිය හැටනව වන වසරයි.
අසෝක රජ දියණි සංඝමිත්තා තෙරණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුරයක් රැගෙන උතුරේ දඹකොළපටුනට පැමිණි කල්හි දේවානම්පියතිස්ස රජු කරවටක් දියට බැස මහත් ශ්‍රද්ධාවෙන් එය පිළිගත් ආකාරය බෝධිවංශයේ දක්වා තිබෙන්නේ, ජනතාවට ශ්‍රද්ධාව භක්තිය ඇතිවන ආකාරයටයි. ඒ බෝධින් වහන්සේ සමග ශාක්‍ය වංශයට ඥාතීන් වූ හැටහතර කුලයක් ජනතාව ද ලක්දිවට පැමිණියහ. ඔවුන් ගම්බිම්වල පදිංචි කරවා ගම් ප්‍රධානීන් බවට පත් කරවා බුද්ධ ශාසනයේ චිරස්තිථිය සලසනුවස් කටයුතු සැලැස්වූහ. විදුරනන්ද, බෝධිගුප්ත, සුමිත්ත ආදී ලැමණි කුලයට අයත් කුමරුවන්ට නෑකම් කියූ දේවානම්පියතිස්ස රජුගේ බාල සහෝදරයා කීර්ති තිස්ස විය. මේ කුමරු වර්තමාන කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන පෙදෙස භාරව කටයුතු සිදු කරන ලද්දේය. පදවිගම්වල තිබෙන ශිලා ලේඛනයකින් කියැවෙන තිස කිතස ලෙනෙ යන නාමය මගින් හඳුන්වන්නේ ඒ කුමරු ගැනයි.
මිහිඳු හිමි වැඩ සිටි ගල් ලෙන
මිහිඳු මහ රහතන්වහනසේගේ අනුශාසනා මත දේවානම්පියතිස්ස රජතුමා යොදුනෙන් යොදුන විහාරස්ථාන සෑදවිය. මේ අනුව කීර්ති තිස්ස කුමරුගේ පුද්ගලික මැදිහත්වීම අනුව ඉදිකළ ස්තූපයක් රඹුක්කන ප්‍රදේශයේ ලේකම් කොට්ඨාසයේ දැලිවල පිහිටා තිබේ. මිහිඳු මහ රහතන්වහන්සේ මෙම ස්ථානයට පුද්ගලිකවම වැඩම කොට ගල්ලෙනක වැඩ වාසය කරමින් මෙම ස්තූපය සෑදවීමට උපදෙස් දුන් බව ජනප්‍රවාදයේ එන්නකි. උන්වහන්සේ වැඩසිටි ගල්ලෙන මීදුම ගල්ලෙන බව කියැවෙයි. මෙම චෛත්‍යය නිමකරවා තිබෙන්නේ සාංචි ස්තූපයේ වාස්තු විද්‍යාත්මක හැඩරුව අනුව බව 1957 දි මෙම ස්තූපය වටා කරන ලද කැණීමකින් හමු වූ කරඬු 168 ක් අතර තිබූ සුවිශේෂී රන් කරඬු ආකෘතිය මගින් තහවුරු විය. දැවයෙන් නිම කරන ලද ස්තූපය සිවුපසට විහිදී ඇති චත්‍ර ආදිය නිසා දැලිවල ස්තූපය පිළිබඳ මිහිඳු මහ රහතන්වහන්සේගේ මැදිහත්වීම පිළිබඳ වෙසෙසින්ම සිතා බැලිය හැකිය. වෙදිසගිරි නැතිනම් සාංචි පෙදෙස සමග මිහිඳු මාහිමියන්ගේ දැඩි සම්බන්ධයක් තිබුණි.
සේද සළුවෙන් ඔතා තිබූ කරඬුව
දැලිවල පවතින මෙම ස්තූපය සාමාන්‍යයෙන් හඳුන්වනු ලබන්නේ කොටවෙහෙර යනුවෙනි. සාමාන්‍ය පස් කන්දක් ස්තූපයක හැඩයට කපා ඒ වටා ගඩොලින් ගර්භය බැඳ නිමකර තිබූ බව මහාචාර්ය පරණවිතාන මහතා තීරණය කර තිබුණි. එයට හේතුව ඔහු කරන ලද බාහිර නිරීක්ෂණයයි. තවත් හේතුවක් වී තිබුණේ පේසාවේ සිට මඳක් ඉහළින් නිදන් වස්තු තැන්පත් කර තිබීමයි. 1957 වසරේ දී කළ කැණීමේ දී පෙර දක්වන ලද නිදන් වස්තු හමුවුණ අතර පසුව 1972 සහ 1978 වසරවල ද පසුව 2000 – 2001 වර්ෂයන්හි දී ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කොට ඇත. එවකට පුරාවිද්‍යා කැණීම් අධ්‍යක්ෂ වූ ඩබ්.එච්.විජේපාල මහතා විසින් කළ මෙම පර්යේෂණයේ දී මුට්ටියක බහා තිබූ වැදගත් ධාතු කරඬු කීපයක් සොයා ගන්නට යෙදී ඇත. මෙය හමුවූයේ ස්තූපය මැද ගර්භයේ විශේෂයෙන්ම සකස් කරන ලද කොටසකිනි. එහි තීබූ කැටගල් සහිත ශිලාමය පසුතලය තුළින් ගම්‍ය වූයේ මෙම පූජනීය වස්තු කෙරෙහි දැක්වූ සැලකිල්ලයි. මැටියෙන් කළ විශේෂ භාජනයක තැන්පත් කරන ලද රන් තැටියක මෙම පූජනීය වස්තු තැන්පත් කර තිබුණි. එම රන් තැටිය මත සාංචි ස්තූප හැඩය ගත් කරඬුවක් විය. ඒ වටා සේද සළුවක් ඔතා තිබී ඇත. කැණීමේ දී හමුවන විට රෙදිකඩ දිරාපත්ව කරඬුවටම ඇලී තිබී ඇත. මේ සියල්ල විශේෂයෙන්ම සකස් කළ වීදුරු භාජනයකින් ද වසා තිබුණි. එය නැවත මැටි මුට්ටියකින් වසා තිබූ බව නිරීක්ෂණය වෙයි. මේ අතර තිබූ විශේෂිතම වස්තුව වූයේ සාංචි ස්තූපයේ හැඩරුවට සමාන වූ ලෝකඩ අනුරුවයි. මෙම කරඬුව වටා පැවැති රෙදිකඩ ඔස්ට්‍රේලියාවේ දී විශේෂ පරීක්ෂාවකට ලක් විය. ඒ අනුව සනාථ වූයේ එය සේද රෙද්දක් බවයි.මීට වසර 2200 කට ප්‍රථම එම රෙදිකඩ නිෂ්පාදනය වන්නට ඇති බව ද තහවුරු විය. කානීලියන් පබළු වලින් ගෙත්තම් කරන ලද මෙම සේද රෙද්ද විශේෂයෙන්ම නිර්මාණය කරන ලද්දකි. මෙම කරඬුව තුළ තැන්පත් කළ වස්තුවල සුවිශේෂීතාවය නිසා මෙලෙස වස්ත්‍රයකින් ඔතා තිබෙන්නට ඇත.
සේද රෙදි නිර්මාණය කරන ලද්දේ චීන දේශය තුළ ය. මෙම රෙදි සේද මාවත ඔස්සේ දඹදිව, පර්සියාව සහ රෝමය දක්වා එකල වෙළෙඳ සම්බන්ධකම් යටතේ හුවමාරු වී තිබේ. අසෝක රජු සිය ධර්මවිජය ප්‍රතිපත්තිය මත පදනම්ව කරන ලද විශේෂිත කටයුත්ත නම්, එකළ දඹදිව තුළ මෙම සේද රෙදි වර්ණගැන්වීමෙන් පසු රාජකීය පරිහරණයට ගැනීමයි. ඒවා වර්ණගැන්වීමෙන් පසු නොයෙකුත් කටයුතුවලට යොදාගත් අතර විශේෂිත පූජනීය වස්තු ආවරණය කිරීමට පබළු ආදී ද්‍රව්‍ය වලින් ගෙත්තම් කර ඇත. ධර්මාශෝක රජු සහ දේවානම්පියතිස්ස රජු අතර තිබූ ඥාති සම්බන්ධය සහ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධය මත මිහිඳු මහ රහතන්වහන්සේ ලංකාවට වැඩම කරන ලද අතර, ඒ සමග විශේෂිත රාජකීය කකුධ භාණ්ඩයන් ද පූජා වස්තු රැසක් ද තෑගි වශයෙන් දූත පිරිස සමග ඒවා ඇති ආකාරය වංශ කථාවල සඳහන් කර තිබේ. දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරු තිස්ස කීර්ති කුමරු එකල පාලනය කළ කිණිගොඩ කෝරළයේ වල්ගම් පත්තුවේ දැලිවල ප්‍රදේශයේ සාංචි හැඩය සහිත ස්තූපයක් ඉදිකරලිමේ අදහස තිරණය කරනු ලබන්නේ, මිහිඳු මහ රහතන්වහන්සේ විසිනි. උන්වහන්සේ ඒ ඉදිකිරීම පිළිබඳ පෞද්ගලිකව සොයා බලමින් කීර්ති තිස්ස රජු සමග මේ කර්මාන්තය කළ බවට සිතන්නට හැකිය. එයට සාධක වශයෙන් ප්‍රදේශයේ කීප තැනකම ජනප්‍රවාද රැසක් අදටත් පවතී.
සේද සළුව මැසීමට විශේෂිත ශාක වර්ග
2001 වර්ෂයේ දී ඩබ්.එච්.විජේපාල මහතා විසින් කරන ලද කැණීමේ දී හමුවූ විශේෂිත පූජනීය වස්තු පිළිබඳ සොයාබැලීම්වල වැදගත්ම වටපිටාව නිර්මාණය වනුයේ 2018 වර්ෂයේ සිටයි. විජේපාල මහතාගේ කැණීම් අංශයේ සේවය කළ ආචාර්ය නිමල් පෙරේරා මහතා සිය ආචාර්ය උපාධිය සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින අවධියේ දී එහි ජාතික විශ්වවිද්‍යාලයේ සේවය කළ ජුඩිත් කැමරන් නම් මහත්මියක් හමුවීම මෙහි අහම්බයයි. ක්‍රිස්තියානි භක්තිකයකු වූ ඇය ජේසු තුමාගේ සොහොනේ තිබූ වස්ත්‍රය ගැන පර්යේෂණ පවත්වමින් සිටි තැනත්තියකි. මේ අවස්ථාවේ දී නිමල් පෙරේරා මහතා සමග ඇති වූ විශේෂ කතාබහකින් පසු දැලිවල ස්තූපයෙන් හමූවූ සේද රෙද්ද එතූ විශේෂිත ලෝකඩ කරඬුව පරීක්ෂා කර බැලීමට සහ පර්යේෂණ වශයෙන් සහාය වීමට ඇය ලංකාවට පැමිණියහ.මෙම හමුවීම මෙරට ඉතිහාසයේ වැදගත්ම පර්යේෂණයකට දොර කවුළු හැරුණි. කැමරන් මහත්මියගේ අධීක්ෂණය යටතේ දා කරඬුවේ සිට පබළු වැලේ සිට වර්ණගැන්වීමේ සිට සෑම අවස්ථාවක් ගැනම විධිමත් සොයා බැලීමක් සිදු කරන ලද්දේය. සේද මාවතේ ඉන්දියාවටත් එතැනින් වර්ණගැන්වුණු සේද සළුව අසෝක රජුගේ මෙහෙයවීමෙන් පූජනීය දා කරඬුවක ඔතා ලංකාවට සැපැත් වීමත් පිළිබඳ ඉතා රසවත් කථාවක් නිර්මාණය කිරීමට මෙම පර්යේෂණය සමත් විය. පුදුමයට කරුණ නම් මේ සේද සළුව වියා තිබුණේ මල්බෙරි පට පණුවන්ගෙන් හෝ ඕක් පට පණුවන්ගෙන් ලබාගන්නා නූල් මගින් නොවන බව තහවුරු වීමයි. ඒ සඳහා හණ සහ ඇබකා වැනි විශේෂිත ශාක වර්ග යොදගෙන තිබුණි යැයි පර්යේෂණයේ දී හෙළි විය. ඇතැම් විට පූජනීය වස්තුවක් ආවරණය කිරීමට පටපණු කෝෂ යොදා නොගැනීම අසෝක රජුගේ චේතනාව වූවා වන්නට පිළිවන. නමුත් එය විශේෂයෙන්ම වියා ගත්තක් ද නොවීය. මන්ද ඒ වන විටත් ශාක යොදා ගත් සේද සළු චීනයේ සකස් කර තිබුණු බැවිනි. කෙසේ වෙතත් මේ සළුවේ සංයුතිය පිළිබඳ වැදගත් සටහනක් තබන්නට ආචාර්ය නිමල් පෙරේරා මහත්මා සහ ජුඩිත් කැමරන් මහත්මිය සමත්ව තිබේ. එය (Journal of IndIan ocean archaeology) සඟරාවේ පළකර තිබේ.
දැලිවල කොටවෙහෙර යනු මෙරට බෞද්ධ ඉතිහාසයේ අද්විතීය නිර්මාණයකි. වැඩිම පූජනීය වස්තු ප්‍රමාණයක් එනම් ශිලාමය කරඬු, පබළු කරඬු, රන් කරඬු ඇතුළු ධාතු කරඬු 177 ක් පමණ හමුව තිබෙන ස්ථානයකි. මෙවැනි විශාල ධාතූන් වහන්සේ ප්‍රමාණයක් සම්මුඛ වීමට තිබෙන ප්‍රධානතම හේතුව නම් මිහිඳු මහ රහතන්වහන්සේගේ සෘජු මැදිහත් වීම ඊට හිමි වූ නිසාවෙනි. අසෝක රජතුමා විසින් සිය දූතමෙහෙවරේ දී ලක් රජුට තෑගි කර එවූ පූජනීය වස්තු රැසක් මේ අතර වෙයි. මෙම ස්ථානයෙන් හමුවුණු පූජනීය වස්තු තැන්පත් කර තැබීමට පුරාවිද්‍යා කෞතුකාගාරයක අවශ්‍යතාව විටින් විට මතුව තිබුණු අතර, එලෙස කටයුතු කිරීම ප්‍රමාද වීම නිසා විහාරස්ථ දායක සභාවත් විහාරාධිපති පූජ්‍ය පුස්සැල්ලේ අරියවංශ හිමියන්ගේ මැදිහත්වීමත් මත මෙම ධාතු කරඬු තැන්පත් කිරීමට විශේෂ ධාතු මන්දිරයක් ඉදිකරනු ලැබීය. නමුත් 2022 වසරේ පෙබරවාරි මාසයේ 04 වැනි දින දී මෙම ධාතු මන්දිරය විවෘත කොට එහි තිබූ ඉතාමත් වටිනාම ධාතු කරඬුව වූ චත්‍ර සහිත රන් කරඬුව ඇතුළු කරඬු කීපයක් සොරාගෙන ගොස් තිබේ. ඒ පිළිබඳ කිසිම හෝඩුවාවක් මේ වන තෙක් ලැබී නොමැත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිහඬය. කිසිම පරීක්ෂණයක් ඉදිරියට ගෙනයන බවක් නොපෙනේ. නමුත් සිදු වූ දේ සිදු වී අවසන් ය. පුරාවිද්‍යාඥයන්ට අනුව ආසියාවේ වටිනාම පුරාවස්තුවක් රටට අහිමි වී තිබේ.බෞද්ධයන් වශයෙන් ධර්මාශෝක රජතුමාගේ වටිනාම තිළිණය අප වෙතින් ගිලිහී ඇත. මේ පිළිබඳ උනන්දුවක් දක්වන බෞද්ධයන් අද විරලය. පුරාවිද්‍යාඥයන් ද මුනිවතරකින්නේ ඇයි ද යන්න ප්‍රහේලිකාවකි.
මතුගම සෙනෙවිරුවන්