රටේ ජනාධිපතිවරයා වශයෙන් මහජනතාව විසින් තෝරා පත් කරගෙන සිටියදී රාජ්‍ය සැප සම්පත් පසෙකලා සාමාන්‍ය නිවෙසක වාසය කරමින් රට පාලනය කිරීම සාමාන්‍ය දෙයක් බවත් එම සාමාන්‍ය දෙය දැක ලෝකයා පුදුම වෙන්නේ කුමකටදැයි යන්න තමාට ගැටලුවක් බව පසුගියදා සිය ජීවිතයෙන් සමුගත් ලොව දුගීම ජනාධිපතිවරයා ලෙස විරුදාවලි ලත් උරුගුවේ රාජ්‍යයේ හිටපු ජනාධිපති ජොසේ මුජ්කා පවසා තිබේ. “මම ජීවත් වෙන්නේ ඉතා කුඩා සරල නිවසකයි. යන්නේ පරණ මෝටර් රථයකින්. මේවා සාමාන්‍ය දේවල් වුවද ලෝකයා එය දැක පුදුම වෙනවා” ඔහු සඳහන් කර තිබේ.
ජෝසේ ඇල්බටෝ පෙපේ මුජිකා කෝඩනොජා නමින් 1935 වසරේ මැයි මස 20 වැනිදා උරුගුවේ රාජ්‍යයේ මොන්ටේවීඩියෝ අගනුවර ආසන්නයේ උපත ලබා ඇති ජෝසේ මුජිකා උරුගුවේ රාජ්‍යයේ 40 වැනි ජනාධිපතිවරයා වන අතර ඔහු දේශපාලනයට පිවසීමට පෙර රටේ සිටි විප්ලවවාදියකු මෙන්ම ගොවියෙකු ද විය. දකුණු ඇමරිකාවේ උරුගුවේ රාජ්‍යයේ ජනතාව අතර මෙන්ම ගෝලීය ජනතාව අතර මුජිකාගේ සරල දිවි පැවැත්ම දැඩි ආකර්ෂණයක් ඇති කිරීමට සමත් වුවද ඔහු සිය දිවියේ මුල් කාලයේදී සිය රට සිටි වාමාංශික ගරිල්ලා නායකයකු විය. 60 දශකයේ උරුගුවේ රාජ්‍යයේ ක්‍රියාත්මක වූ වාමාංශික කැරලි කණ්ඩායමක් වන ‘ටුපමාරෝස්’ කණ්ඩායමේ නායකයා වශයෙන් මුජිකා බැංකු කොල්ලකෑම, බෝම්බ ඇටවීම මෙන්ම ව්‍යාපාරිකයන් හා දේශපාලකයන් පැහැරගැනීම වැනි ක්‍රියාවන්හි නිරතව සිටි අතර ඔහුගේ කැරලි කණ්ඩායමට අවශ්‍ය වූයේ උරුගුවේ රාජ්‍යය තුළ කියුබාවේ ආකාරයේ සමාජවාදී ආණ්ඩුවක් බිහි කිරීම සඳහා මහජන නැගී සිටීමක් ඇති කිරීමටය.
මුජිකාගේ විප්ලවීය අදහස් හා ක්‍රියාකාරකම් හේතුවෙන් 70 හා 80 දශකවල පැවැති හමුදා රජයන් විසින් ඔහුව වසර 14ක පමණ කාලයක් සිරගත කර තිබූ බව වාර්තා වී ඇති අතර එම සිර දඬුවමෙන් වසර 10ක කාලයක් මුජිකා ගත කර ඇත්තේ තනි සිර මැදිරියකය. සිරෙන් නිදහස් වීමෙන් පසු ඔහු 2005 වසරේදී පාර්ලිමේන්තුවේ සෙනෙට් සභිකයකු වශයෙන් තේරී පත්ව ඇති අතර අනතුරුව කෘෂිකර්ම, ධීවර හා පශුසම්පත් ඇමැතිවරයා වශයෙන් කටයුතු කර තිබේ. මුජිකා 2009 වසරේ උරුගුවේ රාජ්‍යයේ පැවති ජනාධිපතිවරණයේදී ජය ලබමින් එරට ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. 2010 වසරේ මාර්තු 01 වැනිදා සිට 2015 දක්වා ජනාධිපති ධුරයේ රැඳී සිටිමින් මුජිකා ප්‍රගතිශීලි ප්‍රතිපත්ති ගණනාවක් ක්‍රියාත්මක කළ අතර එම ප්‍රතිපත්ති අතර ගබ්සාව අපරාධයක් නොවන ක්‍රියාවක් බවට නිවේදනය කිරීම, ගංජා භාවිතය නීතිගත කිරීම, සම ලිංගික විවාහයන් නීතිගත කිරීම, රටේ වෘත්තීය සමිති ශක්තිමත් කිරීම සඳහා අමතර ක්‍රියාමාර්ගයන් ගැනීම මෙන්ම අඩු වැටුප්තල නැති කිරීම ප්‍රධාන වේ. ජනාධිපති ධුරයට පත් විමෙන් පසු මුජිකා ජනාධිපති මන්දිරයෙන් බැහැරව ගොස් සිය කුඩා නිවසෙහි වාසය කරමින් රටේ පාලනය මෙහෙයවීය. ලොව සෙසු රටවල නායකයන් රාජ්‍ය සම්පත් උපරිමයෙන් භුක්ති විඳිමින් ජනාධිපති මන්දිරවල කාලය ගත කරද්දී, දැවැන්ත සුඛෝපභෝගී යාන වාහන පරිහරණය කරද්දී මුජිකා ගමන් බිමන් සඳහා භාවිත කර තිබුණේ පැරණි මාදිලියේ කුඩා මෝටර් රථයක්ය. 74 හැවිරිදි වියේදී ජනාධිපති ධුරයට පත් මුජිකා වරක් කියා සිටියේ ඔහුගේ ජීවිතයේ දුෂ්කරම කාලය ගත වූයේ වසර 14ක කාලයක් සිරගත කර සිටියදී බවයි. එම කාලයේදී තමා උමතු තත්ත්වයකින් පෙළුණු බවත් කුඹින් සමග කතාබස් කරමින් සිටි බවත් ඔහු පවසා තිබේ.
සිය රාජ්‍ය පාලන සමයේ සරල දිවියක් ගත කළ මුජිකා සිය ගෙවත්තෙහි මල් වැවීමට ද කටයුතු කර තිබිණි. ඔහු ජනාධිපති ධුරය දැරූ වසර පහක කාලය තුළ ජනාධිපති මැඳුර කරා නොගිය මුජිකා සිය බිරිය වූ ලුසියා සමග මොන්ටේවීඩියෝ නගරයේ පිහිටි සිය කුඩා නිවසෙහි වාසය කර ඇත්තේ ගෘහ සේවකයන් නොමැතිව ඉතා කුඩා ආරක්ෂක නිලධාරීන් පිරිසකගේ ආරක්ෂාව යටතේය. මුජිකාගේ පාලන සමයේ උරුගුවේ රාජ්‍යයේ දුප්පත්කම මෙන්ම විරැකියාව ද අඩු මට්ටමක පැවති බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. 2015 වසරේ ජනාධිපති ධුරයෙන් සමු ගැනීමෙන් පසු ඔහු අප්‍රසිද්ධ ජීවිතයක් ගත කළද ජනතාවගේ ආදරය ඔහුට නිතැතින්ම හිමි විය. ඒ ඔහු සැම විටම සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සේවය කිරීම හේතුවෙන් බව විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. ඔහුට පසුගිය වසරේදී උගුරේ පිළිකාවක් වැලඳී තිබූ අතර ප්‍රතිකාරවලින් අනතුරුව ඔහු සුවපත් වී තිබිණි. එහෙත් මුජිකාගේ වෛද්‍යවරුන් මෙම වසරේ ජනවාරි මාසයේ පවසා තිබුණේ එම පිළිකාව නැවත මතු වී හිටපු ජනාධිපතිවරයාගේ අක්මාව තෙක් වර්ධනය වී තිබූ බවයි. මුජිකාගේ මරණය පිළිබඳව උරුගුවේ ජනතාව මෙන්ම ශෝකයට පත්ව සිටින එරට වත්මන් ජනාධිපති යමන්ඩු ඕසි සිය එක්ස් සමාජ මාධ්‍යජාල ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ ‘ඔබට ස්තුතියි -ජනතාවට ලබා දුන් ගැඹුරු ආදරයට හා අප වෙත ලබා දුන් සැම දෙයකටම’ යනුවෙනි.
සංස්කරණය – ඒමන්ති මාරඹේ