පැරඩයිස් අද සිට ලොවපුරා

ලාංකීය සිනමා කේෂ්ත්‍රයේ සිටින සම්මානනීය අතිදක්ෂ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ බහුවිධ භාෂාවන් ගෙන් අධ්‍යක්ෂණය කරන ලද මලයාලම් නළු රෝෂන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන් සමගින් මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු තවත් ශ්‍රී ලාංකීය නළු නිළියන් රැසක් රංගනයෙන් එක්වූයේ තුන් වතාවක්ම ජාත්‍යන්තර සම්මානයට ද පාත්‍ර වීමට වාසනාවන්ත වූ කේරළයේ නිව්ටවුන් චිත්‍රපට සමාගම නිෂ්පාදනයෙන් දායකත්වය ලබාදුන් නවතම සිනමා නිර්මාණය වන පැරඩයිස් සිනමාපටය අද සිට දිවයින පුරා සිනමා ශාලා හතළිහකදී ප්‍රදර්ශනය ඇරඹේ. තෙලිඟු, මලයාලම් සිනමාවට ආදරය කරන ආදරණීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් පැරඩයිස් සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂ ප්‍රසන්න විතාන සමග දිවයින සිනමා කලා සංවාදයක නිරත විය.

●“පැරඩයිස්” සිනමාපටය නිර්මාණය කළේ කුමන කතාවක් පාදක කර ගෙන ද?

මෙම සිනමාපටය නිර්මාණය කළේ ලංකාව ඉතා දුෂ්කර කාලයක් පසු කරද්දී. තවමත් එය අවසන්ව නැහැ. නමුත් ඒ අවධියේ දී මට දැනුණ දෙයක් කියන්න සහ ඒ සම්බන්ධ ඒ හා බැඳුණු මනුෂ්‍ය ජීවිතවල හදවත ගැන කතා කරන ගැහැනු සහ පිරිමි මිනිසුන් කීපදෙනෙක්ගේ අභ්‍යන්තර අත්දැකීම් පිළිබඳව කතා කරන්නටයි.

දේශ සීමා අතික්‍රමණය කරලා තවත් කලාපයකට ඇතුළුවීමේ උත්සාහයක් මේ… - ප්‍රසන්න විතානගේ

● ජාත්‍යන්තර සම්මාන උළෙල තුනක දීම සම්මානයට පාත්‍ර වන්නටත් “පැරඩයිස්” සිනමාපටය වාසනාවන්ත වුණා. එහි අධ්‍යක්ෂවරයා විධියට එහි දී ඔබ මුහුණ දුන් අභියෝග පිළිබඳවත් අපි කතා කරමු ?

සිනමාකරුවකුට සෑම වෙලාවකම තියෙන අභියෝගය තමාට තමාමයි. අපි වෙනත් අය දිහා බලන්න නරකයි. තමාගේ අතේ කතා වස්තුවක් තියෙනවනම්, තමන් ඒ චරිත මෙහෙයවනවානම්, ඒ චරිත ගොඩනඟමින්, ඒ චරිතවල මනෝභාවයන්වලට ඇතුළු වෙලා ඒවා අභ්‍යන්තරයටම ගිහිල්ලා කොහොම ද මතු කරන්නේ කියන එක තමයි එකම අභියෝගය වන්නේ. ආසියාවේ ප්‍රමුඛතම අධ්‍යක්ෂවරුන් සමූහයක් විවිධ උළෙලවලදී සම්මානයට ලක් වූ තවත් රටවල ප්‍රමුඛ පෙළේ චිත්‍රපට අතුරින් මෙලෙස තුන්වතාවක්ම සම්මානයට පාත්‍ර වෙන්න වගේම තුන්වතාවක්ම නිර්දේශ වෙන්න ලැබීමත් මට ලොකු සතුටක් වගේම අභියෝගයකුත් වුණා.

● ලාංකීය සිනමාකරුවන්ට අපේ දේශ සීමා අබිබවා ගොස් තමන්ගේ වෘත්තියේ නියැළෙන්න පුළුවන් වතාවරණයක් තියෙනවා ද?

ඇත්තටම ඔව්. මම මෙතැනදී විශ්වාස කරනවා ලංකාවේ සෑම නිර්මාණකරුවකුටම අයිතියක් තියෙනවා, ඇත්තටම ඕනෑම රටක ඉඳලා, ඕනෑම රටකට ගිහිල්ලා තමන්ගේ වෘත්තියේ නියැළෙන්න, තමාගේ ප්‍රකාශනයේ යෙදෙන්න. ඉතින් මම හිතනවා මගේ මේ ජයග්‍රහණයත් මගේ සහෝදර සිනමාකරුවන්ට කිසියම් ආකාරයක උත්තේජනයක් වෙයි කියලා, අපේ දේශ සීමා අතික්‍රමණය කරලා තවත් කලාපයකට අපේ නිර්මාණවලින් ඇතුළු වෙන්න.

දේශ සීමා අතික්‍රමණය කරලා තවත් කලාපයකට ඇතුළුවීමේ උත්සාහයක් මේ… - ප්‍රසන්න විතානගේ

●“පැරඩයිස්”සිනමා නිර්මාණය ලාංකීය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අද සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම් ආරම්භ වෙනවා?

ඔව්. අද ඉඳලා ලංකාව පුරා සිනමාශාලා හතළිහක ප්‍රදර්ශනය ඇරඹෙනවා. ඊට අමතරව ලොව පුරා සිනමාශාලා පන්සිය හතළිස් ගණනකත් ප්‍රදර්ශනය ඇරඹෙනවා.

● මංගල දර්ශනයක් නොපවත්වාම චිත්‍රපටය තිරගත කරන්න විශේෂ හේතුවක් තියෙනවා ද?

ඔව්. ඇත්තටම කොළඹ ප්‍රධාන සිනමා ශාලාව වන Scope සිනමා ශාලාවේ සවස 7.00 දර්ශනයෙන් ලබන සම්පූර්ණ ආදායම අපේ සිනමා කලාකරුවන් හා සිනමා කාර්මිකයන්ගේ විශ්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් ජාතික චිත්‍රපට සංස්ථා භාරයට බැර කරන්න මම තීරණය කරා. ඒ නිසා තමයි අද මංගල දර්ශනයක් නොපවත්වාම චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ වන්නේ.

දේශ සීමා අතික්‍රමණය කරලා තවත් කලාපයකට ඇතුළුවීමේ උත්සාහයක් මේ… - ප්‍රසන්න විතානගේ

●“පැරඩයිස්”සාර්ථක කර ගන්නට සහාය වූ පිරිසත් සිහිපත් කරමු?

“පැරඩයිස්” සාර්ථක කර ගන්න මූල්‍ය දායකත්වය දැක්වූයේ, කේරළයේ නිව්ටන් චිත්‍රපට සමාගමයි. ඒ වගේම මේ චිත්‍රපටය ලෝකයට ඉදිරිපත් කරන්නේ, සුප්‍රසිද්ධ දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරයකු වන මනිරත්නම් මහත්මාගේ මැඩ්‍රාස් ටෝකීස් කියන චිත්‍රපට සමාගමයි. චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා, කේරළ සිනමාවේ ජනප්‍රියම නළු නිළි යුවළක් වන රෝෂන් මැතිව් සහ දර්ශනා රාජේන්ද්‍රන්. ශ්‍රී ලංකාවෙන් මහේන්ද්‍ර පෙරේරා සහ ශ්‍යාම් ප්‍රනාන්දු ඇතුළු තවත් නළු නිළියන් රැසක්ම සහභාගි වුණා. වනරාජිව් රවී කැමරාකරණයෙන් ද ශ්‍රීකර් ප්‍රසාද් සංස්කරණයෙන් ද දමින්ද මඩවල සහාය අධ්‍යක්ෂණයෙන් හා ට්‍රිලන් ශාස්ත්‍රී විධායක නිෂ්පාදනයෙන් දායකත්වය ලබාදුන්නා. ඉතින් මේ සියලුදෙනා ඒ අයගේ උපරිමයෙන් චිත්‍රපටයට සහාය දැක්වූවා වගේම මෙහි සම්පූර්ණ රූගත කිරීම ශ්‍රී ලංකාවේ සිදුකෙරුණා. පසු නිෂ්පාදන කටයුතු ඉන්දියාවේ දී සිදුවුණා.

පාරමී කෞෂිකා

දේශ සීමා අතික්‍රමණය කරලා තවත් කලාපයකට ඇතුළුවීමේ උත්සාහයක් මේ… - ප්‍රසන්න විතානගේ
advertistmentadvertistment
advertistmentadvertistment