වන්දි මුදල් ගන්න එකත් ලේසි වැඩක් නෙවෙයි

ලක්‍ෂ හතරකට ඉඩම් ගන්න පුළුවන්ද

මීට වඩා අපිත් නායට මැරුණානම් හොඳයි

පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් අත්වැල්තොට ප්‍රදේශය සිංහරාජ පරිවාර වනාන්තර ප්‍රදේශයට අයත් ස්වභාව සෞන්දර්යයෙන් මෙන්ම ජෛව විවිධත්වයෙන් ද අනූන සුන්දර ප්‍රදේශයකි. එසේම කළුතර දිස්ත්‍රික්කයේ සංවේදීම පරිසර කලාපය ලෙස අත්වැල්තොට පැලැන්ගඟ ප්‍රදේශය හඳුනාගෙන ඇත. අත්වැල්තොට ප්‍රදේශය සුන්දර දියඇලි කිහිපයක් පිහිටා ඇති සංචාරකයන්ගේ නෙත් සිත් පැහැර ගන්නා තෝතැන්නකි. අවට ප්‍රදේශවල ජනතාව නිවාඩුවක් ලද ඇසිල්ලෙන් තම ගත සිත විඩාව දුරුකර ගැනීමට අත්වැල්තොටට පැමිණෙයි. කෙතරම් සුන්දර පරිසර පද්ධතියක් අත්වැල්තොටට හිමි වුවත්, වසර හතක පමණ කාලයක සිට අත්වැල්තොට ප්‍රදේශවාසීන්ගේ ජීවත කතාව නම් එතරම් සුන්දර එකක් නොවේ. ඒ 2017 අත්වැල්තොට පන්සල ප්‍රදේශය නාය යෑමත් සමග ය. මෙම කතාව අලුත් වන්නේ වසර හතකට පෙර නාය ගිය ස්ථානය ම නැවත වරක් පසුගිය ජුනි මස නායයෑමට ලක්වීමත් සමග ය. මේ හිරිපොද වැස්සටත් හිත ගැස්සෙන අත්වැල්තොට ජනතාවගේ කඳුළු කතාවයි.

අත්වැල්තොට පන්සල අවට ප්‍රදේශය මුල්වරට නාය යෑමට ලක්වන්නේ 2017 වර්ෂයේ මැයි මාසයේදී ය. එම නාය යෑමෙන් නිවාස 6ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ජීවත 9ක් අහිමි විය. මතුගම කලවාන ප්‍රධාන මාර්ගය සතියක් පමණ අවහිර විය. මෙම නාය යෑමත් සමග ම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් සිදුකරන ලද පර්යේෂණ මගින් නිගමනය කර තිබුණේ අත්වැල්තොට හන්දිය සිට දංගලවත්ත දක්වා කිලෝමීටරයකට වැඩි ප්‍රදේශයක පිහිටා ඇති කඳු යාය ඉහළින් පිපිරී ඇති බව ය. එම නිසාවෙන් එම ප්‍රදේශය නාය යෑමේ අධි අවදානම් කලාපයක් ලෙස නම් කර ප්‍රදේශවාසීන්ට ඉවත්වන ලෙස දැනුම් දී තිබේ. අත්වැල්තොට ගංගාරාම පුරාණ විහාරස්ථානය අවුරුදු සීයකට වඩා පැරැණි ඓතිහාසික වටිනාකමක් ඇති විහාරස්ථානයකි. 2017 වසරේ දී මෙම ප්‍රදේශය මුල්වරට නාය යන විට අත්වැල්තොට විහාරස්ථානයේ තාප්පයට පමණක් හානි වී විහාරස්ථ භූමියට කිසිදු හානියක් සිදු නොවී ය. නමුත් පසුගියදා සිදු වූ නාය යෑමෙන් විහාරස්ථානයට දැඩි අලාභහානි සිදු විය. ජීවිත අහිමි වීමක් මෙවර සිදු නොවී ය.

අවතැන් වූවන් සඳහා රජයෙන් ගත් ක්‍රියාමාර්ග

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් අධි අවදානම් ප්‍රදේශයේ ජීවත්වෙන පවුල් 20කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන ඔවුනට තම නිවෙස්වලින් ඉවත් වන ලෙස දැනුම් දුන්හ. ඒ අනුව රජය විසින් ඔවුනට 2017 වසරේදී වන්දි මුදල ලෙස ලක්ෂ 16 ක් ලබා දීමට කටයුතු කර ඇත. මුලදී නිවාසවල වටිනාකම තක්සේරු කර එම තක්සේරු මුදල ලබා දීමට රජය එකඟ වුවත් පසු ව සියලු දෙනාටම එකම මුදලක් ලෙස ලක්ෂ 16 ක් ලබා දීමට තීරණය කර ඇත. මේ වන විට එම වන්දි මුදල ලබාගෙන පවුල් කිහිපයක් ඉවත් වුවත් නිවාස තනා ගැනීමට නොහැකිව තවමත් තමන්ගේ නිවෙස් තුළම මර බියේ ජීවත් වන්නට සිදු වූ කොටසක් සිටිති. මෙම ගැටලුව තුළ අප දැකිය යුතු පැතිකඩ කිහිපයක් ඇත. මිනිසුන්ට ජීවත් වීමට නිවසක් අත්‍යවශ්‍ය වනවා සේම ජීවත් වීමට ආදායම් මාර්ගයක් තිබීම ද වැදගත් ය. අත්වැල්තොට ප්‍රදේශයේ බහුතරයක් ගත කරන්නේ ගොවිතැන ජීවිකාව කරගත් පරිසරය සමග බද්ධ වූ ජීවිතයකි. ඔවුන් ජීවත් වන්නේ ඔවුන්ගේ තේ ඉඩම්වල වගා කටයුතුවලින් ය. නැතහොත් කුලියට වෙනත් අයවලුන්ගේ තේ දලු නෙළීමෙනි. වැඩිහිටි පිරිමි අය කිතුල් ආශ්‍රිත නිශ්පාදන තුළින් තම දිවි ගැට ගසා ගනී.

ප්‍රදේශවාසීන්ගේ අදහස්

නායගිය අත්වැල්තොට ආණ්ඩුවෙනුත් නාය යවයි

මාලා විජයන්ති එක් දරු මවකි. ඇයගේ නාය යෑමේ අත්දැකීම මෙසේ ය. අපි ඉන්නෙ අත්වැල්තොට පන්සල ළඟමයි. අපිට 2017 දී නාය යනකොටයි මේ ඊයෙ පෙරේදා නාය යනකොටත් දෙකේදීම කන්ද පුපුරනවා මහා සද්දෙන් ඇහුනා. මේ සැරෙත් මං මගෙ දරුවා අරගෙන මහ රෑ ගෙදරින් එළියට දිවුවා. මේ පාර නාය යනකොට රෑ 8.00 වගේ වුණා. එතකොට අපි තුන්දෙනා කාලා නිදාගන්න හැදුවා විතරයි. මං සද්දෙ ඇහුනම හයියෙන්ම කෑගැහුවා. මතක් වෙනකොටත් ඇඟේ හිරිකඩු පිපෙනවා එච්චරටම බයයි. අපි දෙන්නට කරන්න දෙයක් නැති නිසා මේ දරු පැටියත් තියන් මේ ගෙදර ඉන්නෙ. වහිනකොට හරි බයයි. මට දුක මගෙ දරුවා ගැන. අපිට බදුරලියෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මුලින්ම කිව්වා වන්දි මුදල අරන් අයින් වෙන්න කියලා. අපිට ගෙයක් හදාගන්න තරම් තත්ත්වයක් නැති නිසා අපි බදුරලියෙ හදනවා කිවුව තට්ටු නිවාසයෙන් නිවසක් ගන්න කැමති වුණා. ඒකත් අන්තිමට හැදුවෙ නෑ. ඊට පස්සෙ අපිට ඉඩමක් හොයාගන්න කිව්වා සල්ලි දෙන්නම් කියලා. ඒජී ඔෆිස් එකෙන් කියන විදියට ඉඩම් හොයන්නවත් ගෙවල් හදන්නවත් බෑ. සල්ලි තියෙන මිනිස්සු වන්දිය අරන් තමන්ගේ සල්ලිත් දාලා ගෙවල් හදන් ගියා අපි කොහොමද එහෙම කරන්නෙ. අපි ජීවත් වෙන්නෙ එදිනෙදා හම්බ කරන් ගහක් කොලක් වවාගෙන. මේ ඉඩම්වලින් ගිහින් අපි කොහොමද හම්බ කරන් කන්නෙ. අනික ලක්ෂ 16 කින් ඉඩමකුත් අරන් ගේකුත් හදාගන්න පුළුවන් ද. අපි එකතු කරපු සල්ලි නෑ ළඟ. ඒ නිසා තමයි හදපු ගෙවල්වලට නම් දුන්නෙ. ඒකත් නැති වුණාම අපිට කරගන්න දෙයක් නෑ මේ ගෙදරම ඉන්න එක ඇරෙන්න. මට දුක මගෙ දරු පැටියා ගැන. වහිනකොට රෑට නින්ද යන්නෑ. ඒත් අපි අසරණයි” ගොවිතැන ජීවිකාව කරගත් අසරණ ජනතාවගේ වෙහෙසකර දවසක් අවසානයේ හරි හැටි නින්දක් නොලැබ මහ වැසි ඇදහැලෙන විට ඔවුනට නිදි වර්ජිත රාත්‍රීන් ගත කරන්නට වීම කෙතරම් දුක්ඛජනක ද, මෙම ප්‍රදේශයේ අවැතැන් වූ ජනතාවට තම ජීවිකාව කරගෙන යෑමට පහසු පරිද්දෙන් අත්වැල්තොට ප්‍රදේශයට ආසන්න මොරපිටිය ප්‍රදේශයෙන් හෝ රජයේ ඉඩමක් ලබා දීමට කටයුතු කළ හැකි නම් එය ඔවුනට පහසුවක් බව ඇය පැවසුවා ය. එලෙසම නාය යෑමේ අවදානමට ලක් ව ජීවත් වන සුමිත් මහතා පැවසූවේ මෙවන් අදහසකි.

“මම දරුවො දෙන්නයි මගෙ නෝනයි එක්ක තමා ජීවත් වෙන්නෙ. මං හැම සතේම එකතු කරලා තට්ටු දෙකට ගේ හැදුවා. මං රස්සාවෙන් අයින් වුණ සල්ලිවලිනුත් ගේ හැදුවා. මහන්සිය දැන් ඔක්කොම වතුරෙ ගිහින් තියෙන්නෙ. 2017 නාය යනකොට මගෙ දරුවො දෙන්නම කැම්පස් යන්න තේරිලා තිබ්බෙ. ඒ වෙනකොට මං රස්සාවෙනුත් විශ්‍රාම අරන් තිබුණ නිසා අමාරුවෙන් දරුවො දෙන්නට උගන්නපු එක තමයි මේ වෙනකන්ම කළේ. ආයෙත් ගෙවල් හදන්න වියදම් කරන්න සල්ලි මං ළඟ නෑ. ලක්ෂ 16කට අද කාලෙ ගෙයක් හදාගන්න නෙමෙයි කාමරයක්වත් හදාගන්න බෑ. ඒ වන්දි මුදලත් ගන්න ලේසි නෑ. අපි ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නෙ. ඒක රජයෙ නිලධාරීන්ට තේරෙන්නෙ නෑ. එයාලා කියනවා මේක ඔයාලට දෙන සහනයක් කියලා. සහනයක් වුණත් ප්‍රමාණවත් විදියට හොයලා බලලා දෙන්න ඕනෙ නේද, සිමෙන්තිවල ගණන්, බාස්ලගෙ කුලිය එක්ක බැලුවම මේ කාලෙ ගෙවල් හදන එක හීනයක් වගේ”

අත්වැල්තොට නාගහ වංගුව අසල පදිංචි එච්. ඩී. රූපසිංහගේ හා ඔහුගේ බිරිඳගේ රැකියාව කුලී වැඩය. වසර ගණනාවක් හරි හම්බ කරගත් මුදලින් ලස්සන නිවසක් තනා ගත්තේ කෙදිනක හෝ සුවපහසු අනාගතයක් ගැන සිහින දකිමිනි. නමුත් අමාරුවෙන් හදාගත්ත නිවස දෙස බලා ඔවුනට හෙලන්නට සිදුව ඇත්තේ සැනසුම් සුසුම් නොව දුක් කඳුළැලි ය. ඔහු තමන් පත්ව ඇති අපහසුතාවය වචනවලට පෙරලුවේ මෙසේ ය. “2017 නාය යනකන්ම අපිට නාය යෑම් ගැන අත්දැකීමක් තිබ්බෙ නෑ. අපේ පරම්පරා ගාණනක්ම පදිංචි වෙලා ඉන්නෙ මේ ගමේ. මාත් හරි අමාරුවෙන් රුපියලෙන් රුපියල එකතු කරලා තමයි මේ ගේ හැදුවෙ. අපේ ඔක්කොම සල්ලි මේ ගෙවල් හදන්න වියදම් කරලා තියෙන්නෙ. රජයෙන් කියන විදියට ඉඩම් අපිට දෙන්න ඉඩම් අයිතිකාරයො කැමති නෑ. අපේ නමට ඉඩම ලිවුවම තමා අයිතිකාරයට සල්ලි හම්බෙන්නෙ. එහෙම අපේ කට්ටියකට ඉඩම් දීපු කෙනෙක්ට ඉඩම්වලට සල්ලි හම්බුණේ නෑ අන්තිමට. ඒකෙන් පස්සෙ මේ ළඟපාතින් අපිට ඉඩමක් ගන්න බෑ. ඉඩම් අයිතිකාරයෝ බයයි රජයෙන් සල්ලි දෙනකම් අපිට ඉඩම් දෙන්න. අපිට අපේ අතින් සල්ලි දාලා ඉඩම් ගන්න සල්ලි නෑ. එහෙම සල්ලි තියෙනවානම් අපි මෙහෙම බයේ මේ ගෙවල්වලට වෙලා ජීවත් වෙන්නෙත් නෑ. මේ ළඟකදිත් අපි ඉඩමක් ගන්න ගියා, ඒකත් ස්වර්ණ භූමි ඉඩමක් කියලා අපිට වන්දි දෙන්න බැහැයි කිව්වා. ඉතිං අපි ලක්ෂ හතරකට සින්නක්කර ඔප්පු තියෙන පර්චස් දහයක් කොහෙන්ද ගන්නෙ? ඒ ගාණට අපිට කවුද ඉඩම් දෙන්නෙ? දුර පළාත්වලට ගිහින් ජීවත් වෙන්නත් බෑ අපේ තේ ඉඩම් තියෙන්නෙ මේ ගමේ. අපිට ගම දාලා දුරකට ගිහින් ජීවත් වෙන්න හම්බකරගන්න විදියක් නෑ. මීට වඩා අපිත් නායට මැරුණා නම් හොඳයි කියලා හිතෙනවා. වැස්ස වැඩි වෙනකොට ග්‍රාම නිලධාරී කතා කරලා කියනවා අපිට ගෙවල්වලින් තාවකාලිකව අයින් වෙන්න කියලා. මෙහෙට ඉතින් හැමදාම වැස්ස. හැමදාම කොහෙවත් ගිහින් ඉන්නත් බෑනෙ.”

නිලානි රේණුකා මහත්මිය කුලී රැකියාවෙන් ජීවත් වන එක්දරු මවකි. ඇය කියන්නෙ ඇයට ගෙවල් සෑදීමට නොහැකි නිසා තට්ටු නිවාස හෝ අගලවත්තෙ පිඹුරවත්ත නම් රජයේ ඉඩමේ රජයෙන් සාදා දෙන නිවාසයක් ඉල්ලා සිටි බවය. මුලදී රජයේ වියදමින් සදා නිමකළ නිවෙස් ලබා දීමට පොරොන්දු වුවත් ඒක රජයට වියදම් වැඩියි කියලා නවත්තලා දැම්මා. පස්සෙ අගලවත්තෙ ඉඩම් ඉල්ලුවත් ඒකත් හම්බුනේ නෑ ඉඩම් ඔක්කොම දීලා ඉවරයි කිව්වා. මගෙ අම්මා ඉන්නෙත් මගෙ ගෙදර එයා එක්තැන්වෙලා ඉන්නෙ. එයාවත් අරන් මට කොහෙවත් වහිනකොටවත් යන්න බෑ. මගෙ දරුවත් මේ වසරෙ උසස් පෙළ ලියනවා. දරුවගෙ අධ්‍යාපන වැඩත් අතපසු වෙනවා. මෙහෙට දවස් ගණන් වහිනකොට අපිට කොහෙවත් නෑදෑ ගෙදරකටවත් යන්න බෑ. මේ පැත්තෙ ඔක්කොම ගෙවල් අවදානම්. අපිට සල්ලි දීලා ඉඩම් ගන්න තරම් වත්කමක් නෑ. වැස්සට හූල්ල හූල්ල තමයි අපිට ජීවත් වෙන්න වෙන්නෙ”

වන්දි ලබා දෙන ආකාරය

මෙම ප්‍රදේශය මුල්වරට නාය යෑමත් සමග පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් පවත්වා ජනතාව දැනුවත් කළ ආකාරයටම පසුගිය දිනකද නාය යෑමෙන් දින කිහිපයකට පසු නැවතත් අධි අවදානම් ප්‍රදේශවල ජීවත්වන අයට ඉක්මනින් ඉවත්වන ලෙස දන්වා තිබේ. නමුත් වන්දි මුදලේ හෝ එය ලබා දීමේ ක්‍රියාපටිපාටියේ කිසිදු වෙනසක් සිදුව නැත. මෑතක දී අවතැන් වූවන්ගේ නම් ලැයිස්තුවට තවත් පවුල් 15ක් පමණ එක්කර ඇත. එසේ එක් නොවූ අවදානම් පවුල් රාශියක් තවත් අත්වැල්තොට සිටී. රජය විසින් අවතැන් ජනතාවට වන්දි මුදල් ලබා දෙන ආකාරය මෙසේය. තමන්ට හිමි ඉඩමක නිවසක් තනනවා නම් ඔවුනට ලබා දෙන වන්දි මුදල ලක්ෂ 12කි. එවිට ඔවුනට ඉඩම සඳහා හිමිවන ලක්ෂ 4 අහිමි වේ. නිවස තැනීම සඳහා හිමිවන ලක්ෂ දොළහ ලබා දෙන්නේ ද අදියර ගණනාවක් යටතේය. නිවසේ අත්තිවාරම දැමීම සඳහා ලක්ෂ 2ක් හා බිත්ති බැඳීමට ලක්ෂ 2ක් ද, නිවස අවසන් කිරීමට ලක්ෂ 3ක් ද ආදී වශයෙන් අදියර ගණනාවකින් අනතුරුව ය. අවසන් වන්දි මුදල ලබා ගැනීමට නම් නිවසේ වහළ හා උළුවහු ජනෙල් ගැලවිය යුතුය. ඉන්පසු විදුලිය ලබා දීම ද අත්හිටුවයි. සාදන නිවස වර්ග අඩි 750කට වඩා වැඩි විය යුතු අතර නිවසේ සැළසුම අනුමත මිනුම්වලට අනුකූල විය යුතු ය. ඉඩම පර්චස් 10කට නොඅඩු විය යුතු ය.
ගංවතුරට අසුවන පහත් බිමක් නොවිය යුතු අතරම උස් බිම් හෝ වගුරු බිම් ගොඩකළ ඉඩමක් ද නොවි ය යුතුය. තව ද ඉඩම මිලදී ගැනීමට ලක්ෂ 4ක මුදල ලබා දෙන්නේ සින්නක්කර ඔප්පු සහිත පර්චස් 10 හෝ ඊට වැඩි ඉඩමක් හා ඉහත සඳහන් අනෙක් උපද්‍රවයන් නොමැති ඉඩම්වලට පමණි. සාදා නිමකළ ගෙයක් සහිත ඉඩමක් මිලදී ගැනීමට වන්දි මුදලක් ලබා ගැනීමද පහසු නොවේ. මිලදී ගන්නා නිවස සියලු වැඩ අවසන් කළ නිවසක් විය යුතුය. වසර දහයකට වඩා පැරැණි නිවෙස් මිලදී ගැනීමට වන්දි මුදල් ලබා නොදේ. වන්දි මුදල් ලබා ගැනීමට දින ගණන් තමන්ට රස්තියාදු වීමට සිදු වන බව එම ප්‍රදේශවාසීන් පවසයි. ඔවුන් පැවසුවේ “දවස පුරාම එක එක ඔෆිස් ගාණෙ රස්තියාදු වුණාම අපිට දවසෙ කුලියවත් කරගන්න වෙන්නෙ නෑ. මෙහෙම වුණාම නාය ගිහින් නෙවේ බඩගින්නෙ මැරෙන්නයි වෙන්නෙ අපිට” යනුවෙනි. මැරුණත් නිදහසේ අවසන් ගමන් යෑමටවත් අත්වැල්තොට ප්‍රදේශවාසීන්ට නොහැක. පසුගියදා නාය යෑම සිදු වූ දින අත්වැල්තොට ප්‍රදේශයේ නිවසක මළගෙයක් තිබී ඇත. එක්වරම නිවස ඉදිරිපසෙන් නාය යෑම නිසා මිනිය නිවසේ දමා නිවැසියන්ට පැන යන්නට සිදුව තිබේ. එතරම් දුක්බර ජීවත කතා අත්වැල්තොට ජන ජීවිතයේ ඇත.

නායගිය අත්වැල්තොට ආණ්ඩුවෙනුත් නාය යවයි
2017 නාය යෑම

ලංකා රජය ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) හා සම්බන්ධ වෙමින් එම බැංකුවේ ආධාර මත ශ්‍රී ලංකාවේ පළාත් 6ක දිස්ත්‍රික්ක 11ක නාය යෑම් සිදුවන ස්ථාන පිළිසකර කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණි. ඒ අනුව නාය යෑමට ලක්වූ අත්වැල්තොට පන්සල ප්‍රදේශයද නැවත පිළිසකර කිරීමේ ව්‍යාපෘතියට අනුව පිළිසකර කළේය. එහි සාර්ථක අසාර්ථක බව පිළිබඳව පරිසර සංවිධාන විසින් විවිධාකාර අදහස් දක්වා තිබුණි. විශේෂයෙන් මධ්‍ය කඳුකරය ඇතුළුව, ශ්‍රී ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් පහෙන් එකක් නාය යෑමේ අවධානමට ගොදුරුව ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අධ්‍යයනයකින් අනාවරණය කර තිබේ. ඒ අතරට කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය නිතැතින්ම ඇතුළත් වන්නේ ප්‍රදේශය උස් කඳු බෑවුම් සහිත නිරන්තරයෙන් අධික වැසි ලැබෙන ප්‍රදේශයක් නිසාවෙනි. තවමත් කළුතර දිස්ත්‍රික්කයට පමණක් නොව දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම කඩින් කඩ වැසි ඇද හැළෙමින් පවතී. කළුතර දිස්ත්‍රික්කයට වැසි ඇද වැටීම අඬන්න බලන් සිටින අයෙකුට ඇඟිල්ලෙන් ඇනීමක් වැනිය. එතරම් වැහිබර කාලගුණයක් කළුතරට ඇත. ඉතින් අත්වැල්තොට ප්‍රදේශවාසීන් නිරන්තරයෙන් සිටින්නේ මර බියෙනි. පොද වැස්සකටත් හිත ගැස්සෙන ඔවුන්ගේ ඉරණම දෙවියන්ට භාර දී හිත හදාගන්නට ඔවුන්ට සිදුව ඇත. 2017 වසරේ දී ලක්ෂ 16ක් වැයකොට සෑදූ නිවසක් මේ වෙනකොට එම මුදලින් සාදා ගැනීමට සිතීම ද අහස උසට ගිය ගොඩනැඟිලි අමුද්‍රව්‍ය මිල ගණන් සිහිපත් කරනවිට සිහිනයකි. මුදල් ඇති මිනිස්සුන් සේම දුප්පත් අහිංසක මිනිසාගේ ද ජීවිතය එක හා සමානව වටිනාකමක් තිබිය යුතුය. අප වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අත්වැල්තොට නායෙ යෑමෙන් ඉකුත් සත් වසර පුරාවටම සෝ සුසුම් හෙළන ජනතාවගේ ගැටලුවලට සාධාරණ විසඳුමක් ලබා දීමට කටයුතු කරන ලෙසට ය.

රශ්මි කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment