චිලි ජාතික මහා කවි පබ්ලෝ නෙරූඩා විසිවැනි සියවසේ විශ්ව සාහිත්‍ය අලෝකවත් කළ මහා කවියෙකි. ග්‍රන්ථ කතුවරයෙකි. දේශපාලනඥයෙකි. රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. ඒ හැමටම වඩා අවංක, ත්‍යාගශීලි, ආදරණීය මිනිසෙකි.
අනෙක් ලතින් ඇමෙරිකානු ලේඛකයන් අතර නෙරූඩා කැපීපෙනුණේ ‘සම්භාව්‍ය ලතින් ඇමෙරිකානු කවිය’ මුල්වරට බිහි කළ වීරයා ලෙසිනි. තවද හෙතෙමේ ‘පශ්චාත් නූතනවාදී ස්පාඤ්ඤ කවිය’ නවීකරණය කළ මහා කවියා ලෙසින් ස්පාඤ්ඤ සාහිත්‍ය ඉතිහාසයේ ද කීර්තිමත් වූවකි.
1971 සාහිත්‍ය පිළිබඳ නොබෙල් තිළිණයට හිමිකම් කීමට සමත් වූ නෙරූඩා ලොව වඩාත් ප්‍රචලිත වූයේ ඔහු ලියූ පෙම් කවි හරහාය. ඔහු විසින් සම්පාදනය කරන ලද Veinte Poemas de amor (පෙම් කවි විස්සක්) පද්‍ය සංග්‍රහය එදා මෙදා තුර ලොවැ වඩාත් අලෙවි වන හා වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වී තිබේ.
නෙරූඩාගේ සාරවත් පෙම් කවිවල කළමනා වූයේ තමා විසින් ඇසුරු කරන ලද පෙම්වතියන්, බිරින්දෑවරුන් හා ලත් අත්දැකීම්ය. 1970 වර්ෂයේ රීටා (Rita Guibert) නමැති මාධ්‍යවේදිනිය සමග පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී නෙරූඩාගෙන් ඇය මෙසේ අසන ලදී.
‘ආසියාතික රටවල ඔබේ නිර්මාණ පෞද්ගලික ජීවිතය හා බැඳිලා නේද?’ ඊට නෙරූඩා දුන් පිළිතුර මෙසේ විය.
ස්වභාවයෙන්ම කවියකුගේ ජීවිතය කවිවල පරාවර්තනයවන්ට ඕනෑ. එය තමයි කලාව හා ජීවිතයේ නියමය.
එබැවින් ඔහු ලබා ඇති අත්දැකීම් නිසා ප්‍රේම කාව්‍ය උසස් තලයකට ගෙන ඒමට ආලෝකයක් ලබාදී ඇති බව පෙනේ. ‘පෙම් කවි විස්සක්’ පද්‍ය නිර්මාණවලින් එය මොනවට පැහැදිලි වේ. නොබෙල් ලාභියකු වීමට ද මහා කවියාට නිසැකවම ඔහු ලියූ පෙම් කවි බලපෑ බව නොරහසකි. ප්‍රසිද්ධ පෙම්වතෙක් ලෙසද සැලකෙන කවියා පෙම් කළ ළඳුන් තේමා කොට ලේඛකයන් විසින් ග්‍රන්ථ පවා ප්‍රකාශයට පත් කර තිබේ. කවියාගේ පෞද්ගලික තතු හා සබැඳි ගද්‍ය හා පද්‍ය රචනා සලකා බැලූ විට ඔහු කිසිවක් හදේ සඟවා නොගෙන සියලු රහස් එළිදරව් කර ඇති බවද පෙනේ. ඔහු පෙම් කළ ළඳුන්ට අප ස්තුති කළ යුතුය. ඔවුන් නිසා ඉතිරි කර ගොස් ඇති පෙම් කවි විශ්ව සාහිත්‍යයේ සදාකල්හිම පවතින බැවිනි.
දැන් අපි කවියාගේ ආන්දෝලනාත්මක ආදර ලෝකය ගැන විමසා බලමු.
ජීවිතයේ මුල්වරට දරුවකුගේ නෙතට දසුන් වන කාන්තාව වන්නේ වැදූ මවුන්ය. එහෙත් නෙරූඩාට සිය මව ගැන මතකයක් නොමැත. තමාට දෙමස් වියේදී මව මියගිය බැවිනි. මේ බව ‘La isla Negra’ (අඳුරු දිවයින) නමැති කවි පෙළක පරාවර්තනය වෙයි.
නොමැත මා මතකයේ – කවදාක කොතැනකදි
දිටිම් දෝ රුව ඇගේ – සිහින් දූවිලි මිසක
ගිම්හාන කල විසුළ –
සොහොන් කොත් පීරා – සොයමි සිහිනය ‘අම්මා’
අඬගසමි කෑ ගසා – බලනු වස් වන ඇගේ
ඒත් ඇය සැඟවිලා – ගැඹුරු පොළවේ ගුලක
සියත් මළවුන් අතර…
දන්නේ නැතිව ඇති – ඇහෙන්නේ නැතිව ඇති
නොදෙන්නේ පිළිතුරක් – තනිවම ගොසින් ඈ
තනිකර දා පුතුන්
වැන්දඹු පියාගේ දෙවැනි බිරිය, ‘කන්ඩියා’ (Candia) බිලිඳාගේ ‘හැදූ වැඩූ මව’ වූවාය. ගෞරවාන්විත පිළිරුවක් සේ මතකයේ ඇය ජීවත්වන බව නෙරුඩා පවසයි.
මග දසුන් වන පරිදි – පහන දල්වා යන
මා නිදිගත් සැණින් – පහන් සිළ නිවා යන
පුංචි අම්මා මගේ – සෙනෙහෙ තැවැරූ හදින්
රැක ගත්තාය මා…
නෙරූඩාගේ ළදරුවිය ගැන ජෝර්ජ් ඩයස් නම් ලේඛකයා විසින් තබන ලද සටහනක මෙසේ දැක්වේ.
‘නෙරූඩාගේ සුළු මව හැම දවසකම දරුවාට ආලෝකය ලබා දුන්නා. ඔවුන් විසූ කැලෑබද පරිසරය හා කෙත්වතුවල සුන්දරත්වය ආදී ආකර්ෂණීය දේවල් ඔහුට පෙන්වූවා. ඇය පබ්ලෝට සැලකුවේ ඇගේම දරුවකුට වගේ…’
නෙරූඩාගේ පාසල් ප්‍රේමය ‘අල්බෙර්තිනා’
තුරුණුවියේදී නෙරූඩා ඇසුරු කළ පෙම්වතියන් අතර අල්බෙර්තිනා (Albertina Azocar) පිළිබඳව විශ්ව සාහිත්‍යයේ පුළුල් ලෙස ලේඛනගතවී තිබේ. නෙරූඩා ඇය හා පෙමින් බැඳුණේ ඇය සමග එකම පන්තියේ ප්‍රංශ බස හැදෑරූ දිනවලය. ඒ වන විට ඇගේ වයස අවුරුදු දහසයක් ද නෙරූඩාට දහහතක් ද විය. අල්බෙර්තිනා නෙරූඩාගේ හොඳම මිතුරා වූ රූබෙන් (Ruben Azocar) ගේ සොයුරිය යි. (එවකට රූබෙන් කවියකු හා නවකතාකරුවකු වශයෙන් ප්‍රසිද්ධියක් ලබා සිටියේය).
නෙරූඩා – අල්බෙර්තිනා ප්‍රේමය ගොඩනැඟුණේ පන්ති කාමරයේ, පාර තොටේ හා පාසලේ පිහිටි පැරැණි ගොඩනැඟිල්ල වටා වූ කොරිඩෝව දිගේ (අපේ සාහිත්‍යයේ දම්මි – සුගත් සේ) ය.
දෙමවුපියන්ගේ විරෝධතා මධ්‍යයේම 1921 – 1927 කාලසීමාවේ නෙරූඩා ඇයව ඇසුරු කළේය.
නෙරූඩාට කොන්සල් රාජකාරිය සඳහා ආසියාකරයට යෑමට සිදුවූයේ ඒ අතරය. (විවිධ හේතූන් මත ඔහු සත්‍ය ලෙස පෙම් කළ අල්බෙර්තිනා කලකට පසු ඔහුට අහිමි විය.).
ඔහු මුලින්ම සේවය කළ බුරුමයේ සිට අල්බෙර්තිනාට ආදර හසුන් යැවීය.
“වැහි සමයේ අප දෙදෙනා ඔය පළාතේ ගත කළ අයුරු මට සිහිවෙනවා. හුරුබුහුටි තොප්පිය… සන්සුන් කුරුලු හඬ… දිලිසෙන දෙනෙත… සොඳුරු සැඳෑවක ඔයා දිය මතට වැටෙන පත්‍ර අල්ලනවා… ඔයාගේ ආත්මයම මගේ දෑත්වලට ඇලීලා… ගසක එතුණු මිදි වැලක් වාගේ… මගේ සතුටුබර හාදු සජීවී වදන් වී කඩදාසිය මතට වැටෙනවා.”
ඇතැම් විට නෙරූඩා බොළඳ වදන්වලින් ඇය ඇමැතුවේය. මගේ ඇටමැස්සි, ගෙම්බි, නයි පැටික්කි, බෝනික්කි, කැත මැස්සි ආදී හාස්‍යය දනවනසුලු ඇමැතීම් ද විය.
‘චූටියෝ… ඊයේ පුවත්පත කියවන්න ඇතිනේ. එහි Tu estas ausente (මා ළඟ නැති නුඹ) මාතෘකාවෙන් කවි පෙළක් පළවී තිබෙනවා. ඔයා මට දින දහයකින්වත් හසුනක් ඒවා නැහැ. හැන්දෑවේ තණ බිමේ වැතිරී ගෙන මා ඔයා ගැන හිතමින් ඉන්නවා.
පෙම්වතියගේ දිගුකාලීන නිහඬතාවයෙන් කලබලයට පත්ව ලියා ඇති එම කවි පෙළ රස විඳිමු.
නිහඬතාවය නුඹේ – පුබුදුවයි හද මගේ
නෑ වගෙයි නුඹ එවිට….
දුර තියා මගේ හඬ – ඇසෙන මුත් දෙසවනට
යොමු නොවේ දෙකන් පෙති – මගේ හඬ අල්ලන්ට නීල නෙතු – පියාපත් ඉගිළිලා දෝ
හාදුවෙන් දෙතොල් පෙති – පියවිලා දෝ
සිහින සමනලිය මගේ – ආත්මයෙ සරන්නේ
මිලාන වූ වදන්වල – නුඹේ සේයා පෙනේ
නිහඬය අහෝ නුඹ – දිලෙන පහන් සිළ සේ
චාම් මුදුවක් සේ – නිසංසල රැය සේ
අර ඈත නුඹ කුසේ – සන්සුන්ව දිදුලනා
තරු කැකුළ විලාසේ….
අහෝ නිහඬය නුඹ – මියැදිලා සේ…
ඊට සති කිහිපයකට පසුව නෙරූඩා ඇගෙන් සමු ගත්තේය. පැතුම් සුන් වූ හදින් යුතුව හෙතෙම සිය මිතුරු හෙක්ටර් වෙත හසුනක් ලියයි.
‘මට ඇතිවූ හානිය තේරුම් ගැනීමට තරම් මා දක්ෂ නැහැ. ඇය මගේම කරගන්නට මට ඇවැසි වුණා. ඈ එතැයි සිතා නිවසක් කුලියට ගෙන මුළුතැන්ගෙයි කලමනා පවා රැස් කර තැබුවා. නැහැ ඇය ආවේ හෙක්ටර්, කිසිදාක ඇය ආවේ නැහැ. එය භයානක වේදනාවක්. මා තුළ මා ම පිච්චී යන බවක් මට දැනෙනවා. එය හමාරයි නිමයි…’
‘පෙම් කවි විස්සක් පද්‍ය සංග්‍රහයේ විසිවැනි කවිය ලියැවුණේ ඒ දිනවලය.
ලියන්නට හැකිය මට – දුකින් පිරී ගීත වැල්
නිසංසල මේ රැයේ දහස්වර හිත නැඟෙන
කළුවර රාත්‍රිය… නීලවන් තාරුකා – සීතල පවන් රැලි…
මේ හැම දේ ගැනම ලියන්නට හැකිය මට
සියලු දේ වී නිමයි – එපමණයි සියල්ලම
දැනේ මට පාළුවක් – නොමැතිව නිමාවක්
පවසන්ට ඒ බවක් – වදන් එකිනෙක නැඟේ
තැනි බිමේ තණ මතට – පිනි වැටෙන විලාසෙන්
එතැන් සිට නෙරූඩා – අල්බෙර්ති පෙම් බැම්ම කැඩී ගියේය. අල්බෙර්ති, නෙරූඩාට අකැමැති වූයේ දෙමාපිය විරෝධතාවය නිසාද? එසේ නැති නම් අල්බෙර්තිනා විසින් නෙරූඩා වෙත එවන ලද පිළිතුරු හසුන් ‘ජොසී’ (බුරුමයේ පෙම්වතිය) විසින් විනාශ කර දමන්නට ඇත්ද? එසේත් නැති නම් ජොසී, නෙරූඩා සබඳතාවය ගැන අල්බෙර්තිනාට ආරංචි වී ඇය විසින් නෙරූඩා අතහැර දැමුවාද?
කෙසේ වෙතත් අල්බෙර්තිනා පසුකලෙක නෙරූඩාගේ මිත්‍ර ‘අන්ගෙල්’ (Angel) නම් තරුණයා සමග අතිනත ගත් බව නෙරූඩාට දැනගැනීමට ලැබී ඇත්තේ වසර ගණනාවකට පසුවය.
එය එසේ වුවද අන් සෑම සබඳතාවයකටම වඩා නෙරූඩා – අල්බෙර්තිනා පෙම එදා මෙදා තුර විශ්ව සාහිත්‍යයේ පුළුල් ලෙස කතා බහ කෙරේ. නෙරූඩා විසින් අල්බෙර්තිනා වෙත යවන ලද පෙම් හසුන් එකතුකොට ග්‍රන්ථ පවා සම්පාදනය වී තිබේ. ඒවායේ විශේෂයෙන් දක්වා ඇත්තේ දෙදෙනා වෙන්වීමට හේතු පැහැදිලි කිරීම්, පරිසර විස්තර, ආදරය මෙන්ම කලහ ආදියයි. එම ග්‍රන්ථ පිළිබඳ නෛතික ගැටලු පවා උද්ගත වූ බව කියැවෙතත් පසු කාලයේ ඒවා ආදරය උතුරා යන රසවත්, දුක්බර හා හැඟුම්බර විශ්වීය ලේඛන බවට පත් විය.
නෙරූඩා ද සලකන්නේ අල්බෙර්තිනා තමාගේ ශ්‍රේෂ්ඨතම පෙම්වතිය ලෙසය.
ගිනිගත් සමය:
බුරුමයේ රාජකාරිය කළ කාලසීමාව නෙරූඩා විසින් හඳුන්වා ඇත්තේ ‘ගිනිගත් සමයක්’ ලෙසිනි. එහිදී තමා හා ඇසුරට පත් ජොසී (Josie Bliss) කපටි, නපුරු ගැහැනියක වීම ඊට හේතුවයි. ඇය ඔහුගේ කොන්සල් පදවියටත්, දීමනා හා පහසුකම් ආදියටත් අල්බෙර්තිනා – නෙරූඩා පෙමටත් ඊර්ෂ්‍යා කළ බවත් තමාට තැපෑලෙන් ලැබුණු හසුන් පාර්සල් ආදිය සොරකම් කොට විනාශ කළ බවටත් නෙරූඩා චෝදනා කරයි. ඇය කෙරෙහි බැඳීම නිසා නෙරූඩාට සිදුවූ නින්දා, අවමන් හා කරදර බොහෝ විය. එබැවින් නෙරූඩා තරමක් පසුතැවිලි වී ඇති බව පෙනේ.
‘එකල මගේ පෞද්ගලික ජීවිතයේ කරදර තිබූ නිසා වෙන්ට ඇති, බුරුම ගැහැනිය වැන්නියක හා එක් වරම බැඳුණේ..’
අල්බෙර්තිනාගේ පසුබැසීමත් එකල නෙරූඩාගේ පවුලේ ආර්ථික කරදරත් නිසැකවම ඔහුට බලපාන්නට ඇති. ජොසී විසින් ඇති කළ අනතුරුදායක අවස්ථාවලට පසු එම සබඳතාවය ද ගිනි ගත්තේය. නෙරූඩා ලක්බිමට මාරුවී කොළඹ නගර මධ්‍යයේ නවාතැනක් සෙවූවද හමු නොවූ බැවින් වැල්ලවත්ත වැනි ජනාකීර්ණ පෙදෙසක නවාතැන් ගන්ට ඔහුට සිදුවිය.
එවන් වූ හුදෙකලා පෙදෙසක අසහනදායි තනිකමෙන් ගෙවූ කාලයකය. අහම්බෙන් දමිළ යුවතියක් සමග ලිංගිකව ක්‍ෂණික මොහොතක් ගෙවීමට සිදුවන්නේ. එය දුර දිග නොබලා ඔහු ගත් තීරණයක් විය. ඒ හමුව ගැන නෙරූඩා මෙසේ පවසයි.
‘ඇය මගේ වටිනාකම අඩු කළා. මා ඒ අත්දැකීම යළි කිසිදාක ලැබුවේ නැහැ. මා කෙරෙහි මටම කලකිරීමක් ඇති වුණා. ඒ මොහොත මට කරදරයක් වූ අවස්ථාවක් ලෙස මා මතකයේ තබා ගත්තා.’
අල්බෙර්තිනා ගත් මුරණ්ඩු තීරණයක් අවාසනාවන්ත ලෙස සිදුවූ ඉහත කී කරදරයක් ගැන නෙරූඩා 1930 දී ජාවා රටට ගිය පසු නිස්කලංකව සිතීමටත් පසුතැවිලි වීමටත් පටන් ගත්තේය. මේ අතර ඔහු ඕලන්ද ළඳක් හා ඇසුරක් පටන් ගන්නේ. මරියා (Maria Antonieta) නම් වූ ඇය ස්පාඤ්ඤ හෝ ඉංග්‍රීසි භාෂා දැන නොසිටිය අතර නෙරූඩා ඕලන්ද බස දැන සිටියේ නැත. නෙරූඩා විසින් මරියා විවාහ කර ගත් නමුදු ජීවිතය එකිනෙකාට ආගන්තුක බවක් දැනෙන්නට පටන් ගත්තේය. මරියා කවියට හෝ කලාවට බර නොවූ චරිතයක් වීම නිසා නෙරූඩා තනිකමෙන් තව තවත් උමතු වූවා සේ විය.
මේ අතර, 1933 දී නෙරූඩාට බුවනෝස් අයර්ස් හි සේවය සඳහා යෑමට ලැබෙන්නේ. ඒ ශ්‍රේෂ්ඨ මහා කවියකු හා නාට්‍යවේදියකු වූ පෙදෙරිකෝ ගර්සියා ලොර්කා ගේ ඛේදාන්තය ‘බ්ලඩ් වෙඩින්’ (Bodas de Sangre) බුවනෝස් අයර්ස් හි ජයග්‍රාහී ලෙස වේදිකාගත වෙමින් තිබූ කාලසීමාවයි. නෙරූඩා ලොර්කා සමග මිත්‍රත්වයක් ඇති කර ගත් අතර ඒ හැඳුනුම්කම නිසාම 1934 නෙරූඩාට ස්පාඤ්ඤයේ චිලි තානාපතිවරයා ලෙස රාජ්‍ය සේවයට සම්බන්ධ වීමට හැකි විය. ඒ සමගම ගර්සියා ලොර්කා ප්‍රමුඛ ‘1927 කවි පරම්පරාවට’ ඈඳී කාව්‍යකරණය උචිත සංකේත, උපමා උපමේය ආදියෙන් වර්ණවත් කර ගත්තේය. රොමැන්තික වාදය, අධියථාර්ථවාදය ආදී උසස් තත්ත්වවලින් නිර්මාණ ඔපවත් කර ගෙන ‘නූතන ස්පාඤ්ඤ කවිය නවීකරණය කළ මහා කවියා’ ලෙසින් ස්පාඤ්ඤ සාහිත්‍ය ඉතිහාසයට එක් විය.
මේ අතර 1934 අගෝස්තු මස දහඅට වැනිදා මරියා දියණියක බිහි කළාය. මල්වා මරිනා (Malva Marina) නම් වූ සිඟිත්තිය උපතින්ම දරුණු රෝගයකට (Hydrocephalus) ගොදුරු වී සිටි බැවින් ඇය ජීවත් කරවීමට අපහසු බවට වෛද්‍යවරුන් විසින් අනාවැකි පළකොට තිබිණි. නෙරූඩා ඉතා උනන්දුවෙන් ශාස්ත්‍රීය කටයුතුවල නියැළෙමින් සිටි දිනවලම දරුවා උපත ලැබීම මෙන්ම නිතර දෙවේලේ නෙරූඩා සමග මරියා වාදවිවාද කිරීමත් නිසා ඔවුනතර දබර ඇති වන්නට පටන් ගන්නේ මේ අතරය. කෙසේ වෙතත් මරියා දියණියත් රැගෙන නෙදර්ලන්තයේ ජීවත් වූ දෙමාපියන් ළඟට ගියාය. මරියා සමග විවාහ ජීවිතය නෙරූඩාට නීරසව තිබූ අතර ඇතැම් රාත්‍රීවල ඔහු ඇයව හමුවීමෙන් පවා වැළැකී සිටි බව කියැවේ. මරියා ගැන (En Ceilan la Soleded luminosn) (සෙයිලාන් හි දීප්තිමත් හුදෙකලාව) මතක සටහනේ නෙරූඩා මෙවන් සඳහනක් කර තිබේ.
“බතාවියා” නගරයේ මගේ නිවස කුඩයි. මගේ හුදෙකලාව දෙගුණ වුණා. මා ඕලන්ද කතක් සමග විවාහ වුණා. ඇය සැහැල්ලු ගැහැනියක්. කලාවට, සාහිත්‍යයට නම් අමුත්තියක්. මගේ චරිත කතාව ලියූ මාගරිටා (Margarita) ලේඛිකාව මගේ විවාහය ගැන මෙසේ සඳහන් කර තිබුණා.
‘මරියා කොන්සල්වරයාගේ බිරිය වීම ගැන ආඩම්බර වුණා. ස්පාඤ්ඤ බස දැන සිටියෙත් නැහැ. ඇය නෙරූඩාට බොහොම තදයි. ඔවුන් නිතර දෙවේලේ කතා කළේ කැඩිච්ච ඉංග්‍රීසියෙන්. මේ වෙනස ඔවුන්ගේ විවාහ දිවියට බොහෝ සෙයින් බලපෑවා.’
මෙකී හේතුන් නිසා නෙරූඩා මැඩ්රිඩ් නගරයේ ගෙවූ කාලසීමාවේ පුද්ගලික ජීවිතය තවත් වරක් වෙනසකට භාජනය විය.
එනම් ලේඛක කණ්ඩායමේ යෙහෙළියක වූ ඩේලියා (Delia Carril) සමග පෙම් සබඳතාවයක් පටන් ගැනීමයි. ආජන්ටිනා ජාතික චිත්‍ර ශිල්පිනියක් වූ ඇය ප්‍රබල කොමියුනිස්ට් පාක්ෂිකාවක් ද වූවාය.
එම ඇසුර දැනගත් මරියා 1936දී නෙරූඩාගෙන් දික්කසාද වූවාය. මේ අතර ස්පාඤ්ඤ ජනරජයට විරුද්ධව පැසිස්ට්වාදීන් විසින් සිවිල් යුද්ධයක් ප්‍රකාශයට පත් කරන ලද අතර සතුරන් විසින් සිය කලණ මිතුරා වූ ගර්සිය ලොර්කා ඇතුළු කලාකරුවන් බුරුතුපිටින් ඝාතනය විය. එයින් බලවත් චිත්ත පීඩනයට පත් වූ නෙරූඩා පැසිස්ට්වාදීන්ට විරුද්ධව කරන ලද සම්මන්ත්‍රණවලට පවා සම්බන්ධ විය. එහි ප්‍රතිඵලය වූයේ නෙරූඩාගේ නවාතැන ද කොල්ල කා ගිනිබත් කිරීමයි.
බියටපත් නෙරූඩා වහා ප්‍රංශයට පැනගොස් ප්‍රංශයේ චිලි තානාපතිකම භාරගෙන යුද අනාථයන් විශාල ගණනින් චිලි රටට යැවීමට කටයුතු කළේය. ස්පාඤ්ඤ සිවිල් යුද්ධය තමාට බලපෑ අයුරු නෙරූඩා විස්තර කර ඇත්තේ මෙසේය.
“ගර්සියා ලොර්කා ඉපැදුණු නගරයේම සමාදනයේ සැතැපෙනවා ඇති. මගේ මතක සටහන් ග්‍රන්ථය (Espana en el Corazon) බෝම්බ අතරේම මුද්‍රණය වුණා. ස්පාඤ්ඤ ජනරජය පරාද වුණා. සැතැපුම් සිය ගණනාවක් දිග පෝලිම්වල අනාථයන් පලායමින් සිටියා. එය ස්පාඤ්ඤ ඉතිහාසයේ ප්‍රබලතම වේදනාකාරී අවස්ථාවක් වුණා. පෝලිම්වලට පවා බෝම්බ වැදුණා. “රට හැර පලායන්නො” තව තවත් ඈත ප්‍රංශ දේශ සීමාව දෙසට ගාල් කළ සතුන් වගේ තෙරපෙමින් සිටියා.
එක්තරා දවසක උස ගොඩනැඟිල්ලක පිහිටි මගේ නවාතැන වට කරමින් යුද සේනාංක රැස් වී සිටියා. මා මිත්‍ර යුද සෙබළෙකු වූ මිගෙල් හෙර්නැන්ඩෙස් යුද ඇඳුමින් සැරසී තුවක්කුව අත දරාගෙන වාහනයක් පසුපස ලුහුබැන්දා. නිසැකවම සතුරන් විසින් කොල්ලකන ලද මගේ බඩුබාහිරාදිය ගෙනයන්ට ඇත්තේ ඒ වාහනයේ.
මා කලබලයෙන් හැඟුම්බරව තට්ටුවට නැඟ ගොස් කාමරය වෙතට එබී බැලුවා. දොර විවර කොට තිබුණා. මූනිස්සම් කැබැලි තැන තැන විසිරී තිබුණා. බිත්තියේ සුන්බුන් විසිරිලා. පොත් ඉරා දමලා. සිමෙන්ති – ගල් කැබැලි අතරේ මා සමහර දේවල් සොයාගත්තා. වඩාත් කුතුහලය දනවන දෙය නම් මගේ නිල ඇඳුම්වත් ආසියාවෙන් රැගෙන ආ පිහියාවත් හෙල්ලිලාවත් තිබුණේ නැහැ. ඒවා යුද්ධයෙන් බේරිලා. ආසියාවේ වෙස්මුහුණු තිහක් පමණ වංචනික ලෙස එසේ වසතුභංග වුණා. එය අවසාන යක් නැටුම වුණා. මගෙන් ආරාධනා නොලැබම මගේ නිවසට පැමිණ ඇති හොර අමුත්තෝ වෙස්මුහුණු පැලඳගෙනම යන්න ඇති. ජීවිතය හා මරණය අතරේ ගිනිදැල් නැඟුණු යුද්ධය ගැන මා කවි නිර්මාණය කළා. යුද කරදර මැදම පිටපත් තව තවත් මුද්‍රණය කළා. ස්පාඤ්ඤ ජාතික කම්කරුවන්ට මගේ පොත අඩම්බරයක් වුණා.
මට ජනේලයෙන් ඈත පෙනෙනවා. අලංකාර නැති පරිශ්‍රයක සමතලා භූමියක්, කාන්තාරයක් වගෙයි. ස්පාඤ්ඤයම හිස් වෙලා වගේ… අවසාන සැණකෙළියෙන් සියල්ල නිමා වී නිහඬතාවය රජ කළා.
යුද්ධයෙන් පසුව මා පැරිසියට ගොස් ප්‍රංශයේ චිලි තානාපති වශයෙන් වැඩ භාරගෙන ස්පාඤ්ඤ යුද අනාතයන් විශාල ප්‍රමාණයක් චිලි රටට යැවීමට අවශ්‍ය සෑම පියවරක්ම ගත්තා.
ඉදින්, මෙකී කරදර අපහසුතා මැද නෙරූඩාට තම දියණිය මඟහැරෙන්නට ඇති. මල්වා දියණිය 1943 මැයි දෙවැනිදා මියගියාය.
මේ අතර නෙරූඩා මැක්සිකෝවේදී ඩේලියා සමග විවාහ විය. එහෙත් චිලි රට එම විවාහය භාරගෙන නැත. කෙසේ වෙතත් 1936-1946 කාලසීමාව නෙරූඩා ඩේලියා සමග ජීවිතය බෙදා හදා ගත්තේය. 1955 වසරේ නේරූඩාගේ ජීවිතයේ සැබෑ වෙනසක් විය. එනම් නෙරූඩා – ඩේලියා විවාහය දෙදරා යෑමයි.
ඊට වසර දෙක තුනකට පසු නෙරූඩා රෝගීව මැක්සිකෝවේ ආරෝග්‍යශාලාවක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී නෙරූඩාට සද්කාර කිරීම පිණිස පත් වී සිටි මැටිල්ඩේ (Matilde) නමැති හෙදිය සමග නෙරූඩා කුලුපග විය. නිතර දෙවේලේ සමීපයේ ගැවසෙමින් තමාව හොඳින් බලාගන්නා මැටිල්ඩේ කෙරෙහි ආදරයක් උපදින්නේ මේ අතරය.
එක්තරා දිනයක මැටිල්ඩේ ඩේලියාට හොරෙන් නෙරූඩා සමග විනෝද ගමනක් ගියාය. මේ අතර මැටිල්ඩේ විසින් නෙරූඩා වෙත ලියූ හසුනක් වෙත ඩේලියාගේ නෙත ගැටුණි.
මැටිල්ඩේගේ වංකභාවය තේරුම් ගත් ඩේලියා තම බඩු බාහිරත් රැගෙන පැරිසියට ගියාය. ඉන්පසු ඇය ඔහුගෙන් සදහටම වෙන් විය.
1966 නෙරූඩා මැටිල්ඩේ සමග විවාහපත් විය. නෙරූඩාගේ තෙවැනි බිරිය වූ මැටිල්ඩේ අපූර්ව කාන්තාවක් වූවාය. ඇය අමුත්තන් සමග ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා චතුර ලෙස කතා කළාය. ආගන්තුකයන් කී දෙනෙක් නිවසට පැමිණිය ද ඔවුන් පුදුම කරවමින් රසමසවුළු පිළියෙල කළාය. ඇය විටෙක බිරියක්. විටෙක යෙහෙළියක්. තවත් විටෙක පෙම්වතියක් මෙන්ම විටෙක දයාබර මවක් වූවාය. ඔහුට අවශ්‍ය වූයේ ද ඇය එවැන්නියක් වනු දැකීමටය.
පුරා අවුරුදු ගණනාවක් පෙම්වතියන් බිරින්දැවරුන් හමු වුවද නෙරූඩාට සත්‍ය බිරිය හමුවූයේ ජීවිතයේ අවසාන භාගයේදීය. ඇය බොහෝ ආදරයෙන් මෙන්ම ගරුත්වයෙන් සලකා ඇය වෙනුවෙන්ම නෙරූඩා ‘පෙම් කවි සියයක්’ (Cien Sonetos de amov) පද්‍ය සංග්‍රහය සකස් කළේය.
ළං වෙයන් මට – රස බොජුන මගෙ
මං ණයයි නුඹට – සිප ගනින් මා
නුඹේ රතු දෙතොලගින් – මිදි තොල ගාන්නා සේ
මගේ ‘සුදු මී දුම’ – මගේ ‘බුදු හදවත’
තවත් අපූර්ව කවියක් රස විඳිමු.
රැජිනියයි නුඹ ඔටුනු පැලඳූ
පැහැය පුබුදයි සුවඳ කුරුඳු
රැජින වෙයි නුඹ මහද පිබිදූ
යෙහෙළියයි නුඹ මසිත බැන්දූ
ගෙවතු සරසන ගෙවිලියයි නුඹ
අහර පිසදෙන බිරින්දෑ නුඹ
දේවතාවිය නිවහනේ නුඹ
මගේ ආදරවන්තියයි නුඹ
ඉන්ද්‍රානි රත්නසේකර