අප රටේ වැඩි වශයෙන් සිටින්නේ බෞද්ධ බැතිමතුන්ය. බුදු දහම අපට ලැබුණේ සහ බුදුන් වහන්සේ පහළ වූයේ භාරත දේශයේය. එහෙත් එදා භාරතයට වර්තමාන ඉන්දියාවට අයත් වන භූමි ප්‍රමාණයට වඩා වැඩි භූමි ප්‍රමාණයක් අයත්ව තිබෙන්නට ඇත. මේ අනුව බුදුන් වහන්සේ උපන් ලුම්බිණිය වර්තමානයේ අයත් වන්නේ නේපාලයටය. ඒ හැර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ බුද්ධගයාව ඇතුළු උන්වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ප්‍රධාන පූජනීය ස්ථාන බොහොමයක් අයත්ව ඇත්තේ ඉන්දියාවටය. මේ නිසා අපගේ බෞද්ධ බැතිමතුන් විශාල පිරිසක් වාර්ෂිකව ඉන්දියාවේ වන්දනා චාරිකාවේ යයි. එහිදී ඔවුන් බොහෝ විට යන්නේ බුදුරජාණන් වහන්සේ ජීවිතය හා සම්බන්ධ බෞද්ධ සිද්ධස්ථාන ඇති ප්‍රදේශවලටය. එහෙත් ඉන්දියාව යනු ප්‍රාන්ත 29 කින් සමන්විත අතිවිශාල රටකි. විවිධ භාෂා කතා කරන විවිධ ජනවර්ග රැසක් ජීවත්වන, විශාල විවිධත්වයකින් යුත් රටකි. මේ දඹදිව වන්දනා චාරිකාවලට හැරෙන්නට ඉන්දියාවේ වෙනත් ප්‍රදේශවලට ශ්‍රී ලාංකිකයන් සංචාරය කරන්නේ අඩු වශයෙනි. මේ අනුව මේ ලියුම්කරු ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදීන් පිරිසකට ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශ රැසක සංචාරය කිරීමට අවස්ථාව ලැබිණි. ඒ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයෙනි.
තෙලන්ගානා යනු 2014 ජුනි 02 වැනි දින පිහිටුවන ලද ඉන්දියාවේ නව ප්‍රාන්තයකි. එය එම රටේ දකුණු-මධ්‍යම ප්‍රදේශයේ පිහිටා ඇති අතර මහාරාෂ්ට්‍ර, ආන්ද්‍ර ප්‍රදේශ්, කර්නාටක සහ චත්තිස්ගාර් ප්‍රාන්තවලට මායිම් වේ.
තෙලන්ගානාහි අගනුවර වන්නේ හයිදරාබාද් ය. අපට පසුගිය දෙසතියක කාලයේ දී මේ හයිදරාබාද් නගරයේ සහ තෙලන්ගානා ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමට අවස්ථාව ලැබිණි.
මේ ගමනේ දී අපට බැලීමට ලැබුණු වැදගත්ම හා ඉතා දර්ශනීය ස්ථානයක් වූයේ රාමෝජී සිනමා ගම්මානයයි. එය ලෝකයේ විශාලතම සිනමා ගම්මානය ද වේ. මේ සිනමා ගම්මානය බැලීම ද අපගේ ගමනේ ප්‍රධානතම අංගයක් විය. අප මෙවර ඉන්දියාවට ආවේ මාධ්‍ය පුහුණු වැඩසටහනකට සහභාගි වීමටය. දෙසතියක මාධ්‍ය පුහුණු වැඩසටහනේ එක් දවසක් මුළුමනින්ම වෙන්කර තිබුණේ රාමෝජී සිනමා ගම්මානය බැලීමටය. අපගේ පුහුණුව පැවැතියේ ඉන්දියාවේ තෙලන්ගානාහි පිහිටි ආචාර්ය එම්සීආර් මානව සම්පත් සංවර්ධන ආයතනයේ දීය. එය එරට රාජ්‍ය නිලධාරීන් පුහුණු කරන ප්‍රධාන ආයතනයකි. අප නැවතී සිටියේ එහි ගෝදාවරී නේවාසිකාගාරයේය. අප මාධ්‍ය කණ්ඩායම හයිදරාබාද්හි මවුන්ට්හිල්හි පිහිටි එම නේවාසිකාගාරයේ සිට රාමෝජි සිනමා ගම්මානය වෙත ගමන් කළේ පසුගිය ජූලි 03 වැනිදාය. එදින උදේ 7.45 ට පමණ ආචාර්ය එම්සීආර් මානව සම්පත් සංවර්ධන ආයතනයේ බස් රථයකින් ගමන පිටත් වූ අතර පැයක පමණ කාලයකින් හයිදරාබාද්හි සිට කාර්ය බහුල මංමාවත් පසු කරමින් අපට එම දැවැන්ත සිනමා ගම්මානයේ දොරටුවක් අසලට පැමිණීමට හැකි විය. එය ඉතා හොඳින් හිරු පායා තිබූ සුන්දර උදෑසනකි. අපි කඩිනමින් බස් රථයෙන් බැස ගතිමු. එහි පිවිසුමේ RAMOJI FILM CITY’ යැයි සඳහන් සුවිසල් අකුරුවලින් සමන්විත පුවරුවක් දැකගත හැකි විය. ඇතමුන් බස් රථයෙන් බැසගත් වහාම සිය ජංගම දුරකථනවලින් ඡායාරූප ගන්නට ද පටන් ගත්තේය.
අප මුලින්ම ගියේ ප්‍රවේශපත් කවුන්ටරය වෙතය. අප වෙනුවෙන් ආචාර්ය එම්සීආර් මානව සම්පත් සංවර්ධන ආයතනයෙන් පැමිණ සිටි නිලධාරීන් විසින් අප සියලු දෙනාට ප්‍රවේශපත් මිලදී ගත් අතර ඒ සමග ‘RAMOJI’ නම සහිත ස්ටිකරයක් අපගේ ඇඳුමේ උඩකොටසේ අලවනු ලැබිණි. ප්‍රවේශපත් අප අතට ලැබුණු අතර ඒ සමගම වතුර බෝතලයක් සහ අලංකාර ඇසුරුමක බහා තිබූ චොකලට් පාර්සලයක් ද ලැබුණි. එයත් රැගෙන අපි සියලු දෙනාම එම සිනමා ගම්මානයේ වෙනත් දොරටුවක් අසල සූදානම් කර තිබූ තවත් බස් රථයකට ගොඩ වීමු. එම බස් රථයට ගොඩවුණු අපි, ඇතුළුවීමේ දොරටු අතරින් ලෝකයේ විශාලතම සිනමා නගරය වන දැවැන්ත රාමෝජී සිනමා නගරයට ඇතුළු වූයෙමු. අප පිරිස රැගත් බස් රථය මං තීරු දෙකක් ලෙසින් පවතින සුවිසල් මාවත දිගේ ඉදිරියට සැලකිය යුතු දුරක් ගමන් කර තවත් විශාල දොරටුවක් අසලට පැමිණි අතර එතන ද RAMOJI FILM CITY’ යැයි සඳහන් සුවිසල් පුවරුවක් දැකගත හැකි විය. ඒ ගමන් කළේ ද වංගුවලින් හැරෙමින් තුරු වදුළු, ගල් තලා සහ අසිරිමත් දර්ශනයන් සහිත රුක් පියසි පෙදෙසක් පසු කරමිනි. එතනින් අප රතු පැහැති තවත් දර්ශනීය බස් රථයකට නංවා ගන්නා ලදි. එහි ද RAMOJI FILM CITY’ යැයි ලොකු අකුරින් සඳහන්ව තිබිණි. මම දෙපස සිරි බැලීමට පහසු වන ලෙස අයිනේ අසුනක් තෝරාගෙන අසුන් ගතිමි. මද වෙලාවකින් එයට යම් නිල ඇඳුමකින් සැරසුණු සුදු පැහැති, රුවැති යුවතියක් ගොඩ වූවාය. ඇය මයික් එකක් ගෙන අප අමතමින් කියා සිටියේ මේ සිනමා ගම්මානයේ සංචාරයේ දී අපගේ සංචාරක මග පෙන්වන්නිය ඇය බවයි. සුජාතා ලෙසින් තමා හඳුන්වා දෙමින් සිනමා ගම්මානයේ සංචාරය ගැන ඇයගේ කෙටි හැඳින්වීමකින් පසු බස් රථය ගමන් කරන්නට විය.
චිත්‍රපටිවලට යොදා ගන්නා ඉතා දර්ශනීය විවිධ දර්ශන තල පසු කරමින් බස් රථය ඉදිරියට ගමන් කරන්නට විය. අපට දැනුනේ අප අමුතුම ලෝකයකට ගමන් කරන්නාක් මෙනි. අප ගමන් කරන බස් රථයේ දෙපසම විවිධ අපූර්ව සහ මනරම් දර්ශන තලයන්ය. ඒ එක් එක් දර්ශන තලය පසුකරන විට අපේ සංචාරක මග පෙන්වන්නිය ඒ ගැන කෙටි විස්තරයක් අපට ඉදිරිපත් කළාය. නොයෙකුත් ජනප්‍රිය හින්දි චිත්‍රපටිවල නම් සඳහන් කරමින්, ඒවායේ ගීත ජවනිකා, සටන් ජවනිකා ගැන ද සඳහන් කරමින් ඒ ඒ දර්ශන තලවල සිදු කළ රූගත කිරීම් සහ ඒවායේ රඟපෑ ජනප්‍රිය නළු නිළියන්ගේ නම් ද සඳහන් කරමින් ඇය විස්තර කියන්නට විය. දර්ශනීය මල් උයන්, සුවිසල් ගෙවල් සංකීර්ණ, කඩ පේලි ඇතුළු නොයෙකුත් දර්ශන තල අපගේ නෙත ගැටෙන්නට විය. අප කළේ එම මනරම් දර්ශන තලවල අසිරිය විඳ ගනිමින් ඇය කියන විස්තරය අසා සිටීමයි.
අප මේ පිවිස ඇත්තේ බොලිවුඩයේ සිහින රාජධානියකටය. මෙය රිදී තිරයේත්, පුංචි තිරයේත් සිහින දිගහැරෙන, බොලිවුඩයට ආදායම් වාර්තා තබමින් ලොව වැජඹෙන්නට මඟ සැකසූ භූමියයි. අපගේ මග පෙන්වන්නිය වන සුජාතා කරන රසවත් විස්තර අනුව අප හමුවේ විවිධ චිත්‍රපටිවල සිහින පෙම්වතුන්, පෙම්වතියන් රඟදෙන, දුෂ්ටයන්ගේ දුෂ්ටකම් රඟ දෙන, වීරයන් පැමිණ ඒ දුෂ්ටයන්ට පහර දී ඔවුන්ගේ බලබිඳ දමන, එසේම චණ්ඩින් බල්ටි ගහන බිම මෙතැනය. රජ මාලිගා ද මෙහි නිමවා ඇත. ඒ අනුව රජවරුන්ගේ අණසක පැතිරෙන්නේ ද රාජරාජ මහාමාත්‍යයන් සැරිසරණේ ද මෙහිය. විවිධ සටන් සිදු වන්නේ ද, බෝම්බ පුපුරන්නේ ද, වාහන ගිනි ගන්නේ ද, එසේම වාහන අනතුරු සිදු වන්නේ ද මෙහිය. ඒ සියල්ල සිදු වන්නේ මේ ගම්මානයේ ඇති මාර්ගවල, මංසන්ධිවල සහ දර්ශන තලවලය. අප ගමන් කළ බස් රථය විවිධ ස්ථානවල නවතා අපට එම දර්ශනතලවලටම ගොස් ඒවා දැක බලා ගැනීමට ද කෙටි වෙලාවක් දෙයි. ඉන් පසු නැවත එම රතු පැහැති බස් රථයටම ගොඩ වී තවත් දර්ශන තල පසු කරමින් තවත් යම් දුරක් ගොස් නතර කරමින් අපට එම ස්ථානයේ ඇති දර්ශන තලයන් දැක බලා ගැනීමට අවස්ථාව ලබා දේ. එසේ කිහිප විටක් ගොස් ඉන්පසු උදේ තේපැන් බීමට ස්ථානයක නතර කළ අතර අප වෙනුවෙන් මිලදී ගත ටිකට් එකේම කොටස් ඉරාගෙන අපට තේ හෝ වෙනත් සිසිල් බීමක් ලබා ගැනීමට හැකිය. ඒවාට ද එක්ව ටිකට් පතෙන් මුදල් අයකර ගෙන ඇත.
මෙවන් විවිධ වූ දැවැන්ත දර්ශන තල සහිත මෙය අති විශාල පුරවරයකි. මේ දැවැන්ත සිනමා නගරයේ විශාලත්වය අක්කර 1666 ක් පමණ වේ. මෙය ලොව විශාලතම චිත්‍රපට මැදිරි සංකීර්ණය වන අතර ගිනස් ලෝක වාර්තා මගින් එය සහතික කර ඇත. ඉතා අලංකාර බිම් පෙදෙසක නිමැවූ මේ අපූර්ව සිනමා නගරය පිළිබඳ සිහිනය පළමුව සිතේ ඇඳ ගනිමින්, ඒ අපේක්ෂාව යථාර්ථයක් බවට පත් කරගත් ඔහු රාමෝජි රාඕය. මෙය ඔහු විසින් පිහිටුවන ලද්දේ වර්ෂ 1996 දීය. තෙලිඟු චිත්‍රපට නිෂ්පාදකවරයකු වන ඔහු, ඉන්දීය මාධ්‍ය ආයතන රැසක හිමිකරුවකු මෙන් ම, මේ සිනමා නගරයේ හිමිකරුවා ය.
මෙය සිනමා ගම්මානයක් මෙන්ම සංචාරක පුරවරයක් ද වේ. මෙය බැලීමට වසරකට නරඹන්නන් මිලියන ගණනක් පැමිණේ. එසේ පැමිණෙන නරඹන්නන්ගේ සහ විදෙස් සංචාරකයන්ගේ සිත් වශීකෘත කරමින් ඔවුන් අමුතු ලොවකට කැඳවාගෙන යෑමට මේ සිනමා නගරය තුළ නොයෙකුත් දේ තිබේ. විවිධ ආහාරපාන ගත හැකි ආපනශාලා කිහිපයක්ම මෙහි ඇත. මෙසේ පැමිණෙන අය වෙනම ලෝකයකට කැන්දාගෙන යෑමට සමත් මේ භූමි පෙදෙස තුළ, ලෝකයේ දැවැන්තම ශබ්දාගාර සංකීර්ණය ද ප්‍රතිෂ්ඨාපිත ය. නවීන තාක්ෂණයෙන් අගතැන්පත්, සුපිරි පහසුකම්වලින් පිරිපුන් රාමෝජී සිනමා නගරය, වසරකට සිනමාපට සිය ගණනක් නිෂ්පාදනය කළ හැකි ලෙස තනා තිබේ. එකවර චිත්‍රපට කිහිපයකට වුව ද අවශ්‍ය දර්ශන තල සපයා ගැනීමට මේ භූමිය තුළ හැකියාව තිබීම, මේ සිනමා, නගරයේ ඇති විශේෂත්වයකි. ඉන්දියාවේ නිපද වූ සහ නිපදවෙන බොහොමයක් සිනමා නිර්මාණ සහ පුංචි තිරයේ දිගහැරෙන ටෙලි නාට්‍ය බොහොමයක රූගත කිරීම් මේ සිනමා නගරයේදී සිදුව ඇත. එයට හේතුව නම් අධ්‍යක්ෂවරයෙකුට අවැසි ස්වභාවික සහ සැකසූ විවිධ දර්ශනතල රැසක් මෙහි පැවතීම ය. චිත්‍රපටියේ පිටපතට අවශ්‍ය ලෙස මෙන්ම අධ්‍යක්ෂවරයාගේ කැමැත්ත අනුව තෝරාගත හැකි විවිධ දර්ශන තල මෙහි (එනම් එකම ස්ථානයක) බොහොමයක් තිබේ. එය අධ්‍යක්ෂවරයා ඇතුළු නිෂ්පාදන කණ්ඩායමට මෙන්ම නළු නිළියන්ට සහ කාර්මික ශිල්පීන්ටත් පහසුවකි.
“මේ තියෙන්නෙ ශාරුක්ගෙ අහවල් චිත්‍රපටියේ නිවෙස. මේ සල්මන්ගේ අහවල් චිත්‍රපටියේ ගෙය, මෙතන තමයි අහවල් ගීතය රූ ගත කළේ” ඒ සිනමා නගරය පිළිබඳ විස්තර කරන මඟ පෙන්වන්නිගේ හඬයි. ඇය සිනහමුසු මුහුණින් යුතුව මඟ දෙපස පිහිටි තැන් පිළිබඳ විස්තර කරන්නේ රසමුසුවය. “අර තියෙන්නෙ ගුවන්තොටුපොළක ආකෘතියක්. ඒ ගොඩනැඟිල්ලේම අනිත් පැත්ත රෝහලක් විදිහට හදලා තියෙන්නේ” එදෙසට අත දිගුකර පෙන්වමින් ඇය කියයි. එතන ඇත්තේ වෙනස්ම ආකාරයක දර්ශන තලයකි. මෙලෙස සංචාරක ආරක්ෂණයෙන් ඔද වැඩුණු මේ භූමිය, අලංකාරවත්ව සහ මැනවින් නඩත්තු කරමින් පවත්වාගෙන යෑමට සහ එහි කටයුතු කාර්‍යක්ෂම ලෙස සිදු කිරීමට සේවකයන් දහස්
මෙහි ඇත්තේ ගොඩනැඟිලි මංමාවත් පමණක් නොවේ. එහි ගමන්ගන්නා විට නෙතු ගැටෙන තවත් අපූර්ව දසුන් තිබේ. එනම් එහි තැනෙක අලංකාර වතුර මල්, දිය ඇලි, පොකුණු මෙන්ම කුරුළු උයන් සහ සමනල උයන් ද තිබේ. ඒ සෑම තැනකම පාහේ ඡායාරූප ගැනීමට ද අපි අමතක නොකළෙමු. එසේ තැනුණු සෑම ස්ථානයකම පාහේ අපූර්වත්වයක් ඇත. මෙහි ඇති එක ස්ථානයකට ගිය විට එය දැක්වෙන්නේ අප ලන්ඩන් නුවර සිටින්නාක් මෙනි. මෙහි සිට පින්තූර ගැනීමට මෙහි පැමිණෙන අය විශේෂ කැමැත්තක් දක්වයි. මේ සිනමා නගරයේ තැනෙක දුම්රියපොළකි. තවත් තැනෙක ගුවන්තොටුපොළකි. තවත් තැනක රෝහලකි. තවත් තැනක සිර මැදිරියකි. තැනෙක සාමාන්‍ය කඩපිල් සහ තව තැනෙක සුපිරි වෙළෙඳසල් ය. කෝවිල්, පල්ලි වැනි පූජනීය ස්ථාන ද මෙහි ඇත. මේ නිසා නිර්මාණවලට අවශ්‍ය හැම දර්ශන තලයක්ම පාහේ මෙහි ඇත. මේ සිනමා නගරයේ හෝටල් ද ඇත. ඒවායේ අවශ්‍ය නම් පැමිණෙන අයට නවාතැන් ගැනීමට ද හැකිය. රාමෝජී ෆිල්ම් සිටි වෙත පැමිණෙන ධනවතුන්, චිත්‍රපට අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු, නළු නිළියන් සහ සාමාන්‍ය ජනයා ද මේ හෝටල්වල ලැගුම් ගනියි. එසේම තමන්ට ගැළපෙන හෝටලය තෝරා ගෙන විවාහ උත්සව සහ ප්‍රිය සම්භාෂණ පැවැත්වීමට ද හැකිය. මේ අනුව බලන කල රාමෝජී ෆිල්ම් සිටි යනු, ධනය උපයන උල්පතකි.
මේ සියලු දෑ නරඹමින් ඉදිරියට ඇදුණු අපට, බාහුබලී චිත්‍රපටයේ පසුතලය නැරැඹීමට ද යා හැකි විය. එය ඇත්තේ වෙනම සැකසූ අවකාශයක් තුළ ය. එනම් අප ගමන් කළේ මහිෂ්මතී රාජ්‍යයටය. සිනමාපටය තුළ හේෂාරව නගන අශ්වයන් මෙන්ම කුංචනාද දෙන හස්තීන් ද එහිදී අපට දැකගත හැකි විය. බාහුබලී සිනමා පටය නරඹා ඇති ඔබට එහි සැරිසරන විට එම චිත්‍රපටය නිරන්තරයෙන්ම සිහිපත් වනු ඇත. ඒවා එතරම්ම සජීවී බවින් අනූන අලංකෘත දර්ශනතලයන්ය. බාහුබලී ඉන්දියාව මෙතෙක් වැඩිම වියදමක් දරමින් නිපද වූ චිත්‍රපටයකි. එය ලෝක ආදායම් වාර්තාවක් ද තැබූ චිත්‍රපටයකි. මේ දර්ශන තලවල අසිරිය විඳිමින් කුරුළු උයනක් ද පසුකර පැමිණ බසයට ගොඩ වූ අප ඊට පසු පැමිණියේ දිවා ආහාරය ගැනීමට, එහි ඇති සුපිරි ආපන ශාලාවක් වෙතය. එය ද අපගේ ටිකට් පතටම හිමි වේ. එහි ඇති අසුනක හිඳිමින් ඉන්දියානු ආහාරයක හෝ වෙනත් බටහිර ආහාරයක වුව ද රස බැලීමට හැකිය. මේ දැවැන්ත සිනමා නගරයේ සැරිසරා විඩාවට පත්වූවෝ මෙහි දිවා ආහාර අනුභව කර මද වෙලාවක් විඩා නිවාගෙන නැවතත් බස් රථයට ගොඩ වන්නේ තවත් සිනමා නගරයේ අංග දැක ගැනීමටය. එහිදී තවත් චිත්‍රපටි දර්ශන තල බලන අතරේ සජීවී නාට්‍යයක් බැලීමට සහ සංගීත සහ නැටුම් ඇතුළත් සංදර්ශනයක් බැලීමට අවස්ථාව උදා වේ. ඒවා ද සිනමා නගරය බැලීමේ ටිකට් පතටම ඇතුළත් වන බැවින් වෙනම ගාස්තු ගෙවීමට සිදු නොවේ.
රාමෝජී සිනමා නගරයේ ප්‍රවේශපතට ඇතුළත් සියලු අංග බැලීමෙන් පසු අවසානයේ නැටුම් සහ ගැයුම් ඇතුළත් සංදර්ශනයකින් (closing ceromany) රාමෝජී සිනමා නගරය බැලීමේ චාරිකාව නිමාවට පත් වේ. තෙලන්ගානා ප්‍රාන්තයේ හයිදරාබාද් පුරයේ සංචාරය කරන ඔබ අමතක නොකරම යා යුතු තැනක් ලෙස මේ ‘රාමෝජී ෆිල්ම් සිටි’ නම් කළ හැකි ය. දහවල් කෑම සහ සවස තේ හෝ කෝපි ද ඇතුළත්ව මෙහි වැඩිහිටියෙක් සඳහා අයකරන ප්‍රවේශපත් ගාස්තුව ඉන්දියානු රුපියල් 3500 කි. එය නම් කර ඇත්තේ Ramoji star experience’ ලෙසය. මේ ටිකට්පත ගෙන මෙහි ඇතුළුවන ඔබට, සංචාරක මඟපෙන්වන්නකුගේ විස්තර කථනය සහිතව දෙපස බැලිය හැකි විශාල වීදුරු සහිත රතු පැහැති අපූරු බස් රථයක සොඳුරු පරිසරයේ අපූර්වත්වය විඳගනිමින් ජීවිතයේ මෙතෙක් නොදුටු මනරම් දසුන්වල අසිරිය විඳිමින් නවතම ලෝකයකට පිවිසීමට ඉඩ හසර විවර වේ. මේ සියලු අංග සහිතව උදේ සිට මේ සිනමා නගරයේ අසිරිය දැකබලාගෙන අවසන් වන විට සවස 6.00 පමණ විය.
මේ දැවැන්ත සිනමා රාජ්‍යයේ දවසක් පුරා සැරිසරමින් එහි අසිරිය විඳ ගැනීමට අපට මංපෙත් විවර කර දීම වෙනුවෙන් ඉන්දියානු රජයට, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සහ අපව මේ ස්ථානයට කැඳවාගෙන ගිය තෙලන්ගානාහි ආචාර්ය එම්සීආර් මානව සම්පත් සංවර්ධන ආයතනයටත් අපගේ විශේෂ ස්තුතිය හිමි වේ.
ශ්‍යාම් නුවන් ගනේවත්ත
ඉන්දියාවේ සංචාරයකින් පසු