රණවිරුවන්ද? සෙබළුන්ද?
විජයග්‍රහණයේ පෙළපාලිය ජාතික රණවිරු දින උත්සවයකට සීමා වීම
යහපාලන රජය 2016 දී විජයග්‍රහණයේ පෙළපාලිය අවලංගු කළේ කාගේ වුවමනාවකටද?
සරත් ෆොන්සේකා බන්ධනාගාර ගතකර පළමුවන යුද ජයග්‍රහණයේ සංවත්සරය සැමරීම
ශවේන්ද්‍ර සිල්වා 2009 සිට පැවැති සියලුම රජයන් අසමත් බවට කළ ආන්දෝලනාත්මක චෝදනාව
ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ පොලිසිය ජනතාව විසින් ඡන්දයෙන් පත්කළ ආණ්ඩු ආරක්ෂා කර ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පාලනයට එරෙහිව ජවිපෙ පළමුවන කැරැල්ල ආරක්ෂක හමුදා සහ පොලිසිය 1971 දී පරාජය කළේය. ඉන්දියාවේ ඍජු මැදිහත්වීමෙන් 1980 දශකයේ මුල ආරම්භ වූ ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාරය (1990 වනතුරු කොටි ත්‍රස්තවාදීන්ට අමතරව තවත් ත්‍රස්තවාදී කණ්ඩායම් කීපයක් ක්‍රියාත්මක විය. එම කණ්ඩායම් පාර්ලිමේන්තු දේශපාලනයට ගෙන ඒමේ වැඩි ගෞරවය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට හිමි විය යුතුය.) 2009 මුලිනුපුටා දැමීමට ආරක්ෂක හමුදාවලට සහ පොලිසියට ශක්තිය තිබිණි. ඊට අමතරව ජවිපෙ ක්‍රියාත්මක කළ ත්‍රස්තවාදී ව්‍යාපාරය 1987-1989 කාලය තුළ එජාප ආණ්ඩුවට දැඩි තර්ජනයක් කළේය. ආරක්ෂක හමුදාවට සහ පොලිසියට තම ජයග්‍රහණ ඉහළින් සැමරීමට අවස්ථාව දිය යුතුය. ජවිපෙ නායක රෝහණ විජේවීර 1989 නොවැම්බර් මාසයේදී සහ වේලුපිල්ලේ ප්‍රභාකරන් 2009 මැයි මාසයේදී ඝාතනය වීම සනිටුහන් කළේ ත්‍රස්තවාදය පරාජය කිරීමයි. ආරක්ෂක හමුදා සහ පොලිසිය බොහෝ පසුබෑම්වලට වගකිව යුතුය. යම් නිලධාරීන් සහ සෙසු නිලයින් ඉතා සුළු පිරිසක් දේශද්‍රෝහී ක්‍රියාවලට ද වගකිව යුතුය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඝාතනය කිරීමට පවා හමුදා නිලධාරියකු ත්‍රස්තවාදීන් සමග කටයුතු කළ බව රහසක් නොවේ. ඒ පිළිබඳව ලියුම්කරු පසුගිය සතියේ සාකච්ඡා කළ බව ඔබට මතක ඇත. ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයා ඝාතනය කිරීමට කොටි ත්‍රස්තවාදීන්ට අවශ්‍ය සහයෝගය ලබාදුන්නේ පොලිස් නිලධාරියකු බව අපට අමතක කළ නොහැක. ජවිපෙ ත්‍රස්තවාදයට සහයෝගය දුන් හමුදා සහ පොලිස් සාමාජිකයින් සිටිය බවද සඳහන් කළ යුතුය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජාතික රණවිරු දින උත්සවයට සහභාගි නොවන බවට ආරක්ෂක අමාත්‍යාංශය මැයි 16 වැනි දින කළ නිවේදනය දැඩි විවේචනයට ලක්විය. පසුගිය වසරේ සැප්තැම්බර් ජනාධිපතිවරණයෙන් පසුව ජාතික ජන බලවේගය (ජාජබ) ගත් කිසිදු තීරණයක් මේ ආකාරයට විවේචනයට ලක්වී නැත. දෝෂාරෝපණයට ලක්වී නැත.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මැයි 19 වැනි දින සවස 4 සිට 6 දක්වා පැවැත්වීමට නියමිත උත්සවයේදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (ජාජබ, ජාතික ලැයිස්තුව) විසින් ආරක්ෂක අමාත්‍ය සහ සේනාධිනායක ද වන ජනාධිපතිවරයාව නියෝජනය කරන බවට ආරක්ෂක අමාත්‍යාංශය කළ ප්‍රකාශයට ජාජබ ආණ්ඩුව කිසිසේත්ම අපේක්ෂා නොකළ තරමේ ප්‍රහාරයක් එල්ල විය. එම ආන්දෝලනාත්මක ප්‍රකාශය ආරක්ෂක අමාත්‍යාංශයේ අතපසුවීමක් නොවේ.
මීට පෙර සෑම ජනාධිපතිවරයකුම විජයග්‍රහණයේ පෙළපාලියට/ජාතික රණවිරු දින උත්සවයට සහභාගි වී ඇත. සමාජ මාධ්‍ය අවධාරණය කළ දැඩි ‘විරෝධය’ ආණ්ඩුවට හොඳහැටි දැනුන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජාජබ ට ඉතිහාසගත වන ජයග්‍රහණයක් ලබා දීමට සැලකිය යුතු වැඩකොටසක් කළ එම පක්ෂයේ විශ්‍රාමික රණවිරු ප්‍රජාව දැඩි අපහසුතාවයකට ලක්වූ බව අමුතුවෙන් කිවයුතු නැත. ජාජබ රණවිරු සංසදය ද සමාජ මාධ්‍යයේ ප්‍රහාරයට ලක්විය.
නමුත් අතිශය ආන්දෝලනාත්මක සහ දේශපාලනික වශයෙන් අවාසිදායක රජය ගනු ලැබූ මුල් තීන්දුව වෙනස් කිරීම අගය කළ යුතුය. ජනාධිපතිවරයා එම උත්සවයට සහභාගිවීමෙන් සිදු වීමට ගිය බලවත් මෙන්ම කිසිදා නිවැරදි කළ නොහැකි වරදක් වළක්වා ගැනීමට රජයට හැකිවිය.
මෑතකදී තම 60 වන සංවත්සරය සැමරූ ජවිපෙ සහ 2019 දී ලියාපදිංචි කරන ලද ජාජබ පක්ෂ දෙකේම නායකත්වය දරන්නේ අනුර කුමාර දිසානායකය. බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාරය හමුදාමය ක්‍රියාමාර්ගයක් තුළින් පරාජය කිරීම සම්බන්ධයෙන් එම පක්ෂ දෙක මීට පෙර කුමන ආකාරයේ දේශපාලනික ස්ථාවරයක සිටියත් ප්‍රශ්නයක් නැත. නමුත් විධායක බලය හිමි පාලක පක්ෂය ලෙස ජාජබ කටයුතු කළ යුතුව ඇත. බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කිරීමට ආරක්ෂක හමුදා සහ පොලීසිය කළ කැපවීම මොනයම්ම තත්ත්වයක් යටතේදීවත් හෑල්ලු නොවිය යුතුය.
එම උත්සවයේදී ‘රණවිරුවන්’ යන යෙදුම වෙනුවට ‘සෙබළුන්’ යන වචනය පාවිච්චි කිරීම පිළිබඳව ආණ්ඩුව නැවත සිතා බැලිය යුතුය. එලෙසම රට දෙකඩ කිරීමට ත්‍රස්තවාදය ක්‍රියාත්මක කළ කණ්ඩායමක් ත්‍රස්තවාදීන් ලෙස හැඳින්වීමට පසුබට වීම කනගාටුදායකය.
නමුත් බෙදුම්වාදී ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සැමරුම ආන්දෝලනාත්මක වූ පළමුවන අවස්ථාව මෙය නොවේ. නමුත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට පෙර අවධාරණය කළ යුතු කරුණක් ඇත.
කිසිදා පරාජය කළ නොහැකි බවට බටහිර සහ ඉන්දීය යුද විශේෂඥයින් දැඩි ලෙස විශ්වාස කළ ත්‍රස්තවාදී ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි සංවිධානය 2009 මැයි මාසයේ 18 වන දින යුදමය වශයෙන් පරාජයට පත් විය. ඒම සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් යුද හමුදාව අතින් මරණයට පත්වන්නේ ඊට පසු දින උදෑසන ය. ඒ නැවත කිසිදා නැගිටිය නොහැකි ලෙස පරාජයට පත්වූ කොටි සංවිධානයේ නායකයා ලෙසය. ප්‍රභාකරන්ගෙන් පසුව එම සංවිධානයේ නායකත්වයට පත් වූයේ කුමරන් පත්මනාතන්ය. නැතහොත් ‘KP’ ය.
ආරක්ෂිතව මලයාසියාවේ වාසය කළ නව ත්‍රස්තවාදී නායකයා එම රටේ බලධාරීන්ගේ පූර්ණ අනුදැනුම ඇතුව ශ්‍රී ලංකාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් 2009 අගෝස්තු මාසයේදී මෙරටට ගෙන එම සුවිශේෂී ජයග්‍රහණයකි. බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීම සම්පූර්ණ විය. එදා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයෙන් මෙම ලියුම්කරුට ‘KP’ සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීමට අවස්ථාව ලැබිණි. කුමරන් පත්මනාතන් ප්‍රකාශ කළේ වසර දෙකක් තුළ යාපනය ඇතුළුව උතුර සහ වන්නිය තම අණසකට ගැනීමට සැලසුමක් තිබූ බවයි. එසේ සැලසුම් කළ ප්‍රභාකරන් 2009 මැයි 19 දින උදෑසන මරණයට පත්විය. ත්‍රස්තවාදය තුළින් තම (ද්‍රවිඩ ජනතාවගේ) අභිලාෂයන් දිනා ගත හැකි බව විශ්වාස කළ ‘KP’ බිඳුණු මිනිසෙක් බවට පරිවර්තනය වී සිටියේය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එදා පැවැත්වීමට නියම කළේ විජයග්‍රහණයේ පෙළපාලියක් බව අද අමතකය. විජයග්‍රහණයේ පෙළපාලිය වසර කීපයකට පසුව ජාතික අනුස්මරණ සැමරුමක් බවට පත්විය. ජනපති නියමයෙන් ආරම්භ කළ විජයග්‍රහණයේ පෙළපාලියේ සහ ජාතික අනුස්මරණ සැමරුමේ වෙනස නොදැනෙන තරමට ජනතාවගෙන් කොටසක් අකෘතඥය.
යුද ජයග්‍රහණයේ පළමුවන සංවත්සරය 2010 ජුනි 18 වන දින ගාලු මුවදොර දී ත්‍රිවිධ හමුදා පෙළපාලියකින් සහ ගුවන්-නාවික යාත්‍රා ප්‍රදර්ශනයකින් සමන්විතව පැවැත්වීම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නියමයෙන් සිදුවිය. ඊළඟ වසර තුනේදී ද ඒ ආකාරයෙන්ම යුද ජයග්‍රහණය සැමරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කළේය. ඒ අතර යුද සැමරුමට එරෙහිව දේශීය සහ විදේශීය වශයෙන් දැඩි විරෝධයක් ඇතිකර තිබිණි. කෙසේ වෙතත් 2014 දී ද යුද ජයග්‍රහණයේ සැමරීම ඊට පෙර වසර හතර තුළදී කළ ආකාරයටම එම රජය කළේය. එවකට හමුදා ප්‍රකාශක ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය (වර්තමාන ජාතික බුද්ධි ප්‍රධානි) යුද ජයග්‍රහණය සැමරීමට ශ්‍රී ලංකාවට ඇති අයිතිය දැඩිව අවධාරණය කළේය. ඔහුගේ එම ප්‍රකාශය The Island පුවත්පතට විශේෂ ප්‍රවෘත්තියක් ලෙස සැපයුවේ මෙම ලියුම්කරුය.
විජයග්‍රහණයේ පෙළපාලිය 2009 සිට නොකඩවා 2015 දක්වා පැවැත්වීය. එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) එක්වී ගොඩනැඟූ යහපාලන ආණ්ඩුව 2015 දී ද විජයග්‍රහණයේ පෙළපාලිය ඉහළින්ම පැවැත්විය. ඊට පෙර වසරේදී මෙන්ම යහපාලන රජය ද තම පළමුවන විජයග්‍රහණයේ පෙළපාලිය මාතරදී පැවැත්විය.
එදා මාතර පැවැත්වූ උත්සවයට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමග එකම වේදිකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ෆීල්ඩ් මාර්ෂල් (Field Marshal) සරත් ෆොන්සේකා ද සහභාගි විය. යුද-ගුවන්-නාවික නිලධාරීන් සහ සෙබළුන් 6,000 පමණ විජයග්‍රහණයේ පෙළපාලියට සහභාගි විය. ඊට අමතරව පොලිස් නිලධාරීන් 1,000 සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 500 ක් පමණ එම පෙළපාලියට එක්විය. මෙහිදී අවධාරණය කළ යුතුම කරුණක් වන්නේ යුද හමුදාවට අසමසම නායකත්වයක් දුන් සෙනෙවියා 2009 ආරම්භ කළ විජයග්‍රහණයේ පෙළපාලියට පළමුවන වරට සහභාගි වූයේ 2015 බවයි.
අවාසනාවකට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුගියදා පැවැත්වූ ජාතික රණවිරු දින උත්සවයට සහභාගි නොවීමට ගනු ලැබූ මුල් තීරණය බලවත් වරදක් ලෙස දුටු කිසිවකු ෆොන්සේකාගෙන් කෲර ලෙස පළිගැනීම විවේචනය කළේ නැත. 2010 ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ඡන්ද ආකර්ෂණය කර ගැනීමට සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා ලෙස දේශද්‍රෝහී ප්‍රකාශයක් කළේය.
ඒ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ 2009 මැයි මාසයේදී යටත් වන ත්‍රස්තවාදීන් මරා දැමීමට 58 වන සේනාංකයට නියෝග දුන් බවයි. ‘සුදු කොඩි’ නඩුවට විෂය වූයේ එම ප්‍රකාශයයි. එදා ඔහු කළ ඒ ද්‍රෝහී ප්‍රකාශය එතුමාට හෝ එදා ඔහු නියෝජනය කළ එජාපයට කළ හොඳක් නැත. හතරවන ඊළාම් යුද්ධය කිසිසේත්ම ජයගත නොහැකි බවට දැඩිව විශ්වාස කළ එජාපය තොප්පිගල ජයගැනීම අවඥාවට ලක් කළේය. තොප්පිගල කැලයක් හමුදාමය වශයෙන් කිසිදු වටිනාකමක් නැහැ. ඒ ප්‍රකාශය එජාප නායක රනිල් වික්‍රමසිංහ දේශපාලනිකව විනාශ කළේය. නැගෙනහිර කොටි බලය 2007 ජුලි මාසයේ දෙවන සතියේ විනාශ කිරීම වික්‍රමසිංහට ඉහිලුම් දුන්නේ නැත. කොටි ත්‍රස්තවාදීන් කිසිසේත් පරාජය කිරීමට නොහැකි බවට විශ්වාස කළ එජාප ප්‍රධානින් ආරක්ෂක හමුදා නොනවත්වා අවඥාවට ලක් කළේය. එජාපයට භූමියේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් තිබුණේ නැත. නැගෙනහිර රජයේ පාලනයට 2007 ජුලි මාසයේදී නතු කර ගන්නා විට වන්නි මෙහෙයුම 57 වන සේනාංකය වවුනියා-මන්නාරම් මාර්ගය සිට උතුරු දෙසට මඩු පල්ලිය දෙසට මෙහෙයුමක් දියත් කර තිබිණි. ඒ 2007 මාර්තු මාසයේදීය.
එජාප උපාය මාර්ගික දක්ෂයකු ලෙස සැලකූ මංගල සමරවීර හමුදාපති සරත් ෆොන්සේකාගේ හැකියාව ප්‍රශ්න කළේය. සමරවීර පැවසුවේ හමුදාපතිවරයා ගැලවීමේ හමුදාවටවත් නායකත්වය දීමටවත් සුදුසු නැති බවයි. ලක්ෂ්මන් කිරිඇල්ල අවධාරණය කළේ ඕනෑම බූරුවෙකුට යුද්ධ කළ හැකි බවයි. රවී කරුණානායක ද හමුදාව අවඥාවට ලක් කළේය. වන්නි යුද්ධය ඉතාමත් තීරණාත්මක අවස්ථාවක රවී කරුණානායක යුද හමුදාව අලිමංකඩ යළි අත්පත් කරගැනීමට සටන් කරන බව පැවසුවත් ඔවුන් බොරු කරන බවත්, ඇත්තටම හමුදාව ගමන් කරන්නේ පාමංකඩට බවත් පැවසීය. මෙවැනි පක්ෂයක් සමග යුද වීරයකු වූ සරත් ෆොන්සේකා 2010 දී එකතු වූයේ ඇයි?
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සිංහ රෙජිමේන්තුවේ ෆොන්සේකා 2015 මාර්තු 22 දින ෆීල්ඩ් මාර්ෂල් ධුරයෙන් පිදූ අතර අවසන් හතරවන ඊළාම් යුද්ධයේදී (2006 අගෝස්තු -2009 මැයි ) නාවික හමුදාවට නායකත්වය දුන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක 2015 එම අවස්ථාවට සහභාගි නොවීය. ඔවුන් දෙදෙනාට පිළිවෙළින් අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් (Admiral of the Fleet) සහ මාර්ෂල් ඔෆ් එයාර් ෆෝස් (Marshal of Air Force) ධුර පිදීම 2019 සැප්තැම්බර් 19 දින මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කළේය.
ද්‍රවිඩ ජාතික සන්ධානය (Tamil National Alliance) සමග යහපාලන නායකත්වය තිබූ දැඩි දේශපාලන බැඳීම හේතුවෙන් විජයග්‍රහණයේ පෙළපාලිය 2015 දීම නවතා දැමීමට අවස්ථාවක් තිබෙන බවට බොහෝ දෙනා සැක පහළ කළේය. ද්‍රවිඩ ජාතික සන්ධානය 2010 සහ 2015 ජනාධිපතිවරණයේදී පිළිවෙළින් පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකාට සහ මෛත්‍රිපාල සිරිසේනට සහයෝගය පළ කළේය. එවැනි තත්ත්වයක් තුළ කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් මැති සබය තුළ සහ එයින් පිටත කිසිදු ලැජ්ජාවකින් තොරව පෙනීසිටිය ද්‍රවිඩ ජාතික සන්ධානය විජයග්‍රහණයේ පෙළපාලිය පැවැත්වීම සම්බන්ධයෙන් මුල සිටම දැඩි කනස්සල්ල පළ කළේය. නමුත් යහපාලනය ආරක්ෂක හමුදාවන්ගේ අවශ්‍යතාවයට 2015 දී ඉඩ දුන්නේය. ආරක්ෂක හමුදා අඛණ්ඩව 2009 සිට පැවැත්වූ විජයග්‍රහණයේ පෙළපාලිය නවතා දැමීමට යහපාලන නායකත්වයට යම්කිසි චකිතයක් තිබෙන්නට ඇත.
කෙසේ වෙතත් 2016 වසරේදී තත්ත්වය වෙනස් විය. විජයග්‍රහණයේ පෙළපාලිය නවතා දැමිය යුතු බවට ඇමෙරිකාව ඇතුළු බටහිර ආණ්ඩු යහපාලන නායකත්වයට දැනුම් දුන්නේය. ශ්‍රී ලංකාවේ සිටි කැනේඩියානු තානාපතිවරිය වූ ෂෙලී වයිටින්ග් (Shelly Whiting) 2014 දී විජයග්‍රහණයේ පෙළපාලිය නවතා දැමිය යුතු බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. ජිනීවා මානව හිමිකම් කොමිසම හරහා ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය අහිමි කිරීමේ මෙහෙයුම යහපාලන පාර්ලිමේන්තුව තුළ ද ක්‍රියාත්මක වී තිබිණි. වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඊට නායකත්වය දු අතර මහින්ද රාජපක්ෂ නායකත්වය දුන් ඒකාබද්ධ විපක්ෂය ද ඒ දේශද්‍රෝහී ක්‍රියාදාමය සමග එකතුවී තිබිණි.
යහපාලනය 2016, 2017, 2018 සහ 2019 විජයග්‍රහණයේ පෙළපාලිය පැවැත්වූයේ නැත. ඒ වෙනුවට දියාරු රණවිරු සැමරුමක් පැවැත්වීය. ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉහළ නායකත්වයක් දුන් ගෝඨාභය රාජපක්ෂට ජනාධිපතිවරයා ලෙස 2020, 2021 සහ 2022 විජයග්‍රහණයේ පෙළපාලිය පැවැත්වීමට අවස්ථාවක් ලැබුණේ නැත. ඒ කොවිඩ් ව්‍යසනය සහ ආර්ථිකය කඩා වැටීම නිසාය.
ත්‍රස්තවාදය පරාජය කිරීමේ 16 වැනි සංවත්සරයට සමගාමීව වන්නි යුද්ධයේදී ඉතාමත් තීරණාත්මක මෙහෙයුමක් කළ 58 වන සේනාංකයට නායකත්වය දුන් ජෙනරාල්වරයකු ලෙස 2024 දෙසැම්බර් 31 විශ්‍රාම ගිය ශවේන්ද්‍ර සිල්වා දෙරණ නාලිකාවේ චතුර අල්විස් සමග කළ සාකච්ඡාවේදී බොහෝ කරුණු කාරණාවලට අවධානය යොමුවිය.
එහිදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කළේ ආරක්ෂක හමුදා සහ පොලිසිය තමන්ගේ යුතුකම රටට කළ නමුත් 2009 සිට අද වනතුරු කිසිදු රජයක් පදනම් විරහිත යුද අපරාධ චෝදනා නිෂ්ප්‍රභ කිරීමට අව්‍යාජ උත්සාහයක් ගෙන නොමැති බවයි. ජෙනරාල්වරයා කිසිදු රජයක් බලයේ සිටි පක්ෂයේ නාමයෙන් හඳුන්වා නොදුන් නමුත් චෝදනාවට ලක්වූ එම පක්ෂ නම් කළ යුතුය. එක්සත් ජනතා නිදහස් සන්ධානය (2005-2014/මහින්ද රාජපක්ෂ), එජාප-ශ්‍රීලනිප හවුල (2015-2019/මෛත්‍රිපාල සිරිසේන), ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (2019-2022/ගෝඨාභය රාජපක්ෂ). ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි කාලය (2022-2024/රනිල් වික්‍රමසිංහ) ආරක්ෂා හමුදාව මුහුණ දුන් අභියෝගය නොසලකා කටයුතු කළ බවට හිටපු හමුදාපති සහ අවසාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ ගජබා විරුවා චෝදනා කළේය.
ඇත්තවශයෙන්ම ඉහත සඳහන් කළ සියලුම පක්ෂ ශවේන්ද්‍ර සිල්වා සමස්ත ආරක්ෂක හමුදා වෙනුවෙන් කළ එම චෝදනාවට පිළිතුරු දිය යුතු නොවේද? ජාජබ ආණ්ඩුව ජාතික රණවිරු සැමරුම සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පසුගිය වසරේ ජාතික මැතිවරණ දෙකේදී ප්‍රතික්ෂේප වූ දේශපාලන බලවේගවලට වාසිදායක තත්ත්වයක් උදා නොකරනු ඇත.
විදේශ සම්බාධකවලට යටත් වී සිටින්නේ ශවේන්ද්‍ර සිල්වා පමණක් නොවේ. වරක් යුද අපරාධ සම්බන්ධයෙන් මෙම ලියුම්කරු විදේශ අමාත්‍ය අලි සබ්රිගෙන් විමසීමක් කළ අවස්ථාවේදී ඔහු පෙන්වා දුන්නේ පුද්ගලයින් පමණක් නොව සටන් සේනාංක පවා ‘තහනමට’ ලක් කර ඇති බවයි. යුද අපරාධ චෝදනා, ත්‍රස්තවාදය පරාජය කිරීම සහ රණවිරු සංවත්සර අවධාරණය කරන සැබෑ අවශ්‍යතාව ශ්‍රී ලංකාවට එරෙහිව නඟා ඇති යුද අපරාධ චෝදනා තර්කානුකූලව අසත්‍ය බව ඔප්පු කිරීමයි. කැනඩා පාර්ලිමේන්තුව 2022 මැයි මාසයේදී ශ්‍රී ලංකාව ද්‍රවිඩ ජන සංහාරයක් කළ බවට ප්‍රකාශ කළේය. පසුගිය 10 වැනිදා එම ජනසංහාරයට විරෝධය පෑමට සිහිවටනයක් ඔන්ටාරියෝ ප්‍රාන්තයේ විවෘත කළේය. ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් හුදෙකලා කිරීමේ ජාත්‍යන්තර වැඩසටහන වේගවත් වී ඇත.
ව්‍යවස්ථාදායකය නියෝජනය කරන කිසිදු පක්ෂයකට ජාත්‍යන්තර අභියෝගය අදාළ නැත. ආසන 117 (සභික ධුර) කින් සමන්විත කොළඹ නගර සභාවේ බලය තහවුරු කර ගැනීම යුද අපරාධ අභියෝගය ජයගැනීමටත් වඩා ආණ්ඩු සහ විපක්ෂ කණ්ඩායම්වලට වටිනා බව පෙනේ.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ