ඉර පායා තියෙද්දි විතරක් නෙවෙයි, තිත්ත කළුවරේ දී පවා දුවපියව් කියන හඬ, ෂෙල්, මෝටාර් හඬ ඇහුණු ගමන් අපිට මොකද වෙන්න යන්නේ කියලා හිතන්නවත් වෙලාවක් නැහැ, කැලෑවලට, බංකරවලට රිංගා ගන්නවා. එළිවෙනකන් මදුරුවෝ තල තල නිදිවරනවා. වෙඩි හඬවල් නැවතුනාම නැත්නම් ඉර මෝදු වේගෙන එනකොට බයෙන් බයෙන් ආපහු ගෙවල්වලට පා ඔසවනවා. සමහර වෙලාවට අපි ආපහු ගෙදරට එනකොට, දාලා ගිය ගේ ද මේ කියලා අපටම කියැවෙනවා. අපේ ම නොවන කෙනෙක් ව දකිද්දිත් වෙව්ලා ගිය අපි දැන් සතුට, සමාදානය, සශ්‍රීකත්වය ආදරය සමග ප්‍රීතියෙන් ජීවත්වෙනවා.”

මේ, නැගෙනහිර පළාතේ මඩකළපුව දිස්ත්‍රික්කයේ අයියන්කර්නි ග්‍රාමනිලධාරි කොට්ඨාශයේ දෙපසක ජීවත්වන දෙමළ, මුස්ලිම් පුරවැසියන් කිහිප දෙනකුගේ මුවින් පිටවුණු බරසාර කියමන් ය. යුද්ධය අවසාන වී වසර 15ක් නිමා වී ඇති බැවින්, ඇතැමෙකුට මේ කියමන් නිකම්ම නිකං හරසුන් වදන් විය හැක. එහෙත් “යුද සමයත් පසු කාලයත්” සමීපව නිරීක්‍ෂණය කරන්නෙකුට එහි

“සැබෑව” මනාව වැටහෙනු ඇත.

යුද්ධය බෙදුම් රේඛාවක් වීම

වසර 30ක් තුළ යුද්ධය, භේදයකින් තොරව රට තුළ සමස්ත ජීවිත සහ දේපළ පිළිබඳව තීරණය කළ අතර විශේෂයෙන්ම එය උතුරු නැගෙනහිරදී තිව්‍ර විය. දෙමළ ජනයා ප්‍රමුඛව සිංහල, මුස්ලිම් ජනකොටස් අතර පැවති විශ්වාසය, හොඳ හිත පලුදුව ඔවුන් අතර සුහදතාවය හා ගනුදෙනු ද බිඳවැටුණි. මඩකළපුව අයියන්කර්නි ප්‍රදේශය ඊට යස උදාහරණයකි.

“එදා සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියලුම දෙනා සමාදානෙන් ජීවත් වුණා. එකම මාර්කට් එකේ අපි හැමෝම බිස්නස් කළා. ගනුදෙනු කළා. උත්සව පැවැත්වූවා, හින්දු අපේ උත්සවවලට මුස්ලිම් අය ආවා. අපි ගියා රාමසාන් උත්සවවලට, කෑම බීම හුවමාරු කරගත්තා. ආදරයෙන් අපි ජීවත් වුණා. හැබැයි ඒ යුද්ධෙට කලින්.” යැයි අයියන්කර්නි ග්‍රාමයේ දෙමළ වැඩිහිටියකු වූ මුත්තුමාරි කීවේය.

වසය අවුරුදු 10 සිට යුද්ධය සිය අත්දැකීම වූ සැමියා අහිමි එක් දරු මවක් වන ජෝශප් මයුරා කියා සිටියේ

“වෙඩි හඬ, බෝම්බ හඬ මට හොඳටම හුරුයි. මට මතකයි එදා අපේ අම්මලා අතට හසුවන දේවල් අරගෙන, අපිවත් ඇදගෙන ස්කෝලවලට, කඳවුරුවලට දිව්වා. වෙඩි හඬ, බෝම්බ පිපිරෙන හඬ ඇහෙනකොට අපිට බය හිතුනා” යනුවෙනි.

මේ අතර, දෙපැත්තෙම ඇතැම් පුද්ගලයන් ආරක්‍ෂක අංශවල ඇතැම් නිලධාරීන් සමග එකතුවී කේලාම් කියමින් එකිනෙකාට කරදර කරන්නට ද, ගම්වලට පැන ගෙවල් දොරවලට හානි කරන්නට ද, නිවාස ඉඩම් අල්ලගන්නට ද සත්තු හොරකම් කරන්නට ද, මරාදමන්නට ද පා ඔසවා ඇත.

මෙවැනි පසුබිමකදී සමස්ත යුද්ධය විසින් අයියන්කර්නි ග්‍රාමයේ පමණක් ගැහැණු, පිරිමි, තරුණ, වැඩිහිටි 198 දෙනකුගේ ජීවිත පිළිබඳව ඉතාම අකාරුණීක තීන්දු ගෙන ඇති අතර ඔවුන් අතුරුදන් ද, ජීවතුන් අතර සිටිත් ද යන්න පිළිබඳව නිශ්චිතයක් නැති බව ඔවුහු ප්‍රකාශ කළහ. ඉන් 145 දෙනකුම විශ්වවිද්‍යාල සිසුන්, උසස් අධ්‍යාපනය හැදෑරු සහ උසස් රැකියාවල නිරතවූ තරුණ තරුණියන් වූහ. රජයේ හමුදාවන් සහ දෙමළ සටන්කරුවන් අතර ඇතිවුණු ගැටුම්වලදී තුවාල ලබා තවමත් ඔත්පලව සිටින කාන්තා පිරිමි කිහිප දෙනකු ද ජීවත්වන බවත්, ඔවුන් කිසිවකුටත් සටන් කළ පාර්ශ්වයන්ගෙන් හෝ ආණ්ඩුවෙන් හෝ කිසිදු සහනයක් නොලැබුණු බවත් ඔවුහූ ප්‍රකාශ කළහ.

යුද්ධයෙන් තිළිණ වූ අසරණකම

පළුදු හදවත් යළි අමුණන ආදරයේ කොරටුව

යුද්ධය, විරුද්ධවාදීන් සහ එහි ක්‍රියාදාමය පරාජය කළ ජයග්‍රහණයක් වූ අතර, පුරවැසි ජීවිත ජයග්‍රහණයක් නොවුණි. යුද්ධය ඉතිරිකර තැබුවේ රිදුනු, තැලුනු සිත් සහ ඉමක් කොනක් නැති ජීවිත සහ දේපළ හානි සහිත පාඩූවේ දේශයකි.

එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව, 2009 මැයි 18 වැනිදා අවසන් කළ ශ්‍රී ලංකාවේ දිගුකාලීන සන්නද්ධ ගැටුමේ “අවසාන මාසවල දී” 40,000 ත් 70,000ත් අතර උතුරු නැගෙනහිර සිවිල් වැසියන් මියගිය අතර, තවත් 150,000 ක් පමණ වැසියන් 30 වසරක් පුරා ඇදුනු ම්ලේච්ඡ කුරිරුකම්වලින් ජීවිතයට සමුදී ඇත. එමෙන්ම, ගැහැණු පිරිමි භේදයකින් තොරව 65,000 ක් පමණ දෙනා අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාවලට එක්වන අතර, යාවත්කාලීන නොවන, 2020 වසරේදී ගණනය කළ උතුරු නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාල දත්තවලට අනුව නැගෙනහිර ගෘහමූලික කාන්තාවන් 127,000 ක් ද වෙති. ඉන් 51,000 ගෘහමූලික කාන්තාවෝ මඩකළපුව දිස්ත්‍රික්කයේ පමණක් ජීවත් වෙති. යුද්ධයකට මුහුණදීම තුළ ගෘහමූලික කාන්තාවන් බවට පත්වූවන් හට තිරසර අත්වැළක් නොමැතිව, ජීවත් වීම ඉතාම බැරෑරුම් කර්තව්‍යයකි.

අයියන්කර්නි ප්‍රදේශයේදී, දෙමළ මුස්ලිම් සාමාන්‍ය ජනතාව යුද්ධයෙන් පසුව ඉතා බියෙන් පසුවුණු අතර, දෙමළ මිනිසුන් මුස්ලිම් පළාතට ඇතුළුවීමත්, මුස්ලිම් මිනිසුන් දෙමළ පළාතට ඇතුළුවීමත් සපුරා තහනම්ව තිබී ඇත. දෙපාර්ශ්වයේම තාරුණ්‍යයේ මූලිකත්වයෙන් එසේ සිදුව ඇති අතර “මෙම තත්ත්වය සාමාන්‍ය මිනිසුන්ට දැඩිව බලාපාන්නට වූ බවත් ඒ විරසකය උත්සන්නව දෙපාර්ශ්වය අතරේ ආදරය විනාශවී වෛරය ඉතිරිවූ බවත්” අයියන්කර්නි, භාරතීපුරම් ප්‍රදේශයේ ජීවත්වන 38 හැවිරිදි ඝනේෂමූර්තී මෛධිලීගේ ප්‍රකාශයයි.

යළි නැඟිටින්නට ලැබුණු අත්වැළ

පළුදු හදවත් යළි අමුණන ආදරයේ කොරටුව

යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රජය, විදේශ රාජ්‍යයන්ගේ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක ආහාර වැඩසටහන සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය ප්‍රමුඛ මානූෂීය සහනාධාර ලබාදෙන විදේශීය රාජ්‍ය නොවන සංවිධානවල ද සහය ලබාගනිමින් “නැවත පදිංචිකරවීම, පුනරුත්ථාපනය සහ ප්‍රතිසංස්කරණය” යන ප්‍රධාන තේමා යටතේ, විවිධ නම්වලින් හැඳින් වූ විවිධ ව්‍යාපෘති, වැඩසටහන් හරහා උතුරේ සහ නැගෙනහිර අවතැන් කඳවුරුවල ද වෙනත් ස්ථානවල ද ජීවත් වූ වින්දිතයන් වෙත සහන ලබාදුනි.

මඩකළපුව දිස්ත්‍රික්කයේ අයියන්කර්නි ග්‍රාමයේ ජීවත්වන මුස්ලිම් සහ දෙමළ, තරුණ වැඩිහිටි ගැහැණු සහ පිරිමි පුද්ගලයන් 35 දෙනකු සමග පැවති සංවාදවලදී, යුද්දයෙන් විපතට පත්වූ බොහෝ දෙනකුට සමෘද්ධි ආධාරය සහ පුරුෂයා අහිමි කාන්තාවන් හට යම්කිසි මූල්‍යාධාරයක් ලැබෙන නමුත් එය වර්තමාන ජීවන වියදමට සාපේක්‍ෂව ප්‍රමාණවත් නොමැති බව කීවේය. වසංගතයක්, ආපදාවක් වැනි විශේෂිත අවස්ථාවකදී ලබාදෙන සහනාධාර හැරුණු කොට වර්තමානයේදී රජයෙන් අත්වැළක් නොලැබෙන බව ද කීවේය.

යුද්ධයෙන් විපතට පත්වූවන් මේ වන විටදී යම්කිසි මට්ටමක ජීවත්වන බැවින්, ඔවුන් වෙනුවෙන් නව වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක නොවන බව රජයේ පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යනාදියෙන් විමසා සිටියදී ප්‍රකාශ විය.

රාජ්‍ය නොවන සංවිධාන, ආගමික ආයතනවලින් ලබාදුන් සහ දැනටත් ඉඳහිට හෝ ලබාදෙන ආර්ථික අතදීමකින් හිස ඔසවාගෙන ජීවත්වන අතර පැවති හෝ පවතින ආණ්ඩුවකින් නිසි ආකාරයේ ආර්ථීක ශක්තියක් හෝ අධ්‍යාපනය හදාරණ දරුවන් වෙත අනාගතයට ශක්තියක් වන තිරසර වැඩපිළිවෙළක් ඔවුන් වෙත ළඟා නොවූ බව ඔවුහු ප්‍රකාශ කළහ.

භාරතීපුරම් හී ජීවත්වන උදය රජිධිකාට අනුව, යුද්ධයෙන් බොහෝ කාලයකට පසුව අයියන්කර්නි ග්‍රාමයේ දෙපාර්ශ්වය අතර යම්කිසි අවබෝධයක් ගොඩනැඟෙන්නට විය. එම ධනාත්මක ආරම්භය, රාජ්‍ය හා රාජ්‍ය නොවන විවිධ සංවිධාන විසින් සිදුකරන්නට වූ වැඩසටහන් හරහා සිදුවිය.

“ඒ සියලු වැඩසටහන් අතරින් මඩකළපුව කරිටාස් ආයතනය විසින් මෑතකදී ඉදිරිපත් කළ ව්‍යාපෘතියක් මගින් තමයි අපට නැවත

ගොඩනැඟෙන්නට ලොකු මඟපෙන්වීමක් ලැබුණේ. දෙමළ මුස්ලිම් අපට යුද්ධයේ දී ඇතිවුණු තුවාල බොහෝමයක් සුවපත්කර

ගන්නට ඒ වැඩසටහන් තුළ තිබූ ක්‍රියාකාරකම් හා ගෙවතු වගා ව්‍යාපෘතිය අපට ඉතා හොඳ අත්වැලක් වුණා” යැයි ඇය කීවේ මහත් සතුටිණි.

බිඳුනු ජීවිත විවිධත්වය තුළ නැවත ගොඩනැඟෙමින්

පළුදු හදවත් යළි අමුණන ආදරයේ කොරටුව

අයියන්කර්නි දෙමළ ගම්මානයේ ඥාණප්‍රගාසම් විජයා අදහස් දක්වමින්, කරිටාස් ආයාතනයේ අනුග්‍රහයෙන් මේ වසරේ ජනවාරි මාසයේ දී හඳුන්වා දුන් කාබනික ගෙවතු වගා ව්‍යාපෘතිය අයියන්කර්නි ග්‍රාමයේ මිනිස් ජීවිතවලට නව උදාවක් ඇතිකරමින් සිටින බව ප්‍රකාශ කළේය.

“අපි කණ්ඩායමක් වශයෙන් කාබනික ගෙවතු වගාවේ නිරතවෙලා සිටිනවා වගේම ඒ එළවළු පළතුරු නිසා පවුල්වල සැවොම සෞඛ්‍ය සම්පන්න ජීවිත ගතකරනවා. අපේ පාරිභෝජනය වගේම අවට ගම්වල අයටත් අඩු මිලකට අපි කාබනික එළවළු පළතුරු අලෙවි කරනවා, ඒ නිසා අපට දැන් මූල්‍යමය ඉතිරියකුත් තිබෙනවා” යැයි විජයා කීවේය.

එළවළු පළතුරු මිල අහස උසට නැග, රට තුළ ආහාර අර්බුදයක් පවතින විට දී, සිය ග්‍රාමයේ ජීවත්වන මුස්ලිම් හා දෙමළ ජනතාවට ඒ අර්බුදය ජයගන්නට මඩකළපුව කරිටාස් ආයතනයේ දෑත් දිගුකිරීම, ආර්ථීක අර්බුදය පමණක් නොව විරසකව තිබූ සිත් ද ජයගන්නට පාලමක් වූ බව ඇය සතුටින් ප්‍රකාශ කළේය.

අයියන්කර්නි ග්‍රාමයේ දෙමළ සහ මුස්ලිම් ජනතාව පදිංචි වී සිටින රටාවට අනුව, ප්‍රදේශ දෙකක් වශයෙන් හඳුන්වා දුන්න ද, කරිටාස් ආයතනය හා සම්බන්ධ මුස්ලිම් ප්‍රදේශයේ පවුල් 31 ක් සහ දෙමළ ප්‍රදේශයේ පවුල් 26 ක්ද සෘජුවම සහ තවත් පවුල් ගණනාවක් වක්‍ර ආකාරයෙන් ද මෙකී කාබනික ගෙවතු වගා ව්‍යාපෘතිය මගින් මහඟු ප්‍රතිලාභ ලබමින් සිටින බව මඩකළපුව කරිටාස් . මානව සහ ආර්ථීක සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ සැම්සන් ජයනික්ෂන් පියතුමා පැවසීය.

“මේ කාන්තාවන් සිය නිවෙස්වල කාබනික ගෙවතු වගාව කරනවාට අමතරව, මුස්ලිම්, දෙමළ දෙපාර්ශ්වය ම එකතුව පොදු ගොවිපළ 04ක් ද පවත්වාගෙන යනවා. ගොවිපළේ සියලුම වැඩ බෙදාගෙන, දින, වෙලාවල් වෙන්කරගෙන ගොවිපළේ වර්ධනයට ඔවුන්ගේ දායකත්වය නොමසුරුව ලබාදෙනවා. මොකද, මේ ගොවිපළවල් ඔවුන්ගේ. ලබන ආදායම සමව බෙදීයන ක්‍රමයක් සකස්කර තිබෙනවා” යැයි පියතුමා කීවේය.

“මේ ව්‍යාපෘති හරහා යුද්ධයේදී ඔවුන්ට අහිමිවුණු ධනය, වටිනාකම්, සංස්කෘතිය, ඔවුන් ගතකළ ජීවිතය නැවත ලබමින් සිටිනවා. ඒ ගැන මට සතුටුයි. මොකද, මිනිසුන් සුවපත් කිරීම සහ ඔවුන් අතර සංහිඳියාව ගොඩනැඟීම ආගම්වල හර පද්ධතියයි”යනුවෙන් ද පියතුමා ප්‍රකාශ කළේය.

අයියන්කර්නි ග්‍රාමය තුළ, කාන්තාවන් ඒකරාශී වී සිදුකරන මෙම කාබනික වගාව සහ අලෙවි කිරීමේ කාර්යය අගය කළ ග්‍රාමීය සාම කමිටුවේ නිලධාරි එන්. කමල්, තම ග්‍රාමයේ ජනතාවගේ සමාදානය යළි ස්ථාපිත කිරීම මෙන්ම ආහාර අර්බුදයක් පවතින විට, ශක්තිමත් ආර්ථීකයක් පවත්වාගෙන යෑමට ද දියත්වන මෙම මහඟු දායකත්වය පිළිබඳව ප්‍රශංසා කළේ, මෙම සුවිශේෂනීය සද්කාර්යය, මඩකළපුවේ ඉතිරි ගම්වල ද පිහිටුවීම යෝග්‍යය බවට ඉඟි කරමිනි.

කාබනික වගාව තුළින් බිඳුනු සිත් යා කිරීමට මෙවැනි පියවරක් ගැනීම කෙතරම් සුවිශේෂනීය දායකත්වයක් ද යන්න එරාවුර් අල් මද්ද්‍රසාවුල් මුහමධියා හී අධ්‍යක්‍ෂක කේ. එම්. එම්. කබීර් මවුලවිතුමා පැහැදිළිව ප්‍රකාශ කළේය.

“වස විසෙන් තොර කාබනික ආහාර භාවිතය පිළිබඳව ශුද්ධ වූ කුරානයේ පවා සඳහන් කර තිබෙනවා. මුස්ලිම් ජාතිකයන් පමණක් නෙවෙයි, සියලුම මිනිසුන් රෝගී නොවී යහපත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම සඳහා වස විස නැති කාබනික ආහාර පාරිභෝජනය කළ යුතු බව නබි නායක මොහොම්මද් තුමා පැහැදිළිව ප්‍රකාශකර තිබෙනවා” යැයි කබීර් මවුලවිතුමා කීවේය.

ආර්ථීක ප්‍රතිලාභ, ප්‍රජා වෙළෙඳපොළ සහ සංහිඳියාව දිනා ගැනීම

ප්‍රාදේශීය මුස්ලිම් සහ දෙමළ ප්‍රජාව අතර වර්තමානයේ දී ගොඩනැඟී ඇති එකමුතුකම සහ අවබෝධය ගැන සිය ප්‍රසාදය පලකළ, එරාවුර් ප්‍රදේශයේ පුන්‍යාරාමයේ විහාරාධිපති, දඹගල්ලේ වනරතන හිමි, ජීවිත පැවැත්මට අතීශ්‍ය අත්වැළක් වන කාබනික ගෙවතු වගාව වැනි යහපත් කර්තව්‍යයක් හරහා දෙපාර්ශ්වය එකමුතු කිරීම සම්බන්ධයෙන් කරිටාස් ආයතනයට ස්තුතිය පුද කළේය.

“පෙණුමෙන් ලස්සන වුණත් මෙච්චර කාලයක් අපි විස තමයි අනුභව කරලා තියෙන්නෙ. ඒවා කාලා අපිත්, දරුවොත් ලෙඩ වුණා. නමුත් අපිට හඳුන්වා දුන්න කාබනික ගොවිතැන නිසා දැන් අපි හැමෝම වස විස නැති නැවුම් එළවළු, පළතුරු අනුභව කරනවා. විශේෂ ම දේ තමයි, අපියි දෙමළ කට්ටියයි අතර විශාල සම්බන්ධතාවයක්, එකමුතුකමක් ගොඩනැඟුණා, ඒ ගැන හරිම සතුටුයි” සතුටේ ඒ ප්‍රකාශය මඩකළපුව අයියන්කර්නි මුස්ලිම් ප්‍රදේශයේ ජීවත්වන කරිටාස් කාබනික ගෙවතු වගාවේ ප්‍රතිලාභ ලබන සුල්ෆිකා සහ මර්ෂුකා යන මුස්ලිම් කාන්තාවන්ගේ ය.

සුල්ෆිකා සහ මර්ෂුකා මෙන් ම අයියන්කර්නි මුස්ලිම් ප්‍රදේශයේ ජීවත්වන මුස්ලිම් පවුල් 31ක කාන්තාවෝ මහත් ප්‍රීතියෙන් යුතුව, බෝංචි, වම්බටු, මෑ කරල්, වැටකොළු, බණ්ඩක්කා, මුරුංගා, පලා වර්ග සහ රටකජු යන නැවුම් එළවළු වර්ග සහිත සිය අස්වැන්න පළමු වතාවට ජුනි මස 29 වැනිදා විවෘත කළ “ප්‍රජා වෙළෙඳපොළ” හී තැබුවේ තවත් ජයග්‍රහණයක් හිමිකර ගනිමිනි. තවදුරටත් ඔවුන්ගේ ගෙවතු වගාවට අවැසි පොහොර, බීජ සහ වගා උපකරණ ද මෙදින දී ඔවුන් සතුවූහ.

මෙකී වගා ව්‍යාපෘතිය, සාමාජීය, ආර්ථීක, අධ්‍යාත්මික වශයෙන් ඔවුන්ගේ ජීවිතවල සැබෑ වර්ධනයක්, සතුටක්, සමාදානයක් ගොඩනැඟීමට සමත්වූ බව අයියන්කර්නි මුස්ලිම් ප්‍රදේශයේ සුල්ෆිකා, හම්ෂියා සහ මර්ෂූකා මෙන් ම, දෙමළ ප්‍රදේශයේ රජිධිකා, මෛධිලී, මයුරා, විජයා මෙන් ම මුත්තුමාරි ද ප්‍රකාශ කළහ.

“එකා වගේ ජීවත් වෙච්ච මුස්ලිම් . දෙමළ අපේ බිඳුනු හදවත් හී මැකී ගිය පෙර ආදරය කොරටුව තුළින් නැවත හිමිකර ගැනීමට හැකි වූ නිසා, අපි දැන් එකට වැඩකරනවා. දරුවෝ එකට පාසල් යනවා. සෙල්ලම් කරනවා. එකට සතුටු වෙනවා. ජීවිත දිනනවා.” ඒ, මඩකළපුව, අයියන්කර්නි ග්‍රාමයේ දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවගේ සංහිඳියාවේ සහ සංවර්ධනයේ සැබෑ හඬයි! ස්තුතිය . ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා ආයතනය

මෙලනි මානෙල් පෙරේරා
පිංතූර . මෙලනි මානෙල් පෙරේරා


advertistmentadvertistment