අවුරුද්දකට එක්ලක්‍ෂ හතළිස් හත් දහසක් වගාවෙන් ඉවතට
ගොවීන් අදටත් උපදෙස් ගන්නෙ පොහොර කඩේ මුදලාලිගෙන්
අපේ රට ඈත අතීතයේ පටන්ම හඳුන්වන්නේ කෘෂිකාර්මික රටක් වශයෙනි. නමුත් එදා සිට අද දක්වාම ලැබූ ප්‍රගතියක් නැත. නිදහසින් පසු මෙරට කෘෂිකර්මාන්තයේ දකින්නට ලැබෙන්නේ අයාලේ ගිය ආකාරයකි. කෘෂිකර්මාන්තයට මේ වන තෙක් ස්ථිර ජාතික ප්‍රතිපත්තියක් නොමැත. කාලයෙන් කාලයට පත්වන විවිධ රාජ්‍ය නායකයන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළත් එම එක වැඩසටහනක්වත් 100%ක් සාර්ථක වී නොමැත.
පහළ ගිය කෘෂිකර්මය
1978 විවෘත ආර්ථිකයෙන් පසුව මේ තත්ත්වය වඩාත් තීව්‍ර වී තිබේ. 2023 වර්ෂය වන විට කෘෂිකර්මාන්තයෙන් මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය 7.9%ක් පමණි. එහි වටිනාකම රුපියල් බිලියන 954කි. නමුත් 1970 පමණ වන විට කෘෂිකර්මාන්තය මෙරට දළ දේශීය නිෂ්පාදිතයට දැක්වූ දායකත්වය 28% තරම් ඉහළ අගයක තිබිණි. එම තත්ත්වය 1980 වන විටත් රඳවා ගැනීමට හැකියාව ලැබුණද 2010 පමණ වන විට කෘෂිකර්මාන්තයේ දායකත්වය 8.5% දක්වා අඩුවී තිබේ.
කෘෂිකර්මාන්තය අපට වැදගත් වන්නේ නිෂ්පාදිතයට දක්වන දායකත්වය හේතුවෙන් පමණක් නොවේ. කෘෂිකර්මාන්තය තුළ සේවා නියුක්තිය සලකා බලන විට පෙනී යන්නේ 1970 වන විට සමස්ත සේවා නියුක්තියෙන් 53% ක් කෘෂිකාර්මික අංශය තුළ සිටි බවයි. වෙනත් රටවල් දිනෙන් දින කෘෂිකර්මාන්තය දියුණු කරගන්නා අවධියක මෙරට සෑම ක්ෂේත්‍රයක්ම පල්ලම් බැස ඇති ආකාරය දක්නට ලැබේ. 2010 වන විට කෘෂිකර්මාන්තයෙහි සේවා නියුක්තිය 33% දක්වා පල්ලම් බැස ඇත. මේ වන විට කෘෂිකර්මාන්තයෙහි සේවා නියුක්තිය 25% දක්වා අඩු වී ඇත.
‘අදට වඩා හෙට හොඳයැයි’ කියමනක් පවතී. නමුත් එම කියමන කෘෂිකර්මාන්තයට නම් කිසිසේත්ම අදාළ නැත. මන්ද ගිය වසරට වඩා මේ වසර වන විට කෘෂිකර්මාන්තයේ නියුක්ත පිරිස විශාල ලෙස පහළ ගොස් ඇත. 2023 පළමු කාර්තුව වන විට 2,187,563 දෙනකු කෘෂිකර්මාන්තයෙහි නියුක්ත වුණු අතර 2024 පළමු කාර්තුව වන විට එම ප්‍රමාණය 2,039,574 දක්වා 147,989 කින් විශාල වශයෙන් පහළ ගොස් ඇත. එය ආසන්න වශයෙන් සෑම මාසයකම 12,000 අධික ප්‍රමාණයකින් කෘෂිකර්මාන්තයෙන් ඉවත් වීමකි.
මෙරට කෘෂිකර්මාන්තය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කළ හැක. ඒ වතු ආශ්‍රිතව සිදුකරන කෘෂිකර්මාන්තය සහ වතු ආශ්‍රිත නොවන කෘෂිකර්මාන්තය වශයෙනි. වතු අංශයෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ කෘෂිකාර්මික ද්‍රව්‍ය අපනයනයයි. කෘෂිකර්මාන්තයේ අනෙක් අංශය දේශීය ආහාර අවශ්‍යතාව සපුරාලීම සඳහා ක්‍රියාත්මක වේ. කෘෂිකාර්මික අපනයනයන්ගෙන් 2015 වර්ෂය වන විට මෙරට උපයා ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 2.48කි. 2020 වන විට එම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.34 දක්වා පහළ ගොස් ඇත. එය 2023 වර්ෂය වන විට වාර්තා වන්නේ 2.57ක් වශයෙනි.
පල්ලම් බැස්ස ප්‍රධාන කෘෂි භෝග
ඉස්සර පාසල් දරුවන්ගෙන් නිතර අසන ප්‍රශ්නයක් වේ. ඒ මෙරට ප්‍රධාන අපනයන බෝග මොනවාදැයි යනුවෙනි. ළමයින් දෙවරක් නොසිතාම තේ, පොල්, රබර් යනුවෙන් පිළිතුරු දෙනවා ඇත. නමුත් මේ වන විට අපගේ කෘෂිකාර්මික අපනයනයන්ගෙන් පොල් සහ රබර් පසුබැස ඇත. දැනට වැඩි දායකත්වයක් දක්වන්නේ තේ කර්මාන්තයයි.
2023 වර්ෂය වන විට තේ අපනයනයෙන් ලද ආදායම ඩොලර් බිලියන 1.31කි. ඊට අමතරව කලින් ප්‍රධාන ස්ථානයක තිබුණු රබර් මේ වන විට පල්ලමටම බැස ඇත. පොල් වල තත්වයත් එසේමය. පොල් අපනයනයෙන් 2023 වර්ෂයේදී උපයා ඇත්තේ ඩොලර් මිලියන 336 ක් පමණි. කුළුබඩු අපනයනයෙන් ඩොලර් මිලියන 392ක් උපයා ඇත. රට එදා ඉඳන් කෘෂිකාර්මික රටක් වශයෙන් හැඳින්වූවාට මේ වන විට කෑමට අවශ්‍ය ද්‍රව්‍ය පවා ආනයනය කරන තත්ත්වයට පත්ව තිබේ.
මෙරට කෘෂිකර්මාන්තය දිනෙන් දින වළපල්ලට යෑම පිළිබඳව අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල පළ කළේ මෙවන් අදහසකි.
සම්ප්‍රදායෙන් පිට පනින්න බැරිවීම
“මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණයට ලක්වන ආකාරයක් දකින්නට ලැබෙන්නේ නැහැ. ලෝකයේ බොහොමයක් රටවල් නව තාක්ෂණය සමඟ ඉදිරියට ගියත් අප තවමත් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය මත ක්‍රියාකරන ආකාරයක් දක්නට ලැබෙනවා. ඒ වගේම රට තුළ කිසිදු පැහැදිලි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම නිසා දේශීය නිෂ්පාදන ක්‍රම ක්‍රමයෙන් පහළ වැටීමටත් ආනයන මත රඳා පවතින තත්ත්වයක් නිර්මාණය වී ඇති ආකාරයක් දක්නට ලැබෙනවා.”
මෙරට කෘෂිකර්මාන්තය සලකා බලන විට පෙනී යන්නේ එහි අඩු ඵලදායිතාවක් පවතින බවයි. රටේ සමස්ත සේවා නියුක්තියෙන් 25%ක් කෘෂිකාර්මික අංශයේ නියුතු වුවත් රටේ දළ දේශීය නිෂ්පාදිතයට දක්වන දායකත්වය 8% තරම් අඩු අගයකි.
මෙම ක්ෂේත්‍රය ඉහළට ඔසවා තැබීමට නම් සියල්ලටම පෙර ඒ තුළ පවතින ගැටලු හඳුනාගත යුතුය. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පවතින මූලිකම ගැටලුව වන්නේ නිවැරදි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීමයි. දෙවනුව භූමිය සම්බන්ධ ගැටලු නිරාකරණය නොවීමයි. ඒවා නිරාකරණය කිරීමට කිසිදු රජයක් මැදිහත්වී නොමැත. භූමිය සම්බන්ධ ගැටලු යනුවෙන් අදහස් කළේ භූමියෙහි අයිතිය පිළිබඳ ගැටලුය. කුඹුරු ඉඩම් අතීතයේදී පැවතුණු ආකාරය පිළිබඳ ගැටලු රාශියක් තවමත් පවතී.
රටක් දියුණු වීමට නම් පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව කටයුතු කළ යුතුය. නමුත් මෙරට තුළ එලෙස ඒකාබද්ධ වී කටයුතු කරන ආකාරයක් දක්නට නොලැබේ. බොහෝ රටවල කෘෂිකාර්මික අංශය දියුණු වී ඇත්තේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ඒකාබද්ධ වී කටයුතු කිරීම තුළිනි.
එපමණක් නොව කෘෂිකාර්මික අංශයේ යටිතල පහසුකම්වල පවතින දුර්වලතාද කෘෂිකාර්මික ක්ෂේත්‍රය කඩාවැටීමට හේතු වී ඇත. ඒ පිළිබඳ සලකා බැලීමේදී පෙනී යන්නේ නිසි පරිදි කෘෂි බෝග ප්‍රවාහනයට මාර්ග පද්ධතියක් නොමැතිවීම, වගාවට අවශ්‍ය වාරිමාර්ග පද්ධතියක් නොමැති වීම මෙන්ම ගබඩා පහසුකම් අවම මට්ටමක පැවතීම මේ සඳහා ප්‍රධාන වශයෙන් සාධක වී ඇත. අනෙක් පැත්තෙන් නව තාක්ෂණය භාවිත නොකිරීම හේතුවෙන් නිස්කාරණේ වගාවට පොහොර මෙන්ම කෘෂි රසායන ආදිය යෙදීම හේතුවෙන් පස නිකම්ම මුඩුබිමක් බවට පත්වී හමාරය.
ලොව බොහෝ රටවල් තාක්‍ෂණය සමග ඉදිරියට ගියත් අප තවමත් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තයෙන් පිට පැන නැහැ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන අංශයේ අධ්‍යක්‍ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල
බෝඩ් ලෑල්ලට සීමා වූ කෘෂි පර්යේෂණාගාර
එදා සිට අද දක්වාම කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා විවිධ පර්යේෂණ ආයතන පැවතියත් ඒවා නමට පමණක් සීමා වී ඇත. තවමත් වගාවකට යොදන පොහොර ප්‍රමාණය කොපමණද, පසෙහි තත්ත්වය කවර ආකාර ද යන මූලික කරුණු ගැන පවා ගොවි ජනතාවට හරිහැටි කියාදී නොමැත. එසේම කවර හෝ බෝගයකට රෝගයක් වැළඳුණු කල ඒ සඳහා යෙදිය යුතු කෘෂි රසායන කවරේද, එම රෝගය කුමන කරුණක් හේතුවෙන් ඇති වූවක්ද යන්න පිළිබඳ ක්ෂණිකව උපදෙස් දීමට කෘෂි පර්යේෂණ ආයතන කටයුතු කරන ආකාරයක් දක්නට නොලැබේ.
විවිධ භෝග සඳහා රට වටේ කෘෂි පර්යේෂණ ආයතන තිබුණත් තවමත් අස්වනු වැඩි කරගන්නා ආකාරය පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කර නොමැත. වෙනත් රටවල් ඉතා සීමිත ඉඩකඩක ‘අල්ලක් වපුරා මල්ලක් ගෙට ගනිද්දී අප තවමත් මල්ලක් වපුරා අල්ලක් ගෙට ගන්නා’ තත්ත්වයක පසුවේ.
ඒ විතරක් නොව තවමත් හරි හැටි කාලගුණ තත්ත්වයන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳ ජනතාවට නිසි අවබෝධයක් ලබා දෙන්නේ නැත. වෙනත් රටවල ගොවීන්ගේ ජංගම දුරකථනයට කෙටි පණිවිඩ මගින් එවැනි අවස්ථා ක්‍ෂණිකව දැනුම් දේ.
ගොවි ජනතාව හරියටම දැනුවත් කරන්නට නම් හරියටම වහිනවාද පායනවාද කියා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනගත යුතුය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් තවමත් නිවැරදි තොරතුරු ලැබෙන්නේ නැත. මේ හේතුව නිසා බොහෝ ගොවීන්ගේ අස්වනු වතුරේ ගසාගෙන ගිය පුවත් අසන්නට දකින්නට ලැබේ.
අසාර්ථක වුණු කාබනික ගොවිතැන
ගෝඨාභය රාජපක්ෂ මහතා එක රැයින් කාබනික ගොවිතැන මෙරට ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරත් එය සාර්ථක වූයේ නැත. කාලාන්තරයක් තිස්සේ රසායනික පොහොර භාවිතයෙන් කරගෙන ගිය ගොවිතැනක් එක රැයෙන් කාබනික වගාවක් බවට පත්කළ නොහැක. ඒ සඳහා අදියර කීපයක් යටතේ ක්‍රියාත්මක විය යුතුය. පළමුව මධ්‍යම කඳුකරයටත් දෙවනුව තුන්වනුව ඉන් පහළ ප්‍රදේශවලටත් ලෙස අදියර කීපයක් යටතේ කාබනික ගොවිතැන ප්‍රචලිත කළානම් එය සාර්ථක වීමට ඉඩ තිබිණි.
ගොවීන් මෙන්ම පාරිභෝගිකයාද කාබනික ගොවිතැන කෙරෙහි දක්වන්නේ අඩු අවධානයකි. පළමුව කාබනික ගොවිතනෙහි ඇති වටිනාකම පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කළ යුතුය. ඒ සඳහා වෙළෙඳපළක් ඇති කළ යුතුය. ඒ සඳහා ඉල්ලුමක් ඇතිවූ පසුව කාබනික ගොවිතැන පටන් ගත යුතුය.
මෙරට කෘෂිකර්මාන්තය කඩා වැටීමට තවත් ප්‍රබල හේතුවක් වන්නේ වෙනත් රටවල් සමඟ සම්බන්ධව පර්යේෂණ කටයුතු සිදු නොකිරීමයි. එම රටවල පවතින තාක්ෂණය, මෙරට කෘෂි කර්මාන්තයට ගෙන ඒමට තිබූ බොහෝ අවස්ථා මේ හේතුව නිසා මගහැරී ගොස් ඇත. අප හැමදාමත් සිදු කළේ විදේශීය රටවල්, විදේශීය සංවිධාන සමග ඒකාබද්ධව කෘෂි පර්යේෂණ සිදුකරනවා වෙනුවට අප රට සතු අගනා සම්පත් ගෙඩිය පිටින්ම පිටරටට විකුණා දැමීමය. මේ හේතුව නිසාම මෙරටට ආවේණික බීජ බොහෝමයක පරම අයිතිය විදෙස් රටවල් සතු වී තිබේ.
ගොවියාට නිසි තැනක් හිමි නොවීමද ගොවිතැනින් ගොවියා ඈත්වීමට ප්‍රධාන හේතුවකි. අතරමැදියන්ගෙන් තොරව කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට සුදුසු ස්ථාන රට පුරා ස්ථාපිත කිරීම පවතින රජයේ වගකීමයි. නමුත් අදටත් රජය විසින් ගොවීන්ට ස්ථාපිත කරදී ඇති දඹුල්ල තඹුත්තේගම ආදී ස්ථාන බොහෝමයක සිදුවන්නේ ගොවීන් තව තවත් සූරා කෑම පමණි. එවන් කිසිදු ස්ථානයකදී ගොවීන්ට තම අස්වනු සඳහා සාධාරණ මිලක් නොලැබේ. ගොවීන් කරන්නේ වෙන කරන්නම දෙයක් නැති තැන මාස ගණනක මහන්සියේ ප්‍රතිඵල කුණු කොල්ලයට දී අත පිසදා ගැනීමය. ගොවීන්ට සාධාරණ මිලක් ලැබෙන තුරු රඳවා තබා ගැනීමට පහසුකම් සපයා තිබුණානම් ගොවීන් මීට වඩා ගොවිතැන ගැන උනන්දු වීමට ඉඩ තිබිණි.
කෘෂිකර්මාන්තය තුළ දක්නට ලැබෙන තවත් ප්‍රබල අඩුපාඩුවක් වන්නේ අධ්‍යාපනය සහ පුහුණු කිරීම් අවම මට්ටමක පැවතීමයි. හැමදාමත් කරන සාම්ප්‍රදායික කෘෂිකර්මයෙන් ඈත්ව නව තාක්ෂණය සමග ඉදිරියට යෑමට හැකි ප්‍රජාවක් නිර්මාණය කළ යුතුය. ඒ සඳහා කෘෂි පර්යේෂණ ආයතන නිරන්තරයෙන්ම ගොවි ජනතාවට විධිමත් අධ්‍යාපනයක් ලබාදිය යුතුය.
නමුත් ගැටලුව වන්නේ එලෙස ලබාදීමටත් කෘෂිකර්ම ක්ෂේත්‍රය තුළ දැනුම ඇති නිලධාරීන් අවම වීමය. මේ හේතුව නිසා අද වන විට ප්‍රබල අවදානමක් මතුව ඇත. ඒ වෙන කිසිවක් නොව ගොවීන් මේවනවිට විශ්වාස කරන්නේ කෘෂි නිලධාරීන් දෙන උපදෙස් වලට වඩා කඩේ මුදලාලි දෙන උපදේශය. මේ හේතුවෙන් ගොවියා තෙල් බෙහෙත් කඩේ මුදලාලිගෙන් උපදෙස් ගැනීමට පෙළඹී තිබේ.
වවන්නෝ දිනන්නෝ කියා පැරණි කියමනක් තිබේ. නමුත් ලංකාවේ ගොවියා හැමදාමත් දුප්පත්ය. එසේ වීමට හේතු කවරේදැයි අප මහාචාර්ය අතුකෝරල මහතාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පළ කළේ මෙවන් අදහසකි.
“ලංකාවේ ගොවීන් හැමදාම ගොවීන් වශයෙන්ම නොසිට ව්‍යවසායකයන් බවට පත්විය යුතුයි. ඔවුන් නිෂ්පාදනය කරන බෝග වලින් විවිධ අතුරු නිෂ්පාදන සිදුකර වෙළෙඳපළට යොමු කළ හැකි නම් ඉතා හොඳ වෙළෙඳපළක් ඒ කෙරෙහි පවතිනවා. නමුත් ගොවියා හැමදාම කරන්නේ තමන්ගේ නිෂ්පාදන එහෙමම කාට හෝ අඩු මුදලට විකුණා දැමීම පමණයි. ගොවීන් ව්‍යවසායකයන් බවට පත්කිරීමට මේ දක්වා කිසිම රජයක් ක්‍රියාත්මක වී නැහැ.
ඒ වගේම ලොව බොහෝ රටවල් කෘෂිකර්මාන්තය ඩිජිටල්කරණයට ලක් කර තිබෙනවා. එම රටවල කෘෂිකර්මාන්තය ාසටසඒකස‘්එසදබ කර තිබෙනවා. ඒ අනුව දිනපතා වෙනස් වන මිල මට්ටම කාලයෙන් කාලයට මිල ඉහළ පහළ යන බෝග පිළිබඳව දැනුවත් කිරීම් සිදුවෙනවා. නමුත් අපේ රටේ ගොවියා අස්වනු නෙළාගෙන මාර්කට් එකට එනකම් මිල මට්ටම දන්නේ නැහැ. මේ හේතුව නිසා තමයි එක කාලයකට එළවළු මිල ගණන් කුණු කොල්ලයට යන්නෙත්, තවත් කාලයක එළවළු මිල ගණන් අහස උසට නගින්නේත්. මුළු රටේම ගොවීන් පරිගණක මෘදුකාංගයක් මගින් හෝ සම්බන්ධ කර හැකි නම් මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකියි. එතකොට ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයන්ටද රටේ කෘෂිකර්මාන්තය යන අවබෝධයක් ලබාගෙන තම කටයුතු පවත්වාගෙන යා හැකියි.”
අපේ රටේ ජනවහරේ එන පැරණි කියමනක් තිබේ. ඒ ගොවියකු සියඹලා විකුණන්නට ගෙන ආ විට ගෝනියේ බරට, සියඹලා පොතුවල බරට, සියඹලා ඇටවල බරට ආදී විවිධ කරුණු කාරණා කියමින් අඩුකළ විට ගොවියා විකුණන්නට සියඹලා ගෙනවිත්ම නැත. මෙවන් තත්ත්වයන් ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ කපටි වංචාකාර අතරමැදියන් ආර්ථික මධ්‍යස්ථාන අරක් ගෙන සිටීමය. ඔවුන් විසින් කෘතිමව මිල ඉහළ පහළ දැමීම හේතුවෙන් සැබෑ ගොවීන් අද වන විට අන්ත අසරණ තත්ත්වයට පත්ව තිබේ. පළමුව නැති කළ යුත්තේ එම මාෆියාවයි.
පසු අස්වනු හානිය ඉහළට
මෙරට නිෂ්පාදනය කරන එළවළු පලතුරු වලින් හරි අඩක් පමණම අපතේ යයි. ඒ වෙන කිසිවක් නිසා නොව ප්‍රවාහනයේ පවතින ගැටලු හේතුවෙනි. මෙරට පසු අස්වනු හානිය පවතින්නේ ඉතා ඉහළ අගයකය. දැල් ගෝනි තුළට කිලෝ 50-60 පටවා ලොරියේ උඩ සිට පහළට දෙපාරක් වීසි කරන විට ඒ තුළ ඇති එළවළු වලින් භාගයකට වඩා විනාශ වී ගොස් හමාරය. අවාසනාවට කරුණ වන්නේ එලෙස විනාශ වන හැම එළවළු පලතුරුවලට අසරණ පාරිභෝගිකයාට වන්දි ගෙවන්නට සිදුවීමය.
මෙරට කෘෂිකර්මාන්තය පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූ අතුකෝරල මහතා
මෙරට පවතින්නේ සහනාධාර කෘෂිකර්මාන්තයක්. පොහොර, කෘෂි බීජ මෙන්ම ජලය නොමිලේම හෝ සහන මිලට ලැබුණත් ගොවීන්ට අවශ්‍යම දේ ලැබෙන්නේ නැහැ. ඒ වෙන කිසිවක් නොව ගොවීන්ට තම වගාව ආරක්ෂා කර ගැනීමට ආරක්ෂක වැටක් ඉදිකිරීමට ඇති අවස්ථාවයි. මේ හේතුව නිසා අස්වැන්නෙන් වැඩි කොටසක් අලි ඇතුන්, ඌරන් මොනරුන් වැනි සතුන් විසින් කා දමයි. ගොවි ජනතාව විශාල වශයෙන් වගාවෙන් ඈත්වීමට එයද ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. දහදුක් විඳ කරන වගාව එක රැයින් අලි ඇතුන් විනාශ කිරීම දිගින් දිගටම සිදුවීම හේතුවෙන් බොහෝ ගොවීන් අධෛර්යමත් වීම හේතුවෙන් වගාවෙන් ඈත් වී තිබෙනවා.
සමීර කන්නන්ගර