‘බව තරණය’ පළ වූ යුගයේ දී එහි වෙතැයි කියූ බෞද්ධ දර්ශනයට නොගැලපෙන හා බුදු සිරිතෙන් නොකියවෙන කාරණා පෙරදැරි කර ගනිමින් සිදු වුණු විවේචනය ද, එය දාර්ශනික නවකතාවකි යන අදහස ද මුල් තැනට පත් විය. එය සාහිත්‍ය විචාරයක් නොවන දෘෂ්ටිවාදී විචාරයක් වූ අතර එම නවකතාව සාහිත්‍ය ක්ෂේත්‍රයෙන් පිටතට ගෙන දාර්ශනික ප්‍රවාද අතර රැඳවීමේ වුවමනාවක් දැකිය හැකි විය.

අසාමාන්‍ය ලෙස විශාලව වැඩී, වල්බිහි වෙමින් පවත්නා සාහිත්‍ය ප්‍රභේදයක් ලෙස ඇතැම් විචාරකයින් කල්පනා කරන ලෝක නවකතාව විසින් එහි පවත්නා හේතුඵලතාව තුළ කතා වස්තුව, චරිත හා විකාශනයෙහි ලා පෙන්නුම් කරන ඵලදායි සංශයවාදී අවලම්භනය ඔස්සේ දිනා ගන්නා ලද වටිනාකම් කවරේ ද යන්න මගින් එහි සුවිශේෂ ස්වභාවය තීරණය කරයි.

එහෙයින් නවකතාවක් ‘අන් තැනක’ තැබීමට වඩා තවදුරටත් යෝග්‍ය වන්නේ එය ‘ඒ තුළ ම තැබීම’ ය. තවද නවකතාව බිහි වන්නට මග සැලසූ ‘යථාර්ථවාදය’ වූවත් එහි සිදු වී තිබෙන වෙනස්කම් හමුවේ ‘අන් තැනක’ තැබීමට වඩා තවදුරටත් යෝග්‍ය වන්නේ එය ‘ඒ තුළ ම තැබීම’ ය.

‘බව තරණය’ මෙවැනි නූතන විචාර සත්කාරයට යොමු කරන්නේ කෙසේ ද? එය සිංහල නවකතාව ලෙස අසාමාන්‍ය ලෙස විශාලව වැඩී, වල්බිහි වෙමින් පවත්නා හෝ පවතින්නට නියමිත වූ කලා ප්‍රභේදයක ප්‍රතිඵලයක් ද? එසේ නැති නම් බොහෝ ලිවීමෙන් ඉමහත් ලේඛන සාඵල්‍යතාවක් දැක්වූ ලේඛකයකුගේ විශාලව වැඩුණු සාහිත්‍ය ලතා මණ්ඩපය තුළ සිදු වුණු වල්බිහි වීමක් ද? එහි පවත්නා නවකතා කලාවේ හේතුඵලතාව තුළ කතා වස්තුව, චරිත හා විකාශනයෙහි ලා පෙන්නුම් කරන ඵලදායි සංශයවාදී අවලම්භනය ඔස්සේ දිනාගෙන තිබෙන වටිනාකම් කවරේ ද?

‘බව තරණය’ නවකතාවේ සාහිත්‍ය අර්ථය ඒ තුළ ම සොයන අතරේ එහි වර්තමානික ස්ථාපනය සහ කලා වස්තුවක් ලෙස ඒ නිපැයුමේ ඓතිහාසික තත්ත්වයන් ගැන අවධානය යොමු කිරීම මැනවි. ඒ අනුව නවකතාවක් ලෙස එහි පවත්නා සර්වකාලීනත්වයේ වර්තමාන කාල රාමුව ලෙස, එය පළ වී වසර පනස් ගණනකට පසු අප අද ‘බව තරණය’ කියවන්නේ කවර රටක සිට ද?

‘බව තරණය’ චරිතාපදානාත්මක නවකතාවක් වන අතරේ එහි කතානායකයාගේ ප්‍රබන්ධනාත්මක වටිනාකමට අතිරේක දාර්ශනික, දේශපාලනික හා සාමාජයීය උනන්දුවක් එහි කතුවරයා තුළ විය. තම කතා නායකයා විසින් දේශිත ධර්මය සභ්‍යත්වයක් ගොඩනගන්නට ඉවහල් වූවක් සාධකයක් ලෙස සැලකූ ඔහු එය තමා නියෝජනය කරන සංස්කෘතියේ පදනම් සාධකය ලෙස ද සැලකුවේ ය. එවැනි පූර්ව – විශ්වාසයක් නවකතා කලාව තුළත්, නූතනවාදය තුළත් අවදානම් සහගත කටයුත්තකි. නවකතාව ආගමික සාහිත්‍යයට හාත්පසින් වෙනස් සාහිත්‍යයක් ද, ඊට වඩා බෙහෙවින් නූතන කලා මාධ්‍යයක් ද වන අතර කතුවරයාගේ දෘෂ්ටිවාදය හෝ වෙනත් දෘෂ්ටිවාදයක් අභිබවා වර්ධනය කෙරුණු හා කළ යුතු දෙයකි.

නවකථා සාහිත්‍යයේ පවුරු පදනම් ආගමික සාහිත්‍යයේ පවුරු පදනම් නොවේ. ආගමික සාහිත්‍යයේ දී චරිතයක දෛවය ආගමික වුවමනාව වෙනුවෙන් පූර්ව-නිශ්චිත වූවක් වන අතරේ නවකතා සාහිත්‍යයේ චරිතයක දෛවය හා අනාගතය ප්‍රබන්ධාත්මක සන්දර්භය තුළ අවලම්භනය වෙමින් පවතින්නකි. ජාතක කතා සාහිත්‍යයේ දී ආගමික කතාව ආකෘතිමය වශයෙන් වඩාත් සංකීර්ණ ස්වභාවයක් ලබා ගන්නා නමුත් එහි දී ද අතීත කථාවේ සිටි චරිතයක් වර්තමාන කතාවේ සිටින චරිතයකට මූල රූපය සපයන අයුරු අපි දකිමු.

නවකතාවේ සාරාර්ථය සොයන සද්භාව විචාරයේ දී ද මිනිස්භාවය, ජීවිතය හා මරණය දක්නා ආකාරය වෙනස් බව ශ්‍රේෂ්ඨ ජර්මානු මාක්ස්වාදී කලා චින්තකයකු වූ වෝල්ටර් බෙන්ජමින් ‘කතා කියන්නා’ ලිපියේ දී පෙන්වා දෙයි. එය මරණය මිනිස් දිවියේ එළිපතේ පැවතුණු යුගයක බිහි වූවක් නොව මරණය යම් ප්‍රමාණයකින් ජය ගත හැකි වුණු යුගයක බිහි වූවකි. එහි දෛවයාගේ එළඹුම කල් දැමේ; ජීවිතය අල්ලා ගැනේ. ස්වකීය තත්ත්වය හා ව්‍යුහමය ගොඩනැගීම තුළ ජීවිතයට මේ තරම් ආසක්ත වන්නා වූ තවත් කලා මාධ්‍යයක් ලොව නැති තරම් ය.

සමාජ යථාර්ථයන් හා පුද්ගලික ආත්මභාවයන් තුළ මිනිස් ජීවිතය අපායක් වුණු කල්හි පවා නවකතාව ජීවිතය විනා අන් කිසිවක් ඉල්ලා නොසිටියි. ජීවිතයට ව්‍යතිරේකයක් ලෙස මරණය ද නවකතාවක නිරූපණය වන විට එය ද ජීවිත විවරණයේ ම කොටසකි. ජෝර්ජ් ලූකාස්ට පසු බිහි වුණු වැදගත් ම මාක්ස්වාදී කලා විචාරකයා සහ ස්ටැලින්වාදී පරිහානියට ගොදුරු නොවූ විචාරකයා වූ වෝල්ටර් බෙන්ජමින් ‘කතා කියන්නා’ ලිපියේ දී, ජෝර්ජ් ලූකාස් උපුටන අතරේ මරණය, කතන්දරය සහ නවකතාව අතර සම්බන්ධතාව නව මානයකින් පෙන්වා දෙමින් ලූකාස් පා නොතැබූ අඩවියකට පිවිසෙයි.

බල්සක්, ගොතේ, ගොගොල්, දොස්තොයෙව්ස්කි, ගෝර්කි ආදීන්ට සීමා නොවී යථාර්ථවාදයේ නූතනවාදී පුනරුදය තුළ බිහි වුණු ෆ්‍රාන්ස් කෆ්කා, මාර්සෙල් පෲස්ට්, බෝදිලෙයා ආදීන් සහ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, චාලි චැප්ලින් හා අවෛෂයික චිත්‍ර ශිල්පි පෝල් ක්ලී ද මහා කලා පෞරුෂ ලෙස සැලකූ වෝල්ටර් බෙන්ජමින්ගේ ප්‍රවාද අනුව සදාතනිකත්වයේ අදහස පරිහානියට යාමක් – සදාතනිකත්වය පිළිබඳ මුද්‍රාව මරණය තුළ තිබේ ය යන අදහසේ බිඳ වැටීමක් – මෙන් ම එසේ සිදු වී නම් මරණයේ මුහුණුවර වෙනස් වී යැයි තර්ක බුද්ධියෙන් සිතන්නට පුළුවන් බවක් ඉන් පැවසෙන බව අපට නිගමනය කළ හැකි ය.

මරණයාගේ තත්ත්වය වෙනස් වීම විසින් කතන්දර කීමේ කලාවට වුවමනා වුණු අත්දැකීම් සංනිවේදනය කිරීමේ හැකියාව ප්‍රහීන කර දමනු ලැබූ අතර එම ප්‍රමාණයෙන් ම කතන්දර කීමේ කලාව පරිහානිය කරා ගමන් කළේ ය. ඔහු මෙසේ ලියයි.

බව තරණය නවකතාව ඔස්සේ මාර්ටින් වික්‍රමසිංහ සොයා යාම

“ශතවර්ෂ ගණනක් පුරා පොදු විඥානය තුළ මරණය පිළිබඳ සිතුවිල්ල සර්වව්‍යාපී සහ විචිත්‍රවත් ලෙස පිරිහී ගිය ආකාරය නිරීක්ෂණය කළ හැකි ය. දහනවවෙනි ශතවර්ෂයේ දී ධනේශ්වර සමාජය සෞඛ්‍ය, සමාජ, පුද්ගලික හා මහජන ආයතන ඔස්සේ ප්‍රතිඵල අත්කර ගත් අතර සිය උපවිඥානය තුළ පැවතුණු එහි අරමුණ මෙය විය හැකි ය; එනම් මරණයට පත් වීමේ දර්ශනය දැකීමෙන් මහජනයා වැළැක්වීම විය හැකි ය. මියයෑම එක්තරා කාලයක දී පුද්ගලයාගේ ජීවිතයේ පොදු ක්‍රියා පිළිවෙළක්, අගේ ඇති වැඩක් වී තිබුණි. සිංහාසනයක් බවට පත් කළ මරණ මංචකය සහිත මළගෙදර දොරකඩ රැස්කන සෙනඟ සහිත මධ්‍යකාලීන චිත්‍ර ගැන සිතන්න. නූතන අවධියේ දී මියයෑම චිරස්ථායි ජීවිත කරළියෙන් ඈතට ඈතට තල්ලු කර ඇත. එකල කෙනෙකු නොමළ නිවසක්, කාමරයක්වත් නොතිබුණි. අද මිනිස්සු මරණය කිසි දිනක පා තොතැබූ කාමරවල වෙසෙති. ඔවුහු සදාතනිකත්වය තුළ වියළී ගිය පදිංචිකාරයෝ වෙති. ඔවුන්ගේ අවසානය එළඹි කල්හි ඔවුන්ගේ උරුමය ලද්දෝ ඔවුන් සත්කාරාගාර හෝ රෝහල් වෙත ගෙන යති.”

ඒ අනුව අපට පෙනී යන්නේ ආගමික සාහිත්‍යය ඇතුළු කතාන්දරයෙන් වෙනස්ව නවකතාව ගොඩනැගීම පසුපස මරණයේ මුහුණුවර වෙනස් වීම, ජීවිතය පෘථුල වීම සහ අත්දැකීම් සංනිවේදනයේ ලා කතාකරුවා මුහුණ දුන් අපහසුව තිබෙන්නට ඇති බව ය. මරණය හා ආගමික කතාවේ සමීප සම්බන්ධය පිළිබඳව අපට කිසාගෝතමීගේ කතාවේ මහඟු නිදර්ශනය ඇත. ක්‍රිස්තු චරිත කථාවේ ලාසරස්ගේ විත්තිය ඇත.

නවකතාව මරණය වෙනුවට ජීවිතය සහමුලින් වැළඳ ගත් සාහිත්‍ය ශානරයක් වන අතර මරණය අදාළ වන්නේ එහි හැඩය දක්වන්නට ය. නවකතාවක දී වසර හැටක් ආයු වළඳා මියගිය කෙනෙකු ගැන කිසිවකු පවසන විට ඉන් කියවෙන්නේ ඔහු ඒ සැට වසර පුරා සෑම මොහොතක ම ජීවත් වුණු බව ය. පැරණි කතාවේ හෙවත් කතාන්දර කලාවේ සහ නවකථාවේ වෙනස පෙන්නුම් කිරීමේ දී වෝල්ටර් බෙන්ජමින් තවත් කාරණා දෙකක් තහවුරු කරයි.

පළමුවැන්න, පැරණි කතාවේ හෙවත් සාමුහිකත්වය සහ නවකතාවේ මහත් හුදකලාභාවය අතර ඇති වෙනස යි. නවකතාව බිහි වන්නේ හුදකලාවේ ප්‍රාදූර්භූතය හැටියට ය. ‘බව තරණය’ නවකතාවට මහලු මාර්ටින් වික්‍රමසිංහ ලියන සංඥාපනයෙන් සලකුණු වන්නේ ද එතුමාගේ හුදකලාව යි. අද ‘මුහුණුපොත’ වෙතට ඇලුණු නවකතාකරුවන් විකාර සහගත සත්ව කොට්ඨාසයක් බවට පත් වන්නේ යථෝක්ත හුදකලාවට ඔවුන් සමු දී තිබෙන එබැවිනි.

පුරාණ කතා කලාව විනාශ මුඛයට තල්ලු කරන්නට හා නවකතාව කැඳවන්නට හේතු වුණු අනෙක් කාරණය ලෙස වෝල්ටර් බෙන්ජමින් දකින්නේ පසුකාලීනව මිනිසා මුහුණ දුන් අත්දැකීම් සන්නිවේදනයේ අපහසුව යි. ලෝක මහ යුද්ධයට සභභාගි වී පැමිණි සෙබළු සිය අත්දැකීම් නොකියා නිහඬව සිටින්නට කැමැති වුණු සැටි ඔහු පෙන්වා දෙයි. යුද බිමේ දී අතිබිහිසුණු නව යුද තාක්ෂණයට මැදි වීමේ අත්දැකීම කෙනෙකු සාමාන්‍ය පුද්ගලයකුට පසු කලක කියන්නේ කෙසේ ද? එමෙන් ම අද ජනමාධ්‍ය ලෝකයේ ප්‍රවෘත්ති මහෝඝයට මැදි වුණු කෙනෙකු ස්වකීය පුද්ගලික අත්දැකීම අන් කෙනෙකුට පවසන්නේ කෙසේ ද?

අද මෙරට ලේඛකයාගේ තත්ත්වය ඊටත් නරක ය. කෙළවරක් නැතිව කතා කියවෙන, අගක් මුලක් නැතිව හෑලි කතා දිග හැරෙන, සමානාන්තර ලෙස චැනලයෙන් චැනලයේ කතා රැසක් කියවෙන, කඩින් කඩ කොටස් කොටස් දැකීම නිසා කතාවල අසම්පූර්ණත්වය යුගයක ලක්ෂණයක් බවට පත් වුණු සිංහල ටෙලි නාට්‍ය ලෝකයේ මේ තත්ත්වය තවත් දරුණු වී ඇත.

කෘතහස්ත නවකථාකරුවකු ලෙස මාර්ටින් වික්‍රමසිංහ ‘බව තරණය’ රචනා කරමින් මුහුණ දෙන මූලික ආඛ්‍යාන විද්‍යාත්මක අභියෝගය වන්නේ ආගමික සාහිත්‍යයේ මුඛ්‍ය චරිතයක් වූ සිද්ධාර්ථ කුමාරයාණන් එකී සාහිත්‍යාඛ්‍යාන සන්දර්භයෙන් නිදහස් කර ගෙන යථාර්ථවාදී නවකතා සන්දර්භය තුළ පිහිටුවීම බව නිසැක ය.

පැරණි සාහිත්‍යයෙහි චරිත ගොඩනැඟුම සිදුවන්නේ කළු සුදු පැතලි ආකාරයට හා චරිතයක් විකාශනය වන දිශානතිය ආඛ්‍යානයේ මුල පටන් දිස් වන අයුරිනි. එවැනි චරිතයක සංකීර්ණතාව මෙන් ම දෝලනය ද සිය සීමිත ආඛ්‍යානය වෙනුවෙන් අවම මට්ටමකින් පවත්වා ගෙන යෑමට පැරණි කතාකාරයාට සිදු විය. මෙය යම් ප්‍රමාණයකට වීර කාව්‍ය සාහිත්‍යයට ද උරුම වී තිබුණි. පිකරෙක්ස් හෙවත් චෞරාසක්ත ආඛ්‍යාන නවකතාවල ද මෙය යම් ප්‍රමාණයකට දැකිය හැකි විය.

‘බව තරණය’ කියවන අපට වැදගත් වන්නේ පුද්ගලයා සහ සමාජය අතර සම්බන්ධය පිළිබඳව නවකතාකරුවා ගන්නා නව ආස්ථානය යි. එම නවකතාව තුළ දී මාර්ටින් වික්‍රමසිංහ අනුදක්නා එම සම්බන්ධතාව ආගමික සාහිත්‍යයට මෙන් ම වීර කාව්‍ය සාහිත්‍යයට ද වෙනස් එකකි. නවකතා සාහිත්‍යය මගින් පිළිබිඹු කරන පුද්ගලයා සහ සමාජය අතර සම්බන්ධයේ අලුත් ස්වභාවය විස්තර කරමින් ජෝර්ජ් ලූකාස් ‘ඓතිහාසික නවකතාව’ නම් සිය ප්‍රකට විචාර කෘතියේ දී මෙසේ කියයි.

“පුද්ගලයා සහ සමාජය අතර, පුද්ගලයා සහ පංතිය අතර, නව සම්බන්ධතාව නූතන නවකතාව වෙනුවෙන් අලුත් තත්ත්වයක් නිර්මාණය කළේ ය. එහි පුද්ගලයාගේ ක්‍රියාව තුළ සෘජු අරමුණක් සහ සමාජ අරමුණක් ගැප් වන්නේ ඉතාමත් කොන්දේසි සහිත තත්ත්වයක හා සුවිශේෂ කාරණයක දී පමණක් ම ය. ඇත්තෙන් ම නවකතාව තව තවත් දියුණු වන විට කිසි ම සංයුක්ත අරමුණක් නොමැති හා එවැන්නක් තිබිය නොහැකි වැදගත් කෘති වැඩි වශයෙන් බිහි විය. මධ්‍යකාලීන කුලීන ධීරවීර කලාව යළි නඟා සිටුවීම හා වික්‍රමජනක අවස්ථා සොයා යෑමට වැඩි දෙයක් සර්වාන්ටේගේ ‘ඩොන් කිහොටේ’ කෘතිය තුළ සිටින වීරයාගේ අරමුණ තුළ නොපැවතුණු බව දැනටමත් සැබෑ වී ඇත. එනමුත් හෝමර්ගේ ‘ඔඩිසි’ වීර කාව්‍යයේ ඔඩිසියස් වීරයා ට්‍රෝජ පුර සංග්‍රාමයෙන් පසු නැවත සිය නිවෙස කරා පැමිණීමේ අරමුණින් ක්‍රියා කිරීමේ අර්ථයෙන් ‘ඩොන් කිහොටේ’ කෘතිය තුළ සිටින වීරයාට ඇත්තේ අරමුණක් බව පැවසිය නොහැකි ය.”

නවකතා කලාව මගින් පුද්ගලයා සහ සමාජය අතර අලුත් සම්බන්ධතාවක් නිර්මාණය කළ අතර නවකතාවේ දී පුද්ගලයාගේ ක්‍රියාව තුළ සෘජු අරමුණක් ගැප් වන්නේ ඉතාමත් කොන්දේසි සහිත තත්ත්වයක හා සුවිශේෂ තත්ත්වයක දී පමණි. එනමුත් ආගමික හා වීර කාව්‍යයේ පුද්ගලයා හැසිරෙන්නේ සංයුක්ත අරමුණකින් යුතුව ය.

ඒ අනුව මාර්ටින් වික්‍රමසිංහ සිය උත්තරීතර ආගමික වීරයාගේ චරිතය සිය අවසන් නවකතාවට වස්තු කර ගැනීමේ දී මුහුණ දෙන්නේ බරපතළ මට්ටමේ ආඛ්‍යාන විද්‍යාත්මක අභියෝගයකට ය. නවකතා දොළොසකට පසු එවැනි අභියෝගයකට මුහුණ දීමට කතුවරයා ගත් උත්සාහය ප්‍රශංසා කටයුතු ය. අනූපම කෘතහස්තභාවයක් දක්වන ලද තම ගද්‍ය කලාව ඔස්සේ බුද්ධ චරිතය සොයා ගිය ඒ ගමන වීර චාරිකාවක් වැනි ය.

1976 දී සිදු වුණ කතුවරයාගේ මරණය සැලකිල්ලට ගන්නා විට ‘බව තරණය’ ලියවෙන්නේ ඉන් තෙවසරකට මත්තෙනි. එවකට ඔහු අසූතුන්වෙනි වියෙහි සිටියෙකි. එය කෙනෙකුගේ හායන සමය වන අතර ඛාදනය වන ප්‍රතිභාවට මුහුණට දෙන ජීවන සමයකි. මාර්ටින් වික්‍රමසිංහ තුළ පැවතුණු මහලු කතුවර කාංසාවට ‘බව තරණය’ පෙරවදන ද සාක්ෂියකි. “මගේ ඇස් පෙනීම දුබලවීම නිසා මෙහි සුද්දි පත්තර මට කියවිය නොහැකි විය” යි ඔහු පවසයි.

ජීවිතයෙන් සැලකිය යුතු කාලයක් අන්ධව ලියන්නට සිදු වුණු ආර්ජෙන්ටියානු ලේඛන ශෝෂ් ලුයී බොහේස් සිහිපත් කරවන ලේඛක සුසුම් මැදින් අප මහා ලේඛකයා පවසන්නේ නොයෙක් දිට්ටිවලත්, හැඟීම්වලත් නොඑල්බෙන පාඨකයා තම හැඟීම් හා විවේචන ලියා එව්වොත් මේ කතාව යළි සකස් කරන්නට තමා උනන්දු කරවන උවදෙස් වනු ඇති බව ය. රෝලන්ඩ් බාතගේ ‘කතුවරයාගේ මරණය’ පිළිබඳ අදහසේ පෙරදැක්මක් වැනි මේ හැඟුම් දහරින් පෙනෙන්නේ කතුවරයා ස්වාභාවික මරණයෙන් නැඟිට හෝ යළි ඉපිද හෝ තම කෘතිය ප්‍රශස්ත මට්ටමක් කරා ළඟා කර ගන්නට වුවමනාවකි. ලෝක සාහිත්‍යය තුළ මීට සමාන කළ හැක්කක් වේ නම් ඒ ලියෝ තොල්ස්තෝයිගේ අවසාන නවකථාව වූ ‘පුනරුත්ථානය’ විය හැකි ය. ලෝක සාහිත්‍යයේ වැදගත් කෘතියක් ලෙස සලකන නමුත් එය තොල්ස්තෝයිගේ ‘යුද්ධය හා සාමය’ , ‘ඇනා කැරනිනා’ වැනි නවකතාවලට වඩා අඩු මට්ටමක පවතින බවත්, මහා ලේඛකයකුගේ ඛාදනය වන්නා වූ හැකියා පෙන්නුම් කරන බවත් සාහිත්‍ය විචාරයෙහි කියැවී ඇත. එහි නිරූපිත චරිත ඒකමාන ඒවා බවත්, සවිස්තරාත්මක විවරණ කෙරෙහි කතුවරයා තුළ පැවතුණු අවධානය හා අවධාරණය එහි නැති බවත් කියවේ.

‘බව තරණය’ නවකතාව ලියවීමේ දී හා එය උසස් නවකතාවක් ලෙස සැකසීමේ දී මාර්ටින් වික්‍රමසිංහ ආඛ්‍යාන විද්‍යාත්මක වශයෙන් පරිහරණය කරන්නා වූ සාහිත්‍ය ගතිකයන් පිළිබඳ වැටහීමක් අපට ලබා ගත හැකි අතර එය ‘බව තරණය’ නැවත කියවීමේ අපගේ ප්‍රවිෂ්ටය වන්නේ ය. මාර්ටින් වික්‍රමසිංහ තම නවකතාවේ සමාප්තිය ලෙස දකිනු ඇත්තේ බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබීම හා උන්වහන්සේගේ මහා පරිනිර්වාණය බව ඒ නවකතාව නොකියවන ලද පාඨකයකුට සිතුණත් කතුවරයා එය අවසන් කරන්නේ දැන් බවුන් වඩන නමුත් පෙර කල්හි ප්‍රසිද්ධ මහිලාවක වූ අම්බපාලිය කෙලෙසුන් නසා රහත් බව ලබා, උදාන ගාථාවලියක් පන්හිඳෙන් තල්පතක ලියා බුදුන් වහන්සේ වෙත යැවීමෙනි.

පුරාණ වස්තු බීජයකට චෙකොවියානු කතා වින්‍යාසයකින් අනුබල ලබන අවසානයක් ලබා දෙන්නට මාර්ටින් වික්‍රමසිංහට ඇති හෘදයාංගම වුවමනාව මින් පැහැදිලි ය. මෙය ආගමික හා දේශපාලනික ගැටුම් බහුල අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පදිංචිකරුවන්ගේ ජීවිත ගැන කියන ජේම්ස් ජොයිස්ගේ කෙටිකතාවල දැකිය හැකි තරමේ ආකර්ෂණීය නූතනත්වයකි.

“ඈ (අම්බපාලි) ඇගේ භාෂා ශාස්ත්‍ර දැනුම හා ඇගේ අත්දැකීම ද ගුරුකොට ගෙන උදාන ගාථාවලියක් රචනාකොට එය පන්හිඳෙන් කොළ පතක ලියා බුදුන් වහන්සේ වෙත යැවූවා ය.”

ජේම්ස් ජොයිස් ඒකාකාරී ජීවිතයක් ගෙවන මැදි වියේ බැංකු අයකැමියකු සහ විවාහක කතක් අතර ඇති වන ඵල නොදැරූ ප්ලේටොනික ප්‍රේමයක් ගැන කියවෙන ‘හද රිදවන කාරණයක්’ නම් ප්‍රසිද්ධ කෙටිකතාව මෙලෙස හමාර කරන්නේ ද ඊට සමාන අන්දමට ය.

“නිවස කරා ළඟා වූ ඔහු කෙළින් ම සිය නිදන කාමරයට ගොස් පත්තරය සාක්කුවෙන් ගෙන, කවුළුවේ මැලැ වී යන ආලෝකයෙන් එම ඡේදය නැවත කියවන්නට විය. හඬ නඟා කියැවූයේ නැතත් ආත්මීය පැතුම් යාච්ඤා (prayers Secreto) කරන අවස්ථාවේ පූජකයකු මුමුණන්නා සේ ඔහු තම දෙතොල සෙල වී ය. ඒ ඡේදය මෙසේ විය.”

නිදසුන් දෙකේ දී ම අවධාරණය කරන්නේ චරිතයක ඇතුළාන්තය හා ආත්මීයත්වය බැව් කිව මනා නොවේ. අම්බපාලි ලීවේ ඇගේ හදින් නැඟි උදාන වාක්‍යයකි. දිවි නසා ගැනීමක් ද විය හැකි අයර්ලන්ත මහිලාවක වූ එමිලිගේ ප්‍රවෘත්තිය බැංකු අයකැමියා කියැවූයේ කිතුනු පූජකතුමකු විශේෂ වර්ගයක පුද්ගල පැතුම් යැදුම් නිහඬව මුමුණන ආකාරයෙනි.

ඉන් පළ වන්නේ මාර්ටින් වික්‍රමසිංහගේ නූතනත්වය පිළිබඳ ඉඟියකි. අදේවවාදී ජේම්ස් ජොයිස් සමකාලීන ආගමික අයිරිෂ් සමාජය නිරූපණයේ දී සිය නූතන සුධීමත්භාවය සනාථ කරන අතරේ ‘බව තරණය’ රචනා කරන වික්‍රමසිංහ බුද්ධ කාලීන භාරත සමාජය නිරූපණයේ දී සිය නූතන සුධීමත්භාවය පළ කරයි.

‘බව තරණය’ නවකථාවේ මුල් පරිච්ඡේද දෙක කුරුධර්ම ජාතකය වදාරන්නට කාරණාව වුණු භික්ෂුවක ගලක් ගසා හංසයකු මැරීම සිහි ගන්වන දඩයම් ජවනිකාවකින් ආරම්භ වී මෘත ශරීර කුණු වීමේ ජුගුප්සාජනක ආදීනව විස්තර කරන සොහොන් බිම් ජවනිකාවකින් අවසන් වේ. සිදුහත් කුමරු ඔහුගේ මිතුරන් සමග හිමාලය පාමුල රප්ති නදියට නුදුරු වනයේ දඩයමේ යෙදෙති. එය බටහිර නුතන නවකතාවේ හා බටහිර සම්භාව්‍ය සිනමාවේ අර්ථයෙන් හන්ටිං පාටියකි. ලියෝ තොල්ස්තෝයිගේ ‘යුද්ධය හා සාමය’ , ඇන්ටන් චෙකොව්ගේ ‘දඩයම් සාදය’ නවකථා සහ ෂොන් රෙනුආගේ ‘The Rules of the Game’ නම් ප්‍රංශ චිත්‍රපටිය දඩ කෙළිය නිරූපිත අග්‍ර කලාවෝ වෙති.

මාර්ටින් වික්‍රමසිංහ එහි ලා පැරණි කථාවටත්, පැරණි රජුන්ගේ සුඛපරම සන්තෘෂ්ටි ධර්මයකටත් ඉඟි කරයි. නව ප්‍රබන්ධ කලාව තුළ අප මෙය තේරුම් ගන්නේ කෙසේ ද? මෙය හුදෙක් ඓතිහාසික නවකථා ලේබලය අලවා සංතෘප්තියට පත් විය නොහැකි සාහිත්‍ය විරුද්ධාභාසයක් වේ. නව ප්‍රබන්ධ සන්දර්භය තුළ එය කියවීමේ දී අප කළ යුත්තේ අතීතයට දුවන කතුවරයා අපට සමීප වර්තමානයට කැඳවීම ද?

මාර්ටින් වික්‍රමසිංහ නාමය අපට කොයි තරම් හුරුපුරුදු විය හැකි නමුත් එතුමන් ජීවත් වූ අත්‍යාසන්න ලෝකය මොන යම් හෝ අයුරකින් වර්තමානික ලෝකයක් නොවේ. ඔහු අපෙන් දුරස්ථ කෙනෙකු වන අතරේ තව තවත් ඈතට ගමන් කරන වස්තුවකි. ඒ අනුව 20 වෙනි සියවසේ දෙවෙනි භාගයේ ලියැවුණු සිංහල නවකතාවක කතුවරයා හැටියට මාර්ටින් වික්‍රමසිංහ නම් වූ අපට සමීපස්ථ නවකතාකරු අපේ පොකැට්ටුවට දමා ගැනීමට වුවමනාවක් යථෝක්ත සාහිත්‍ය විචාරය අනුව තිබිය නොහැකි ය. අප සතුටු විය යුත්තේ ඔහු අපට ළං කර ගන්නට හැකි වීම ගැන නොව ඔහු සහ අප අතර දුර තවත් වැඩි වීම ගැන ය. ඒ වෙනුවට අප අපගේ වකවානුවේ සිට ඔහු සොයා යා යුතු ය.

බව තරණය නවකතාව ඔස්සේ මාර්ටින් වික්‍රමසිංහ සොයා යාම

එරික් ඉලයප්ආරච්චි


advertistmentadvertistment