අද අපගේ සංචාරක ගමනාන්තය නාලන්ද ජලාශය සහ ශ්‍රී ලංකාවේ ප්‍රථම කොන්ක්‍රීට් වේල්ල ලෙස හඳුන්වනු ලබන වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරෙන නාලන්ද වේල්ලයි. ප්‍රදේශවාසීන් බොහෝ දෙනකු මෙම ස්ථානය හඳුන්වන්නේ ‘ඩෑම් සයිට්’ නමිනි. පසුගිය සතියේ අප ඔබව කැන්දාගෙන ගිය ‘නාලන්ද ගෙඩිගේ’ ට හරියටම බටහිර දෙසින්, එනමුත් ඒ-9 මාර්ගය ඉහළින් කඳු ප්‍රදේශයක පිහිටා ඇති මෙම වේල්ල මගින් නාලන්ද ජලාශය නිර්මාණය කරන අතර, මෙය ඉදිකර ඇත්තේ ඩී. එස්. සේනානායක අගමැතිවරයා බලයට පත්වූ 50 දශකයේ මුලදීය.
1956 දී ඉදිකර අවසන් වුවත්, මෙහි ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ බ්‍රිතාන්‍ය කිරීටයට රට යටත්ව පැවැති අවසන් වසර කිහිපය තුළදීය. එම නිසාම මෙම වේල්ලේ සහ ජලාශයේ වැඩකටයුතු නිරීක්ෂණය සඳහා 1954 වසරේදී එවක බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහ රැජින සහ එඩින්බරෝ ආදිපාදිවරයා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ එඩින්බරෝ ආදිපාදිවරයා පමණක් මෙහි උත්සව අවස්ථාවකට සහභාගි වී ඇත.
එනිසාම ජාතික සහ ජාත්‍යන්තර වැදගත්කමක් ඇති මෙම නාලන්ද වේල්ල මෙවර අපගේ සංචාරක ගමනාන්තය සඳහා අප සොයාගෙන ගිය අතර, මෙම වේල්ල සහ ජලාශය තවමත් සංචාරක ආකර්ෂණ ස්ථානයක් ලෙස රටට විදෙස් විනිමය ඉපැයීමට භාවිතයට නොගෙන සහ සංචාරකයින්ට නැරඹීමට, විඳීමට අවස්ථාව නොදී නිකම් ඔහේ කොටුකරගෙන තබාගැනීම අපේ ජාතිය තවමත් කොතරම් පසුගාමී ද යන්න මෙම ගමන ඔස්සේ අප රටට කියන්නට වුවමනා එක කාරණයකි. එසේ හෙයින්, ඉතා ඉක්මනින්, අද හෙට ශ්‍රී ලංකාවේ ප්‍රථම කොන්ක්‍රීට් තාක්ෂණ වේල්ල සංචාරක කර්මාන්තයට විවර කරන ලෙසද ඉල්ලා සිටින්නට අප කැමතිය.
මෙම වේල්ල මගින් නාලන්ද ඔය ඍජුවම හරස් කරන අතර, නිර්මාණය කෙරෙන ජලාශය ඔස්සේ අඹන්ගඟේ ජල ප්‍රමාණය වැඩි කර, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති කලාවැව පිරවීම මෙය තැනීමේ මූලික අරමුණ වී ඇත. එසේම, වර්ග සැතපුම් 48 ක වපසරියකින් යුත් මෙහි පෝෂිත ප්‍රදේශය මගින් අක්කර අඩි 12,400 ක් ජලාශ ධාරිතාවක් දරන අතර, අක්කර 720 ක් අස්වැද්දීම ඉලක්ක කර ඇත. නාලන්ද ජලාශ ව්‍යාපෘතිය යටතේ මෙම ජලාශය මෙන්ම ඊට තවත් බටහිරින් එබ්බාවල නමැති රේගුලේටරයක් සහිත තවත් කුඩා ජලාශයක් ද නිර්මාණය කර ඇති බව සිහිවටන ඵලකයේ සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ ගොවි ජනපද ඇතිකිරීමේ පුරෝගාමියා වූ අගමැති ඩී. එස්. සේනානායක මහතා එකල ඔහුගේ කල්පනාව සහ අධ්‍යයන අනුව මෙසේ නාලන්ද ජලාශය නිර්මාණය කරන අතර මේ සඳහා ප්‍රතිපාදන යොදාගත්තේ කොහෙන්ද යන්න එහි ඇති සිහිවටන ඵලකයේ කිසිවක් සඳහන් කර නැත. කෙසේ හෝ එම කාලයේ හැටියට දැවැන්ත වාරි ව්‍යාපෘතියක් වූ නාලන්ද ජලාශය සහ ‘නාලන්ද ඩෑම් සයිට්’ ව්‍යාපෘතිය රාජකීයයන් පවා සහභාගිත්වය සනිටුහන් කළ එකකි.
අතිශය සුන්දර වටපිටාවකින් සමන්විත ජලාශ පරිශ්‍රයේ පිහිටුවා ඇති සිහිවටන ඵලකයට අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම කොන්ක්‍රීට් වේල්ල වන මෙහි බිම් මට්ටමේ සිට උස අඩි 1210 කි. වේල්ලේ මුදුනේ දිග අඩි 402 කි. පාදමේ පළල අඩි 80 ක් වන අතර, මුදුනේ පළල අඩි 7 කි. කඳු ගැට දෙකක් සහිත පටු ස්ථානයකදී මෙම නාලන්ද වේල්ල ඉදිකෙරෙන අතර, මෙයින් හරවා යැවෙන ජලය නාලන්ද රෝහලට සහ නාලන්ද කෘෂිකර්ම මධ්‍යස්ථානයට යාව ඒ – 9 පාර හරහා ගොස්, නාලන්ද සහ බෝවතැන්න ජලාශයට එකතු වේ. ඒ පෙරදා අප කතා කළ නාලන්ද ගෙඩිගේ ස්පර්ශ කරගෙන යන පරිදිය.
නාලන්ද ගෙඩිගේ සංචාරය නිමා කළ අපි, ඒ ආශ්‍රිතවම ඇති ‘ලුණුගේ’ නම් ඉපැරණි ස්වභාවික පාෂාණමය නිර්මාණය ද බලාගෙන නාලන්ද වේල්ල බැලීමට යෑමට පැමිණියේ නැවත මහනුවර-යාපනය ඒ-9 මාර්ගයට ප්‍රවිෂ්ට වීමෙනි. නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වන මෙම නාලන්ද වේල්ලට යෑම සඳහා හුන්ගන්වෙල මංසන්ධියට පැමිණිය යුතු අතර, එතැනින් බටහිර දෙසට, එහෙත් කඳු හෙල් සහිත මේල්පිටිය හෝ මුරුතෝලුව මාර්ගයේ ගමන් කළ යුතු අතර, මේල්පිටිය ගම්මානය පටන් ගන්නා මායිමෙන්ම හමුවන වයි හන්දියෙන් වම් පස මාර්ගය තෝරාගත යුතුය. දකුණු පසට ඇත්තේ පෙර අප කිව්, මේල්පිටිය ගම හා අනතුරුව මුරුතෝලුව ගම්මානයි. පෙර අප කිව් එබ්බාවල දක්වා ද එම මාර්ගයෙන්ම ගමන් කළ හැකිය.
කෙසේ හෝ අප තෝරාගත් කඳුකර මාර්ගය ඔස්සේ ඉදිරියට යන විට නැවත මාර්ගය දෙකට බෙදී වම් පසට විහිද යන තවත් පටු මාර්ගයක් හමුවන අතර, එය වැටෙන්නේ කෙළින්ම නාලන්ද වේල්ල සහිත නාලන්ද ජලාශය වෙතය. නොහොත් ගමේ කට්ටිය කියන විදිහට ‘ඩෑම් සයිට්’ දක්වාය. මෙම මාර්ගයේ කෙළවර වන්නේ නාලන්ද වේල්ල සහිත වාරි පරිශ්‍රයෙනි. එම ස්ථානයට ප්‍රවිෂ්ට වීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුමැතියක් අවශ්‍ය වන අතර, එහි ඇති නැරඹුම් වේදිකාව දක්වා පල්ලම් බැස ගිය විට අඩි 50 කට පමණ පහළින් අප මේ කියන නාලන්ද ජලාශයත්, ශ්‍රී ලංකාවේ ප්‍රථම කොන්ක්‍රීට් වේල්ලත් දැකගත හැකිය. පෙර අප කිව් පරිදිම සුන්දර කඳු වළල්ලක් මැද පිහිටි මෙම ස්ථානය වනගොමුවකට මැදිව පිහිටන අතර, ඈතින් පෙර අපි සංචාරය කළ දුම්බර කඳුකරයේ කරගහතැන්න නොහොත් රිවර්ස්ටර්න් ප්‍රදේශය ද ඉතා හොඳින් මෙහි සිට නිරීක්ෂණය වේ. ජලාශය පැතිර පවතින්නේ අප මෙහි පැමිණි මාවත ඔස්සේය. එහි දැන් නාඋල ජල සම්පාදන යෝජනා ක්‍රමය ද ක්‍රියාත්මක වන බැවින් නාඋල, නාලන්ද ප්‍රදේශවලට පානීය ජලය ලබාදෙන්නේ ද මෙම නාලන්ද ජලාශය මගිනි.
චාරිකා සටහන –
ජගත් කණහැරආරච්චි
කැමරාව – තේජන කණහැරආරච්චි