තම තමන් ගැන සිතා බැලීම කරණකොට ගෙන සත්ත්වයන්ට හිංසා නොකිරීම නිසාද, සත්ත්වයන් නොමැරීම නිසාද මිනිසුන්ගේ ධාර්මික දියුණුව වැඩි විය (අශෝක අංක 7 ටැම් ලිපිය)

මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ට වෘක්‍ෂ ලතාදීන්ට (5 වන ටැම් ලිපිය) සොබාදහමට ලැදිව මහජන ශුභ සිද්ධියට අප්‍රතිහත ධෛරයයෙන් කටයුතු කළ ධර්මාශෝක අධිරාජයා සියලු ලෝකයාගේ යහපත පිණිස වැඩ කිරීමට වඩා ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක් මට වෙන නැත්තේ ය යන සංකල්පයෙන් කටයුතු කළ බව බෞද්ධ ඉතිහාසය මනාව විශද කරයි.

දුරාතීතයේ පටන් ඉන්දියාවේ ආගම් රැසක්ද ජාතීන් රැසක්ද පැවත එයි. ආගම් රැසක් පවත්නා දේශයකට ආගමික සහනශීලතාව අත්‍යාවශ්‍යය. පාලන විෂයෙහිලා බුදුන්වහන්සේ අනුගමනය කළ සප්ත අපරිහානී ධර්මවල ආගමික සහනශීලතාව ඇතුළත්ය. ධර්මාශෝක අධිරාජ්‍යයා මෙය ප්‍රායෝගිකව ක්‍රියා කළ නායකයෙකි.

රජු සියලු තන්හිදී ම සියලු ආගමිකයෝ වෙසෙත්වා යි කැමති වෙති. ඒ සියල්ලෙහි ම සංයමය හා අධ්‍යාත්මික ශුද්ධිය කෘතඥතාව, දෘඪ භක්තිය, යන මේවා ශ්‍රේෂ්ඨ යැයි සලකති (අශෝක 7 ගිරි ලිපිය) ධර්ම යාත්‍රාව අනුගමනය කරමින් අධිරාජයා ආර්ථික සමෘද්ධිය ද සදාචාරාත්මක සමෘද්ධිය ද ඇති කළේය. මුළු භාරතය පුරාම ආර්ථික හා සදාචාරාත්මක සැලසුම් දියත් කළේය. එම සැලසුම් නිසි ලෙස ක්‍රියාත්මක වේ දැයි සමීක්‍ෂණය දියත් කළේය. ඒවායෙහි ප්‍රගතිය සමාලෝචනය කළේය. මේ නිසා රජු දියත් කළ ආර්ථික සදාචාරාත්මක සැලසුම් රට පුරා එක හා සමානව ක්‍රියාත්මක විය. මේ ක්‍රියාදාමය ස්වදේශයන්හි මෙන්ම රජුගේ ධර්ම දූත සේවාව තුළින් අසල්වැසි රාජ්‍යයන්හි ද ක්‍රියාත්මක වූයේය. මාඝාතය හෙවත් සතුන් නොමැරිය යුතුයි යනුවෙන් නීති පැණවූ ප්‍රථම බෞද්ධ රජ ධර්මාශෝක අධිරාජ්‍යයාය.

ධර්මාශෝක රාජ්‍ය සමයට ප්‍රථම භාරතීය සංඝ සමාජය නිනාය පහකට බෙදී තිබිණි. තත්යුගයට එන විට තව තවත් ගැටලු සහගත වූ සංඝ සමාජය පිළිබඳ අධිරාජ්‍යයාගේ අදහස වූයේ භික්‍ෂූ භික්ෂුණි සංඝයාගේ සාමය පැවතිය යුතුයි යන්න ය. සංඝ භේද කිරීමට උත්සාහ කරන භික්ෂුව සසුනින් නෙරපිය යුතු බව අවධාරණය කර ඇත. දීපවංශය, මහාවංශය, සමන්තපාසාදිකාව ආදී වංශ කථා අනුව ක්‍රි. පූ. 322 දී චන්ද්‍ර ගුප්ත අධිරාජ්‍යයා ගෙන් ඇරඹුණු මෞර්්‍ය -ූරාජ වංශයේ තුන්වැනි අධිරාජයා වූයේ ධර්මාශෝකය. දෙවැනි අධිරාජයා වූයේ බින්දුසාර රජු අශෝක රජුගේ පියාය. අශෝක කුමාර රාජ ප්‍රාප්ත වූයේ ක්‍රි. පූ. 273 ඣීය.

සිය සහෝදරයින් මරා චණ්ඩාශෝක වන අශෝක රජු කාලිංග යුද්ධයෙන් පශ්චාත්තාපයට පත්ව බුදු සමය වැළඳගෙන දැහැමි දිවි පෙවතකට යොමු වී ඇත. ඒ අනුව පොදු ජනතාවට ධාර්මික සහජීවන ප්‍රතිපදාව ඉදිරිපත් කළ නිසා ධර්මාශෝක නමින් ප්‍රචලිත විය. භාරත දේශයෙහි විසිර ඇති අශෝක සෙල්ලිපිවල දේවානං පියෙ පියදසි ලාජා (දෙවියන්ට ප්‍රිය වූ ප්‍රියදර්ශී රජ) යනුවෙන් සඳහන් ය.

රජු සතු දහම් දැනුම මනාව ප්‍රත්‍යක්ෂ කරන සෙල්ලිපි රැසක් භාරත දේශය තුළ අදත් ප්‍රකටව පවතී. එනම් කල්කටා බයිරාම් හෙවත් හා බෲ ගිරි ලිපිය, රුමින්දෙඊ, නියාලි සාගර්, කෞශම්බි සාංචි සහ සාරානාත් ටැම් ලිපි, රූපනාත්, සහශ්‍රාම්, බයිරාම්, මස්කි, බ්‍රහ්ම ගිරි, සිද්දාපුර හා ජටින්ගරාමේශ්වර, ගිරිනාර්, කාල්සී, ෂබාශ්ගර්, මාන්සේග්රා, ධෞලි සහ ජෙගම් ගිරිලිපි දෙල්හි තෝස්රා ටැම් ලිපි මේ සෑම ලිපියකම රජු හැඳින්වූයේ දේවානම් ප්‍රියදර්ශි යන නාමයෙනි.

ධර්මාශෝක අධිරාජ්‍යයා බුදු රුන් වදාළ චක්කවක්ති සිහනාද කූටදන්ත අග්ගක්‍ද්ක්‍ද ආදී බෞද්ධ සූත්‍රවල ඉගැන්වෙන ආර්ථික දේශාපලන හා සදාචාරාත්මක ලක්‍ෂණ අනුව ජනතාවට ආරක්‍ෂාව, අවශ්‍යතා සම්පාදනය, තෘප්තිමත් ජීවිතයක් පවත්වාගෙන යෑම වැනි කරුණු සිය රාජ්‍යය සකස් කර ගැනීමට පිටුවහල් කර ගන්නට ඇති බව ප්‍රත්‍යක්‍ෂය. එතුමාගේ ගිරි ලිපි ඒ බව මොනවට සාක්‍ෂි දරයිද?

වංසකතාවලට අනුව පිරිසිදු ථෙරවාදී බුද්ධ භාෂිතය රටවල් නවයකට ධර්ම දූත කණ්ඩායම් මගින් යැවූ බව සඳහන්ය. එනම් කාශ්මීර, ගන්ධාර, මභීස මණ්ඩලය හෙවත් වර්තමාන මයිසෝරය, වනවාසය, බටහිර ඉන්දියාවේ අපරන්න ප්‍රදේශය. මහාරාෂ්ට්‍ර, හිමාලය, වර්තමාන බුරුම දේශය වන සුවණ්ණ භූමි, තම්බපන්නි හෙවත් ශ්‍රී ලංකාව ද වෙයි.

මෙලෙස වසර දෙදහසක ඉන්දියානු ආගමික වර්ධනයේ අග්‍ර ඵලය වූ බුදුසමය බුද්ධ කාලයෙන් වසර දෙසියගණනක් පමණ කාලයක් නොයෙක් හේතූන් නිසා යටපත්ව පැවතුණි ද ධර්මාශෝක අධිරාජයාගේ සමයේ පුනර්ජීවනයට පත්ව ප්‍රබල ආගමක් සේ මුළු මගධ අධිරාජ්‍යය හා යාබද ප්‍රදේශයන්හි ව්‍යාප්ත වී ලෝක ආගමක් බවට පත් විය.

කලාශිල්පවල ආරම්භය හා විකාශනය :-

ඉන්දීය බෞද්ධ කලා ශිල්පවල ආරම්භය බුදුන්වහන්සේ ජීවමාන කාලය දක්වා දුරාතීතයකට අපව රැගෙන යන ඉතිහාස සටහන් තිබුණත්, දෘශ්‍යමාන සාධක සියල්ලක්ම ප්‍රකට කරන්නේ ක්‍රි.පූ. තෙවන සියවස බව පර්යේෂණ මගින් තහවුරු කර ගෙන ඇත. ජෛන, හින්දු, බෞද්ධ යන සමස්ත කලා ශිල්ප පිළිබඳ උදාහරණ හමුවන්නේ, අශෝක සමයෙන් පසුවය. ඊට හේතු වශයෙන් විශ්වාස කරන්නේ, භාවිත අමුද්‍රව්‍යවල ස්වභාවය අනුව විනාශ මුඛයට පත්ව ඇති බවය.

ද්‍යෝගල් පඬිවරයා සඳහන් කරන්නේ, බෞද්ධ කලා නිර්මාණ නියම වශයෙන් ආරම්භ වූයේ, අශෝක රජු දවස බවත්, රාජ්‍ය අනුග්‍රහයෙන් නවජීවනයක් ලද ඉන්දීය කලා නිර්මාණ බෞද්ධ නමින් හැඳින්විය හැකි ස්වරූපයක් ගත්තේ ඉන් පසු බවත් හරප්පා ශිෂ්ටාචාරයෙන් පසු කලා නිර්මාණ සඳහා පාෂාණ භාවිතය අභාවයට ගොස් දැව භාවිතයට යොමුව ඇති නුමුදු අශෝක අධිරාජයා කලා නිර්මාණ සඳහා පාෂාණ භාවිතකොට ඊට නව පණක් ලබා දෙන ලද බවය.

මෙම කාරණය සම්බන්ධයෙන් පර්යේෂකයින් පවසන්නේ, තත්ත්කාලීන භාරතිය සංස්කෘතික සම්බන්ධතා ඊට බලපාන ලද බවය. එනම් ග්‍රීක හා බැබිලෝනියානු සංස්කෘතීන් සමග වූ තත්ත්කාලීන භාරතීය සමාජ සබඳතාවන්ය.

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ආක්‍රමණ පළමුවන මෞර්ය රජ වූ චන්ද්‍ර ගුප්ත රාජ්‍යයෝදයට පෙර සිදු වූ අතර ඔහු වයඹ දිග ඉන්දියාවේ බලය අල්ලාගෙන ඇති අතර, කෞටිල්‍යගේ උදවු ඇතිව චන්ද්‍ර ගුප්ත යළි බලය තහවුරු කර ගත්හ. මේ අනුව ග්‍රීකයින් වයඹ දෙසට ඒකරාශි වූ අතර මේ දෙකොට්ඨාසය අතර සංස්කෘතික සබඳතා පැවතීම හේතුවෙන් ග්‍රීක කලා ආභාසයත් ඔවුන් යටතට හසුවුණු බැබිලෝනියානු කලා ආභාසයත් භාරත දේශයට ලැබුණි. මෙහිදී වැදගත් කරුණු අතර, අශෝක කුලුනුවල ග්‍රීක ශෛලි කැටයම් සහ අශෝක අධිරාජයාගේ ලිපි බැබිලෝනියාවේ ඩේරියස් රජු ගේ ලිපි අනුකරණය කර අති බවය. සාංචි හා භාර්හූට් කැටයම්වල ග්‍රීක ආභාසය නොමදව හඳුනා ගත හැකි බවත් පර්යේෂණ වාර්තා ප්‍රකට කරයි. (බලන්න ලියුම් කරුගේ සාංචි තොරණින් හෙළිවන සන්නිවේදන ලක්ෂණ ලිපිය – දිවයින බදාදා අතිරේකය)

බෞද්ධ ආගමික පුනර්ජීවන ව්‍යාපාරය හා කලාවේ විකාශනය

‘ඩේරියස් (ක්‍රි. පූ. 516) ආදි පර්සියානු අධිරාජයන් ද, මහා ඇලෙක්සැන්ඩර් (ක්‍රි. පූ. 356 – 327) ආදී ග්‍රීකයන් ද වයඹ දිග භාරතය යටත් කර ගැනීම නිසා ශිල්ප කලා කර්මාන්ත ශාස්ත්‍ර, දර්ශන ආදිය අන්‍යොන්‍ය බලපෑම් ලබා හැඩ ගැසෙන්නට විය. භාරතීය ශෛල කර්මාන්ත, නව නාණක (කාශි) තාක්ෂණය, ගන්ධාර ප්‍රතිමා කලාව පර්සි පොලිස් ගෘහ නිර්මාණ ලක්ෂණ, නව දාර්ශනික චින්තනය ආදිය ඉන්දියාව කෙරෙහි එම ග්‍රීක රෝම පාර්සි බලපෑම්වල ප්‍රතිඵලය විය. අනතුරුව සිදු වූ ශක පාර්තායන්වරුන් ගේ ඉන්දු ආක්‍රමණය (ක්‍රි. පූ. 135) නිසා අපට මුල් ම බුදුරුව දැකීමේ භාග්‍යය උදා විය. (වෝගල් මතය වන්නේ ක්‍රි. පූ. 50 පමණ (කනිෂ්ක සමයේ) මුල් බුද්ධ ප්‍රතිමාව පහළ වූ බවයි. (මහාචාර්ය විමල විජයසූරිය )

විවෘත විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අශෝක අධිරාජයා විදෙස් කලාවන්ගේ වැදගත් අංග උකහා ගෙන ඉන්දීය කලාව දියුණු කිරීමේ අභිලාසය ඇතිව ක්‍රියා කළේය. භාරතීය සමාජයේ ජෛන හා ආජීවක ආගම් ඇදහූ පරපුරකින් පැවත ආ අශෝක පැහැදිලිවම බුදුසමය සිය ජීවිතය කර ගෙන ක්‍රියා කළ කෙනෙකි. මේ හේතුව නිසාම ඔහු බෞද්ධ කලාව දියුණු කිරීමට ඇප කැප විය.

ඉන්දීය බෞද්ධ කලාවන්හි උන්නතියට අශෝක අධිරාජයාගේ බෞද්ධාගමික පුනර්ජීවන ව්‍යාපාරය මෙන්ම භික්ෂු ආරාමික සංස්ථාව තුළ සිදුවන පරිවර්තනය වැදගත් ලක්ෂණයකි. බුදුන් දවස සිදුවන ආරාමීය කලාව දේව වාදී චින්තනය තුළ වර්ධනය වන භක්ති වාදය විසින් ආක්‍රමණය කිරීමට අනුව ධාතු සංකල්පය ප්‍රබල ආස්ථානයක් ගනී. සම්බුද්ධ පරිනිර්වාණයත් සමග සමාජ ගත වන ශාරීරික ධාතු සංකල්පය පසුකාලයේ එම ධාතු තැම්පත් කර තැනූ ස්මාරක හෙවත් ස්තූපයට සමගාමීව බෝධියත් චෛත්‍යයත් ධාතු සංකල්පයෙහි ලා ගැනිණි. විශේෂයෙන් ස්තූපය චෛත්‍යය වශයෙන් ප්‍රකට වීමත් සමග බුදු පිළිමය හා බෝධි වෘක්ෂය චෛත්‍ය ගන්යෙහි ලා ශාරීරික, පාරිභෝගික, උද්දේශික වශයෙන් චෛත්‍ය වර්ගීකරණයක් සමාජ ගත විය.

මහාපරිනිබ්බාන සූත්‍රයට අනුව ද බුදුන්වහන්සේගේ ස්තූපයක් ගැන කරන සඳහනක් වෙයි. එහිදී, අනඳ හිමියන් නැගූ ප්‍රශ්නය වූයේ බුදුන්වහන්සේගේ ආදාහනයෙන් පසු ශාරීරික ධාතුවලට කුමක් කරන්නේද යන පැනයට පිළිතුරු දෙමින් දේශනා කළේ එය මල්ල රජුන් විසින් සතරමංසන්ධියක ස්තූපයක් ඉදිකොට එහි තැන්පත් කරන බවයි. බුදුන්වහන්සේ අනු දැන වදාළේ එය ගිහි පැවිදි සැදැහැතියන්ට වන්දනාමාන කිරීමට අවස්ථාවක් උදාවන බැවිනි.

හින්දු දේව වාදයට අනුව භක්තිය ප්‍රවර්ධනය වූ සමාජයක් තුළ ආමිෂ පූජාව කෙරෙහි ඇති වූ අභිරුචියට අනුව, බුදු සමය තුළ ප්‍රකට වූ ස්තූපය හා චෛත්‍යයත් බුදුපිළිමයත් ආරාම ගෘහය තුළ නිර්මාණය විය. මේ අනුව බෞද්ධ කලාව ගොඩනැඟීමට මේ පූජාවස්තු ප්‍රබල පිටුවහලක් විය. ඊට උදාහරණ වශයෙන් සාංචි හා භාර්හූට් චෛත්‍ය ආශ්‍රිතව ගොඩනැඟුණු කැටයම් කලාව අජන්තා එල්ලෝරා ලෙන් විහාර ආශ්‍රිත විහාර මන්දිර හා සිතුවම් පෙන්වා දිය හැක.

බ්‍රාහ්මණයන් පූජකයන් උදෙසා කළ ලෙන් අතුරින් ආදිතම ඒවා ලෙස සැලකෙන ගෝපාල් හි උයදගිරි ලෙන් වලින් සමහරක් පිහිටි පර්වතය ඇතුළට කැණ නිමවා ඇත. ඉතිරි ලෙන් ගල් කුලුනු සහිතව නිමවා ඇත. එහි ඇති ශිලා ලිපි දෙකක සඳහන් වනුයේ ඒවා චන්ද්‍ර ගුප්ත අධිරාජයාගේ සමයට අයත් බවය. දැනට සොයා ගෙන ඇති පැරණිම බ්‍රාහ්මණ ආගමික සිතුවම් දක්නට ලැබෙන්නේ බාදාමියේ අංක 03 දරන ගුහාවෙනි. මේවා වෛෂ්ණව නිකායික ලෙන් වුවද ශෛව නිකායික දර්ශන ද මේ චිත්‍රවල ඇතුළත් ය.

භාරතීය සමාජය තුළ ප්‍රකට වූ හින්දු දර්ශනය භක්ති මාර්ගය, කර්ම මාර්ගය, ඥාන මාර්ගය වශයෙන් තෙවැදෑරුම්ව හින්දු ලබ්ධිකයින් තුළ පෝෂණය විය. මෙම ධර්මතාවයන්ට අනුව බිහිවූ හින්දු කලාවේ ආභාසය බෞද්ධ කලා ශිල්ප කෙරෙහිද ප්‍රබල බලපෑමක් සිදු විය. ඒ සඳහා මහායාන සම්ප්‍රදායට අයත් භික්ෂූන් බුදු පිළිමයට දිව්‍යමය ලක්ෂණ ආරෝපණය කරමින් ලෞකික සැප ලබා දෙන බෝධිසත්ව වරු ඔවුහු හඳුන්වා දුන්හ. සුඛාවතී දෙව්ලොව බුදුන් ජීවමාන කළ අතර බෝධිසත්ව සංකල්පය තුළින් එය මනාව පෝෂණය කළහ.

හින්දූන් දෙවියන් සතුටු කිරීමෙහි ලා නර්තනය, ගායනය, වාදනය. ස්ත්‍රෝත්‍ර ආරම්භ වූයේ භක්ති මාර්ගය හරහා ය. මෙලෙස භක්තිය ප්‍රකාශ කිරීම ප්‍රකාශ වීමට දේව රූප අවශ්‍ය විය. මේ අනුව හින්දු සමයේ භක්තිවාදය ඔස්සේ කලාත්මක හින්දු ගෘහ නිර්මාණ ප්‍රතිමා ශිල්පයකට පදනම සකස් විය.

මහායාන බුදු සමය ඉන්දියාවේ බලවත්ව තිබූ ක්‍රි. ව. ආරම්භයේ සිට අට නවය සියවස් දක්වා භාරතීය සමාජයේ ප්‍රබල වූ විෂ්ණුගේ දස අවතාරයන්ගෙන් එකක් ලෙස බුදුන්වහන්සේ සැලකූ හින්දුන් බෞද්ධ ප්‍රතිමා කලාව කෙරෙහිද උනන්දුවක් දැක්වූහ. මේ ආදී බොහෝ කාරණා නිසා, හින්දු ප්‍රතිමා කලාව බෞද්ධ මූර්ති ශිල්පයෙහි පදනම වශයෙන් අධ්‍යයනය කරයි. එසේම හින්දු දහම තුළ කලා විෂයෙහි ලා ගොඩනැඟුණු ආචාර ධර්ම පද්ධතියට සාපේක්ෂව බුදුසමයෙහි මූර්ති කලාව තුළ ද එවැන්නක් නිර්මාණය විය. අග්නි පුරාණයට අනුව කිසියම් කලා කෘතියක් නිර්මාණය කිරීමට පෙර දින රාත්‍රියෙහි දෙවියන් යැදිය යුතුය. නිර්මාණය පිළිබඳ ගුරූපදේශ දෙවියන් ගෙන් අපේක්ෂා කරයි. අග්නිපුරාණය පවසන්නේ, දෙවියෙකු වී දෙවියන් යැදිය යුතු බව ය. එනම් සියලු දුෂ්චරිතයන්ගෙන් ඈත් විය යුතු බව ය.

බුදු සමය තුළද පසු කාලීනව බුදු පිළිම කලාවේදී නේත්‍රා පිංකම් පැවැත්වීම, ෂඩංගං කියමින් චාරිත්‍ර සිදු කිරීම හා ඇතැම් බෞද්ධ නිර්මාණ ඉදිකිරීම් කලාව තුළ ප්‍රකට කරන විවිධ චාරිත්‍ර විධි හින්දු භක්ති මාර්ගය අනු ගමනය කිරීමෙන් ප්‍රකට වූ ඒවා බව ප්‍රත්‍යක්ෂ කරයි. බුදු සමය ප්‍රත්‍යක්ෂ නොකළ දෑ විවිධ සංස්කෘතික ආභාසයන් නිසා ඊට එක්ව ගමන් කරන බව ඉඳුරා සඳහන් කළ හැකි කරුණකි.

සුනිල් කුමාරසිංහ අතුකෝරල


advertistmentadvertistment