කමලා දාස් ලේඛිකාව, ප්‍රධාන වශයෙන් කිවිඳිය ඉන්දියානු මතු නොව, ලෝක සාහිත්‍යය පිළිබඳව කතා කිරීමේදී බැහැර කළ නොහැකි චරිතයක් වන්නේ ඉන්දියානු සාම්ප්‍රදායික පිළිවෙත්වලට එරෙහිව ගිය ඇගේ රැඩිකල් මතවාද, එඩිතර ප්‍රකාශයන් හා අසම්මත අදහස් නිසාවෙනි. ‘මයි ස්ටෝරි’ නම් ඇගේ ස්වයං චරිතාපදානය හරහා නැවත ඇගේ මතවාද පිළිබඳව විමසා බැලීමට මෙය සුදුසු කාලය වන්නේ 2025 මැයි මාසයේ කමලා දාස්ගේ දහසය වන මරණ සංවත්සරය යෙදෙන නිසාය. 2009 මැයි 31 වැනි දින, වයස අවුරුදු 75 දී, නියුමෝනියා රෝගී තත්ත්වය නිසා පූනේ රෝහලක දී මියගිය ඇගේ දේහය ඇය උපන් කේරළයට ගුවන් මගින් ගෙන යන ලදුව පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව තිරුවානන්තපුරම් හි පලයම් ජුමා මස්ජිඩ් හිදී භූමදාන කරන ලදී.
ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ ඉන්දියානු කවියන් අතර පුරෝගාමියකු වූ ඇයගේ පුළුල් සාහිත්‍ය කෘත්‍යයට කෙටිකතා, නවකතා, රචනා සහ මතක සටහන් ද ඇතුළත් විය. කාන්තාවන්ගේ ලිංගිකත්වය, ආදරය, රාගය සහ පීතෘ මූලික සමාජයක වැඩිවිය පැමිණීම වැනි එකල තහනම් මාතෘකා ගැන ඇය නිර්භීතව ලියුවාය. ඇය ලියූ දේවල් සහ ඇගේ ජීවිත කාලය පුරාම ඇය කළ තේරීම් (1999 දී පසුකාලීනව ඉස්ලාම් ආගමට හැරීම ඇතුළුව) සඳහා නිර්දය ලෙස ගර්හාවන්ට මුහුණ දුන් කමලා දාස්, එකී අපහාස සුළැඟිල්ලෙන් උඩට මායිම් නොකළාය.
“සමහර අය මට කිව්වා මේ වගේ ස්වයං චරිතාපදානයක් ලිවීම, අවංකව සියල්ල නොසඟවා හෙළි කිරීම නිරුවත් වෙනවා වගේ වැඩක් කියලා. ඇත්ත, මම මුලින්ම මගේ ඇඳුම් සහ ආභරණ ගලවා දමනවා. ඊට පස්සේ මම මේ ළා දුඹුරු පැහැති සම ගලවා මගේ ඇටකටු එළියට දැමීමට අදහස් කරනවා. අවසාන වශයෙන්, අනාථ එහෙත් දැඩි ලෙස සුන්දර මගේ ආත්මය අස්ථි තුළ ගැඹුරින්, ඇටමිදුළු යට පවා දිදුලන හැටි සිව්වන මානයකින් ඔබට දැකගත හැකි වේ යැයි මම සිතනවා”
- කමලා දාස්ගේ ස්වයං චරිතාපදානයේ පරිවර්තනයෙන්
පරිච්ඡේද 50 කින් යුත් ‘මගේ කතාව’, බ්‍රිතාන්‍ය යටත් විජිත කල්කටාවේ සහ මිෂනාරි පාසල් හරහා ජාතිවාදී වෙනස්කම්වලට මුහුණ දීමට සිදු වූ ආකාරය; ඇගේ සැමියා සමග වූ කුරිරු හා අතෘප්තිමත් සම්බන්ධතාවය; ඇගේ ලිංගික පිබිදීම; ඇගේ සාහිත්‍ය ජීවිතය; අවිවාහක සබඳතා; ඇගේ දරුවන්ගේ උපත; ආදී වශයෙන් වයස අවුරුදු හතරේ සිට ඇය මුහුණ දුන් සමාජ ආර්ථික දේශපාලන හා පෞද්ගලික ජීවිතයේ විවිධ හැලහැප්පීම් අන්තර්ගත ය. ‘මගේ කතාව’ ප්‍රබල සමාජ සංවාදයක් ඇති කළා පමණක් නොව, දාස්ගේ සමීප ඥාතීන්ගේ දැඩි කෝපයට හේතු විය.
කමලා ගතානුගතික හින්දු නායර් (නාලපත්) පවුලක උපත ලැබූ අතර රාජකීය පෙළපතක් ඇති වංශාධිපති මෙනන් පවුලක් (කාලිපුරයාත්) සමග විවාහ වූවාය. එහෙත් ඇය 1999 දෙසැම්බර් 11 වැනි දින වයස අවුරුදු 65 දී ඉස්ලාම් ආගමට හැරුණු අතර කමලා සුරයියා යන නම ලබා ගත්තාය. ඒ තමන් ආදරය කළ මුසල්මානුවකු හා විවාහ වනු පිණිසය. එහෙත් ඇගේ එම අපේක්ෂාව ඉටු නොවූ අතර ඇගේ ඉතිරි ජීවිත කාලය ඇය ගත කළේ හුදකලාවය. සිය ජීවිත කාලය පුරාම සැබෑ ආදරය සොයා ගිය
ගැහැණියකගේ ඛේදාන්තය ‘මගේ කතාව’ බව පවසන කමලා, මාධ්‍යවේදී ශිල්පි සක්සේනා සමග කළ සංවාදයක තෝරාගත් කොටස් කිහිපයක් පහත පළ වෙයි. මේ සංවාදය වැදගත් වන්නේ කමලා ඇගේ ඇතුලාන්තය නොපැකිලිව හෙළි කරන බැවිනි.
සෑම නිර්මාණශීලී කලාකරුවෙක්ම තමන්ගේ පෞද්ගලික ජීවිතයේ සහ සමාජ පරිසරයේ අත්දැකීම්වලින් යම් දෘශ්‍යමාන හෝ නොපෙනෙන බලපෑම් ලබාගන්නවා. ඔබව මෙතරම් ශ්‍රේෂ්ඨ කවියකු බවට පත් කළ ඔබේ ජීවිතයේ බලපෑම් මොනවා ද?
මම කල්කටාවේ සහ කේරළයේ මලබාර් නම් කුඩා ගම්මානයක ජීවත් වුණා. ඒ නිසා මම සංස්කෘතීන් දෙකක අත්දැකීම් ලැබූ අතර එම වෙනස මට සංස්කෘතීන් දෙකෙහිම ජීවත් වීමට යම් ශක්තියක් ලබාදුන්නා. යම් දුරකට බ්‍රිතාන්‍යයන් මගේ කවියට බලපෑම් කළා. බ්‍රිතාන්‍යයන් ඉන්දියාව පාලනය කළ මගේ ළමා කාලයේ මම බ්‍රිතාන්‍ය පාසලකට ගියා. සෑම ඉන්දියානු දරුවකුම බ්‍රිතාන්‍යයන් අනුකරණය කිරීමට පුරුදුව සිටියා. මමත් ඒක කළා, ඒ නිසා මට මලයාලම් භාෂාවෙන් පමණක් නොව, ඉංග්‍රීසියෙන් ද කවි ලිවීමට හැකි වුණා.
ඔබේ කවියේ රිද්මයක් හෝ වෙනත් දැඩි හා සාම්ප්‍රදායික කාව්‍යමය උපාංග නැහැ. ඒ ගැන ඔබ එතරම් සැලකිලිමත් නොවන්නේ ඔබේ හැඟීම් පුපුරා යෑමේ ප්‍රතිඵලයක් ලෙස ද?
සමහරවිට මගේ කවිවල අභ්‍යන්තර රිද්මයක් ඇති. නමුත් ඔබ කියන ඔය විධිමත් රිද්ම යෝජනා ක්‍රම රටාව කෙරෙහි මගේ වැඩි අවධානයක් නෑ. මගේ කවි නර්තනයක් වගේ. මම කවි ලියන සෑම විට ම මම වචන සමග නටන බවක් මට දැනෙනවා.
ඔබ දැඩි සාම්ප්‍රදායික මලයාලම් පවුලක හැදී වැඩුණු කෙනෙක්. නමුත් ඔබේ කවි සාම්ප්‍රදායික සමාජ හා පවුල් සම්මුතීන්ට එරෙහි ඔබේ කැරැල්ල නියෝජනය කරනවා.
නිසැකවම, මගේ පවුල ඉතා සාම්ප්‍රදායික බව සත්‍යයක්. මම පාසල් සිසුවියක්ව සිටිය දී මගේ ආච්චි මට දිගු සායක් ලබාදුන්නේ ගැහැනු ළමයින් තම කකුල් නොපෙන්විය යුතු යැයි කියමින්. සමාජයේ සෑම කෙනකුම සාම්ප්‍රදායිකව ක්‍රියා කරන බවත් කිසිවකු යථාර්ථය හෙළි කිරීමට කැමැති නැති බවත් මට පෙනී ගියා. මම සැබෑ පුද්ගලයෙක් වියයුතු ජීවිතය තෝරාගැනීමට මම තීරණය කළා. ඒ නිසා මගේ කවි හරහා මම නිර්භීතව හා අවංකව සත්‍යය ප්‍රකාශ කළා.
ඔබේ කවි සහ ඔබේ ස්වයං චරිතාපදානයේ බොහෝ දේවලින් හෙළි වන්නේ ඔබේ විවාහ ජීවිතය සතුටින් නොතිබූ බවත්, ඔබ ඔබේ කවි තුළින් ඔබේ කලකිරීම මුදා හැරීමට උත්සාහ කළ බවත්ය. ඔබේ කලකිරුණු විවාහ ජීවිතය ඔබ තුළ කවියෙකුගේ උපත සමග කොතරම් දුරට සම්බන්ධ ද?
ඇත්ත වශයෙන්ම බොහෝ විවාහයන් අසතුටින් පවතින නමුත් මිනිසුන් ඒ ගැන හෙළි කරන්නේ නැහැ. නමුත් මම එය කළා. මගේ දෙමව්පියන් මෙන් රාත්‍රියේ රණ්ඩු නොවන නිසා මගේ විවාහය මගේ දෙමව්පියන්ගේ විවාහයට වඩා හොඳයි. මොකද, මම කෑගැසීම විශ්වාස කළේ නැහැ. ඒ නිසා මම මගේ ලේඛන හරහා මගේ හැඟීම් ප්‍රකාශ කළා. මට අසතුටක් දැනුණු සෑම අවස්ථාවකම, මම ලිවීමෙහි යෙදුණා. ඒ නිසා මට රිදවීම ගැන මම මගේ සැමියාට කෘතඥ වෙනවා.
ඔබේ කවිවල ආදරය, ආශාව සහ පුරුෂයකු හා ස්ත්‍රියක් අතර සම්බන්ධතාවය ප්‍රධාන තේමාවන් ලෙස මතු වී තිබෙනවා. කවියකුගේ නිර්මාණවලට පාදක වියයුතු සමාජ අර්බුද අසාධාරණ බොහෝ තිබියදී මා ඉහත සඳහන් කළ දේ පමණක් ඔබේ වඩාත්ම ප්‍රියතම විෂය ලෙස පෙනෙන්නේ ඇයි?
ඒ මගේ අත්දැකීම් නිසා. මම මැරෙන්න කලින් ආදරය ලබාගත යුතුයි කියන සිතුවිල්ලෙන් මම උමතු වෙලා ඉන්නේ. රාධා සහ ක්‍රිෂ්ණා ගැන ඔබ අහලා ඇති. එවන් සැබෑ ආදරයක් ලබාගැනීමට මම කැමතියි. මේ තේමාව හැම විටම මගේ හදවතේ දෝංකාර දෙන තරමට සමහරවිට මට හැඟෙන්නේ මම, මගේ පරමාදර්ශී සහ සදාකාලික පෙම්වතා වන ක්‍රිෂ්ණා එනතුරු බලා සිටින රාධා විය හැකි බවයි.
ඔබ විශේෂයෙන් ප්‍රේමය ගැන ලියන කවියකු ලෙස ප්‍රසිද්ධයි. ඔබට අනුව ආදරය යනු කුමක් ද?
ආදරය යනු ජීවිතයයි. ආදරය යනු දෙවියන් වහන්සේයි. මට ඊට වඩා ලස්සනට හිතන්න බැහැ. මගේ සෑම ක්‍රියාවකටම එය බලපානවා. සෑම දෙයක්ම එයින් ආභාසය ලබාතිබෙනවා. මගේ ජීවිතයේ සියලු වැරදි ආදරය නිසා සිදු වූ දේවල්. නමුත් ඒවා මගේ වැරදි නොවන බවයි මම සිතන්නේ. මන්ද අවසානයේ ඒවා හොඳම දේවල් බවට පත් වෙනවා. ඒ නිසා බොහෝ පිරිමින් සමග ආදරයෙන් බැඳීම ගැන මම පසුතැවෙන්නේ නැහැ. මට කෙනකු සතුටු කළ හැකි නම්, මම එය කිසිසේත් නරක දෙයක් ලෙස සලකන්නේ නැහැ. ආදරය ලබාගැනීම පාරාදීසයට ඇතුළු වීම හා සමානයි. මට ආහාර නොමැතිව ජීවත් වියහැකියි, නමුත් මට ආදරය නොමැතිව ජීවත් විය නොහැකියි. මම ඔබට ආදරෙයි යැයි කෙනකුට නොකියා මට ජීවත් විය නොහැකියි. ආදරය යනු මගේ ශක්තියයි.
ඔබේ කවියේ ශාරීරික, චිත්තවේගීය, කාමුක සහ අධ්‍යාත්මික ප්‍රේමයේ සියුම් සුසංයෝගයක් ගැබ්ව තිබෙනවා. ඔබට අනුව ප්‍රේමයේ කුමන වේශය සැබෑ ආදරය ලෙස හැඳින්විය හැකි ද?
ප්‍රේමයේ සෑම අංගයක්ම පිරිසිදු හා උතුම්. ආදරය යනු ශරීරය, හදවත සහ ආත්මය යන ත්‍රිත්වයේ සියුම් සංස්ලේෂණයක්. හැඟීම් යනු ආදරයේ අත්තිවාරම වන අතර ආශාව ආදරය වර්ධනය කරනවා. ආශාවක් නොමැති ආදරය අසම්පූර්ණයි. රාධා පවා ආශාවක් නොමැතිව ක්‍රිෂ්ණා එනතුරු බලා සිටිය බව මට සිතාගත නොහැකියි. ඔබ තවමත් ලස්සන හා තරුණව සිටින්නේ කෙසේ දැයි සමහරු මගෙන් අසනවා. මට කීමට ඇත්තේ මගේ මුහුණට දීප්තියක් ලබාදෙන්නේ ආදරය කිරීමට සහ ආදරය ලැබීමට ඇති මගේ ආශාව බවයි.
“ආදරයෙන්” නම් කවියේ ඔබ ආදරය අර්ථ දක්වා ඇත්තේ “සමෙන් සන්නිවේදනය කරන ලද දෙයක්” යන වචන භාවිත කරමින්. ආදරය “සමෙන් සන්නිවේදනය කරන ලද දෙයක්” පමණක් ද?
එය ඊට වඩා බොහෝ දෙයක් වන නමුත් ආදරය සන්නිවේදනය වන්නේ සමෙන් තමයි. ඔබ ආදරය කරන මිනිසා ඔබ ස්පර්ශ කළහොත්, එය ඔබට විදුලි කම්පනයක් මෙන් දැනෙන්නේ නැති ද? ඔබට යමක් සිදු වන අතර වහාම ඔබට දැනෙන්නේ ඔහු ඔබ අපේක්ෂා කළ විශේෂ පුද්ගලයා බවයි. ඔබට සමක් නොමැති නම් ඔහු නිවැරදි පුද්ගලයා බව ඔබ දැන ගන්නේ කෙසේද?
ඔබේ කවි බොහොමයක ඔබ ආදරය නොමැති ලිංගිකත්වය ගැන කතා කර තිබෙනවා. ඒ කියන්නේ ආදරය නොමැතිව ලිංගික සම්බන්ධතාවයක් තිබිය හැකි බවයි. ආදරය නොමැතිව ලිංගික සම්බන්ධතාවයේ අදාළත්වය කුමක්ද?
අවාසනාවකට මෙන්, බොහෝ ලිංගික සම්බන්ධතා සිදුවන්නේ ආදරය නොමැතිවයි. සමාජය ලිංගිකත්වය අනුමත කරන්නේ විවාහයේ ස්වරූපයෙන් පමණයි. විවාහයෙන් පසු පිරිමියකුට තම බිරිඳ දූෂණය කළ හැකි අතර කිසිවකු එය ප්‍රශ්න කරන්නේ නැහැ. මම ඒ ගැන සිටින්නේ ඉතා අසතුටින්. ලිංගික සම්බන්ධතාවයෙන් දරුවකු බිහි කිරීම මට නම් ක්‍රියාවක් පමණයි. ස්වාමිපුරුෂයා සහ භාර්යාව එකිනෙකාට වෛර කළත් ඔවුන් එකිනෙකා භාවිත කොට ආදරය නොදන්නා දරුවකු ලබා ගනී. දරුවා සැබෑ ආදරයෙන් බිහි කළහොත් පමණක් ඔහුට කිසි විටෙකත් වැරදි කළ නොහැකියි. ඒ නිසා මම යෝජිත විවාහවලට එරෙහිව සටන් කරනවා. මන්ද, යෝජිත විවාහවල ආදරයක් නැහැ, ඇත්තේ ලිංගිකත්වය පමණයි. ආදරය නොමැති ලිංගික සම්බන්ධතාවය යනු ශාරීරික එකමුතුවේ යාන්ත්‍රික ක්‍රියාවක් පමණයි.
ලිංගිකත්වය නොමැතිව ආදරයක් තිබිය හැකි ද?
ඇත්ත වශයෙන්ම එය ටිකක් නොමේරූ සහ සම්පූර්ණයෙන්ම වර්ධනය වී නොමැති දෙයක් විය හැකියි. ලිංගිකත්වය, ආදරය වර්ධනය කරන අතර ආදරය හා ලිංගිකත්වයේ සංයෝජනය එකම පරිපූර්ණ එකමුතුවක්.
ඔබේ ආදර කවිවල ඔබ කිසි විටෙකත් ආදරය පිළිබඳ සංකල්පය පරමාදර්ශී කිරීමට උත්සාහ කර නොමැති අතර එය ලිංගික ආශාවන්ගේ අනුපූරකයක් ලෙස ඉදිරිපත් කර තිබෙනවා. ආදරය හා ලිංගිකත්වයේ සාපේක්ෂ වැදගත්කම කුමක් ද?
ආදරය තුළ සමීපතාවයක් තිබිය යුතු යැයි මම විශ්වාස කරනවා. සමීපතාවය පෙම්වතුන්ට සමීප බව අවබෝධ කරවනවා. කෙනකු තම පෙම්වතාට හැකි තරම් සමීප විය යුතුයි. භෞතික දුරක් නොමැති තැන, මානසික දුර නිසැකවම අවසන් වනු ඇත.
ආදරය තුළ ලිංගිකත්වයේ අදාළත්වය පිළිබඳ ඔබේ අවධාරණය, ඕෂෝගේ අදහස්වලට ආසන්නයි. ලිංගිකත්වයේ සිට සුපිරි සවිඥානකත්වය දක්වා වූ ඕෂෝගේ සංකල්පය ඔබ විශ්වාස කරනවා ද?
නැහැ, මොකද, ඕෂෝ මිනිසුන්ට ඕනෑවට වඩා නිදහසක් ලබා දී තිබෙනවා. මම එහෙම හිතන්නේ නැහැ. මොකද, මා ආදරය කරන මිනිසා ලබාගැනීම මට ප්‍රමාණවත්. අපට සැබෑ ආදරය ලැබෙනවා නම්, අපට අන් අය වෙත යෑමට අවශ්‍ය නොවන අතර අප ඒ ගැන සිතන්නට පවා අවශ්‍ය නැහැ.
සැබෑ ආදරයේ අවසාන ගමනාන්තය විවාහය ද නැතහොත් විවාහයේ විෂය පථයෙන් පිටත ආදරය සාක්ෂාත් කරගත හැකි ද?
විවාහය තිබෙන්නේ සමාජයේ මිනිසුන් තෘප්තිමත් කිරීම සඳහා පමණි. ඔවුන්ට මංගල්‍යයක් ලබාදීම, හොඳ ඇඳුම් ඇඳීමට අවස්ථාවක් ලබාදීම සහ රත්තරන් සඳහා විශාල මුදලක් වියදම් කිරීම ආදී බොහෝ විකාර දේවල් විවාහයේ කොටස්. මගේ විවාහයේ මේ සියල්ල තිබුණා. විවාහ වනවිට මම කුඩා දරුවෙක් පමණයි. මම ලිංගිකත්වය ගැන කිසිවක් දැන සිටියේ නැහැ. මගේ විවාහය සිදු වූයේ මගේ කැමැත්තට පටහැනිවයි. දැන් මම හිතන්නේ සෑම ගැහැනු ළමයෙක්ම තමන්ගේම පුරුෂයා සොයා ගතයුතුයි. ඇය ඔහුව දැන සිටිය යුතුයි, ඔහු විවාහ වීමට සුදුසු ද නැද්ද යන්න දැනගත යුතුයි.
ඔබේ සමහර කවිවල ඔබ රාධා සහ ක්‍රිෂ්ණාගේ ප්‍රතිරූපය සැබෑ ප්‍රේමයේ සංකේතය ලෙස උත්කර්ෂයට නංවා තිබෙනවා. එයින් අදහස් වන්නේ සැබෑ ආදරය ඇත්තේ විවාහයේ බාධකවලින් ඔබ්බට බවයි. ඒ ගැන ඔබ සිතන්නේ කුමක් ද?
විවාහය ගැන සැලකිලිමත් වන්නේ කවුද? විවාහය සුළු දෙයක් වන අතර ආදරය විශිෂ්ටයි. කැපවීමේ ඉහළම ආකාරය සොයාගත හැක්කේ ආදරය තුළින් පමණයි.
අපේ සමාජයේ ආධිපත්‍යය දරන සාධක කුලය සහ ආගමයි. ආදරය කුලය, ආගම සහ වයස යන බාධකවලින් ඔබ්බට ඇති බව ඔබ සිතනවා ද?
ඒ ගැන කිසිම සැකයක් නැහැ. ආදරයට කුල හා ආගම් භේදයක් නැහැ. මම මුස්ලිම් කෙනෙක් එක්ක ආදරයෙන් බැඳුණා. ආදරය කියන්නේ උත්තරීතර පරිත්‍යාගයක් නිසා ආදරය ලබාගැනීම සඳහා මම මගේ ආගම සහ සියල්ල අත්හැරියා. ආදරය සියල්ලට වඩා වටින නිසා සියල්ල ඉවත දැමීම ගැන මම සතුටු වෙනවා.
ඔබේ අනියම් සබඳතා, ඔබේ කලකිරුණු විවාහ ජීවිතයේ ප්‍රතිඵලයක් බව ඔබ විස්තර කර තිබෙනවා. එය ඇත්ත ද?
මම මගේ මාමාට සහ මගේ ඥාතීන්ට මෙන් මගේ සැමියාට ආදරය කළේ අපට එවැනි සම්බන්ධතාවයක් තිබූ නිසා යි. මම ඔහුව මගේ සැමියා ලෙස තෝරාගත්තේ නැහැ. වෙනත් පිරිමින් සමග මගේ සම්බන්ධතාවය සැබෑ ආදරය ලබාගැනීමට මා තුළ ඇති ආශාවේ ප්‍රතිඵලයක්.
සමාජ සාධාරණත්වය පදනම් කරගෙන විවාහයෙන් පිටත සබඳතා සාධාරණීකරණය කළ හැකිද? නැතහොත් එය ආදරය ලබාගැනීම සඳහා නිවැරදි ආදේශකයක් ද?
ගැහැනු ළමයකුට විවාහයෙන් සැබෑ ආදරය නොලැබුණේ නම්, ඇයට විවාහයෙන් පිටත ඒ සඳහා උත්සාහ කළ හැකියි. ආදරය කිරීම සහ ආදරය ලැබීම සෑම ගැහැනු ළමයකුගේම සිහිනයයි.
ඔබ ඔබේ නිර්මාණවල පිරිමි හෝ ගැහැනු ශරීරය ඉතා අවංක ආකාරයකින් ඉදිරිපත් කර ඇති අතර වචන භාවිත කිරීමේදී අධික අවංකභාවයක් ද පළ කරනවා. එවැනි නිරුවත් සත්‍යයක් කතා කිරීමට ඔබට බලය ලබාදුන්නේ කුමක් ද?
මිනිසුන්ගේ ප්‍රතිචාර ගැන මම තකන්නේ නැහැ. මම සිතන දේ සහ මට හැඟෙන දේ මම ලියනවා. මම සිතන්නේ සත්‍යය එළියට දැමිය යුතු බවයි. අපි අප තුළ තිබෙන සත්‍යය නිදහස් කළ යුතුයි. මිනිසුන් නිතරම මට කියන්නේ එය සත්‍යයක් වුවද එසේ කතා නොකරන්න කියාය. මට සත්‍යය සැඟවීම දරුවකුගේ උපත වැළැක්වීම හා සමානයි. ඒ ආකාරයෙන්ම මට සත්‍යය කතා කිරීම නතර කළ නොහැකියි. සත්‍යය මතුවිය යුතු යැයි මම සිතනවා. එබැවින් මම සත්‍යයේ උපතට උදව් කරන වින්නඹු මාතාවක් වගෙයි.
ඔබේ බොහෝ කවිවල ඔබ පිරිමියා හැඟීම් විරහිත ජීවියකු ලෙස විස්තර කර තිබෙනවා. උදාහරණයක් ලෙස ‘The Sunshine Cat’ කවියේ සියලුම පෙම්වතුන් ඔබට පවසා ඇත්තේ ‘මම ඔබට ආදරය කරන්නේ නැහැ. මට ආදරය කරන්න බැහැ.” ආදී ලෙසයි. සියලුම පිරිමින් එසේ යැයි ඔබ සිතනවා ද?
මට හැඟෙන්නේ සියයට අනූනවයක් පිරිමින් එසේ බවයි. ඔවුන් ආකර්ෂණය වන්නේ කාන්තා ශරීරයට පමණයි. ඔවුන් ඇයට සැබෑ අර්ථයෙන් ආදරය කරන්නේ නැහැ. ඔවුන් ගෙන් සැබෑ ආදරය අපේක්ෂා කිරීම මායාවක්.
නමුත් ඔබ ඔබේ කවිවල ක්‍රිෂ්ණාගේ ප්‍රතිරූපය උත්කර්ෂයට නංවා තිබෙනවා. ඔබේ මතය අනුව ක්‍රිෂ්ණා පරමාදර්ශී පෙම්වතෙක් ද?
නිසැකව ම ක්‍රිෂ්ණා සෑම හින්දු ගැහැනු ළමයකුගේම පෙම්වතෙක්. ඔහු සමග ආදරයෙන් ගැලවී යා හැක්කේ කුමන හින්දු ගැහැනු ළමයෙකුට ද? නමුත් ඔහුත් පිරිමියෙක් වන නිසා ඔහු රාධා හැර ගොස් ඇයව බැලීමට නැවත පැමිණියේ නැහැ.
ඔබේ කවිවල ඔබ කාන්තා නිදහස සහ කාන්තා සමානාත්මතාවය ගැන කතා කරන අතර එය බොහෝ දුරට ස්ත්‍රීවාදයේ පදනමයි. වර්තමාන ස්ත්‍රීවාදය ගැන ඔබ සිතන්නේ කුමක් ද?
මම කිසිම ස්ත්‍රීවාදී ව්‍යාපාරයකට සම්බන්ධ නැහැ, මොකද මම හරිම ස්ත්‍රීවාදී නිසා. මම මගේ පුරුෂයාට ඉතා යටත් කාන්තාවක්. මම ඒක රස විඳිනවා. මට ඔහුව අබිබවා ඔහුට අණ කරන්න අවශ්‍ය නැහැ. මම පහළ මාර්ගයට කැමතියි. මම ඔහුගේ වහලෙක්, නමුත් මම ඔහුගේ ආදරණීයයා වීමටත් කැමතියි. මම සම්පූර්ණයෙන්ම ස්ත්‍රීවාදී වන අතර මම ආදරය කරන සෑම අවස්ථාවේම මා තුළ කිසිම ස්ත්‍රීවාදයක් නොමැතියි.
ඔබේ ලිවීමේදී ඔබ පාපොච්චාරණ ශෛලිය අනුගමනය කරනවා. එය ලිවීමේ ක්‍රමයක් පමණක්ද, නැතහොත් ඔබේ අත්දැකීම් පිළිබඳ සැබෑ පාපොච්චාරණයක් ද?
මම ලියන අතරතුර මම සත්‍යය පමණක් ලියන අතර මේ ආකාරයෙන් මම මගේ ලේඛන හරහා පාපොච්චාරණය කරනවා වෙන්න පුළුවන්. පූජාසනය ඉදිරිපිට පාපොච්චාරණය කරන රෝමානු කතෝලිකයන් මෙන් පාපොච්චාරණය කිරීමට මට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. දෙවියන් වහන්සේගේ හඬ වන මගේ අභ්‍යන්තර හඬට මම සැමවිටම සවන් දෙනවා. අපට අපගේ මැවුම්කරු සමග විශ්වාසයක් සහ රහසිගත සන්නිවේදනයක් තිබේ නම්, අසල්වැසියන්ගෙන්, සමාජයෙන් සහ නීතියෙන් පවා අපට බිය වීමට අවශ්‍ය නැහැ.
ඔබ ක්‍රිෂ්ණාගේ භක්තිකයෙක් වන අතර අනෙක් අතට අල්ලාහ්ගේ දයාව කෙරෙහි ඔබට දැඩි විශ්වාසයක් තිබෙනවා. මේ ආගම් දෙකම කෙරෙහි විශ්වාසය තැබීම ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?
ආදරය මගේ එකම ආගමයි. ආදරය යනු නමක් නැති ආගමක්. නමුත් එය ශක්තිමත්ම ආගමයි. මම මුස්ලිම් අයකු සමග ආදරයෙන් බැඳුණුවිට මගේ ආදරය වෙනුවෙන් මම ඉස්ලාම් ආගමට හැරුණා. ආගම මිථ්‍යාවක් වන අතර ආදරය යනු සත්‍යයක්. මට මිථ්‍යාවෙන් සත්‍යය යටත් කළ නොහැකියි. මුස්ලිම්වරයකු වුවද, මම මගේ දහවල් සිහිනවල ක්‍රිෂ්ණා දකිනවා. ක්‍රිෂ්ණා මුස්ලිම්වරයකු ලෙස සිහින දැකීම පාපයක් ලෙස මට හැඟෙන්නේ නැහැ. ක්‍රිෂ්ණා මගේ පෙම්වතා වන අතර, ප්‍රේමයට සියලු ආගමික වෙනස්කම් ඉවත් කිරීමට බලය ඇති බව මට හැඟෙනවා.
අවසාන වශයෙන් ඔබ ජනතාවට දීමට කැමති පණිවිඩය කුමක් ද?
සැමවිටම ප්‍රේමයේ මාවත අනුගමනය කරන්න. සතුන්ට ආදරය කරන්න. ගහ කොළට ආදරය කරන්න. දුප්පතුන්ට ආදරය කරන්න. මහලු අයට ආදරය කරන්න. දරුවන්ට ආදරය කරන්න. සියල්ලට ම ආදරය කරන්න. මන්ද ආදරය දෙවියන් වහන්සේ වෙතට යන එකම මාර්ගයයි.
● නිමල් ෆ්‍රැන්සිස්