පුද්ගලික රෝහලකදී රෑ ඉරපාන වැඩසටහන පටිගත කරලා ගුවන් විදුලි නාලිකාවකට යැව්වා. පටිගත කිරීම හොඳමට හොඳයි කියලා ගුවන් විදුලි නාලිකාවෙන් කියලා තිබුණා.
හැත්තෑව දශකය සේම, අසූව දශකය ද ගීතවත් යුගයක් ලෙස හැඳින්වීම ගැන ඒ ඒ යුග පසු කළ බොහෝ දෙනෙක් එකඟ වනවාට සක නැත. එකල්හි මෙරට ගීත කලාව ජනතාව අතරට රැගෙන යනු ලැබුවේ ‘කැසට් පට ” හරහාය. එකළ ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත ඇතුළත් කැසට් පට පාසල් සිසු සිසුවියෝ පවා ළඟ තබාගෙන සිටියහ. අසූව දශකය වනවිට එය රැල්ලක් බවට පත්ව තිබුණි. මේ කාලයේ දී දුරගමන් සේවාවල ධාවනය වන පුද්ගලික බස්රථවල පමණක් නොව, ලංගම බස්රථවල පවා කැසට් යන්ත්‍රයක් සවිකොට තිබුණි. එච් ආර්.ජෝතිපාල, මිල්ටන් මල්ලවආරච්චි, මොහිදින් බේග් යන ගායකයන්ගේ ගීත බස් රියේ සවිකොට තිබූ කැසට් යන්ත්‍රය හරහා වාදනය විය. එය මගී ආකර්ශනය දිනා ගැනීමට ද සමත් විය.
රේකොඩ් බාර්
මඟුල් ගෙදරක, පිංකම්පොළක, වෙනත් උත්සව අවස්ථාවලදී පවා කැසට් පට තුළ පටිගත කොට තිබූ ගීත කැසට් යන්ත්‍ර හරහා වාදනය කිරීමට අපේ ඇත්තන් පුරුදුව සිටියහ. කොටින්ම කිවහොත් අසූව දශකයේ දී ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත ඇතුළත් කැසට් පට මිලදී ගැනීම සඳහා රට්ටුන් අතර පැවතියේ උන්මාදයෙකි. මෙම උන්මාදයත් සමග දිවයිනේ නගරවල රේකොඩ් බාර් බිහිවූයේ හතු පිපෙන්නාක් මෙනි. නවීන තාක්ෂණය සමග කැසට්පට කලාව මේ වනවිට දකින්නට නැත. කැසට්පටයක් හෝ වෙළෙඳපොළ තුළ ද දක්නට නැත. කැසට් රෙකොඩ් බාර් ආයතන පවා දක්නට ඇත්තේ අතළොස්සකි. කැසට් රෙකොඩ් බාර් ගැන සඳහන් කරනවිට ගාල්ලේ ඔමේගා රේකොඩ් බාර් ආයතනය අමතක කළ නොහැකි තැනකි. එහි හිමිකරු සුනිල් වැලිහිඳ අදටත් කැසට් පටවලට ආදරය කරන රසකාමියෙකි, කලාකාමියෙකි, ගාල්ල කන්දවත්තේ පදිංචි හැත්තෑ හැවිරිදි සුනිල් වැලිහිඳ සතුව ඇති කස්ට පත ප්‍රමාණයම ඔහුගේ ඒ ලැදියාවට සාක්ෂියකි. අප සුනිල් වැලිහිඳ මුණගැසුණේ කැසට් පටවල මෙන්ම රෙකොඩ් බාර් ආයතනවල අතීතය හාරා අවුස්සා ගැනීම සඳහාය. ඔහු සිය අතීත මතකයන් වචනවලට පෙරළුවේ ය.
“මම ඉගෙනුම ලැබුවේ ගාල්ල මහින්ද විද්‍යාලයෙන්. 77 වර්ෂයේ දී ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටියා. විෂයන් හතරට ම එස් සාමාර්ථ ලබාගත්තා. රැකියා කිහිපයකට ඉල්ලුම් කළා. නමුත් වැඩක් වුණේ නැහැ. මීට පස්සේ මම රජයේ රැකියාවලට ඉල්ලුම් කරන්නේ නැහැ. මගේ කියලා ව්‍යාපාරයක් පටන්ගන්න බව දෙමව්පියන්ට කිවා. මගේ ඇගේ තබුණේ සංගිතය. සංගිත උණක් තමයි මට තිබුණේ. මව්පියන් කැමැති වුණේ නැහැ සංගීතය කරනවාට. 80 වර්ෂයේ දී මම ඔමේගා සවුන්ඩ් කියලා ආයතනයක් පටන් ගත්තා. මගේ අතේ තිබුණේ රුපියල් 250යි. හදාගත්තු ඇම්පියර් එකක් තිබුණා. පොඩි බෆල් දෙකකුත් තිබුණා. ලවුඩ්ස් පීකර් දෙකකුත් අරගෙන මිනුවන්ගොඩ හන්දියේ මිතුරකුගේ නිවසේ තමයි ඔමේගා සවුන්ඩ් ආයතනය පටන් ගත්තේ. මුල් කාලයේ පටිගත කිරීමේ වැඩ කළේ නැහැ. මුල්කාලයේ දී සම්මන්ත්‍රණවලට ශබ්ද විකාශන යන්ත්‍ර සපයලා රුපියල් 250ක් විතර ගත්තා. පිරිත් පිංකම්වලට, අවමංගල උත්සවවලටත් ශබ්ද විකාශන යන්ත්‍ර ලබාදීලා පොඩි මුදලක් ලබාගත්තා. මංගල උත්සව සඳහාත් අපි බෆල් යොදාගෙන සංගීතය සපයලා දුන්නේ. ඔය විධියට වැඩ කරගෙන ඉන්න අතරතුරේ නාට්‍ය පටිගත කරන්න පටන්ගත්තා. ඒ කාලයේ වෙසක්, පොසොන්, වැනි උත්සවලවලට නාට්‍ය පෙන්වනවා. ඒ නාට්‍ය පටිගත කළේ අපි. නාට්‍යයක් පටිගත කිරීම සඳහා රුපියල් 2500ක මුදලක් ලබාගත්තා. ටිකෙන් ටික ව්‍යාපාරය දියුණු වුණා. ඒ මුදල් යොදවලා මෙම ව්‍යාපාරය සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගත්තා.
කැසට්පට උන්මාදය
මා ගාල්ලේ වොල්ටර් අයියා කරපු නාට්‍ය තමයි මම පළමු වතාවට පටිගත කළේ. සින්දු කියන්න අවේ රෝහණ සිරිවර්ධන හා ස්වර්ණලතා කවිශ්වර. පටිගත කිරීම සඳහා උපකරණ ගොඩක් මා ළඟ තිබුණේ නැහැ. නමුත් වැඩේ ඉතා හොඳට කළා. මල්ලී මේ උපකරණ ටිකෙන් කොහොමද ඔය තරම් හොඳට පටිගත කිරීම කළේ කියලා රෝහණ අයියා මගෙන් ඇසුවා. නමුත් එකෝ මීටරයක් මාළඟ තිබුණේ නැහැ. නාට්‍ය පටිගත කිරීමේ වැඩ මට ලැබුණා. මගේ මතකයේ හැටියට මුලින්ම 78 හෝ 79 දි තමයි ගායන ශිල්පී මිල්ටන් මල්ලවආරච්චි මහත්තයාගේ කැසට් පටියක් වෙළෙඳ පොළට ආවේ. පෙර එකදවසක කියලා තමයි ඒ කැසට්පටය නම් කරලා තිබුණේ. මගේ මතකයේ හැටියට එම කැසට්පටයේ මිල රුපියල් 45යි. මම රේකොඩ් බාර් එක පටන් ගන්න කාලයේ තාක්ෂණය දැන් වගේ දියුණුවෙලා තිබුණේ නැහැ. සඳෙන් එහා කියන ගීත ඇතුළත් කැසට්පටය තමයි ඊළගට ආවේ. දෙවැනියට ආවේ ප්‍රියා සූරියසේන මහත්මයාගේ ආදරණීය නේරංජනා කියන කැසට්පටය. ඊට පස්සේ මොහිදින් බේග් මහත්තයාගේ කැසට් පට දිගට ම එන්න පටන් ගත්තා. ඒ කාලයේ කැසට්පටවලට ලොකු ඉල්ලුමක් තිබුණා. කැසට්පට උන්මාදයක් තමයි තිබුණේ. මොහිදින් බේග් මහත්තයාගේ කැසට් පට උණු කැවුම් වගේ තමයි අලෙවි වුණේ. පෙම්මල් මාලා කියන කැසට්පටයට විශාල ඉල්ලුමක් තිබුණා. කැසට්පට කොළඹින් තමයි අරගෙන ඇවිත් අලෙවි කළේ. ගීත පටිගත කරලත් අලෙවි කළා.
ඒ කාලයේ රෙකොඩ් බාර් ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණා.”
සුනිල් වැලිහිඳ එක දිගට කියාගෙන යන්නේය. ඊට බාධා කරන්නට අපට සිත් දුන්නේ නැත.
සි.ඩී. තැටි ආක්‍රමණය
“ වික්ටර් රත්නායක, නන්දා මාලනි, ටී.එම්. ජයරත්න, සෝමසිරි ජයමහ යන ගායක
ගායිකාවන්ගේ ගීත ඇතුළත් කැසට් පට වෙළෙඳ පොළට එන්න පටන් ගත්තා. ඒ ගීත ගොඩක් ජනප්‍රිය වුණා. ඒ කැසට්පට සඳහා විශාල ඉල්ලුමක් තිබුණා. නමුත් මොහිදින් බේග් මහත්තයාගේ කැසට්පට තමයි වැඩිපුර අලෙවි වුණේ. 90 දශකය විතර වනවිට නාමල් උඩුගම, ප්‍රින්ස් උදය ප්‍රියන්ත වැනි ගායකයන්ගේ කැසට්පට එන්න පටන්ගත්තා. එම කැසට්පටත් ගීත රසිකයන් අතර ගොඩන් ජනප්‍රිය වුණා. එවා පටිගත කරලා තමයි අලෙව් කළේ. ඒ කාලයේ කැසට් පටයක් රුපියල් 35ය.ි කැසට් පටයට ගීත පටිගත කරලා දෙන්න රුපියල් 25ක් ගත්තා. ගීත 16ක් විතර කැසට් පටියක පටිගත කරන්න පුළුවන් පැය දෙකහමාරක් විතර යනවා. ආර්ථික වශයෙන් ලොකු ලාභයක් තිබුණේ නැහැ. ඒ අතරතුරේ නන්ස් ටොප් කැසට්පට ආවා. ජිප්සීස්ලාගේ සලාදේ වගේ කැසට්පට. ඒ සඳහාත් ඉල්ලුමක් තිබුණා. සලාද රැල්ල තරුණ පිරිස අතර ගොඩක් ජනප්‍රිය වුණා. 2000 වසර වනවිට තමයි සී.ඩී. තැටි එන්න පටන්ගත්තේ. තාක්ෂණය අතින් සී.ඩී. තැටි හොඳවෙන්න පුළුවන්. කල්පැවැත්ම අතින් ගත්තුවිට කැසට් පට තියෙන ගීත තවමත් අහන්න පුළුවන්. ඊට පස්සේ පෙන් එන්න පටන්ගත්තා. මේ වනවිට කැසට්පටවලටත් සී.ඩී. තැටිවලටත් ඉල්ලුමක් නැහැ. ඒවා අභාවයට ගිහින් තියෙනවා. පැරණි ගීත ඇතුළත් කැසට්පට දහසක් විතර මා සතුව තියෙනවා. මම ඒ කැසට්පට සංරක්ෂණය කොට තබාගෙන ඉන්නවා. ”
සුනිල් වැලිහිඳ කියන ආකාරයට පැරණි ගීත් රස විඳින බොහෝ පිරිසක් තවමත් ඉතිරිවී හිඳී. ඔවුන් බොහෝ දෙනෙක් පෙන්
(pen drives )වලට පැරණි ගීත බා ගත කරගෙන ගොස් රස විඳින බව ඔහු පවසන්නේය.
රෑ ඉරපාන ඇගයීම
“ඒ කාලයේ ගායක ගායිකාවන්ගේ ගීත මිනිසුන් අතරට ගියේ මේ වගේ රේකෝඩ් බාර් නිසා. ගායක ගායිකාවන්ගේ ජනප්‍රියත්වය හා පැවැත්මත් ආවේ රේකොඩ් බාර් නිසා . රුහුණු සේවයට සම්බන්ධ සංගීත ශිල්පීන් හැන්දෑවට අපේ කඩයට ඇවිල්ලා ඉන්නවා. ඒ කාලයේ සින්දු අහන්න තැනක් තිබුණේ නැහැ. ඒ අයත් මගේ රේකොඩ් බාර් එකට ඇවිත් ගීත අහලා ඒ අයගේ හැකියාවන් දියුණු කරගත්තේ. මුලින්ම ආපු කැසට්පටයේ ඉඳලා පැරණි ගීත ඇතුළත් කැසට්පට විශාල සංඛ්‍යාවක් මා සතුව තියෙනවා. කැසට්පට කියන්නේ මට ජීවත් වෙන්න උදව් කරපු මිතුරෙක්. කිසිදු බැංකු ණයක් අරගෙන නැහැ. අද වනවිට කැසට් කර්මාන්තය නැත්තට ම නැතිවෙලා ගිහින් කැසට්පට නිෂ්පාදනයක් වෙන්නෙත් නැහැ. පරණ කැසට් පට අපි සංරක්ෂණය කරලා තියා ගන්නවා. එවායේ ඇති වටිනාකම නිසා. මතුපරපුරට කැසට් පටය කියන්නේ මේක කියලා දැක ගන්න තියෙන්න ඕන. පැරණි කැසට් පට මා ළඟ තියෙනවා. ම ළඟ තියෙන කැසැට්පට කවදාවත් වයසට යන්නේ නැහැ. මම වයසට ගියත් අපි වයසට ගිහින් මේ ලෝකයෙන් තුරන්වීමට සිදුවේවි. නමුත් කැසට් පටය නැතිවෙන්නේ නැහැ.
ප්‍රවිණ ගීත රචක බන්දුල නානායක්කාරවසම් මහත්තයා මගේ මිතුරෙක්. 79 වර්ෂයේ මම කළුවැල්ලේ රෙකොඩ් බර් එකක වැඩ කරනවිට තමයි ඔහු හඳුනාගත්තේ. නානායක්කාරවසම් මහත්තයා ගුවන් විදුලි නාලිකාවක රෑ ඉරපාන කියලා වැඩසටහන් කළා. ඒ කාලයේ එම වැඩසටහන ගොඩක් ජනප්‍රියයයි. එක් දිනක රාත්‍රී රෙකොඩ් බාර් එක වහලා බිරිඳ සමග අම්මලාගේ ගෙදර යෑමට මා සූදානමින් හිටියා. නානායක්කාරවසම් මහතාගේ මිතුරෙක් මා සොයාගෙන ඇවිත් කීවා නානායක්කාරවසම් මහත්තයා අනතුරකට ලක්වෙලා ගාල්ලේ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා කියලා. රෑ ඉරපාන වැඩසටහන කරන්න විධියක් නැහැ කියලත් ඔහු කිවා. පස්සේ මම පටිගත කිරීමේ උපකරණත් රැගෙන නානායක්කාරවසම් මහතා නතර වී සිටි පුද්ගලික රෝහලට ගියා. ඔහුගේ ඇස් දෙකයි, කටයි විතරයි පෙන්න තිබුණේ. නමුත් ඔහුට කථා කරන්න පුළුවන්. පුද්ගලික රෝහල තුළ රෑ ඉරපාන වැඩසටහන පටිගත කරලා ගුවන් විදුලි නාලිකාවට යැව්වා. පටිගත කිරීම හොඳමට හොඳයි කියලා ගුවන් විදුලි නාලිකාවෙන් කියලා තිබුණා.”
අගය කිරීම යනු අපේ රටේ තවමත් පුරුදු පුහුණු වෙමින් පවතින ක්‍රියාවලියකි. ඒ නිසාම සුනිල්ට අද වනතුරුත් කිසිවකුත් එවැනි අගය කිරීමක් ලබා දෙන්නට ඉදිරිපත්ව නැත.
“සුනිල් එදිරිසිංහ , නෙළු අධිකාරි යන දෙදෙනාත් බන්දුල අයියා බලන්න රෝහලට ඇවිත් හිටියා. ඒ වෙලාවේ මෙම වැඩසටහන ගුවන් විදුලි නාලිකාව මගින් විකාශනය වෙමින් තිබුණා. මෙන්න මෙයා තමයි මෙම වැඩසටහන පටිගත කළේ කියලා බන්දුල අයියා මාව පෙන්නලා සුනිල් එදිරිසිංහ මහතාට කිවා. කිසි අඩුපාඩුවක් නැහැ කියලා සුනිල් එදිරිසිංහ මහත්තයා සහ නෙළු අධිකාරි මහත්මිය මාව අගය කිරීමට ලක්කළා.”
“මෑතකදී රවින්ද්‍ර රන්දෙණිය මහත්තයා වෙනුවෙන් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ වැඩසටහනක් තිබුණා. බන්දුල අයියා මට කථා කරලා කිවා පැරණි සින්දුවක් මට අවශ්‍ය වෙලා තියෙනවා. ගීතයේ මුල් පිටපත තමයි ඕන කියලා කිවේ. කැසට් පටයෙන් පවන් සුසුම් කියන ගීතය පටිගත කරලා එවන්න කියලා මට කීවා. මම ඒ ගීතය යැව්වා. හරියට ම ඒ ගීතය ගැළපෙනවා කියලා බන්දුල අයියා කීවා” යැයි සුනිල් වැලිහිඳ කිවේ සතුට පිරි මුහුණෙනි.
ලලිත් චාමින්ද