ශ්‍රී ලංකාවේ මධ්‍ය ප්‍රදේශය වන මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරය කරමින් සිටින අපගේ මෙවර ගමනාන්තය වූයේ “බ්‍රැන්ඩිගල”ය.
මෙරට පර්වත තරණයේ යෙදෙන දෙස් විදෙස් සංචාරකයින් නොවැරදීම තරණය කරනා සෞන්දර්යයෙන් පිරි කඳු වැටි ගණනාවක් මාතලේ පිහිටයි. නකල්ස් කලාපයේ පිහිටි මානිගල, ලකේගල, යහන්ගල, තුනිස්ගල මෙන්ම ඉන් මෙපිට පිහිටි අරංගල, හුලංගල ද අපට මෙහිදී සිහිපත් වෙයි. එයින් ස්ථාන රැසක අත්දැකීම් අප මෙම පිටුව තුළින් පාඨක ඔබ වෙත මින් පෙර කියා ඇත.
එමෙන්ම ‘බ්‍රැන්ඩිගල’ ද මාතලේ පුරවරයට සිරිකත කැන්දන, සංචාරක ආකර්ෂණය දිනාගත් අපූරු කඳුවැටියකි. කඳු නගින්නන්ගේ සහ කඳවුරු බඳින්නන්ගේ තෝතැන්නක් බවට මේ වන විට පත්ව ඇති බ්‍රැන්ඩිගල පසුගිය කාලයේ අසීමිත ලෙස සංචාරක ආකර්ෂණයක් දිනාගත් කඳුවැටියක් ලෙස හඳුන්වන්නට පුළුවන. මේ නිසාම සංචාරක පහසුකම් දියුණු කර බ්‍රැන්ඩිගල නැගීම සඳහා දිරිදීමට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මේ වන විට වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඉකුත් සංචාරක දිනයේදී මෙන්ම, ඉකුත් ලෝක කඳුකර දිනයේදී ද අවධානයට ලක්වූ බ්‍රැන්ඩිගල තරණය සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම්වරිය සමග දිස්ත්‍රික් ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය සහ තවත් ආයතන, කඳු නගින්නන් සහ පරිසරවේදීන් ද මීට එකතු වූයේ සහ සහයෝගය දක්වන ලද්දේ හුදෙක් බ්‍රැන්ඩිගල තරණය ප්‍රචාරය කිරීම සඳහා පමණක් නොව, මේ අගනා කඳුකර පරිසර පද්ධතියේ ජෛව විවිධත්වය විඳීම, එය ආරක්ෂා කිරීම ද ප්‍රමුඛ කාර්යයක් කරගනිමිනි.
බ්‍රැන්ඩිගල තරණයට අප වෙත ආරාධනය ලැබුණේ මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය වෙතිණි.
සංචාරක කලාපයක් ලෙස බ්‍රැන්ඩිගල ගමනාන්තය සංවර්ධනය කිරිමට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මේ වන විටත් පියවර ගණනාවක් ගෙන ඇති අයුරු ඇය අපට පහදා දුන්නාය.
දිස්ත්‍රික් කාර්යාලයේ රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක චමින්ද වික්‍රමසිංහ සහ පරිසරවේදී ගාමිණී ජයතිස්ස දෙපළගේ මග පෙන්වීම යටතේ අප බ්‍රැන්ඩිගල කඳු තරණ අත්දැකීම ලබන්නට ඉකුත්දා උදෑසනම මාතලේ නගරයෙන් නික්මුණි.
මාතලේ දඹුල්ල A- 9 මාර්ගයේ පැමිණ අළුවිහාරය පංසල පසු කරන විගසම බීරිදෙවොල මංසන්ධිය හමුවෙයි. A – 9 මගින් එතැනින් සමුගන්නා අප ඇටිපොල දූල්ලෑව මාර්ගයේ ගමන් කළ යුතු වෙයි. එය දළ නැග්ම සහ කෙටි වංගු සහිත මාර්ගයකි. කාපට් ඇතිරූ මාර්ගයේ ගමන දුෂ්කර නැත. එහි කිලෝමීටර් 04 ක් පැමිණි පසු අස්ගිරිවත්ත නමින් හැඳින්වෙන අතුරු මාර්ගයට අවතීර්ණ විය යුතුවේ. එය ඉතා පැරණි තේ වතු මාර්ගයකි.
අපගේ ගමන් සගයන් පැවසූ පරිදි මේ මාර්ගයේ කිලෝමීටර් 04 ක් යා යුතුය. පෞද්ගලික බසයක් ද ත්‍රීරෝද රථ වැඩිපුර ද මෙම මාර්ගයේ නිතර දැකගත හැකි විය.
ජයතිස්ස මහතා කී පරිදි මෙය ඉපැරණි කෝපි වත්තකි. සුදු ජාතිකයන් ඇරඹූ කෝපි වගාව විනාශ වූ පසු තේ වගාව ඇරඹී තිබේ. වර්තමානයේ පෞද්ගලික ව්‍යවසායකයෙකුට අයත්ය. එය වටා ඇටිපොල, අංකුඹුර, විල්ට්ෂෙයාර් වැනි මාතලේ කුඩා තේ වතු රැසක් පිහිටා ඇත.
අප ගමන් කරමින් සිටියේ ලංකාවේ ඇති දුෂ්කරම, පටු තේ වතු මාර්ගයේ ය. එය ඒ තරම්ම කැඩී බිඳී සේදී ගිය එකකි. ඒ කෙසේ වුවත් ඈතින් දිස්වූ බ්‍රැන්ඩිගල පර්වතයත් කෙමෙන් තේ වතු යාය මැද්දෙන් ඉහළට ගමන් කරද්දී ඇසට දිස්වන මාතලේ සුන්දරත්වයත් මාර්ග අපහසුව අපෙන් දුරස් කරලීය.
පැය භාගයකට ආසන්න අතුරු මාර්ග ගමන අවසන් වූයේ තේ වත්තේ දලු මඩුව ආසන්නයෙන්ය. එය සැබැවින් ම තේ වතු ජනාවාසයේ මංසන්ධිය ය. වතු කම්කරු නිවාස පෙළත්, පෙර පාසලත්, සෞඛ්‍ය මධ්‍යස්ථානයත් ඇත්තේ එහිය.
අප එහි ළඟා වූයේ උදෑසන නිසා කඩිසර කම්කරු පිරිස් සහ තේ දලු නෙළන්නියෝ සිය දවසේ මෙහෙවර අරඹමින් සිටියේ අප සිත් සතුටු කරමිනි. සතර අත දිස් වූයේ මාතලේ ප්‍රදේශය පුරා දක්නට ලැබෙන ගම්, නගර, කැලෑ, කවුළු සහිත ග්‍රාමීය පරිසර අලංකාරයයි. අප ඒ වන විටත් මුහුදු මට්ටමේ සිට මීටර් 900 පැමිණ තිබුණි.
මෙම ගම්මානය අයත් වන්නේ මාතලේ බටහිර වත්තටය. ගලඋඩහේන ග්‍රාමසේවා වසමය. එක් කොටසක් යටවත්තටත් අනෙක් පෙදෙස මාතලේටත් අයත්ය. තේ වතු යායක දක්නට ලැබෙන සියලු භූගෝලීය ලක්ෂණ මෙහි දිස්වෙයි. මාතලේ නගරයට හූවක දුරින් පිහිටි මෙම ස්ථානය පිළිබඳව මාතලේ ඇත්තෝ පවා නොදන්නා බවට නම් සැක නැත.
දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මගපෙන්වීමෙන් බ්‍රැන්ඩිගල කඳු තරණයට මග පෙන්වන්නන් 05 දෙනෙකු පුහුණු කර ඇත. බීරිදෙවොල මං සන්ධියේ සහ බ්‍රැන්ඩිගල ආරම්භයේද තොරතුරු පුවරු පිහිටුවීමට කටයුතු කර ඇත. සංචාරකයින්ට අවශ්‍ය කෑම බීම සපයාදීමට ද ගැමියෝ කටයුතු කරති.
වතු කම්කරු තරුණ පිරිස් ඉතා කඩිසරව ඒ සඳහා සූදානමින් සිටින බව අපට පසක් විය.
ඉන් අනතුරුව වූයේ පර්වත තරණයයි. වතු කම්කරු නිවාස පෙළ මැදින් ඉහළට නැග්ම පෙර පුරුදු අසීරු මාවත ඔස්සේ ම විය. පැයකින් පමණ පර්වත පාමුලට ළඟාවිය හැකිය. කෙතරම් සීතල තිබුණ ද පර්වත තරණයේදී පානීය ජලය ගෙනයෑමේ අවශ්‍යතාව අපට හොඳින් දැනුණි. පර්වතය පාමුල ප්‍රදේශය ලඳු කැලෑවකින් යුක්තය. නමුත් මෑත භාගයේ සංචාරකයින් බහුලව පැමිණීමත් සමග වනමංපෙතක් ලෙස ගමන්මග සැකසී තිබේ.
අප ගමන් සගයන් අපට ඉදිරියෙන් යමින් මග පෙන්වයි. ඒ මග ඔස්සේ අපි පර්වතයට පා තැබුවෙමු. එතැන් සිට වූයේ රළු ගල් පර්වතය නැගීමය. දුෂ්කර වුවත් ඉහළට යෑමේ අධිෂ්ඨානය විසින් අවදානම දුරු කරන්නේය. විනාඩි 40 ක පමණ ගල්වැටි, ගල් කැට යෝධ ගස් සහ පඳුරු අතරින් ගමන් කර අවසානයේ විනාඩි 30 පමණ පර්වතය දිගේ ඉහළට ඇදී ආ කළ සියලු ආ මග දුක්පීඩා නිමා කරමින් අප සැම පර්වත මුදුනේය.
බ්‍රැන්ඩිගල මීටර් 1130 ක් උසය. අතීත වතුපාලක සුදු ජාතිකයින් මේ මතට පැමිණ බ්‍රැන්ඩි පානයට හුරුව සිටි නිසා Brandi Rock වී පසුව බ්‍රැන්ඩිගල ලෙස නම් වූ බව වතු තරුණයෝ අපට කියූහ.
බ්‍රැන්ඩිගල මතදී අංශක 360ක අපූරු විචිත්‍රවත් දර්ශනයක් දැක ගත හැකිය. දකුණු දෙසින් ඇති සුන්දර නකල්ස් කඳු පන්තිය පිහිටයි. උතුරු දෙසින් දඹුල්ල සීගිරිය දක්වා දැකගත හැකිය. බටහිර පෙදෙසින් දිස්වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි.
සීතල සුළඟත් නිබඳ ඇදී එන මිහිදුම් වලාවත් අප සැමට “සුර විමනක්” හා සම වන සුවයක් ලබාදෙයි. සුදු සළු පිළි වලා නිබඳ අප වෙලා ගන්නේ ආදරණීය බවින් අප සිත් පුබුදුවාලමිනි. ලංකාවේ සොබා සුන්දරත්වය අත් විඳීමට නම් කඳු හෝ පර්වත තරණයේ යෙදිය යුතුමය. ඉහළට ඉහළට යද්දී ලක් දෙරණේ විචිත්‍රත්වය දිස් වන්නේ නෙතට කඳුළක් එක් කරමිනි.
මෙහි ගත කළ හෝරාවකට ආසන්න කාලය සොබාදහමේ ආරෝග්‍ය ශාලාවක ගත කළාක් බඳුය. ගත සිත නැවුම් විය. රුධිර ධාරා පවා පවිත්‍ර වූ සෙයකි. ගමන් සගයෝ සිහිපත් කළේ අප යළි ගමන් ඇරඹිය යුතු බවකි. ඒ පෙර ආ මග ඔස්සේමය.
ඈතින් දිස්වන ගම් නගර මාර්ග පෙන්වමින් ජයතිස්ස මහතා
තල්ගහගොඩ විහාරය, ඇටිපොල කන්ද, හුලංගල, නෝනා ඇල්ල, කවටයාමුණ, අස්ගිරි කන්ද, විල්ට්ෂෙයාර් ආදී ඓතිහාසික හා සුන්දර ස්ථාන රැසක් අපට පෙන්වා දුනි. ඒ බ්‍රැන්ඩිගල යන එන ගමන් යා හැකි තවත් ස්ථාන සිහිපත් කරමිණි.
මේ වන විට අපි මාතලේ දිස්ත්‍රික්කයට අයත් බොහෝ කඳු පන්ති සහ කඳු ගැට තරණය කර සිටින්නෙමු. ඒ අතර හුදකලා කඳු බොහොමයකි. නොහොත් ගල් පර්වත සහිත එම කඳු ශේෂ කඳු ලෙස ද හැඳින්වේ. එම කඳු අතරින් අපගේ සිත්ගත් බ්‍රැන්ඩිගල තරණය කිසිදා අමතක වන්නක් නොවේ. මන්ද, අනෙකුත් කඳුවලදී දකින අවට සුන්දරත්වයට සාපේක්ෂව බ්‍රැන්ඩිගල දී අපට දක්නට ලැබෙන්නේ නගර ආශ්‍රිත දර්ශනයන් ය. මාතලේ නගරයත්, අළුවිහාරේ පුදබිම, ඈතින් දිස්වන කරගහතැන්න විකාශනාගාර කඳු යාය, රිවර්ස්ටර්න් ප්‍රදේශය පමණක් නොව, තවත් පසෙකින් සෙංකඩගල ප්‍රදේශය හා ඇතුගල්පුර පෙදෙසත් හොඳින් මෙහි සිට දිස්වන නිසා අනෙකුත් කඳු තරණයන්ට වඩා බ්‍රැන්ඩිගල නැගීම තරමක වෙනස් අත්දැකීමක් ගෙන දේ.
අප යළිත් ළඟා වූයේ තේ වතු කම්කරු ගම්මණ්ඩියටය. මගපෙන්වීමට පුහුණු වන තරුණ පිරිස තේ වත්තේ නැවුම් තේ සමග ලබා දුන් උණුසුම් වඩේ සංග්‍රහයෙන් ද සැනසුණු අප පිරිස් යළිත් මාතලේ බලා එන්නට රථයට ගොඩවුණි.
බ්‍රැන්ඩිගල මහ කන්ද මග ඉහළ සිට අප දෙස ලබා සිටී. ඒ නැවත නැවත මා වෙත එන්න යැයි ආයාචනා කරන්නාක් මෙනි.
ස්තූතිය මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියට, රාජ්‍ය නොවන ආයතන සම්බන්ධීකාරක චමින්ද වික්‍රමසිංහ මහතාට, පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතාට.
නිමල් කණහැරආරච්චි
අතිරේක ඡායාරූප-
මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය මාධ්‍ය ඒකකය