මිල්ලනිය, මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල තුළ ගම්මාන රැසක් ජලයෙන් යටවෙයි
හොරණ 458 මතුගම මාර්ගය
හොරණ 420 කළුතර මාර්ගය

අඟුරුවාතොට යාල මංසන්ධිය ජලයෙන් යටවී ඇති අතර 458 මතුගම මාර්ගයේ නාර්තුපාන පාලම දෙස සිට යාල මංසන්ධිය දක්වා ස්ථාන හතරකින් එම මාර්ගය යටවී ඇත.

420 කළුතර මාර්ගයේ මේ වන විට ස්ථාන 4කින් ජලයෙන් යට වී ඇති අතර යාල, කෙසල්හේනාව, දොඹගොඩ, ගල්පාත යන ස්ථාන වලින් මාර්ගය යට වී ඇත. මිල්ලනිය බටගොඩ ප්‍රධාන මාර්ගය පිංවේල්ල ප්‍රදේශයෙන් අඩි 4ක් යට වී ඇත.

මේ වන විට යාල, මදුරාවල, අඟුරුවාතොට, උඩුවර, දෙල්ගොඩ, යටවර, තලහිටිය, බේගමුව, පනාගොඩ, පාතකඩ, ඇලමෝදර, කූරගොඩ යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අතර මෙම ප්‍රදේශයන් වෙත මේ වනතුරු සහන සේවා පැමිණ නැති බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මිල්ලනිය සහ මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසීමේදී අවතැන් වූ ජනතාව වෙනුවෙන් ග්‍රාමසේවක වසම් තුළම කෑම පිස ඔවුන් වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව පැවසීය.
ගල්පාත – චන්දන පෙරේරා

බියගම පවුල් 2951ක් අවතැන්

මහා ගංවතුර - ගම්මාන රැසක් ජලයෙන් යටවෙයි

දින කිහිපයක සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් බියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම් යටවී මේ වනවිට පවුල් 2951 ක සාමාජික සාමාජිකාවන් 13046 දෙනෙක් අවතැන් වී සිටිති.

මේ අනුව ඊයේ (03 වැනිදා) පෙරවරු වනවිට එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම සේවා වසම් 20 ක් ගංවතුර උවදුරට මුහුණ පා ඇත.

එම ග්‍රාම සේවා වසම් වන්නේ මල්වාන, වල්ගම – නැගෙනහිර, මාබිම – බටහිර, මාබිම – නැගෙනහිර, ගෝනවල – බටහිර, බියගම – උතුර, බියගම – දකුණ, බියගම – බටහිර, යබරලුව – උතුර, යබරලුව – දකුණ, පට්ටිවිල – උතුර, පට්ටිවිල – දකුණ , බොල්ලෑගල , තල්වත්ත , සියඹලාපේ – දකුණ , හෙයියන්තුඩුව – දකුණ, බියගම – නැගෙනහිර, දරණාගම හා හෙයියන්තුඩුව – නැගෙනහිර යන ග්‍රාම සේවා වසම් 20 වෙති.

මේ අතර ගංවතුරින් අවතැන් වී සිටින එම පවුල් වලට පිසූ ආහාර ලබාදීම සඳහා බියගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරින් වන ධනුෂ්ක ජයවර්ධන හා නිලන්කා ගුණරත්න යන මහත්ම මහත්මීහු දැන් කටයුතු කරගෙන යනු ලැබේ.

තවද මේ වනවිට බියගම හා අවට පෙදෙස් ගංවතුරින් යටවීම නිසා පානදුර, බියගම හරහා මහනුවර, දෙකටන – කොළඹ, කඩුවෙල – ගම්පහ, කඩුවෙල, මල්වාන හරහා සමණබැද්ද, පුගොඩ – කොළඹ හා කඩුවෙල – කිරිබත්ගොඩ යන බස්රථ සේවාවන් ද ඇනහිට ඇත.
දෙල්ගොඩ – ඩබ්ලිව්. ඩී. විතාන හා බියගම – සුදත් පුබුදු කීර්ති

පාලින්දනුවරට වර්ෂාවෙන් දැඩි බලපෑම් – කලවාන – බදුරලිය පාරේ අඩි 10කට වඩා වතුර

මහා ගංවතුර - ගම්මාන රැසක් ජලයෙන් යටවෙයි

පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. බදුරලිය නගරය ආසන්නයටම ගංවතුර ගැලීම හේතුවෙන් කලවාන මතුගම මාර්ගය ස්ථාන කිහිපයකින්ම අඩි දහයකට ආසන්න සංඛ්‍යාවකින් මේ වන විටත් යටව පවතී.

ඊට අමතරව 2017 වසරේ විශාල නාය යෑමක් සිදුවූ අත්වැල්තොට පන්සල අසල යළි නාය යෑමක් සිදුව ඇති අතර මේ වනවිට කලවාන මතුගම මාර්ගය අඩි 6 – 7 ක පමණ පස් කන්දක් පැමිණ සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.

මහා ගංවතුර - ගම්මාන රැසක් ජලයෙන් යටවෙයි

නාය යෑම හේතුවෙන් අත්වැල්තොට ගංගාරාම විහාරස්ථානයටද හානි සිදුව ඇති අතර මේ වන විටත් ගල් සහ මඩ සහිත විශාල වතුර කඳක් මාර්ගය හරහා ගලායයි. ගස් කඩා වැටීම, නාය යෑම සහ ගංවතුර හේතුවෙන් මේ වනවිට බදුරලිය, මොරපිටිය, අත්වැල්තොට, මගුර ආදී පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රදේශ රැසකටම දින දෙක තුනක සිටම විදුලි බලය අක්‍රිය වී පවතී.

නාය යෑමට ලක් වූ ප්‍රදේශයේ පදිංචි පවුල් මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කොට ඇති අතර ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා තිබේ. නාය යෑම නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටී.
සමීර කන්නන්ගර

අවතැන් පවුල් 121ක් සුරක්ෂා මධ්‍යස්ථානවල

මහා ගංවතුර - ගම්මාන රැසක් ජලයෙන් යටවෙයි

කැලණි ගඟ පිටාර ගැලීම නිසා ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ පවුල් 121ක සාමාජිකයන් 459 දෙනකු සුරක්ෂා මධ්‍යස්ථාන 14ක රඳවා ඇතැයි කඩුවෙල ප්‍රාදේශීය ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා පැවසීය.

මොරවකවත්ත ප්‍රජා ශාලාව, වෑක්කවත්ත ප්‍රජා ශාලාව, වෑක්කවත්ත පන්සල, වික්‍රමරත්න ක්‍රීඩාංගණ ශාලාව, පට්ටියවත්ත පන්සල, තුන්අඳහේන ප්‍රජා ශාලාව, මුනිදාස කුමාරතුංග විදුහල, සංඛපිට්ටි විහාරය, නවගමුව සුමනතිස්ස ප්‍රාථමික විදුහල, බෝමිරිය කනිෂ්ඨ විදුහල, පෙලන්ගහවත්ත ප්‍රජාශාලාව, කොතලාවල මහා විදුහල, රනාල මහින්දාරාම පිරිවෙන, යන සුරක්ෂා මධ්‍යස්ථානවල අවතැන් වූවන් රඳවා ඇත.

මහා ගංවතුර - ගම්මාන රැසක් ජලයෙන් යටවෙයි

සඳුදා දහවල් වනවිට කැලණි ගඟේ හංවැල්ල මාපකයේ ජල මට්ටම මීටර් 9.1ක මට්ටමේ රැඳී තිබූ අතර කඩුවෙල නගරයේ ඉන්ධන පිරවුම් හල ළඟ සිට අඹතලේ දක්වා මාර්ගය සහ නිවාස ජලයෙන් යටවී තිබේ. කැලණි ගඟ පිටාර ගැලීම නිසා කඩුවෙල, නවගමුව, වෙලේහංදිය, රනාල, දැඩිගමුව, බෝමිරිය, තුන්අඳහේන, වැලිවිට, ආදී ප්‍රදේශ ජලයෙන් යටවූ අතර මාර්ගවල ගමනාගමනය ද ඇනහිට තිබේ. ආපදා සහන සේවා නිලධාරී ගුණසේන කළුආරච්චි මහතා පැවසුවේ දැනට සුරක්ෂා මධ්‍යස්ථානවල සිටින පිරිසට පිසූ ආහාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවය. එමෙන්ම ජල ගැල්මෙන් පීඩාවට පත් නමුත් සුරක්ෂා මධ්‍යස්ථාන වෙත නොගොස් සිටින පිරිසක් ද සිටින අතර ඔවුන් හඳුනාගැනීමේ වැඩසටහනක් ද අරඹා ඇතැයි ඒ මහතා පැවසීය.

මේ වනවිට කඩුවෙල වැලිවිට අධිවේගී පිවිසුම ද ජලයෙන් යටව ඇත.

කඩුවෙල – සුගත් ප්‍රේමතිලක

මීගහතැන්න දිසා රෝහල් භූමියේ නායයෑමක්

මහා ගංවතුර - ගම්මාන රැසක් ජලයෙන් යටවෙයි

අධික වර්ෂාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම මීගහතැන්න දිසා රෝහලේ භූමියෙහි කොටසක් නාය ගොස් තිබේ. රෝහලේ එක් පසක පිහිටි තාප්පයක් සහ උස් බිමක් මෙලෙස නාය ගොස් ඇති අතර ඉන් අසල පිහිටි රෝහල්

ගොඩනැගිලි වලටද අනාරක්ෂිත බවක් ඇතිව තිබේ. මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය ද මේ අසල පිහිටා තිබීම නිසා මෙම නාය ගිය ස්ථානය ප්‍රදේශයේ ජනතාව නිතර ගැවසෙන ස්ථානයකි.

මීට අමතරව මතුගම පැලවත්ත, වලල්ලාවිට ඇතුළු ප්‍රදේශ ගණනාවක් මේ වන විට ජලයෙන් යටවී තිබේ. ඒ හේතුවෙන් අවතැන්ව පීඩා විඳින විශාල පිරිසක් වේ.
බෙන්තොට – දර්ශන කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment