ජනාධිපති අනුර කුමාර, ඔහුගේ ආණ්ඩුව මෙහෙයවමින් යන ගමන සමාජ ආර්ථික මෙන්ම දේශපාලන වසයෙන් ද අසීරු එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. දේශපාලන වසයෙන් පැණසර නොවන බහුතරයක් හා කාර්ය සාධනයෙහිලා සුවිශේෂ කුසලතාවන් විදහා නොදක්වන රාජ්‍ය නිලධාරීන් වැඩි දෙනකුගෙන් ද සමන්විත රාජ්‍ය යාන්ත්‍රණය ඒ ගමන තවත් අභියෝගයක් බවට පත් කිරීම ද ඉතා ස්වභාවිකය. බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස් වීමෙන් පසු 1972දී හා 1978දී අපේම යැයි කිව හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකක් සම්මත කර ගැනීමට අපේ පාලකයන් සමත් වුවද ඒ කිසිම ව්‍යවස්ථාවකින් රටට අත් වූ සමාජ ආර්ථික දේශපාලන ප්‍රතිලාභ සම්බන්ධයෙන් සතුටු විය නොහැක.

මේ අතර මෙම 22 වන දිනට ශ්‍රී ලංකාව සිය ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව සම්මත කර වසර 53ක් ද සම්පූර්ණ විය. දැන් බොහෝ දෙනකුට එබඳු ජනරජ දිනයක් පිළිබඳ මතකයක් ද නැත. කුමක් වුවත් 1972 එවක අගමැතිනියව සිටි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව විසින් අනුගමනය කරන ලද ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය යටත් විජිත පාලනය සමග තිබුණු බැමි සිඳ දැමීමේ ඓතිහාසික සමාරම්භයකි. නිදහස, සෛවරීත්වය පිළිබඳ මෙන්ම ජාතික සංස්කෘතික අනන්‍යතාවක් සහිත දේශපාලන නායකත්වයක් තිබුණු ඉන්දියාව වේලාසනින්ම ඔවුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ද සම්මත කර ගත්තේය. ගාන්ධි – නේරු පමණක් නොව ආචාර්ය අම්බෙඩ්කර් ද ඒ සඳහා පුරෝගාමී මෙහෙවරක නිරත වූහ. (අපේ ප්‍රථම ව්‍යවස්ථා සම්පාදනයට වාමාංශික නායකයන් වූ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඇතුළු මැතිනියගේ ශ්‍රීලනිපය දායක වූහ.)

මාතෘකාව - රණවිරු සමරුව තහනම් වචනය - රණවිරුවා!

කෙසේ හෝ 1977දී ජේ. ආර්. ජයවර්ධන බලයට පත්ව එම ව්‍යවස්ථාව අවලංගු කර 1978 ව්‍යවස්ථාව බලාත්මක කිරීම සිදුවූ අතර තවමත් ඒ ජයවර්ධන ව්‍යවස්ථාවේ දේශපාලන සෙල්ලම් නරඹමින් සිටීමට ද අපට සිදුව තිබේ. පුදුමයකට මෙන් තවමත් අපේ ජාතික නිදහස් දිනය පෙබරවාරි 04 වනදාමය. මෙහිදී අපට පෙනෙන සුවිශේෂම කරුණ වන්නේ තවමත් මේ ජරපත් දේශපාලන ක්‍රමය කර තබාගෙන යෑම පමණක් නොව දූෂිත විධායක පන්නයේ මෙහෙයුම් ද සිදුවෙමින් තිබීමය. ඇත්තටම මෙරටේ ජනතාව ප්‍රභූතන්ත්‍රවාදී පාලනය අහෝසිකර ජාජබ තෝරාගත්තේ කුමක් නිසා ද යන්න පවා අද මේ ආණ්ඩුවේම සමහරුන්ට අමතකව තිබේ. දින කීපයකට පෙර පාර්ලිමේන්තුව තුළත් වෙනත් සංවාද මණ්ඩපවලත් ජාජබ මැති ඇමැතිවරුන්ට එල්ල වූ නිර්දය විවේචන ඔවුන් විසින් ම කැඳවා ගන්නා ලද අමන ක්‍රියාවල ප්‍රතිචාර බව ද හැඟේ.

මේ වනවිට සමාජ – දේශපාලන අංශවල අවධානයෙන් ගිලිහී ගියත් ඉකුත් මැයි 19 (2025 මැයි 19) වන දිනට නියමිතව තිබුණු රණවිරු සමරුව, ආණ්ඩුවේ මෝඩකම් නිසා ලබාගත් ඉල්ලන් කෑමක් වැන්න. රණවිරු සමරුම දේශපාලන කණ්ඩායමක – බල ව්‍යාපෘතියක නිමිත්තක් වීම අපි අනුමත නොකරමු. එහෙත් එය රාජ්‍යයේ අත්හල නොහැකි විශිෂ්ට පරිත්‍යාගශීලිත්වයක- ධෛර්යක, අභිමානයක සංකේතයක් බව අප කිව යුතුය. නූතන මානව ශිෂ්ටාචාර ගමනකට පදනම විය යුතු ඒ රණවිරු සමරුම ඒ අවකාශයෙන් ඉවත් කර සිල්ලර දේශපාලන ගනුදෙනුවක් බවට පත්වී තිබෙන බව ද ඇත්තය. එහෙත් මේ ආණ්ඩුව එය නොතකා එහි අගය හෑල්ලු කරන්නේ නම් එය වරදකි. දීර්ඝ විශ්ලේෂණයක් අනවශ්‍ය වුවත් ඒ සමරු උළෙල සම්බන්ධයෙන් ආණ්ඩුවට එල්ල වූ විවේචන කාගේ හෝ මෝඩ උපදෙසක් නිසා ලැබුණේ දැයි පසුව එයට ආණ්ඩු පාර්ශ්වයෙන්ම දැක්වුණු ප්‍රතිචාරවලින් පැහැදිලි විය.

ජනාධිපති අනුර කුමාර එම උත්සවයට නොඑන බව මුල සිටම ප්‍රචාරය වූ පුවතකි. එහෙත් ඇතැම් කෙනෙක් කීවේ ජනාධිපතිවරයා මුල සිටම එයට සහභාගි වීමට නියමිතව සිටි බවකි. මෙය කෙප්පයක් බව පමණක් ඒ ක්‍රියාදාමය පෙළ ගස්වා බලන සාමාන්‍ය කෙනකුට ද හැඟීයනු ඇත. කුමක් වුවත් ආණ්ඩුව ඒ සමරුමට සහභාගි වූයේ දේශප්‍රේමී හා ජාතිකත්වයේ විවේචන නිසා බව පැවසීමට පිරිසකට ඉඩ ලැබුණි. එහි යළිත් ජාතිවාදයේ වැට අද්දර වෙතට ස්වල්ප දෙනෙක් හෝ කැඳවා ගැනීමට හේතු වූ ජාතිවාදී අනතුරක ඡායාවක් අපි දිටිමු. ආණ්ඩුවට රණවිරුවන් පිළිබඳ සංවේදී බවක් තිබේ ද යන සැකය දල්වාලීමට එය හේතු වූයේ ආණ්ඩුවේම වරද නිසාය. අන්තිමේදී ජනාධිපතිවරයා උත්සවයට සහභාගි වී රණවිරු සෙවණක සිටි ආබාධිතයන් හමුවීමට පවා ක්‍රියා කර තිබුණි. එහෙත් ඒ සියලු ප්‍රතිචාර එයට උචිත ගැඹුරකින් සිදු නොකළ බව ඇතැම් සිවිල් ක්‍රියාකාරීන්ගේ ද අදහස විය.

ජනාධිපතිවරයාගේ කතාවේ වාක්‍ය අතර පවා ‘රණවිරු’ යන යෙදුම භාවිත නොවූ බව ඒ විවේචකයෝ කීහ. එයට හේතුව දෙමළ ඩයස් පෝරාව අමනාප වනු ඇතැයි යන බිය බව ද ඔවුන්ගේ චෝදනාව විය. ආණ්ඩුව ජාතිවාදී – ආගම්වාදී ස්ථාවරය බැහැර කර සිටීම අගය කළ යුත්තකි. එහෙත් භාෂා භාවිතය යනු අතිශය සංවේදි ක්‍රියාවක් බව ද ආණ්ඩුව වටහා ගත යුතුය. ඈත ගම්දොරක ‘කෝ මහ එකා ඉන්නව දැයි’ විමසීම කලකට පෙර අවියත් වහරක් නොවීය. එහෙත් දැන් ‘කෝ තාත්තා’ හෝ අප්පච්චි යනුවෙන් විමසීම ඒ ගම්වල ද සිරිතය. සොල්දාදුවා යනු අවියත් හෝ අගරු යෙදුමක් නොවේ. මලලසේකර සිංහල, ඉංග්‍රීසි ශබ්ද කෝෂය ද Soldier යන්නට දෙන අරුත අතර සොල්දාදුවා – යුදභටයා, හේවායා මෙන්ම රණ සූරයා යන අරුත ද වේ. දේශපාලනයේදී මෙන්ම කලාවේදීත් බොහෝවිට මේ ශබ්දකෝෂ අර්ථය වෙනුවට අලංකාර භාෂා ප්‍රයෝග යොදාගන්නා බව ද අපි දනිමු. ධර්මසේන පතිරාජ සොල්දාදු උන්නැහේ යනුවෙන් චිත්‍රපටයක් ද කර ඇත. තමන් සහභාගි වූ උත්සවය රණවිරු සමරුමක් නම් එයට අමුතුවෙන් සොල්දාදු නාම පදය යොදාගත්තේ ඇයි? ජනාධිපතිවරයා එය සිතා මතාම කළ දෙයකැයි විවේචකයෝ උස් හඬින් කියති. ප්‍රභාකරන් යනු බිහිසුණු ත්‍රස්තවාදියකු විනා අවම මානුෂික වටිනාකම් හෝ ගරු නොකළ කෲර ුපුද්ගලයකු බව මේ රටේ බහුජන විඥානය තුළ නිදන්ගතව තිබෙන අදහසකි. සිංහල බෞද්ධ ජනයාගේ මුදුන්මල්කඩ බඳු ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට හා මහනුවර දළදා මාලිගාවට ද පහර දුන් කොටි ත්‍රස්තවාදීන් අරන්තලාවේදී සිදු කළ ම්ලේච්ඡ ඝාතනය දෙස බැලුවත් අපේ හමුදා විරුවන් ගැටී ඇත්තේ කෙබඳු මෘග සංවිධානයක් සමග දැයි පැහැදිලිය. අදත් මේ රටේ ශිෂ්ට ජනතාවට දෙමළ විරෝධයක් නැත. ඒ දෙමළ විරෝධය මෙන්ම සිංහල විරෝධය ද එදා දේශපාලන බලය සඳහා උතුරේ මෙන්ම දකුණේ ද යොදාගත්තකි. ජාතිකත්වය, වීරත්වය යනු මනුෂ්‍යත්වයේම උත්තම ප්‍රකාශන විනා දේශපාලන මෙවලම් නොවන බව මේ සියල්ලන්ටම අප කිව යුතුය.

තිස් වසරක ත්‍රස්තවාදයක් පරාජය කිරීමට දායක වූ අපේ හමුදා බල – මුළුවල වීරයෝ නොවෙත්ද? හසලක ගාමිණි සිය ජීවිතය පිදුවේ කුමක් උදෙසාද? මේ සියල්ල සිදු වූයේ මේ මව්බිම සුරැකීම වෙනුවෙනි. මතු මතුව බිහිවන සියලු ජනකොටස්වල නිදහස වෙනුවෙනි. ඒ සඳහා දේශපාලන නායකත්වය ඇතුළු භෞතික සම්පත් ලබාදුන්නේ එවක ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂය. හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු ආරක්ෂක හමුදාවල සහාය ද එයට ලැබුණි. එහෙත් ඒ වෙනුවෙන් සදාකාලික ආබාධිතයන් වූ ද සිය යෞවනත්වය හා ජීවිතය කැප කළ හමුදා විරුවන්, පොලිසිය ඇගයීම රාජ්‍ය උත්සවයක් බවට පත් වී තිබීයදී එය නොතකා හැරීමට ආණ්ඩුවකට නොහැකිය. එනිසා දැන් මොන ප්‍රකාශ කළත් ආණ්ඩුව ඒ හානිය, අපවාදය කැඳවා ගත්තක් බව ද කිව යුතුය.

යුද්ධය විනාශයක් බව බුදුන්වහන්සේ වදාළහ. තම නෑයින්ට යුද්ධය නිසා වූ විනාශය උන්වහන්සේ දුටහ. අශෝක ඉන්දියාවේ කීර්තිමත් රජෙකි. එහෙත් ඔහු බුදුදහම කෙරෙහි උනන්දු වූයේ පසුකාලීනවය. බලය ව්‍යාප්ත කළ ඔහු එහි විපාක නිසා දැඩි කම්පාවට පත් රාජ්‍ය නායකයෙකි. ධර්මය භාවිත කිරීම නිසා තම යුද බෙර හඬ දහම් හඬක් වූ බව අසෝක සඳහන් කර තිබේ. කාලිංග යුද්ධයෙන් පසු ඔහු වෙනස් වූයේ ධම්ම සංකල්පය තුළින් ලත් නව දැක්ම නිසාය. මානව ශිෂ්ටාචාරය තීව්‍ර කිරීම සඳහා බුදුදහම තුළින් ඔහු ලද සුපෝෂණය ඉන්දීය ඉතිහාසඥයෝ ද පිළිගනිති. යුද්ධය නිසා පීඩනයට පත් ජනතාව ගැන ඔහු හදවතින්ම කම්පා විය. ප්‍රචණ්ඩත්වය බලය පිළිබඳ වියරුවක් ලෙසද ඔහු දුටුවේය.

කෙසේ හෝ යුද්ධයෙන් වසර 16කට පසුවත් තවමත් මේ බෙදුම් රේඛා මැකී ගොස් නැත. විනාශකාරී අමිහිරි මතකවලින් සුවපත් වන සිත් සතන් සැබෑ මිනිසුන්ට නැත. ඒවා දෙස බලා ඒ අඳුරු වේදනා දුරලමින් මනුෂ්‍යත්වය යුක්තිය, සාධාරණත්වය ගොඩනැඟීම පාලකයාගේ යුතුකමය. වගකීමය. අසෝක රජු දුන් පරමාදර්ශය එයයි. ප්‍රභාකරන් කඳවුරට බියෙන් හෝ සත්‍යය දැක දැකත් එය නොදැක්කා සේ සිටීම ද මෙරටේ බොහෝ පාලකයන්ගේ දේශපලාන කුහකකමකි. ඇත්තටම ජනාධිපති අනුර අවධාරණය කළ අලුත් යුද්ධය අද මේ රට ඉල්ලා සිටින ප්‍රමුඛ අපේක්ෂාවක් බව ද කිව යුතුය. එනම් සමාජ දේශපාලන හා ආර්ථික වශයෙන් සමාරම්භයකට පදනම දැමීමය. මේ රට අපරාධවලින් නිදහස් කිසිදු තැනක බියකින් හා චකිතයකින් තොරව ජීවත්වීමේ අවකාශයක් නිර්මාණය කළ යුතු බව ද ඔහු පැවැසීය. ඇත්තටම තවමත් අප කල් ගෙවන්නේ යහපත් හෝ මානුෂීය වටිනාකම් අගයන රටක නොවේ.

මාතෘකාව - රණවිරු සමරුව තහනම් වචනය - රණවිරුවා!

දවසින් දවස ජනමාධ්‍ය ඔස්සේ අප දකින්නේ ඒ චෞර රාජ්‍යයේ විවිධ ජවනිකාවන් පමණි. හිටපු මැති ඇමැතිවරුන් ඔවුන්ගේ සමීපතමයන්, දරුවන් මෙන්ම හිටපු රාජ්‍ය නිලධාරීන්ගේ ද සහාය ඇතිව සිදු වූ ජාතික සම්පත් මංකොල්ලකෑම්, රජයේ ඉඩම් අල්ලාගෙන සංචාරක හා වෙනත් ඉදිකිරීම් සිදුවීම මෙන්ම පොහොර මගඩි, ආදී අන්ත දූෂිත ගනුදෙනු හෙළිවෙමින් තිබේ. ඒ මදිවාට ප්‍රබල පක්ෂවලට තිබෙන පාතාල සබඳතාවන් ගැන ද චෝදනා නැඟෙයි. තමන්ට කිසිදු පාතාල සබඳතාවක් නැතැයි ඍජුව පැවැසිය හැකි දේශපාලන චරිත අද කොපමණ තිබේද?

මේ වනවිට විකට ස්වරූපයකට වඩා දූෂිත ක්‍රියාන්විතයක් බවට පත්වූ පළාත් පාලන බල පොරය, නගරාධිපති හා සභාපති පුටු තරගය එකම දේශපාලන විගඩමක් වැන්න. ආණ්ඩු පාර්ශ්වය එය හඳුන්වන්නේ ගංවතුරකදී පණ බේරා ගැනීමට එකම කොටයට ගොඩවන නයි, පොළොං, මුගටි ආදී ජන්ම වෛරක්කාර සතුන් එකතුව සිටීමක් ලෙසය. විපක්ෂ ප්‍රශ්න කරන්නේ තම බලය සඳහා විලියකින් තොරව තමන් විවේචනය කළ අය බිලි බාගනිමින් සිටීම සදාචාර සමීපන්නද යනුවෙනි. සජබ නායකත්වය පට්ට ගැසූ එ.ජා.ප. මහ ලේකම්වරිය හා රෝසි යන දෙදෙනාගේ වත්මන් භූමිකාවද දේශපාලන වසයෙන් ප්‍රබල රංගනයක්ද? නැතහොත් සිය විවේචන වමාරා කන ලෙස පාක්ෂිකයන්ට කරන ඇඟවීමක්ද? යනු අපැහැදිලිය. දේශපාලකයෝ සනාතන මිතුරෝද සතුරෝද නොවෙති යන පැරෂුටය ඔවුන්ට භාවිත කිරීමට බාධාවක් ද නැත.

මේ බල පොරයට රනිල් වික්‍රමසිංහ හා රෝසි සේනානායකද මැදිහත්ව සිටින්නේ කොළඹ පුරපති පුටුව මුල්කර ගනිමින් බව ඉහතදීත් දැක්විණි. එහෙත් මෙතෙක් ඔවුන් වුව ද සිය නගරාධිපති හෝ පතිනිය ගැන කිසිවක් ප්‍රකාශ කර නොතිබීම ද විශේෂත්වයකි. එයින් බොහෝ දේ ඇඟවේ. ජා.ජ.බ.ය බ්‍රායි බල්කසාර්ට පුරපති පුටුව දෙන බව පැහැදිලිවම සඳහන් කරයි. ඇතැම් විට ඒ සඳහා ද වෙන වෙනම දියයට සටන් සිදු වෙනුද විය හැකිය. ඒ මොනවා වුවත් නීතියට අනුව එම ධුරයට පත්වන කවුරුන් වුව ද පිළි ගැනීමට කාටත් සිදුවනු ඇත. එහෙත් මේ විකෘතිය තුළ දේශපාලන අවස්ථාවාදය පරාජය කිරීම ද අනිවාර්යයෙන්ම සිදු විය යුත්තකි. කොළඹ පමණක් නොව තවත් ස්ථානවල ද මේ අවිනිශ්චිත තත්ත්වය තිබේ ඒවායේ ප්‍රතිඵල කෙබඳු දැයි දැන්ම කිව නොහැක. එහෙත් ආණ්ඩුව සිය රාජ්‍ය බලය කෙවිටක් කරගෙන ඒවාට බාධා කිරීම ද නොමැනවි. ආණ්ඩුව පවසන පරිදිම සුන්බුන් ගොඩවල් එක්කර එමගින් පිහිටුවන බලය ද දේශපාලන සරතුමකි. ප්‍රතිපත්තිමය දේශපාලනය වලපල්ලට ගිය රටක තිබෙන්නේ ජයවර්ධන ඉගැන්වූ ආකාරයටම ජනමතය කුමක් වුවත් තමන්ගේ බලය හා ආධිපත්‍ය ස්ථාවරව පවත්වාගෙන යෑමේ අභිලාෂය පමණි. 1978දී ඔහු හඳුන්වා දෙන ලද ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය ඔහුගේ මට්ටමට කපා ගැනීමක් පමණි. එහිදී ඔහු ගුරු කොට ගත්තේ මැකියාවෙලිගේ ද ප්‍රින්ස් නමැති කෘතියයි. පාලකයාට බලය උදෙසා ඕනෑම දෙයක් කිරීමේ නිදහස මෙන්ම සදාචාර මූලධර්ම හා චර්යාධර්ම නොතකා ක්‍රියා කිරීමට ද මැකියාවෙලි යෝජනා කර ඇත. ජයවර්ධනගේ විධායක පන්නය තුළ එයට වුවමනා නිදසුන් සුලභය. ආසියානු නායකයන්ගේ විරෝධය නොතකා ඔහුගේ දේශපාලන ප්‍රතිවාදිනිය වූ සිරිමාවන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ ජයවර්ධන 1982 දී ඊනියා ජනමත විචාරණය මගින් මෙරටේ සමස්ත ජනතාවගේම අයිතීන් පැහැර ගැනීමට තරම් බලකාමී චරිතයක් විය.

පළාත් පාලන ආයතන සඳහා ජනතාවට ලබාදී තිබෙන පරමාධිපත්‍ය තම දේශපාලන වාසියට ගලපා ගැනීම අද සිදුවන බව කාටත් පෙනේ. කොළඹ නගර සභාව තුළ ජා.ජ.බ.යට තිබෙන බලය වුව ද පිරිසිදු පැහැදිලි ජනවරමක නියෝජනයක් ලෙස ගත නොහැක. කොහොමටත් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය වුව ද ජනතා පරමාධිපත්‍යයට වුව ද වෙට්ටු දමන නීතිමය තත්ත්වයන් වූ අවස්ථාද තිබේ. අනුප්‍රාප්තික, ජනාධිපති ලෙස රනිල් පත්වූ ආකාරය බලන්න. කුමක් වුවත් දැන් රනිල්, සජිත්, රෝසි මෙන්ම තලතාද මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටිති. ඒ ජනවරම ලැබී ඇත්තේ විපක්ෂයට බව ඔවුහු වාද කරති. කොළඹ පමණක් නොව රටේම ජනතාවගේ ඇගවුම විපක්ෂය ලෙස එක්වීම බව ද ඔවුහු පවසති.

කෙසේ වුව ද මේ බල අරගල මැද්දේ ආණ්ඩුව මුහුණ දුන් තවත් ප්‍රශ්න දෙකක් විය. එකක් තවමත් ඇදෙන ලුණු හිඟයයි. මෙය ආණ්ඩුවේ කළමනාකරණ, දුබලතාව හා තම සමීපතමයකු නිසා උද්ගත වූවක් බව පාර්ලිමේන්තුවේදී වූ සංවාදයෙන් ද පෙනුණි. කුමක් වුවත් මෙය ස්වභාවිකව වූ මතු වූ ගැටලුවකි. එහෙත් ලුණුවලින් තම ගිණුම් තර කර ගැනීමට ගජ මිතුරන්ට ආණ්ඩුව ඉඩ දී තිබේද? එසේම ලුණු මිල ඉහළ දැමීම ගැන ද විවේචන ද ඇසුණි.

මේ අතර පාර්ලිමේන්තුවේදී අතිශය විවාදාත්මක කරුණක් වූයේ ජනාධිපතිවරයා විසින් සිය හිතවතකු විගණකාධිපති ධුරය සඳහා යෝජනා කිරීමත් ව්‍යවස්ථා සභාව විසින් එය වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප කිරීමත්ය. මෙයට අදාළ හේතු පැහැදිලි කිරීමට ආණ්ඩුවට හැකිය. එහෙත් ජනාධිපතිවරයා මේ නිර්දේශපාලනික තනතුරක් සඳහා මෙසේ මැදිහත් නොවිය යුතුව තිබුණි. මේ වර්ගයේ ප්‍රතිචාර එදා රනිල් ද විධායකය හොබවමින් සිදුකර ඇත. මෙයට එල්ල වූ විවේචන ආණ්ඩුවේ විනිවිදභාවය පිළිබඳව ප්‍රශ්න කරන්නකි. අපට වාර්තා වී ඇති අන්දමට ජනාධිපති අනුර කුමාර විසින් අවසන් වශයෙන් කරන ලද යෝජනාව අනුමත කළ ව්‍යවස්ථාදායක සභාව වැඩබලන විගණකාධිපති ජී. එම්. ඩී. ධර්මපාලට සය මසක සේවා දිගුවක් ලබාදී තිබේ. ඇත්ත වශයෙන්ම මෙරටේ දූෂිත නිලධාරි තන්ත්‍රයක් බිහි වූයේ ද බලයට පත්වූ ආණ්ඩුවල අවශ්‍යතා හා මැදිහත්වීම් නිසා බව ද රහසක් නොවේ. ජ්‍යෙෂ්ඨත්වය, කාර්ය සාධනය ආදී පිළිගත හැකි පදනම් පවා නොතකා තමන්ගේ ගජමිතුරන්ට සැලකූ ජනාධිපතිවරුන්ගේ ගණයට ජනාධිපති අනුර කුමාර වැටිය යුතු නැති බව පමණක් අපි ඍජුවම සඳහන් කරමු. අනුර කුමාර ජනාධිපති පුටුවට එන්නේත් නන්නාඳුනන බහුතරයක් රනිල් පැවැසූ පරිදි “එල්බෝඩ්කාරයන් පිරිසක්” පාර්ලිමේන්තුවට තෝරා යැව්වේත් ජයවර්ධනගේ සිට රනිල් දක්වා සිදු කළ මුග්ධ හා අමන දේශපාලනය නඩත්තු කිරීමට නොවේ


advertistmentadvertistment