රවී සිනමා අඩසියවසක ආත්මභාෂණය
මම ඉන්නේ මහා ආදරයක් සෙනෙහසක් මැද…
මූදු පුත්තු මගේ ප්‍රථම නාට්‍ය…
දෑස නිසා මගේ සිනමා ගමනට විශාල තල්ලුවක් ලබාදුන්නා

මා ආ මග දුරයි, යා හැකි දුර කෙටියි - රවීන්ද්‍ර රන්දෙණිය

ජීවිතයේ තනිමංසල
අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙළන
හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා… ආරාධනා…

මා ආ මග දුරයි, යා හැකි දුර කෙටියි - රවීන්ද්‍ර රන්දෙණිය
මා ආ මග දුරයි, යා හැකි දුර කෙටියි - රවීන්ද්‍ර රන්දෙණිය

චිත්‍රපටයක ගීයක් යළි යළි ශ්‍රවණය කරද්දී ඒ හා අදාළ රූපරාමු අප මනස හමුවේ චිත්‍රණයවීම සිදුවන්නේ නිරායාසයෙනි. එහෙත් මෙය සෑම චිත්‍රපට ගීයකටම පොදු කාරණාවක්ද නොවේ.

දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එමල කිමද සරදම් කර
සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනිවේවි එක්ටැම්ගේ…

මා ආ මග දුරයි, යා හැකි දුර කෙටියි - රවීන්ද්‍ර රන්දෙණිය
මා ආ මග දුරයි, යා හැකි දුර කෙටියි - රවීන්ද්‍ර රන්දෙණිය

‘ආරාධනා’ සහ ‘එක්ටැම්ගේ’ නැරඹූ අයෙක් නම් මේ ගී ගයන පණ්ඩිත් අමරදේවයන් සහ විශාරද ගුණදාස කපුගේ පමණක් නොව චිත්‍රපටයේ එකී රූප රාමුද සිහිපත් වන බව දනිමු. බැලූ බැල්මට මෙය සරල කාරණයක් සේ කෙනෙකුට සිතිය හැක. එහෙත් ඒ ඔස්සේ ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගැනීමත් එය අඛණ්ඩව මේ දක්වා රඳවා තබා ගැනීමට නළුවෙකු හෝ නිළියක හමුවේ ඇති අභියෝගයකි. අප මේ පවසන්නේ ඔහු හෝ ඇය දක්වන විශිෂ්ට රංගනයට අමතර කරුණකි.

අද අපේ මේ කථානායකයා ද එවන් ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකරගෙන සිටින විශිෂ්ට රංගධරයෙකි. ව්‍යාපාරික පසුබිමක හැදී වැඩුණු ඔහු කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලේ ඉගෙනුම ලැබුවේ විද්‍යා විෂය ඔස්සේ ඉදිරියට යෑමටය. එහෙත් ඒ සියල්ල පසෙක දමා රූපණ කලාව තෝරා ගත්තේය. හේ අද අප සිනමාවේ සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙණියයි.

මා ආ මග දුරයි, යා හැකි දුර කෙටියි - රවීන්ද්‍ර රන්දෙණිය
මා ආ මග දුරයි, යා හැකි දුර කෙටියි - රවීන්ද්‍ර රන්දෙණිය

අප මේ සටහන තබන්නේ දශක පහක් පුරා සිනමාව වෙනුවෙන් ඔහු කළ මෙහෙවර අගයමින් මාතර ෆ්‍රීලන් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් මෙම 05 වැනිදා බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ උපහාර උළෙලක් සූදානම් කර ඇති පසුබිමකය.

අද පැරෂුට් නළුවන් එමටය. රවින්ද්‍ර එසේ එකවර අහසින් කඩා පාත්වූ අයෙක් නොවේ. ඔහුගේ රංග කාර්යය ඇරඹෙන්නේ වේදිකාවෙනි.

“මට කලාකාරයෙක් වෙන්න ප්‍රධාන වශයෙන් බලපෑවේ හැට දශකයේ නාට්‍ය කලාවේ තිබූ ප්‍රබෝධය. මේ පිබිදීමේ මූලාරම්භය වුණේ පනස් හයේදී මහාචාර්ය සරච්චන්ද්‍රරයන්ගේ ‘මනමේ’, නැතුව මම කලාකාරයෙක් වෙන්න හිතාගෙන හිටි කෙනෙක් නෙවෙයි. මේ කාලයේ වේදිකාව තරුණයින්ගේ ආකර්ෂණයට ලක්වුණා. මමත් නාට්‍ය බලන්න ඇබ්බැහිවූ පුද්ගලයෙක් වුණා. ඒක නිසාම තමයි මම හැට නවය හැත්තෑව අවසාන කාලයේදී නාට්‍ය කලාව ඉගෙන ගන්න ලයනල් වෙන්ට්ඩ් නාට්‍ය ශිල්ප ශාලිකාවට ඇතුළත් වුණේ. බලාපොරොත්තු නොවූ විදිහට රංගනය පැත්තට මාව ඇදිලා ගියා. රවීන්ද්‍ර කියන ආකාරයට ඔහු ශිල්ප ශාලිකාවට එක් වන්නේද නළුවෙකු වීමේ අරමුණින් නොවේ.

මා ආ මග දුරයි, යා හැකි දුර කෙටියි - රවීන්ද්‍ර රන්දෙණිය
මා ආ මග දුරයි, යා හැකි දුර කෙටියි - රවීන්ද්‍ර රන්දෙණිය

නාට්‍ය කලාවේ සියලුම අංගයන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට තමයි මම උනන්දු වුණේ.

එහිදී මගේ ආචාර්යවරයා වුණේ ධම්ම ජාගොඩ ශූරීන්. ඔහුගේ ‘මූදු පුත්තු’ මගේ ප්‍රථම නාට්‍ය වුණා. ඉන්පසු ‘වෙස් මුහුණු’ කළා. ශිල්ප ශාලිකාවන් බැහැරව කළ ධර්මසිරි වික්‍රමරත්නගේ ‘හබුං කටයි බත් දෙකටයි’, ආර්. ආර්. සමරකෝන්ගේ ‘ඉඩම’, ටෝනි රණසිංහගේ ’ජුලියස් සීසර්’ කියන නාට්‍යවල රඟපෑවා. සිනමාවේ මගේ දායකත්වය කාර්යභාරය අද දවසේ මොන විදිහට තක්සේරු කළත් එහි ආරම්භය වන්නේ වේදිකාවෙන් ලද ශක්තියයි. රවීන්ද්‍ර සිය රංගන දිවියේ තිඹිරිගෙයට කෘතවේදීත්වය දක්වන්නේ ඒ ආකාරයටය.

රවීන්ද්‍රගේ අවසන් නාට්‍යය ‘ජුලියස් සීසර්’ බවට පත්වන්නේ ඔහුගේ කාලය සිනමාව වෙනුවෙන් කැප කරන්නට වූ බැවිනි.

“මූදුපුත්තු” නාට්‍යයේ මගේ රංගනය දකින මනික් සන්ද්‍රසාගර සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මට සුබ පතනවා. ඉන්පසුව මනික් ඔහුගේ පළමු චිත්‍රපටය වන ‘කළුදිය දහරට’ මාව තෝරා ගන්නවා. බොනිපස් පෙරේරා ලෙස තිබූ මගේ නම මනික් විසින් රවීන්ද්‍ර රන්දෙණිය කියලා වෙනස් කරන්නේ මේ අවස්ථාවේදී. ඉන් පස්සේ ලෙස්ටර් මහත්තයා ඔහුගේ ’දෑස නිසා’ චිත්‍රපටයට මාව තෝරා ගන්නවා. ‘දෑස නිසා’ මගේ මේ සිනමා ගමනට විශාල තල්ලුවක් ලබා දුන්නා.”

සිනමා ගමනට පමණක් නොව ‘දෑස නිසා’ රවීන්ද්‍රගේ ජීවන ගමනටද තල්ලුවක් ලබා දුන්නේය. ඒ චිත්‍රපටයේ රඟපෑ ප්‍රීති ප්‍රමිලා සෙනෙවිරත්න සමඟ හැත්තෑ හතරේ ඔක්තෝබර් 31 වැනිදා විවාහ වීම නිසාය.

මා ආ මග දුරයි, යා හැකි දුර කෙටියි - රවීන්ද්‍ර රන්දෙණිය

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිමගිර සීත නොදැනේ
දැනේ උණුහුම ආදරේ

ඕනෑම නළුවෙක් කැමැති වන්නේ ආදරණීය පෙම්වතෙක්, නැතිනම් වීරයෙක් ලෙස පමණක් කැමරාව ඉදිරියේ රඟමින් ප්‍රේක්ෂක ආදරය අඛණ්ඩව රඳවා තබා ගැනීමටය. ඒ ඔස්සේ තම පෞද්ගලික ප්‍රතිරූපය ඉහළට නංවා ගැනීමටය. එහෙත් රවීන්ද්‍ර රන්දෙණිය මේ රාමුවෙන් පිට පැන්නේය.

සිනහව අතරින් කඳූළක් උපන්නා
ඒ බැව් නොදැනම
සිනහවක්ම පෑවා

විටෙක ගංගා, තරංගා, එක්ටැම්ගේ, වසන්තේ දවසක්, ආරාධනා, දුහුලු මලක් වැනි චිත්‍රපටවල ආදරණීය පෙම්වතා තවත් විටෙක සිරිමැදුර, සෙයිලම, දඩයම, සිරිපාල හා රන්මැණිකා, සත්වෙනි දවස, අනන්ත රාත්‍රිය වැනි චිත්‍රපටවල දකින්න ලැබෙන්නේ හාත්පසින්ම වෙනස් සංකීර්ණ චරිතයක් ලෙසිනි.

‘දඩයමේ’ ජයනාත් ලෙස ඔහු කළ රංගනය ඊට නිදසුනකි. ජයනාත් මෙතෙක් අපේ සිනමාවේ බිහිවූ කෲරම දුෂ්ටයා බව අවිවාදයෙන් පිළිගත යුතුය. එවන් දුෂ්ටයෙක් සිනමා තිරයේ මෙතෙක් හමුවීද නැත.

“ලැබෙන චරිතය සුදු ද කළු ද කියන එක වැදගත් නැහැ. වැදගත් වෙන්නේ ඒ චරිතය සාර්ථකව ඉදිරිපත් කිරීමයි. හොඳ රඟපෑමකට චරිතයේ ස්වරූපය වැදගත් නොවන බව ‘දඩයමේ’ ජයනාත් තුළින් පෙන්වන්න මට හැකි වුණා. ඉදිරිපත් කරන චරිතය තුළින් ප්‍රේක්ෂක බුද්ධිය පුළුල් කර ගැනීමට යම් දායකත්වයක් ලබාදීම තමයි මා වැදගත් කොට සැලකුවේ.”

‘සත්වෙනි දවස’ චිත්‍රපටයේද අප දකින්නේ රවීන්ද්‍ර රන්දෙණිය නොවේ. රංගනය මෙන්ම බාහිර පෙනුමින්ද ඔහු එකී චරිතයට ආරූඪ වී සිටියේය.

“ සත්වෙනි දවස චිත්‍රපටයේ මට ලැබුණේ පෙම්වතාගේ චරිතය. මම පිටපත බැලුවා. පෙම්වතාගේ චරිතය එපා. ඒ වෙනුවට ‘අබ්බඩා’ කියන අහිකුණ්ඨික රැහේ නායකයාගේ

චරිතය කැමැති නම් දෙන්න කියලා මං ඉල්ලුවා. මේක දුෂ්ට චරිතයක්. ඒක කරන්න ඕනෑ තරම් නළුවෝ ඉන්නවා. පෙම්වතා ලෙස රඟපාන්න කවුරුත් නැහැ කියලා අධ්‍යක්ෂ හේමසිරි සෙල්ලප්පෙරුම කිව්වා. පස්සෙ මම සනත් ගුණතිලකව පෙම්වතා චරිතයට යෝජනා කළා. එහෙම කරලා තමයි මේ චරිතය මම ගත්තේ. මුලින්ම රංගන ශිල්පියෙක් විදිහට මම සම්පූර්ණයෙන්ම චරිතයකට යටත් වුණේ මේ ‘අබ්බඩා’ කියන චරිතයටයි. ශාරීරිකව දැඩි වෙහෙසක් දරලා, ඒ වගේම කැපවීමෙන් කළ රංගනයක්. මගේ සිරුර වෙනස් පැහැයකට ලක්කළා.”

‘සිරිමැදුර’ රවීන්ද්‍රගේ ප්‍රශස්ත රංගනයට තවත් උදාහරණයකි.

‘ඕනෑම රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට සිය චරිතය ඉදිරිපත් කිරීමට අභිනයන් හතරක් තියෙනවා. ඒ තමයි ආංගික, වාචික, සාත්වික සහ ආහාර්ය කියන අභිනයන් . “ සිරිමැදුර” පිටපත කියවූ විගස මට අවබෝධ වුණා. වාචික සහ ආංගික අභින මගේ චරිතයේ නැහැ කියලා. හරියට දුනු ඊතල නැතුව සටනට යනවා වගේ වැඩක් තමයි ‘සිරිමැදුරේ’ මට කරන්න තිබුණේ. ඇලුමිනියම්වලින් හදපු පටියක් වැනි උපකරණයකින් මගේ ශරීරයේ බඳ කොටසේ ඉඳලා බෙල්ල දක්වා හිර කළා. රූගත කරන්න කලින් මට එය පැළඳගෙන පුහුණු වෙන්න සිද්ධ වුණා. මුහුණේ ඉරියව්වලින් තමයි අදහස් ප්‍රකාශ කළේ. දෙබස් නැහැ. ‘ජනේලය’ චිත්‍රපටයේ මට ලැබුණු චරිතයත් ඉතා වැදගත්. තිර පිටපතේ මට තිබුණේ දෙබස් ඛණ්ඩ දෙකයි. රංගනය කළ යුතුව තිබුණේ මනෝභාවයන් ඔස්සේ. මට තිබුණු දෙබස් ඛණ්ඩ දෙකත් සංස්කරණයේදී අධ්‍යක්ෂවරයා ඉවත් කර තිබුණා. චිත්‍රපටය පුරා කතා නොකර සිටීම නිසා මා කළේ ගොළු චරිතයක් කියා ප්‍රේක්ෂකයා වැරදි විදිහට තේරුම් ගනීවි යැයි අධ්‍යක්ෂවරයා තුළ පසුව සැකයක් තිබුණත් සංස්කරණයේදී ඔහු නිගමනය කළා මගේ රංගනය ප්‍රේක්ෂකයාගේ විශ්වාසය දිනා ගන්නා බවට. ඒ කතා කළ හැකි නමුත් කතා නොකරන පුද්ගලයෙකුගේ මනෝභාවයන් නිරූපණය කරමින් මා චරිතය ඉදිරිපත් කර තිබූ නිසා….”

අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදකලා සුළඟ පමණි උරුමේ
හඬා වැටෙන හද සදා සරණ මට
තනි වේවි එක්ටැම් ගේ…

“එක්ටැම්ගේ” චිත්‍රපටයේ තිර පිටපත කියවද්දී මට තේරුම් ගියා මේ ලෝකයේ පරිශුද්ධ ප්‍රේමය හෝ අව්‍යාජ ප්‍රේමය කියා දෙයක් නැති බව. ප්‍රේමය සදාකාලික දෙයක් විදිහට පෘතග්ජන මිනිසුන් ලෙස අපිට හිතෙන්න පුළුවන් කියන දර්ශනය මත ඉඳගෙන තමයි එක්ටැම්ගේ පරාජිත පෙම්වතාගේ චරිතය මා ගොඩනැගුවේ..”

සිනාවකින් පුතුගෙ මුවේ ඉහේ මලක් පිපී තියේ
බාලොලි රන් බාල ලියේ පායන රන් සඳ එළියේ
බාලොලි රන් පුතු මසිත නිවන පුතු
බාලොලි රන් පුතුනේ…

මා ආ මග දුරයි, යා හැකි දුර කෙටියි - රවීන්ද්‍ර රන්දෙණිය

‘ආරාධනා’ චිත්‍රපටයේ කතාව අනුව මගෙයි මාලනීගෙයි කුඩා දරුවා ජීවිතයෙන් සමුගන්නවා. මේ දර්ශනය රූගත කළේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ. රූගත කරන්න ඔන්න මෙන්න තියෙද්දී තේරුණා මේ අවස්ථාව මට දරාගන්න බැරි බව. එවැනි මානසිකත්වයකට පැමිණියාම මගේ පුද්ගලිකත්වය කඩා වැටෙන ඒක වළක්වා ගන්න මම උත්සාහ කරනවා. පළමුවෙන්ම මාලිනීගෙන් එය වසන් කරන්න හදනවා. ඒත් මට තේරෙනවා මාලිනීත් ඒ තත්ත්වයට පත්වෙලා ඉන්න බව. අපි දෙන්නම අපේ චරිතවල මනෝභාවයන් ඉදිරිපත් කරන නිසා තමයි දෙන්නටම ඒ තත්ත්වයට එන්න පුළුවන් වුණේ. මේ ආකාරයට රංගනයේදී ශිල්පීන් ඒකිනෙකාට බද්ධවීම හරිම වැදගත්…”

සැබෑවකි. නිදසුන් ලෙස චිත්‍රපට කීපයක් සලකා බලමු. මාලිනී ෆොන්සේකා ( එක්ටැම්ගේ, ආරාධනා), ස්වර්ණා මල්ලවාරච්චි (දඩයම), අනෝජා වීරසිංහ (සිරිමැදුර, මල්දෙනියේ සිමියොන්), නීටා ප්‍රනාන්දු (දුහුලු මලක්) කතාබහට ලක් කෙරෙන විශිෂ්ට රංගනයන් ඉදිරිපත් කිරීමට රවීන්ද්‍රට සහාය වූ සම්මානනීය ප්‍රවීණ ශිල්පිනියන් කිහිපදෙනෙකි.

ඔහු ක්ෂේත්‍රයේ හැම දෙනාගේම රවී අයියාය. එහෙමත් නැත්නම් රවීය. රවීන්ද්‍ර රන්දෙණිය කියන්නේ ඉතා සංවේදී හදවතක් ඇති මිනිසුන්ට ආදරේ කරන කලාකරුවෙකු බව ක්ෂේත්‍රයේ සහෘදයන් හොඳින් දනී. සහෝදර ශිල්පියෙකු හෝ ශිල්පිනියක යම් කරදරයකට පත්ව අසරණව සිටින මොහොතක කාටත් හොර රහසේ ගොස් මුදලින් පවා උපකාර කර එය රහසක් ලෙස රැක ගන්නා ආදරණීය මිනිසෙකි. ඔහු එය රහසක් ලෙස රැක ගත්තද එසේ උපකාර ලද, අද අප අතර නැති රෝයි ද සිල්වා සහ සුමනා අමරසිංහ යුවළ ඇතුළු කිහිප දෙනෙක් කෘතවේදීව අප සමග ඒ බව පවසා ඇත.

“මම ඉන්නේ මහා ආදරයක් සෙනෙහසක් මැද. අවුරුදු පනහක් ගතවන තුරු මගේ සේවය ඇගයීමකට ලක් කළේ නැහැ නේද කියන හැඟීමක් මට කවදාවත් ඇතිවුණේ නැහැ. මා අගයන්න මහාචාර්ය සුනිල් ආරියරත්න, ස්වර්ණා, මාලිනී අනෝජා ඇතුළු පිරිස ගන්නා වෙහෙස මහන්සිය ගැන මට හිතා ගන්නවත් බැහැ. ඒක සෙනෙහසේ ශ්‍රමය ලෙස මම දකිනවා. මේ උණුසුම් ආදරය නිසාම මට දැනුනා මේ ආ ගමනේ මා උපයාගත් දේ තියෙනවා නේද කියලා. මගේ ජීවිතයේ කඩඉම් අවස්ථාවකට පැමිණ සිටින මේ මොහොතේ මා ඇගයීම ගැන ආදරෙයි. මා ආ මග දුරයි යා හැකි දුර කෙටියි. අපිට නියමිත ගමනාන්තය කරා අපි යනවා” යැයි රවීන්ද්‍ර රන්දෙණිය විශිෂ්ට රංගධරයා තමන් වෙනුවෙන් කෘතගුණ දක්වන සියලු දෙනාට පවසා සිටියේය.

1974 වසරේ සිට 2024 දක්වා කාලය වසර පනහක්. මේ අඩසිය වස තුළ රවීන්ද්‍ර රන්දෙණිය සිනමාවට සියවසක මෙහෙවරක් සිදුකර ඇත. ඒ පිළිබඳ ගැඹුරු කියැවීමක් අවශ්‍යව ඇත. ඔහු වෙනුවෙන් පවත්වන උපහාර උළෙලේදී එවන් කියැවීමක් සිදුවනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

චිරං ජයතු රවි අයියා…!

අජිත් අලහකෝන්
නිව්යෝර්ක්

advertistmentadvertistment
advertistmentadvertistment