සිනමා අඩසියවසක ආත්මභාෂණය අද

වසර 77ක් සපුරා ඇති දේශීය සිනමාව තුළ රවින්ද්‍ර රන්දෙණිය නමැති රංගන ශිල්පියාගේ භූමිකාව පිළිබඳ ඉතාම පරිස්සමින් විමසා බැලුවොත්, එයින් අප සියලුදෙනාටම වයස් බේදයකින් තොරව බොහෝ දේවල් උගත හැකියි. සිංහල සිනමාවේ රවින්ද්‍ර ලකුණ කුමක්ද? නැත්නම් කොහේද? කියා අප විමසිලිමත් වූවොත්, මේ ලියන මටත් , මට වගේම මගේ පසු පරම්පරාවේ අයටත් , එය තමන්ගේ සිනමා ජීවිතයට, රංගන ජීවිතයට සුවිශේෂී පිටිවහලක් වන බව මගේ නිරහංකාර අදහසයි.

මා දකින රවීන්ද්‍ර ලකුණ; ආදරණීය රවී

මා එලෙස විග්‍රහ කරන්නේ රවින්ද්‍ර රන්දෙණිය, තරුණයකු ලෙස සිනමාවට පිවිසෙන කාලයේ අනිවාර්යයෙන්ම ඔහුව චිත්‍රපටයකට තෝරා ගතයුත්තේ, තෝරාගත්තේ, කතානායකයාගේ, එහෙම නැත්නම් ප්‍රධාන නළුවාගේ, එහෙමත් නැත්නම් අපි ඒ කාලයේ සුලබව පාවිච්චි කරපු හැඳින්වීම වන පෙම්වතාගේ චරිතයට.

මේ වකවානුව තුළ ගාමිණී, ජෝ, ටෝනි නමැති අපේ සිනමාවේ ත්‍රිමූර්තිය තමන්ගේ රංගන භූමිකා තුළ ඉතාමත් හොඳින්ම ස්ථාවරව සිටි යුගයක්. ඔවුන් කතානායකයාගේ චරිතය, පෙම්වතාගේ චරිතය මෙන්ම චරිතාංග නළුවන් ලෙසත් ඉතාම ඉහළ තලවල වැජඹුණු අය. උදාහරණ ඕන තරම් ගෙනත් කියන්න පුළුවන්. (ඔවුන් තාරුණ්‍යය ඉක්ම නොවූ තැනැත්තන් වුවත්, ටෝනිගේ ‘දෙලොවක් අතර’, ගාමිණීගේ ‘වැලිකතර, නිධානය’ , ජෝ ගේ ‘වැලිකතර, සාරවිට’ මෙලෙස දියහැකි සුලබ නිදර්ශනයන්ය.) ඒ වගේම තව පැත්තකින් විජය කුමාරතුංග සිනමාවට අවතීර්ණ වෙලා, ඔහුගේ ඒ කඩවසම් දේහයත් ඒ සමගම වෙනස් වූ රංගන ශෛලියත්, විශේෂයෙන්ම තාරුණ්‍යයේ සිත්සතන් තදබල ලෙස ම ඇදබැඳ ගන්නා යුගයක්.

(මට මතකයි රවින්ද්‍රම එක දවසක් ප්‍රකාශ කළා, විජය කුමාරතුංග තරම් කඩවසම් නළුවෙක් එදා හිටියෙත් නෑ, අද ඉන්නෙත් නෑ, හෙට ඉන්නෙත් නෑ, ඔහුට පෙර හිටියෙත් නෑ, ඔහුට පසු හිටියෙත් නෑ කියලා.) මීට අමතරව තිස්ස විජේසුරේන්ද්‍ර , රෝයි ද සිල්වා, ඔස්වල්ඩ් ජයසිංහ වැනි නළුවන් පෙම්වතාගේ චරිතය නිරූපණය කරමින් චිත්‍රපට රාශියක රඟපෑවා පමණක් නොවෙයි, එම චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා තබන තත්ත්වයට පවා පත්කළා. ඒ වගේම වෙනස් ආරයක රංගනයක් ඉදිරිපත් කරන, වෙනස් ආකාරයේ ස්වරූපයකින් යුත් කලංසූරිය වැනි නළුවන් එකල සිටියා. ඉතාම සුළු කාලයකින් තම ජීවිතයෙන් සමු ගත්තත්, රන්ජන් මෙන්ඩිස් වගේ අති දක්ෂ තරුණ ශිල්පීන් බිහිවෙන්නෙත් මේ යුගයේ. මීට අමතරව ඒ වකවානුව වනවිට චරිතාංග නළුවන් විදියට සිරිල් වික්‍රමගේ, ඩොමී ජයවර්ධන, පියදාස ගුණසේකර, සෝමසිරි දෙනිපිටිය, එච්.ඩී. කුලතුංග, තවත් පැත්තකින් බලනවා නම් මඳක් වියපත් වූ පෙම්වතාගේ චරිතය රඟපෑ හැකි ආනන්ද ජයරත්න, සේනාධීර රූපසිංහ, ලයනල් දැරණියගල වැනි තරු ගොන්නක් මැද්දෙ තමයි රවින්ද්‍රගේ ආගමනය සිදු වෙන්නේ. එසේම මේ වකවානුව තුළ වොලී නානායක්කාර, විජය නන්දසිරි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු වැනි නළුවෝ ද සක්‍රීයව සිටියහ. එකල නළුවන්ගේ හිඟයක් කුමන තැනකවත් තිබුණේ නෑ. මේ විදියට තමයි මේ රවින්ද්‍ර රන්දෙණිය කියන තරුණයා සිනමාවට පිවිසෙන්නේ. එක විදියකින් කියනවා නම් එකල සිනමාව, අපේ සිනමාව පැවතුණු ආකාරය, එසේත් නැත්නම් ඉතාම සක්‍රීයව පැවැති දේශීය සිනමාව, චිත්‍රපට නිෂ්පාදනය බහුලව සිදුවන අතරතුරම කතානායකයාගේ චරිතයට අවශ්‍ය කරන ඕන තරම්, ඕන ආකාරයේ, ඕන විදියේ නළුවන් නොසිටියා නොවේ. එවැනි තදබල තරගකාරීත්වයක් තිබුණු යුගයක, තමන්ගේ වාසනාව උරගා බලමින් සිනමාවට පිවිසුණු රවින්ද්‍ර රන්දෙණිය මෙය ජය ගත්තේ දෛවයේ හාස්කමකට විතරක්ම නොවෙයි, ඔහු තුළ තිබුණු සුවිශේෂී පසුබිම සහ කැපවීම නිසයි. එය තමයි රවින්ද්‍ර රන්දෙණිය කියන සලකුණ. පසුබිම පිළිබඳව කල්පනා කරලා බලනවා නම්, ලයනල් වෙන්ඩ්ට් රංග පාසලේ අවුරුදු 3ක පාඨමාලාවක් හැදෑරීම, ඒ පාඨමාලාවේ ගුරුවරුන් වන හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, අයිරාංගනී සේරසිංහ, ධම්ම ජාගොඩ වැනි සුවිශේෂී පිරිසක් දේශන පවත්වා තිබෙනවා. අයිරාංගනී සේරසිංහ මැතිනිය ඒ වනවිට එංගලන්තයේ සුවිශේෂ පාඨමාලාවක් හදාරල විශාල පරිණත බවක් ලබාගෙන ආපු තැනැත්තියක්. මහාචාර්ය සරච්චන්ද්‍ර පවා රංග ශිල්ප ශාලිකාවේ දේශන පවත්වල තියෙනවා. රංගනය පිළිබඳ විතරක් නොවෙයි, බොහෝ දේවල් පිළිබඳ, මේ රංග පාඨශාලාව තුළ කරන ලද අභ්‍යාසයන් රවින්ද්‍ර කියන තරුණයා ඉතාම හොඳින් තමන්ගේ ජීවිතයට තුරුලු කරගෙන තිබෙනවා. ඔහු රඟපෑමේ උන්මාදයකින් පසුවුණු තැනැත්තෙක් බවට අපට හඳුන්වන්න බැහැ. ඔහුට අවශ්‍ය වෙලා තිබිලා තියෙන්නේ රංගනයටත් වඩා කිසියම් ආකාරයක නිර්මාණයකට දායක වන්නට. ඔහු තුළ සුවිශේෂ රසවින්දනයක් තිබිලා තියෙනවා. ඒ රසවින්දනය විවිධ අන්දමට, මේ කිව්වා වූ ගුරුවරුන් හරහා විවිධ ආකාරයට ඔහුගේ මනසේ සහ හදවතේ තැන්පත් කරගන්න ඇති කියලා මම විශ්වාස කරනවා.

මින් ඉහත මා විසින් නම් සඳහන් කළ හැම නළුවකුගේ රංගනයන්ට පසුව නොබියව ආදේශකයක් වීමේ හැකියාව ඔහුට තිබුණා. ඒක මම පසුව සඳහන් කරන්නම්.

රවින්ද්‍ර පෙම්වතාගේ චරිතය රඟපානවා තරංගා චිත්‍රපටයේ. ඒ ප්‍රවිෂ්ටයෙන් පස්සෙ යම් කෙනකු ප්‍රේක්ෂකයකුගේ පැත්තේ සිට බලනවා නම්, ඒ ප්‍රේක්ෂකයා ගේ කිසියම් කැමැත්තක්, ආකර්ශනයක් ඇතිවන චරිත නොවෙයි ඔහු කළේ. උදාහරණයක් ගත්තොත් ‘දෑස නිසා’ චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම වැනි අතිදක්ෂ නළුවෙක් ප්‍රේක්ෂක අනුකම්පාව දිනා ගන්නා මොහොතකදී, රවින්ද්‍ර අන්ධ තරුණියව සුවපත් කරලා, ඒකට වන්දියක් වශයෙන් ඒ තරුණියව තමාට නතුකර ගන්නට උත්සාහ දරන තරුණ තාපසයා ගැන අපට අනුකම්පාවක් ඇති වෙන්නේ නෑ. අනිත් පැත්තට බලනකොට අපිට ‘දුහුළු මලක්’ වැනි චිත්‍රපටයක ඒ තාරුණ්‍යය , ඒ කඩවසම් බව හරියාකාරව රංගනයෙන් ඔප්පු කළත්, ඉතාම හොඳ පවුල් ජීවිතයක් ගතකරන ටෝනි -නීටා ගේ පවුල් ජීවිතයට කිසියම් ආකාරයකට සම්බන්ධ වෙලා, ඒ දරුපවුල කඩා බිඳෙන විදියට කටයුතු කරන තැනැත්තෙක් පිළිබඳව ප්‍රේක්ෂක රුචියක්, ඇතිවන්නේ නෑ. විශේෂයෙන්ම විවාහක පන්තියේ මහත්ම මහත්මීන්ගෙන් නම් කිසිම ප්‍රේක්ෂක රුචියක් ඇතිවන්නේ නෑ.

එම චිත්‍රපටවල ජෝ අබේවික්‍රම, ටෝනි රණසිංහ වැනි ඔහුට වඩා ජ්‍යෙෂ්ඨ, අතිදක්ෂ නළුවන්ගේ රංගනයන් ඉදිරියේ ඔවුන් ප්‍රේක්ෂකයාගේ ආදරය, අනුකම්පාව ලබාගන්නා මොහොතක තමයි රවී ඊට වඩා ප්‍රතිවිරුද්ධ චරිතයක් රඟපාන්නේ. සමහර වෙලාවට ඔහුව එතැනින්ම ප්‍රතික්ෂේප වෙලා යන්න තිබුණා. එහෙමත් නැතිනම් අපි සිනමාවේ හඳුන්වන සදාකාලික දුෂ්ටයා කියන චරිතයට ඔහුව කොටු වෙන්න ඉඩ තිබුණා.

ඔහු එහෙම කොටුවුණේ නැත්තේ ඇයි?

මම මේ කතා කරන්නේ රවින්ද්‍ර චිත්‍රපට 10-15ක් කරපු කාලෙක නොවෙයි. පළමුවෙනි දෙක තුනේ. මේ අභියෝගය ගැන කල්පනා කර බලන්න. මම හිතන්නෙ නෑ මේ අභියෝගයට මුහුණ දුන්න කිසිම නළුවකු සිටියැයි කියලා. ඒකයි මට මේක විග්‍රහ කරන්න අවශ්‍ය. මේක දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්.

රවින්ද්‍ර රන්දෙණිය උත්පත්තියෙන්ම ගේන ඒ පාරම්පරික වත්පොහොසත්කම් ඔහුගේ ජීවත්වීමට ඕන තරම් ඇති. ඔහුට නළුකමෙන් නැවත වතාවක් හම්බ කරන්න දෙයක් ඉතිරිවෙලා නොතිබෙන්න ඇති. නමුත් නළුවකු විදියට, විශේෂයෙන්ම තරුණ නළුවකු විදියට තමන්ගේ රංගන කුසලතාවය ඉදිරියට ගෙනයෑමට තමන් ඉගෙන ගත්ත දේ, අත්හදා බලන්න තිබෙන්නා වූ අවස්ථාවන් මේ වගේ විශාල අභියෝගාත්මක අවස්ථාවන් බවට පත්කරමින් කෙනෙක් රංගනයෙන් ඉදිරියට එනවා නම්, අන්න ඒක තමයි එතැන තිබෙන හාස්කම.

මුල් කාලයේම ඔහු රඟපාන‘ගංගා’ චිත්‍රපටයේ (4 හෝ 5) විජය, මාලිනි සමග රවින්ද්‍ර රඟපාන්නේ තමන්ගේ තාරුණ්‍යය උකසට තියලා මැදිවියේ චරිතයක්. ඒ මැදිවියේ චරිතය රඟපාන්න ආනන්ද ජයරත්න වගේ කෙනකුට, සේනාධීර රූපසිංහ වගේ කෙනකුට, සමහරවිට ගාමිණී ෆොන්සේකා වගේ කෙනකුට, සමහරවිට ටෝනි රණසිංහ වගේ කෙනකුට ඊට වඩා බොහොම පහසුවෙන් ඔවුන්ගේ වයසින් සහ දේහ ලක්ෂණවලින් ඒ චරිතයට එකතු වෙන්න තිබුණා. නමුත් මේ තරුණයා තමන්ගේ දේහ ලක්ෂණ වෙනස් කර ගනිමින්, ඒ චරිතය ජීවමාන කරන්න දරන උත්සාහය මගේ මතකයේ ඉතාම තදබල ලෙස රැඳිලා තියෙනවා. මොකද ඒ වකවානුව වෙනකොට අපි රසිකයන් විදියට විජය – මාලිනි ගේ චිත්‍රපට නරඹද්දී, විජය මාලිනි පෙම්වතුන් විදියට රඟපෑම සහ චිත්‍රපටය අවසානයේදී ඔවුන් පෙම්වතුන් ලෙස එකතුවීම දිහා අපි බලාගෙන ඉන්නේ බොහොම ආසාවෙන්. එහෙම අවස්ථාවක ඒ පෙම් පලහිලව්ව කඩාකප්පල් කරන තැනැත්තා පිළිබඳ ගැටවර ප්‍රේක්ෂකයන් විදියට ඇතිවෙන්නේ යම්කිසි ආකාරයක උරණයක් ! මෙන්න මේ‘උරණය’ ගැන රවින්ද්‍ර නොදැන හිටියා ද?

ඔහු මේ ‘උරණය’ තරණය කළ අන්දම තමයි සිංහල සිනමාවේ රවින්ද්‍ර ලකුණ.

නමුත් ඔහු අතිශය ජනප්‍රිය අර පෙම් යුවළ එකුතුවීම සිද්ධ වන මොහොතේ, ඇයව විජයට භාර දෙමින් තමන්ගේ තනිකම, එහෙම නැත්නම් තමන්ගේ ඉදිරි ජීවිතයේ සදාකාලිකවම තනිවෙන මොහොත, ප්‍රේක්ෂකයන්ගේ හද බැඳගත් අවස්ථාවක්.

විශේෂයෙන් මම ඔහුට ප්‍රකාශ කරලා තියෙනවා ‘සිනහව අතරින් කඳුළක් උපන්නා’ කියන ගීතයට ඔහු පණපොවපු විදිය ගැන. අපේ සදාදරණීය ගායක මිල්ටන් මල්ලවආරච්චි ඉතාම ළයාන්විතව ඒ ගීතය ගායනා කරනවා. ඒ ළයාන්විතභාවයට කිසිම අඩුවක් දෙන්නේ නැතුව රවී, කිසිම ආකාරයක අඩු සැලකිල්ලක් ඇති නොවෙන්න ඒ ගීතය තුළ ඔහු ජීවත් වෙනවා. ඔබ මේ චිත්‍රපටය නරඹලා තිබෙනවා නම්, නැවත මතක් කර ගන්න අවසාන සංගීත ඛණ්ඩය. ඔහු ගීතය ගායනා කරන්නේ නෑ. වාදනය විතරයි අපිට ඇහෙන්නේ. ඔහුගේ දෙනෙත් පිරිලා තිබෙන කඳුළු මුළු ප්‍රේක්ෂකයන් තුළම කඳුළක් උපදවීමට තරම් ඔහු අතිදක්ෂ රංගනයක් රැගෙන එනවා. මේ ඔහුගේ මුල් යුගය. අපි දන්නවා පසුකාලීනව දඩයම, සිරිමැඳුර, ජනේලය, සෙයිලම, අනන්ත රාත්‍රිය, අක්ෂරය වැනි මම නම් කී නොකී චිත්‍රපට රාශියක් තිබෙනවා. ඒ පිළිබඳ අපිට විග්‍රහයක් කරන්න පුළුවන්. ඒ වගේ අතිදක්ෂ රංගනයන් තිබෙනවා. ඒක නෙමෙයි අභියෝගය. මේ තාරුණ්‍යයේ කරන අභියෝගය කොයි තරම් සුවිශේෂද කියන එක මේ මොහොතේ අපේ තරුණ නළුවන්ට නැවත නැවත අත්හදා බලන්න පුළුවන්නම්, සොයලා බලන්න පුළුවන්නම්, සැබෑ රංගනයක් පිළිබඳ ආදරයක් තියෙන කෙනකුට ඒ සඳහා කාලය මිඩංගු කරන්න පුළුවන් නම්, මං හිතනවා අද දවසේ රවින්ද්‍ර රන්දෙණිය වෙනුවෙන් කළ හැකි විශාලම උපහාරය ඒක කියලා.

ඔහුගෙන් අසා දැනගන්න පුළුවන් නම්, ඒක මෙන්න මේ ආකාරයට තමයි මම කළේ කියලා?..

ඇඟිල්ලෙන් ඇනලා, එහෙම නැත්නම් කොළේක ලියලා ඔහුට ඒක අපට කියන්න හැකියාවක් එන එකක් නෑ. නමුත් ඒ පිළිබඳ අදවත් අපි විමසිලිමත් වෙලා අසා සිටිනවා නම්, ඒක මම හිතන්නේ මතු පරපුරට ගොඩාක් වැදගත් වෙයි කියලා.

පසුකාලීනව ‘සත්වෙනි දවස’ චිත්‍රපටයේ ‘සින්දුකඩේ රාලහාමි’ චරිතය මට කරන්න ලැබෙන්නේ. ඔහු චරිතාංග නළුවෙක් විදියට‘අබ්බඩා’ චරිතය රඟපාන්න යෑමෙන්. නමුත් චරිතාංග නළුවෙක් බවට ඔහු පරිවර්තනය වෙන්නේ පෙම්වතා චරිතය නොසලකා හැර නොවේ. ඔහු පෙම්වතා විදියට රඟපෑ සාර්ථක වෙච්ච චිත්‍රපට තිබෙනවා. ඒ අතරි‘ආරාධනා’ ඉතා ඉහළ තැනක තිබෙනවා. ඒකෙ ටිකක් වැඩිහිටි පෙම්වතෙක්. ඔහු තමාට ලැබුණු සෑම චරිතයකටම එක ආකාරයටම සලකලා තිබෙනවා නේද කියන එක අපට පැහැදිලිව පෙනෙනවා.

එක වකවානුවක ගාමිණී ෆොන්සේකාගේ පියා ලෙස‘රිදී තැල්ලේ’ රඟපානවා. ‘යකඩයා, සීතා දේවි, කොටි වලිගය’ වැනි චිත්‍රපටවල ඔහු රඟපාන්නේ සහාය නළුවකු ලෙස. එහි ප්‍රධාන නළුවා ගාමිණී ෆොන්සේකා. ඇත්තට ම ඒවා අභියෝග. ඒ අභියෝග ඔහුගේ රංගනය පරාජය කිරීමට ඉවහල් වී නැහැ. ඔහු එම චිත්‍රපට තුළ රැඳිල හිටිය ආකාරයට, කුමන මොහොතක හෝ ප්‍රේක්ෂක අපට ඔහුව අමතක වෙන්නෙ නෑ.

මා සමග ඔහු රඟපෑ චිත්‍රපට රාශියක් තිබෙනවා. ඒ රාශිය පිළිබඳ මම ලියන්න ගත්තොත් මේ ලිපිය අනවශ්‍ය විදියට දිර්ඝ වෙයි. ‘දෙවැනි ගමන’ වගේ චිත්‍රපටයක ඔහු කිසිම පසුබෑමකින් තොරව, ඔහුට වඩා කනිෂ්ඨ නළුවකු වන මට ප්‍රධාන චරිතය රඟපාන්න ඉඩ දී ඔහුගේ දායකත්වය මට ලබාදුන්නා. මම හිතනවා අපි රවීගේ මුල් යුගයේ තිබුණු චිත්‍රපට එකින් එක ගෙන ඒ හැම එකකට ම ඔහු දායක වුණේ කොයි ආකාරයට ද කියා සොයා බැලුවොත් එය ලේඛනගත කළොත් ඉතා වටිනා ග්‍රන්ථයක් වේවි. දැන් අද වුණත් චිත්‍රපටයක චරිතයක් ලැබුණොත් ඔහු කිසිම මොහොතක ඒ චිත්‍රපටය සැහැල්ලුවට ගන්නෙ නෑ. ඉතාම හොඳට ‘හෝම්වර්ක්’ කරනවා. ඉතාම හොඳට තිර රචනය පරිශීලනය කරනවා. ඉතාම හොඳට බොහෝ දේ සොයා ගන්නවා. සොයා බලනවා. අද ඔහුට ඔහු කෙරේ සුවිශාල විශ්වාසයක්, ආත්ම අභිමානයක් ඇති. එය සම්පූර්ණ සාධාරණයි. නමුත් එවැනි ආත්ම විශ්වාසයක්, ආත්ම අභිමානයක් නොතිබුණු යුගයක, එනම් මම කතා කළ මුල් යුගයේ චිත්‍රපටවල ඒ චරිතවලට ආවේණික වුණේ කොහොම ද? එයයි අපි හොයල බලන්න ඕන.

අවසාන වශයෙන් ඔහුගේ තවත් මුල් යුගයේ චිත්‍රපටයක් විදියට හඳුන්වන්න පුළුවන් ‘සිරිපාල සහ රන්මැණිකා’ ගැන කල්පනා කරල බැලුවොත්, අතිදක්ෂ නිළියක් වන මාලිනි ෆොන්සේකා සමග චිත්‍රපටයේ රංගනයේ යෙදෙන ආකාරය නැවත නැවත සමීක්ෂණය කරන්න පුළුවන් නම්, සිනමාවේ රවින්ද්‍ර ලකුණ පෙනෙයි. මම පැහැදිලිවම දන්නවා ඒ චිත්‍රපටයේ තිබෙනවා මාලිනීට වින කරන ජෝ අබේවික්‍රමගේ චරිතය. රවින්ද්‍ර ජෝ අබේවික්‍රමගෙන් පලි අරන් ඔහුව මරා දමලා, නැවත ගෙදරට එනවා. ඒ එන්නේ කඩුව අරගෙන යන්න, මේ පුද්ගලයාගේ මිනිය කෑලිවලට කපන්න. ඔහු මාලිනීගෙන් කඩුව ඉල්ලලා කෑගහනවා. මාලිනී ඒකට උදව් කරන්නෙ නෑ. නමුත් ඔහු වියරුවෙන් වගේ හැසිරෙනවා කඩුව ඉල්ලා. ඒ වෙනකොට මාලිනී රවීන්ද්‍රගෙන් ගැබ් අරගෙන ඉන්න චරිතයක් බවට චිත්‍රපටයේ පත්වෙලා ඉන්නේ. අන්න එය සඳහන් කළ පසු පමණයි, ඔහු කරන්න ගිය අර අති බිහිසුණු ක්‍රියාවෙන් වළකින්නේ, තමන්ගේ ලෙයින් හැදුණු දරු පැටියෙක් තව ටික කලකින් මෙලොවට බිහි වෙනවා නේද කියන එක ගැන හිතලා.

මේ දර්ශනය රූපගත කරන අවස්ථාව ගැන ඩොනල්ඩ් කරුණාරත්න මට කියා සිටියා, ඔහු මුළු දර්ශන තලයේම කිසිම විදුලි පහනක්, ලයිට් එකක් පේන්නේ නැති වෙන්න ආලෝකවත් කරලා, ඒ පරිසරයම මේ දෙදෙනාට ලබාදීලා රූගත කරන්න. ඕගොල්ලො ඕනම තැනක හැසිරෙන්න. මම ඕගොල්ලො ෆලෝ කරගෙන කැමරා කරනවා. ඒ නිසා මේක නැවත වතාවක් ඡේදන(සංස්කරණ) වලට යන්නේ නෑ කියලා මේ දෙදෙනාට කියා තිබෙනවා. මාලිනිත් රවීත් අති දක්ෂ නළු නිළි යුවළක්. ඔවුන් මේ දර්ශනය රඟපාමින්, රඟපෑමෙන්ම සංස්කරණය කළා. මෙන්න මේක අපි ඉගෙන ගතයුතු පාඩමක්. අතිධාවනකාරී අන්දමින් රවී හැසිරෙමින් මාලිනීගෙන් කඩුව ඉල්ලමින්, පිස්සෙක් වගේ කෑගසමින් සිටින ඔහු, යම් මොහොතක නැවත වතාවක් ඒකෙන් මිදෙනවා. මිදිලා ඔහු යම් ආකාරයකට තැන්පත් ස්වරූපයකට පත් වෙනවා. එතකොට මේ චලනයන් සියල්ලම ඩොනල්ඩ් කරුණාරත්න නම් අතිදක්ෂ සුපිරි කැමරාකරුවා තමන්ගේ කාචයේ හසුකර ගත්තා. ඒ වගේම ඔවුන් මේ දර්ශනයට අවශ්‍ය සංසකරණයත් ලබා දුන්නා. මාලිනි සමඟ රවින්ද්‍ර කරපු ඒ රංගනය ගැන අද දවසේ හෝ රවින්ද්‍රත් සමඟ කතා කරලා අපි හොයාගන්න ඕන, එහෙම කළේ කොහොමද කියලා. ඔහු නම් ඒකට ලෑස්ති ඇති. නමුත් ඒවා දැනගන්න, ඉගෙන ගන්න අපි කීදෙනකුට ඕනද කියන එකයි ප්‍රශ්නය.!!!!

ඔහු දඩයම වැනි චිත්‍රපටයක අති දක්ෂ අන්දමින් රඟපාමින් මිනීමරු දුෂ්ටයා වන අවස්ථාවේදි ඒ උත්තුංග රංගනයට වශීකෘත වූ චිත්‍රපට ශාලාවේ බැල්කනියේ සිටි පිරිස්, ඒකී රංගනය බුද්ධිමත්ව, සංවේදීව රසවින්දෝය. නමුත් ගැලරියෙන් දුෂ්ටයාට එන සම්මත හූවේ ප්‍රතිචාරය ද ආවේ නැත. ඒ වෙනුවට තුෂ්නීම්භුත වූ ගැලරි ප්‍රේක්ෂකයාට හුස්ම ගැනීමට අමතක වූ සෙයක් දක්නට ලැබිණ.

මා දකින රවීන්ද්‍ර ලකුණ; ආදරණීය රවී
එවක අගමැති ලලිත් ඇතුලත්මුදලි මහතා අතින් හොඳම නළුවා ලෙස සම්මානය ලබමින්.

ඔහු බඹර පැටික්කි චිත්‍රපටියේ , මේ අහල්ලා අහල්ලා මගේ තාලේ යැයි කියමින් ගැලරි ප්‍රේක්ෂකයාව අමතත්දි ලැබුණු ප්‍රතිචාරය වූයේ දැඩි අත්පොලසන් හඬ සහ විසිල් නාදයයි. නමුත් ඒ අවස්ථාවේ බැල්කනියේ සිටි පිරිස් ටද ඒය බාධාවක් නොවීය. ඔවුන්ද සැහැල්ලු මනසකින් ඒ රසය දැඩි ලෙස විඳ දරා ගත්තෝය.

මා දකින රවීන්ද්‍ර ලකුණ; ආදරණීය රවී

ඔව් රවී.. මම විශ්වාස කරනවා ඒ තමයි ඔබ සිංහල සිනමාව තිබෙන තුරා සටහන් කල නොමැකෙන රවින්ද්‍ර ලකුණ කියා.

ඔබට චිරං ජයතු!

ආදරණීය සනත්…

advertistmentadvertistment
advertistmentadvertistment