ඔසප් චක්‍රය අක්‍රමවත් වීම

7281

දැරියක් මල්වර වීමෙන් පසු ද නැවත ඔසප් වීමට  මාස කිහිපයක් ගත විය හැකිය

අධික ලෙස ව්‍යායාමවල යෙදීම, උපත් පාලන ලූප් භාවිතය, ගර්භනී බවට පත්වන විට සහ ආර්ථවහරණයට ලක්වීමට ආසන්න වීම නිසා ද ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සිදු වේ

දැරියක් මල්වර වූ දා සිට ඇයගේ සිරුරින් සිදුවන ස්වාභාවික ක්‍රියාදාමයක් ලෙස මාසික ඔසප් වීම හඳුන්වනු ලබයි. මෙහිදී සිදුවන්නේ ඇයගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් මෝරා පිටවීමය. එය දින 28 කට වරක් සිදුවීම විද්‍යාත්මක පදනමය. නමුත් එය සිදුවීම දින 21 කට වරක් හෝ දින 35 කට වරක් හෝ සිදුවන අවස්ථා ඇත. එය සාමාන්‍ය තත්ත්වයක් ලෙස සලකයි. එසේම මෙහිදී සිදුවන රුධිර වහනය දින 2 ත් දින 07 ත් අතර කාලයක් පැවතිය හැකිය. මෙලෙස සිදුවන ඔසප් වීම එය ක්‍රමවත් ඔසප් චක්‍රයක් ලෙස හඳුන්වයි. දැරියක් මල්වර වීමෙන් පසු ද නැවත ඔසප් වීමට මාස කිහිපයක් ගත විය හැකිය. එසේම ඇයගේ ඔසප් චක්‍රය අපිළිවෙළට සිදුවීම පළමු වසර 1-2 අතර කාලයේදී පැවතිය හැකිය. එය ඉන්පසු සාමාන්‍ය තත්ත්වයට පත් වේ. මෙලෙස මල්වර වී වසර කිහිපයක් ගත වූ පසුත් ඇයගේ ඔසප් වීම මාස කිහිපයකට වරක් සිදුවේ නම් ඇතැම් විට එය මාස හයක් වසරක් වැනි කාලයකට පසු සිදුවේ නම් ළඟ ළඟ ඔසප්වීම් සිදු වේ නම් ඔසප් වීමේදී සති ගණනක් අධික ලෙස රුධිරය වහනය වේ නම් එය අක්‍රමවත් ඔසප් චක්‍රයක් ලෙස හඳුන්වනු ලබයි.

අක්‍රමවත් ඔසප් චක්‍රයකට බලපාන හේතු

ඔසප් වීම සිදුවීම පාලනය වන්නේ හෝමෝන පද්ධතිය මගිනි. ඒ සඳහා බලපාන හෝමෝන රැසක් ඇත. ප්‍රධාන වශයෙන්ම ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් නමැති කාන්තා හෝමෝනය බලපායි. ඊට අමතරව ටෙස්ටෙස්ටෙරෝන් නමැති පුරුෂ හෝමෝනය, ඉන්සියුලින්, තයිරොයික්සින්, ආදී හෝමෝන රැසක්ද මේ සඳහා බලපායි. මෙම හෝමෝනවල ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවන විට එම හෝමෝනවල අසමතුලිතතාවක් මතු වේ. එම අසමතුලිතතාව ඔසප් චක්‍රයේ නිසි ක්‍රියාකාරීත්වය සිදුවීමට බාධා ඇති කරයි. මානසික පීඩනය නිසා මෙම හෝමෝනවල ක්‍රියාකාරීත්වයේ ගැටලු මතුවී ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකිය. විභාගයකට මුහුණදීම, ආදර සම්බන්ධතාවක් බිඳ වැටීම, පවුලේ සමීපතමයකුගේ මරණයක් සිදුවීම, තමා ජීවත් වූ සුපුරුදු පරිසරයෙන් වෙන්වී වෙනත් ප්‍රදේශයකට යෑමට සිදුවීම ආදිය නිසා ඔසප් චක්‍රය අක්‍රමවත් වීම බහුලව දැකිය හැකිය.

අධික ලෙස ව්‍යායාමවල යෙදීම, උපත් පාලන ලූප් භාවිතය, ගර්භනී බවට පත්වන විට සහ ආර්ථවහරණයට ලක්වීමට ආසන්න වීම නිසා ද ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සිදු වේ. මෙම හේතුන්ට අමතරව වර්තමානයේ බහුලව දැකිය හැකි හේතුවක් වී ඇත්තේ පොලි සිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් :ඡදකහජහිඑසජ ධඩ්රස්බ ීහබාරදප* :ඡජදි* නමැති රෝග තත්ත්වයයි. මෙම රෝගය සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ සාමාන්‍ය ජීවන රටාවේ වෙනස් වීමය. එනම් නිසි ලෙස ව්‍යායාමවල නොයෙදීම, සමබර ආහාර වේලක් වෙනුවට ක්ෂණික ආහාර පාන වර්ග ආදී කැලරි අධික ආහාර වර්ග නිතර නිතර ගැනීමය. ඉන් ඔවුන්ගේ සිරුරේ හෝමෝනවල ක්‍රියාකාරීත්වය වෙනස් වේ. මෙම තත්ත්වය නිසා මෙම රෝගයෙහි දැකිය හැකි සුලභ රෝග ලක්ෂණය වන්නේ ස්ථුලතාවයයි. ඊට අමතරව බෙල්ල කළු වීම, අසාමාන්‍ය ලෙස මුහුණේ සහ සිරුරේ රෝම කූප වර්ධනය, හිසකෙස් ගැලවී යෑම ආදී ලක්ෂණ ද මෙම රෝගයේදී දැකිය හැකිය.

තරුණ වියේ පසු වන යුවතියන් අතර වර්තමානයේ මෙම රෝගය බහුලව මතුව ඇත. මැදිවියට පත් වූ කාන්තාවන් අතර මෙම රෝගය පවතින විට ඔවුනට ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට අමතරව දියවැඩියාව, හෘදයාබාධ, ගර්භාෂගත පිළිකා, කොලෙස්ටරෝල් අධික වීම, අධි රුධිර පීඩනය මතුවීම වැනි රෝග ද මතුවිය හැකිය.

ඔසප් චක්‍රය යළි ක්‍රමවත් කිරීම

ඔසප් චක්‍රය අක්‍රමවත් වීමේදී බලපාන ප්‍රධානම ගැටලුව වන්නේ එවැනි කාන්තාවන් විවාහ වූ විට දරුඵල පමා වීමය. එය ඔවුනට තම විවාහයේදී මුහුණදීමට සිදුවන අමිහිරි අත්දැකීමක් වනු ඇත. එබැවින් ඔසප් වීම අක්‍රමවත් වීම පවතින කාන්තාවන් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්ය. මන්දයත් මෙය නිට්ඨාවට සුව කළ නොහැකිය. කළ හැක්කේ පවතින ගැටලුවලට ප්‍රතිකාර ලබාදී ඔසප් චක්‍රය අක්‍රමවත් වීම පාලනය කිරීමක් පමණි. ප්‍රතිකාර කිරීමේදී පවතින ගැටලු අනුව එය සිදු කළ යුතුය. අධික තරබාරු තත්ත්වයට පත්වූ කාන්තාවක් නම් ඇයගේ තරබාරුව පාලනය කරන අතර මතුව ඇති හෝමෝන අසමතුලිතතාවයට සහ චජදි රෝගය පාලනයට ප්‍රතිකාර කළ යුතුය.

රෝම කූප අධික ලෙස වර්ධනය වේ නම් ඒ සඳහා වූ රූපලාවන්‍ය ප්‍රතිකාර සමග රෝගයට ප්‍රතිකාර කළ යුතුය.

ඒ නිසා ඔසප්වීම අක්‍රමවත්ව ඇති කාන්තාවන් සඳහා ප්‍රතිකාර කිරීමට ඒ සඳහා බලපා ඇති හේතුව නිසි ලෙස හඳුනාගත යුතුය. ඉන්සියුලින් හෝමෝනයේ වෙනස්වීමක් ඇත්නම් ඒ නිසා මතුව ඇති දියවැඩියා රෝගයේ දෙවැනි කාණ්ඩයට ප්‍රතිකාර ලබාදිය යුතුය. කොලෙස්ටරෝල් අධික වී ඇත්නම් එය පාලනය කළ යුතුය. තයිරොක්සින් හෝමෝනයේ වෙනස්වීමක් හටගෙන ඇත්නම් ඒ සඳහා ප්‍රතිකාර ලබාදිය යුතුය. මෙලෙස නිසි ප්‍රතිකාර සිදුකරමින් ඔසප් චක්‍රයේ අක්‍රමවත් බව සඳහා ප්‍රතිකාර ලබාදීමෙන් නිසි ලෙස ඩිම්භයක් පිටවීමේ ක්‍රියාදාමය නිවැරදි කළ හැකිය. එවිට ඔවුනට මතුව ඇති දරුඵල පමාවීමේ ගැටලුව ද සුව කළ හැකිය. කිසියම් තාවකාලික මානසික පීඩාවක් නිසා ඇති වූ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා එම මානසික පීඩනය පලානය වූ පසු යළි ක්‍රමවත් වේ. ඒ සඳහා ප්‍රතිකාර ගත යුතු නැත. නමුත් ඔසප් චක්‍රය අක්‍රමවත් වීම දිගින් දිගටම පවතී නම් ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය. එය කිසියම් හෝමෝන අසමතුලිතතාවක් නිසා මතුව තිබිය හැකිය.

වැඩිදුර උපදෙස් දුරකථන අංක 0777347733 අමතා ලබාගත හැකිය.

ඔසප් චක්‍රය අක්‍රමවත් වීම

වෛද්‍ය චම්පා නෙල්සන්
(ප්‍රජනන සෞඛ්‍ය උපදේශිකා)

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment