ඔබේ සුවඳ සිව්සිය ගව් දුර දැනේ යා! – සාහිත්‍යවේදී පියදාස වැලිකන්න

245

ප්‍රවීණ සාහිත්‍යවේදී පියදාස වැලිකන්නගේ සූරීන්ගේ නිර්මාණ ජීවිතය අගයනු වස් සංවිධානය කරන ලද ‘සාහිත්‍යවේදී පියදාස වැලිකන්නගේ සම්භාවනා’ උළෙල ඉකුත් 16 සිකුරාදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ‘වීර කැප්පෙටිපොළ’ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

පන්ති කාමරය තුළ ඉගෙනගන්නා ශිෂ්‍යයා යහපත් බුද්ධිමත් පුරවැසියකු කරන්නට ගුරුවරයා අතිවිශාල කාර්යභාරයක් ඉටු කරයි. එයින් සිදුවන සමාජ සේවාව තරම් වටිනා සේවයක් වෙනත් කිසිදු සේවාවකින් ලැබිය හැකි නොවේ. එසේ ම, එමගින් ගුරුවරයකු ලබන ආත්ම තෘප්තිය ද වෙනත් කිසිදු දෙයකින් ඔහුට ලැබිය හැකි ද නොවේ.

තමාට නියමිත ඉගැන්වීමවත් හරිහැටි නොකරන ගුරුවරුන් ඉන්නා රටක ඉගැන්වීමෙන් ඔබ්බට ගොස් විවිධාකාරයෙන් රටට සමාජයට වැඩදායී පුද්ගලයන් ලෙස සේවය කරන බොහෝ ගුරුවරු අපට මුණගැසේ. ඔවුන්ගෙන් සමහරු චිත්‍ර ශිල්පීන් ය. තවත් සමහරු සංගීතඥයන් ය. තවත් සමහරු ලේඛකයන් ය.

ඔබේ සුවඳ සිව්සිය ගව් දුර දැනේ යා! - සාහිත්‍යවේදී පියදාස වැලිකන්න

එසේ ගුරු වෘත්තියේ නියැලී සිටිමින් ලේඛකයන් බවට පත් අතිවිශිෂ්ට කාර්යභාරයක් ඉටුකළ ගුරු භවතුන් රැසක් මෙරට ලේඛක ඉතිහාසය පිරික්සීමේ දී අපට හමුවේ. විශේෂයෙන් ම හෙළ හවුලෙන් බිහිවූ රැපියෙල් තෙන්නකෝන්, අලව්ඉසි සැබිහෙළ, අරිසෙන් අහුබුදු, ජයසේකර අබේරුවන් වැනි ලේඛකයෝ ඒ අතරින් ඉදිරියෙන් ම සිටිති.

ඒ අයුරින් ලේඛන කලාවට අවතීර්ණ වූ මෑත කාලීන ගුරුවරුන් පිළිබඳව ද අපට කොතෙකුත් උදාහරණ සැපයිය හැකි ය. එම ගුරුවරුන් විසින් සිදුකරනු ලබන මෙම අමතර කර්තව්‍යය හේතුවෙන් සිංහල භාෂාව හා සාහිත්‍යයේ ප්‍රගමණයට ඔවුන්ගෙන් සිදුවන සේවාව සුළුපටු නොවේ. ඒ අතරින් පියදාස වැලිකන්නගේ සුළවතාණන්ට ද හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

අගනුවර ආසන්නයේ පිහිටි අත්තිඩිය ප්‍රදේශයේ සිට මාතලේ ප්‍රදේශයට සංක්‍රමණය වී දීර්ඝ කාලයක් එහි වාසය කරමින් ගුරු වෘත්තියේ මෙන් ම, නිර්මාණකරණයේ ද යෙදෙමින් ප්‍රාදේශීය තලය ජයගෙන ජාතික තලයටත්, ඉන් අනතුරුව ජාත්‍යන්තරයටත් පිවිසෙන්නට තරම් පියදාස වැලිකන්නගේ සූළවතාණෝ වාසනාවන්ත වූ හ.

ඔහු ආ ගමන සුන්දර රෝසමල් අතුල මාවතක් නොවේ. බොහෝ දුෂ්කරතා මැදින් පැමිණි ගමනකි. ඉතා කටුක දිවිපෙවතක් ගත කරමින් පාසල් අධ්‍යාපනය හමාර කරන පියදාස වැලිකන්නගේ තරුණයා 1966 දී ගුරු විභාගයෙන් සමත්ව තම වෘත්තීය ජීවිතය අරඹන්නේ අම්පාර මාවින්න විදුහලේ ගුරුවරයකු ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් වෙමිනි. ඉන්පසුව ඉඟිනියාගල විද්‍යාලය ඇතුළු දිවයිනේ විවිධ විදුහල්වලට ස්ථාන මාරුවීම් ලබා ඒවායේ ඉගැන්වීම් කටයුතුවල නිරත වන ඔහු, නැවත මාතලේ දිස්ත්‍රික්කයට පැමිණෙන්නේ ඊට පෙර වන්නි දිස්ත්‍රික්කය තුළ සිදුකළ දුෂ්කර ගුරු ජීවිතය අවසන් කරමිනි.

පියදාස වැලිකන්නගේ නම් තරුණ ගුරුවරයාට එවක ඉඟිණියාගල පාසලේ මුල් ගුරුවරයා ලෙස සේවය කළ සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂාත්‍රය ම දැනසිටි මායා රංජන් හමුවීම ඔහුගේ ආධුනික ලේඛක දිවියට ප්‍රබල උත්තේජනයක් වී ය. ඒ වනවිට ද මායා රංජන් එම ප්‍රදේශයේ වනවිත්ති එකතු කරමින් ඒ අනුසාරයෙන් නිර්මාණ කටයුතුවල නියැලී සිටියේ ය. වනවිත්ති සාහිත්‍යයේ අග්‍රඵලය වන ඔහුගේ ‘දිගාමඬුල්ලේ ආශ්චර්ය’ වැනි කෘති තුළින් පියදාස වැලිකන්නගේ සූරීන්ට එදවස ලැබුණේ ඉමහත් මග පෙන්වීමකි.

එපමණක් නොව, පියදාස වැලිකන්නගේ සූරීහු ද ඒ අනුව යමින් දිවයිනේ ගම් නියං ගම්වල සැරිසමින් මෙරට දුගී දුප්පත් අහිංසක දුවා දරුවන්ගේ නැණැස පාදන්නටත්, එයින් ඔබ්බට ගොස් මුළුමහත් සමාජයේ ම නැණ නුවණ වඩවන ලේඛන කාර්යයට අවතීර්ණ වෙන්නටත් කටයුතු කළෝ ය. ගුරු වෘත්තියේ දී වරින් වර ලද ස්ථාන මාරු නිසා දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කරන්නටත්, විවිධ පුද්ගල චරිත ඇසුරු කරන්නටත් ලැබීම ඔහුගේ ලේඛන කාර්යයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වී ය.

පියදාස වැලිකන්නගේ සූරීන් වෘත්තියෙන් ගුරුවරයකු වුව ද, ලේඛනය සිය ජීවිකාව කර නොගත්තේ ය. ඔහු තම ගුරු වෘත්තියෙන් උපයන වැටුප තම දරු පවුල නඩත්තු කිරීමට අමතරව පොත්පත මිල දී ගැනීමටත්, සාහිත කටයුතු සඳහා වන ගමන් බිමන්වලටත් නිර්ලෝභීව වැය කළේ ය. එසේ ම, ඔහු තම ගුරුසේවාවට අදාළ සේවා ගැටලුවලින් මිරිකී සිටි සහෝදර ගුරුවරුන් වෙනුවෙන් නිරන්තරව නිස්සරණාධ්‍යාශයෙන් පෙනී සිටියේ ය.

එවන් පන්නරයක් ඔහුට ලැබුණේ පනස්තුනේ හර්තාලයට සම්බන්ධ වූ වාමාංශික අදහස් දැරූ සිය පියාගෙන් ලද ආභාසයත්, ලංකා සමසමාජ පාක්ෂිකයකු ලෙස ඔහු ලද දේශපාලන මගපෙන්වීමත් හේතුවෙනි. ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ මාතලේ දිස්ත්‍රික් ලේකම් බවට පත්වෙන්නටත්, පසුකලෙක මාතලේ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයකු ලෙස තේරීපත් වෙන්නටත් පියදාස වැලිකන්නගේ සූරීන්ට හැකියාව ලැබෙන්නේ ඒ අප්‍රතිහත කැපවීමේ ප්‍රතිඵලය නිසා ය.

එනිසා ම ඔහුට කිසිදු මතවාදයකට ගැති නොවී නිවහල්ව ස්වාධීනව කටයුතු කරන්නට ද හැකියාව ලැබී තිබිණි. මෙරට නියම නිදහස් දිනය ලංකාව අර්ධ නිදහස ලැබූ පෙබරවාරි 04 නොව, ඉංග්‍රීසි කිරීටයෙන් ශ්‍රී ලංකාව පූර්ණ දේශපාලන නිදහස ලැබූ මැයි 22 වන දා බව නොබියව ප්‍රකාශ කරන්නටත්, එඩිතරව ඒ වෙනුවෙන් පෙනී සිටිමින් පෙබරවාරි 04 වන දින තම නිවසේ ජාතික කොඩියක් ප්‍රදර්ශනය නොකර සිටින්නටත් ඔහු කටයුතු කළේ සිය අදීන බව මොනවට විදහා දක්වමිනි.

ගුරු සංගමයේ කටයුතු සඳහා ප්‍රදේශයේ ඈත දුරබැහැර පාසල් කරා ඔහු ආ ගිය ගමන්වල දී නිර්ව්‍යාජ බොහෝ ගැමියන් ඔහුට මුණගැසිණි. එකිනෙකට වෙනස් බොහෝ ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරයන් ඔහුට අසන්නට ලැබිණි. එම පෙදෙසි වදන්වලින් ඔහුගේ වාග්කෝෂය පිරී ඉතිරිණි. ඔහු ලියූ රාජ්‍ය සම්මානිත නවකතාව වන ‘සුදු සෙවණැලි’ කෘතිය බිහිවන්නේ එවැනි පෙදෙසි වදන් සහ ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරයන් ඇසුරු කරගනිමිනි. එය කෙතරම් සිත්ගන්නාසුලු නවකතාවක් වී ද යත් 1986 වසරේ විශිෂ්ටතම නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් එය පිදුම් ලැබී ය. අනතුරුව 2002 වසරේ දී මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අතින් අපූරු සිනමාපටයක් බවට පත්වන ‘සුදු සෙවණැලි’ එම වසරේ පැවැති ‘සරසවිය’ සිනමා සම්මාන උළෙලේ දී වසරේ හොඳ ම සිනමාපටයට හිමි සම්මානය ඇතුළු සරසවි සම්මාන අටකින් පිදුම් ලැබී ය. ඊට අමතරව එම නවකතාව ප්‍රවීණ පරිවර්තක තිලක් බාලසූරිය විසින් ීය්ාදඅ දf උයසඑැ නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කරනු ලැබ ජාත්‍යන්තර අවධානයට පාත්‍ර වී ය. 1985 වසරේ හොඳ ම යොවුන් නවකතාව ලෙස රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද පියදාස වැලිකන්නගේ සූරීන්ගේ ‘පුන්සඳ වන් පුතු’ කෘතිය ද සිය දීර්ඝ ගුරු ජීවිතයේ දී විවිධ සිසු සිසුවියන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කිරීමෙන් ඔහු අතින් බිහිවූ නිර්මාණයකි.

කුඩා කල සිට ම ලේඛන කලාවට දස්කම් දැක්වූ ඔහුගේ පළමු නිර්මාණය පුවත්පතක පළවෙන්නේ 1956 ජූනි මාසයේ දිනෙක ‘ජනතා’ පුවත්පතේ ය. ඒ, ‘තිත්ත කතාවක්’ නම් කෙටිකතාව යි. ඉන්පසුව ඔහුගේ ‘වලාකුළෙන් වැසුණු සඳක්’ නම් නවකතාව එක්දහස් නමසිය හැට ගණන්වල ප්‍රකාශයට පත් සති අන්ත පුවත්පතක් වන ‘ජන සතිය’ පුවත්පතේ කොටස් වශයෙන් පළවෙයි. එදා එම නවකතාවට චරිත නිරූපනය කරමින් ඡායාරූපවලට පෙනී සිටි බන්දුල විතානගේ, සුමනා අමරසිංහ, කරුණාරත්න අමරසිංහ, ආනන්ද ගුණවර්ධන වැන්නන් පසු කලෙක ප්‍රසිද්ධ කලාකරුවෝ බවට පත් වූහ. 1972 වර්ෂයේ දී ‘එක් අනුවේදනීය කතාවක්’ ලෙස නම වෙනස් කරගනිමින් මුද්‍රණයෙන් එළිදකින්නේ ඔහුගේ ඒ පළමු නවකතාව යි.

පියදාස වැලිකන්නගේ සූරීන්ගේ නිර්මාණ අස්වැන්න සම්මානනීය ග්‍රන්ථ රැසකින් සමන්විත වෙයි. ‘එක් අනුවේදනීය කතාවක්’, ‘රත්තරං මිනිස්සු’, ‘සුදු සෙවණැලි’ (රාජ්‍ය සම්මාන), ‘මුරුගසං වරුසාවක්’ සහ ‘නා ගහ ළඟ ගෙදර’ යනුවෙන් නවකතා පහක් ඔහු රචනා කර තිබේ.

එසේ ම, ‘පුන්සඳ වන් පුතු’ (රාජ්‍ය සම්මාන), ‘මලක සුවඳ සිව්සිය ගව් ඇසේයා’, ‘කන්දට වැඩිය උස ළමයි’, ‘රජ පැටියෙක්’, ‘දෙව්ලොවින් ආ හිඟන්නෙක්’ (රාජ්‍ය සම්මාන), ‘වීරයෝ සහ ධීරයෝ’, ‘එයා හරි අපූරු ළමයෙක්’ (රාජ්‍ය සම්මාන), ‘ගොර මාමා කරපු වැඩක්’ යනුවෙන් ළමාකතා හා යොවුන් නවකතා රැසක් ද ඔහුගේ නිර්මාණ අස්වැන්නට අයත් ය.

ඊට අමතරව ඔහු විසින් ‘ජීවිතය නැවතිලා’ සහ ‘සිවාගෙන් ලියුමක්’ යනුවෙන් කෙටිකතා සංග්‍රහ දෙකක් ද, ‘තහනම් කළයුතු පොතක්’ සහ ‘වැලිගල විහාර වංශය’ යනුවෙන් විවිධ විෂයන්ට අදාළ කෘති දෙකක් ද රචනා කරනු ලැබී ය.

තව ද, ‘එයා හරි අපූරු ළමයෙක්’ යොවුන් නවකතාව රාජ්‍ය සම්මානලාභී ප්‍රවීණ ලේඛක ආරුමුගම් මලරම්බන් විසින් ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කරනු ලැබී ය. එසේ ම, ඔහුගේ ‘වීරයෝ සහ ධීරයෝ’ යොවුන් නවකතාව ඔයැ ඊර්ඩැ ්බා එයැ ඨ්කක්බඑ නමින් ඉංග්‍රීසියටත්, ‘වීරක්කුම්-ධීරක්කුම්’ යනුවෙන් දමිළ බසටත් නැගිණි.

එවන් මහඟු සාහිත්‍ය සේවාවක් සිදුකරමින් සිටින පියදාස වැලිකන්නගේ සූරීන් මාතලේ සාහිත්‍ය කලා සංසදයේ නිර්මාතෘවරයා සහ එහි ආරම්භක සභාපතිවරයා ය. මේ වනවිට ඔහු එහි අනුශාසක පදවිය දරමින් වත්මන් පරපුරට මග පෙන්වමින් සිටී. ‘මහතලා සාහිත්‍ය කලා මහෝත්සවය’ අදින් වසර හයකට පමණ පෙර ආරම්භ වූයේ, ඔහුගේ නිර්මාතෘත්වය යටතේ ය.

සිව්වරක් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද, ‘මැදරට අභිමානී’ සම්මානයෙන් ද, ‘පහන් ටැඹ’ සාමූහිකය පිරිනැමූ ‘මහයාය ස්වර්ණ හරසර’ සම්මානයෙන් ද පිදුම් ලැබ සිටින ඔහු කලක් ශ්‍රී ලංකා ජාතික කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද කටයුතු කළේ ය. මේ වනවිට විශ්‍රාමලත් විදුහල්පතිවරයකු ලෙස ඉසිඹු දිවියක් ගත කරන පියදාස වැලිකන්නගේ සූරීන්ට තව තවත් නිර්මාණකරණයේ යෙදෙන්නට අවැසි ධෛර්යය, ශක්තිය හා නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා!යි ප්‍රාර්ථනා කරමු.

අනුර බී. සෙනෙවිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment