අප මේ ලියන මොහොත වනවිටත් ආණ්ඩුවේ න්‍යායපත්‍රයේ ප්‍රථම අංකය බවට පත්ව තිබුණේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයයි. මේ සටහන ඔබ අතට පත්වන අවස්ථාව වනවිට අගමැති මෝදිගේ සංචාරය ආරම්භ වී තිබේ. කුමක් වුවත් අපේ සමීපතම අසල්වැසියා මෙන්ම කලාපයේ ප්‍රබල රාජ්‍ය නායකයා ද වන මෝදි සමග ඇතිකරගන්නා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් යනු ශ්‍රී ලංකාවට අතිශය වැදගත්ය. දැනට අප දන්නා එකම කරුණ වන්නේ අගමැති මෝදි හා අපේ ජනාධිපති අනුරත් අගමැතිනි හරිනිත් අතර නිල සාකච්ඡා සිදු කෙරෙන බවත් ඉනික්බිතව දෙරට අතර ක්ෂේත්‍ර කීපයකට අදාළ ගිවිසුම් හා එකඟතා ඇතිකරගන්නා බවත්ය. මේවා ඉන්දියාවේ කූට දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුවන දේවල් බවට දැනටමත් පෙරටුගාමී පක්ෂය චෝදනා කර ඇත. පෙරටුගාමීන් යනු මේ ආණ්ඩුවේ ප්‍රබල දේශපාලන පසමිතුරු මෙන්ම ඔවුන්ගේ බොහෝ ක්‍රියාකාරකම් නිර්දය ලෙස විවේචනයට ලක් කරන දේශපාලන ව්‍යාපාරයකි.

මොනවද තිබුණෙ අගමැති මෝදිගෙ මල්ලේ!

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර තිබෙන දිගුකාලීන මිත්‍ර සබඳතා මෙන්ම ඉන්දියාව මෙරටේ අභ්‍යන්තර දේශපාලනයට මැදිහත්වීම් කළ අවස්ථා ද තිබේ. එහෙත් ඉන්දියාව අපගේ වචීපරම මිතුරකු නොව අප සමග යම් සහයෝගයකින් ක්‍රියා කරන මිතුරකු ලෙස ද ප්‍රතිචාර දක්වා තිබේ. පෙරටුගාමීන් අනතුරු අඟවන ආකාරයට මෙවර ඉන්දියාව සූදානම් වන්නේ එදා අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමේ දිගුවකටද? මෙහිදී අපට සිහිවන්නේ ජයවර්ධන සමයේදී අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම නිසා උද්ගත වූ දේශපාලන කැළඹීමයි. ඒ වනවිට ජවිපෙ දැඩි ඉන්දියානු විරෝධී ස්ථාවරයක සිටි බවය. ජනාධිපති අනුරට එරෙහිව නැඟෙන චෝදනාව වන්නේ ද ඒ ඉන්දියානු විරෝධය අමතක කර රටේ ආරක්ෂාවට අනතුරු සිදු කිරීමට ඔවුන් සමග එකඟතා ඇති කරගන්නා බවය. එහෙත් ජවිපෙ දේශපාලන වසයෙන් අද සිටින්නේ වඩාත් පුළුල් හා ගැඹුරු භූදේශපාලන පසුබිම පිළිබඳ මනා කියවීමකින් බව ද පෙනේ. එදා ජයවර්ධන පාලන සමයෙහි අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වූවෝ ඔහුගේ ඇමැති මණ්ඩලයෙහි ද වූහ. ජයවර්ධනගෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රණසිංහ ප්‍රේමදාසගේ ප්‍රධාන පොරොන්දුවක් වූයේ ද ඉන්දීය සාම සාධක හමුදා ආපසු යවන බවය. ජයවර්ධන හා එදා ඉන්දීය අගමැතිව සිටි රජීව් ගාන්ධි සමග අත්සන් කළ එම ගිවිසුම තම දේශපාලන ජීවිතයේ ඉතා දූරදර්ශී පියවරක් බව ජයවර්ධන සිය චරිතාපදානයෙහි ද සඳහන් කර තිබේ. එහෙත් ඉන්දීය සාම සාධක හමුදාවට උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට නොහැකි වූ බවත් එය ජයවර්ධන දුටු දේශපාලන මිරිඟුවක් බවත් පසුකාලීනව විවේචකයන් පළ කළ අදහස විය.

පෙරටුගාමීන්ගේ මෙන්ම ජාජබ විරෝධීන්ගේ විවේචන හා අනතුරු ඇඟවීම් පිළිබඳව දැන්ම අපට යමක් කිව නොහැක. ඒ ඔවුන්ගේ විවේචනවලට පදනම් වී තිබෙන අනුමාන තර්ක විතර්ක විනා ඒවා ප්‍රසිද්ධියට පත් වී නැති හෙයිනි. කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්දට අනුව දෙරටේ නායකයන්ගේ නිල සාකච්ඡා හා අත්සන් කළ ගිවිසුම් පිළිබඳව ද ඒකාබද්ධ නිවේදනයක් කෙරෙනු ඇත. මේ අතර අගමැති නරේන්ද්‍ර මෝදි සිය එක්ස් (X) ගිණුමේ සටහනක් තබමින් ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සුබවාදී ප්‍රතිචාරයක් දක්වා තිබෙන බව ද වාර්තා වේ. සිය සංචාරයේ තේමා පාඨය ලෙස ඔහු දක්වන්නේ ‘සියවස් මිතු දමක සෞභාග්‍යවත් අනාගතයට බැඳීමක්’ යන්නයි. එසේම ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ‘අපි බහුවිධ ඉන්දියා ශ්‍රී ලංකා මිත්‍රත්වය සමාලෝචනය කර සහයෝගිතාවයේ නව මාර්ග සාකච්ඡා කරන්නෙමු’ යනුවෙනි. එසේම ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාරගේ සාර්ථක ඉන්දීය සංචාරයෙන් පසුව තම සංචාරය සිදුවන බව ද අගමැති මෝදිගේ අවධාරණයයි.

කෙසේ වුවද ඉන්දීය අගමැතිවරයාගේ සංචාරයට පෙර ඇතැම් දේශපාලන කණ්ඩායම් විසින් දක්වන ලද ප්‍රතිචාර පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද විශේෂ ප්‍රකාශයක් කර තිබුණි. රනිල්ගේ ප්‍රතිචාරය දේශපාලන වසයෙන් බුද්ධිමත් එකක් බව අපගේ අදහසය. ඔහුගේ මැදිහත්වීම අගය කළ යුතුය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ එසේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් (02දා) සඳහන් කළේ 2023-24 සිය පාලන කාලය තුළ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ යෝජනා ගණනාවක් අනුමත කළ බවය. එහි අපේක්ෂාව වූයේ රටට විදේශ ආයෝජන ලබාගැනීම බවය. එදා අදානිගේ ව්‍යාපෘති සම්බන්ධයෙන් ප්‍රචාරය කර තිබෙන වැරදි හා පදනම් විරහිත චෝදනාවල එල්ලී නොසිටිය යුතු බව ද ඔහු පෙන්වා දෙයි. රනිල් දැඩිව පවසන්නේ ද අප ඉන්දියාව සමග එක්ව වැඩ කළ යුතු බවය. ඒ සඳහා තම සහාය දීමට ද රනිල් සූදානම්ය.

ඇත්ත වසයෙන්ම ඉන්දියාව සමග සාධනීය එකඟතා ඇති කර ගැනීමේ ප්‍රතිලාභ දෙස අප පළමුව සිතා බැලිය යුතුය. සිල්ලර දේශපාලන විවේචන මෙන්ම තවමත් විපක්ෂයේ සමහරුන් විසින් තඩිබාන ජවිපෙ ඉන්දීය විරෝධී මුවහම දැන් යල් පිනූ දේවල්ය. අපේ විදේශ ප්‍රතිපත්තිය නොබැඳි එකක් ලෙස ස්ථාවරව තිබේ නම් අපට ඕනෑම බලවත් රාජ්‍යයක් සමග වුව ද සබඳතා පැවැත්වීමට බාධාවක් ද නැත. කුමක් වුවත් රනිල් අවධාරණය කරන්නේ පසුගිය පාලන සමයේදීත් ආන්දෝලනයකට තුඩු දුන් ඉන්දීය ව්‍යාපාරික අදානි ගෞතම් සම්බන්ධ ආයෝජනයක් ගැනය. එය මෙරටේ විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ වූවකි. ඒ පිළිබඳව ඇති වූ ඇතැම් ප්‍රතිවිරෝධතා නිසා අදානි එම ව්‍යාපෘතියෙන් ඉවත් වූ බව ද රහසක් නොවේ.

විදුලිබල හා ඉන්ධන ක්ෂේත්‍ර යනු අතිශය විවාදාත්මක හා විවේචනාත්මක ක්ෂේත්‍ර බව ද අපි දනිමු. මේ ආණ්ඩුව අදටත් ඒ පිළිබඳ අර්බුදවල හිර වී සිටියි. මේ ක්ෂේත්‍රවල දූෂිත නිලධාරීන්ගේ මාෆියාවක් ගැන විවෘත චෝදනාවක් ද තිබේ. පසුගිය දිනක හිටපු විදුලිබල ඇමැතිවරයකු ද වූ පාඨලී චම්පික පසුගියදා ඇති වූ විදුලි පද්ධතියේ බිඳ වැටීම ගැන දැඩි චෝදනා පත්‍රයක් ද ඉදිරිපත් කළේය. පාඨලී ඍජුවම පැවසුවේ විදුලිබල අධිකාරීන් නිරුත්තර කරන වාර්තාවක පරස්පරතාවයයි. රටේ විදුලිය බිඳ වැටීමේ වගකීම වඳුරකුට පැවරීම ගැන පාඨලී චෝදනා කළේ ඇමැතිවරයාටත් එහි බලධාරීන්ටත්ය. විදුලිබල පද්ධතිය බිඳ වැටීම පිළිබඳ වාර්තාවල පරස්පරතාව ගැන ද ඔහු පෙන්වා දුන්නේ විදුලිබල මාෆියා කල්ලිය හා ඉන්ධන ජාවාරම්කරුවන් අතර සබඳතාව නොබිඳ මේ අර්බුද විසඳීමට නොහැකි බව ද අවධාරණය කරමින්ය. විදුලි බල ඉංජිනේරු සංගමයේ ප්‍රකාශකයෙක් පැවසුවේත් සූර්ය බල විදුලියට හා සුළං බල විදුලියට නොරිසි අය ආණ්ඩුව ද නොමඟ යවන බවකි. ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි ද පුනර්ජනනීය බල ශක්තිය සූර්ය බලයෙන් නිපදවීම ගැන අවධානය යොමුකර තිබේ. එහෙත් ඒ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම විදුලිබල නිෂ්පාදනය අධෛර්ය කරන බවට චෝදනාවක් ද තිබේ. පෞද්ගලික අංශයේ තාප බලාගාරවලින් විදුලිය මිලට ගැනීමේ ජාවාරම් ගැන ද අපට ඇසෙයි. විදුලිබල ක්ෂේත්‍රවල තවම රජයන්ගේ මාෆියා කල්ලි බවට බරපතළ චෝදනාවක් ද තිබේ. මේ දිනවල රූපවාහිනී නාලිකා ඔස්සේ අප දකින කෝප් කමිටුවලින් හෙළිවන්නේද මෙරටේ බොහෝ මුල්පෙළේ ආයතනවල තිබෙන දූෂිත නිලධාරි පන්නය ගැනය. ඇත්තටම මේ රට මේ තරමින් හෝ ඉතිරි වී තිබීම පෙර පින් මහිමයකැයිද සිතේ.

දැන් අප විමසා බලන්නේ මේ සතිය වඩාත් උණුසුම් කළ අධිකරණ, තීන්දුවක් ගැනය. සියලුම මුද්‍රිත හා විiුත් මාධ්‍යවලින් එය වාර්තා කර තිබීම ද විශේෂත්වයකි. උතුරුමැද හිටපු මහ ඇමැතිවරයකු වූ (2012-14) එස්.එම්. රංජිත් හා ඔහුගේ ලේකම් ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන දෙදෙනා සම්බන්ධ වූ අල්ලස් චෝදනාවකට එම දඬුවම ලබා දී තිබුණි. විනිසුරුතුමා මෙය නම් කළේ ආර්ථික අපරාධයක් ලෙසය.

රජරට වැනි දුෂ්කර පළාතක පීඩාවට පත්ව සිටින ජනතාවක් සිටින පසුබිමක මහජන නියෝජිතයන් එලෙස ක්‍රියාකිරීම නොමනා බව ද අධිකරණයේ ස්ථාවරය බව පෙනුණි. ඇත්තටම මෙරටේ ව්‍යාප්තව තිබෙන දේශපාලන පවුල් සම්බන්ධයෙන් ජනතාවට දැඩි අපුලක් මෙන්ම නිර්දය විවේචනයක් ද තිබේ. පවුල් පිටින් හවුල් වී ජාතික සම්පත් වැනසීම, නීතිය අවභාවිත කිරීම ආදිය ගැන නොදන්නා අයෙක් අද නොවෙති. රාජපක්ෂ පාලන යුගය එහි උච්ච අවස්ථා පිළිබඳ රටට පෙන්වා දුන් අතර, එබඳු පවුල් ගස් රට පුරාම දැක ගත හැකි විය. පසුගිය මහ මැතිවරණයේදී ඒ පවුල් ගස් ඇදවැටුණු අයුරු කව්රුත් දනිති. එනිසා එස්.එම්. චන්ද්‍රසේනලාගේ දේශපාලන බල අධිකාරියට මෙබඳු යුක්තිගරුක ප්‍රහාරයක් එල්ලවීම ජනතාවගේ ද සතුටට හේතු වනු ඇත.

මේ ක්‍රියාකාරකම් එසේ සිදුවෙද්දී යළිත් මැතිවරණයක උණුසුම ද දැනෙමින් තිබේ. ඒ පිළිබඳ ඇතැම් ගැටලු අධිකරණයට ද ගොස් ඇත. එසේ වුව ද ලබන මැයි 06 වැනි දින පැවැත්වීමට නියමිත එම පුංචි ඡන්දය ආණ්ඩුවට මෙන්ම අනෙක් විපක්ෂයේ පක්ෂවලට ද අතිශය වැදගත් වනු ඇත. විපක්ෂ නායක සජිත් සිය වාර්ෂික සමුළුවේදී (03දා) ප්‍රකාශ කළේ ද එම මැතිවරණය හැරවුම්ලක්ෂයක් වන බවය. සජබය, එජාපය, එහිදී වෙන වෙනම තරග කරන අතර පොහොට්ටුව හා ශ්‍රීලනිපය ද වෙනම තරග කිරීම ද සුවිශේෂ සිදුවීමකි. පොහොට්ටුවෙන් බිඳී රනිල් සමග සිලින්ඩරයෙන් තරග කළ සමහරු දැන් පොදුජන එක්සත් පෙරමුණ ලෙස පුටුව ලකුණින් ඒ මැතිවරණයට ඉදිරිපත්ව සිටිති. සජබය කොළඹ නගර සභාවේ බලය ඇල්ලීමට විශේෂ මෙහෙයුමක් දියත්කරන ආකාරය ද පෙනේ. ඔවුන්ගේ නගාරාධිපති අපේක්ෂකයා දේශපාලනයට අලුත් මුහුණකි. එහෙත් ඔහුට දේශපාලන පසුබිමක් තිබේ.

මොනවද තිබුණෙ අගමැති මෝදිගෙ මල්ලේ!

මෙම පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල්ට දැඩි විවේචනයක් ද තිබේ. ඇත්තටම මෙම ඡන්දය පැවැත්වෙන්නේ නියමිතව තිබුණු කාලය ඉකුත් වී වසර තුනක් පමණ ප්‍රමාදයකිනි. එයට වගකිව යුත්තේ හිටපු ජනාධිපති රනිල්ය. ඔහුගේ ආණ්ඩුව ද ඒ දුෂ්ට ක්‍රියාවට දායක විය. කුමක් වුවත් පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුවට අලුත් පණිවිඩයක් ලබාදිය යුතු බව විපක්ෂවල අදහසය. ඔවුන්ට අනුව මේ ආණ්ඩුව ජනතාවගේ ආර්ථිකයට විසඳුමක් ලබාදීමට අසමත්ව සිටියි. ජනාධිපති අනුර එදා රනිල් ක්‍රියාත්මක කළ අයි.එම්.එෆ් (IMF) වැඩපිළිවෙළම ඉදිරියට ගෙන යන බව ඔව්හු කියති. මෙම මැතිවරණයෙන් ජාජබ ආණ්ඩුවට සුවිශේෂ බලයක් හිමි නොවුවත් එයින් ආණ්ඩුවේ වැඩපිළිවෙළට බාධාවක් නැති බව ඇත්තකි. එහෙත් තවමත් හයමාසයක් පමණ ඉකුත්ව තිබෙන ජනාධිපති අනුරටත් ඔහුගේ ආණ්ඩුවටත් එබඳු තත්ත්වයක් ලැබීම යනු මහජන ප්‍රසාදය පිළිබඳ ඇඟවීමකි. කුමක් වුවත් මෙම පළාත් පාලන සංකල්පය තුළින් අපේක්ෂිත ප්‍රජාතන්ත්‍රවාදී ජීවය හෝ ගම්දනව්වල ප්‍රබෝධය හෝ ඉටු වී නොමැති බව ද කිව යුතුය. ඇත්ත වසයෙන්ම දේශපාලනයේ නිරතව සිටින ප්‍රධාන පක්ෂවල දෙවන හෝ තෙවන පෙළක් ලෙස මෙම පළාත් පාලන සටන කැපී පෙනේ. එහෙත් එසේ බලයට එන අය ක්‍රියාකරන්නේ ද තම පක්ෂවල දූෂිත කුප්‍රකට ආදර්ශ අනුවය. පළාත් පාලනයට ලැබෙන ප්‍රතිලාභ ගසා කෑම, ගමේ කිසිදු සංවර්ධනයකට සැලැස්මක් නැතිවීම, ඒවායේ නිදන්ගත රෝග ලකුණු වී තිබේ. මෙහිදී වඩාත්ම දූෂණයට ගොදුරුව ඇත්තේ නගර සභා බවට ද චෝදනාවක් තිබේ. කොළඹ නගර සභාවේ පාලනය, මහජන මුදලින් සුඛවිහරණ ලබන ඉහළම නිලබල ආදිය ගැන තිබෙන චෝදනාව ඉතා බරපතළය. ජාජබය නම් පවසන්නේ රට හැදීමේ සැලසුම ගමේ හා නගරයේත් ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට බලය ලබාදෙන ලෙසය. ජනාධිපති අනුර අවධාරණය කරන්නේ බයක් සැකක් නැතිව මුදල් වෙන්කිරීමට නම් පිරිසිදු ප්‍රාදේශීය සභා යාන්ත්‍රණයක් අවශ්‍ය බවය.

මේ අතර ලබන සතියේ එනම් අප්‍රේල් 07 වැනිදායින් ඇරඹෙන සතියේ යළිත් වරක් අපේ දේශපාලනය බෙහෙවින් උණුසුම් කරන කතිකාවක් ද සිදුවීමට නියමිතය. ඒ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදයයි. ලබන 8 වැනිදා හෝ 9 වැනිදා එය ඇරඹෙනු ඇත. මෙය මෙරටේ අතීත දේශපාලනයේ ප්‍රචණ්ඩ හා භීෂණත්වය පිළිබඳ ආවර්ජණයක් වනු නිසැකය. කාලය විසින් වසන ලද හෝ නිහඬ කරන ලද කෲරත්වයක අශ්ලීල මතක පිළිබඳ වේදනාවක් හා වෛරී ප්‍රතිචාර ද මෙහිදී මතුවීම වළක්වා ගත නොහැකි වනු ඇත. සමහර රැඩිකල් කණ්ඩායම් දැනටමත් රනිල්ට දඬුවම් කරනු වැනි සටන් පාඨ ලෙළවමින් සිටිති. රනිල්ට මෙන්ම ඒ තත්ත්වයට රට ඇද දැමූ අයට ද දඬුවම් දෙනු යන ඉල්ලීම ද තවත් පිරිසක් කරති. රාජ්‍ය විරෝධී ප්‍රචණ්ඩත්වය මෙන්ම රාජ්‍යයක් විසින් එබඳුම ප්‍රචණ්ඩත්වයක් භාවිත කිරීම මේ ක්‍රියාදාමය තුළ තිබේ. නිර්දය ලෙස පීඩනයට හා ඝාතනයට ලක්වීම් දෙපාර්ශ්වයකින්ම සිදු වී තිබේ. ඒ දේශපාලන විනාශය රටේ යහපතට දුන් පණිවිඩය කුමක්ද? ඒ අනුව සමාජ දේශපාලනය ප්‍රතිසංස්කරණයකට ලක්ව තිබේ ද? යන්නත් මෙහිදී අවධානයට ලක්විය යුතුය. බටලන්ද කොමිසමේ වාර්තාව අමතක කළ ආකාරය පිළිබඳව ජවිපෙට ද චෝදනාවක්ද ඇත. එහෙත් යුක්තිය හා පිළිගැනීම යනු අන්ත දෙකකි. ඇත්තටම බටලන්ද විවාදයේ අපේක්ෂාව බවට පත් විය යුත්තේ එබඳු අන්තයකට නොවැටී සංහිඳියාවකට යොමු වීමය. තරුණ පරපුරේ අයිතිය බලයෙන් යටපත් කළ රාජ්‍ය යාන්ත්‍රණයක් පිළිබඳ සිරුර ලොමු දැහැගන්වන අඳුරු සෙවණැලි යළි යළිත් ආවර්ජනයක් මෙහිදී සිදුවනු ඇත. එහෙත් අද අප එකඟවන්නේ මානුෂීය මූලධර්ම මත පදනම් වූ අවබෝධාත්මක සමාජයක් බල ගැන්වීමය. ප්‍රභූතන්ත්‍ර හා වැඩවසම් දේශපාලනයක් ස්ථිරවම පවත්වා ගැනීමට උචිත වාතාවරණයක් සකස් කළ අශිෂ්ට ම්ලේච්ඡ කණ්ඩායම්වලට තවදුරටත් මේ දේශපාලන සංස්කෘතිය තුළ අවකාශයක් නැති බව අද ඒ ක්‍රියාකාරකම් සාධාරණ කළ අය ද වටහා ගෙන සිටිති.

එහෙත් ඔවුහු ඒ අශිෂ්ටත්වය මෘග ප්‍රතිචාර්යක් ලෙස පිළිගැනීම වෙනුවට තමන්ගේ නිදොස් බවට වාද කරති. බටලන්ද කොමිෂන් වාර්තාව තමන්ට රිසි පරිදි අර්ථකථනය කරමින් ඔව්හු තවමත් පිළිබිඹු කරන්නේ තම චර්යාධාර්මික බංකොළොත් භාවයම විය නොහැකිද? එයට පිළිතුරු දිය හැක්කේ පාර්ලිමේන්තුවේ කෙරෙන විවාදය දෙස බැලීමෙන් පසුවය.

අවසන් වසයෙන් සඳහන් කළ යුතු හිටපු පොලිස්පති දේශබන්දු පිළිබඳව ද ලබන සතියේ යම් පියවරක් ගනු ඇතැයි සිතිය හැක. ඉකුත් 03 වැනිදා යළි මාතර අධිකරණය දේශබන්දු ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර ඇත. එසේම හිටපු ඇමැති ටිරාන්ගේ ප්‍රකාශය ඇතුළු තවත් පියවර කීපයක් ගැනීමට තිබෙන බව ද සීඅයිඩීය අධිකරණයට දන්වා තිබුණි. කුමක් වුවත් ලබන සතිය දේශපාලන වසයෙන් උණුසුම් වනු නිසැකය.


advertistmentadvertistment