මහාභාණ්ඩාගාරයේ, මුදල් අමාත්‍යාංශයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් හා විෂය භාර අමාත්‍යවරයා සහල් ප්‍රශ්නයට වගකිව යුතුයි
– ජාතික ගොවින එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්
වත්මන් ජනපතිවරයා ඡන්ද සටනට බහින්නේ මෙරට හාල් මාෆියාවට කෙසේ හෝ තිත තබා රටේ ජනතාවට සහනදායී මිලට සහල් ලබාදෙන බවට පවසමිනි. පසුගිය දිනවල ජනපතිවරයාගේ මැදිහත්වීම මත මෙරට මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් ඇතුළු රටේ සමස්ත සහල් තොග රැස්කරන්නන් සතු සමස්ත තොග ප්‍රමාණය පිළිබඳ සියලු තොරතුරු පාරිභෝගික අධිකාරිය මගින් පරීක්‍ෂා කළේය. එසේ කරද්දී වැඩිදෙනකු කියන්නේ මෙවැනි සංදර්ශන මීට පෙර ආණ්ඩු මගින්ද කළ බව ය. දැන් කවුරුත් බලා සිටින්නේ වත්මන් ජනපතිවරයාගේ මැදිහත්වීම මත ඉදිරියේදී සහල් මාෆියාව මෙරටින් තුරන් කර අඩු මිලට හාල් කන්නට ය. එහෙත් අද වන විට වෙළෙඳ පොළ තුළ ද දැඩි සහල් හිඟයක් ඇති වී ඇත්තේ නාඩු සහල් පවා එහි නොතිබීමෙනි.
වී මිල ඉහළ නිසා කුඩා හාල් මෝල් වහලා
රටේ සහල් හිඟයක් තිබියදී කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් රැසක සහල් නිෂ්පාදන කටයුතු නතර කර ඇතැයි මරඳගහමුල සහල් වෙළෙඳුන්ගේ සංගමයේ සභාපති බී. කේ. රංජිත් පවසයි. ඔහු කියන්නේ දිනෙන් දින වී මිල ඉහළ යන බැවින් එම මිලට වී මිලදී ගෙන සහල් නිපදවා රජය පනවා තිබෙන පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි වීම එයට හේතුව බවය. ඔහු ඉල්ලා සිටින්නේ නාඩු වී හිඟයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසන්නේ නම් වී මෝල් හිමියන්ට නාඩු වී සොයා දෙන ලෙසය. ඔහු ලේකම්වරයාගේ ප්‍රකාශයට එල්ල කරන්නේ චෝදනාවකි. ඔහුගේ චෝදනාව වන්නේ ලේකම්වරයා වී හිඟයක් නැතැයි කියන්නේ මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව බවත්, පසුගිය කන්න වලට මහා පරිමාණ මෝල් හිමියන් ගබඩාවල රැස්කර ඇති නාඩු වී තොග දෙස බලා ගත් තීරණ බවය. දැනට පවතින මිලට වී මිලදී ගෙන සහල් නිපදවා වෙළෙඳපොළේ විකිණීමට කටයුතු කළහොත් සහල් කිලෝවකින් රුපියල් 14ක පාඩුවක් වන බවද ඔහු කියන්නේ ය. එහෙත් සහල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ පවසන්නේ වී මෝල්වල තිබෙන සහල් තොග සම්බන්ධව වාර්තාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනපතිවරයා විසින් ඊට විසඳුමක් ලබාදීමට නියමිත බවය. එහෙත් මෙරට සහල් අවශ්‍යතාවයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සපයන කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට කුඩම්මාගේ සැලකිල්ල බව ඔවුන් නගන චෝදනා වලින් පැහැදිලිය. මෙරට සහල් ඒකාධිකාරිය පවත්වාගෙන යන මහා පරිමාණ මෝල්හිමියන්ගේ ඒකාධිකාරිය පළමුව බිඳ හෙළිය යුතු බවද කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ කියති. ඔවුන් එසේ කියන්නේ පාලනය කර ගැනීමට නොහැකි මට්ටමටම රට තුළ පවතින සහල් මිල ඉහළ යෑම හා සහල් හිඟයක් ඇති කිරීමට තරම් පෞද්ගලික මහා පරිමාණ සහල් හිමියන් ඒකාධිකාරියක් පවත්වාගෙන යන තරමටම රජයේ වී මිලට ගැනීමේ ක්‍රියාවලිය අක්‍රමවත් බවය.
එදත් අදත් බැට කන හාල් ප්‍රශ්නය
සුළු හා මධ්‍ය පරිමාණ මෝල් පවතින්නේ දාහකටත් අඩු ප්‍රමාණයක්. හේතුව මීට පෙර රජයන් ගත් අයහපත් තීන්දු තීරණ
ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සමිතියේ උපසභාපති රුවන් වික්‍රමආරච්චි
මෙරට වී මිල හා සහල් ප්‍රශ්නය අදක ඊයේක ඇතිවූවක්ද නොවේ ය. මෙතෙක් බලයට පැමිණි සෑම රජයන්ම සිය මැතිවරණ සටන් පාඨය කරගන්නේ ද ජනතාවට සහල් ඇතුළු අනෙකුත් භාණ්ඩ සහන මිලට ලබාදෙන බවට ය. මේ දක්වා රටේ පැවැති සෑම රජයක්ම මේ සඳහා විවිධ වැඩපිළිවෙළවල් සේම යෝජනා ද ගෙන ආවේය. වී මිල සහ සහල් මිල සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම ද ඒ ඒ කාලයන්හි පවතින දේශපාලන කාරණාවක් බවට සීමා විය. එහෙත් එදා සිට මේ දක්වාම ලංකාවේ සහල් ප්‍රශ්නය සඳහා සැබෑ විසඳුමක් ලැබී නැත. නව ජනාධිපතිවරයාට සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයකු වන හර්ෂ ද සිල්වා විසින් පසුගියදා කියන්නට වූයේ මෙරට සහල් මාෆියාව බිඳිය හැකි ක්‍රමය තමන් දන්නා බවත් එය ක්‍රියාත්මක කරන අන්දම තමන් ඕනෑම වේලාවක ජනපතිවරයාට ඉදිරිපත් කිරීමට තමා සූදානම් බවය. ඔහුගේ කතාවේද හරය මෙරට සහල් මාෆියාව බිඳීමට නම් ශක්ති සමුපකාර සහල් මෝල් ක්‍රමය ශක්තිමත් කිරීමෙන් මෙරට අතොලොස්සක් වූ මහා පරිමාණ මෝල් හිමියන් පවත්වාගෙන යන සහල් ඒකාධිකාරිය බිඳිය හැකි බවයි.
පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මෙරට ප්‍රධාන පෙළේ මහා පරිමාණ වී මෝල් හිමියකු කියන්නේ අපූරු කතාවකි. ඒ ‘වත්මන් ජනපතිවරයා කියන අන්දමටම තමන් අද සිට රජයේ පාලන මිලට සහල් දීමට සූදානම්’ බව ය. දැන් මේ කතාව අපේ රටේ බොහෝ දෙනකුට කට පාඩම් ය. ඔහු මෙම ප්‍රකාශය සිදුකරන පළමු අවස්ථාව නොවන බවද මෙතෙක් පැවැති සියලු ආණ්ඩු බලයට පත්වූ අවස්ථාවන්හි ඔහු මේ ආකාරයෙන්ම මෙම වාක්‍ය කණ්ඩයම ගිරවෙක් මෙන් කියූ බව අපට මතක ය. එහෙත් අද වන විට මෙරට සහල් මාෆියාවේ අඳුරු පැතිකඩට රටේ පාරිභෝගික ජනතාව ගොදුරු වී අවසන්ය.
උඩ යන හාල් මිල
මේ වනවිට හාල් මිල දිනෙන් දිනම ඉහළ යන්නට වූයෙන් අද පාරිභෝගිකයින් වෙළෙඳපොළේ සහල් දෙස බලා සුසුම්හෙළන තත්ත්වයක් ඇතිවී ඇත්තේ මෙතෙක් කලක් ඉහළ ගිය සහල් මිලේ උපරිමය දක්වා වැඩිවී ඇති හෙයිනි. රතු කැකුළු කිලෝවද රුපියල් 220 කි. නාඩු කිලෝවද රුපියල් 230 කි. සුදු කැකුළු කිලෝව 225 කි. සම්බා කිලෝව රුපියල් 235 කි. කීරි සම්බා කිලෝව රුපියල් 280 කි. මේ වෙළෙඳ පොළේ හාල් මිලේ දැන් තත්ත්වය ය. එහෙත් කන්න දෙකක වී අස්වැන්න නෙලා ඇති මේ කාලය තුළ සහල් මෙතරම් මිල ඉහළ ගියේ කෙසේද? එය ඇත්තටම සිදුවූයේ කෙසේ දැයි සොයා බැලිය යුතුය.
හාල් මාෆියාව අද ඊයේ ඇති වූවක් ද?
දැන් වී තියෙන්නේ මහා පරිමාණ මෝල්හිමියන් ළඟ ඒ අය හැමදාම කරන්නේ අස්වැන්න නෙළන කාලයට වී ටික අඩුවට අරන් අවශ්‍ය විදිහට සහල් මිල පාලනය කිරීම
කුරුණෑගල දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතියේ හිටපු සභාපති රූපසිංහ
මෙතෙක් මෙරට බලයට ආ සෑම රජයකම දේශපාලන පොරොන්දු ගොන්නේ ‘වී සඳහා සහතික මිලක් ලබාදීම’ තිබුණේ ලියවිල්ලකට පමණක් සීමාවය. වී මිලදී ගැනීම පිළිබඳව ඉතිහාසය දෙස හැරී බැලීමේදී මීට වසර හතරකට පෙර සිදුවූ සිදුවීම් නැවතත් මතකයට ගෙන ඒම වටිනේ ය. එනම් 2020 දේශපාලන පොරොන්දුවක්ද වූ වී සඳහා සහතික මිලක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ රජයට, සිය වී තොග අලෙවි කිරීමේ හැකියාවක් නොතිබූ පසුබිමක ඒ සඳහා පිළියමක් ලෙස රජය විසින් වී අලෙවි මණ්ඩලයේ සහායට වී මිලදී ගැනීම සඳහා යුද හමුදාවද යෙදවූ හැටි අපට මතක ය. එකල පාරිභෝගික අධිකාරිය හා යුද හමුදාවද කියන්නට වූයේ මින් පසු රට තුළ සහල් මාෆියාවට ඉඩ නොතබන බවත් රටේ පවතින සියලුම සහල් තොග පිළිබඳ දත්ත ඔවුන් සතුව තිබෙන බව ය. එහෙත් අවසානයේ සිදුවූයේ රජය මගින් පනවන ලද උපරිම සහතික මිල සඳහා මහා පරිමාණ සහල් මෝල් හිමියන් එකඟ නොවීම නිසා නැවත රජයට මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් පනවන ලද මිල උපරිම සිල්ලර මිල ලෙස පිළිගන්නට ය. එකල සහල් විදෙස් රටවලින් ගෙන්වීමට රජයට අවශ්‍ය නොවන පරිදි රට තුළ වී තිබුණද රජයට සහල් මිල මෙන්ම වී මිලදී ගැනීමේ මිල පාලනය කිරීමට නොහැකි වීමෙන් එවක වී නිෂ්පාදනයෙන් 94% කට වැඩි ප්‍රමාණයක් මිලදී ගත්තේ ද පෞද්ගලික වී මෝල් හිමියන් ය. එදා සිටම රට තුළ වී අස්වැන්න අඩුවක් නොවුනද සහල් මිල ඉහළ යන්නට ප්‍රධාන හේතුව වූයේ වී මිලදී ගැනීමේ බහුතරය රජයේ පාලනයෙන් බැහැර වීමය.
ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කියන්නේද මෙරට සහල් ඒකාධිකාරිය තවමත් මහා පරිමාණ මෝල් හිමියන් අත බවය. ඔහු කියන්නේ පවතින සහල් මිල හා හිඟය මෙරට මහා පරිමාණ මෝල් හිමියන් කාලයක සිටම පුරුද්දකට මෙන් කරන්නක් බවය.
“2015 වෙනකම්ම කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් පද්ධතියෙන් තමයි මේ රටේ සහල් අවශ්‍යතාවයෙන් 70% ක්ම පිරිමැසුවේ. අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් මිලියන 2.8 ක් වගේ. ඒත් අද කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් වැසී යමින් තිබෙන්නේ. මේ තත්ත්වයට වැටෙන්න මහා භාණ්ඩාගාරයේ ඇතැම් නිලධාරීන් සෘජුවම වගකියන්න ඕනෑ. මුදල් අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ද වගකිව යුතුයි. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ද මේකට සම්බන්ධයි. අදාළ විෂය භාර අමාත්‍යවරයා සහ ඇමැතිවරුන් මේ තත්ත්වයට වගකිව යුතුමයි. එයට හේතුව මේ රටේ අස්වනු නෙළන කොට වී මිලදී ගන්න සහතික මිලක් ආණ්ඩුව මගින් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් නියම කරනවා. පසුගිය කාලය පුරාම කළේ වී අස්වනු නෙළා අවසන් වූ පසු මාස කිහිපයක් ගියාට පස්සේ වී අස්වැන්නෙන් 80%ක් විකුණුවාම තමයි ආණ්ඩුව සහතික මිල නියම කරන්නේ. නැත්නම් ආණ්ඩුව සහතික මිල නියම කරනවා හැබැයි භාණ්ඩාගාරය වී අලෙවි මණ්ඩලයට රජයේ වී මිලදී ගැනීමට අවශ්‍ය මුදල් ටික වෙන්කරන්නෙ නෑ. ඒකයි මම කියන්නේ මහා භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ හිතාමතාම ඇතැම් නිලධාරීන් මේක කල්දමා කුණු කොල්ලයට ගොවියාගේ වී ටික මහා පරිමාණ මෝල් වලට මිලදී ගන්න ඉඩ සලසන එක. කුඩා මෝල්හිමියන්ට වී මිලදී ගැනීමට බැංකු පද්ධතියෙන් ණයක් ගැනීම පනවන කොන්දේසිත් ඉතා වැඩියි. එහෙම දෙන කෙටි කාලීන මධ්‍ය පරිමාණ ණය දෙන්නෙත් වැඩි පොළියට. බැංකු පද්ධතියත් මේකට වගකියන්න අවශ්‍යයි. මහා පරිමාණ මෝල් හිමියන්ට අවශ්‍ය වෙළෙඳපොළ තුළ සහල් මිල පාලනය කිරීමේ බලය තමන් අතට ගන්න. ඔවුන් කරන්නේ බූවල්ලාගේ ක්‍රියාවලියක්. රටේ වගකිවයුතු තැන් පවා මහා පරිමාණ මෝල්හිමියන් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. මහා පරිමාණ මෝල්හිමියන්ට වී මිලදී ගන්න ණය ලබාදෙන්නේ 1% කට වගේ රුපියල් බිලියන ගණනින්. කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ණය දෙන්නේ 20% පොළියට. එහෙම අරගෙන සහල් කර්මාන්තයේ නියැලෙන එක විශාල පාඩුවක්. මේක තවම කවුරුවත් හෙළි කළේ නෑ. රජයේ වී අලෙවි මණ්ඩලයට කරන්නේ රජයේ භාණ්ඩාගාරයේ මුදල් හිඟ බව පෙන්වමින් මුදල් වෙන්කරන්නට කල්ගන්නවා. මේක අලුත් ජනාධිපති ආපු ගමන් ඇතිවෙච්ච අර්බුදයක් නොවෙයි. දැන් මේක අවුරුදු දහයක ඉඳන් කරගෙන යන දෙයක්. අපේ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හත්දහසකට ආසන්න ප්‍රමාණයක් තිබුණා. අද වෙනකොට එයින් පන්දහසක් විතර වැහිලා.”
ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සමිතියේ උපසභාපති රුවන් වික්‍රමආරච්චි කියන්නේද මෙරට සහල් හිඟය බලපා ඇත්තේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් වැසී යාම හා මෙතෙක් කාලයක් රටේ පාලකයින් ගත මෝඩ තීන්දු තීරණ නිසා බවය.
“සුළු හා මධ්‍ය පරිමාණ මෝල් මේ වන විට වැසී යමින් පවතින්නේ. මේවන විට සුළු හා මධ්‍ය පරිමාණ මෝල් පවතින්නේ දාහකටත් අඩු ප්‍රමාණයක්. එයට හේතුව මීට පෙර රජයන් ගත් අයහපත් තීන්දු තීරණ නිසා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ගැටලුවලට මුහුණ දීම. දැන් ඔවුන් වී ගන්න ගත් ණය ගෙවාගන්න බැරිව ඔවුන්ට විරුද්ධව බැංකු නීතිමය පැතිවලට පවා ගිහින් තියෙන්නේ. දැන් බැංකු වලින් ණය පහසුකමක් වත් ගන්න බැහැ. සහල් ව්‍යාපාරයේ වැඩිම මුදලක් යන්නේ අමුද්‍රව වලට. ඒත් හැම අවුරුද්දේම මහා පරිමාණ ව්‍යාපාරිකයින් තමන්ගේ අවශ්‍යතාවයටත් වඩා වැඩියෙන් වී ගබඩා කර ගන්නවා. ඒ අයට රාජ්‍ය අනුග්‍රහය තිබෙනවා. බැංකු වලින් වැඩි ප්‍රතිලාභ ලබාදෙනවා. නිසි වෙලාවට ණය පහසුකම් ලැබෙනවා. ඒ අය කරන්නේ රටේ දේශපාලන අධිකාරියේද උදව් ඇතිව තමන්ගේ අවශ්‍යතාවයට අවශ්‍ය වී ටික ගබඩා කරගන්න එක. මෙතෙක් කල් රජයේ සහල් අර්බුදයක් එනකොට රටේ ජනපතිවරයා ඊට තීන්දු ගන්න කරුණු විමසන්නෙ මහා පරිමාණ මෝල් හිමියන්ගෙන්. ඒක ලොකු වැරැද්දක්. ඒ අය රජයට අවශ්‍ය කරන දත්ත දෙන්නේ තමන්ගේ කර්මාන්තයේ ලාභය උපයෝගී කරගෙන. එකතකොට සුළු හා මධ්‍ය පරිමාණ මෝල්හිමියන්ට වෙන්නේ ආණ්ඩුවේ පාලන මිලට හාල් දෙන්න ගිහින් තවත් අමාරුවේ වැටෙන එක. ඇත්තටම ආණ්ඩුවට යන්නේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල්හිමියන්ගේ අදහස් නොවේ. ඒත් වර්තමාන ජනපතිවරයා ඒක අඳුරගෙන තියෙන්නේ. මොකද සුළු හා මධ්‍ය පරිමාණ මෝල්හිමියන්ගේ දායකත්වය මත තමයි සමතුලිත තාවයක් වෙළෙඳපොළේ ඇතිවෙන්නේ.
කුරුණෑගල දිස්ත්‍රික් සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සමිතියේ හිටපු සභාපති රූපසිංහටත් කියන්නට ඇත්තේ සහල් මාෆියාව අදක ඊයෙක් නොවූ බවකි. ඔහු කියන්නේද සහල් මිල මෙතෙක් පාලනය කළ මහා පරිමාණ මෝල්හිමියන්ගේ මාෆියාව බිඳීමට මෙතෙක් පත්වූ කිසිම ආණ්ඩුවක් සමත් නොවූ බව ය.
“දැන් වී තියෙන්නේ මහා පරිමාණ මෝල්හිමියන් ළඟ. ඒ අය හැමදාම කරන්නේ අස්වැන්න නෙළන කාලයට වී ටික අඩුමිලට අරගෙන තමන්ට අවශ්‍ය විදිහට සහල් මිල පාලනය කිරීම. මෙතෙක් පැවැති හැම රජයක් එක්කම එයාල තමන්ගේ ව්‍යාපාරය පාඩුවේ කරගෙන ගියා. පොඩි මෝල් හිමියන්ට වී ගන්න දෙන ණය පහසුකමත් බැංකු වල මාෆියාවක්. මොකද මහා පරිමාණ වී මෝල් හිමියන්ට තමයි බැංකු ණය මුලින්ම ලැබෙන්නේ. ඒ අය ඇතිවෙන්න ගබඩා කර ගත්තට පස්සේ තමයි කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට ණය ලැබෙන්නේ. මහා පරිමාණ වී මෝල් හිමියා කරන්නේ අඩුමිලට වී ටික මිලදී ගෙන වෙළෙඳපොලේ වී මිල ඉහළ යැවීමයි. කුඩා පරිමාණ මෝල් හිමියට වෙන්නේ වැඩි මුදලට වී ගන්න. වී අලෙවි මණ්ඩලයක් රටේ තිබුණට වී ගන්න බෑ. මෙවර අස්වැන්න නෙළන කොට කීරි සම්බා වී ගත්තේ 90-100 අතර මිලකට. නාඩු වී ගත්තා 115කට විතර. ඒත් දැන් වෙළෙඳ පොළේ හාල් ගණන්. ඒක අසාධාරණයි.”
වී මෝල් හිමියන් කියන පරිදි අපේ රටේ මෙතෙක් සහල් මිල තීරකයා වූයේ මහා පරිමාණ මෝල් හිමියෝය. එසේ සහල් ඒකාධිකාරිය පවත්වාගෙන යන බොහෝ අය සිටියේද පසුගිය ආණ්ඩු සමඟ ය. අපේ රටේ ජනයා ඡන්දය දී අලුත් ආණ්ඩුවක් පත්කරගත්තේද මෙවැනි ප්‍රශ්න හැකි ඉක්මනින්ම විසඳා ගැනීමට ය. වත්මන් ජනාධිපතිවරයා කෘෂිකර්ම වෙළෙඳ අමාත්‍යාංශය සහ වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වන්නේ කෙසේ හෝ වෙළෙඳපොළේ සහල් හිඟය හා එහි මිල පාලනය කරන්නට ය. ඉදිරියේදී ද කොතරම් බාධා පැමිණියත් රටේ සහල් මාෆියාව බිඳිය යුතුමය. නැතහොත් රටේ මිනිසුන්ගේ බත් පත ඔවුන්ට නිසැකවම අහිමිවනු ඇත.
රමින්ද මාවතගේ