අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් නීතිඥවරයකු කැඳවීමත් සමග ශ්‍රී ලංකා නීතිඥ සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව යෝජනාවක් සම්මත කර ගැනීමට යන බවට ඇතැම් මාධ්‍ය පසුගිය සතියේ වාර්තා කර තිබිණි. ඒ සමග අල්ලස් කොමිසම ගැන ලොකු කතාබහක් ඇති විය. මේ ලිපිය ඒ ගැනයි.
එදා 2024 සැප්තැම්බර් 26 වැනිදා ය. පොලිස් නිලධාරියකු විසින් අල්ලසක් ලෙස අරක්කු බෝතලයක් ලබා ගන්නා බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තොරතුරක් ලැබිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය එදින පස්වරු 1.35ට සහ 1.50ට දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. කොමිසම අධිකරණයට කරුණු වාර්තා කර ඇති පරිදි එක් සැකකරුවකු පොලිස් සැරයන්වරයෙකි. අනිත් සැකකරු පිරිසිදු කිරීමේ සේවා ආයතනයක කම්කරුවෙකි. අල්ලස් කොමිසම මේ දෙදෙනා අත්අඩංගුවට ගත්තේ අලුත්කඩේ අංක 07 අධිකරණ පරිශ්‍රය තුළදී ය.
මෙම අත්අඩංගුවට ගැනීම ගැන 2024 සැප්තැම්බර් 30 වැනිදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවියේ ද පළ කළේය. එම පළ කිරීම මෙසේය.
‘පස්සර ප්‍රදේශයේ පුද්ගලයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පැමිණිලිකරු බස්නාහිර පළාත (දකුණ) දිසා රථවාහන කොට්ඨාසයේ, බත්තරමුල්ල ඒකකයට අනුයුක්තව සිටිය දී රථවාහන සම්බන්ධයෙන් වැලිකඩ පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරියේ යෙදී සිටි කාලය තුළ සිදු කරන ලද බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, පොලිස් දෙපාර්තමේන්තුව මගින් පිරිනමනු ලබන ත්‍යාග මුදල් ලබාගැනීමට ඉදිරිපත් කරනු ලබන ත්‍යාග වව්චර්පත් උසාවි කටයුතු භාර නිලධාරියාගේ අත්සන සහ නිල මුද්‍රාව තබා සම්පූර්ණ කර ලබාදීමට අල්ලස් වශයෙන් තුටු පඬුරක් ලෙස රුපියල් 3640/- ක් වටිනා අරක්කු බෝතලයක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ සහ එම තුටු පඬුර ඉල්ලා ලබාගැනීමට ආධාර අනුබල ලබා දීමේ චෝදනාව මත කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ, පොලිස් සැරයන්වරයකු සහ පිරිසිදු කිරීමේ සේවා ආයතනයක, පිරිසිදු කිරීමේ කම්කරුවකු 2024.09.26 වන දින ප.ව. 1.50 ට සහ ප.ව.1.35ට පමණ කොළඹ අළුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණ අංක 07 අධිකරණ පරිශ්‍රය තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
සිද්ධියට අදාළ පැමිණිල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ යද්දී සැකකාර පොලිස් නිලධාරියා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා සඳහන් කළේ මෙම අල්ලස් ගැනීමේ සිද්ධිය බොරුවක් බවයි. ඒ බව සනාථ කිරීමට හැකි සාක්කිකරුවකු සිටින බව නීතිඥවරයා කීවේය. ඉන් පසු නීතිඥවරයා දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කළේය. ඔහු අධිකරණය අසල ඇති වාහන නැවතුම්පළක ටිකට් කඩන පුද්ගලයෙක් විය. දිවුරුම් ප්‍රකාශය ලබා දුන් පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට අධිකරණයේ අවසරය ලැබිණි. ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමේදී අනාවරණය වී ඇත්තේ දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගතය ගැන තමා කිසිවක් නොදන්නා බවයි.
ඒ අනුව දිවුරුම් පෙත්සමේ දිවුරුම් කොමසාරිස් කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීමේදී අනාවරණය වී ඇත්තේ එම නීතිඥවරියගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා විසින් ලබා දෙන ලෙස ලේඛනයකට අත්සන් කළා මිස එහි අන්තර්ගතය හෝ එය අත්සන් කළ පුද්ගලයා විසින් ලබා දුන් තොරතුරු මත එය සකස් කළාද යන්න හෝ නොදන්නා බවයි. විමර්ශනයේ ඊළඟ පියවර වී ඇත්තේ එම කණිෂ්ඨ නීතිඥවරියට දිවුරුම් ප්‍රකාශය අත්සන් කරන ලෙස ගෙනත් දුන් ජ්‍යෙෂ්ඨ නීතිඥයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමය. ඒ අනුව එම ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත කැඳවීය.
අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිඥවරයකු සහ සේවාදායකයකු අතර ඇති රහස්‍ය සන්නිවේදන ගැන කරුණු විමසන බවට ප්‍රචාරය වන්නට පටං ගත්තේ ඒ සමගය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කරන බවත්, අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂවරයා ඉවත් කළ යුතු බවට එම යෝජනාව සම්මත කර ගැනීමට යන බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජිව් අමරසූරිය මහතාගෙන් විමසීමේ දී ඔහු ප්‍රකාශ කළේ එවැනි යෝජනා සම්මතයක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් සිදු නොකළ බවයි.‘
‘ශ්‍රී ලංකා නීතිඥ සංගමය විදිහට එහෙම යෝජනා සම්මතයක් කළේ නෑ. ඒ කතාව වැරදියි. පොදුවේ නීතිඥවරයකු සහ සේවාදායකයකු අතර ඇති වරප්‍රසාදිත සංනිවේදනය ගැන මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා නීතිඥ සංගමයෙන්. ඒකත් රංග දිසානායක මහතා ඉලක්ක කරගෙන කළේ නෑ” යැයි අමරසූරිය මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කර ගෙන තිබිණි. මහෙස්ත්‍රාත් උසාවි නීතිඥ සංගමයේ උප සභාපතිවරයා යටතේ නීතිඥ සංගමය රැස්වූ අතර මහෙස්ත්‍රාත් උසාවියේ නඩුවේ සැකකරුගේ නීතිඥවරයා කැඳවා ප්‍රශ්න කිරීමට පැමිණිල්ලට නොහැකි බවට සාකච්ඡා වී තිබිණි. අදාළ නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ සැකකරු ලබා දුන් දිවුරුම් ප්‍රකාශයක් බවත්, එම දිවුරුම් ප්‍රකාශය ඔහුට ලබා දී ඇත්තේ නඩුවේ සැකකරු බවත්, ඇප ගැනීමේදී ඉදිරිපත් කළ එම දිවුරුම් ප්‍රකාශය ලබාදීම ගැන අල්ලස් කොමිසමට ප්‍රශ්න කළ නොහැකි බවත්, අල්ලස් කොමිසම සිදු කළ යුතුව තිබුණේ එය ශ්‍රේෂ්ඨාධිකරණයට හෝ වෙනත් සුදුසු තැනකට යොමු කිරීම බවත් කොළඹ මහෙස්ත්‍රාත් උසාවියේ නීතිඥ සංගමයේ සාමාජිකයෙක් පැවසීය. නීතිඥවරයා අල්ලස් කොමිසමට කැඳවීම අත්හිටුවමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් නිකුත් කර ඇති බව ද ඔහු පැවසීය.
කොළඹ මහෙස්ත්‍රාත් උසාවියේ නීතිඥ සංගමය අදාළ නඩුව මෝසමක් මගින් කැඳවා මේ ගැන මහෙස්ත්‍රාත් අධිකරණය දැනුවත් කර ඇති අතර ඒ අනුව අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අල්ලස් කොමිසම වෙත නොතීසි නිකුත් කර තිබේ.
අල්ලස් නීතිය ගැන ප්‍රාමාණික දැනුමක් ඇති නීතිඥවරයකුගෙන් මෙම සිදුවීම ගැන විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ දූෂණ විරෝධී පනත අනුව ඕනෑම කෙනකු කැඳවා ප්‍රශ්න කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට නෛතික බාධාවක් නොමැති බවයි. එම පනතේ 145 වැනි වගන්තිය යටතේ තොරතුරු ලබා දීම සඳහා වන නීතිමය බැඳීම ගැන සඳහන් කර ඇතැයි නම ප්‍රසිද්ධ කිරීමට අකමැති වූ එම නීතිඥවරයා කීවේය. අදාළ පනතේ 145.1 වගන්තියේ මෙසේ සඳහන් වේ.
‘මේ පනත යටතේ පරීක්ෂා කිරීම කොමිෂන් සභාවේ කාර්යය වන්නේ යම් කාරණයක් සම්බන්ධයෙන්ද, එවැනි යම් කාරණයක් සම්බන්ධයෙන් යම් තොරතුරක් ලබා දෙන ලෙස කොමිෂන් සභාව විසින් නියම කරනු ලැබ ඇත්තා වූ ද එකී තොරතුරු ලබාදීම තම බලයේ පවත්නා වූ ද සෑම තැනැත්තකුම ඒ තොරතුර ලබාදීමට නීතියෙන් බැඳී සිටින්නේය.’
145.2 වගන්තියේ සඳහන් වන්නේ රහස්‍ය භාවය සම්බන්ධයෙන් වෙනත් නීතියක සඳහන් විධිවිධාන මේ නීතියට අදාළ නොවන බවයි.
‘වෙනත් යම් ලිඛිත නීතියක්, එකඟතාවක්, ගිවිසුමක් මගින් හෝ අන්‍යාකාරයකින් නියම කරන ලද රහස්‍යභාවය සම්බන්ධයෙන් වන බැඳීමක් හෝ තොරතුරු හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් වන වෙනත් යම් සීමාවක් නොතකා, යම් තැනැත්තකු විසින් 1 වන උප වගන්තියේ විධිවිධානවලට අනුකූලව කටයුතු කරනු ලැබිය යුතුය’ යනුවෙන් පනතේ සඳහන් වේ.
එසේම පනතේ 128 වගන්තියේ සඳහන් වන්නේ පෙර සඳහන් කළ 145 වැනි වගන්තියේ විධිවිධාන කඩ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි. ඊට දඬුවම ලෙස වසර හතක් නොඉක්මවන කාලයක් සඳහා සිරදඬුවම් සහ රුපියල් මිලියනයක් නොඉක්මන දඩයක් නියම කිරීමට මහෙස්ත්‍රාත්වරයකුට බලය ලබා දී තිබේ.
මෙම සිද්ධියේ දී අධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් එම දිවුරුම් ප්‍රකාශය ලබා දුන් පුද්ගලයාගෙන් විමසීමේදී තමන් එවැන්නක් නොදන්නා බවත්, දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගතය ගැන නොදන්නා බවත්, නීතිඥවරයකුගේ දැනුම්දීම මත ඊට අත්සන් කළ බවත් ප්‍රකාශ කරන්නේ නම් එය කූට ලේඛනයක් ද යන්න සොයා බැලීම විමර්ශන ආයතනයක වගකීමකි. දිවුරුම් ප්‍රකාශය ලබා දුන් පුද්ගලයා පසුව බොරුවක් කියන්නේද නැද්ද ගැන තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙන්නේ එම විමර්ශනයේදීය. සාක්ෂි ආඥා පනතේ 126 වැනි වගන්තියේ වරප්‍රසාදිත සන්නිවේදන ගැන සඳහන් කර තිබේ. එහි කිසිම තැනක නීතිඥවරයකු විමර්ශන ආයතනයකට කැඳවිය නොහැකි බවට සඳහනක් නැත. එහි ඇත්තේ සේවාදායකයාගේ අවසරයක් නැතිව අදාළ සන්නිවේදන ගැන හෙළිදරව් කිරීම කළ නොහැකි බවය. එම කොන්දේසි පනවා ඇත්තේ නීතිඥවරයාට මිස විමර්ශන ආයතනයට නොවේ. සාක්ෂි ආඥා පනතේ 126 වැනි වගන්තියේ පැහැදිලිවම එම හෙළිදරව් නොකර සිටීමේ කාරණයට අදාළ සීමාව සඳහන් කර තිබේ. කූට ලේඛන වැනි කාරණයක් සම්බන්ධයෙන් වන හෙළිදරව් කිරීම් එම වගන්තියෙන් සීමා කර නැත. හොර ඔප්පු සකස් කිරීම ඇතුළු වැරදිවලට මීට පෙර නීතිඥවරුන් අත්අඩංගුවට ගත් අවස්ථා ඕනෑ තරම් තිබේ.
සාක්කි ආඥා පනතේ වරප්‍රසාදිත සන්නිවේදන ගැන සඳහන් 126 වගන්තියේ මෙසේ සඳහන් වේ.
‘Provided that nothing in this section shall protect from disclosure’
(a) any such communication made in furtherance of any illegal purpose¦
(b) any fact observed by any advocate, proctor, or notary in the course of his employment as such, showing that any crime or fraud has been committed since the commencement of his employment’’
එසේම එම වගන්තියේ උදාහරණ දෙකක් ද සඳහන් කර තිබේ. එම උදාහරණ දෙක මෙසේය.
(b) A, a client” says to B, a proctor” ˜?I wish to obtain possession of property by the use of a forged deed” on which I request you to sue˜?’ This communication” being made in furtherance of a criminal purpose” is not protected from disclosure’
A, being charged with embezzlement” retains B, a proctor, to defend him’ In the course of the proceedings B observes that an entry has been made in Az account book charging A with the sum said to have been embezzled, which entry was not in the book at the commencement of his employment’ This being a fact observed by B in the course of his employment, showing that a fraud has been committed since the commencement of the proceedings, it is not protected from disclosure’’
මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ සංජීව ඇන්තනී මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා ප්‍රකාශ කළේ මෙම සිද්ධියට අදාළව ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කොමිසමට කැඳවීමේ ක්‍රමවේදයේ ගැටලුව පමණක් ප්‍රශ්න කළ බවයි. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාට එරෙහිව කිසිවක් සිදු නොකළ බව ඔහු කියා සිටියේය.
‘මේ සිද්ධියට අදාළ ලේඛනය (දිවුරුම් ප්‍රකාශය) විත්තියෙන් අධිකරණයට ඉදිරිපත් කළ එකක්. විත්තියෙන් ඉදිරිපත් කළ ලේඛනය ගැන උසාවියේ අවසරයක් නැතුව පැමිණිල්ලට පරීක්ෂණ පවත්වන්න බෑ. ඒ ගැන පරීක්ෂණ පවත්වන්න හෝ නීතිඥවරයා කැඳවන්න අධිකරණයෙන් අවසරයක් අරගෙන නෑ. අනික තමයි මේක අල්ලස් කොමිසමේ විමර්ශනයේදී ඉදිරිපත් වෙච්ච ලේඛනයක් නෙමේ. විත්තියෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනයක්. ඒක කූට ලේඛනයක් හරි මොකක් හරි කියනවා නම් ඒ ගැන විමර්ශනය කරන්න ඕන අල්ලස් කොමිසම නෙමේ. ඒ වගේම සාක්ෂි ආඥා පනතේ ප්‍රතිපාදන සහ ශ්‍රේෂ්ඨාධිකරණ රීති අනුව නීතිඥවරයකු සහ සේවාදායකයකු අතර වරප්‍රසාදිත සන්නිවේදනයක් ගැන ප්‍රශ්න කරන්න හැකියාවක් නෑ. මෙතන තියෙන්නේ ක්‍රමවේදයේ වරදක්. ඒ ක්‍රමවේදයේ වරද තමයි ප්‍රශ්න කළේ. ඒ ගැන තමයි අධිකරණය දැනුවත් කළේ. ලබන තුන් වැනිදාට අල්ලස් කොමිසමට පුළුවන් ඔවුන්ගේ ප්‍රතිචාරය උසාවියට දැනුම් දෙන්න. අපි කිසිම වෙලාවක රංග දිසානායක මහතාට විරුද්ධව වැඩ කළේ නෑ” යැයි නීතිඥ සංජීව ඇන්තනී මහතා කීවේය.
මෙම නීතිඥවරයාගේ සිදුවීම පාදක කරගනිමින් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතාට එරෙහිව විවිධ පාර්ශ්ව දැවැන්ත ප්‍රචාරයක් ගෙන යමින් තිබෙනු දක්නට ලැබේ. රංග දිසානායක මහතා කාලයක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා මෙන්ම කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස ද කටයුතු කළේය. නීතිය අකුරටම ඉටු කරන මහෙස්ත්‍රාත්වරයකු ලෙස ඔහු ප්‍රකටය. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරු කිහිප දෙනකුම සඳහන් කළේ මෙම නිශ්චිත සිද්ධිය දඩමීමා කර ගනිමින් රංග දිසානායක මහතා දඩයම් කිරීමට කිසියම් පාර්ශ්වයකට උත්තාසහයක් ඇත්නම් එය ව්‍යර්ථ කළ යුතු බවයි.
රංග දිසානායක මහාධිකරණ විනිසුරුවරයකු ලෙස උසස්වීමෙන් පසු මොණරාගල අතිරේක මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කරද්දී ඓතිහාසික තීන්දුවක් ලබාදීම නිසා ලොකු කතාබහකට ලක් විය. මැතිවරණ පෙත්සම් අංක 01/2018 යටතේ වූ නඩුවේ තීන්දුව ලබා දුන්නේ රංග දිසානායක මහතා විසිනි. මොණරාගල ප්‍රාදේශීය සභාවට මදුරකැටිය කොට්ඨාසයෙන් තේරී පත්වූ සභිකයකුගේ තෝරා පත්කර ගැනීම අත්හිටුවීමට මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා නියෝග කළේය. ඒ ඡන්දයට අදාළව දූෂණ ක්‍රියාවක් සිදුවී ඇතැයි තහවුරු වීම නිසාය.
රංග දිසානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්වූ පසු මෙතරම් කාලයක් යට ගහගෙන සිටි විමර්ශන යළි ආරම්භ කර ඇති බව පසුගිය කාලයේ කළ අත්අඩංගුවට ගැනීම්වලින්ද පෙනී යයි. හිටපු මැති ඇමැතිවරු කිහිප දෙනෙක් ද, හිටපු අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු උසස් නිලධාරීහු කිහිප දෙනෙක් ද පසුගිය කාලයේ අත්අඩංගුවට පත්වූහ. මෙම අත්අඩංගුවට ගැනීම් නිසා සමහරු කලබලවී ඇති බව ද පෙනේ. එම කලබලවී ඇති උදවිය පෙර සඳහන් කළ අල්ලස් සිද්ධියේ සැකකාර පොලිස් නිලධාරියාගේ නීතිඥවරයාගේ සිද්ධිය දඩමීමා කර ගැනීමට උත්සාහ කිරීම ගැන නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම වගකීමක් කර ගත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවබෝධ කරගෙන මේ අවස්ථාවේ රංග දිසානායක මහතා වෙනුවෙන් පෙනී සිටීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ වගකීමකි.
නීතිඥවරයා ගෙන්වීම ගැන ප්‍රතිචාරයක් ලබා ගැනීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කර ගැනීමට කොමිසමට ඇමතුම් ගත්තද ඔහු සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
තරිඳු ජයවර්ධන