(ජේ. ප්‍රැන්සිස් ඩේවිස් ‘ The Media Values’ නම් ග්‍රන්ථයට ලියූ ලිපියක් ඇසුරෙනි)

රූප (Images) යන්න අපි සෑම තැනක දීම දකිමු. දැන්වීම් පුවරු, සඟරා, පුවත්වල පමණක් නොව, බස් රථවල ද ඒවා ඇත. ඒවා තැපෑලෙන් ද අප වෙත ලැබේ. සිනමාව, රූපවාහිනිය හා අන්තර් ජාලය හරහා ද ඒවා නිකුත් වේ.

ඉරිදා පුවත්පත්වල පළවන සුසිනිඳු වස්ත්‍රාභරණවලින් සැරසුණු ගැහැනුන් මෙන්ම රැවුලබාන උපකරණ හා වැකුම් ක්ලීනර් යන්ත්‍රවල රූප ද අපි සාලයේ සෝපාව මත හිඳගෙන නරඹමු. කෘත්‍රීම ආලෝකයෙන් එළිය වුණු දැවැන්ත ක්‍රීඩාගාරවල පැවැත්වෙන තරග, බටහිර චිත්‍රපටවල එන වෙඩි තැබීම් හා මිනිස් ඝාතන ද ඒ හරහා අපි දකිමු.

රූප, බලය හා මිත්‍යාව

‘රූප’ නම් වූ ඒවා කොතරම් බලවත් ද යත් ඒවා නොබලා සිටීමට පවා හැකියාවක් අපට නැත. ඒවා අතිශයින්ම චිත්තාකර්ෂණීය වේ.‘රූප’ හේතුකොට ගෙන මානව වර්ගයාගේ සමාජ සන්නිවේදනය ද විප්ලවීය වෙනසකට භාජනය වී ඇත.

මේ වනවිට වාචික හා ලිඛිත සන්නිවේදනයන් ප්‍රබල පසුබෑමකට ලක්වී ඇත. එයට හේතුව රූප සන්නිවේදනය පෙරමුණට පැමිණ තිබීමයි.

වත්මන් මානව සන්නිවේදන කාර්යය කිසියම් නිශ්චිත ක්‍රමවේද ත්‍රිත්වයක් හරහා ගොඩනැඟුණකි. ඒවා නම් කට වචනය, ලේඛන පදනම් වූ ක්‍රම හා රූප කේන්ද්‍රීය සන්නිවේදනය යන්නයි.

අතීතයේ දී මිනිසා අදහස් උදහස් හුවමාරු කරගත්තේ කට වචනය හරහායි. පසුව ලිඛිත භාෂාව හරහා එය සිදු වුවද එය භාෂාව හැදෑරූ කිසියම් සුවිශේෂී පන්තියකට පමණක් සීමා විය. මුද්‍රණ ශිල්පය බිහිවීමත් සමගම ලිඛිත සන්නිවේදනය පුළුල් ප්‍රජාවක් කරා පැතිරී ගියේය.

එළිසබත් අයිසන්ස්ටයින් සිය ‘The Printing Press As an Agent Of Change’ නම් ග්‍රන්ථයේ මෙකී විප්ලවීය වෙනස පැහැදිලි කිරීම සඳහා 1453 උපන් කොන්ස්තන්තිනෝපල් හි ජනයාගේ පුරාවෘත්තය කිසියම් නාටකීය ස්වරූපයකින් ඉදිරිපත් කරයි. තුර්කිවරුනට, බයිසැන්ටන් අගනගරය යටත් වූයේ එකී වසරේදීය.

එම වසරේ උපන් මිනිසුන් සිය ජීවිත කාලය තුළ වැඩි ම පොත් සංඛ්‍යාවක් නිකුත් වන අයුරු නිරීක්ෂණය කරන්නට ඇත. එම ප්‍රමාණය එයට වසර දහසකට පෙර සමස්ත කොන්ස්තන්තිනෝපලයේ අතින් ලියූ පොත් සංඛ්‍යාවට වඩා මිලියන අටකට වැඩි ප්‍රමාණයකි. පුනරුදය, ප්‍රොතෙස්තානු ප්‍රතිසංස්කරණ හා බටහිර විද්‍යාව යනාදිය එකී විප්ලවය වේගවත් කළ අනෙකුත් කරුණු කාරණා වේ.

මේ හා සමාන විප්ලවීය වෙනසක් මෙයට වසර 150කට ප්‍රථම සිදුවිය. එය නම් ඡායාරූප ශිල්පය බිහි වීමයි. එහිදී ප්‍රථම වතාවට අවකාශයේ ඇති වස්තූන්ගේ ජීවමාන රූප විශාල පරිමාණයෙන් ප්‍රතිනිර්මාණය වීම ඇරඹිණ. රූප සන්නිවේදනය (image communication) බිහිවූයේ ඒ අනුවයි. ඇමෙරිකානු සමාජය තුළ සමාජ වටිනාකම් (social values) ස්ථාපිත කිරීමේ ලා මූලික ස්ථානය හිමිකර ගැනීමට එයට ගතවූයේ වසර 50කටත් වඩා අඩු කාලයකි. ප්‍රචාරක කර්මාන්තය මෙකී වෙනස ඇති කිරීමට මුල්විය. යම් යම් භාණ්ඩ හා නිෂ්පාදන අලෙවි කර ගැනීමේ ලා කට වචනය හා ලිඛිත භාෂාව හරහා කෙරෙන ‘කතන්දර කීම’ට වඩා රූප භාවිතය වඩාත් නිර්මාණශීලී හා කාර්යක්ෂම වූවක් බැව් එහිදී අවබෝධ කර ගැනිණ.

රූපවාහිනියේ සම්ප්‍රාප්තියත් සමගින් රූප සන්නිවේදන ක්‍රියාදාමය උච්චස්ථානයකට පැමිණියේය. එක්තරා ආකාරයකින් රූපවාහිනිය, වාචික සන්නිවේදනය නම් වූ හෝරා යන්ත්‍රය ආපසු කරකැවීමක් වැන්නක් සිදු කළේය. ඇත්තවශයෙන්ම රූපවාහිනිය කතන්දර කියද්දී අප එයට ඇස් හා කන් යොමා සිටින්නේ හරියට ම අපගේ මුතුන් මිත්තන් ගිනිමැළයක් වටා හිඳිමින් කතන්දර අසා සිටියාක් මෙනි. එහෙත් රූපවාහිනිය ගෙන එන වඩා වැදගත් කථා බොහොමයක් කට වචනයෙන් නොව, රූප අතර සඟවා ගත් මිත්‍යාවන් වේ. ඇත්තවශයෙන්ම මෙකී මිත්‍යාවන් රූප හරහා ගොඩනඟන්නේ කට වචනය පෙරදා කළ කාර්යයට වඩා ප්‍රබල ආකාරයකිනි.

සරලව පවසන්නේ නම් රූප (images) යනු පින්තූර (pictures) ම වේ. කෙසේවෙතත් වත්මනෙහි එකී රූප සංවිධානය කිරීම හා සැලසුම් කිරීම සිදුවන්නේ ඒවා නරඹන අප තුළ නිශ්චිත භාවමය ප්‍රතික්‍රියාවක් ඇති කිරීම සඳහායි. ඒවා අපට කිසියම් වින්දනයක් ද ලබා දේ. භාවමය වශයෙන් සාන්ද්‍රණය වී ඇති රූප, මිත්‍යාව ගොඩනැඟීම නම් වූ කටයුත්ත වඩාත් හොඳින් ඉටු කරයි.

ඇමෙරිකානු ධජය ඉතා ප්‍රබල භාවමය සන්නිවේදනයක් සෑම ඇමෙරිකානුවෙක්ගේ ම සිත තුළ ඇති කරයි. එකී ධජයේ රූපකය විසින් ඒතුළ සැඟවී ඇති බොහෝ මිත්‍යාවන් හෙළි කරයි. ඒයාකාරයෙන්ම වෙළෙඳ ප්‍රචාරක දැන්වීමක ඇතුළත්, ඉතා ප්‍රවේශමෙන් තෝරා බේරා ගත් රූපක හරහා ද අපගේ ඇතුළු හදවතට බලපෑම් කිරීමට වෙළෙඳ ප්‍රචාරණ ශිල්පීන් උත්සාහ ගනී. අද දවසේ මෙවැනි රූපක හරහා නව අරුත් හා නව විශ්වාසයන් අපගේ ඇතුළාන්තය වෙත විසරණය වීමක් සිදුව ඇත.

සම්ප්‍රදායිකව මිත්‍යාවන් යනුවෙන් හැඳින්වෙන්නේ කිසියම් සංස්කෘතියක හා ජන සමාජයක පවතින්නාවූ පාරම්පරික විශ්වාසයන්ය. ඇතැම්විට එහිදී විවිධාකාරයේ වීරයන් පිළිබඳව තොරතුරු අප වෙත ගෙන එයි. මිනිසුන් සූර්ය වන්දනාවේ යෙදීම පිළිබඳව හෝ වැඩිහිටියන්ට ගරු කළ යුත්තේ ඇයි වැනි දෑ එහිදී පැහැදිලි කෙරේ. එහි දී බොහෝවිට සිදුවන්නේ ‘මිත්‍යා විශ්වාස’ ව්‍යාජ, අන්ධ පිළිගැනීම් සේ සැලකීමට ඇති ඉඩකඩ සීමාවීමයි. ඒ අනුව එමගින් කිසියම් ජන සමාජයක පසුගාමී සංස්කෘතිකමය භාවිතාවන් තවදුරටත් ඉදිරියට ගෙන යයි.

රූප සංස්කෘතියේ (image culture) ඇතුළත් මිත්‍යාවන් හඳුනාගැනීමේ ප්‍රධානතම යතුර වන්නේ ඒවා දීර්ඝ කාලයක් පුරා රූප රටාවන් (patterns of images) ලෙස ඉදිරිපත්වීම සලකා බැලීමයි. ඒවා වෙළෙඳ ප්‍රචාරක කටයුතු, විනෝදාස්වාද වැඩසටහන් හා ප්‍රවෘත්ති වැනි විවිධ මූලාශ්‍රයන් ඔස්සේ පැමිණෙන රූපාවලීන් වේ.

වෙනත් ආකාරයකට පවසන්නේ නම් රූප කියවීම තල දෙකක දී සිදුවිය යුතුවේ. පළමුව යටකී භාවාත්මක තලයේ දී කරන්නාවූ කියවීම සැලකිය හැක. නිදසුනක් ලෙස ‘ජාතික ධජය’ යන්න අප සිත් තුළ එවැනි භාවාත්මක තලයේ කෙරෙන කියවීමකට මඟ හෙළි කරයි. එසේ ම නිරුවත් ශරීරයක රූපයක් දකිද්දී අප සිදුකරන්නේ ද එවැන්නකි.

අනෙක් තලයේ දී අපට රූපයක් කියවීමට එකී රූපයෙන් මඳක් ඈත්ව එය තවත් සිය ගණනක් වූ අනෙකුත් රූප සමග පුළුල් සන්දර්භයක තබා නිරීක්ෂණය කිරීමට සිදුවේ. ඒවායේ සැඟවුණු අරුත් අපට වටහා ගැනීමට හැකි වන්නේ එවිටයි. නොඑසේ නම් යටකී භාවමය කියවීම හරහා ඒවායේ පුළුල් අරුත් සැඟවී යෑමට කොතෙකුත් ඉඩකඩ ඇත. අද අපවෙත ගලා එන දහස් ගණනක් වූ රූප අතර ඇති එවැනි යටි අරුත් පැහැදිලි ලෙස හඳුනාගත්විට ඒවා වටහා ගැනීමේ අපහසුවක් ඇති නොවේ.

රූප හරහා නිතර අප වෙත ගෙන එන පළමු මිත්‍යාව වන්නේ මේ ලෝකය ජීවත් වීමට අතිශයින් දුෂ්කර, බිහිසුණු ස්ථානයක් වන බවත්, එහිදී අපව ආරක්ෂා කිරීමට තුවක්කු, පොලිසිය හා හමුදාව අවශ්‍ය වන බවටත් පතුරුවා ඇති මතවාදයයි.

මේ අනුව බහුතරයක් මාධ්‍ය ආයතන ‘පොලිස් කථා’ මෙන්ම ‘Terminator 2’ වැනි චිත්‍රපට හා නාටක නිෂ්පාදනය කිරීම පිළිබඳව නිරතුරුවම සිය අවධානය යොමුකරමින් සිටිනු පෙනේ.

එහෙත් අප ජීවත්වන ලෝකය බිහිසුණු තැනක් බැව් කියැවෙන වඩාත් ප්‍රබල රූපාවලීන් ගෙන එන්නේ ප්‍රවෘත්ති හරහායි. පුවත් පත් හා රූපවාහිනී නාලිකා මේවා වැඩි වැඩියෙන් ප්‍රචාරය කරන්නේ ඒවා වඩා පහසුවෙන් අලෙවි කර ගැනීමට හැකි වීම හරහා සිය නාලිකා හා පුවත්පත්වලට ලැබෙන ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර (ratings) අපේක්ෂාවෙනි. ප්‍රවෘත්ති යනු සැබෑවක් (real) යැයි විශ්වාස කිරීම හරහා ලෝකය පිළිබඳ දැනෙන එකී භීතිය දෙගුණ තෙගුණ වීමක් සිදුවේ.

දෙවැනි මිත්‍යාව වන්නේ මේ සඳහා විසඳුම් සෙවීමේ කාර්යය සුදු ජාතිකයන්ට භාරදිය යුතුය යන්නයි. මෙවැනි සිදුවීම් වාර්තා කිරීම හරහා බලය ඇත්තේ කවරෙකුට දැයි යන්න තහවුරු කෙරේ.

ඇමෙරිකානු ප්‍රවෘත්ති නාලිකාවල මෙකී පුවත් ඉදිරිපත් කරන නිවේදකයන් බහුතරයක් මැදිවයසේ සුදු ජාතිකයෝ වෙති. පෙරටුගාමී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයක් වන ‘Fairness and Accuracy Reporing’ හෙවත් FAIR හි අධ්‍යයනයන්ට අනුව රූපවාහිනියේ රාත්‍රී සම්මුඛ සාකච්ඡා වැඩසටහන් සඳහා සහාභාගී වන අමුත්තන් අතර දහයකට නවයක් සිටින්නේ සුදු ජාතිකයන් බැව් හෙළි විය. එහිදී කාන්තාවන්ගේ සහභාගීත්වයක් ඇත්තේම නැතිතරම් බැව් එකී අධ්‍යයනය පෙන්වා දෙයි. වෙළෙඳ ප්‍රචාරණය හා ජාතික පුවත් විකාශයන් හරහා ද මෙකී බලකේන්ද්‍රීය ව්‍යුහය ස්ථාපිත වී ඇත.

නිදසුනක් ලෙස ‘Shivas Regal’ වැනි විස්කි වර්ගයක වෙළෙඳ ප්‍රචාරක පටයක දී සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසුණු සාර්ථක ව්‍යාපාරිකයන් පිළිබිඹුවන අතර කාන්තාවන් හුදු මුළුතැන්ගෙයි විශේෂඥයන් සේ පමණක් විදහා දැක්වේ. බොහෝ මාධ්‍ය රූපක (media images) එයාකාර ස්ථාපිත සම්මතයන් මෙන්ම ලිංගිකත්වය හා ජාතිකත්ව මුහුණුවරක් ද පෙන්නුම් කරන බැව් පැහැදිලි වේ.

තුන්වන මිත්‍යාව වන්නේ මුදල් හදල් යහමින් යොදමින් දේවල් තමන් සතුකර ගැනීම හරහා ජීවිතය සාර්ථක කර ගතහැකි බවට ගෙන එන විශ්වාසයයි.

සාර්ථක ජීවිතයක් යන්න හා සමග ධන බලය අත්‍යයන්තයෙන් බැඳී පවතී යැයි යන්න අප නිරතුරුවම දකින රූප විශේෂයෙන්ම වෙළෙඳ දැන්වීම් හරහා ප්‍රකාශ වේ. දැවැන්ත නිවාස, සංචාරක නැව්, ඉහළ පෙලේ රටබීම, රාත්‍රී භෝජන සංග්‍රහයන්, රන් රිදී මුතු මැණික්, දිදුලන වස්ත්‍රා භරණවලින් සැරසුණු ගැහැනුන්, මුහුදු වෙරළට මුහුණලා පැවැත්වෙන ප්‍රිය සම්භාෂණ, බර්මියුඩාහි නිවාඩු සංචාර, බෝට්ටු සවාරි, බී. එම්. ඩබ්ලිව්. වාහන හා විසිතුරු මුළුතැන් ගෙවල් යනාදී වශයෙන් එකී ලැයිස්තුවේ කෙළවරක් නොපෙනේ. මේ සියල්ල සුඛෝපභෝගී ජීවිතය සංකේතවත් කරයි. එහෙත් එය එසේ වන්නේ ඒවාට වියපැහැදම් කිරීමට අපට ඇතිතරම් ධන බලය ඇත්තේ නම් පමණි.

රූප, බලය හා මිත්‍යාව

හතර වන මිත්‍යාව වන්නේ සතුට, වින්දනය හා ලිංගික ආකර්ෂණය(sex appeal) යන්න මුදලට ලබාගතහැකිය යන්නයි. අහා! අප කෙතරම් ධනවත් වුවද ජීවිතයේ කිසිම් දේක අඩුවක් ඇතැයි අපට හැඟේ. අප කැමති ගැහැනිය හෝ මිනිසා අප සතුකර ගැනීමට අපට නොහැකිවී ඇත.

ජීවිතයේ වැඩිපුර කාලයක් අප ගතකරන්නේ ගෙදර දොරේ වැඩකටයුතුවල යෙදෙමිනි. එය කෙතරම් නීරස ජීවිතයක් ද? එහෙත් මෙකී රූප මාලාවන් හරහා අපට දනවන්නේ සතුට අප ළඟ ළඟ ම ඇති බවකි. මේවා වැඩිවශයෙන්ම වෙළෙඳ දැන්වීම් ප්‍රචාරක රූපකයි. නිදසුනක් ලෙස ‘Hope’ සුවඳ විලවුන් ‘Joy’ පිඟන් සෝදන කුඩු, නැතිනම් නවතම ‘ටොයෝටා’ මෝටර් රථය පිළිබඳ වෙළෙඳ ප්‍රචාරණ දැන්වීම් සඳහන් කළ හැකියි. මෙකී දැන්වීම්වල පෙනී සිටින්නන් ඉමහත්වූ සතුටකින් සිටිනු පෙනේ. ඔවුහු පිරිවරා ගෙන සිටින්නේ ආදරවන්තයන්ය. ඔවුන් අහසේ පියාසර කරන්නට සැරසෙන්නාක් මෙනි. බොහෝවිට එවන් සතුටක් ළඟාකර දෙන්නේ යන්ත්‍ර සූත්‍ර හා නවීන තාක්ෂණයයි. සතුටින් සිටීමට නම් එකී තාක්ෂණය මිලට ගතයුතුවේ.

පස්වැනි මිත්‍යාව වන්නේ ඔබට ඇත්තේ ආකර්ෂණීය නොවන ශරීරයක්ය යන්නයි.

මාධ්‍ය තුළ හා වෙළෙඳ ප්‍රචාරණයේ දී අපට දැක ගැනීමට ලැබෙන ගැහැනුන් සිහින් සිරුරැති රූමතියන් වේ. පිරිමින් මනා මස්පිඬු සහිත කඩවසම් අය වෙති. අනෙක් අතින් අප වැනි අය ස්ථූල ශරීර සහිත කිසිදු හැඩයක් නැති, දුඟඳ හමන ශරීර ඇත්තෝ වෙති. මේ පිළිබඳ අපගේ මිතුරු මිතුරියන් නිතර සඳහන් නොකරනවා විය හැකියි. එවැනි දේ හිතමිත්‍රාදීන්ට ඍජුව පැවසීම සුදුසු නොවන්නේ එවැනි විවේචන හිත් රිදවීමට හේතුවන නිසයි. එහෙත් මාධ්‍ය හරහා මෙවැනි අංග සම්පූර්ණ ගැහැනුන් හා මිනිසුන් නිරතුරුවම දැකීමට ලැබීම අපගේ සිත් තුළ කිසියම් කම්පනයක් ඇත ිකරයි. ඒවායේ පෙනී සිටින අයවලුන් ඒ සඳහා විශේෂයෙන් ම වේශනිරූපණය කර ඇති බව කිසිවෙකුත් අපට නොකියති. ඒ අනුව අපට හැඟීයන්නේ එකී කාන්තාවන් සුරදූතිකාවන් පිරිසක් ලෙසයි. ඔවුනගේ දෙකකුල් සුන්දර පෙනුමෙන් යුක්තය. දෑස් නිල් පැහැයෙන් දිදුලයි. මුහුණේ කිසිදු ලප කැළැලක් දැකිය හැකි නොවේ.

හයවන මිත්‍යාව වන්නේ වෙළෙඳ ව්‍යාපාර හා සංස්ථා වැනි ආයතන මහජනයාගේ සුබසිද්ධිය තකා නිරතුරුවම කටයුතු කරමින් සිටී යන්නයි.

බොහෝවිට වෙළෙඳ ප්‍රචාරණය හා ප්‍රවෘත්ති හරහා ව්‍යාපාර පිළිබඳව නිශේධාත්මක කරුණු කාරණා හෙළිදරව් කෙරෙන්නේ ඉතා සීමිතවයි. මින් අදහස් වන්නේ ඒ ආයතන බොහොමයක් හොඳ බව නොවේ. එහෙත් මෙකී ආයතන සිය ප්‍රතිරූපය ඉහළ දමාගැනීම සඳහා සිය ධනය යොදවමින් ප්‍රචාරණය හා ප්‍රවෘත්ති මාධ්‍යය මෙහෙයවනු ලබන බව කිසිවෙකුත් නොදනී. මේ අනුව ඒ පිළිබඳව අපට දැනගැනීමට ඇත්තේ ධනාත්මක කරුණු කාරණා පමණක් වීම පුදුමයක් නොවේ.

ඇතැම් ව්‍යාපාර සම්පූර්ණ පිටු පිරවූ දැන්වීම් මගින් තමන් පරිසරය පිළිබඳව දැඩි අවධානයකින් සිටින බව පවසයි. එසේම ඉන්ධන භාවිතය නිසාවන පරිසර දූෂණය අවම කිරීමට නව රසායනික සංයෝගයන් යොදාගන්නා බව ද සපථ කරයි. ඒ අතර මොවුන් වයස අවුරුදු 18ට අඩු අයට දුම්බීම නුසුදුසු බවට ද දැන්වීම් පළ කරති.

රූප, බලය හා මිත්‍යාව

මෙහි ප්‍රතිඵලය කුමක්ද?

මෙම ප්‍රශ්නය වෙනත් ආකාරයකට ඉදිරිපත් කරන්නේ නම් යටකී මිත්‍යාවන් අපට පීඩාකාරී වී ඇත්තේ ඇයි දැයි විමසිය යුතුවේ. එහිදී පිළිතුරු මාලාවක් ලැබීමට ඉඩකඩ ඇත.

රූප සංස්කෘතිය තුළ අලෙවි වන භෞතික වස්තූන් හරහා ඇතිකොට ඇත්තේ හිස්බවකි. එබැවින් අපි බොහෝ දෙනකු කිසියම් අසතුටකින් පසුවෙමු. මෙකී රූපක නිර්මාණය කිරීමට යොදවන්නාවූ මුදල්, නිර්මාණ ශක්තීන් හා සම්පත් ප්‍රමාණය සලකා බැලීමේ දී එය අර්ථශූන්‍ය ක්‍රියාන්විතයක් සේ පෙනේ.

මේ අනුව රූප සංස්කෘතිය තුළ ඇත්තේ මිත්‍යාව හා අන්ධ විශ්වාසයන් බැව් පෙනේ. මෙයට ප්‍රතිවිරුද්ධ දිසාවන් වෙත අපගේ අවධානය ගෙන යන සංඥා කුලුනු කොතෙකුත් ඇත. කෙසේ වෙතත් රූප කියවීමට ඉගෙන ගැනීම නිවැරදි මාර්ගයේ යෑමට තබන ප්‍රථම පියවර සේ සැලකිය හැකියි. මාධ්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීමේ පාඨමාලා හැදෑරීම හරහා රූප කියවීමට ඉගෙන ගැනීම හා ඒවා විශ්ලේෂණය කිරීම හැදෑරිය හැකිය. අද දින අපවෙත එල්ලවන දහසකුත් එකක් වූ රූප භාවිතයන්ට ප්‍රතිවිරුද්ධව අපගේ සිතැඟි යොමු කිරීමට හා වෙනත් විකල්පයන් සොයායෑමේ උත්සාහයන් වෙත යොමුවීම සාක්ෂාත් කරගැනීමට හැකිවන්නේ ඒ හරහායි. වත්මන් රූප සංස්කෘතිය විසින් ගෙන එන මිත්‍යාව ජය ගැනීමටත්, දැනුවත්භාවයකින් යුතුව වත්මන් රූප සන්නිවේදන යුගය අතික්‍රමණය කිරීමටත් හැකිවනුයේ ද ඒයාකාරයෙනි.

● එම්.ඩී. මහින්දපාල

advertistmentadvertistment
advertistmentadvertistment