බිත්තර රටින් නොගෙන ඉන්දියාවෙන් ආනයනය අපේ සන්නිවේදන මාධ්‍යයන්ට ‘රස වෑහෙන’ ප්‍රවෘත්තියක් වූයේ මුලින්ම බිත්තර ආනයනය කළ දිනයේ සිටය. එය ප්‍රවෘත්තියක් ලෙස උඩ දමමින් හයිලයිට් කිරීම වර්තමානයේ ජනසන්නිවේදන මාධ්‍යවල වැඩ කරන ‘ගොයියන්ගේ’ ඉතිහාස දැනුම සම්බන්ධ ප්‍රශ්නයකි. ඊට හේතු වන්නේ ඉන්දියාවෙන් බිත්තර ලංකාවට ගෙන එන්නේ හැටේ දශකයේ අග භාගයේ සිට හැත්තෑව දශකයේත් සිදු කෙරුණු කටයුත්තක් නිසාය. ඔය කියන වකවානුවේ පත්තරවල, පිටකොටුව එළවළු මාකට් එකේ එළවළු මිල ගණන් අතර ආනයනික ඉන්දියන් බිත්තර මිල ගැන සඳහන්ව ඇත. මේ කියන වකවානුවේ ලංකාවේ රුපියලක් ඉන්දියන් රුපියල් දෙකකට සමාන විය.
ඉන්දියාවෙන් බිත්තර ආනයනය ගැන කවුරු කතා කළත් චීනයෙන් සරුංගල් ආනයනය ගැන කවුරුත් කතා නොකරන්නේ ඉන්දියාවෙන් තවම සරුංගල් ලංකාවට ආනයනය නොකරන නිසා විය යුතුය.
ගෝල්ෆේස් අරගලයට පෙර ලංකාව බරපතළ ඩොලර් හිඟයකට මුහුණ දුන් අවස්ථාවේ එවකට ජනපති ගෝඨාභය රාජපක්‍ෂ ආනයනික භාණ්ඩ 30ක් තහනම් කරන ලදී. එම ගැසට් නිවේදනයේ එක් කැටගරියක් වූයේ Toys ය. සෙල්ලම් බඩු එම වර්ගීකරණයයි. මේ භාණ්ඩ වර්ග තහනම් වූ 30ට සරුංගල්ද අයත් විය. ගැසට් නිවේදනයකින් තහනම් කරන තරමට ලංකාවේ වසරකට එතෙක් සරුංගල් ආනයනයට ඩොලර් බිලියන කීයක් වැයකරන්නට ඇත්දැයි ඔබට සිතාගත හැකිවනු නිසැකය.
කොළඹම ඇල්ලූ චීන ඩුප්ලිකේට් බඩු
දැන් කොළඹ තොග වෙළෙඳපොළේ ඉන්දියන් භාණ්ඩ Chinese duplicate නිෂ්පාදන වැහි වසිමින් පවතී. ජනප්‍රිය ඉන්දියන් වෙළෙඳනාමයන් එළිපිටම කොපි කරමින් ඊට පෙනුමෙන් සමාන එහෙත් තත්ත්වයෙන් බාල චීන නිෂ්පාදන වෙළෙඳපොළ ආක්‍රමණය කරමින් සිටී. ඉන්දියාවේ ජනප්‍රිය Natraj සහ අපස්රා වැනි පැන්සල් තොගයක් ගන්න ආ විට තොග වෙළෙන්ඳෙකු අසන්නේ ඉන්දියන් නැත්නම් ලෝ ප්‍රයිස් චයිනාද කියාය.
ලංකාවේ සෙල්ලම් බඩු රජදහන පවතින්නේ ප්‍රින්ස් ස්ට්‍රීට් කේන්ද්‍ර කොටගෙනය. ඊට අමතරව චයිනා ස්ට්‍රීට්, ඩෑම් ස්ට්‍රීට් සහ පීපලස් පාක්ද සෙල්ලම් බඩු අලෙවි තොග කඩ දැකගත හැකිය. මොන ආනයන තහනම් දැම්මත් ලංකාව චීනෙන් සරුංගල් ගෙන ඒම නතර වුණේ නැත. තැන තැන පිටකොටුවේ විවිධ නම් වලින් සෙල්ලම් බඩු වික්කත් මේ සියල්ල ආනයනය කරන දැවැන්ත ‘බායි’ කෙනෙකු සිටී. මේ වෙළෙඳපොළ හසුරවන්නේ ඔවුන් විසිනි. ලංකාවේ සෙල්ලම් බඩු තහනම් කළ විට ඔවුන් කරන ලද්දේ ඩුබායි හරහා LC Open කර චීනෙන් මේ සරුංගල් ඇතුළු සෙල්ලම් බඩු ආනයනය කොට විවිධ ක්‍රම මගින් ලංකාවට එවීමය. අන්තිමට වුණේ අඩු මිලට ලංකාවේ උදවිය මිලදීගත් සරුංගල් ඇතුළු සෙල්ලම් බඩු තුන් හතර ගුණයකින් ඉහළ යෑමය. සරුංගල් ආනයනයට තහනමක් එන විට කොටුව බසාර් එකේ රු. 50කට පවා තොග මිලට සරුංගලයක් මිලදීගත හැකිව තිබුණි. එය නූල් බෝලයක්, ඉරටු තුන හතරක්, ගම් ඩප්පියක්, සව් කොළ හෝ තෙල් කොළත් ගෙන පැය ගාණක් හදන සරුංගලයට වඩා නිමාවෙන් විශිෂ්ට වූ අතර ඒ මිලට නූල් බෝලයක්වත් ගත නොහැකි විය.
ගැසට් නිසා ඉහළ ගිය සෙල්ලම් බඩු
ආනයනික චීන සරුංගල් ගැන අප විමසන්නට මුලින්ම පිවිසයේ ප්‍රින්ස් ස්ට්‍රීට් එකටය. අපේ විමසීමට මුලින්ම උත්තර දුන්නේ ‘ෆාහිම්’ ය.
ගැසට් එක ගහල සෙල්ලම් බඩු තහනම් කළාම සරුංගල් වගේම ඔක්කොම සෙල්ලම් බඩු සියයට තුන් හාරසීයකින් උඩ ගියා. අලුත උපන් දරුවට මුලින්ම අරන් දෙන සෙල්ලම් බඩුව තමයි බබාට උඩින් ගැට ගහන මැරිගෝ රවුන්ඩ් එක. ඒක වයින් කරන අයිටම් එකක්. පොඩි එකාට ඒක කැරකෙන විදිහ බලාගෙන නින්ද යනවා. කොරෝනාවට කලින් ඔය මැරිගෝ රවුන්ඩ් එක තොග මිල රු. 100යි. තහනම් කළාම රුපියල් 300ට ගියා. චීන සරුංගල් තිබ්බේ රු. 50 ඉඳන්. චීන ලොකුම සරුංගලයක් රු. 1000ක් වුණේ නැහැ. ඔය රු. 50 ට විකුණපු සරුංගලේ අන්තිමට රු. 300 ට ගියා. රු. 1000 සරුංගලේ දෙතුන් දාහට ගියා. හැබැයි බොසා මේ හෝල්සේල් ප්‍රයිස් තමා.
අපට මුලින්ම දැන ගැනීමට අවශ්‍ය වූයේ මේ චීන සරුංගල් ලංකාවට ආගමනය වූවේ කෙසේද යන පැනයයි. පොලිතින් අලෙවියේ නියුතු අවුරුදු 92ක පමණ මුස්ලිම් ජාතිකයකු අවසානයේ අපට ඉතිහාසය මතක් කර දුන්නේ තම මතකය අලුත් කරමිනි. ඔහු නමින් මුෂ්ටොක් ජබීර්ය.
“ මිසිස් බණ්ඩාරනායකගේ කාලේ අපිට අල, බතල, මැනියොක් (මඤ්ඤොක්කා) කාපු හරි දුෂ්කර කාලයක්. හැත්තැ හය නොබැඳි සමුළුවට BMICH එකට වියදම් කළේ චීනෙන්නෙ. ඒ උත්සවේ මුලින්ම චීනෙන් ගෙනාපු සරුංගල උඩ යැව්වා හැම රටකම නැෂනල් ෆ්ලෑග් (ජාතික කොඩිය) එක්ක. ගොඩක් අය කියන්නේ ලංකාවට එන සරුංගල් ආවේ නොබැඳි සමුළුවට කියලා. ඒත් ඊටත් කලින් චීන සරුංගල් ලංකාවේ තිබ්බා. හැත්තෑ තුනේ හතරේ විතර තමයි ලංකාවට පොලිතින් ආවේ. ඔය පොලිතින් එක්ක තමයි මුලින්ම චීන සරුංගල් ආවේ. ඒ සරුංගල් හදපු කොම්පැනිය Great Wall (මහා ප්‍රාකාරය) කියන එක. මැතිනියගෙ කාලේ ඔය කයිට් (Kite) අහුවෙලා තහනම් කළා.
අපට පෙනී ගිය කරුණක් වූයේ රටේ මොන ගැසට්වලින් භාණ්ඩ තහනම් කළත් පිටකොටුවට ඒවා බලපෑමක් නොව ආශිර්වාදයක් වී ඇති බවය. ඒ තහනමක් ආවිට තමන්ගේ ගබඩාවල වසර ගණනාවක් තිස්සේ ගොඩාගසා ඇති තොග විවිධ හේතු දක්වමින් තුන් හතර ගුණයකින් මිල වැඩිකර පාරිභෝගිකයන් ගසා කෑමට එය හේතුවන බවය. මේ ඩොලර් ප්‍රශ්නයෙන් වඩාත්ම පීඩාවට පත්වූයේ මුද්‍රණාල හිමියන්ය. කොරෝනාවට පෙර රු. 3950ට තිබූ ආනයනික සුදු මුද්‍රණ කඩදාසි රීච් එක අන්තිමට රු. 18,000 දක්වා ඉහළ නග්ගන ලදී. එම කඩදාසි පැකට්වල ඇති බාකෝඩ් (Barcode) එක ස්කෑන් කළ විට එම කඩදාසි 2021 වසරේදී නිපදවූ ඒවා බව තහවුරු විය.
තහනම් බඩු ලංකාවට එන හැටි
මොන ගැසට්වලින් තහනම් කළත් චීන සරුංගල් ආක්‍රමණයෙන් දේශීය සරුංගල් නිෂ්පාදනත් ආරක්ෂාකර ගත නොහැකි විය.
මෙරට සරුංගල් ලෝලීන් වඩාත් සංතෝෂ වූ දිනය වන්නේ 2022 අගෝස්තු මුල් සතියේදී ගෝල්ෆේස් අරගලකරුවන්ට ඉවත් වන්නට නියෝග දුන් අවස්ථාවයි. මෙරට සරුංගල් හරින්නන්ගේ ප්‍රියතම ස්ථානය වන්නේ ගෝල්ෆේස් පිටියයි. අරගලකරුවන් නිසා ගෝල්ෆේස් පිටියේ එතෙක් සරුංගල් අරින්ට පොදු ජනතාවට පුළුවන් කමක් තිබුණේ නෑ.
ගාලු මුවදොරත් ගෝල්ෆේස් පිටියත් අතර ඇත්තේ හූවක දුරක්. රජ ගෙදරට කියන්නේ කිංග්ස් හවුස් කියාය. මෙහි පිටුපස සිට මුහුදට ඇත්තේ කෙටි දුරකි. ආර්. එල්. බ්‍රොහිර්ගේ කෘතියක මේ කිංග්ස් හවුසියට කඩාවදින සරුංගලයක් ගැන පුවතක් ඇත. රජගෙදර අසල සරුංගල් අරින ලද සරුංගලය පැටලැවී ඇවිත් රැඳුණේ රජ ගෙදර වත්තේ උස ගහකය. සරුංගල් යවන ලද ඉලන්දාරීන් හතරදෙනා අතරින් එක් අයකු ආණ්ඩුකාරතුමාට ලියුමක් තැපැල් කළේ රජගෙදර ගහක රැඳී ඇති තම සරුංගලය ඉල්ලීමටය.
සරුංගල් යැවූ දරුවාට ‘රිජිස්ටර් තැපෑලෙන්’ ලිපියක් ලැබුණි. ඒ කාලේ රෙජිස්ටර් යන්නට කියා ඇත්තේ ‘රිජිස්ටර්’ කියාය. එහි මෙසේ සඳහන් විය.
‘ඔබගේ ආයාචනය අසා ශ්‍රීමත් ආණ්ඩුකාර තුමා මහත් සන්තෝෂයට පත් විය. එතුමාගේ නියෝගය පරිදි ඔබගේ සරුංගලය ගැනීමට මෙයින් අවසර දෙනු ලැබේ. එහෙත් මින් මතු ඔබේ සරුංගලය මනා සංයමයකින් හා හැසිරීමකින් රජ ගෙදර ඉහළින් ගමන් කරවනු ඇතැයි ආණ්ඩුකාර උතුමාණන්ගේ මතයයි.
ගෝල්ෆේස් සරුංගල් රාජධානිය අසල රජ ගෙදර සිටි ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා අරගලකරුවන්ගෙන් බේරී රටින් පැන යන්න බැරිව සිටි අවස්ථාවේ උන්නාන්සේට සරුංගලයකින් නැඟී පලායන්නට හොඳටම ඉඩ තිබුණි. හැං රාජ්‍යයේ රාජ්‍ය පාලකයා එවැනි අත්දැකීමක් ලැබූ පුද්ගලයෙකි. හැං අධිරාජ්‍යයේ නිර්මාතෘවරයා ලියූ හැං ය. සතුරු බලවේග හැං බලකොටුව වටකර ගත් විට කරකියා ගත නොහැකිව හෙළිකොප්ටර් නොතිබූ ඒ යුගයේ එතුමා පැන ගියේ දැවැන්ත සරුංගලයකට මුවාවී නැගී බව ඉතිහාසයේ සඳහන්ය.
ගැසට්ටුවක් මගින් සරුංගල් ආනයනය තහනම් කිරීම තවමත් බලාත්මකද නැද්දැයි මේ සරුංගල් විකුණන ව්‍යාපාරිකයන්ට අවබෝධයක් තිබුණේ නැත. මේ කලකට ඉහත තහනම් කළ සරුංගල් චීනයෙන් ගෙනා හැටි ගැන එක් ව්‍යාපාරිකයකු අපට පැහැදිලි කළේ මහා වීරකමක් කළ ලෙස ෂර්ට් කොලරයද අත් දෙකෙන් ඉහළට ගනිමිනි.
” toys ආනයනය නිසා සරුංගල් චීනෙන් ගේමද නැවතුණත් Garment Accesseries තහනම් වුණේ නැත. ඒ කියන්නේ ගාමන්ට්වලට අවශ්‍ය බඩු. අප කළේ සරුංගලේ රෙද්ද වෙනම ප්‍රින්ට් කරල ගෙනාවා. සරුංගලේ ෆ්රේම් එක ගෙනාවා. ඊට පස්සේ ඔය කුඩ්ඩෝ ටිකක් අල්ලලා කෑලි ගාණට දුන්නා හයිකරලා සරුංගලේ කම්ප්ලීට් කරලා දෙන්න කියලා.
මෙම චීන සරුංගල් චීනෙන් ගෙනා බවට පිළිගන්නට බොහෝ තොග කඩහිමියන් කැමති වුණේ නැහැ. ඊට හේතුව ආනයනය තහනම් භාණ්ඩයක් විකිණීම නිසා තමන්ට නඩුවක් වැටෙන්නට යන බිය නිසාය. ඒ බොහෝ සරුංගල්වල මුද්‍රණය කොට තිබුණේ Made in ROC කියාය. නැතිනම් design in China ලෙසය. ROC යනු රිපබ්ලික් ඔෆ් චයිනා කෙටි නාමයයි.
චීන සරුංගල් සොයන්න ‘චයිනා ස්ට්‍රීට්’ එකට ගිය අපට සරුංගල්වලට අමතරව Party බඩු චීනයෙන් ගෙනවිත් ඇති අයුරු දැක හටගත්තේ මවිතයකි. උපන්දිනය අනුව පත්තුවෙන ඉටිපන්දම්, හැපි බර්ත්ඩේ තොප්පි, බර්ත්ඩේ ලෙස පත්තුවෙන බල්බ් වැල් ඇතුළු අටෝරාසියක් චීන බඩු අතර සරුංගල් එක් අයිතමයක් පමණි. කොරෝනාවට පෙර රු. 50 තොග මිලට තිබූ සරුංගල් දැන් වෙළඳපොළේ තොග අඩුම සරුංගලය තිබුණේ රු. 350ට වැඩියෙනි. ප්‍රමාණයෙන් විශාල මකරා සරුංගලයේ දිග අඩි 10කටත් වැඩි නැට්ටකි. එය මිල කර තිබුණේ රු. 3000 සිටය.
මේ සරුංගල් මිලදී ගැනීමට පැමිණි පාසල් සිසුන් පිරිසක් සමග කතාබහට වැටීමට අපිට හැකිවිය.
“මේ සරුංගල් වැඩිය උඩයවන්න බෑ. අපි කරන්නේ මේවා ගෙනහිල්ලා ආයිත් ඉරටු තියලා ෆ්රේම් එක හයිය කරනවා. එතකොට ඕන උඩක් යවන්න පුළුවන්. ගොඩක් මේ චීන සරුංගල් ලංකාවේ හුළඟට ඔරොත්තු නොදී පොට පැටලෙනවා. එතකොට අපි අඩි හතරක පහක විතර නැට්ටක් අමුණනවා”
සරුංගලයේ ඉතිහාසය
ලංකාවේ සරුංගල් ඉතිහාසය ඉතා දිගු එකකි. මුල් යුගයේ සරුංගල් ආකාසයට යවා ඇත්තේ කුඩා දරුවන් නොවේ. රොබට් නොක්ස්ගේ පොතක ඇත්තේ ලංකාවේ සරුංගල් ඇරියේ ඔට්ටු පිනිස ‘මරක්කල’ ජාතිකයන් විසින් බවය.
මහාචාර්ය සුනිල් ආරියරත්න ‘සරුංගලේ’ නමින් චිත්‍රපටයක් හැඳුවේ චයිනීස් සරුංගල් ගැන නම් නොවේ. එහි කතා තේමාවේ ඇත්තේ නඩරාජා නමැති පුද්ගලයකු අසල්වැසි සිංහල පවුලක දරුවකුට සෙනෙහසින් බැඳී සිටින තේමාවක්. දිනක් නඩරාජා කඩයට යන්නේ අසල්වැසි දරුවා සඳහා සරුංගලයක් ගෙන ඒමටය. නමුත් නඩරාජා සරුංගලය රැගෙන එනවිට ජාතිවාදීන්ගේ ප්‍රහාරයකට ලක්විය. නඩරාජාගේ ප්‍රහාරයට ලක්වූ ලේ සරුංගලයේද ගෑවී තිබුණි.
තම නිවෙසට පැමිණි නඩරාජාගෙන් දරුවා සරුංගලය ගැන අසයි. නඩරාජාගේ පිළිතුර මෙසේ විය.
සරුංගලේ ගෙනාවා පුතා
ඒත් ඒත් සරුංගලේ – ලේ – සරුංගලේ ලේ පුතා
මේ චීන සරුංගල් සොයාගෙන යනවිට මේ සරුංගල්වලට ඇති ඉල්ලුමට හේතුවක්ද සොයාගත හැකි විය.
“එක සරුංගල් වර්ගයක් තියෙනවා ‘ෆෙන්ෂුයි’ වගේ දේකට ගන්නේ. ඒ සරුංගලේ ගාණත් වැඩියි. අඳුර වැටුණාම මේ සරුංගලයක් ගේ උඩින් ඇරියම ගෙදර තියෙන භූත දෝෂ, වාස්තු දෝෂ ඉවත් වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ගෙදරට සල්ලි ගලාගෙන එනවා කියලා ගොඩක් අය විශ්වාස කරනවා. ඔය කියන සරුංගලේ කළුවරේ ගෙයි ඉහළට ගියාම ගෙදර වහලය උඩින් යනවද කියලා බලන්න නිවෙන පත්තුවෙන පොඩි බල්බ් දෙකක් තියෙනවා.”
අපි මේ චීනෙන් සරුංගල් ගෙන ඒම අවඥාවට ලක්කළද එයින් ලංකාවට විදේශ විනිමයක් ගෙන ආ හැකි ආකාරයක්ද අපට එක් වෙළෙන්ඳෙකු පෙන්වා දුන්නේය.
“කොරෝනාවට ඉස්සෙල්ලා ගෙනාව kite surfing සරුංගල්. ඒක ගන්නේ හික්කඩුව වගේ පැතිවල. සරුංගලයකින් දියමත ඇදගෙන යන kite surfing වලට ලෝකයේ ජනප්‍රිය ක්‍රීඩාවක් ඒක.”
දැන් ගොයම් කැපෙන කාලයයි. එදා නම් මේ ගොයම් කපපු කුඹුරුයායවල කිතුල් පිත්තෙන් හැදූ සරුංගල් යැවීම තරුණයන්ගේ පුරුද්දය. ඒත් දැන් සරුංගලයත් චීනයෙන් ආක්‍රමණය කර හමාරය. ඒත් දැන් ලංකා ආකාසයේ ඉහළ යන බොහොමයක් සරුංගල් චීන සරුංගල්ය. ඒත් මේ චීන සරුංගල් විකුණන වෙළඳසැල් හිමියන් අපට කියා සිටියේ බොහෝ විදේශිකයන් පැමිණ ලංකාවේ නිෂ්පාදිත සරුංගල් මිලදී ගැනීමට ඉල්ලා සිටින බවය.
රංගන ප්‍රසාද් කහවල