ලීග් ශූරතා පාසල් ප්‍රමුඛ පෙළ රග්බි පාපන්දු තරගාවලිය

31

ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක ඩයලොග් ලීග් ශූරතා පාසල් ප්‍රමුඛ පෙළ රග්බි පාපන්දු තරගාවලිය ආරම්භ කළ පළමු සතියේ ජයග්‍රහණ සටහන් කර ගැනීමට බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ රාජකීය, කොළඹ ඉසිපතන, කොළඹ ඩී. එස්. සේනානායක, මහනුවර ත්‍රිත්ව, ගල්කිස්ස විද්‍යා, කොළඹ වෙස්ලි සහ මහනුවර විද්‍යාර්ථ යන විදුහල් නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

ශාන්ත පීතර විදුහල හමුවේ කොළඹ තර්ස්ටන් විදුහල ලකුණු 112 කින් ද රාජකීය විදුහල හමුවේ කිංග්ස්වුඩ් විදුහල ලකුණු 55 කින් ද ඉසිපතන විදුහල හමුවේ මහනුවර ශ්‍රී සුමංගල විදුහල ලකුණු 47 කින් ද ඩී. එස්. සේනානායක විදුහල හමුවේ මහනුවර ධර්මරාජ විදුහල ලකුණු 32 කින් ද ගල්කිස්ස විද්‍යා විදුහල හමුවේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල ලකුණු 13 කින් ද මහනුවර ත්‍රිත්ව විදුහල හමුවේ ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල ලකුණු 23 කින් ද මහනුවර විද්‍යාර්ථ විදුහල හමුවේ කොළඹ ශාන්ත ජෝශප් විදුහල ලකුණු 05 කින් ද කොළඹ වෙස්ලි විදුහල හමුවේ කොළඹ සහිරා විදුහල ලකුණු 07 කින් ද පරාජය ලැබීය.

ශාන්ත පීතර 112 – තර්ස්ටන් 00

ප්‍රථම භාගය තුළ ලකුණු 55 – 00 ක් ලෙස පෙරමුණ ගත් ශාන්ත පීතර විදුහල දෙවන භාගයේ දී තවත් ලකුණු 57 – 00 ක් ලබා ගනිමින් ලකුණු 112 – 00 ක ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට ශාන්ත පීතර ක්‍රීඩකයින් සමත් වූහ. උත්සාහක දිනුම් 18 න් 11 ක් ගෝල් දිනුම් බවට ප්‍රවර්තනය කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් වූයේ තම දක්ෂතාව උපරීම මට්ටමක පවත්වා ගනිමිනි.

රාජකීය 60 – කිංග්ස්වුඩ් 05

කිංග්ස්වුඩ් විදුහලට එරෙහිව පළමු භාගයේ දී ලකුණු 27 – 05 ක් ලෙස පෙරමුණ ගත් රාජකීය ක්‍රීඩකයෝ නියමිත කාලය නිමාවන විට ලකුණු 60 – 05 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක කර ගැනීමට සමත් වූහ.

ඉසිපතන 50 -ශ්‍රී සුමංගල 03

මහනුවර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 50 – 03 ක ජයක් වාර්තා කිරීමට ඉසිපතන විදුහලට හැකියාව ලැබිණි. ප්‍රථම භාගයේ දී සටහන් වූ ලකුණු සංඛ්‍යාව 11 – 03 කි. උත්සාහක දිනුම් 08 සටහන් කළ ඉසිපතන විදුහල එහි ප්‍රවර්තන 05 ක් නිවැරදි එල්ලයට යොමු කළේය. එක දඬුවම් පහරකින් සෑහීමට පත්වන්නට ශ්‍රී සුමංගල විදුහලට සිදු විය.

ඩී. එස්. 44 – ධර්මරාජ 12

මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව ලකුණු 44 – 12 ක ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට ඩී. එස්. සේනානායක විදුහලට හැකියාව ලැබිණි. ප්‍රථම භාගයේ ලකුණු තත්ත්වය 13 – 07 කි.

ත්‍රිත්ව 31 – ශාන්ත තෝමස් 08

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට එරෙහිව ලකුණු 31 – 08 ක ජයග්‍රහණයක් සටහන් කර ගැනීමට ත්‍රිත්ව විදුහල සමත් විය. ප්‍රථම භාගය අවසන් වන විට 08 – 07 ක් ලෙස පෙරමුණ ගැනීමට ශාන්ත තෝමස් පිල සමත් වීම කැපී පෙණුනි.

විද්‍යාර්ථ 27 ශාන්ත ජෝශප් 22

කොළඹ හැව්ලොක්ස් පිටියේ දී පැවති ආරම්භක තරගයේ දී කොළඹ ශාන්ත ජෝශප් විදුහලට එරෙහිව ලකුණු 27 – 22 ක තියුණු ජයක් විද්‍යාර්ථ විදුහල සතු විය. පළමු භාගය නිම වන විට ලකුණු තත්ත්වය 17 – 17 කි.

වෙස්ලි 21 – සහිරා 14

කොළඹ සහිරා විදුහලට එරෙහිව ලකුණු 21 – 14 ක ජයක් හිමි කර ගැනීමට වෙස්ලි විදුහල සමත් විය.

විද්‍යා 27 – ශාන්ත අන්තෝනි 14

ගල්කිස්ස විද්‍යා විදුහල හමුවේ ලකුණු 27 – 14 ක් ලෙස පරාජය වැළඳ ගැනීමට මහනුවර ශාන්ත අන්තෝනි විදුහලට සිදු විය.

ප්‍රථම භාගය නිමා වන විට ලකුණු තත්ත්වය 10 – 07 කි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment