මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳ වී යෑමේ තර්ජනයන්ට මුහුණපා සිටින මුහුදු කැස්බෑවා සහ කඩොලාන ශාක පරිසරයේ සමතුලිතභාවයන් සහ ජෛව විවිධත්වයන් කෙරෙහි මෙන්ම මිනිස් ප්‍රජාවේ පැවැත්මට ඍජු දායකත්වයක් සපයන්නේය.
පෘථිවියෙන් සියයට හැත්තෑ එකක පමණ ප්‍රමාණයක් පුරා විහිදුණු මහා සාගරයේ ජීවත්වන මුහුදු කැස්බෑවුන් වර්ග හතක් හඳුනාගෙන ඇති අතර ඉන් පහක් පමණ මෙරට මුහුදු සීමාවේදී දැකගත හැකිය. වර්ෂය පුරා මෙරට වෙරළ තීරයන්වලදී කැදලි තැනීමට පැමිණෙන කැස්බෑවුන්ගේ ජීවිතවලට බරපතළ අනතුරුදායක යුග මෙරට නිර්මාණය වී තිබුණු කාලවකවානු ඇත්තේය.
එමෙන්ම ජෛව විවිධත්වයෙන් අනූන කඩොලාන පරිසර පද්ධති ඉතා සුවිශේෂි ශාක ප්‍රජාවක් ලෙස සැලකේ. මෝය, කලපු, දූපත් වැනි පරිසර පද්ධති මුල් කොටගෙන අන්තර් උදම් කලාප එසේ නැත්නම් ගොඩබිම හා ජලය එක්වන මායිම්වල හටගන්නා කඩොලාන ශාක ප්‍රජා කරදිය මෙන්ම මිරිදිය ආශ්‍රිතව ව්‍යාප්ත වේ. වාතයේදී කාබන් වැඩි ප්‍රමාණයක් උරා ගනිමින් ඔක්සිජන් නිපදවීමෙහිලා දැවැන්ත කාර්යභාරයක් සිදුකරන මෙම කඩොලාන ශාක ප්‍රජාවන් ද මිනිස් ක්‍රියාකාරකම්හි ගොදුරක් බවට පත්ව තිබූ යුග මෙරට නිර්මාණය වී තිබුණි.
පරිසරවේදීන් සත්වවේදීන් ඇතුළු පාරිසරික කණ්ඩායම්වල හඬ නැගීම් හමුවේ යම්කිසි පාලනයක් සිදුවුවද මේවා සංරක්ෂණය කිරීම මෙන්ම ආරක්ෂණ වැඩපිළිවෙළක් සඳහා සුදුසු පරිසරයක් සකස් කිරීම සඳහා පරිසරවේදීන්ට සහ සත්වවේදීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවන්නේ මෙම විනාශ කිරීම් සමාජ ආර්ථිකමය ගැටලු දක්වා මුල් බැසගෙන තිබීමත් ජන ජීවිත ඒවා සමග බද්ධ වී පැවතීම හේතු කොට ගෙනය.
එවන් වටපිටාවක් තුළ ජන ජීවිතවලට බාධා නොවන අයුරින් සමාජ ආර්ථිකමය ගැටලු විසඳමින් වර්තමානය තුළ මෙරට මුහුදු කැස්බෑවා සංරක්ෂණය කිරීම, එම සතුන් සඳහාම වෙන් කෙරුණු අභය භූමි ප්‍රදේශ ඇතිකිරීම මෙන්ම ජාත්‍යන්තර සබඳතා සමග ඒකාබද්ධව කටයුතු කරමින් මෙරට කඩොලාන සංරක්ෂණය කිරීම සහ ව්‍යාප්ත කිරීමේලා පුරෝගාමියකු ලෙස කටයුතු කරන යුග පුරුෂයකු වන සමුද්‍රජීව විද්‍යාඥ තුෂාන් කපුරුසිංහ මහතාගේ අත්දැකීම් ඔබ සමග බෙදාහදාගන්නට ‘දිවයින’ අප ඔහු හමුවුණෙමු.
ගහට පොත්ත සේ මහ සයුර සමග බද්ධ වුණු ඔහුගේ ජීවිතයේ දශක තුනකට එපිට අතීතය කරා අප රැගෙන ගියේ ඔහු ආ ගමන් මග රතු පලස් ඇතිරූ මං මාවතත් නොවන බව පසක් කරමිනි.
මගේ තාත්තා රණසිරි කපුරුසිංහ, අම්මා ලීලා පිරිස් හතර දෙනකුගෙන් යුත් පවුලේ තුන්වෙනියා මම. මොරටු වේල්ස් කුමර විද්‍යාලයෙන් තමයි මම අධ්‍යාපනය හදාරන්නේ. මගේ හැරවුම් ලක්ෂ්‍යය පාසල් ජීවිතය කිව්වොත් නිවැරදියි. සොබාදහම තුරුලතා සතා සිවුපාවන්ට ආදරේ කරන්න පටන් ගත්තේ පාසල් යන කාලෙදිමයි. ඒකට ප්‍රධාන වශයෙන් බලපෑවේ 1985. මම එතකොට 8 වසරේ මම බැඳෙනවා පාසල හරහා ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයට. ඒක මට ජීවිතයට ලොකු පන්නරයක් වුණා. මම ඒකේ ලේකම් උපසභාපති ධුර ආදිය දැරුවා… පස්සේ මම 1990 ඉඳලා 2001 කාලය තුළ ක්ෂිරපායි අධ්‍යයන ඒකකයේ ප්‍රධාන උපදේශක ධුරය දරලා තියෙනවා. මම මොරටුව වේල්ස් කුමර විද්‍යාලයෙන් ජීව විද්‍යා අංශයෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. පස්සේ විවෘත විශ්වවිද්‍යාලයේ ස්වභාවික විද්‍යා පීඨයේ උපාධිය හදාරමින් ඉන්නකොට මට ඇමරිකාවේ ඩියුක් විශ්වවිද්‍යාලයෙන් සමුද්‍රජීව විද්‍යාව සහ මුහුදු කැස්බෑවුන් පිළිබඳව හැදෑරීමට පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබෙනවා. පස්සේ එංගලන්තේ කෙන්ට් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයෙන් වනජීවී සංරක්ෂණය සහ සංචාරක ව්‍යාපාරය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත්තා. ඒවගේම 1991 වසරෙ දී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ වනජීවි සංරක්ෂණය සහ කළමනාකරණය පිළිබඳ පාඨමාලාවේ ආරම්භක කණ්ඩායම නියෝජනය කළ පුද්ගලයෙක් මම.
එතැනින් පස්සේ තමයි මම 1993 වර්ෂයේදී කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය TCP ආයතනය බි්‍රතාන්‍ය ජාතිකයකු සමග එක්ව බිහිකරන්නේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ රැකව ධීවර ගම්මානය කියන්නෙ ඉතා සුවිශේෂී කලාපයක්. මේ ප්‍රදේශයට කැස්බෑවුන් බිත්තර දාන්න ඉතා විශාල ප්‍රමාණයක් පැමිණෙන බව අපට තොරතුරු ලැබුණා. අපි ඒ ගම්මානයට යනකොට ගමේ මිනිස්සු කැස්බෑවුන් මරනවා, බිත්තර එකතු කරලා විකුණනවා. එක පැටියෙක්වත් මුහුදට මුදා හැරීමක් සිද්ධ වෙන්නෑ. ඒ වෙනකොට අපි මීගමුවේ ඉඳන් බූන්දලට යනකං වෙරළ තීරයේ සමීක්ෂණයක් කරනවා. එක දවසෙ නෙමෙයි අපි වෙරළ කොටස් කොටස්වලට කඩලා අපි තනිකරම වෙරළ දිගේ ඇවිදගෙන යනව. මම මීගමුවේ ඉඳන් බූන්දලට යනකම් ඔය වෙරළ තීරයේ පයින් ඇවිදල තියෙනව. ඒකට මාස කිහිපයක් ගත වුණා. අපේ අරමුණ වුණේ මුහුදු කැස්බෑවුන් මොන වර්ග ද මොන විශේෂ ද පැමිණෙන්නේ, මොන කාලවලට ද පැමිණෙන්නේ, ඒ දාන බිත්තරවලට මොකද වෙන්නේ? මිනිස්සු එකතු කරනවද කනවද ඒ වගේ වෙරළ සමීක්ෂණයක් තමයි අපි කරේ. අපිට ඒකට එංගලන්තේ කෙයාර් ෆෝ ද වයිල්ඩ් කියලා ආයතනයෙන් ස්වෙච්ඡා සේවකයෝ ආවා. ඊට අමතරව මම තරුණ සත්වවේදීන්ගේ සංගමයේ සාමාජිකයන් එකතු කරගත්තා. ඒක සිද්ධ වුණේ මගේ නායකත්වයෙන්. එතනදී ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල විදියට අපි හඳුන ගත්තා. ප්‍රධාන වශයෙන් කැස්බෑවුන් වැඩියෙන්ම පැමිණෙන ප්‍රදේශ තුනක් එකක් කොස්ගොඩ වෙරළ තීරය, තංගල්ල රැකව වෙරළ තීරය හා බූන්දල වෙරළ තීරය. මේ වෙරළ තීරයන් තුන අපි හොඳම වෙරළ තීරයන් විදියට හඳුනගත්තා.
එහිදී කොස්ගොඩ, බෙන්තොට, ඉඳුරුව වගේ ප්‍රදේශ ගත්තහම ඒ ප්‍රදේශයේ කැස්බෑ බීජ සල්ලි දීලා අරගෙන වළක් හාරලා ඒ වළේ බිත්තර තැන්පත් කරලා පැටව් ආවහම පැටව් ටැංකිවල දාගෙන සංචාරක ප්‍රවර්ධන මධ්‍යස්ථාන කිහිපයක්ම තිබුණා. නමුත් මිනිසුන් බිත්තර කනවා වෙනුවට ඒවා එකතු කරලා ආරක්ෂා කරලා පැටව් මුහුදට යවන වැඩපිළිවෙලක් එතන ඒ කාලේ සිද්ධ වුණා. අපි ඒකට කියන්නේ පරිබාහිර සංරක්ෂණය කියලා. ආයි බුන්දල ප්‍රදේශයේ තවත් කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියකුත් ක්‍රියාත්මක වුණා. නමුත් රැකව කියන ප්‍රදේශයේ කිසිම සංරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ නෑ. වැඩියෙන්ම කැස්බෑවුන් පැමිණෙන ප්‍රදේශය. ලංකාවට බිත්තර දාන්න එන කැස්බෑව විශේෂ පහම අපිට එහිදී දැක ගන්නට පුළුවන්. බිත්තර දානවා දැකබලා ගන්න අවස්ථාව ලැබුණා. ඒ දාන බිත්තර සියල්ලම අනාරක්ෂිතයි. මිනිස්සු බිත්තර එකතු කරලා විකුණනවා. ඒ නිසා අපි තීරණය කළා රැකව අපේ සංරක්ෂණ කටයුතු සඳහා අපේ ප්‍රදේශය විදියට තෝරගන්න. අපිට මුලින්ම සිදුවුණා රැකව ගමේ සමාජ ආර්ථිකමය සමීක්ෂණයක් කරන්න. ඒකෙදි අපි ඉන්න ප්‍රජාවේ වෘත්තීන් මොනවද කියලා ධීවර කර්මාන්තය යෙදිලා ඉන්නේ කවුද, බිත්තර එකතු කරන අය කවුද ඉන්නේ, හිරිගල් කඩන අය කවුද ඉන්නේ, කඩොලාන කපන අය කවුද ඔය වගේ තොරතුරු තමයි අපි ඒකරාශී කරේ. ඔවුන් ඒකෙන් කොපමණ ආදායමක් උත්පාදනය කරනවද, ඉගෙන ගන්න පාසල් යන වයස් දරුවො කොච්චර ඉන්නවද, ගෑනු පිරිමි භාවය ආදී සියල්ලම අපේ සමීක්ෂණයට එකතු කළා. ඒකෙදි අපට තේරුණා ගමේ වැඩි පිරිසක් ජීවත් වෙන්නේ මුහුද ආශ්‍රිත රැකියා වගේම, කැස්බෑ බිත්තර විකුණලා මස් විකුණලා කඩොලාන ශාක කපලා, සිප්පි හාරලා. මෙතනදි තමයි මට වැටහුණේ කඩොලාන කියන ශාක ප්‍රජාවට ඇති තර්ජනය හරියටම නමුත් එකවර මේවා අහිමිවීම ගැටලුකාරී වෙනවා කියලා අපි දැනගෙන හිටියා. ඒ නිසාම අපි රැකව ගම්මානේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩසටහන් මුලින්ම ක්‍රියාත්මක කරා. තරුණ කොටස් ගෙනල්ලා දැනුවත් කිරීමේ වැඩසටහන් ඒවගේම ස්ථානීය සංරක්ෂණ කටයුතු සඳහා ගමේ පිරිස් බඳවාගෙන මුර සංචාර සිදුකරලීම මගින් ඔවුන්ට වැටුප් ගෙවීම් වැනි ක්‍රියාදාමයන් සිදු කළා. මෙම වැඩසටහනට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාරා ආයතනය, රුහුණ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහය දැක්වූවා. ගමේ මිනිස්සු බිත්තර ආරක්ෂා කරන වැඩසටහන් ක්‍රියාත්මක කරන අතරේ ආයතනවල පර්යේෂණ නිලධාරීන් විසින් පර්යේෂණ කටයුතු සිදුකරගෙන ගියා. ඒ අතරේ අපි එන හැම කැස්බෑවකුගේම අවල්පතේ සලකුණක් යෙදුවා. ඒකෙදි අපිට පුළුවන් වුණා ගොඩබිමට බිත්තර දාන්න එන කැස්බෑවන් ප්‍රමාණය හඳුනගන්න. අපිට හම්බවෙලා තියෙනවා අපි සලකුණු කරපු කැස්බෑවුන් දෙදෙනෙක් දොළොස් වතාව බැගින් බිත්තර දාන්න වෙරළට ආපු අවස්ථා තිබුණා. අපි සලකුණු කරේ නැත්තං අපි එයාලව හඳුනා ගන්න විසි හතර දෙනෙක් විදිහට…
නැවත අපි එංගලන්තෙ විශ්වවිද්‍යාලයක් සහ ඉන්දියාවේ ආයතනයක් සමග එක්ව චන්ද්‍රිකා තාක්ෂණ උපකරණ සවිකර කැස්බෑවුන් මුදා හැරීම මගින් එම සතුන්ගේ ජීවන රටාව හඳුනා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා. අපි එතන සතුන් එකොළොස්දෙනකු මාර්ගයෙන් එම සතුන්ගේ ජීවන රටා හඳුනාගැනීම සිදු කළා.
අපිට පස්සෙ ඕන උනා ගමේ තිරසරභාවය ඇති කරන්න. උත්පාදන ක්‍රියාවලිය නංවන්න. ඒකට අපි යොදාගත්තේ සංචාරක ව්‍යාපෘති. ඒ සඳහා අපි සංචාරක හෝටල්වල දේශන පැවැත්වීම් වගකිවයුතු ස්ථාන දැනුවත් කිරීම වගේ දේවල් කරලා රැකව ගමේ සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කළා. ගමේ අයට ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයයි අපියි එකතුවෙලා සංචාරක මාර්ග උපදේශක බලපත්‍ර අරන් දුන්නා. ඒ හේතුවෙන් අද වෙනකොට එම ප්‍රදේශ දැවැන්ත සංචාරක මර්මස්ථාන බවට පත්වෙලා තිබෙනවා. එතැනින් අපි නැවතුනේ නැහැ. 2006 වසරේදී රැකව වෙරළ තීරය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා රැකව කැස්බෑවුන් වෙනුවෙන්ම ප්‍රකාශයට පත් කරපු ශ්‍රී ලංකාවේ ප්‍රථම අභයභූමිය බවට පත් කෙරෙව්වා. ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්. ඒක කිලෝමීටර හතරක් විතර දිගයි. මුහුදෙන් සහ ගොඩබිමින් කොටස් අයිති වෙනවා. ඒවගේම උස්සන්ගොඩ අභයභූමිය අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්වුණා. මේ එකක්වත් රෝස මල් අතුරපු පාරවල්වල ගිහිල්ලා බන්දේසියේ තියල දීපුවා නෙමෙයි. කකුලෙන් ඇදිලි, බාධා අභියෝග මධ්‍යයේ ලබාගත්ත දේවල්. සුනාමියට අපිට මුහුණදෙන්න සිදුවුණා. සුනාමිය එනකොට අපි රැකව සහ කොස්ගොඩ දෙකේම ව්‍යාපෘතිය දියත් කරලා තිබුණා. කොස්ගොඩ වෙරළේ කැස්බෑ බිත්තර ආරක්ෂා කරන කැදලි ආරක්ෂක මහත්වරු තුන්දෙනෙක් අපිට අහිමි වුණා. කොස්ගොඩ කාර්යාලය සම්පූර්ණයෙන් විනාශ වුණා. මේ වගේ අභියෝගත් අපට තිබුණා.
අපේ ටී.සී.පී කියන කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරියේ ලියාපදිංචි කළ නීත්‍යනුකූල පරිසර සංවිධානයක්. මෙහිදී කියන්න ඕනේ අපේ සංවිධානයට දේශීය විදේශීය වශයෙන් සම්මානයන්වලට පාත්‍ර වෙලා තියෙනවා.
එයට අමතරව අපි ගමේ ආර්ථිකය නඟා සිටුවන ස්වයං රැකියා වැඩසටහන් ක්‍රියාත්මක කරා. එතකොට අපිට පුළුවන් මේ ප්‍රදේශවල ඉන්න කඩොලාන ශාක කපා ඒ ආශ්‍රිතවත් ජීවත්වන පිරිසගේ ජීවන තත්ත්වය නඟා සිටුවන්න. ඊට පස්සේ අපි ඒ මිනිස්සුන්වත් හවුල් කරගෙන කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය පටන් ගත්තා. මෙරට කඩොලාන සිටුවන සංවිධාන අතරින් අපි තමයි මුල් තැන ඉන්නේ. අපි මේ වෙනකොට කඩොලාන හෙක්ටර්යාර තුන්දහසකට වැඩිය වගා කරලා තියෙනවා. අපි හිටවපු කඩොලාන ශාක අද ගොඩක් ලස්සනට හැදිලා. අපි ඒ ආශ්‍රිතවත් රැකියා දීලා තියෙනවා. පැල නඩත්තු කරන්න සිටුවන්න වගේ දේවල් වෙනුවෙන්.
එක්සත් ජාතීන්ගේ සංවිධානය කඩොලාන සිටුවීම පිළිබඳව ශ්‍රී ලංකාවට සම්මානයක් පිරිනැමුවා. ඒ සම්මානය ශ්‍රී ලංකාවට ලැබෙන්න අපේ සංවිධානය සෘජු දායකත්වයක් දැක්වූවා. මොකද ශ්‍රී ලංකා රජය පොරොන්දු වෙලා තියෙනවා ජාත්‍යන්තර ප්‍රජාවට 2030 වෙනකොට අපි කඩොලාන හෙක්ටයාර දහදාහක් හිටවනවා කියලා. ඒකෙන් 3000ක්ම මගේ සංවිධානය හිටවලා ඉවරයි.
අපි මේවා කළේ ඒසී කරපු කාමරවල ඉඳගෙන නෙමෙයි වැල්ලේ බුදියගෙන බඩට නොකා. අපි ආදර්ශමත් විදිහට තමයි හැමදේම කරලා තියෙන්නේ ඕන කෙනෙක්ට අපෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. එකක් තමයි අපි කෙටිකාලීන දේවල් නෙමේ කරේ දීර්ඝකාලීන ව්‍යාපෘති තමයි කළේ. මගේ සංවිධානයට දැන් අවුරුදු තිහකට වැඩියි. මාත් එක්ක පටන් ගත්ත සමහර සංවිධාන දැන් අතුරුදන්. අංක එකටම අපි විශේෂඥ භාවයක් හදාගත යුතුයි ඒ විෂය පිළිබඳව. අපි පරිපූර්ණ වුණේ ක්ෂේත්‍ර අත්දැකීම්වලින්. සමාජීය ගැටුම් මතු නොවන ආකාරයට ප්‍රජාවන් සමග සුහදව කටයුතු කිරීම ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙමින් ව්‍යාපෘති දියත් කිරීම අපේ සාර්ථකත්වයයි. ලංකාවේ ගොඩක් වෙලාවට පුරුදුවෙලා තියෙන්නේ පරිසරය විනාශ කරන නීති කඩන අයව අත්අඩංගුවට අරගෙන ඔවුන්ට දඬුවම් දෙන එක. නමුත් අපි කරේ එහෙම නෙමෙයි. මිනිස්සු ඇයි මේ නීති විරෝධී පරිසර ක්‍රියාකාරකම්වල යෙදෙන්නේ කියලා හඳුනගෙන ඒවාට විසඳුම් ලබාදීම තුළින් තමයි අපි සාර්ථකත්වය කරා ගමන් කළේ. අපි කැස්බෑව මරාගෙන කාපු, බිත්තර විකුණපු වැල්ලෙ කොල්ලෝ කියන පිරිසට සංචාරක ව්‍යාපාරය කියන එක හඳුන්වා දීලා තියෙනවා. අද ඒ ගම්මානවල මිනිස්සු සතුටින්. ඔවුන්ට ඒ සතුට ළඟාකර දෙන්න මට ප්‍රමුඛතාවය ගන්න ලැබීම පිළිබඳව මට ඇත්තේ නිහතමානී ආඩම්බරයක්.
එමෙන්ම ඔහු විසින් සිදු කරන මෙහෙවර අගය කරමින් ඇමෙරිකාවේ Exploorer’s Club 2024 විසින් ලෝකය වෙනස් කරන පුද්ගලයින් පනස් දෙනා අතුරින් ශ්‍රී ලංකාවේ තුෂාන් කපුරුසිංහ මහතා නම් කිරීම ශ්‍රී ලාංකිකයන් ලෙස අපට මහත් ආඩම්බරයෙකි. දශක තුනකට එහා ගිය පාරිසරික ක්‍රියාකාරකම් හමුවේ වුවද ඔහු තමන් අදහන ආගම වෙනුවෙන් සහ දැයේ දූ දරුවන් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට ද අමතක නොකරන අභිමානවත් පුද්ගලයකු වන අතර පානදුර වලාන සිරි විමල දහම් පාසලේ උප ප්‍රධාන ආචාර්යවරයා ද වන්නේය.
බෝඩ් ලෑල්ලක් ගසා නමට පමණක් බිහි වූ පරිසර සංවිධානවල නමට පමණක් පරිසරවේදීන් කියාගන්නා පිරිස් අද ඕනෑ තරම් ඇත්තේය. මාධ්‍ය ඉදිරියේ ගිරව් මෙන් නන් දොඩන මුදල් කඩා වඩා ගැනීමේ වෑයමේ පමණක් නිරත වන පරිසරයට හෝ සතා සිවුපාවා රැක ගැනීම වෙනුවෙන් අබමල් රේණුවක තරම් වත් මෙහෙයක් නොකරන පිරිස් අතුරින් සැබෑ පරිසරවේදියෙකුගේ දශක තුනකට එහා ගිය මෙහෙවර උපනූපන් අනාගත දරු පරපුර වෙනුවෙන් සිදුකළ දායාදයකි. කැප කිරීම් මධ්‍යයේ සුන්දර ලොවක් තනන්නට වෙහෙසෙන යුග පුරුෂයාණනි ‘දිවයින’ අප ඔබට මෙසේ උත්තමාචාරය පුදකර සිටින්නෙමු.
නයනදුල සෙන්දනායක