කර්මාන්තය නංවන්න හදන රටේ සංචාරකයන්ට අපමණ දුෂ්කරතා
කිලෝ මීටර විස්ස තිහ පයින් යන මිනිස්සු
අඩි හත්දාහක් උස නැග්රැක් ගමට පොදු පහසුකම් නෑ
වතුකරයේ වෙසෙන මිනිසුනට දුක යනු අමුතු දෙයක් නොවේ. උඩ රට, පහත රට ඔය කවර පෙදෙසක විසූවද ඔවුහූ දුක වළඳති. පැමිණි දුක් පැණි රසයි කියන්නට ඔවුහු නොපෙළඹෙති. මන්ද යත් සදාතනික දුක කරුමයක් යැයි සිතන්නට ඔවුන් දැන් නොපෙළඹෙයි. අධ්‍යාපනයටද තිත තබමින් ප්‍රාථමික අධ්‍යාපනයෙන් විධිමත් අධ්‍යාපනය හමාර කරමින් ගමෙන් ඔබ්බට නොගොස් තේ දල්ලටම නතුවී දිවි ගෙවති.
ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැග් ගමට මෙන්ම වටා ඇති වතු ජනාවාස කීපයකටම මෙය තදින්ම දැනෙන්නේය. එහෙයින්ම ඔවුහු ඒ දුක රට හමුවේ තබන්නෝය. වැඩි වැල්වටාරම් නැතිවම අප කතාව ඔබ හමුවේ තැබිය යුතුය. ඒ, කියන පරිදි නැග්රැක් ජනපදිකයන්ට පොදු පහසුකම් කිසිවක් නැත.
නැග්රැක් මොකක්ද ?
එගමෙහි පදිංචි උදවියට තිබෙන ප්‍රශ්න ගැන දැනගැනීමට පෙර “නැග්රැක්” ගැන ඔබ “ටිකක් විතර” දැනගත යුතුය. ලෝ සුප්‍රකට ලංකාවේ සුන්දර ගමනාන්තයක් වන ලෝකාන්තයේ සිට බැලූ විට පෙනෙන මුහුදු මට්ටමේ සිට අඩි හත්දහසක් උස වතු ජනාවාසය මෙය වෙයි. මෙහි පවුල් තිස් හයක් පමණ පදිංචිව සිටිති. මොවුන් සිය දෛනික කටයුතු සඳහා ආසන්නතම ප්‍රධාන නගරය වනුයේ කිලෝමීටර් හතළිහකට ආසන්න දුරක් පවතින බලංගොඩ නගරය වේ. බලන්ගොඩ සිට ධාවනය වන එකම බස් රථය නන්පේරියල් විවේකානන්ද විද්‍යාලය දක්වා දිනකට ධාවනය වන්නේ ගමන් වාර තුනකි.
බළංගොඩින් පස්වරු එකෙන් පසුව ගම්මානයට යා හැකි බස් රථයක් නොවේ. නැග්රැග් ගම්මානය ඇතුළු තේ කර්මාන්ත ශාලාව වටා පවතින ගම්මාන කීපය සඳහා පවතින එකම විද්‍යාලය විවේකානන්ද විද්‍යාලයයි. මෙහි ගමන් දුෂ්කරතාවය සලකා බැලීමෙන් පසුව සබරගමු පළාත් සභාව විසින් පාසල තුළ ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකර ඇත.
ගමන් අපහසුතාව නිසා එම වතු නිවාස දරුවන් සඳුදා සිට සිකුරාදා දක්වා පාසලේ නේවාසිකාගාරයේ නවතින බව මව්පියෝ කියන්නාහ. ඒ සියලු දරුවෝ දිනකට කිලෝමීටර් අටකට වැඩි දුරක් පයින් ගමන් ගන්නා බව නැග්රැක් වැසියෝ පවසති. වයස අවුරුදු දහ තුනට වැඩි දරුවන් සඳහා නේවාසිකාගාර පහසුකම් ලබා නොදෙන බවත් නේවාසිකාගාර පාලක නිවාඩු ගතහොත් ඒ සඳහා වැඩ ආවරණයට කිසිවකු නොමැති බවත් මව්පියෝ පවසති. මේ දුෂ්කරතාව ගැන රටට කියන්නට වැඩිදුර තොරතුරු සඳහා විදුහල්පතිවරයාගෙන් විමසීමක් කළද හෙතෙම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළේය.
ඒ කවර හේතුවක් නිසාදැයි තේරුම් ගැනීම අපහසුය. එහෙත් අනුමාන කළ හැක්කේ මාධ්‍යයට “අනවශ්‍ය තොරතුරු” ලබාදීම තමාගේ විදුහල්පති පට්ටම නැතිවන්නට තරම් හේතු වනු ඇතැයි ඔහු තුළ පවතින සාධාරණ බිය බව කිව හැකිය. රටේ තවමත් “සිස්ටම් චේන්ජ්” වී ඇතැයි කලබල වීම නුවනට හුරු නැතැයි ඒ විදුහල්පතිවරයා කල්පනා කරනවා වන්නට පුළුවන. එහෙයින්ම ඔහු තොරතුරු ලබා නොදීම පිළිබඳ අපද කලබල විය යුතු නැත. රටේ උදවිය ද උරණ විය යුතු නැත. එය සෞඛ්‍යට හොඳ නැත. අපි නැග්රැක් මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයද විමසා බැලුවෙමු.
අසනීපයක් වුණොත් කිලෝ මීටර විස්සක් පයින්ම රෝහලට
නැග්රැක් වැසියන්ගේ සෞඛ්‍ය කටයුතු සඳහා 2015 වර්ෂයේදී සබරගමුව පළාත් සභාව මගින් සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඉදිකර ඇති අතර එහි සේවාව එම වර්ෂයේ මාස කීපයකට සීමා වූ බවද ඔවුහු කියන්නෝය. සෞඛ්‍ය මධ්‍යස්ථානය යැයි කියන තැන, 2015 සිට මේ වනතුරුම වසා දමා ඇත. රෝගී අසනීප තත්ත්වයන් සඳහා කිලෝ මීටර විස්සකට ආසන්න දුරක් පැමිණ පඹහින්න රෝහල හෝ කිලෝ මීටර තිස් හයක් දුරින් පිහිටි බලංගොඩ මූලික රෝහලට මේ අසරණයන් පැමිණිය යුතුය. මාර්ග පහසුකම, විධිමත් ගමනාගමන පද්ධතියක්, අධ්‍යාපනය සෞඛ්‍ය කටයුතු සඳහා ප්‍රමාණවත් පහසුකම් ඔවුන් ඉල්ලා සිටින්නේ එහෙයිනි. මේ කිසිවක් කරන්නට බැරි, රජයේ ප්‍රතිපාදන වෙන් කරන්නට බැරි ඉල්ලීම් නොවේ. මේවා ඔබ අප කවුරුත් බුක්ති විඳිය යුතු පොදු පහසුකම්ය. ඔවුනට දීර්ඝ කාලයක් තිස්සේ අහිමි වූ දෑය. කවර ආණ්ඩුවකට හෝ කවර බලධාරියෙකුට වුව මේ අවනඩුව මෙතෙක් නොපෙනුණේ ඇයිදැයි අපටද ප්‍රශ්නයකි.
නැවතත් ඔවුන්ගේ කතාවට ප්‍රවිෂ්ට වෙමු. නැග්රැක් වැසියන්ගේ ගමන් බිමන් වැඩි වශයෙන් පා ගමනටම පමණක් සීමා වේ. අති දුෂ්කර මාර්ගයක් වන මෙම නන්පේරියල් මාර්ගයේ මීට පෙර තේ කර්මාන්ත ශාලාව දක්වා ධාවනය වූ බස් රථය මාර්ගය අබලන් වීමත් සමගම විවේකානන්ද විද්‍යාලය දක්වා පමණක් ධාවනය වේ. එතැන් සිට කිලෝමීටර් අටක් පමණ දුර මේ ගම්වැසියන් පයින් යා යුතුවේ. සුප්‍රසිද්ධ බේකර්ස් වංගුව පිහිටියේද මෙම මාර්ගයේ වන අතර ඒ සඳහා බලන්ගොඩ වැවිලි සමාගම තේ කර්මාන්ත ශාලාව අසලින් ඉදිරියට යන්නේ නම් මාර්ගයේ ගමන් කරනවාට සංචාරකයන්ගෙන් මුදලක් අය කරනු ලබයි. එසේ වුවද සබරගමුව පළාත් සභාව විසින් වරින් වර මාර්ගය ප්‍රතිසංස්කරණය සිදුකොට ඇතත් මේ වන විට ඉතාම අබලන් තත්ත්වයේ පවතින බව දැක ගත හැකිය. මෙය සමාගම සතු පාරක්ද නොමැති නම් රජය සතු මාර්ගයක් ද යන්න රජය සතු ඉඩම් බදු ක්‍රමය යටතේ ලබාගෙන ඇතිද යන්න අනාවරණය කර ගත යුතුව ඇත. වැවිලි සමාගමට අයිතිවේ නම්, පළාත් සභාව මාර්ග ප්‍රතිසංස්කරණය කර ඇත්නම් ඊට සමාගම මුදල් අයකරන්නේ කෙසේද යන්න නොවිසඳුණු ගැටලුවකි. සමාගමේ ඉහළ කළමනාකාරීත්වය සම්බන්ධකර ගැනීමට උත්සාහ කළත් ඔවුන් විසින් ලබාදෙන දුරකථන අංක සක්‍රීය තත්ත්වයේ නැත. මේ සම්බන්ධව සබරගමුව පළාත් ලේකම් මහින්ද එස්. වීරසූරිය මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ පළාත් සභාව විසින් මාර්ගය ප්‍රතිසංස්කරණය කර ඇති නම් ඒ සඳහා මුදල් අය කිරීම කළ නොහැකි බවයි. නන්පේරියල් තේ කර්මාන්ත ශාලාවේ සිට බේකර්ස් බෙන්ඩ් දක්වා ආසන්න වශයෙන් කි.මී. 4 ක දුරක් වෙනුවෙන් මෙම මුදල් අයකරනු ලබයි. සමාගම බේකර්ස් බෙන්ඩ් නැරඹීම සඳහා ආරම්භයේදී ජීප් රියක් හෝ සෆාරි රියකට රුපියල් පන්දහසක් අයකළ බවද ඒ වන විට රිසිට් පතක් ලබා දී නොමැති බවද විධිමත් භාවයකින් තොරව කටයුතු සිදුවූ බවද අනාවරණය විය. කෙසේ වෙතත් මේ වනවිට රිසිට් පතක් නිකුත් කරනු ලබන අතර එවැනි රථයක් සඳහා රුපියල් 1500 ක්ද එක් මගියෙක් සඳහා රුපියක් සීය බැගින් අමතර මුදලක් ද අයකරයි. යතුරුපැදියක් සඳහා රුපියල් පන්සීයක්ද, ත්‍රිරෝද රියකට රුපියල් 250 ක් ද අයකරන බැව් අනාවරණය විය. මුදලක් අය කළද ඒ අය වෙනුවෙන් සමාගම සළසා ඇති පහසුකම් කවරේද යන්න විමසමු. සිසිල් දේශගුණයක් සහිත මෙහි පුද්ගල ශාරීරික අවශ්‍යතාවයක් සපුරා ගැනීමට වත් අඩුම තරමේ වැසිකිලි පහසුකමක් වත් සලසා ඇතිද යන්න ප්‍රශ්න කළයුතුය.
බෙලිහුල්ඔය සංචාරක පරාදීසයක් කරමින් නොනිදන නගරයක් බවට පත්කිරීම ගැන කලින් කලට වරින් වර මතුව පහව යනු අපි දුටුවෙමු. සංචාරක පරාදීසයක ආකර්ශනීය තත්ත්වයක් සවභාවිකව උරුමකර ඇතත් ඒ උරුමයන්ට අරක්ගත් අරුම පුදුම අදිසි හස්තයන්ගේ බලපෑම විසඳා ගතයුතුව ඇත. ඇතැම් තොරතුරු ලබා ගැනීමට අදාළව කර අරිමින් ලිස්සා යෑමේ න්‍යායද බොහෝවිට අනුගමනය කරනු ලබන බලධාරීන් මේ තත්ත්වයට සෘජු මැදිහත්වීමක් නොවන්නේ නම් ආර්ථික ඉලක්ක හඹා යෑමේදී අපේක්ෂිත ඵල ලැබේද යන්න සැක සහිතය.
දේශීය සංචාරකයන් වැඩි පිරිසක් සති අන්ත හා නිවාඩු දිනයන්හි මෙහි පිවිසෙන අතර ඒ සඳහා ප්‍රවාහන සේවා සපයන පිරිසක් ද මේ වන විට වෘත්තියක් ලෙස යෙදෙමින් සිටියි. සමාගමෙන් අයකරන මුදල රථයටත් මගීන්ටත් සහනයක් සලසන්නේ නම් සැමට සහනයක් වී සංචාරකයන් වැඩි වීම සිදුවනු ඇතැයිද එවැනි සේවා සපයන්නෙක් අප සමග කීවේය.
බේකර්ස් වංගුව දක්වා මාර්ගය සංවර්ධනය කර, මීට පෙර ලෝකාන්තය වෙත පාගමනින් පිවසීමට හැකිව තිබූ කිලෝ මීටර් 2 ක දුර ගමන් මග තහනම් කර අති අතර මේ සඳහා පිවිසීමේ අවසර පතක් ලබාදී පා ගමනින් ලෝකාන්තයට පිවිසීමට මග විවර කළ හැකි නම් සංචාරක ප්‍රවර්ධනයක් සිදු කළ හැකි බවද බොහෝ දෙනෙක් කිවූ කතාවකි. පළාත් මායිම් දෙකක පිහිටා තිබීම ඊට බාධාවක් කොට නොගෙන මධ්‍යම පළාතේ ඔහිය ප්‍රවේශය මෙන්ම නැග්රැග් හෝටන්තැන්න ප්‍රවේශය විධිමත් ක්‍රමවේදයක් තුළ දෙස් විදෙස් කඳු නඟින්නන්ට සංචාරක දොරටු විවර කිරීම පිළිබඳව අවධානය යොමුකිරීම හා ක්‍රියාත්මක කිරීම බලධාරීන් සතු වගකීමකි.
මීට පෙර සබරගමුව පළාත් සභාව හා වැවිලි සමාගම අතර සාකච්ඡා වට කීපයක් පැවති අතර බෙලිහුල්ඔය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේදී නැග්රැක් සිට පහළ ඈතින් පෙනෙන සමනලවැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් පිළිබඳව ද සාකච්ඡා කර තිබිණි.
නැග්රැක් වැසියන්ගේ පොදු පහසුකම් ගැටලුව යනු අවධානය යොමු විය යුතු දියුණු කළ යුතු ඉක්මන් කාරණයක් බව අපි කාට කාටත් අවධාරණය කර සිටිමු. ඉන් අදහස් කරන්නේ නැග්රැක් සියලු අර්බුද එතැකින් නිමා වන වගක් නොවේ. එහෙත් ඉලක්කගත ආරම්භයකට එය ප්‍රවේශයක් බව අපි විශ්වාස කරමු. එපමනක් නොව සංචාරක ආකර්ශනය දිනූ පාරිසරික පද්ධතිය රැකීම හා සංචාරක ප්‍රවර්ධනය ද වඩාත් දියුණු මට්ටමකට පැමිණිය යුතු බව අපි තදින් විශ්වාස කරමු.
සමන්තා ප්‍රින්සි ලාලනී