ඔහු දැන් ඡායාරූපකරණයේ ජාත්‍යන්තර විනිසුරෙක්

ඡායාරූපකරණයෙන් පදක්කම් දිනා ගිනස් වාර්තාවද අභිබවා සිටින සාඩම්බර ශ්‍රී ලාංකිකයා, ප්‍රවීණ ඡායාරූප ශිල්පී පණ්ඩුල බණ්ඩාර ගැන අපි පසුගිය සතියේද කතා කළෙමු. තමාගේම ව්‍යාපාරයක නිරත වෙමින්, විවේකයට, විනෝදයට ඡායාරූපකරණය සිදුකළද, පණ්ඩුල ඡායාරූපකරණය නමැති විෂය සිදුකරන්නේ නොයෙකුත් අත්හදා බැලීම් කරමින් හා ගැඹුරට එය හදාරමින් මෙන්ම ඒ පිළිබඳව සිදුකරන නිරන්තර ක්‍රියාකාරීත්වය හා සුපරික්ෂාව තුළින්ද බව අපට පසක් වූයේ ඔහුගේ ඡයාරූප විඳීමෙන් පමණක් නොව, ඔහු හා කරන ලද කතා බහද තුළිනි. එවන් ආකාරයෙන් තමන්ටම අවේනික වූ ඡායාරූප කලාවක් හදාරමින් මෙන්ම පසු විපරමේද යෙදෙමින් කටයුතු කරන තවත් පුද්ගලයකු ශ්‍රී ලංකාවේ සිටීද යන්නද අපට ප්‍රශ්නාර්ථයක් ඇතිවන තරමටම ඔහු එම කටයුතුවල නිරතව සිටින්නේ තමන් විසින් ගන්නා ලද සෑම ඡායාරූපයක් සඳහාම සාධාරණයක් ඉටුකරන්නට ඔහු දක්වන උනන්දුව නිසාය. ගිනස් වාර්තාවද අභිබවා යමින් ඔහු ලබා ඇති ඒ දක්ෂතාව අපට කියන්නේ එවන් දක්ෂයකු මේ ලංකා දෙරණ තලය තුළ පමණක් නොව, ලෝකයේද දුර්ලභ බවයි.

වනජීවී ඡායාරූපකරණයට මම බෙහෙවින්ම කැමතියි - ප්‍රවීණ ඡායාරූපශිල්පී පණ්ඩුල බණ්ඩාර
පණ්ඩුල සිය පවුල සමග

“ඡයාරූපකරණය රඳාපවතින්නේ නිරන්තර පුහුණුව මත. ඒ කියන්නේ නිරන්තරයෙන් ඡායාරූපකරණ අභ්‍යාසයේ යෙදෙනවා නම් ඒ තුළින් අපට අපූරු කලාවක් දකින්න පුළුවන්. කලාත්මක ඡායාරූපකරණයක නිරතවෙන්න පුළුවන්. ඇත්තටම මම ඡයාරූප ගැනීම සිදුකරන්නේ හැදෑරීම තුළින්. එහි ප්‍රථිපලය තමා මගේ මේ වනජීවී, ක්‍රීඩා, කාලාත්මක, විලාසිතා, සංස්කෘතික ඡායාරූප එකතුව. ඒ වගේම ඡායාරූපකරණයෙන් පස්සෙත් මම මගේ ඡායාරූප හා ඡායාරූප තේමාවන් ලෝකයේ ඡායාරූප සමග නිරන්තරව සසඳා බලනවා. ලෝකයේ ප්‍රකට ඡායාරූප තරග සංවිධානය කරන්නන්ගේ තරග හා ඔවුන්ගේ ඡායාරූප තෝරාගැනීම, ඒ පිළිබඳව ඔවුන්ට ඇති විශේෂංගතාව ගැන මම දිගින් දිගටම අධ්‍යයනය කරනවා. ලෝකයේ එක් එක් කලාපයේදී ඡායාරූප සඳහා ලැබෙන සැලකිල්ල කොහොමද කියා මම හදාරනවා. මේ වෙනකොට මට ඒ පිළිබඳව හොඳ අවබෝධයක් තියනවා. ඉන්දියාවේ තියන තරගවලදී ඔවුන් බලාපොරොත්තු වන්නේ මොනවාද කියා මම දැන් හොඳින් අවබෝධ කරගෙන ඉන්නේ.

වනජීවී ඡායාරූපකරණයට මම බෙහෙවින්ම කැමතියි - ප්‍රවීණ ඡායාරූපශිල්පී පණ්ඩුල බණ්ඩාර

ඒ වගේම ඇමෙරිකාවේදී, යුරෝපයේදී තරගවලදී අවධානය යොමුකෙරෙන්නේ වෙනත් මාතෘකාවලට. බොහෝ විට අවිහිංසනය පිළිබඳ කාරණාවලට යුරෝපයේ මුල්තැන ලැබෙනවා. නිදසුනක් ලෙස ගොදුරක් ඩැහැගන්නා සතෙකුගේ ඡායාරූපයක් ගනිමු. යුරෝපයේදී ඒ සඳහා ලැබෙන පිළිගැනීම ඉතා අඩුයි. මොකද, ඔවුන් හිංසනයට කැමති නෑ. බොහෝ විට ආසියාවේ සංස්කෘතියට වුණත් වැඩි තැනක් යුරෝපයේදී හිමි වුණත්, ඉන්දියාවේදී ඒවාට සැලකිල්ලක් ලැබෙනවා අඩුයි. අපි ඡායාරූප ගත්තාට මදි. ඒවා ජාත්‍යන්තර තරගවලට දාන්නත් ඕන. නමුත්, තරගවලට දානකොට ඒවා මොන කැටගරියටද දාන්නේ… අපි දාන ඡායාරූපය හෝ ඡායාරූප අදාළ කලාපයට ගැළපෙනවද.., එයින් තමන්ට ලැබෙන ජයග්‍රහණයේ සම්භාවිතාව කොතරම්ද යන්න ගැන දැනුවත්ව තමයි අපි ඒ දෙය කළයුත්තේ. රන් සම්මාන 933 ක් ඇතුළුව, සම්පූර්ණ සම්මාන, පදක්කම් 3400 ක් ලබන්න මම ඒ පර්යේෂණය ඉතා හොඳින් සිදුකළා, පමණක් නෙවෙයි, අදත් මම ඒ ගැන ඉතා අවදියෙන් හදාරනවා” යැයි පණ්ඩුල බණ්ඩාර පවසන්නේ ඔහු තම සම්පූර්ණ කාලයම ඒ සඳහා ගතකිරීමක් සිදුකරන බව කීම නොව, ඡායාරූපකරණය හා ඉන් අනතුරුව සිදුකරනු ලබන අඛණ්ඩ පසු විපරම ගැන මොනවාට මතක් කරමිනි.

මට හැඟී ගිය කාරණය නම්, ඡායාරූපකරණය නමැති තෙවැනි ඇස කදිමට පණ්ඩුල බණ්ඩාරයන්ට පිහිටා ඇති සේම, විෂයට ඝෝචර වූ නොපසුබස්නා නුවණක් හා උත්සාහයක් නිරායාසයෙන් ඔහු තුළ පිහිටා තිබීම ඔහු මේ පැමිණ තිබෙන ගමනට හේතුවන්නට ඇති බවයි. ඇතැමුන්ට ඡායාරූපකරණය හෝ වනජීවී ඡායාරූපකරණය හුදෙක් විනෝදාංශයක් පමණක් වූවාට, පණ්ඩුල එම කාර්යය සිදුකරන්නේ එහි පරතෙරක් පිළිබඳව මනා අවබෝධයකිනි. තම ව්‍යාපාරික කාර්යබහුලත්වය කිසිසේත් ඔහු ඡායාරූපකරණ විෂයට ගාවාගෙන නැති බව අපට පෙණෙන කාරණයකි. ඔහු විෂයක් ලෙසම ඡායාරූපකරණයේ සැරිසරන අතර, ඒ තුළ සිදුකරන පර්යේෂණ හා කලාත්මක එකලස් කිරීම් පවා විටෙක ලියනාඩෝ ඩාවින්සි වැනි මහා කලාකරුවන් සමව යමින් නිර්මාණ බිහිකිරීම දක්වා ඔහුගේ මනස භාවාත්මක වී ඇතැයි විටෙක මට කල්පනා වෙයි. ඔහුගේ කාර්යාල කාමරයේ නොහොත් “ස්වර්ණාභරණ සාප්පුවේ” ප්‍රවේශයටම නෙත ගැටෙන සුදු පසුබිමක චිත්‍රණය වූ (රූපණය වූ) “කන්‍යාවියක” ගේ එකලස් ඡායාරූපය දුටු විට අපට නිරායාසයෙන් සිහිවන්නේ ඩාවින්සිගේ මොනාලිසා ය.

වනජීවී ඡායාරූපකරණයට මම බෙහෙවින්ම කැමතියි - ප්‍රවීණ ඡායාරූපශිල්පී පණ්ඩුල බණ්ඩාර

පණ්ඩුල ඡායාරූපකරණයේ විවිධ දක්ෂතා පෙන්වන කලාකරුවෙකි. සමස්ත ඡායාරූපකරණයම විෂය වූ ඔහුගේ වනජීවී ඡායාරූපකරණය, ක්‍රීඩා ඡායාරූපකරණය, විලාසිතා ඡායාරූපකරණය, ආගමික හෝ සංස්කෘතිකමය ඡායාරූපකරණය, පුරාවිද්‍යා උරුමයන් පිළිබඳ ඡායාරූපකරණය වැනි චල-අචල යන පුළුල් පරාසයක විහිද යන්නකි. ඒ සියල්ල කැමරා කාචයක් තුළින් අගනා ලෙස කැටිකර ගන්නට සමත්වන පණ්ඩුල බණ්ඩාර තම “මිරලස්” කැමරාව තුළින් සිදුකරන පෙරළිය මෙරට පුහුණු නුපුහුණු බොහෝ ඡායාරූප ශිල්පීන් උගත යුතු ආදර්ශයක් යැයි මම කල්පනා කරමි. සැබැවින්ම පණ්ඩුල මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින විෂය පිළිබඳ අතිදක්ෂ දේශකයෙක් සහ වැඩමුළු කරන්නෙක් බවද සිහිපත් කළ යුතුය.

වනජීවී ඡායාරූපකරණයට මම බෙහෙවින්ම කැමතියි - ප්‍රවීණ ඡායාරූපශිල්පී පණ්ඩුල බණ්ඩාර

2017 දී ජාත්‍යන්තර ඡායාරූප තරගයකදී ලැබූ පළමු පදක්කම් යුගලය ඔස්සේ නොනැවතී ඉදිරියටම ගිය පණ්ඩුක බණ්ඩාර නම් මෙසේ පෙළහර පාන ඡායාරූප කලා ශිල්පියා, FIAP” PSA” GPU” ISF” FIP” SINGOPORE Super 12 circuits යනාදී අන්තර්ජාතික ඡායාරූප සංවිධාන සමග නිරන්තර සම්බන්ධතා පවත්වමින් තරග සඳහා ඉදිරිපත්වන අතර, තවත් වැදගත් කාරණයක් වන්නේ පණ්ඩුල වසර 4 ක් තිස්සේ මේ දක්වා Singapore super 12 circuit හි ශ්‍රේණිගත කිරීම්වල “පළමු විශිෂ්ඨයන් 10 දෙනා” අතර (Top 10) අඛණ්ඩව සිටිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමය. නමුත් ප්‍රශ්ණය නම්, එවන් ශ්‍රේණිගත කිරීමක් පිළිබඳව දන්නා කවුරුන් හෝ ශ්‍රී ලංකාවේ සිටීද යන්නය. එනයින් බලන කල පණ්ඩුල බණ්ඩාර ලෝකයට අභියෝග කරන ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකි. පළමුව රට රකින්නට පෙරට ගිය පණ්ඩුල රණවිරුවා අනතුරුව මේ කරන්නේ රට වෙනුවෙන් අප නොසිතන ආකාරයේ වෙනස්ම ආකාරයේ කෘතගුණ දැක්වීමේ කටයුත්තකි.

වනජීවී ඡායාරූපකරණයට මම බෙහෙවින්ම කැමතියි - ප්‍රවීණ ඡායාරූපශිල්පී පණ්ඩුල බණ්ඩාර

“ලෝකයේ තිබෙන ප්‍රධාන ඡායාරූප තරගවලට මම නිරතුරුව ඉල්ලුම්කරන නිසා මට නිරන්තරයෙන්ම ජයග්‍රහණ ලැබෙනවා. බොහෝ විට සිදුවන්නේ තරග කිහිපයක පදක්කම් ලෙස පදක්කම් පෙට්ටියක් එකවර ලැබීමයි. මේවා ලැබෙන්නේ මට පෞද්ගලිකව වුණත්, ඒවා ලැබෙන්නේ රටට. රට නියෝජනය කරලා, රටට ගෞරවය අරන් දීමට කටයුතු කරලා තමයි ඒවා ලැබෙන්නේ. නමුත් ඇත්තම කතාව නම්, මේ පදක්කම් වලටත් “ටැක්ස්” ගහනවා. මම මගේ අතින් බදු ගෙවලා තමයි මේ පදක්කම් රටට ගෙනෙන්නේ. මේවාට ඉල්ලුම් කරන්නත් සැලකිය යුතු වියදමක් දරන්න වෙනවා. කොහොම හරි මේ වන විට මම පදක්කම්, රිබන්වලට අමතරව ලෝකයෙන් විශිෂ්ඨ ගෞරව නාමත් ලබලා තියනවා. ඒක රටට වගේම මටත් වටිනාකමක්. මේ අනුව මමත් දැන් ජාත්‍යන්තර ඡායාරූප තරග තීරකයෙක් විදිහට පිළිඅරන් ඉන්න නිසා, ජාත්‍යන්තර තරග විනිසුරුවරයෙක් හැටියටත් වැඩකරනවා. 2023 අවසන් වන විට තරග 110 කට වැඩි ප්‍රමාණයක් “ජජ්” කරලා තියනවා. කොහොම වුණත් මම දැන් වැඩිපුර වනජීවී ඡායාරූපකරණය වෙනුවෙන් වැඩිපුර කාලය යොදවනවා. මොකද එයින් ලැබෙන සොම්නස වෙන ක්ෂේත්‍රයකින් ගන්න බැරි නිසා.”

වනජීවී ඡායාරූපකරණයට මම බෙහෙවින්ම කැමතියි - ප්‍රවීණ ඡායාරූපශිල්පී පණ්ඩුල බණ්ඩාර

පණ්ඩුල කියන කතාව පැහැදිලිය. ඔහු පරිසරය, නිදහස, අගයන්නෙකි. එසේම ඔහු සක්‍රීය හමුදා සේවයේ සිටියේද යන්න විශ්වාස කිරීමට බැරි තරමටම නිවුණු පුද්ගලයෙකි. විදෙස්ගතව සිටින බිරිඳ කුමාරි බණ්ඩාර, පුතා අන්ජුන් බණ්ඩාර, දුව ශාන්යා බණ්ඩාර තිදෙනාගෙන් තාවකාලිකව ඔහු වෙන්ව සිටියද ඒ කාන්සිය, තනිකම මකාදමන්නට තෝරා ගත් හොඳම මාර්ගය අද ඔහුට අලුත් ලොවක් විවරකර දෙන්නට හේතුවී ඇතිවා සේම රටට ගෞරවයක් ගෙන දෙන්නටද හේතුවී ඇත. තවත් නුදුරු දිනකදී ඔහු ඡායාරූපකරණයේ “ගිනස් සම්මානය” ගෙන එන තුරු අපි දින ගනිමින් සිටිමු. ඔහු ගැන තොරතුරු දැනගැනීමට +94717576411 ඔහුගේ වට්ස්ඇප් අංකයෙන් හෝ [email protected] ඊමේල් අංකයෙන් ඔහු ඇමතිය හැකිය.

වනජීවී ඡායාරූපකරණයට මම බෙහෙවින්ම කැමතියි - ප්‍රවීණ ඡායාරූපශිල්පී පණ්ඩුල බණ්ඩාර

පිළිසඳර- ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment