මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 134 වෙනි ජන්ම දින සැමරුම පසුගිය මැයි 29 වෙනිදාට යෙදී තිබිණි. සිංහල ප්‍රබන්ධ සාහිත්‍යයට ඔහු කළ මුඛ්‍ය සම්ප්‍රදානය යථාර්ථවාදී රීතිය හඳුන්වා දීමය. ඔහු බිහි කළ මෙරට ප්‍රථම යථාර්ථවාදී සිංහල කතාන්දරය 1924 වසරේ පළ වූ ‘ගැහැනියක්’ කෙටිකතා සංග්‍රහයයි. 1944 වසරේ ඔහු මෙරට ප්‍රථම යථාර්ථවාදී සිංහල නවකතාව වන ‘ගම්පෙරළිය’ එළිදැක්වීය. අසූසය වස් සිය දිවි සැරිය තුළ ඔහු නවකතා 13 ක් හා කෙටිකතා සංග්‍රහ 9 ක් ලියා පළ කළ අතර බොහෝ විෂයන් අරබයා ශාස්ත්‍රීය විවරණ ඉදිරිපත් කළේය. එහෙත් කිසි විට ඔහු තමාගේ කතා කලාව විවරණය කරන තනි කෘතියක් ලීවේ නැත. නොයෙක් තැන්වල ඒ පිළිබඳව යම් යම් අදහස් දැක්වූවා පමණි. මේ ලිපියේ අරමුණ ඔහුගේ කතා කලාව විමසා එහි සාධනීය හා නිශේධනීය තැන් විවරණය කිරීමය.

නිවැරදි ආස්ථානය

වික්‍රමසිංහගේ කතා කලාව

මාර්ටින් වික්‍රමසිංහ ප්‍රබන්ධ කතාකරුවකු ලෙස මුල සිටම සිටියේ ඔහුට පෙර සිටි කතාකරුවන්ගෙන් වෙනස් තැනකය. ඔහුට පෙර සිටි ජනප්‍රිය නවකතාකරුවා පියදාස සිරිසේනය. එහෙත් ඔහු ලීවේ සමාජ ශෝධනය පිණිසය. නැතහොත් බොදු සිංහල සමාජය ක්‍රිස්තියානිකරණය වීමටත් බටහිර සංකර ජීවන ක්‍රමය අන්ධානුකරණයටත් තමන්ගේ දේ හෙළාදැකීමටත් එරෙහිවය. අනෙක් ප්‍රබල නවකතාකරුවා වූ ඩබ්ලිව්. ඒ. සිල්වා ලීවේ පාඨකයා තුළ ත්‍රාසය, කුතුහලය, භීතිය දනවා හුදු වින්දනයක් ඇති කිරීමටය. වික්‍රමසිංහ කතා ලීවේ ප්‍රථමයෙන් සිය ආත්ම තෘප්තිය පිණිසය. ඔහුගේ බසින් කීවොත් ඉන් ඔහුට සන්තෝෂයක් ලැබුණු බැවිනි – මෙය අනෙකක් නොව කලාවේ අවශ්‍යම සාධකයක් වන භාව විශෝධනයය. දෙවනුව ඔහුට සිය කතා මගින් ජීවිතාවලෝකනයක් කිරීමට ඇවැසි විය. අවුරුදු තිහක් පමණ ගැමි ජීවිතය හදින්, මනසින්, කයින් ජීර්ණය වී කොළඹ පැමිණි වික්‍රමසිංහට එම පරිසරයේදී එම ගැමි ජන අත්දැකීම් ප්‍රකාශ කිරීමට ඇවැසි විය. එනිසා ප්‍රබන්ධයේදී ඔහු කළේ එම ගැමි ජන දිවිය අවලෝකනය කිරීමය. “ජීවිතය තේරුම් ගැනීමට හොඳ නවකථා මෙන් උපකාරී වන අනෙක් ග්‍රන්ථ විශේෂයක් නැතිය” යනුවෙන් ඔහු ‘මිරිඟුව’ පෙරවදනේ සඳහන් කරන්නේ 1925 වසරේය. ප්‍රබල ලේඛකයකුට ප්‍රබන්ධකරණයේ නියුතු වීමට ඇවැසි මූලික ආවේග දෙකම මෙසේ වික්‍රමසිංහට මුල සිටම පැවතී ඇති බව මින් පැහැදිලි වේ.

මුල, මැද, අග කතා රටාව

වික්‍රමසිංහගේ කතා කලාවේ අපට මුලින්ම හඳුනාගත හැක්කේ මුල, මැද, අග කතා සැකැස්මය. නිදසුනකට ‘ගම්පෙරළිය’ ආරම්භ වන්නේ කතාන්දරය විකාශය වන ගම්පියස ගැන විස්තරකථනයකිනි. “කොග්ගල වූකලී එක් පැත්තකින් මුහුදින්ද අනික් පැත්තෙන් සුන්දර නදියකින්ද සීමා වුණු බිම් තීරයකි….” යනුවෙනි. ‘කරුවල ගෙදර’ ඇරඹෙන්නේ “කොග්ගල ඔය කරා දිවෙන කෙටිම ගම්සභා පාරේ යන මට පළමුව හමුවන්නේ නටබුන් රේල් මුර ගෙයකි…” යනුවෙනි. ‘බව තරණය’ “නිදහස්කාමී අදීන ජනකායක් වූ සාක්කියන්ගේ විකුම්කම් සීමා කරමින් ඔවුන් රකින මහා පවුරක් සේ හිමෙන් වැසුණු මුදුන් ඇති හිමාලය කඳුවැටිය උතුරු දෙසින් නැඟී සිටියි” ලෙසය.

‘කරුවල ගෙදර’ යනු වික්‍රමසිංහගේ අවසන් නවකතාව වූ ‘බව තරණයට’ පෙර නවකතාවයි. එය පළ වන්නේ 1963 වසරේය. එවිට ඔහුගේ වයස අවුරුදු 73 කි. ‘බව තරණය’ පළ වන්නේ 1973 වසරේය. එවිට ඔහුගේ වයස අවුරුදු 83 කි. මේ වන විට ඔහු වයසින් මෙන්ම කතා කලා පරිඥානය අතින්ද මුහුකුරා ගිය ලේඛකයෙකි. එහෙත් ඒවා ලිවීමේදී ඔහු මුල, මැද, අග ආඛ්‍යාන සැකැස්ම වෙනස් කර නැත. එම ඇරඹුම් දෙකෙහිම අරමුණ කතාව පිහිටුවන පරිසරය පළමුව විස්තර කිරීමය. ඒ පිළිබඳ චිත්‍රයක් පාඨකයාට දැකීමට සැලැස්වීමය.

මුල, මැද, අග කතා රටාව කිසියම් දුරකට වෙනස් වන්නේ ‘විරාගය’ නවකතාවේය. එය ඇරඹෙන්නේ කතාවේ අවසානය මුලට සඳහන් කරමිනි. එනම් කතානායක අරවින්ද මියගිය පුද්ගලයකු බව පළමු පරිච්ඡේදයේලාම පවසමිනි. එහි කතාව කියනුයේ සැමී නම් කථකයෙකි. ඔහු මියගිය අරවින්ද ලියූ චරිත කතාව ඉදිරිපත් කරන්නෙකි. එහෙත් නවකතාව අවසානයේ පාඨකයාට ධාරණය වන්නේ මුල, මැද, අග සහිතව ගලා ගිය අරවින්දගේ කතාවයි. මෙනිසා සමස්තයක් වශයෙන් වික්‍රමසිංහ මුල, මැද, අග කතා රටාවට අනුගත වී ඇති බව පෙනී යයි.

ආකෘතික වෙනස්කම්

මුල, මැද, අගට අනුගත වුවද වික්‍රමසිංහගේ ප්‍රබන්ධය නොගැඹුරු සරල ලියැවිල්ලක් නොවේ. එය මනුෂ්‍ය ජීවිතය විනිවිද දකින සහ සමාජ දේශපාලනය පුළුල්ව විවරණය කරන මහා කතාන්දරයකි. එසේ වන්නේ කෙසේද? පළමුවැන්න, සිය විසල් ප්‍රතිභානය හා ජීවිත දැක්ම තුළ ඔහු ප්‍රබන්ධය සරල කතාන්දරයේ සිර නොකිරීමය. දෙවැන්න, සිය ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය තුළ කතා සන්දර්භයට අනුරූප ආකෘතික වෙනස්කම් සිදු කිරීමය. නිදසුනකට ‘ගම්පෙරළියේ’ පෙන්වන්නේ සාම්ප්‍රදායික වැඩවසම් සමාජය බිඳ වැටී වෙළෙඳ සමාජය ඇති වන අයුරුය. එහි චරිත නිරූපණයක් සිදු නොවන තරම්ය. තවද කතාන්දරය ඉදිරිපත් වන්නේ අඥාත ප්‍රථම පුරුෂ කථකයකු මගිනි. එනිසා කතාව කියවෙන්නේ පිටතට විහිදුණු බාහිරාවර්තී කථනයක් ලෙසය. තවත් ලෙසකින් කීවොත් වෘත්තය තුළ සිදු වන දේ එළියේ සිට විස්තර කරන විලාසයකිනි. ‘විරාගය’ ඉදිරිපත් වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ ලෙසය. එහි කතාව කියාපාන්නේ උත්තම පුරුෂ කථකයෙකි. සැබැවින්ම කථකයන් දෙදෙනෙකි. මුලින් පාඨකයා අබිමුවට එන්නේ සැමී නම් කථකයාය. සැමී කරන්නේ අරවින්ද උත්තම පුරුෂයෙන් ලියූ කතාව ඉදිරිපත් කිරීමය. කතාවෙන් ගෙනහැර පාන්නේ සාම්ප්‍රදායික බොදු ගැමි හර පද්ධතීනට අනුව හැදුණු වැඩුණු තරුණයකු ජීවිතයෙන් පැරදී අපිස් දිවියකට වැටී අවසානයේ හුදකලාව මියයන අයුරුය. සැමී කියන්නේ ඔහු සතුටින් මියයන බවය. මෙය පුද්ගලයකුගේ ආත්ම විවරණයක් බැවින් කතාව අන්තරාවර්තී ආත්මකථනයක් ලෙස කලඑළි බසී. එහෙත් එහිද වෙනසක් ඇත. සැබෑ අන්තරාවර්තී ආත්මකථනය කරන්නේ අරවින්දය. උත්තම පුරුෂ වුවද සැමී කථකයා කරන්නේ අරවින්ද දෙස දුර කෝණයකින් බලමින් ඔහුගේ ජීවිතය විමසුම් ඇසකින් අවලෝකනය කිරීමය. මෙය කතාවක කතානායකයා දෙස එකවර ළඟ සිටද දුර සිටද බැලීමකි.

වික්‍රමසිංහගේ කතා කලාව

මේ කතා දෙකේම වැදගත් මෙහෙයක් ඉටු කරනු පෙනෙන්නේ පරිසර සාධකයය. ප්‍රථමයෙන් එය සංකේත දනවන අතර ‘ගම්පෙරළියේදී’ සංකේත දැනවීමෙන් එහා ගොස් ක්‍රියාකාරී භූමිකාවකට පණ පොවනු පෙනේ. එම ක්‍රියාකාරී භූමිකාව සැබැවින්ම ඉටු කරන්නේ පරිසරයටද වඩා කාලයේ ප්‍රවාහයය. නවකතාවේ චරිත, පසුබිම හා අන් සියල්ලද වෙනස් වන්නේ කාලයට පරායත්තවය. කොටින්ම කතාව කාලය මෙන්ම නිසොල්මනේ ගලා යන අතර එය ඕපපාතිකව බිහි වී ඕපපාතිකව නොහොත් දෛවයට අනුව විකාශය වනු පෙනේ. වික්‍රමසිංහ මේ බව සඳහන් කරන්නේ මෙලෙසිනි:

“ඒ අත්දැකීම් කීමට උචිත සිදුවීම් හා පරිසරය නිපදවා ඈඳා ගැළපීමට මා ඉවහල් කොට ගත්තේ හේතුඵල ධර්මය නොවේ, කාලයයි. ‘විරාගයේ’ අරවින්ද හා අනික් චරිත කරන කියන දේ එකට ගළපා ඈඳනු ලබන්නේ හේතුඵල ධර්මය විසින්.

‘ගම්පෙරළියේ’ සිදුවීම් වැන්න. ඒවා එකට ඈඳා ගැළපීමෙන් එහි චරිත නිරූපණය කරන්නේ කාල ප්‍රවාහයයි. කාලය ‘ගම්පෙරළිය’ මැදින් ගලන ප්‍රවාහයක් වැන්න.” (1971 මාර්තු 24 වෙනිදා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ බණ්ඩානායක ශාලාවේ කරන ලද දෙසුමකින්)

තවද මාර්ටින් වික්‍රමසිංහ තමාගේ මේ ප්‍රබන්ධ කතා දෙක දෙආකාරයකට හඳුන්වනු පෙනේ. ඔහු ‘වහල්ලු’ කෙටිකතාවත් ‘විරාගය’ නවකතාවත් රූපක කතා ලෙස හඳුන්වන අතර ‘ගම්පෙරළිය’ වෘත්තාන්ත නවකතාවක් නොහොත් පවුලක ඉතිහාසය පිළිබඳ නවකතාවක් ලෙස හඳුන්වයි. මේ හැඳින්වීම ඔහු කරන්නේ එඩ්වින් මියුර් නම් එංගලන්ත විචාරකයා ලියූ නවකතාවේ ආකෘතිය (Structure of the Novel) නම් කෘතිය කියවා බව කියා සිටී:

“(එඩ්වින් මියුර්ගේ) ඒ විභාගය නවකථා කියවන්නන් උදෙසා නොව නවකථා රචකයන් උදෙසා කරන ලද්දක්. ඒ බෙදීම නවකථාවක උසස් පහත්කම් මැනෙන මිනුමක් නොවේ. නවකථාවක රචනා රූපය පිළිබඳ විවේචනයක්. රූපක නවකථාවෙහි රචනා රූපය වෘත්තාන්ත රචනා රූපයට වෙනස්ය. රූපක නවකථාව විකාශනය වන්නේ හේතුඵල සම්බන්ධය අනුවයි. වෘත්තාන්ත නවකථාව විකාශනය වන්නේ සිදුවීම්, කාලය අනුව එකට ඈඳනු ලැබීමෙනි. එවැනි නවකථාවක වැදගත් අංගය කාලයයි.” (1971 මාර්තු 24 වෙනිදා විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ බණ්ඩානායක ශාලාවේ කරන ලද දෙසුමකින්)

එහිදී වික්‍රමසිංහ මෙසේද කියයි:

“විරාගයෙහි” ප්‍රධාන චරිතය අරවින්ද. ඔහු කරන කියන දෙයෙහි ඵල වශයෙන් අනික් ක්‍රියා සිදු වෙයි. ‘විරාගය’ හේතුඵල ධර්මය අනුව සිදු වන දේ දම්වැලක පුරුක් මෙන් එකට ඈඳීමෙන් නිර්මිත කථාවක්. ඒ කථා දෙකම (‘වහල්ලු’ සමඟ) රූපක කථා නොහොත් නාටක කථා ලෙස වෙන් කළ හැක්කේ ඒවායේ රචනා විලාසය නිසා.

“ගම්පෙරළියෙහි” රචනා විලාසය ඊට ඉඳුරා වෙනස්. ‘ගම්පෙරළියෙහි’ ප්‍රධාන චරිතයක් නෑ. එහි ප්‍රධාන චරිතය ලෙස ගත හැක්කේ කාලය හා කයිසාරුවත්තේ පවුල. එහි සිදුවීම් එකට බඳිනු ලබන්නේ කාලය විසින් මිස හේතුඵල ධර්මය විසින් නොවේ. එහෙයින් එහි රචනා රූපය රූපක කතාවේ රචනා රූපයට වෙනස්. එහි සිදුවීම් පවුලේ සිදුවීම්. ඒවා එකට ඈඳා බඳිනු ලබන්නේ කාලය විසින්. චරිත නිරූපණය වන්නේ එහි ඵල වශයෙනි.”

ප්‍රබන්ධ කතාකරුවකු කතාන්දරයක් ලිවීමේදී කෙතරම් අභ්‍යාසයක නියුතු විය යුතුද, කෙතරම් දේ වටපිටාවෙන් එකතු කළ යුතුද යන්නද ඔහුගේ ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වේ. එහෙත් වැදගත්ම දේ ඔහු කරන අභ්‍යාසය හෝ අත්හදාබැලීම් නොව එම අභ්‍යාසයන්, අත්හදාබැලීම් මතු නොවන සේ කතාව ආනන්දයක් හා ප්‍රඥාවක් ඇති වන ලෙස ඉදිරිපත් කිරීමය.

යථාර්ථවාදී රීතිය

මාර්ටින් වික්‍රමසිංහගේ ආඛ්‍යාන කලාවට වෙසෙසින් ආනුභාවය වූයේ රුසියානු හා ප්‍රංශ යථාර්ථවාදී සාහිත්‍යයත් ජාතක කතාත්ය. මෙනිසා ඔහුගේ කතා රීතිය යථාර්ථවාදී රීතිය විය. යථාර්ථවාදී රීතිය (Realistic style) ඊට පෙර සාහිත්‍යයට ආ ස්වභාවිකවාදී රීතියෙන් (Naturalistic style) ඉඳුරා වෙනස්ය. ස්වභාවිකවාදී රීතිය අනුව උසස් කතාන්දර ලියූ රචකයකු නම් ප්‍රංශයේ එමිල් සෝලාය. සෝලා ලීවේ ඇසට පෙනෙන දේ එලෙසටමය. කෙනෙකු අවට දෑ විස්තර කරද්දී සෝලා අවට ඇති හැම දෙයක්ම විස්තර කළේය. එය ස්වභාවිකවාදයේ ස්වභාවයයි. යථාර්ථවාදයේ වෙනස එහිදී විස්තර කෙරෙනුයේ කතාවට වුවමනා සිද්ධි, විස්තර පමණක්ය. එහෙත් වික්‍රමසිංහගේ නවකතා හා කෙටිකතා සැලකූ කල ඒවා කිසියම් ලෙසකට ස්වභාවිකවාදී රීතියටද බර විය. නිදසුනකට ඔහු ‘ගම්පෙරළිය’ නවකතාව ඉදිරිපත් කරන්නේ කතාවට වුවමනා දේ මෙන්ම නුවමනා දේද අපමණක් විස්තර කරමිනි. ‘ගම්පෙරළියේ’ ආරම්භක ඡේදයෙන්ම ඒ බව පැහැදිලි වේ. “කොග්ගල වූ කලී එක් පැත්තකින් මුහුදින්ද අනික් පැත්තෙන් සුන්දර නදියකින්ද සීමා වුණු බිම් තීරයකි” යි කීමෙන් නොනැවතී ඔහු පීත්ත පටියක් සේ දිවෙන්නේ යැයි වණන ගාලු – මාතර පාර ගැනද පස් කන්දක් මතුයෙහි හොවන ලද පටන් ගැන්ම හෝ කෙළවර දැක්ක නොහැකි හිණක් වැනි යැයි වණන රේල් පාර ගැනද විස්තර කරයි. එසේම රේල් පාර හැදීමේදී පස් කැපීමෙන් දෙපස හෑරුණු අගල් ගැනද බෝක්කුවක් අසල අගලක ඕලු, නෙළුම් මල් පිපී කුඩ මසුන් ගහනව විල් වැනිව ඒ දිස්වන සැටිද කියාපායි. එහි දෙවන ඡේදයෙන් හිරිගල් දේවාලයද හිරිගලට අව්, වැසි, සුළං ආදියෙන් කාලාන්තරයක් තිස්සේ ඇති වූ විපර්යාසද ඉදිරිපත් කරයි. වික්‍රමසිංහ මහගෙදර ඇත්තන් ගැන කථනයට එන්නේ නවකතාවේ හතරවැනි පිටුවේ සිටය. එහිදීද දිගින් දිගටම සිදු වන්නේ පරිසර වැණුම්ය. නවකතාවේ තේමාව ගම හා ගැමි ජීවිතය කාලය සමග විපර්යාසයට ලක් වීම වුවද නවකතාවක් යනු මුඛ්‍ය වශයෙන් ජීවිත විවරණයක් බව බැහැර කළ නොහැකිය. එය සමාජ වාර්තාවක් හෝ පරිසර වාර්තාවක් හෝ විද්‍යාත්මක ලියැවිල්ලක් නොවේ. මෙනිසා මේ වැණුම් නවකතාව නවකතාවෙන් පිට ගිය අවස්ථා මිස අනෙකක් නොවේ. ඒ අනුව ‘ගම්පෙරළිය’ පළමු සිංහල යථාර්ථවාදී නවකතාව වුවත් එය යථාර්ථවාදය ප්‍රාථමික ලෙස නවකතාවට උපයෝගි කරගත් අවස්ථාවකට නිදසුනකි.

වික්‍රමසිංහගේ කතා කලාව

‘ගැහැනියක්’ කෙටිකතා සංග්‍රහයේ තත්ත්වයද එයය. ‘ගැහැනියක්’ හි සියලු කෙටිකතා ඇවැසි නම් පතඅට එකට සිඳලිය හැකිය. ඒ සිඳලීම වික්‍රමසිංහගේ සමකාලීන කෙටිකතාකරුවකු වූ ජී. බී. සේනානායකට මැනවින් කළ හැක්කේ ඔහු සිය කෙටිකතාවට අනවශ්‍ය එකදු වැකියක් භාවිත නොකළ බැවිනි. “සේනානායක මටද වඩා උසස් කෙටිකතාකරුවකු වන බව මට පෙනිණි” යැයි වික්‍රමසිංහ ‘උපන් දා සිට’ ස්වයංචරිතාපදානයේ කියනුයේ ඔහුගේ අඩුලුහුඬුතා ඔහුම දුටු නිසා යැයි නම් කිව හැකි නොහේ. කෙටිකතාව බොහෝ උසස් විචාරකයන්, කතාකරුවන් කවියට සමපාත කරන්නේ එහි ලියවී ඇති දේට වඩා ඇත්තේ නොලියවුණු දේ නිසාය. වෙනත් ලෙසකින් කිවහොත් කවියේ මෙන්ම කෙටිකතාවේ ලියවුණු දේ තුළ නොලියවුණු දේ ගැබ් වීම නිසාය. එහෙත් වික්‍රමසිංහගේ කෙටිකතාවල ස්වභාවිකවාදී ප්‍රබන්ධයේ මෙන් ඕනෑවටත් වඩා දේ ලියා ඉදිරිපත් කර ඇත.

සැබෑ කතාව සැඟවීම

වික්‍රමසිංහගේ ඇතැම් නවකතාවලත් ඇතැම් කෙටිකතාවලත් ප්‍රබන්ධයට ගත යුතු සැබෑ කතාව ඇත්තේ එහි මතුපිටින් කියන කතාන්දරයේ නොව මතුපිට කතාවේ සැඟවී බව පෙනේ. නිදසුනකට ‘කරුවල ගෙදර’ නවකතාවේ සැබෑ නවකතාව තිනන්ගේ කතාන්දරය නොව ඔහු දෙවන බිරිඳක් කැඳවාගෙන ආ පසු රතුහාමි නම් කලින් බිරිඳ ඇතුළතින් විඳින ඛේදය පිළිබඳ කතාවය. එය ඇතැම් විට ‘ඇනා කැරනිනා’ හි ඇනාගේ තත්ත්වයට චිත්තයේ අභ්‍යන්තර ඝට්ටනය ගෙන යා හැකි කතාවකි. ‘ගැහැනියක්’ හි ඇතැම් කතාවලද සැබෑ කෙටිකතාව සැඟවී ඇති සැටි දිටිය හැකිය.

‘ගැහැනියක්’ කතා සංග්‍රහයේ ඇතුළත් පළමු කෙටිකතාව වන ‘බේගල්’ පිටු 33 ක කතාවකි. ‘බේගල්’ මගින් කතාකරුවාට කීමට ඇවැසි වන්නේ කොග්ගල ගමේ අන්දො අයියා නම් බේගල්කාරයාගේ ජීවිතය ගැනය. මෙය තේමාවක් වශයෙන් දුර්වල වන්නේ කෙටිකතාවකින් කෙනෙකුගේ සම්පූර්ණ ජීවිතයක් ඉදිරිපත් කළ නොහැකි බැවිනි. අනෙක එවැනි ජීවිත කතාවක් දැන ගැනීම පාඨකයාටද වැදගත් නැත. එනිසා එහි මුල් පිටු 18 ම අන්දො අයියා ගැනත් අන් ගැමි අත්දැකීම් ගැනත් නීරස වැණුම්වලින් පිරී ඇත. එහෙත් අවසන් පිටු දෙකේදී කෙටිකතාකරුවා විසල් රසවින්දන තලයකට පාඨකයා රැගෙන යෑමට තැත් කරනු පෙනේ. එහෙත් එය කෙටිකතාව නොවන නිසා කතාව එතැනම හමාර කිරීමට කතාකරුවාට සිදු වේ. මේ, එහි නියම කෙටිකතාව ඇති තැනයි:

වික්‍රමසිංහගේ කතා කලාව

“මවට ගැසීම මා නිරයෙහි වැටීමට හේතුවක් වේදෝයි මා තුළ සැක උපන්නේය. කුඩා වුවද මට මරණය සිහි විය. මම බියෙන් වෙවුලුවෙමි. දෙනෙත් තරයේ වසාගෙන නැවතත් නිදන්ට උත්සාහ කළෙමි. තුන් හතර පැයකට පසු විහාරගෙයි බිත්තිවල සිතුවම් කරන ලද යමපලුන්ගේ දත් මෙන් දිග දෑකැති වැනි වක් වූ දත්ද දිවියන්ගේ මෙන් අගින් වක් වූ දික් නියද දෙහි කටු වැනි දළ ලොම්ද මැටි බලිවල රකුසන්ගේ ගොබලු ගෙඩි තරම් ලොකු ඇස් වැනි ඔළිඳ ඇට පැහැති ගිනිදැල් නික්මෙන ඇස්ද ඇති යමපල්ලෝත් ගිනිදලුත් කැපෙන කෙටෙන හඬන දොඩන නෙරිසත්තුත් ඔවුන්ගේ ඇඟේ එල්ලී ලේ බොන පර්වත තරම් විශාල වූ මකුළුවන් වැනි සත්තුත් මට පෙනෙන්නට වූහ. මගේ ළය උඩ ලොකු ගලක් තැබුවාක් මෙන් මට හුස්ම ඉහළ පහළ හෙළීම අමාරු විය. ටික වේලාවකින් නින්දෙන් අවදි වූ මම නරකයෙන් ගොඩ ආවකු මෙන් බියෙන් වෙවුලමින් කෑගසාගෙන නැඟී ශයනාසනය මතුයෙහි වාඩි වීමි.

“‘මොකද සැමී? මොකද?’ කියමින් මව පහනක් අතින් ගෙන මගේ කාමරයට දිව ආවාය. ඩාදියෙන් තෙමුණු ඇඳුම් ඇතිව බියෙන් ගැහෙමින් සිටි මගේ අයාගත් දෙනෙත් දුටු මව බිය වී වහාම මගේ ශයනාසනයෙහි වාඩි වී මගේ හිස අල්ලා ළයට ළං කර ගත්තාය.

“උඹ බය වුණාද? උඹේ ඇඳුම දාඩියෙන් තෙමිලා….’

“ඔව්”

“වරෙන්….’ කියමින් මව මා අල්ලාගෙන කාමරයෙන් නික්ම ගොස් අලුත් ඇඳුමක් අන්දවා මවගේ ශයනාසනය පසක නිදන්ට අණ කළාය….”

(‘ගැහැනියක්’, ‘බේගල්’, 32 පිටුව)

‘බේගල්’ හි අවසානයේ එන මේ සිද්ධිය ඉදිරියට ගෙන ගියේ නම් නියම කෙටිකතාවක් බිහි වීමට තිබූ බව එය කියවන විට පැහැදිලි වේ. එහෙත් කතාකරුවා ගැමි ජන ජීවිතය විවරණය නම් කඩතුරාවට ඕනෑවට වඩා එබීමට තැත් කිරීමෙන් සැබෑ කෙටිකතාව වැසී ගොස් ඇත. කෙසේ වුව ‘ගැහැනියක්’ මීට සියවසකට එපිට යුගයක බිහි කළ පළමු යථාර්ථවාදී සිංහල කෙටිකතා සංග්‍රහය බැවින් ඉහත දුර්වලතා පැවතියද උසස් කෙටිකතා එකතුවක් ලෙස ඇගයීමට බැරිකමක් නැත.

● රවීන්ද්‍ර විජේවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment