හෙට ඇරඹෙන උතුම් ශ්‍රී දළදා වන්දනාව වෙනුවෙනි
කන්ද උඩරට රාජධානියේ ප්‍රාරම්භක අවධිය පිළිබඳ කරුණු හදාරන්නකුට ඇති ප්‍රධානතම බාධයකය වන්නේ ඒ සඳහා ප්‍රමාණවත් කරුණු එක්රැස් කර ගැනීමට ඇති අවහිරතාවයි. මේ අවධියේ ඉතිහාසය හැදෑරීමට ප්‍රමාණවත් මූලාශ්‍ර නොවීම නිසා ජනශ්‍රැති අවිධිමත් ලෙස භාවිතයට ගනිමින් ඉතිහාස කතා පුවත් විකෘති කොට ඉදිරිපත් කිරීම දැන් බොහෝ දෙනා අතින් සිදුවන කරුණකි. ඉතිහාස කතා පුවතක් සත්‍ය සිද්ධියක් ලෙස සැලකෙන්නේ එම පුවත හෝ සිද්ධිය තහවුරු කිරීමට ප්‍රබල සාධක ඉදිරිපත් කළ හැකි නම් පමණකි. එසේ නොමැතිව එක් මූලාශ්‍රයක සඳහන්ව ඇති පමණින් එය ඓතිහාසික සත්‍යයක් වශයෙන් පිළිගැනීම ඉතිහාසඥයකු තබා සාමාන්‍ය පුද්ගලයකු විසින් හෝ නොකටයුත්තකි. එසේ පිළිගතහොත් සිදුවන්නේ පුවත විකෘති කොට ඉදිරිපත් කර පාඨකයා නොමග යැවීමකි. එබැවින් ඉතිහාස පුවත් ගැන ලියන කියන සෑමදෙනා විසින්ම ස්වකීය මූලාශ්‍ර ඉතා කල්පනාකාරීව ඉදිරිපත් කිරීමට වගබලා ගත යුතුය. පරිස්සමින් තොරව ලියන ඉතිහාසය මගින් රටක් මෙන්ම ජාතියක් ද විනාශ කළ හැකිය. ලංකාවේ පවතින වර්තමාන ජනවාර්ගික අර්බුදය හමුවේ ද මෙවැනිම ලිපි ලේඛන සිංහල, දෙමළ දෙපක්ෂය විසින්ම ස්වකීය වාසිය තකා දැන් ලියනු දැකීම ඛේදජනකය.
මවිසින් ඉහත සඳහන් අදහස දැක්වූයේ කන්ද උඩරට රාජධානියේ ආරම්භක අවධිය පිළිබඳව ලියන කියන බොහෝදෙනා විචාරයෙන් තොරව සමහර මූලාශ්‍ර විද්‍යාත්මක පරීක්ෂණයකට භාජනය නොකොට ජනශ්‍රැති පරිහරණය කිරීම නිසා ඉතිහාස කරුණු දැනටමත් අවුල් කර ඇති බව කීමටයි. මෙවැනි ලිපි ලේඛන පසුකාලීන ලේඛකයන් විසින් වරින් වර උපුටා දැක්වීම හා අනුගමනය කිරීම නිසා විකෘති අදහස් සමාජයේ තහවුරු වී මහත් විනාශයකට පාත්‍රවීම නොවැළැක්විය හැකි කරුණක් වන්නේය. වර්ෂ 1969දී මහාචාර්ය මැන්දිස් රෝහණදීරයන් විසින් ප්‍රකාශයට පත් කරන ලද අස්ගිරි තල්පත නමැති මූලාශ්‍ර ග්‍රන්ථය එබන්දකි. මහනුවර අස්ගිරි මහා විහාරයේ තිබී සොයාගත් පුස්කොළ පොතක් මුද්‍රණයට පමුණුවාලීමෙන් රෝහණදීර මහතා සිදුකළේ උසස් සාහිත්‍ය සේවාවකි. එසේ වුවත් එහි අන්තර්ගත කරුණු ඒක පාක්ෂික වශයෙන් පිළිගෙන අස්ගිරියේ තල්පතින් අලුත් වන ලංකා ඉතිහාසය නමින් තවත් පොතක් 1970දී පළ කිරීම ශාස්ත්‍ර පරිහානියටත් ශාස්ත්‍රාභිලාභීන් නොමග යැවීමටත් හේතු විණැයි සිතමි. අස්ගිරියේ තල්පොතෙහි එන අරුම ඓතිහාසික තොරතුරුවලින් ලංකා ඉතිහාසයට ලැබෙන නව එළිය විමසනු සඳහා එතුමන් ප්‍රසිද්ධියට පත් කළ ඉහත සඳහන් කෘතිය විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වූයේ අස්ගිරි මහා විහාරයේ ඉතිහාසය ගැන ලියන කියන භික්ෂුන් වහන්සේටම පමණකි. එම කෘතිය ගිහි උගතුන්ගේ අවධානයට හෝ පිළිගැනීමට ලක්වූයේ යැයි සිතිය නොහැක. අස්ගිරි තල්පත වූ කලී අස්ගිරි මහා විහාරයේ කතා පුවත හා ශ්‍රේෂ්ඨත්වය ඉස්මතු කරලීමේ අරමුණ ඇතිව එක්තරා කාලයක අස්ගිරි විහාරවාසී භික්ෂුවක් විසින්ම නිපදවන ලද කතා පුවතකි. මෙබඳු ගණයේ ලේඛන බොහෝ විහාරවලින් අද දිනත් සොයාගැනීම අපහසු නැත. මෙම ලේඛනයේ විශ්වාසනීයත්වය පිළිබඳ සැක සිතූ ඉතිහාසඥයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස කාණ්ඩයේ දෙවන කොටස වූ කන්ද උඩරට රාජධානි සමය අලළා ලියූ ලිපි පිළියෙළ කළ අවස්ථාවේදී මෙම අස්ගිරි තල්පත කිසිසේත් භාවිතයට නොගැනීම විශේෂ සිද්ධියක් ලෙස සඳහන් කළ යුතුය. එබැවින් පිළිගත් ඉතිහාසඥයන්ගේ නොපිළිගැනීමට හේතු වූ අස්ගිරි තල්පත ගැන විවරණයක් කරමින් මැන්දිස් රෝහණදීරයන් අස්ගිරියේ තල්පතින් අලුත් වන ලංකා ඉතිහාසය නමින් තවත් කෘතියක් ලිවීම ඔහු කළ වරදක් සේ මට කල්පනා වේ. අස්ගිරියේ තල්පතේ ඇති කරුණු මෙම ලිපිය ලියන ලේඛකයා මෙන්ම එම අවධිය ගැන ශාස්ත්‍රීය ලිපි සම්පාදනයෙහි යෙදුණු සී. ආර්. ද සිල්වා, ටිකිරි අබයසිංහ, කේ.ඩබ්ලිව්. ගුණවර්ධන, ලෝනා දේවරාජා, ඒ.පී.වී. සෝමරත්න වැනි මහාචාර්යවරුන් පවා අතහැර දමා ඇත. ලංකා ඉතිහාසයේ දෙවැනි කාණ්ඩයේ මහනුවර රාජධානියේ ආරම්භය ගැන ලියන ටිකිරි අබයසිංහ මහතා මහනුවර රාජධානිය ආරම්භ කළ සේනා සම්මත වික්‍රමබාහු රජුගේ රාජ්‍ය කාලය ගැන තොරතුරු දක්වමින් අස්ගිරි තල්පතේ එන කරුණු මත භේදයට මෙන්ම සැකයට ද හේතු වී ඇති අතර එහි විශ්වාසනීයත්වය හා සත්‍යතාව ගැන ද සැක පහළ කර තම ලිපියට මූලාශ්‍රයක් වශයෙන් එය යොදා නොගන්නා බව සඳහන් කරයි. උඩරට රාජධානිය නමින් අබයසිංහ දේවරාජා හා සෝමරත්න යන තිදෙනා ලියූ ග්‍රන්ථයක අස්ගිරි තල්පත පිළිබඳව මෙසේ සඳහන් වෙයි.
‘මේ අස්ගිරියේ තල්පත එම ග්‍රන්ථයේම ඇති සාධක අනුව රචනා වී ඇත්තේ දහඅට වැනි ශත වර්ෂයේ අග භාගයේය. එහි පරමාර්ථය වී ඇත්තේ අස්ගිරි විහාරය උඩරට වැදගත් ආගමික මධ්‍යස්ථානයක් වූ පසු එහි ආචාරීන්ගේ අතීත පරම්පරාව දක්වා ඒ මගින් ඓතිහාසික වැදගත්කමක් පෙන්නුම් කිරීමය. මේ ග්‍රන්ථයේ දක්වන කරුණු රැසක් පසළොස් වැනි හා දහසය වැනි ශතවර්ෂවල රචිත සමකාලීන ග්‍රන්ථවලින් ලැබෙන කරුණුවලට පරස්පර විරෝධීය.’
මෙසේ සඳහන් කොට ඒ සඳහා නිදර්ශන දෙමින් ග්‍රන්ථයේ ඉදිරි පිටුවල එය සාකච්ඡාවට භාජනය කොට තිබේ. වර්තමාන අස්ගිරි විහාරය හා සෙංකඩගල පුර උපත පිළිබඳව ලිපි ලේඛන සපයන අස්ගිරි විහාරයට අයත් බොහෝදෙනා වැරදි තොරතුරු මත පිහිටා ඉතිහාස ලිපි ලිවීම නිසා ඉතිහාසය ඉගෙන ගන්නවුනට විශාල හානියක් වී ඇත. අස්ගිරි තල්පත අනුව අස්ගිරි විහාරයේ හා අස්ගිරි පරපුරේ ආරම්භය සිදුවී ඇත්තේ වර්ෂ 1312දීය. එය ආරම්භ කළේ යාපහුවෙන් පැමිණි පළාබත්ගල පෙළපතේ භික්ෂූන් විසිනි. තවත් ලෙසකින් කියතොත් දිඹුලාගල භික්ෂු පරම්පරාවෙනි.
සෙංකඩගල නුවර ආරම්භ වී ඇත්තේ ද එවක හතර වැනි පරාක්‍රමබාහු රජුගේ සේනාධිකාරි කෙනකු අතිනි. අභිනවයෙන් කරවූ මෙම නගරය ආශ්‍රිතව ආරණ්‍ය සේනාසනයක් ද සාදවා පළාත්බත්ගලින් ඒ සඳහා භික්ෂුන් ගෙන්වාගෙන අස්ගිරි විහාරය ආරම්භ කළ බව කියැවේ. මේ අනුව අස්ගිරි විහාරයේත් සෙංකඩගල පුරයේත් උපත සිදුවී ඇත්තේ එක්වරය. මේ පිළිබඳ විවිධ මත කෙතරම් ඇතත් අස්ගිරි පාර්ශ්විකයෝ අස්ගිරි තල්පතම පිළිගනිති. ඒ ගැන පුදුම නොවෙමු.
කන්ද උඩරට රාජධානිය ආරම්භ වූයේ 1592/3 දීය. එනම් පෘතුගීසින්ගේ ද අනුග්‍රහය ඇතිව කන්ද උඩරට රාජ්‍ය බලය ලැබූ යමසිංහ බණ්ඩාරගේ මරණින් පසු කොනප්පු බණ්ඩාර හෙවත් විජේසුන්දර බණ්ඩාර නමින් ප්‍රසිද්ධව සිටි සෙන්පතියකු පළමු වැනි විමලධර්මසූරිය නමින් මහනුවර රජ වූ පසුවය. ඔහු උඩරට ප්‍රාදේශීය නායකයකුගේ පුතෙක් වූවා විය හැකි නමුදු උඩරට කිරුළ දැරීමට තරම් ඔහුට රාජ්‍ය උරුමයක් නොවීය. පෘතුගීසින් හා සටන් කොට උඩරට බලය අල්ලාගත් ඔහු 1582දී සීතාවක රාජසිංහ විසින් උඩරට සිහසුනෙන් නෙරපා හරින ලද කරල්ලියද්දේ බණ්ඩාරගේ දියණියක් වූ කුසුමාසන දේවිය (කුසුමාවතී?) හෙවත් දෝන කතිරිනා ආවාහ කර ගැනීමෙන් තම රාජ්‍ය බලය තහවුරු කරගත්තේය. ඉන්පසු සිද්ධිය අස්ගිරි තල්පතේ දැක්වෙන්නේ මේ අයුරිනි.
‘බුද්ධ වර්ෂයෙන් දෙදහස් එකසිය සතිස් වැන්නෙහි දී (1594 දී) දෙල්ගමු විහාරයෙන් දළදා සිතුමිණි රුවන වැඩමවා දෙමහල් මාලිගාවක් කරවා එහි වඩා හිඳුවා පූජෝපහාර පවත්වමින් සෙංකඩගල නුවර ශ්‍රී ලංකාද්වීපයෙහි අග්‍ර රාජධානිය කළාහ’ යනුවෙනි.
මේ තොරතුරු මහාවංශයේ දැක්වෙන්නේ මෙපරිද්දෙනි. ‘(විමලධර්මසූරිය) නරශ්‍රේෂ්ඨ තෙමේ’ සර්වඥ දංෂ්ට්‍රා ධාතු තොමෝ කොතැනක දැයි විචාරණය කොට ‘දෙගල්ගමු වෙහෙර’ යැයි අසා අතිශයින් ප්‍රසන්න සිත් ඇත්තේ සපරගමු රට දෙල්ගමුවෙහි වඩන ලද දන්ත ධාතුව වඩා ගෙන්වාගෙන තමන්ගේ යහපත් වූ පුරයෙහි දවසක් දවසක් පාසා වඳිනට ද වත්පිළිවෙත් කරන්නට ද ඒ පණ්ඩිත වූ රජතෙම රජගේ සමීපයෙහි යහපත් උතුම් වූ භූමි භාගයෙක් හි සිත්කලු වූ දෙමහල් සෑ ගෙයක් කරවා එහි දළදාව තබා නිරන්තරාදර ඇත්තේ පූජා කළේය. (මහාවංශය 94 පරි. 11-14 ගාථා)
මේ අනුව අස්ගිරි තල්පතට පදනම් වී ඇත්තේ මහාවංශ පුවතම බව පෙනේ. කෙසේ වුවද දළදා සමිඳු දෙල්ගමුවේ සිට මහනුවරට වැඩමවීම සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වයේ හිමිවරුන්ගේ ඉතිහාස පුවත් වෙනස්ව වාර්තා වන බවක් පෙනේ. දළදා හිමි දෙල්ගමුවේ සිට මහනුවරට වැඩම කළ සැටි පෙන්වන ඉහත සඳහන් ඉතිහාස ප්‍රවෘත්ති දෙක විකෘති කරමින් පූජ්‍ය වරකාවේ ධම්මාලෝක හිමියෝ අස්ගිරි මහා විහාර ඉතිහාසය නමින් සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් 1976දී පළ කරවූ ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරති.
‘… එතෙක් දෙල්ගමු වෙහෙරැ සුරක්ෂිතව වැඩ සිටි දළදා වහන්සේ සෙංකඩගල නුවරට වැඩමවා ගෙඩිගේ විහාරයේ වඩා හිඳුවා පසුව රජ මාලිගය අසල තැන වූ දෙමහල් දළදා මන්දිරයෙහි තැන්පත් කොට (ඉහත කී) මංගල මහතෙරුන් වහන්සේ දළදා තේවාව සඳහා යෙදවීය.’
මෙම උද්ධෘතය මහාවංශයේ 94 පරිච්ඡේදයෙන් උපුටා ගත් බවත් (32 වන පා සටහන) එහිම දක්වා ඇත. සත්‍ය වශයෙන්ම ගෙඩිගේ විහාරය පිළිබඳව හෝ තේවාව සිදුකළ මංගල හිමියන් පිළිබඳව හෝ තොරතුරක් මහාවංශයේ නැත. මෙවැනි අලුත් තොරතුරු සාධක විරහිතව ලේඛනවලට ඇතුළත් කිරීමෙන් සිදුවන්නේ බරපතළ හානියකි. දළදා වහන්සේ මහනුවරට වැඩමවීමත් මහනුවර ඇසළ පෙරහැරේ අවසන් දින රාත්‍රියේ දළදා කරඬුව අස්ගිරියේ ගෙඩිගේ විහාරයේ තැන්පත් කිරීම සම්බන්ධයෙන් විකෘති පුවත් මින් පසුව නොයෙක් ලිපිලේඛනවලට ඇතුළත් වූවා පමණක් නොව ගුවන්විදුලිය රූපවාහිනිය ඔස්සේ ද ප්‍රචාරය වන බවත් සඳහන් කළ යුතුය. අස්ගිරි විහාරයේ විසූ වාරියපොල සුමංගල හිමියන් ගැන ලියන තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි ද ගෙඩිගේ විහාරය ගැන සඳහන් කරමින් මෙසේ ලියා ඇත.
‘(විමලධර්මසූරිය) රජතුමා සෙංකඩගල නුවර පිහිටි තම රාජ මාලිගාවට ආසන්නයෙහි දෙමහල් විසිතුරු දළදා මන්දිරයක් ඉදි කරවීය. පසුව රජතුමා අස්ගිරි විහාරයේ වැඩ සිට සතුරු භය පැමිණි කල්හි මුල්කිරිගලට පැනගොස් සිටි ඇල්ලේපොල මංගල තෙරුන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා පස් නමක් පිටත්කොට යවා දෙල්ගමු වෙහෙරෙන් ඌව පාර ඔස්සේ දළදා වහන්සේ සෙංකඩගල පුරයට මහ පෙරහරින් වැඩම කරවනු ලැබූහ. මේ අවස්ථාවේදී තම රාජ පරම්පරාව සිහිකර ගත් රජතුමා… (උපුටා දක්වා ඇත්තේ මහාවංශයේ 92 පරි. 11-14 ගාථාය) එම රාජ වංශයට ගෞරවයක් ලෙස සලකා ගම්පොළ තෙවැනි වික්‍රමබාහු රජතුමා විසින් තම මෑණියන් වූ චන්ද්‍රාවතී දේවිය සිහිකිරීම සඳහා කරන ලද චන්ද්‍රාවතී විහාරයට දළදා වහන්සේ වැඩම කරවා එහිදී (චන්ද්‍රාවතී) විහාරය හෙවත් ගෙඩිගේ විහාරය) එදින රාත්‍රී මංගල තෙරුන් ලවා පළමුවෙන්ම දළදා තේවාව රජවාසල නාමයෙන් පවත්වා ඇත. පසුදින ආහාර හා දැහැත් ආදිය ද රජ වාසල නාමයෙන්ම පූජා කරවන ලදී. මෙදින සවස අමාත්‍යවරුන් පිරිවරාගත් රජතුමා මෙම විහාරයට පැමිණ දළදා වහන්සේට පුද සිරිත් පවත්වා අනාගතයේ බිහිවන රජවරුන් විසින් ද වර්ෂයක් පාසා මේ ආකාරයෙන් දළදා වහන්සේ මෙම ගෙඩිගේ විහාරයට වැඩම කරවා පුද සිරිත් පැවැත්විය යුතු යැයි ව්‍යවස්ථා පැනවීය. අනතුරුව දළදා වහන්සේ අභිනව දළදා මන්දිරයට වැඩමවා එහි තැන්පත් කළේය.’
මෙම උද්ධෘත දෙකට පිළිවෙළින් 11 හා 12 වශයෙන් පා සටහන් අංක යොදා මූලාශ්‍රය වශයෙන් 11 වැන්නට මහාවංශයේ 92 පරි. 11-14 හා 12 වැන්නට ස්‍යාමොපසම්පදාවත ප්‍රඥාතිෂ්‍ය සං, 24 පිටුව හා මහාවංශ 92 පරි, 1 ගාථාව දක්වා ඇත.
එහෙත් පුදුමය මහාවංශයේ හෝ ස්‍යාමොපසම්පදාවතේ එවැනි කිසිවක් දක්නට නැතිවීමය. එකොළොස් (11) වන උද්ධෘතයට ගැළපෙන පාඨය අප විසින් මහාවංශයෙන් උපුටා ඉහත දක්වා ඇත. එහි මංගල හිමියන් ගැනවත් දළදා වහන්සේ සෙංකඩගල පුරට වැඩම වූ ආකාරය ගැනවත් සඳහන් නොවේ. එසේම දොළොස් වැනි උද්ධෘතය යටතේ දක්වා ඇති ස්‍යාමෝපසම්පදාවත හි පවා එවැන්නක් නැත. ස්‍යමෝපසම්පදාවතින් කරුණු දක්වමු. එහි මෙසේ දැක්වේ: ‘මහාවංශයෙහි කී ක්‍රමයෙන් ‘අප බුදුන් වහන්සේගේ දළදා සමිඳුන් දැන් කොතැන්හි දැයි විමසා’ දෙල්ගමු විහාරයෙහි වඩා පවත්නා සේකැ’යි යනු අසා අතිප්‍රසන්න වූ රජතුමාණෝ මහා දළදා සාමින් එයින් වඩාගෙන සිය නුවරටම එන ලෙස රාජාමාත්‍යාදි මහ පිරිස් යවමින් සපරග්‍රාමයෙහි දෙල්ගමුවේ සුරක්ෂිතව තිබූ ශ්‍රී දන්තධාතුන් වහන්සේ ඌව පාරෙන් වඩා ගෙනෙමින් එපවත් පින්වත් මහරජාණන්ට දන්වා එවූ කල්හි ඒ වචන ශ්‍රවණයෙන් චක්‍රරත්න ප්‍රතිලාභයෙන් සන්තුෂ්ට සක්විති රජක්හුගේ මහත් උදාරතර සන්තෝෂයෙන් සියළඟ ලොමු දැහැගෙන ඇසූ ක්ෂණයෙහිම අනිකක් සලකා ගත නොහී ප්‍රීතිමත්ව එකනින් සළුව දරාගත් සේ ශීඝ්‍රව පෙරමගට දිවගොස් පැමිණ දර්ශන ප්‍රතිලාභයෙන් අතිශයෙන් සතුටුව සාදරව වැඳ පුදා පෙම්බරින් පින පිනා වඩා ගෙනවුත් තමන් වසන රජගෙට නුදුරු වූ රම්‍ය භූමි භාගයෙහි දෙමහල් ප්‍රාසාදයක් කරවා විසිතුරු මහාර්ඝ විතානාස්තරණ ජවනිකාදීන් විචිත්‍ර කොට සරහා මාහැඟී බුද්ධාසනයක් පනවා දළදා සාමීන් එහි වඩා පෙර සිරිත් ලෙස නොයෙක් දළදා පූජා ව්‍යවස්ථා කොට පැවැත්වීමෙන්… දෙමහල් කොට කෙරෙවූ දළදා මන්දිරයාගේ අභිමුඛයෙහි විසිතුරු තුන්මහල් ප්‍රාසාදයකුදු කරවා දළදා සාමීන් නැවත එහි වඩා බොහෝ පුද පවත්වා…’ (ස්‍යාමෝපසම්පදාවත, 23 – 24 පිටු)
මහාවංශයේ අදාළ කොටස සම්පාදනය කරන ලද්දේත් ස්‍යාමෝපසම්පදාවත ලියන ලද්දේත් එකම කර්තෘ වූ උපෞෂථ පුෂ්පාරාම විහාරයේ ප්‍රථම මහා නායක හිමියන් ලෙස වැඩ විසූ සිද්ධාර්ථ බුද්ධරක්ෂිත හිමියන් විසින් නිසා මේ මූලාශ්‍ර දෙකෙහි වෙනසක් තිබිය නොහැක. එහෙත් අස්ගිරි විහාරයට දළදා හිමියන් සම්බන්ධයෙන් වැඩි ප්‍රමුඛතාවක් අවශ්‍ය බැවින් මෙසේ මුල් පාඨ තමන්ට රිසි සේ වෙනස් කර ඇති බවක් පෙනී යයි. අස්ගිරි මහා විහාරය සම්බන්ධව ලිපියක් සපයන එම මහා විහාරයේ වර්තමාන ලේඛකාධිකාරි පූජ්‍ය පලිපාන සිරිනිවාස හිමියෝ මේ කාරණාව සම්බන්ධයෙන් කරුණු දක්වමින්,
‘සුරක්ෂිතව දෙල්ගමු වෙහෙර වැඩ සිටි දළදා වහන්සේ සෙංකඩගල පුරයට වැඩමවා තාවකාලිකව අස්ගිරි විහාරස්ථ ගෙඩිගේ විහාරයේ තැන්පත් කොට තබා දළදා මන්දිරය ඉදිකළ පසු එහි වඩා හිඳු වූයේය. එතුමා දළදා තේවා ධුරය පැවරුවේ අස්ගිරි විහාරයේ ඇල්ලේපොල මංගල මහ තෙරුන්ට’ යැයි සඳහන් කරති. අස්ගිරි පාර්ශ්වයේ භික්ෂුන් වහන්සේලා ස්වකීය මහා විහාරය ගැනත් දළදා හිමියන් ගැනත් මෙසේ උදන් අනද්දී මල්වතු මහා විහාර පරපුර මේ කරුණ ගැන නිහඬව සිටිති.
‘මහනුවර සමයෙහි ඉංග්‍රීසි පාලන අවධිය වනවිට දළදා වහන්සේගේ භාරකාරිත්වය පැවරී තිබුණේ අස්ගිරි මහා විහාරීය භික්ෂුන් වහන්සේට’ යැයි තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමියන් පවසතත් සත්‍යය එය නොවන බව ද පැහැදිලිය. ඩොයිලිගේ වාර්තා අනුව මේ කාලයේදී දළදාවේ භාරකාරත්වය මල්වතු විහාරයේ අතිගරු මහානායකව වැඩ විසූ කොබ්බෑකඩුවේ හිමියන් සතු වූ බව පෙනේ. දළදා වහන්සේ සඟවා තිබූ පුසුල්පිටිය රජමහ විහාරයේ සිට එය මහනුවරට වැඩම කළ පෙරහැරේ මූලිකත්වය ගෙන උන්වහන්සේ ක්‍රියා කිරීමෙන්ම ඒ බව හෙළි වේ.
දළදා සමිඳු සෙංකඩගල පුරට වැඩමවීම සම්බන්ධයෙන් වැඩි විස්තර ඓතිහාසික මූලාශ්‍රවල දක්නට නොලැබේ. දෙල්ගමුවේ සිට මහනුවර රජ මාලිගෙය අසල ඉදිකළ දෙමහල් මන්දිරයට දළදා සමිඳු පළමු වැනි විමලධර්මසූරිය රජතුමන් විසින් වැඩම කළ බව පමණක් මහාවංශයේ දැක්වේ. බි්‍රතාන්‍ය කෞතුකාගාර පුස්තකාලයේ තිබී සොයාගත් දළදා පුවත නම් වූ කවි 460කින් සමන්විත ග්‍රන්ථයක් කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය විමල් විජේරත්න මහතා විසින් සංස්කරණය කොට ප්‍රකාශයට පත්කොට තිබේ. පළමු වැනි විමලධර්මසූරිය රජුගේ කාලය දක්වා දළදා වහන්සේගේ ඉතිහාස කතාව ඇතුළත් මෙම කාව්‍ය ග්‍රන්ථය මහනුවර සමයේ ආරම්භක අවධිය පිළිබඳවත් දළදා වහන්සේ සෙංකඩගලපුරයට වැඩමවීම පිළිබඳවත් කරුණු වඩාත් විශ්වාසනීයත්වයෙන් ඉදිරිපත් කරයි. එයට හේතුව මෙම ග්‍රන්ථය සම්පාදනය වී ඇත්තේ ක්‍රි.ව. 1693දී හෙවත් විමලධර්මසූරියගේ රාජපදප්‍රාප්තියෙන් පුරා වසර සියයකට පසවු වීමයි. මෙම මූලාශ්‍රය මහාවංශය හා ස්‍යාමෝපසම්පදාවත නම් වූ මූලාශ්‍ර දෙකටම වඩා අවුරුදු එකසිය පනහකින් (150) පැරණිය. මෙම මූලාශ්‍රය අනුව දෙල්ගමු විහාරයේ දළදා සමිඳු වැඩ වෙසෙන බවට විමලධර්මසූරිය රජු වෙත සැලකර සිටියේ ගලඋඩ මහතෙරුන් විසින් බවත් එම හිමියන් විසින් දළදාව මහනුවරට වැඩම කරන මාර්ගය කලින් විස්තර කළ බවත් ඒ අනුව ඌව හරහා සතර කෝරළය මැදින් බලන මාර්ගය ඔස්සේ ඉදල්ගස් කන්ද පසුකර දළදා සමිඳු මහනුවර අම්පිටියට වැඩමවා පසුව සඳ දක්නා ගෙහි තාවකාලිකව වඩා හිඳුවා ඉන් ඉක්බිතිව දෙමහල් දළදා මැඳුරෙහි තැන්පත් කළ බවත් හෙළි වේ. අස්ගිරි විහාර පාර්ශ්වයේ භික්ෂුන් වහන්සේ කරුණු පටලවාගෙන සඳහන් කරන මංගල හිමියන් වූ කලී ගලඋඩ හිමියන් විය හැකි බවත් දළදාව තාවකාලිකව තැන්පත් කළ බව කියන චන්ද්‍රාවතී විහාරය හෙවත් ගෙඩිගේ විහාරය සඳ දක්නා ගෙය බවත් සැලකිය හැක. මෙහිදී ගෙය යන වචනය කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ඌව පාර ඔස්සේ දළදා හිමි වැඩමවා ගෙන ආ බව කීමත් අතීතයේ පැවැති සත්‍ය පුවතක් කල් යෑමේදී වෙනස්වී ජනතාව අතට පත්වී ඇති අයුරු කියාපායි. ජනකතා පැතිර යෑමේදී කේන්ද්‍රීය සිද්ධිය වටා මෙසේ වෙනස්කම් ඇතිව විස්තර ගොනුවීම හා සමාන සිද්ධීන් එක්වීම හා මිශ්‍රවීම ලක්ෂණයකි. ඉහත දැක්වූ දළදා පුවත නම් වූ කාව්‍ය ග්‍රන්ථයේ දැක්වෙන කරුණුවලට බොහෝ සමාන වූ කරුණු ද කුඹුරුගමුවේ වජිර හිමියන්ගේ දළදා ඉතිහාසය හා සංස්කෘතිය නමැති ග්‍රන්ථයේ දැක්වේ. එය මෙසේය:
දළදා වහන්සේ මහනුවරට වැඩමවීමේදී ගලඋඩ නම් තෙරුන් වහන්සේ නමකගේ සහාය විමලධර්මසූරිය රජුට ලැබුණේ යැයි කියනු ලැබේ. උන්වහන්සේ හිරිපිටියේ නිලමතුමන් ප්‍රමුඛ කිහිපදෙනකුගේ සහාය ඇතිව දළදා වහන්සේ සීතාවක සිට අම්පිටියට වැඩමවා ගෙනවුත් රජුට දැනුම් දුන්හ. ඉක්බිති රජතුමා එහි ගොස් පුද සද්කාර පවත්වා මහනුවරට වැඩමවා ගෙනවුත් රජමාලිගය ආසන්නයෙහි තැන වූ දෙමහල් දළදා ගෙයි වඩා හිඳුවිය. දෙල්ගමුවේ සිට දළදා සමිඳු මහනුවරට වැඩමවීමේ පුවත ඉහත කී ප්‍රකාර සිදුවූවා යැයි විස්තර කළ හැකි අතර ඇසළ පෙරහැරේ අවසන් දින කරඬුව අස්ගිරියට වැඩමවන චාරිත්‍රය කීර්ති ශ්‍රී රාජසිංහ අවධියේ ආරම්භ වූ නමුදු එම විහාර භූමිය තවදුරටත් ආදාහන මළුවක් වශයෙන් එකල ප්‍රයෝජනයට නොගෙන තිබූ බව ද කල්පනා කළ හැකිය.
අවසාන වශයෙන් මෙම ලිපියෙන් ඉදිරිපත් වූ කරුණු යළිදු සංක්ෂිප්තව ඉදිරිපත් කර දළදා වහන්සේ රත්නපුර කුරුවිට දෙල්ගමුවේ සිට මහනුවරට වැඩම කළා වූ ව්‍යවහාර වර්ෂ 1594දී එය පළමුවෙන්ම අම්පිටියට වැඩමවා පසුව පළමු වැනි විමලධර්මසූරිය රජතුමන් විසින් තෙමහල් දළදා මන්දිරය ඉදිකරන තෙක් ස්වකීය රාජ මන්දිරයට සම්බන්ධ වූ චන්ද්‍රශාලා නම් වූ දක්ෂිණ මණ්ඩපයේ තැන්පත් කර පසුව දළදා මන්දිරය ඉදි වූ පසු එහි තැන්පත් වූ බව සඳහන් කළ හැක.
එදා ලියූවකි
මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්න