ශ්‍රී මහා බෝධියේ රාජකාරි කළ කොස්තාපල්වරියට හදි කළැයි එස් අයි අත්අඩංගුවට

137

උඩමළුව පොලිසියට අනුයුක්තව ශ්‍රී මහා බෝධි මැද මළුවේ රාජකාරි කරමින් සිටි අවිවාහක පොලිස් කොස්තාපල්වරියකට අතවරයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු ඊයේ (2දා) සැකපිට අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි 57 හැවිරිදි උපපොලිස් පරීක්ෂකවරයෙකි. තමන් රාජකාරි කරමින් සිටින අතරවාරයේ එහි පැමිණි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා තමන්ට ලිංගික අතවරයක් කළ බවට 29 හැවිරිදි පොලිස් කොස්තාපල්වරිය පළමුව උඩමළුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට පැමිණිලි කොට තිබේ.

උඩමළුව පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මේ බව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරි (1) ප්‍රභාත් විතානගේ මහතාට දැනුම් දී ඇති අතර සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ඒ පිළිබඳව අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා විසින් සිදු කරන ලද බව කියන ලිංගික අතවර සිද්ධිය සම්බන්ධයෙන් වහාම විශේෂ විමර්ශනයක් අරඹන ලෙසට අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණසේකර මහතාට උපදෙස් දී තිබේ.

එම උපදෙස් අනුව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සුනිල් දිසානායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර උප පොලිස් කොස්තාපල්වරයා ඊයේ (2දා) පස්වරුවේ අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
අනුරාධපුර අධිකරණ – උපාලි ආනන්ද


advertistmentadvertistment