වර්තමාන නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් හට සේවා දිගුවක් ලබා දීමට යෝජනා කරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ කණ්ඩායම ඊට හේතු කීපයක් ඉදිරිපත් කර ඇත. ඒ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග බංකොලොත් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන, 2019 අප්‍රේල් පාස්කු ඉරිදා ප්‍රහාරය සහ 2021 ජුනි 2 දින කොළඹ වරායට නුදුරින් බහාලුම් 1,400 අධික ප්‍රමාණයක් සමග මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් නීතිපතිවරයා වශයෙන් ඔහුගේ දායකත්වයේ අවශ්‍යතාවයයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කිරීමට නීතිපතිවරයා හට සේවා දිගුවක් ලබා දීමට කතෝලික පල්ලිය ද එකඟ බවට අඟවමින් කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා කතෝලික අගරද ගුරු සමුළුව දැඩි පිළිතුරක් පසුගියදා ලබාදුනි. නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දීමට අවශ්‍ය පසුබිම සෑදීමේ උත්සාහය අගරදගුරු සමුළුව හෙළිදරව් කර ඇත. සේවා දිගුව ලබා දීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා කටයුතු කළහොත් ඊට එරෙහිව අධිකරණයේ පිහිට පැතීමට දැනටම යම් පාර්ශ්වයන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ නීති සම්පාදන ක්‍රියාවලිය දැඩි අර්බුදයකට ලක් වී ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රටේ ව්‍යවස්ථාව සමග සම්පූර්ණයෙන්ම පාහේ නොගැලපෙන බවට තීරණය කළ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ජුනි 06 පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව වැඩි ඡන්ද 44 කින් එදිනම සම්මත වීම නීති ක්ෂේත්‍රයේ ද වර්ධනය වෙමින් පවතින අතිශය ගැටලුකාරී තත්ත්වය නැවත නැවතත් අවධාරණය කරයි.

රටේ ව්‍යවස්ථාව සමග සම්පූර්ණයෙන්ම නොගැලපෙන පනත් කෙටුම්පතක් ශ්‍රේෂ්ඨාධිකරණයට යැවීම සම්බන්ධයෙන් විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ තියුණු අවධානය යොමු විය යුතු නොවේද? පාර්ලිමේන්තුවේ හැසිරීම තුළ එවැනි අවංක අවශ්‍යතාවයක් කිසිදු දේශපාලන පක්ෂයකට තිබෙන බව නොපෙනේ.

පාර්ලිමේන්තුව තම මූලික වගකීම් දෙකම: (1) මූල්‍ය පාලනය සහ (2) නීති සම්පාදනය සෑහෙන කාලයක් තිස්සේ ඉටු නොකරන බව අමුතුවෙන් කිව යුතු නැත. මිට වසරකට පමණ පෙර පාර්ලිමේන්තුවේදී පැවැත්වූ උත්සවයකදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට බංකොලොත් වීමේ වගකීම මැතිසබය මත පැවරීය.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2019-2022 කාලයේ පාර්ලිමේන්තුව හැසිර වූ ආකාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් බව අමුතුවෙන් කිව යුතු නැත. පාර්ලිමේන්තුව මේ ආකාරයට අසාර්ථක නොවුණා නම් එතුමා කිසිදා ජනාධිපති ධුරයට පත්වන්නේද නැත. භූමියේ සත්‍යය එයයි. 1977 සිට පාර්ලිමේන්තුව දිගටම නියෝජනය කළ එතුමා පාර්ලිමේන්තුවේ අසාර්ථකත්වය 2019-2022 කාලයට පෙර සිදු වූ බව නොදැන සිටීමට හේතුවක් ද නැත. නමුත් වර්තමානයේ තත්ත්වය වඩාත් නරක අතට හැරී ඇත.

බලයේ සිටින වික්‍රමසිංහ-රාජපක්ෂ කණ්ඩායම වර්තමානයේදී ව්‍යවස්ථාවට පිටින් නීති සම්පාදනය කිරීම කලාවක් කර ගෙන ඇත. ඊට ප්‍රධානතම හේතුව රට බංකොලොත් වීම පසුබිමේ ජනාධිපති ධුරයට පත්වූ වික්‍රමසිංහ නීති සම්පාදනය සම්පූර්ණයෙන්ම පාහේ එතුමාගේ දේශපාලනික උපාය මාර්ගය සමග එකට ගැට ගැසීමයි. තම පක්ෂයේ ප්‍රතිපත්තීන්වලට කිසිසේත්ම නොගැලපෙන ‘විවාහයකට’ එජාප නායක වික්‍රමසිංහ සමග ඇතුළු වී ඇති පොහොට්ටු පක්ෂය ජනාධිපතිවරයාගේ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීමේ මෙවලම බවට පත්වී ඇත. පසුගිය මැයි 12 දින රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම ජනාධිපතිවරණය පවත්වන තුරු නැවැත්විය යුතු බවට වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බලකර ප්‍රකාශයක් නිකුත් කළ පොහොට්ටු පක්ෂය ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පතට එකාවන්න ඡන්දය දුන්නේ ඒ නිසාය. එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඡන්දය දීමෙන් එදින වැළකී සිටීම වෙනම ම විග්‍රහ කළ යුතුය.

වසර දෙකක් තුළ (රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූ දින සිට) නීති ගොන්නක් අනුමත කිරීම සම්බන්ධයෙන් මහත් ආඩම්බරයෙන් කතා කරන අධිකරණ අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ අතිශය වැදගත් පනත් කෙටුම්පත් මේ ආකාරයට ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ‘ප්‍රතික්ෂේප’ වීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු නොවේද? ශ්‍රීලනිප නායකත්ව අර්බුදයට මැදිවී 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ප්‍රකාශ කර ඇති රාජපක්ෂ අමාත්‍යවරයා මෙම තත්ත්වය යම්කිසි ආකාරයකට නිරාකරණය කළ යුතු නොවේද ? එතුමා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙන් ද වන බව අමතක කළ නොහැක.

රට බංකොලොත් කිරීමට අඩු වැඩි වශයෙන් වගකිවයුතු පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ/හිටපු සහ දැනට මැති සබය නියෝජනය කරන මැති ඇමැතිවරුන් නීති සම්පාදනය සම්බන්ධයෙන් උද්ගත වී ඇති මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු නොවේද? මෙම තත්ත්වය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ වගකීම සහ වගවීම ද අමතක කළ නොහැක.

මහින්ද යාපා අබේවර්ධන සහ පක්ෂ නායකයින් මෙම අර්බුදය පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බව පැහැදිලිය. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන පනත් කෙටුම්පත් එහිදී දැඩි කප්පාදුවකට ලක්වීම සමස්ත නීති සම්පාදන ක්‍රියාදාමයම අවුලකට පත් වීමකි. ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකි. පාර්ලිමේන්තුව, නීති සම්පාදක සහ නීතිපති අතර මෙම තත්ත්වය සම්බන්ධයෙන් බරපතල සංවාදයක් ඇති විය යුතුය.

ශ්‍රේෂ්ඨාධිකරණය පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් 2015 සිට දෙනු ලැබූ තීන්දු ඉහත සඳහන් කළ පාර්ශ්වයන්හි අවධානයට ලක් වූවා නම් මෙම තත්ත්වය වළක්වා ගැනීමට තිබුණි. ජනමාධ්‍ය මෙම තත්ත්වය සම්බන්ධයෙන් කළ අවධාරණය කිරීම් බලයේ සිටින කණ්ඩායමට අදාළ නැත.

නමුත් විදුලිබල ක්ෂේත්‍රයට සිදුකරනු ලබන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සැලැස්වීම අරමුණු කරගත් ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව, එම කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අවසානයේ ඊට පක්ෂව ඡන්ද 103ක්ද, විපක්ෂව ඡන්ද 59 ක්ද හිමිවීම, කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එකතු කිරීම සහ අවසානයේදී තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත වීම භූමියේ සැබෑ තත්ත්වය පිළිබිඹු කරන්නේ නැත.

මෙම පනත් කෙටුම්පත 2024 අප්‍රේල් 25 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. ඊට එරෙහිව අවම වශයෙන් පාර්ශ්ව 14 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කරන ලදි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය නීති සම්පාදනය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අතිශය අර්බුදකාරී තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතු නොවේද? නමුත් එම සංගමය ද බරපතල අර්බුදයකය. රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයට දුෂණය-වංචාව-අක්‍රමිකතා හේතු වූ බවට නිගමනය කර ජපානය ඊට මැදිහත්වීමක් කිරීමේදී එම ක්‍රියාදාමයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය සම්බන්ධවීමේදී මූල්‍ය විනිවිදභාවය නොමැතිවීම මෑතකදී දැඩි අවධානයට යොමු විය.

ඔඩු දුවන නීති ක්ෂේත්‍රයේ අර්බුදය

ශේෂ්ඨාධිකරණයේ තීන්දු වතුරේ!

තවදුරටත් වර්ධනය වෙමින් පවතින ආර්ථික -දේශපාලන-සමාජීය අර්බුදය තුළ නීති ක්ෂේත්‍රය ද අතිශය ගැටලුකාරී තත්ත්වයකට පත්වීම කිසිසේත්ම පුදුමයක් නොවේ. නීති සම්පාදන ක්‍රියාවලිය තුළ නීතිපතිවරයාගේ ප්‍රබල කාර්යභාරය අවධානයට ලක්කිරීමේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වර්තමාන නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම් ට 2024 දෙසැම්බර් 31 දක්වා සේවා දිගුවක් දීමට කරන උත්සාහය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල දැඩි විරෝධයට ලක්විය යුතුය.

කථානායකවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් නීතිපතිවරයාට සේවා දිගුවක් ලබා දිය නොහැකි බව හිටපු විදේශ අමාත්‍ය ජි. එල්. පීරිස් මහාචාර්ය තුමාගේ නිගමනයයි. එතුමා මෙම ලියුම්කරු කළ විමසීමකදී වර්තමාන නීතිපතිවරයාගේ සහභාගිත්වය නොමැතිව යම් නඩු කටයුතු ඉදිරියට ගෙන යෑමට තිබෙන අපහසුව සමාන කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයට ඉඩ සැලසීමට ජනාධිපතිවරණය සහ මහා මැතිවරණය වසර දෙකකින් කල් දැමීමට කළ යෝජනාවයි.

ඉතිහාසයේ කිසි දිනක නීතිපතිවරයට සේවා දිගුවක් ලැබී නැත. ආදී රාජකීය විද්‍යාලයේ සිසුවකු වූ රාජරත්නම් නීතිපති ලෙස පත් වූයේ 2021 මැයි මාසයේදීය. ඔහුට පෙර එම තනතුරේ සිටියේ ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරාය. 2019 අප්‍රේල් පාස්කු ප්‍රහාරයෙන් සති කීපයකට පසුව නීතිපති ධුරයට පත් වූ ඔහු 2021 මැයි මාසයේදී විශ්‍රාම ගියේ එම අපරාධය ‘මහා කුමන්ත්‍රණයක්’ බවට ප්‍රකාශ කරමිනි. ඒ සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන අංශයට ප්‍රකාශයක් ලබා දීම ඔහු ප්‍රතික්ෂේප කළේය. දප්පුලට පෙර නීතිපති වූයේ ජයන්ත ජයසූරියයි. පාස්කු ප්‍රහාරය සිදුවනවිට නීතිපති වූ ඔහු ඒ මාසයේදීම අගවිනිසුරු ලෙස පත්වීම ලැබීය. වත්මන් රජයේ අවශ්‍යතාවය 2024 මේ වසර අවසානයේ ජයන්ත ජයසූරිය විශ්‍රාම යෑමෙන් හිස්වෙන තනතුරට රාජරත්නම් පත් කිරීමයි.

එම තත්ත්වය තුළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ද නිහඬව සිටිය නොහැක. කෙටියෙන් කිවහොත් ජනතාවට විශ්වාසී නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට වගවිය යුතු, වගකිව යුතු කිසිවකුට නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැක. නීතිය විමධ්‍යගත කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ ලාල් කාන්ත මෑතකදී කළ අතිශය දේශපාලන ප්‍රකාශයක් මත රකුසන් මැවූ කණ්ඩායම නීතිපතිවරයට සේවා දිගුවක් දීමට කරන යෝජනාව සම්බන්ධයෙන් නිහඬය. නීතිපති දෙපාර්තමේන්තුවේ ගෞරවය රැකීම එම දෙපාර්තමේන්තුවේ වගකීමක් විය යුතුය. වර්තමාන නීතිපතිවරයා නිසි පරිදි විශ්‍රාම ගියහොත් එම ආයතනයට තම රාජකාරි ඉදිරියට ගෙනයෑමට නොහැකි තත්ත්වයක් ඇති විය හැකි බව ඒත්තු ගැනීමට කරන උත්සාහය පරාජය කළ යුතුය.

අරගලයෙන් පසුව නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පසුගිය වසර දෙක තුළ සම්මත කරන ලද බොහෝ පනත් ආන්දෝලනාත්මකය. අපි එක පනතක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමු. මේ වසරේ ජනවාරි 24 පක්ෂව ජන්ද 108 සහ විපක්ෂව 62 ලබා පාර්ලිමේන්තුවේදී සම්මත වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරන ලද යම් විශේෂිත සංශෝධන ඇතුළත් නොවූ බව විපක්ෂය පමණක් නොව මානව හිමිකම් කොමිසම පවා ප්‍රකාශ කර තිබිණි. එපමණක් නොව මානව හිම්කම් කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු එල්. ටී. බී. දෙහිදෙනිය 2024 පෙබරවාරි 08 වැනි දින කථානායක මහින්ද යාපා අබේවර්ධනට යැවූ ලිපියකින් අවධාරණය කර තිබුණේ ශේෂ්ඨාධිකරණය නියම කරන ලද සැලකිය යුතු සංශෝධන ප්‍රමාණයක් සම්මත කළ පනතට ඇතුළත් කර නොමැති බවයි.

දෙහිදෙනිය විනිසුරුවරයා එම ලිපිය වික්‍රමසිංහ ජනාධිපතිවරයාට, ටිරාන් අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට සහ සංජේ රාජරත්නම් නීතිපතිවරයාට ද යොමු කළේය. ඒ මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත කිරීමේදී කිසිදු වරදක් නොවූ බවට නිල වශයෙන් ප්‍රකාශ කර දින දෙකකට පසුවය. දෙහිදෙනිය විනිසුරුවරයා තම දීර්ඝ ලිපියෙන් අවධාරණය කළේ කථානායකවරයාගේ ප්‍රකාශය සත්‍යයෙන් තොර බවයි.

එබැවින් නියම කරන ලද සංශෝධන නියමාකාරයෙන් ඇතුළත් වී නොමැති නිසා එම පනත නීත්‍යානුකූලව සම්මත වීමට අවශ්‍ය වන තුනෙන් දෙකේ බහුතරය ලැබී නොමැති බව නිර්භයව පෙන්වා දී ඇත. කථානායකවරයා, ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා එම ලිපිය නොසලකා හැරියේය. අදටත් එම තත්ත්වයේ වෙනසක් නැත. රටේ නීති පද්ධතිය තුළ පාර්ලිමේන්තුවේ බලය තිබෙන කණ්ඩායම කළ නොපනත්කමක් නිවැරදි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන නැත. පාර්ලිමේන්තු ක්‍රමයේ නාය යෑම එතනින් නැවතුණේ නැත.

කථානායකවරයා අදාළ පනත සම්මත කළ ආකාරය නීතියට අනුකූල නොවන බව අවධාරණය කරමින් විපක්ෂය එතුමාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කළ අතර දින තුනක වාද-විවාදවලින් පසුව මාර්තු 21 දින එම යෝජනාව පරාජයට පත් විය. පොහොට්ටු පක්ෂය ඉහළම දායකත්වයක් දෙමින් එම යෝජනාවට එරෙහිව ඡන්ද 117 ලබා දුන් අතර ඊට එරෙහිව ඡන්ද 75 ක් ප්‍රකාශ විය. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව නැවත වරක් පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප විය.

ඒ දෙහිදෙනිය විනිසුරුවරයා අවධාරණය කළ පාර්ලිමේන්තුව කළ නොසලකාහැරීම් ඉතාමත් බරපතල බව හොඳින්ම දැනගෙනය. එතුමාගේ ලිපිය අනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතට නීත්‍යානුකූලභාවයක් නැත. එසේ නම් එම නීතිය ක්‍රියාත්මක කළ නොහැක. නමුත් එම නීතිය ක්‍රියාත්මකය. එම නීතිය මත නඩු පැවරීම ද සිදුවන බව මාධ්‍ය වාර්තා කර ඇත.

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක සහ වර්තමාන යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් විකුම් ලියනගේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත යටතේ දැනටම නඩු පවරා ඇත.

මානව හිමිකම් කොමිසම මෑතකදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේ මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කළේ තම ආයතනයේ කාර්යභාරය සම්බන්ධයෙන් රට දැනුවත් කිරීමටය. එම අවස්ථාවේදී මෙම ලියුම්කරු කොමිසමේ විනිසුරු සභාපතිවරයාගෙන් කොමිසම කථානායකවරයාට කළ නිර්දේශ අනුව කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කළ විමසුමට ලැබුණ පිළිතුර සමස්ත නිදහස් කොමිෂන් සභා ක්‍රමය සම්බන්ධයෙන් බරපතල අවිනිශ්චිත තත්ත්වයක් ඇතිවේ.

විශ්‍රාමික විනිසුරුවරයාගේ ස්ථාවරය වූයේ ආන්දෝලානාත්මක පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට නිර්දේශ ඉදිරිපත් කළ හැකි නමුත් ඒවා ක්‍රියාත්මක කරවීමේ වගකීමක් තමන්ට නොමැති බවයි. නැතහොත් නිර්දේශ ඉදිරිපත් කිරීමට වඩා මැදිහත් වීමක් කොමිසමට කළ නොහැකි බවයි. අවාසනාවකට ශ්‍රේෂ්ඨාධිකරණය කළ නිර්දේශ පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු වූයේ නැත.

එසේ නම් දැනට ක්‍රියාත්මක මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත නීත්‍යානුකූල නොවේ. එසේ නීත්‍යානුකූල නොවන ආකාරයට සම්මත කළ එකම පනත ද එය නොවේ. පළාත් සභා ඡන්දය ‘අතුරුදන්’ කිරීමට 2017 දී පළාත් සභා පනතට සංශෝධන ඇතුළු කළ පාර්ලිමේන්තුව නීතිය අවනීතිය කළ ආකාරය අමුතුවෙන් කිව යුතු නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment