සම්පත් ආකරයක් උඩ දුක්විඳින මිනිස්සු

94
ඛනිජ වැලි කැණීම් කරන අයුරු

අවුරුදු 500ක් ලෝකයටම ඩොලමයිට් දෙන්න නිධියක් තියෙනවා…

මිනිරන් කර්මාන්තය හරියට කළොත් මේ රට ගොඩ දාන්න පුළුවන්…

පුල්මුඩේ ඛනිජ වැලි නිධියට වඩා විශාල නිධියක් දකුණේ තියෙනවා…

මන්නාරම් ද්‍රෝණියේ ගෑස් ගවේෂණය සාර්ථකයි…

නිලධාරීන් සතුටු නොකරන්න ගවේෂණය කරගෙන යන්න බෑ…

ඇතැම් සමාගම් ගවේෂණය අවුරුදු ගණන් කල්මරනවා…

භූ විද්‍යා හා පතල් කාර්යාංශය පරිසර අමාත්‍යාංශයෙන් වෙන් කරන්න ඕනෑ…

භූ විද්‍යාව පිළිබඳ මෙරට රාජ්‍ය ආයතනයක් ආරම්භ වී ඇත්තේ 1903 වර්ෂයේ දීය. එම ආයතනයේ ප්‍රධාන ඛනිජ විද්‍යාඥයා ලෙස කටයුතු කර ඇත්තේ මෙරට ශ්‍රේෂ්ඨ කතුවරයෙක් වූ ආනන්ද කුමාරස්වාමි මහතා ය. ඔහුගේ උපදෙස් මත ඛනිජ සම්පත් ගවේෂණය කරගෙන ගිය ඉංග්‍රීසි ජාතික ඛනිජ ගවේෂකයන් විසින් මෙරට පොළොව තුළ නිධන්ව තිබෙන ඛනිජ බොහෝමයක් සොයාගෙන ඇති බව ඉතිහාසයේ සඳහන් ය. එමෙන්ම භූ විද්‍යාව පිළිබඳ අධ්‍යයනාංශයක් ආරම්භ වී ඇත්තේ 1965 වර්ෂයේ දීය. ආරම්භක අවධියේ මෙරට භූ විද්‍යාඥයන් නොසිටියේය. ගවේෂණ කටයුතු සිදු කරගෙන ගොස් ඇත්තේ විදේශීය ආචාර්යවරුන් යටතේ ය. මේ වෙනකොට භූ ගර්භ විද්‍යාව පිළිබඳ මෙරට මහාචාර්යවරු සිටිති. ආචාර්යවරු සිටිති. එහෙත් මෙරට ඛනිජ සම්පත් ගවේෂණයට කිසිදු රජයක් උනන්දු නොවිණි. ඛනිජ සම්පත්වල වටිනාකම, ඛනිජ සම්පත් සොයාගැනීමෙන් රටට ලැබෙන ප්‍රතිලාභ ගැන කිසිම රජයක් සැලකිලිමත් නොවිණි. සොබාදහම විසින් අපට උරුම කර ඇති සම්පත් ප්‍රයෝජනයට ගැනීමට අදට ද ජාතික ප්‍රතිපත්තියක් නැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න අප සමග පැවසුවේය.

සම්පත් ආකරයක් උඩ දුක්විඳින මිනිස්සු

“අපේ රට ඛනිජ ආකරයක්. බැලු, බැලු අත ඛනිජ. ගවේෂණය කර ඉවර කරන්න බෑ. ඒත් ඛනිජ ගවේෂණය මේ වෙනකොට විශාල ජාවාරමක්. ඒ වගේම මෙරට ඛනිජ සම්පත් කළමනාකරණය, පරිහරණය අතිශය දුර්වලයි. ඒ ගැන කතා කරන්න දුකයි…” අතුල සේනාරත්නයන් දිගු සුසුමක් පිටකර අසුන මත හරි බරි ගැසිණි.

“ඉස්සර මෙරට ඕනෑම පුරවැසියෙක්ට ඛනිජ ගවේෂණ බලපත්‍රයක් ඉල්ලුම් කිරීමට හැකියාව තිබුණා. බලපත්‍රයක් ලබාගන්න ගෙවන්න වුණේ රුපියල් 7500ක් වගේ මුදලක්. දැන් ඒ මුදල මිලියනයක් දක්වා වැඩි වෙලා කියල ආරංචියි. අපි වගේ කෙනෙක්ට එවැනි විශාල මුදලක් වියදම් කර ගවේෂණ බලපත්‍රයක් ලබාගන්න බෑ. බලපත්‍ර ගාස්තු වැඩි කිරීමේ යටි අරමුණ ව්‍යාපාරිකයන්ට, ජාවාරම්කාරයන්ට පමණක් ගවේෂණ කටයුතු කරගෙන යෑමට පසුබිම සකස් කිරීම. ඒක හරිම අසාධාරණයි. ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඇතැම් දේශීය, විදේශීය හවුල් සමාගම් ගවේෂණ බලපත්‍ර ලබාගෙන අවුරුදු 10ක්, 15ක් කල් මරනවා. ගවේෂණ කටයුතු අවසාන කර කැණීම් පටන් ගන්නෙ නෑ. ලංකාවේ ඛනිජ ගවේෂණය කරන බව පෙන්වමින් හවුල්කාර විදේශීය සමාගම් ලෝක වෙළෙඳපොළේ ඔවුන්ගේ කීර්ති නාමය වැඩි කර ගන්නවා. එයින් අපේ රටට ඇති සෙතක් නෑ…” අතුල සේනාරත්නයන්ගේ කතාවට මම බාධා කළෙමි.

ගවේෂණ බලපත්‍රයක වලංගු කාලය අවුරුදු කීය ද?

“වසර දෙකයි. ගවේෂණ කටයුතු අවසන් කර ගන්න බැරි වුණොත් භූ විද්‍යා කාර්යාංශයේ අදාළ නිලධාරීන්ට ප්‍රමාදයට හේතු දක්වා කාලය දිගු කර ගැනීමට ඉල්ලීමක් කරන්න පුළුවන්. ඒ විදිහට වසර දෙකෙන් 2කට ගවේෂණ බලපත්‍රයේ වලංගු කාලය දිගු කර ගන්නා බොහෝ ගවේෂණ ආයතන තියෙනවා. මුදලට යට වෙච්ච දූෂිත නිලධාරීන් ඒ කටයුතු කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙනවා…”

සම්පත් ආකරයක් උඩ දුක්විඳින මිනිස්සු
ඩොලමයිට් නිධියක්

මෙරට ඛනිජ සම්පත් ගවේෂණයට බලපත්‍ර නිකුත් කරනුයේ භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය විසිනි. පරිසර අමාත්‍යාංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය එකී, නොකී ආයතන විශාල සංඛ්‍යාවකින් ඛනිජ ගවේෂණ බලපත්‍රයක් ලබාගැනීමට අවසර ලබාගත යුතු බව ද සැබෑය. එම සියලු ආයතනවල ඇතැම් නිලධාරීන් රාජකාරි සිදු කරනුයේ සන්තෝසමේ හැටියට බව ද ලැබෙන ආරංචි මාර්ගය. එමෙන්ම මෙරට ඇතැම් සමාගම් වසර 10ක්, 15ක් ගවේෂණ කටයුතු කරගෙන යන්නේ එකී රාජ්‍ය නිලධාරීන්ගේ උපකාරය මතය. එම නිලධාරීන්ව සතුටු නොකරන ඉල්ලුම්කරුවන්ට බලපත්‍ර ලබාදීම මාස, අවුරුදු ගණන් ප්‍රමාද කරවන බව ද වාර්තා වේ. ඇතැම් ඛනිජ ගවේෂකයන් බලපත්‍ර ඉල්ලුම් කර වසර ගණන් බලා සිටින බව ද වාර්තා වේ. විශේෂයෙන්ම මෙරට ඛනිජ වැලි ගවේෂණය කරන විදේශීය හවුල් සමාගම් ගහන පදයට අදාළ ආයතනවල ඉහළ නිලධාරීන් තප්පුලන බව ද වාර්තා විය. මෙරට ස්වභාවික සම්පත් සංරක්‍ෂණය කරන බොහෝමයක් ආයතනවල කාලයක සිට ලොකු පුටු රත්කරනුයේ මේ මහ පොළොවට, සතා සීපාවට අබමල් රේණුවක තරමේ ලෙන්ගතුකමක් නැති කාලකණ්ණි බලධාරීන් සහ නිලධාරීන්ය. ඔවුන්ට ඇවැසි මෙරට සම්පත් සංරක්‍ෂණය කිරීමට හෝ එම සම්පත් කැණීම් තුළින් රටේ ආර්ථිකයට වාසියක් අත්කර දීම නොවේ. ඔවුන්ගේ ගොඩ වැඩි කර ගැනීමට පමණි. අතුල සේනාරත්නයන් නැවත කතාවට එකතු විය.

“ඛනිජ සම්පත් රටේ ආර්ථිකයට සම්පතක් කර ගන්න නම් ප්‍රථමයෙන් කරන්න ඕනේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය, පරිසර අමාත්‍යාංශයෙන් වෙන් කිරීම. ගවේෂණයක්, කැණීමක් කරනකොට පරිසරයට හානි වීම වළක්වන්න බෑ. ඒ නිසා භූ විද්‍යා හා පතල් කාර්යාංශය, මැණික් සංස්ථාව වගේ ආයතන මුදල් අමාත්‍යාංශය යටතට පත් කරන්න ඕනෑ. යම්කිසි කාලසීමාවකට ඛනිජ ගවේෂණය සම්බන්ධයෙන් තියෙන නීතිරීති ලිහිල් කරන්න ඕනෑ. ඛනිජ ගවේෂණයට උනන්දු ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියෙක්ට බලපත්‍ර ලබාගැනීමට අවසර ලබාදෙන්න ඕනෑ. ගවේෂණ කටයුතු සඳහා අවශ්‍ය උපරිම පහසුකම් ලබාදෙන්න ඕනෑ. ගවේෂණ කටයුතුවලට අවශ්‍ය තාක්‍ෂණික උපකරණ ආනයනයට තීරුබදු සහන ලබාදෙන්න ඕනෑ. විශේෂයෙන්ම භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කැණීම් කාර්යාංශය වංචාවෙන්, දූෂණයෙන් තොර ආයතනයක් බවට පත් කළ යුතුයි. ඒ වගේම ගවේෂකයන්ට අවශ්‍ය බලපත්‍ර කඩිනමින් ලබාදෙන වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ. ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත බිහි කිරීමට පහසුකම් සම්පූර්ණ කරන්න ඕනෑ…”

“ඛනිජ ගවේෂණය සම්බන්ධයෙන් පුළුල් දැනුම සහිත ගවේෂකයන් මෙරට ඉන්නවා. කර්මාන්ත ආරම්භ කරන්න කැමැත්තෙන් ව්‍යාපාරිකයෝ ඉන්නවා. රන්, රීදි, මුතු, මැණික් විතරක් නෙමෙය,ි තඹ, යකඩ, තෙල්, ගෑස් හැම සම්පතක්ම මේ රටේ තියෙනවා. මන්නාරම් ද්‍රෝණියේ සිදු කළ ගෑස් ගවේෂණය අතිසාර්ථකයි. කැණීම් කරපු ළිං හතරෙන් දෙකක ගෑස් තියෙනවා. 2012 වර්ෂය වෙනකොට ගෑස් නිෂ්පාදනය කරන බවට දැනුම් දුන්නා. ඒත් තවම ගෑස් නිෂ්පාදනය කෙරුණේ නෑ. දේශපාලන බළල් අත් ගෑස් ළිං වහගෙන ඉන්න බවක් පේනවා. ඒ වගේම තෙල් තියෙන බවට අනුමාන කරන්නේ පානදුර ප්‍රදේශයයි. එම ප්‍රදේශයේ මීටර් 3000ක් පමණ යටින් තෙල් තියෙන බව කියනවා. ඛනිජ තෙල් කැණීම් කරන ළිඳක් හෑරීමට වියදම් වෙන්නේ ඩොලර් මිලියන 90යි. ඒත් තෙල් කැණීම් ගැන දැන් කතාවක් නෑ. ඒ වගේම සේරුවිල රත්තරන් නිධිය ගවේෂණය කරගෙන ගියා. බලපත්‍රය තහනම් කළා. අපේ රටේ මැණික්වලින් 25%ක් තවම කැණීම් කරලා නෑ. මහනුවර සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝ මීටර් 3ක් පළල, කිලෝ මීටර් 300ක් දුර, මීටර් 200ක් ගැඹුර ඩොලමයිට් නිධියක් තියෙනවා, ලෝකයේ බහුලව භාවිතයට ගන්න ඩොලමයිට් විශේෂයක්. අපි හඳුනාගෙන තියෙන ඩොලමයිට් නිධිය මුළු ලෝකයටම අවුරුදු පන්සියයක් විතර දෙන්න පුළුවන්. ඒත් ලංකාවේ නීතියට අනුව හුනුගල් පිටරට යවන්න තහනම්. අගය එකතු කළ භාණ්ඩයක් විදිහට හෝ ඩොලමයිට් අපනයනය කිරීම තහනම්. දැනට මෙරට තුළ වසරකට ඩොලමයිට් ටොන් 20,000ක්, 30,000ක් පාවිච්චි වෙනවා. අපි සොයාගෙන තියෙන නිධිය මෙරට අවුරුදු දසලක්‍ෂයක් පාවිච්චි කරලවත් ඉවර කරන්න බෑ. යල් පැන ගිය නීති රීති වෙනස් කරලා මේ සම්පත් පරිභෝජනයට ගන්න කඩිනමින් ක්‍රමවේද සකස් කෙරෙන්න ඕනෑ…”

සම්පත් ආකරයක් උඩ දුක්විඳින මිනිස්සු

“ඒ වගේම මේ රටේ තියෙන මිනිරන් තවම හරියට ගවේෂණය කරලා නෑ. මාතර සිට ත්‍රිකුණාමලය දක්වා මිනිරන් නිධියක් සහිත තීරුවක් තියෙනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සිට කොළඹ දිස්ත්‍රික්කය පුරා තැනින්, තැන මිනිරන් නිධි තියෙනවා. කුරුණෑගල, ගලේවෙල ආදී ප්‍රදේශවල සිට කන්ද උඩරට දක්වා තැනින්, තැන මිනිරන් නිධි තියෙනවා. අපේ රටේ මිනිරන් වර්ග දෙකක් තියෙනවා. තලාතු මිනිරන්, කළු මිනිරන්. පතුරු ගැලවෙන තලාතු මිනිරන් ලොව වටිනාම ඛනිජයක්. නිෂ්පාදන රාශියකට පාවිච්චි කරනවා. තලාතු මිනිරන් ලෝක වෙළෙඳපොළට බහුලව ලබාදුන්නේ ඉන්දියාව. ඒත් ඉන්දියාවේ මිනිරන් පතල්වල කුඩා ළමයි වැඩ කරනවා කියලා ලෝක වෙළෙඳපොළ මිනිරන් ගැනීම නතර කළා. ඒ නිසා අපේ රටේ තලාතු මිනිරන්වලට හොඳ වෙළෙඳපොළක් හැදිලා තියෙනවා. ඒත් මේ වෙළෙඳාම් ගැන මෙරට ව්‍යාපාරිකයන්ට අවබෝධයක් නෑ. රාජ්‍ය මැදිහත්වීමෙන් අවබෝධයක් ලබාදෙන්නෙත් නෑ. ඒ වගේම අපේ රටේ පිහිටීම අනුව රට වටකර මුහුදු වෙරළට ඛනිජ වැලි එකතු වෙනවා. ඒත් ඛනිජ වැලි කැණීම් කරන්නේ පුල්මුඩේ විතරයි. පුල්මුඩේ ඛනිජ වැලි නිධිය වගේ සිය ගුණයකින් විශාල ඛනිජ වැලි නිධියක් කොළඹ සිට දකුණු දිසාවට තියෙනවා. තවම මෙරට ඛනිජ වැලි නිෂ්පාදනය 10%කටත් වඩා අඩුයි…” අතුල සේනාරත්නයන් මොහොතකට කතාව නතර කළේය.

මෙරටින් හඳුනාගත් වටිනාකමින් වැඩි ඉල්මනයිට් නිධි පිහිටා ඇත්තේ උතුර, නැඟෙනහිර යාපනය සිට තිරුක්කෝවිල් දක්වා ප්‍රදේශ තුළය. තලෙයි මන්නාරම ප්‍රදේශයේ මෙන්ම කොළඹ ප්‍රදේශය දක්වා මීගමුව වෙරළ තීරය දිගට ද වැලි නිධිවල ඉල්මනයිට් ඛනිජය තිබේ. කොළඹ සිට දකුණු දිසාවට මුහුදු තීරයේ පමණක් නොව, උඩවලව, පානම, කුමන ප්‍රදේශවල වැලි කඳු අතරෙත් ඉල්මනයිට් ඛනිජය අඩු, වැඩි වශයෙන් තැන්පත්ව තිබේ. ඉල්මනයිට් පමණක් නොව, මෙරට වැලි නිධිවල තවත් ඛනිජ සම්පත් බොහෝය. එමෙන්ම මෙරට ඉල්මනයිට් ඛනිජයට ලෝක වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින බව ද සැබෑය. ඉල්මනයිට් යනු ‘ටයිටේනියම් ඔක්සයිඩ්’ සහ ‘අයන් ඔක්සයිඩ්’වලින් සමන්විත ඛනිජයකි. මේ ඛනිජය බහුලව භාවිතයට ගනුයේ වර්ණක නිෂ්පාදනය සඳහාය. මෙරට ඉල්මනයිට්වලින් අපේ රටට ආනයනය කරනු ලබන වර්ණක පහසුවෙන් නිෂ්පාදනය කරගත හැකි බව විද්වතුන්ගේ අදහසය. මෙරට වර්ණක නිෂ්පාදනය කර ගැනීමෙන් පිටරටවලට ඇදී යන විශාල විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි බව ද විද්වත් මතයකි. එමෙන්ම ලෝකයේ ඇතැම් රටවල් ඉල්මනයිට්වල අඩංගු ඔක්සිජන් ඉවත්කොට ටයිටේනියම් නිෂ්පාදනය කරන බව ද සැබෑය. ටයිටේනියම් ලෝහය භාවිත කරමින් ගුවන් යානාවල උපාංග ආදී සැහැල්ලු ලෝහමය උපකරණ නිෂ්පාදනය කෙරේ. වෝල් වෝ මෝටර් රථයේ අල්ට්‍රා ලයිට් එන්ජිම නිෂ්පාදනය කර ඇත්තේ ද ටයිටේනියම්වලින් බව වාර්තා වේ. එමෙන්ම ටයිටේනියම් යනු අධික තාපයට ඔරොත්තු දෙන ලොව වටිනාම ලෝහයකි. එහෙත් ඛනිජ වැලි කඳුගැසී තිබෙන මෙරට ඛනිජ වැලි සංස්ථාව හැරුණුවිට ඛනිජ වැලි කැණීම් සම්බන්ධයෙන් එකඳු කර්මාන්තයක් හෝ නැත. කාලයක සිට විදේශීය සමාගම් කිහිපයක් මෙරට සමාගම් සමග ඒකාබද්ධ වෙමින් ඛනිජ වැලි ගවේෂණයට බලපත්‍ර ලබාගෙන තිබුණ ද තවම කැණීම් කරන බවක් වාර්තා නොවේ. ගවේෂණ බලපත්‍ර අලුත් කරමින් වෙනත් පාර්ශ්වයකට ඛනිජ වැලි කර්මාන්තයක් පටන් ගැනීමට තිබෙන ඉඩ අහුරා තිබෙන බව පැහැදිලිය.

සම්පත් ආකරයක් උඩ දුක්විඳින මිනිස්සු

ලෝකයේ දියුණු බොහෝ රටවල ප්‍රධාන ආදායම් මාර්ගය වී ඇත්තේ ඒ රටවල ඇති ඛනිජ සම්පත්ය. ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සංවර්ධනය වී ඇත්තේ එම රටවල ඛනිජ සම්පත්වලිනි. ඇමෙරිකාවේ ජාතික ආර්ථිකයට එරට ඛනිජ සම්පත්වලින් ලැබෙන දායකත්වය 18%කට වඩා වැඩිය. චිලි රටේ ජාතික ආර්ථිකයට ඛනිජ සම්පත්වල දායකත්වය සියයට තිස්අටකි. බොට්ස්වානා රාජ්‍යයේ ඛනිජ සම්පත්වල දායකත්වය සියයට හැටකි. චීන රාජ්‍යයේ ඛනිජ සම්පත්වල දායකත්වය 40%කි. ඉන්දුනීසියාව, මැලේසියාව ආදී බොහෝ රටවල් ඛනිජ සම්පත රටට උපරිම සම්පතක් බවට පරිවර්තනය කරගෙන තිබේ. අපේ රට පුංචි දූපතක් වුවද ඛනිජ සම්පත් තිබෙන ප්‍රමාණය අතිශය වැඩිය. එහෙත් මෙරට ඛනිජ සම්පත් රටේ ආර්ථිකයට සම්පතක් කර ගැනීමට මෙරට නායකයන්ට දැක්මක් නැත. ප්‍රතිපත්තියක් නැත. එමෙන්ම විශාල ඛනිජ සම්පත් ප්‍රමාණයක් තිබෙන, පුනර්ජනනීය බලශක්තිය, වටිනා ශාක පද්ධතියක් තිබෙන මෙරට ලෝකයේ බොහෝ රටවලට අතිශය වැදගත්ය. ඉන්දියාව, චීනය, ඇමෙරිකාව පමණක් නොවේ, දියුණු යැයි කියන ලෝකයේ සියලු රටවල් අවධානයෙන් සිටිනුයේ මෙරටේ විශේෂ පිහිටීම සහ ස්වභාවික සම්පත්වල බහුලතාවය නිසාය. මෙරට ඛනිජ සම්පත් කැණීම්කොට අමුද්‍රව්‍යයක් ලෙස හෝ අගය එකතු කළ භාණ්ඩයක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම තුළ කෙටි කාලයකින් රට සංවර්ධනය වන බව අවබෝධ කරගෙන සිටින මෙරට බිලි බා ගැනීමට වලිකන ප්‍රබල රටවල් ඛනිජ සම්පත් කැණීම් කිරීමට ඉඩ ලබානොදෙන බව ද පැහැදිළිය.

මෙරට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 28 (ඊ) වගන්තිය අනුව ස්වභාවික සම්පත් ආරක්‍ෂා කර ගැනීම රටේ සෑම පුරවැසියකුගේම යුතුමකි. එහෙත් මතු පරපුරට ද ඉතිරි කරමින් අපට උරුම ස්වභාවික සම්පත් රටේ ආර්ථිකයට ශක්තියක් කර ගැනීමේ වරදක් අපි නොදකිමු. යුද්දෙට නැති කඩුව කොස් කොටන්න තබාගෙන ඵලක් නැත. එහෙයින් පවතින ආර්ථික අර්බුදය තුළ රටේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ගනිමින් රට ශක්තිමත් කළ යුතු බව අපගේ අදහසය. දේශීය හෝ විදේශීය සමාගමක් වේවා රටේ ආර්ථිකයට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට ඛනිජ සම්පත් ගවේෂණය කර, කැණීම් කටයුතු සිදු කිරීමට සහ අපනයනයට අවසර ලබාදීමට සියලු කටයුතු සම්පාදනය විය යුතුය. එහෙත් ‘දේශපාලන සහ නිලධාරී කපුටන්ට’ රටේ සම්පත් ‘කුණු මස් කෑලි’ බවට පත්කර ගැනීමට ඉඩ නොතැබිය යුතුය. ඛනිජ සම්පත් රටට සම්පතක් කර ගැනීමට නොහැකි වීමට කොමිස් මත යැපෙන ඇතැම් දේශපාලනඥයන්ගේ කඹ ඇදිල්ල ද විශේෂයෙන් බලපා තිබෙන බව පැහැදිලිය. එහෙයින් පරිසර අමාත්‍යාංශයෙන් වෙන් කරන භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ පරිපාලනය සඳහා රටට හිතැති කම්බ හොරෙක් නොවෙන දේශපාලනඥයෙක් පත් කිරීම ජනාධිපතිවරයාගේ වගකීමකි.

එමෙන්ම ආසියාවේ දෙවැනි වැඩිම විදුලි බිල පවතින මෙරට ඛනිජ සම්පත් ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන ගැන කතා කිරීම විහිළුවක් වැනිය. එහෙයින් මෙරට විදුලි බිල අඩු කර ගැනීමට නව විදුලි උත්පාදන ක්‍රම සෙවීම ද රජයේ ප්‍රධාන වගකීමය. එසේ නොවන්න මේ රට ආලෝකවත් කිරීම පහසු නැති බව ද සිහිපත් කළ යුතුය.

සම්පත් ආකරයක් උඩ දුක්විඳින මිනිස්සු

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment