අක්කර 3000ක් එළිකර විදුලි වැටවලුත් ගහලා
මේ වනවිටත් අලි මරණ විශාල ප්‍රමාණයක් වාර්තා වෙලා
ලුණුගම්වෙහෙර වනෝද්‍යානයේ අක්කර 202ක් නිදහස් කිරීමේ සූදානමකුත්
සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
එක ඉඩමක්වත් නීත්‍යනුකූල නොවන ආකාරයට පවරා නැහැ
බුත්තල ප්‍රාදේශීය ලේකම්
තවම කිසිම පුද්ගලයෙකුට නීත්‍යනුකූලව බදු දීල නැහැ
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්
ආණ්ඩුව මීට සතියකට දෙකකට උඩදී සත්ව සංගණනයක් සිදුකළේය. ඒ දිගින් දිගටම වන සතුන්ගෙන් ගොවීන්ගේ වගාවන්ට හානි සිදුවීම හේතුවෙනි. එසේම මේ අලි මිනිස් ගැටුම උග්‍ර ලෙස පවතින කාලයයි. එක් දිනෙක මිනිස් ක්‍රියාකාරකම් හමුවේ රටට දැයට වටිනාකමක් එකතු කරන අලි සම්පත නිකරුණේ විනාශ වන අතරේ තවත් තැනක අලි ඇතුන් පහර දීමෙන් මිනිස් ජීවිත විනාශ වේ. මේ සියල්ලටම හේතුව වෙන කිසිවක් නොව අලි ඇතුන්ගේ මෙන්ම අනෙකුත් සතුන්ගේ වාසභූමි මිනිස් ක්‍රියාකාරකම් හමුවේ අහිමි වීමය. අද අප කියන්නට යන්නේත් එවැනි මිනිස් ක්‍රියාකාරකමක් හමුවේ විනාශ වන වන සම්පතක් පිළිබඳවයි.
මොනරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ව්‍යාප්තව ඇති අලි – ඇතුන් ගේ නිජබිම වන දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයට අයත් රහතන්ගම ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වනාන්තර මේ වනවිටත් සමාගම් හා ව්‍යාපාරිකයන් ගණනාවකට බදු දී හමාරය. මේ සඳහා බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරීන්ද සම්බන්ධ බවට මේ වනවිටත් චෝදනා එල්ල වී හමාරය. මෙම දැවැන්ත ඉඩම් ජාවාරම මුදල් ලබා ගනිමින් මෙහෙයවීම සම්බන්ධයෙන් හිටපු මැති ඇමැතිවරුන්ටද චෝදනා එල්ල වේ. මේ බව කියන්නේ ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර ය.
ඔහු කියන ආකාරයට මෙම වනාන්තර කොටසේ අයිතිය පවතින්නේ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවටය. පරිස්සමට තැබූ දේ ඈලියාවට ගියා සේ වනයේ ආරක්‍ෂාවට සිටින වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේම හිටපු නිලධාරියෙකු මේ වන විනාශයට සහාය වී තිබේ.
අක්කර 3000ක් එළිපෙහෙලි වෙයි
ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැවට අලින් සංක්‍රමණය වන්නේ දෙමලිය – වන්දම වනාන්තර ප්‍රදේශය තුළිනි. මේ තුළ අලි – ඇතුන් 120 ක් පමණ පිරිසක් මෙම බිම්කඩ සිය නිජබිම කර ගෙන ජීවත් වේ. වර්තමානය වන විට අක්කර 3000 ක පමණ භූමි ප්‍රදේශයක වනාන්තර ඉවත් කර දැවැන්ත එල්ලෙන විදුලි වැටවල් සකස් කර මහ පරිමාණ වාණිජ වගා බිම් ව්‍යාප්ත කර තිබේ. මේ හේතුවෙන් අලි – ඇතුන් ගේ සංචරණ මාර්ග සම්පූර්ණයෙන් අවහිර වීම නිසා තෙලුල්ල, ඇතිලිවැව, කිතුල්කොටේ, උල්කන්ද, හඳපානාගල සහ පැල්වත්ත ජනපද ලෙස පවතින බ්ලොක් 16 හා 14 යන ගම්මානවලට හා වගා බිම්වලට අලි – ඇතුන් පිවිසීම වර්ධනය වී දරුණු අලි – මිනිස් ගැටුමක් නිර්මාණය වී තිබේ.
හෙක්ටයාර 2694 ක් පුරා ව්‍යාප්ත ව ඇති දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තර ප්‍රදේශය උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතිය යටතේ දෙමලිය – වන්දම වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී තිබුණි. මෙම වනාන්තරය තුළ හා ඊට මායිම් ව කඩවර වැව, පරළු වැව, දෙමලිය වැව, හුරත්ගමුව වැව හා ගුනේරිස් වැව පිහිටා තිබේ. ඊට අමතරව මෙම වැව්වල මෙන් ම කිරිඳි ඔයේ ජල පෝෂක ප්‍රදේශයද වෙති. එවන් වටිනාකම් රැසක් ඇති මේ භූමිය බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කණ්ඩායමක් විසින් වන අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට පෙර සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දී තිබෙන බවට සජීව චාමිකර මහතා චෝදනා කරයි.
වනාන්තර අල්ලන සමාගම් හා ව්‍යාපාරිකයන්
මොනරාගල හිටපු දිසා වන නිලධාරියෙකුගේ පාලන සමයේ දී ප්‍රධාන පෙළේ සමාගම් දෙකකට රජයේ වනාන්තර අක්කර 1200 ක් හා 500 ක් ආදී වශයෙන් නීති විරෝධී ව ලබා දෙමින් ආරම්භ කළ මෙම වනාන්තර ඉඩම් ජාවාරම වර්තමානය වන විට සමස්ත දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තර පද්ධතිය පුරා ම ව්‍යාප්ත කර ඇත.
නීති විරෝධී ව මෙම සමාගම් දෙකට ඉඩම් නිදහස් කිරීම සඳහා බුත්තල සහ වැල්ලවාය හිටපු ප්‍රාදේශීය ලේකම්වරුන් දෙදෙනකු ක්‍රියාත්මක වී තිබේ. මේ නිසා මෙම වනාන්තරය නිජබිම් කර ගෙන ජීවත් වන 120ක් පමණ වන අලි – ඇතුන්ට හා ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයේ සිට හඳපානාගල වැව දක්වා සංක්‍රමණය වීමේදී දරුණු ඛේදවාචකයකට මුහුණ දී සිටී. ඒ මෙම වගා බිම් පවත්වා ගෙන යන සමාගම්වල සේවකයන් හා ව්‍යාපාරිකයන් විසින් අලි – ඇතුන්ට වෙඩි තැබීම හේතුවෙනි. සජීව චාමිකර මහතා පවසන්නේ මේ වනවිටත් මෙම ප්‍රදේශයේ අලි මරණ විශාල ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි.
මීට අමතර ව මෙම ප්‍රදේශය තුළ පිහිටි කඩවර වැවට පහළින් ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට මායිම් ව ඇති අලි – ඇතුන් රැඳී සිටින විශාල ම වනාන්තර ප්‍රදේශයට අයත් අක්කර 202 ක් වාණිජ වගාවන් සඳහා නිදහස් කිරීමේ සූදානමක්ද පවතී. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම ඉඩම් නිදහස් කිරීමට සූදානම් වන්නේ ඉඩම් ජාවාරම්කරුවන් කිහිපදෙනකු ගේ පෙළැඹවීම මතය.
දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරයේ ඉඩම් මහ පරිමාණයෙන් අත්පත් කර ගෙන සිටින්නේ දේශපාලඥයන් හා ව්‍යාපාරිකයන් පිරිසකි. ඒ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් අක්කර 300 ක්ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ පුතකු අක්කර 100 ක්ද, බුත්තල ව්‍යාපාරිකයකු හා සම්බාහන මධ්‍යස්ථාන බොහොමයක හිමිකරුවකුට අක්කර 150 ක්ද, පෞද්ගලික සමාගමට අක්කර 100 ක්ද, ගොවිපළක නමක් කියවෙන සමාගමට අක්කර 50 ක්ද, ඔස්ටේ්‍රලියාවේ වැඩවාසය කරන හිමිනමකට අක්කර 100 ක් හා තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනකුට අක්කර 50 ක්ද වශයෙනි. වැදගත්ම කරුණ වන්නේ මෙම සියලුම වනාන්තර එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කර ඇත්තේ පාරිසරික නීති තඹ සතේකට මායිම් නොකරමිනි.
වන සංරක්ෂණ ආඥා පනතත් උල්ලංඝනය කිරීම
දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය, දෙමලිය – කුඩාඔය යෝජිත රක්ෂිතය ලෙස නම් කර ඇති අතර 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥාපනතේ 20(1) වන වගන්තියට අනුව රජයේ වනාන්තරයක් ලෙස මෙම ප්‍රදේශය පාලනය වේ. එම වගන්තියට අනුව එවැනි වනාන්තරයක ශාක කපා ඉවත් කිරීම, වගා කිරීම, තාවකාලික හෝ ස්ථිර ගොඩනැගිලි ඉදි කිරීම හා පදිංචි වී සිටීම, මාර්ග සකස් කිරීම හා භාවිත කිරීම වරදකි.
එවන් වරදකට අධිකරණයෙන් වරදකරුවකු කරන පුද්ගලයකු වසර 2 ක් දක්වා බන්ධනාගාරගත කිරීමකට හෝ රුපියල් 5000ත් 50,000 ත් අතර දඩයකට හෝ මෙම දණ්ඩනයන් දෙකට ම යටත් කළ හැකි ය. මෙම දඬුවමට අමතර ව රජයේ වනාන්තරයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් නියම කරන දඩයකට ද යටත් කළ හැකි ය. සජීව චාමිකර මහතා පෙන්වා දෙන්නේ මෙම ආඥාපනතේ 20(2) වගන්තියේ සඳහන් වන ආකාරයට රජයේ වනාන්තරයක නීති විරෝධී ක්‍රියාවක නිරත වීමට ආධාර හා අනුබල ලබා දීම ද වරදක් වන අතර එවන් පුද්ගලයකු මෙම දඬුවම්වලට ම යටත් කළ හැකි බවයි.
ඕනෑම රටක පරිසර පද්ධතියට ලැබෙන රැකවරණය ඉතා ඉහළය. ඒ කාරණය මෙරටටත් පොදු කරුණකි. වන අපරාධ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සඟවමින් එම ක්‍රියාවේ නිරත වන පුද්ගලයකු මෙම ආඥාපනතේ 48(1) වගන්තියට අනුව වරෙන්තුවක් නොමැති ව අත්අඩංගුවට ගත හැකි ය. මීට අමතර ව මෙම ආඥාපනතේ 53අ. වගන්තියට අනුව රජයේ වනාන්තරයක් නීති විරෝධී ව එළිකරන හෝ අල්ලා ගනු ලබන හෝ නීති විරෝධී ව හෝ අනවසරයෙන් සතු කර ගෙන ඇති අවස්ථාවක ඒ තැනැත්තා වරදකරුවකු වන අතර ඔහු එම වරද සම්බන්ධයෙන් වූ දඬුවමට අතිරේඛ ව එම ඉඩමෙන් නෙරපීමට ද යටත් විය යුතු ය. 1979 අංක 7 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනතේ විධිවිධානවලට අනුව අදාළ නෙරපීම් සිදු කළ යුතු ය. මෙය අදාළ ඉඩම පිහිටි ප්‍රදේශයේ වන නිලධාරීන් විසින් සිදු කළ යුතු කාර්යයකි.
නීතිමය වශයෙන් කොතරම් ආරක්‍ෂා කොට තිබුණත් දෙමලිය – වන්දම – කුඩාඔය රජයේ වනාන්තරය බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් සහ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු එක් ව සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දී ඇත්තේ කුමන පදනමක් මත ද යන්න ගැටලුවකි. නීතිය සත පහකට මායිම් නොකරමින් කටයුතු කරන නිලධාරීන්ට හා දේශපාලඥයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු ය.
මේ සඳහා වැදගත් වන ප්‍රමුඛ නඩු තීන්දු ඉතිහාසය සාක්‍ෂි දරයි. එවන් නඩු තීන්දුවක් වන්නේ පටපිළිකන්ද නඩු තීන්දුවයි. ප්‍රාදේශීය ලේකම්වරයකු විසින් වන සංරක්ෂණ ආඥාපනත යටතේ පාලනය වන පටපිළිකන්ඳේ රජයේ වනාන්තර ඉඩමක් සඳහා වාර්ෂික බලපත්‍රයක් ලබා දීමට එරෙහි ව අභියාචනාධිකරණයේ විභාග වූ සීඒ/රිට්/අංක 2047/2003 දරන රිට් නඩුකරයට අනුව ලබා දුන් රිට් ආඥාවේ සඳහන් වන්නේ අදාළ රජයේ වනාන්තර ඉඩම ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙසට පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යංශයේ ලේකම් සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ ජනරාල්වරයා වෙත නියෝග කළ බව ය. එම නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ එස්.සී. අංක 78/2006 දරන නඩුකරයට අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ එකඟතාවයක් නොමැති ව රජයේ වනාන්තර ඉඩමක් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීම බලය ඉක්මවා කටයුතු කිරීමක් බවට තීන්දු කරමින් අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීන්දුව තවදුරටත් තහවුරු කරන ලදී. මෙවන් පූර්වාදර්ශ නඩු තීන්දු තිබිය දී බුත්තල ප්‍රාදේශීය ලේකම් දෙමලිය හා වන්දම ප්‍රදේශයේ රජයේ වනාන්තර ඉඩම් සමාගම්වලට හා ව්‍යාපාරිකයන්ට බදු දීමෙන් සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවක් බව චාමිකර මහතා පෙන්වා දෙයි.
මුනිවත රකින මධ්‍යම පරිසර අධිකාරිය
ඉඩම් ලබාගත් සමාගම් සහ ව්‍යාපාරිකයන් නීති විරෝධී ව බදු වශයෙන් ලබා ගත් ඉඩම් සංවර්ධනය කිරීම සිදු කර ඇත්තේත් නීති විරෝධී අන්දමිනි. සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23බ වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින 772/22 අංක දරන ගැසට් නිවේදනයට අනුව, හෙක්ටයාර් 1 කට වැඩි ඉඩම් ප්‍රදේශයක ඇති කැලෑ, කැලෑ ආශ්‍රිත නොවන කාර්යයක් සඳහා යොදා ගැනීමට ප්‍රථම හෝ හෙක්ටයාර 50 කට වැඩි භූමි ප්‍රදේශයක් එළි පෙහෙළි කිරීමට ප්‍රථමයෙන් පාරිසරික බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගැනීම සිදු කළ යුතු ය. මෙම නීතිමය තත්ත්වය උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහෙස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොඉක්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාරගත කිරීමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය. නමුත් මෙම වගන්තිවලට යටත් ව පනත ක්‍රියාවේ යෙදවිය යුතු මධ්‍යම පරිසර අධිකාරිය මෙම සමාගම් හා ව්‍යාපාරිකයන් විසින් සිදු කළ කිසිදු නීති විරෝධී ක්‍රියාවකට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කර නොමැත.
මීට අමතර ව 1940 අංක 09 දරන සංශෝධිත පුරාවස්තු ආඥාපනතේ 23අ සහ 47 වන වගන්තිවලට අනුව 2000 ඔක්තෝබර් 04 වන දින අංක 1152/14 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත 2001 අංක 1 දරන ව්‍යාපෘති කාර්යය පටිපාටි නියෝගවලට අනුව හෙක්ටයාර දෙකකට වඩා වැඩි භූමි ප්‍රදේශ එළි පෙහෙළි කිරීමට ප්‍රථම පුරාවිද්‍යා හානි ඇගයීමක් සිදු කර ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් මෙම නීති උල්ලංඝනය කරමින් වනාන්තර විනාශ කරමින් මහ පරිමාණ වගා බිම් නීති විරෝධී ව පවත්වාගෙන යන කිසිදු සමාගමකට එරෙහි ව පුරාවස්තු ආඥා පනත ක්‍රියාවේ යොදවන පුරා විද්‍යා දෙපාර්තමේන්තුව ගෙන ඇත්තේ නිද්‍රාශීලී ක්‍රියාමාර්ගයකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා දණ්ඩ නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම
බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඇතැම් නිලධාරීන් මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම අණ පනත් උල්ලංඝනය කර රජයේ වනාන්තර ඉඩම් බදු දීමෙන් සිදු කර ඇත්තේ අයුතු ලෙස බලය භාවිත කිරීමකි. මධ්‍යම පරිසර අධිකාරියේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අණ පනත් ක්‍රියාවේ නොයෙද වීමෙන් සිදු කර ඇත්තේ සාපරාධී නොකර හැරීමකි. එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ සඳහන් 27(14) ව්‍යවස්ථාවට අනුව ජනතාව ගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කර, සුරක්ෂිත කර, වැඩිදියුණු කළ යුතු ය යන ව්‍යවස්ථාව මේ මගින් උල්ලංඝනය කර ඇත.
දණ්ඩ නීති සංග්‍රහයට අනුව ද බුත්තල ප්‍රාදේශීය ලේකම් හා වන සංරක්ෂණ නිලධාරීන් සිදු කර ඇත්තේ නීති විරෝධී ක්‍රියාවකි. දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්තියට අනුව ආඥාවකින් පැවරුණු යුතුකමක් නොකරහරින හෝ ඕනෑවට ම පැහැර හැරීම නීතියෙන් දඬුවම් නියම විය යුතු වරදකි. එම වරද සඳහා වන දඬුවම වන සංරක්ෂණ ආඥාපනතේ 20 වගන්තියට අනුව වන අපරාධයක් සිදු කිරීමට ආධාර හා අනුබල ලබා දීමේ දණ්ඩනය ම වේ. මීට අමතර ව දණ්ඩ නීති සංග්‍රහයේ නව වන පරිච්ඡේදයේ 158 වන වගන්තියට අනුව යම් නිල කාර්යයක් නොකර සිටීමට තුටු පඬුරක් ලබා ගැනීම අවුරුදු 3 ක් දක්වා බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකට හෝ එම දඬුවම් දෙකට ම යටත් කළ හැකි වරදක් බව සජීව චාමිකර මහතා පවසයි.
අප මේ සම්බන්ධව බුත්තල ප්‍රාදේශීය ලේකම් රසික තිලකරත්න මහතාගෙන්ද විමසීමක් කළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හා එහි නිලධාරීන්ට චෝදනා එල්ලවීම හේතුවෙනි. ඒ මහතා මේ සම්බන්ධව පළකළේ මෙවැනි අදහසකි.
“අපි එක ඉඩමක්වත් නීත්‍යානුකූල නොවන ආකාරයට පවරා නැහැ. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් නිදහස් කළ ඉඩම්වලට අදාළව පමණයි අප කටයුතු කර තිබෙන්නේ. ඒ වගේම මීට අදාළ අනෙකුත් ආයතනවල එකඟතාව අනුව. මට කියන්න තියෙන්නෙ මේ එල්ලකර තිබෙන චෝදනා සාවද්‍යයි.
මෑතකදී ගොවීන් ඉල්ලා සිටියා තවත් කොටසක් කුඹුරු ඉඩම් සඳහා නිදහස් කරන්න කියලා. ඒකත් සමග තමයි මේ ගැටලුව මතුවුණේ. එම කොටස නිදහස් කරන්න අපි එකඟතාව ලබාදුන්නේ නැහැ. මේ සම්බන්ධව අපි ස්ථාන පරික්‍ෂාවක් සිදුකොට නිදහස් කිරීමට සුදුසු නැති බව නිර්දේශ කළා.”
වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් රවින්ද්‍රා මාලනී මහත්මිය පැවසුවේ මෙවැනි කතාවකි.
“මම ඇවිත් තවම කෙටි කාලයයි. මේ ඉඩම් තුළ අනවසර වගාකරුවන් නම් සිටිනවා. නමුත් මේ කාලය තුළ නම් අපි රජයේ ඉඩම් තවම කිසිම පුද්ගලයෙකුට නීත්‍යනුකූලව බදු දීල නැහැ.”
වගා හානි කරන වන සතුන් පිළිබඳ ව සංගණනය කිරීමට ආණ්ඩුව ප්‍රමුඛතාව ලබා දෙනවා හා සමානවම යම් පුද්ගලයෙක් හෝ රාජ්‍ය ආයතනයක් යම් වරදක් සිදුකර ඇත්නම් නොපමාව එය නිවැරදි කළ යුතුය. මන්ද අලි – මිනිස් ගැටුම හා වන සතුන්ගෙන් වන වගා හානි වර්ධනයට හේතුව ඉවක් බවක් නොමැතිව කැලෑ එළි පෙහෙලි කිරීමයි.
සමීර කන්නන්ගර