නිදහස් ලේඛිකාවක ලෙස කටයුතු කරමින් අප්‍රසිද්ධ දිවියක් ගෙවන නිසංසලා ගම්ලත්, මල් නොලද ගල්ම ලද ගැහැණුන් පාමුල මලක් කොට පුදමින් ලියූ ‘ආලන්දරිකා’ කෙටි කතා සංග්‍රහය බොහෝ දේ කියන්නීය.. මේ ඉඩකඩ ඒ වෙනුවෙනි.
“ආලන්දරිකා” කෙටිකතා සංග්‍රහය සමාජයට හුරුපුරුදු සංස්කෘතියෙන් ඔබ්බට ගිය නිර්මාණයක්. මේ වගේ නිර්මාණයක් බිහිවෙන්න හේතුව?
සංස්කෘතියක් කියන්නේ මිනිසුන් විසින් ගොඩනඟා ගත්ත දෙයක්. මිනිසුන් විසින් ගොඩනඟා ගත්ත දෙය මිනිසුන්ට අහිතකරයි නම් අපි ඒක කඩලා බිඳලා ඒ මතින් නව සංස්කෘතියක් ගොඩනඟන්න ඕනා. මම දකින විදිහට පවතින සංස්කෘතිය ස්ත්‍රී පුරුෂ ළමා මහලු අපි හැමෝටම වේදනාකාරියි. ඒ වගේම අහිතකරයි. උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ආහාර සංස්කෘතිය බලන්න. අපි යහපත් මිනිස්සු විදිහට සලකන්නේ මස් මාළු අනුභව නොකරන මිනිස්සු. ඉතින් සමහර අය හිතේ ආශාව තියාගෙනත් මස් මාළු අනුභව නොකර ඉන්නවා තමන් යහපත් මනුෂ්‍යයෙක් බව ලෝකෙට පෙන්වන්න. ඒකම තව පැත්තකින් දේශපාලනඥයන් ප්‍රයෝජනයට ගන්නවා තමන් යහපත් බව පෙන්වන්න. මනුෂ්‍යයෙක් වෙජිටේරියන් වුණ ගමන් ඒ මනුස්සයා යහපත් මනුෂ්‍යයෙක් කියල හිතන්න අපේ සංස්කෘතිය අපට බල කරලා තියෙනවා. ඒ බලපෑම කොයි තරම් කැත විදිහට අශෝභන විදියට දේශපාලන වේදිකාව තුළ භාවිතා කරනවද බලන්න. ඇත්තටම ඒගොල්ලෝ වෙජිටේරියන් ද කියලා මම දන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කෑම කන දිහා අපි බලාගෙන ඉන්නේ නෑ. ඒගොල්ලන්ගේ කෑම මේස අපිට පේන්නේ නෑ. ඒ නිසා ජනතාවගේ රීරි මාංශය උරා බොන ගමන් මම මස් මාළු කන්නේ නැහැ කියන දේශපාලනඥයාට මිනිස්සු රැවටෙනවා. ඒ හින්දම මම නම් හිතන්නේ මිනිස්සු පෙළන මිනිස්සු රවට්ටන මේ සංස්කෘතිය මුළුමනින්ම කඩා බිඳ දාලා නව සංස්කෘතියක් ගොඩනගන්න ඕන කියන එක. මගේ ඒ අදහස නිරායාසයෙන්ම මගේ නිර්මාණ තුළට ඇතුළත් වෙනවා. ඒ නිසා ආලන්දරිකත් හුරු පුරුදු සංස්කෘතියෙන් වෙන්ව වෙනස් සංස්කෘතියක් අපේක්ෂා කරන නිර්මාණයක් බවට පත්වෙනවා.
මෙය රැඩිකල් ස්ත්‍රීවාදී ප්‍රවේශයකින් පාඨකයා හමුවට එන නිර්මාණයක්. ඇයි ස්ත්‍රීවාදී ප්‍රවේශයක් තෝරා ගන්නේ?
ස්ත්‍රීවාදී සාහිත්‍ය ප්‍රවේශ ගණනාවක් තිබෙනවා. මම අයිති එයින් කොයි ශානරයටද කියලා මම කවදාවත් හිතලා බලලා නැහැ. මොකද මට දැනෙන්නෙම මම ඉන්නේ මානුෂ්‍යවාදී ශානරයක කියලා. අපි අවංකවම හිතලා බැලුවොත් කාන්තාවන් මනුෂ්‍යයන් ලෙස මේ සංස්කෘතිය සලකන්නේ නැහැ නේද? මම ඒක ඔබට උදාහරණයකින් පැහැදිලි කරන්නම්. සබ්බේ සත්තා ආහාරට්ටිකා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකෙ අදහස හැම සතෙක්ම ආහාරය මත ජීවත්වෙනවා කියන එක. එතකොට කුසගින්න කියන එක අපි හැමෝටම පොදු කාරණයක්. අපි ලිංග භේදය පැත්තකින් තියමු. එහෙම බලද්දි ස්ත්‍රී පුරුෂ අපි හැමෝටම ආහාර ඕන වෙනවා. නමුත් අපේ සංස්කෘතිය ඇතුලේ හැම වෙලේම කාන්තාවගේ කුසගින්න තියෙන්නේ පිරිමියාට පිටිපස්සෙන්. පවුලක් ඇතුලෙ බලන්න ඉස්සෙල්ලාම කෑම දෙන්නෙ තාත්තට. ඊට පස්සේ ගෙදර ඉන්න වැඩිමල් පිරිමි දරුවන්ට. ඊට පස්සේ ගෑනු දරුවන්ට, අවසානෙට අම්මට. මේ කෑම ධුරාවලිය අපට මනාව පැහැදිලි කරනවා ස්ත්‍රියට ඇතිකර ඇති පීඩනය. පෝෂණය වුවමනා පුරුෂයන්ට පමණක් නොවේ. ස්ත්‍රීන්ටත් පෝෂණය වුවමනායි. අනාගතයේ දරු ගැබක් දරන්න සූදානම් වෙන දැරියකට ළමා කාලේ ඉඳන් නිසි පෝෂණයක් ලැබෙනවද බලන්න. ඒ වගේම හැමෝටම කෑම උයන අම්මා කොයි තරම් බඩගින්නෙ ඉන්නවද බලන්න. මම කතා කරන්නේ අන්න ඒ පුරුෂෝත්තම සමාජය ගැන. ආලන්දරික පුරා දුවන්නේ මගේ ඒ මතවාදය.
විශාඛා, මේධාවි, වත්සලා, මාලිකා, බාලොලියා, මංගලිකා කියන මේ කළු සුදු ස්ත්‍රී චරිත එකිනෙකට වෙනස් හා සමාජයේ අපට මුණගැසෙන ජීවිත. ස්ත්‍රීත්වයට බලෙන් පටවන ඒ ලිංගිකත්වය හා බැඳි පීඩනය ඔබ දකින්නේ කවර ආකාරයෙන්ද?
කාන්තාවන් වෙත බලහත්කාරී අන්දමෙන් පීඩාවන් ඉදිරිපත් කරද්දී නිරායාසයෙන්ම පිරිමින්ටත් පීඩාව උරුම වෙනවා. පූර්ව ලිංගික සම්බන්ධතා පිළිබඳ ලාංකික සමාජ රීතිය බලපවත්වන්නේ කාන්තාවන් කෙරෙහි පමණක් වුවත් පුරුෂයාත් එයින් ලබන පීඩාව බෙල්ට් එකක කතාවක් තුළින් මම කතා කරන්න උත්සාහ කරනවා. කමලසිරි පහු කරගෙන එන ජීවිත සංසිද්ධි දෙස බලද්දි ස්ත්‍රිය මත බලහත්කාරී අන්දමින් පූර්ව ලිංගික සම්බන්ධතා පිළිබඳ පනවා ඇති විධිනියාමයන් නිසා පිරිමියා කොයිතරම් පීඩාවට පත් වෙනවද අසරණ වෙනවද කියන එක මම සාකච්ඡා කරනවා. ඒ වගේම බන්දුල සේනාධීර බිරිඳ විශාකාවක් විය යුතුයි යශෝධරාවක් විය යුතුයි කියලා තීන්දු තීරණ ගෙන ඇති සමාජයක ජීවත්වන එක් පිරිමියෙක්. ඔහු සහ ඔහුගේ බිරිඳ විශාකා අතර ඇති සම්බන්ධය හා ඔහු හා අංජලී අතර ඇති සම්බන්ධය කාන්තාවන් කෙරෙහි පටවා ඇති ලිංගික පීඩාව නිසා පිරිමින්ට දෙබිඩි චරිත වීමට සිදුවීම ගැන කතා කරනවා. රමණ මරණ තුළ එන වත්සලා ඒ සියලු විධිනියාමයන් පුපුරවා හරිනවා. එයින් ඇය අත්කර ගන්නා සංතෘප්තිය සමස්ත ස්ත්‍රීත්වයටම උරුම වෙනවා. මම හිතන්නේ විවාහයට පෙර කන්‍යාවක් වශයෙන් හා විවාහයෙන් පසු පත්තිනියක් වශයෙන් ජීවත් විය යුතුයි කියන කොන්දේසි නිසා කාන්තාවන්ට පමණක් නොවේ පිරිමින්ටත් ඔවුන්ගේ ජීවිතය ඔවුන්ගේ සැහැල්ලුව ඔවුන්ගේ සංතෘප්තිය අහිමි වෙනවා. ඒ නිසා මම හිතන්නේ සමාජයක් නිදහස් කරන්න නම් කාන්තාව නිදහස් විය යුතුමයි කියලා. කාන්තාවන් වෙත බලෙන් පටවා ඇති කොන්දේසි හා රීති ඉවත් කරගත යුතුයි කියලා.
පරම්පරා අතර ලිංගික සබඳතා, ආදරයේ මුවාවෙන්න එන ලිංගිකත්වය සහ ලිංගිකත්වය සමග බැඳුනු පුද්ගල හැසිරීම් මේ සියල්ල ඔබ ආලන්දරිකා තුළින් කතා කරනවා. මේ සියල්ල එකට කැටි කරවන්න අවබෝධය සහ අත්දැකීම් ඔබ උකහා ගත්තේ සමාජයෙන්ම පමණක්ද?
සමාජය පමණක් නොවේ මා කියවූ පොත්පත් එයට බලපෑවා. විශේෂයෙන්ම සිහිපත් කරන්න වුවමනායි මහාචාර්ය සරත් විජේසූරිය මහතාව. මම ගමක කෙනෙක් නිසා කොළඹ සරසවියට ගියේ ආදරය, විවාහය, ලිංගිකත්වය පිළිබඳ බ්‍රාහ්මීය සුචරිතය ඒ ආකාරයෙන්ම කරපින්නාගෙන. සරත් සර් මගේ ඒ සංස්කෘතික රාමු මට නොදැනෙන්න හිමින් හිමින් බිඳ දැම්මා. සර් දේශනවලදී නිතරම භාවිතා කළ කවියක් තියෙනවා. ඒ තමයි
ජීවිතයට අමාවක ආ වෙලාවට
කාටත් හොරා ඔබ පුන් සඳ වුණා මට
මතු මා යතොත් මට වෙන් කළ අපායට
නෑවිත් ඉන්න ඔබ දෙව් ලොව වළා පිට
අමිහිරි කවි ගහණ මගෙ ජීවිත පොතට
කව්සිළුමිණේ කවියක් විය ඔබ සුමට
එනමුත් කුකවි මට කවිකම් නැති පවට
නීරස මෙකව් පදබැන්දෙමි ඔබ නමට
මේ කවිය ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවල ඇති වර්ණාවලි රාශියක් මට පෙන්වන්න සමත් වුණා. එයින් නොනැවතී සිංහලට නැඟුණු බටහිර සාහිත්‍යය හා වංග සාහිත්‍යය සරත් සර් අපට හඳුන්වලා දුන්නා. එමඟින් සමාජය දෙස විවෘත හා සුන්දර ලෙස බලන්න සර් අපිට ලස්සන උපැස් යුවලක් දුන්නා. ඒ උපැස් යුවළ පැළඳගෙන සමාජය දෙස බලා ඉඳීමෙනුත් ඉහතින් සඳහන් කළ පොත්පත් පරිශීලනය කිරීමෙනුත් ඊට අමතරව මට පූර්වෙන් මේ විෂයන් ගැන කතා කළ ලාංකීය ලේඛක ලේඛිකාවන් ඇසුරු කිරීමෙනුත් ආලන්දරිකා ගොඩනැඟුණා.
මම යෝජනා කරනවා ඔබ සමස්ත නිර්මාණය තුළම පුරුෂත්වය උපහාසයට ලක් කරලා තිබෙනවා කියලා. ඒ ගැන ඔබ මොකද කියන්නේ?
සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මම කිසිසේත්ම පුරුෂයා උපහාසයට ලක් කර නැහැ. රමණ මරණ කතාව තුළ පුරුෂයාට ද්වේෂ සහගතව බැණ වැදී තිබෙනවා. නමුත් එයින් මම පුරුෂයාට අවමන් කරන්නේ නැහැ මම ඔබට ඒක පැහැදිලි කරන්නම්. උදාහරණයක් විදිහට මෙහෙම ගමු. අපි බස් එකක යද්දී පිරිමි කෙනෙක් අපට ජැක් ගහන්න එනවා. අපි ඒකට අකමැතියි. එතකොට අපි ඒක ගැන තව කෙනෙක් එක්ක කතා කරන්නේ කොහොමද? අනේ බස් එකේදී සුදු මහත්තයෙක් හම්බවෙලා මට ජැක් ගහන්න ආවා කියලද? එහෙම නැත්නම් තරහ ආවහම අපි පාවිච්චි කරන වචන පාවිච්චි කරලද? ඇත්තටම මට නම් ද්වේශයක් සකස් වුණහම ඒ වෙනුවෙන් පාවිච්චි කරන වචන පාවිච්චි කරලා තමයි මම බනින්නේ. රමණ මරණ ලියන්න කලින් ජීවත්ව සිටියදී එබඳු අතවරවලට මුහුණ දුන් කාන්තාවන් රාශියක් සමග මම කතා කළා. ඒ අවස්ථාවේදී ඔවුන් ඒ පිරිමියා වෙනුවෙන් ඇතිවුණු ද්වේශය පෙන්වන්න පාවිච්චි කරපු වචන ඒ ආකාරයෙන්ම මම මගේ නිර්මාණය තුළට ගෙනාවා. මම එතනදී සභ්‍ය වචන පාවිච්චි කරන්න උත්සාහ කළානම් එහෙම නැත්නම් නිවුණු අවස්ථාවකදී අපි පාවිච්චි කරන වචන පාවිච්චි කළා නම් මං මගේ නිර්මාණයට අවංක වුණා වෙන්නේ නැහැ. මම ඒ වචන ඒ ආකාරයෙන්ම භාවිතා කරන්නේ නිර්මාණයට අවංක වීමට මිස පුරුෂයාට අපහාස උපහාස කිරීමට නොවේ.
● චින්තනී වික්‍රමනායක