මහාචාර්ය සුනිල් ආරියරත්නගේ බුද්ධමාතා තිර නාටකය
සිනමාවේ කාලිදාසයන් ග්‍රීෆිත් නම් අයිස්ටයින් එහි භරත මුනිවරයා බව ප්‍රකට සිනමාකරුවකු මෙන්ම විශිෂ්ට තිරකතා රචකයකු ද වූ තිස්ස අබේසේකර සූරීහු සඳහන් කරති. එහි අරුත වන්නේ සිනමාව, කාව්‍ය, නාට්‍ය වැනි සම්භාව්‍ය කලාව සමග අවියෝජනීය ලෙස බැඳී තිබෙන බවය. සාහිත්‍ය, නාට්‍ය කවිය සමීප ව ඇසුරුකරමින් සිනමාවේ විශිෂ්ටයන් බවට පත්වූවෝ 19 වැනි සියවසෙහි වූහ. සිනමාව හා සාහිත්‍ය අතර පවතින අන්තර් සබඳතාව තහවුරු කරමින් ග්‍රීෆිත් සඳහන් කළේ ද “ලිඛිත වචනයේ මහිමයෙන් ඔබ අසන හා විඳින දෙය ඔබට දැක බලා ගැනීමට සැලැස්වීම මගේ අපේක්ෂාව බවය.”පෙරදිග මහා සිනමාකරුවන් ලෙස සුපතළ සත්‍යජිත් රායි, අකිර කුරොසව මෙන්ම ලෙස්ටර් ජේම්ස් පීරිස් යන විශිෂ්ටයන්ගේ නිර්මාණ උල්පත් සාහිත්‍යයේ ප්‍රබල අංගයක් වන නවකතා හා කෙටි කතාවලින් සුපෝෂණය වූ අයුරු ද අපි දනිමු. සිංහල සිනමාවට එක්වූ නවකතා ගණනාවක්ම ඇත. නවකතාවෙන් උපන් සිනමාව යනු වෙනම කතා කළ යුතු පුළුල් මාතෘකාවකි.
(මාර්ටින් වික්‍රමසිංහ, ගුණදාස අමරසේකර, ඩබ්ලිව්. ඒ. සිල්වා ආදීන්ගේ සිට නූතන නවකතාකරුවන්ගේ නිර්මාණ රැසක්ම වේ.)
කෙසේ හෝ අපගේ මෙම පූර්විකාවට නිමිත්ත වූයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ප්‍රකාශයට පත්කර තිබෙන ගෞතම බුද්ධමාතා සිනමා තිර නාටකය අත පත්වීමය. ගෞතම බුද්ධමාතා චිත්‍රපටය මතුපිටින් බලන කෙනකුට එය අතිශය සරල බෞද්ධ පුවතකැයි හැඟෙන්නට ද බැරි නැත. බොදු දනන් හද පහන් සංවේග දනවන පුවතක් ලෙස මහා ප්‍රජාපතී ගෝතමී චරිතය පිළිගනු ලබයි. මහා ප්‍රජාපතී යනු සිදුහත් කුමරුන්ගේ සුළු මව ලෙස සඳහන් වුවද ඇගේ චරිතය ඒ සීමාවන් ඉක්ම වූ අසාමාන්‍ය මාතෘත්වයක පරමාදර්ශයක් බව නොදත් බොදුනුවෝ ද වෙති. බුදු සිරිත හා දැඩිව බැඳුණු ස්ත්‍රීත්වයේ පරම පිවිතුරු භූමිකා ද්විත්වය ලෙස යසෝදරා හා ප්‍රජාපතී ගෝතමිය හැඳින්විය හැකිය. සිදුහත් කුමරුන්ගේ මව මහමායා දේවිය බවත් ප්‍රජාපතී යනු මහාමායා මිය යෑමෙන් පසු සිදුහත් කුමරුන්ගේ භාරකාරත්වයට පත් වූ බවට තිබෙන ප්‍රකට ප්‍රවාදය ද අපි දනිමු. එහෙත් මහාචාර්ය සුනිල් මේ විශිෂ්ට පරමාදර්ශී උතුම් ලියගේ රුව ගුණ තේජස රූපමය ආඛ්‍යානයක් බවට පත්කරලීම සඳහා අප්‍රමාණ දුක්ඛ සෙය්‍යා, දුර්භෝජන ඉවසූ බව ඒ චිත්‍රපටයේ පසුබිම් කතාව අපට පවසයි. එහි ලිඛිත සාක්ෂිය ඔහු විසින්ම එළිදක්වන ලද බුද්ධමාතා තිර නාටකයයි.
සාහිත්‍ය හා සිනමාව අතර පවතින අවියෝජනීය සබඳතාව සම්බන්ධයෙන් විශ්ව සාහිත්‍යයෙහි හා සිනමාවේ නිදසුන් අප්‍රමාණ බව ඉහතදීත් අවධාරණය කර ඇත්තෙමු. ඇත්ත වසයෙන්ම මෙම බුද්ධමාතා තිර නාටකය සාහිත්‍යකරුවකුගේ කවියකුගේ නොසන්සිඳෙන සෞන්දර්ය පවසක මියුරු ඵලයක් වැන්න. මහා ප්‍රජාපතී චරිතය සොයමින් සම්භාව්‍ය සාහිත්‍යයත් පාලි අපදාන වැනි මූලාශ්‍රයන් සොයායමින් ඔහු මේ සිනමා ආඛ්‍යානයට උචිත හැඩය සකසා ගත් බව පැහැදිලිය.
බෞද්ධ සාහිත්‍යයේ මෙන්ම ඒ ඇසුරින් උපන් ජනකවි හා ජන සාහිත්‍යයේ ද යසෝදරා දේවිය බොහෝවිට අපට හමුවන්නීය. යසෝදරාවත ලියූ ජනකවියා ඇය පෙරදිග පරමාදර්ශී ලිය ලෙස උත්තමාචාර දක්වා ඇත. ප්‍රජාපතී චරිතය එබඳු අවධානයකට ලක් වූ බවක් කිව නොහැක. එය සම්භාව්‍ය සාහිත්‍යකරුවා අතින් ගිලිහී ගිය එහෙත් අතිශය සංවේදී තොරතුරු සමූහයක් බව මහාචාර්ය සුනිල්ට පසක් වෙයි. මේ සුවිශේෂී ස්ත්‍රී රත්නයෙහි ගාම්භීරත්වය ඔහු දකියි. ඒ පාලි හා සිංහල සම්භාව්‍ය සාහිත්‍ය සියුම්ව විමසද්දීය. ප්‍රජාපතී ගෝතමිය සිදුහත් කුමරුන්ගේ සුළු මව පමණක් නොවන බවත් ඇගේ භූමිකාව ඉන් ඔබ්බට ඇදී යන සංසාර ප්‍රාර්ථනාවක අග්‍රඵලයක් බවත් ඔහු අපට පෙන්වා දෙයි. භික්ෂු ශාසනය ඇරඹීමට ඇය විසින් දෙන ලද අනගි දායකත්වයට අමතරව ඇයට සුවිශේෂී වූ සංසාර පැතුම කෙතරම් විචිත්‍ර දැයි සිනමාකරුවා වන මහාචාර්ය සුනිල් පසක් කරගනු ලබන්නේ සාහිත්‍යකරුවකු ද වූ නිසාමය.
ප්‍රජාපතිය තම කුසින් වැදූ පුත් නන්ද කුමරුන් කිරි මව්වරුන්ට භාර කරන්නී මේ බුදු උතුමන් බවට පත්වන පින්වත් කුමරුන් කෙරෙහි වූ අප්‍රමාණ ගෞරවයෙනි. තම තන මඬල නොඉඳුල්ව මේ උතුම් කුමරුන් උදෙසා සුරැකීමට ඇය විසින් දරන ලද ප්‍රයත්නය මවකට කළ නොහැකි හාස්කමක් නොවේද? බොදු දනන් කිසි දිනක අසා නොමැති විශිෂ්ට මාතෘත්වයක පරමාදර්ශය සිනමාවට රැගෙන ඒම මොනතරම් උත්තම පූජාවක්ද? පූජාවලි කතුවරයා මහා ප්‍රජාපතීන් ලෙස මේ උත්තම මාතාව හඳුන්වා මෙසේ දක්වයි.
“එකල් බුදුන් උපන් සත්වැනි දවසින් මහා ප්‍රජාපතී ගෝතමී නන්ද මහ තෙරුන් වදා එ පුතණුවන් කිරි මවුන්ට පාවා දී බුදුන් මහ පෙම් කොට වැඩූහ. එසේ හෙයින් ඔහු තුමූ ස්වල්ප කෙනෙක් නොවෙති. බුදුන්ගේ කුඩා මෑණියහ. මහ පින්බල ඇතියහ. එසේ හෙයින් ඔවුන්ගේ විසිතුරු වූ කතා සත් පුරුෂයන් මුඛ පද්මයන් ප්‍රබෝධ කරවයි. සිත් නමැති කෞමුදයන් පුබුදු කරවයි.”
(පූජාවලි – සවිසිවන පරිච්ඡේදය)
අප මෙය උපුටා දැක් වූයේ ප්‍රජාපතී චරිතයෙහි උදාරත්වය තහවුරු කිරීමටය. බුදු සිරිතෙන් බිඳක් වුව ද සිනමාවට නැඟීම අභියෝගයකි. මන්දයත් ඒ සිදුවීම් මෙන්ම ඒ සියලු චරිත ස්වභාවයන් අනාදිමත් කලක් බොදු ජන හදවත් තුළ නිදන්ව පවත්නා හෙයිනි. බුද්ධමාතා චිත්‍රපටයක් ලෙස ප්‍රේක්ෂකයා අබියසට රැගෙන එන සිනමාකරුවාගේ අපේක්ෂාව හුදු සරල කතාවක් කීම නොවන බව පළමුව සඳහන් කළ යුතුය. මෙම චිත්‍රපටය වාර්තා ගණයට ඇතුළත් කිරීම සාධාරණ ද යන ප්‍රශ්නය මෙය නැරඹූ ඇතැම් ප්‍රේක්ෂකයෝ ද මතු කළහ.
බුද්ධමාතා චිත්‍රපටය ප්‍රේක්ෂකයා තුළ දල්වන්නේ කරුණා රසයකි. ශාන්ත බව, සංයමය, සංවේදි බව ඒ වෘත්තාන්තයෙහි හුයපට බව නිසැකය. සිනමා සිද්ධාන්තවලට කතාව සම්බන්ධ කිරීම වෙනුවට මේ චරිතවල ආධ්‍යාත්මය අනාවරණය කිරීමට සිනමාකරුවා වඩාත් උනන්දු වී ඇත. කිසියම් සාහිත්‍ය නිර්මාණයක් හෝ ජන හද බැඳගත් පුවතක් සිනමාවේ දෘශ්‍ය රූපය බවට පරිවර්තනය කිරීම කාර්මික හා තාක්ෂණික මෙවලම් මගින් පමණක් කළ නොහැක. සම්භාව්‍ය සාහිත්‍ය පිළිබඳ ගැඹුරු අවබෝධයකින් යුතු අයකුට විනා එබඳු වාග්මය ධාරාවක් රූප බවට පත් කළ නොහැකිය. මෙවැනි සම්භාව්‍ය ගණයේ පුවතක් රූපමය ධාරාවක් බවට පත්කිරීම අතිශය සියුම් කාර්යකි. කැමරා ශිල්පයට ආවේණික සිද්ධාන්තවලට වඩා වාර්තාමය රාමුවක සිරවීමට මෙබඳු නිර්මාණයකදී බොහෝවිට සිදු වේ. එහෙත් බුද්ධමාතා චිත්‍රපටයේ ප්‍රබල තිර රචනය ඒ අභියෝගය ලිහිල් කර දී ඇත.
ප්‍රජාපතී ගෝතමිය මුහුණ දෙන ගැටුමක් නැත. සිනමාකරුවා ඇය ප්‍රේක්ෂකයා අබිමුවට රැගෙන ඒමට අපූර්ව සමාරම්භයක් යොදා ගනී. බෞද්ධ ශාසන ඉතිහාසයෙහි එන ප්‍රකට චරිතයක් වන පාහියන් භික්ෂුව තනිව පා ගමනක නිරතව සිටියි. එහිදී බුද්ධමාතා ස්තූපය ගැන සංවාදයක් ඇති වේ. හිමපතනය සහිත බිමක ඇවිද යන වියපත් භික්ෂුව සමග ප්‍රේක්ෂකයා ද වන්දනා ගමනක නිරත වෙයි. මෙහිදී අපට විවිධ චරිත, සිදුවීම් දැක බලා ගැනීමට ද අවස්ථාව සැලසෙයි. මහමායා හා ප්‍රජාපතී සමග සංවාදයක නිරත වන ජෛන භික්ෂුණියගේ අනාවැකිය මෙන්ම බුදු සිරිතේ සිදුවීම් රැසක් ඉතා සැකෙවින් අප අබියස මැවීමට සිනමාකරුවා සමත්ව ඇත. ප්‍රජාපතී ගෝතමියගේ ලෞකික ජීවන රටාවත් ඉනික්බිතිව පැවිදිවීම හා රහත් බවට පත්ව පිරිනිවන් පෑම ආදිය චිත්‍රපටයේ මනා අනුසන්ධානයකින් බැඳී ගලා යන රූපාවලියක් ලෙස දැක්වීමට සිනමාකරුවා සමත් වන්නේ තිර නාටකයෙහි එන ප්‍රබලත්වය නිසාමය. සාහිත්‍යකරුවා භාෂා ඥානයෙන් සිය අත්දැකීම් අප අබියස මවද්දී සිනමාකරුවා එයට රූපඥානය යොදා ගනී.
බුද්ධමාතා තිරනාටකයෙහි එන සාර්ථකත්වය ද ඒ රූපඥානය සහිත සාහිත්‍ය ඥානය ද මුසු වීමය. ඇත්ත වසයෙන්ම මහා ප්‍රජාපතී තෙරණියගේ පිරිනිවීම දැක්වෙන අවසන් රූප පෙළ ඉතා මැනවින් ප්‍රේක්ෂකයා බැඳ ගනී. බුදුන්වහන්සේට අවමන් කිරීමට මාගම් සෝලි කළ බව ද බොදුනුවෝ දනිති. (මාගම් සෝලි යනු ස්ත්‍රින් හා රහස් ලිංගික සබඳතා ඇතැයි නිග්‍රහ කිරීමය) ඒවා ද දැඩි සංයමයකින් යුතුව චිත්‍රපටයෙහි එයි. චිංචිමානවිකාව පිළිබඳ පුවත ඉතා ප්‍රකටය. චිත්‍රපටයෙහි ඒ ජවනිකාව නාට්‍යමය උත්ප්‍රාසයකින් නිර්මාණය වී ඇත. එහෙත් සිනමාකරුවාගේ දෘෂ්ටිය ස්ත්‍රිත්වයට උචිත බුහුමන් දැක්වීමට නොපසුබට වන්නකි. කුමාර කාශ්‍යප මාතාව ගැන මෙන්ම ස්ත්‍රී නිදහස පිළිබඳ දාර්ශනික ඇඟවීම් ද අපට ඇසෙයි.
මෙම තිර රචනයෙහි තවත් සුවිශේෂ ලක්ෂණයක් වී තිබෙන්නේ බුදු සිරිත හා බැඳුණු සිදුවීම් ගණනාවක්ම ඉතා සැකෙවින් දැක්වීමය. එහිදී සංවාදය මෙන්ම රූපය ද ප්‍රබලව භාවිත කර ඇත. සිදුහත්ගේ අබිනික්මනට හේතුවන සතර පෙර නිමිති දැක්වීම හා ගිහිගෙය හැරයෑම ද වඩාත් නාටකීය ස්වරූපයකින් දැක්වේ. ප්‍රජාපතීගේ විශිෂ්ටත්වය තීව්‍ර කෙරෙන අවස්ථා ද සිනමාකරුවා යොදා ගනී. සිද්ධාර්ථ ප්‍රජාපතී අබිමුව දණ ගසා ඇගේ ගුණ සිහිපත් කරයි. ඔහුගේ කලකිරීමට ඉතා සාධාරණ හේතු ද සිනමාකරුවා අපට පෙන්වා දෙයි. එහෙත් ජනතාවගේ ශ්‍රද්ධා භක්තියට එරෙහි වන නවීනත්වයක් කෙරෙහි ඔහු ඇදී නොයන බව ද කිව යුතුය. මෙහිදී මගේ මනසට නැඟුණේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ බවතරණයයි. එදා බුදුසිරිත ඇසුරෙන් ලියවුණු එම නවකතාව මතභේදයට තුඩු දුන්නේය. කුමක් වුවත් ප්‍රජාපතීගේ චරිතය චිත්‍රපටයේ කේන්ද්‍රීය සිදුවීම් මාලාව සමග වෙන් නොකළ හැකි ආකාරයෙන් බැඳ තැබීමට තිර රචනය ඉවහල් වී ඇත.
ප්‍රජාපතී තෙරණියගේ පරිනිර්වාණ අවස්ථාව ඇගේ සංවේගය තීව්‍ර කරන අයුරින් දැක්වේ. ඒ අසිරිමත් පෙළහර වාග් චිත්‍රයක් ලෙස දැක්වීමට මෙන්ම බුද්ධමාතාවකට හිමිවන ගෞරවය කෙබඳු දැයි විශද කිරීමට ද තිර නාටකය සමත්ව තිබේ. මේ සියල්ල සාහිත්‍යාවබෝධයත් ජීවිත පරිඥානය තුළින් ලද සියුම් සංවේදී ගුණයෙහිත් මහඟු ඵල සේ සඳහන් කළ යුතුය. ඇත්ත වසයෙන්ම බුද්ධමාතා තිර රචනයෙහි එන පරිසමාප්ත බව නිසාම සිනමා අධ්‍යක්ෂකගේ කාර්ය සාධනය වඩාත් පහසු වූ බව ද පෙනී යයි.
කිසියම් චිත්‍රපටයක තිර නාටකයක් හෝ නාට්‍යයක පෙළක් හෝ නරඹා ඒ නිර්මාණවල සියලු රසභාව විඳගත නොහැකි බව ද කිව යුතුය. ෂේක්ස්පියර්ගේ හා කාලිදාසගේ නාට්‍යවල පිටපත් අද ග්‍රන්ථ ලෙස කියවිය හැකිය. එසේම ජගත් පූජිත සිනමාකරුවන් රැසකගේම චිත්‍රපටවල තිර නාටක අද මුද්‍රණය කරනු ලැබ තිබේ. සත්‍යජිත් රායි කුරොසාවා, ඔසු යසජිරෝ, බර්ග්මාන්ගේ තිර නාටක ද සිංහල බසින් කියවීමට හැකිය. එහෙත් රෂොමොන් හෝ තෝකියෝ වෘත්තාන්තය චිත්‍රපට නැරඹීමෙන් ලබන රසාස්වාදය එම තිර පිටපත් කියවීමෙන් පමණක් ලබාගත නොහැකි බව ද සඳහන් කළ යුතුය.
කෙසේ වුවද චිත්‍රපට තිර රචනා වෙනම සාහිත්‍යාංගයක් ලෙස ජනප්‍රියව තිබෙන බව ද කිව යුතුය. සිනමාව දෘශ්‍ය මාධ්‍යයක් වුව ද එය සාහිත්‍ය, නැවුම්, සංවාද ආදිය ද ඇතුළත් කලාවකි. මොන ආකාරයේ තිර රචනයක් වුව ද එහි ප්‍රබලත්වය අපට දැනෙන්නේ එය දෘශ්‍ය මාධ්‍යයෙන් වින්දනය කිරීමේදී පමණි. අවසන් වසයෙන් කළ යුතු විශේෂ සඳහනක් ද වේ. බුද්ධමාතා තිර රචනය කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් බුදු සිරිත ඇසුරෙන් කළ යසෝදරා චිත්‍රපටයේ මෙන්ම කිතුනු හා හින්දු සාහිත්‍යවලින් ආභාසය ලබමින් ක්‍රිස්තු චරිතය හා පත්තිනි ලෙස තිර නාටක දෙකක් ද සිනමා සාහිත්‍යයට පිරිනමා තිබෙන බව ද සඳහන් කළ යුතුය. මෙය වූ කලී එකම සිනමාකරුවකු බෞද්ධ, කිතුනු හා හින්දු යන සාහිත්‍ය ත්‍රිත්වයෙන්ම පෝෂණය වෙමින් සිංහල සිනමා සාහිත්‍යයට අගනා සම්ප්‍රදානයක් කිරීමක් ලෙස ද දැක්වීම වටී.
● ගාමිණි සුමනසේකර