මේ සතිය ආරම්භ වූයේ වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති ගණනාවක් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ වර්ජන අනතුරක රතු එළි මැදය. එහෙත් ආණ්ඩුවට, විශේෂයෙන් සෞඛ්‍ය ඇමැතිවරයාට තාවකාලිකව හෝ ඒ වර්ජන කල්දමා ගැනීමට හැකිවීම ආණ්ඩුවට මෙන්ම බහුතර ජනතාවකට ද ඉමහත් අස්වැසිල්ලක් වූ බව නිසැකය. සෞඛ්‍ය ක්ෂේත්‍රයෙහි උද්ගත වන කවර වර්ජනයකදී වුවද එහි වැඩි බලපෑම පොදු ජනතාවටය. දේශපාලන බලවතුන්ට පමණක් නොව වත් පොහොසත්කම් ඇති අයට ද එබඳු වර්ජනයකින් කිසිදු අභියෝගයක් එල්ල වන්නේ ද නැත. මෙරටේ අනෙක් බොහෝ මහජන සේවාවන් මෙන්ම සෞඛ්‍ය සේවය විනාශ වූයේ අනිසි දේශපාලන මැදිහත්වීම් හා බලපෑම් නිසාය. ඒ මදිවාට පසුගිය දිනවල මේ ආණ්ඩුව විසින් එළි දක්වන ලද ජනාධිපති අරමුදලෙන් මිලියන ගණන් ලබාගත් දේශපාලන නාමාවලිය සැබෑවක් නම් ඒ සියල්ලෝම ලැජ්ජා විය යුත්තෝය. නැති බැරි මිනිහාට මූලිකත්වය දිය යුතු ජනාධිපති අරමුදල ගසා කෑවෝ සිටිත් නම් ඔවුන්ට වෙනම අපායක් වෙන් විය යුතු නොවේද? එපමණක් ද ජනතාවගේ සෞඛ්‍ය රැක දෙන්නට පැමිණි ඇමැතිට සහ තවත් නිලබලවලට එල්ල වී තිබෙන දූෂණ හා අක්‍රමිකතා චෝදනා ගැන ද රටම දනී. අධිකරණවලදී බොහෝවිට සත්‍යය හා අපරාධය හෙළිවනු ඇතැයි සිතා මේවා පිළිබඳව අපට සෑහීමකට පත්විය හැකිය.

කෙසේ හෝ වෛද්‍යවරුන් හා සෞඛ්‍ය ක්ෂේත්‍රවල වෘත්තීය සංගම්වලින් ඇසෙන වැටුප් සංශෝධන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇමැති නලින්ද ජයතිස්ස පිළිතුරු ලබා දී තිබේ. අයවැය මගින් සිදුකළ වැටුප් වැඩිවීම්වල ස්වභාවය ද ඇමැතිවරයා සාධක සහිතව ජනගත කර තිබුණි. වෛද්‍යවරයකු බිහිකිරීමට නිදහස් අධ්‍යාපනය විසින් ලබාදෙන ලද පහසුකම් පිළිබඳ විවේචන තිබිය හැකිය. එහෙත් ඒ වෙනුවෙන් අපේ දුප්පත් ජනතාව කැප කිරීමක් කර තිබෙන බව ඒ පොදු ජන සේවා වෘත්තියට අයත් සමහරු නොදනිති. මෙරටේ වෛද්‍යවරයකු ලෙස ක්‍රියා කළ උත්තම මිනිසකු වසයෙන් පිදුම් ලබන සේනක බිබිලේ නම් වූ මානව හිතවාදියාගේ කැපවීම චර්යාව අප විසින් ද බොහෝ විට සිහිපත් කරනු ලැබ ඇත. පොදු ජනතාව වෙනුවෙන් වෛද්‍ය සේවය සවිබල ගැන්වීමට ජීවිතයම කැප කළ සේනක බිබිලේ ජීවකයාණන්ගේ ජීවිතය බිලිගන්නා ලද්දේත් කිසියම් වෛද්‍ය මාෆියාවක් විසින් බවට ද චෝදනාවක් තිබේ. 1976 තරම් ඈත අතීතයක බහු ජාතික සමාගම්වල ඖෂධ මාෆියාව පිළිබඳ නොබැඳී ජාතීන්ගේ සමුළුවකට වාර්තාවක් ඉදිරිපත් කිරීමට තරම් එඩිතර බවක් හා මානව දයාවක් තිබුණු සේනක බිබිලේ කෙනෙකු බිහි වූ මෙරටේ වෛද්‍ය සේවය ගැන හැම වෛද්‍යවරයකුටම ආඩම්බර විය හැකිය. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නමින් ආයතනයක් (1971දී විය යුතුය) ඇති කළ මේ විශිෂ්ට ලාංකික පුත්‍රයා ගැන අදත් වාද විවාදවලදී සඳහන් වුවත් ඒ උදාර ඖෂධ ප්‍රතිපත්තිය නම් කොහේ තිබේ දැයි අපට කිව නොහැක. (වෘත්තීය ජීවිතයේදී අපට ඔහු වාර කීපයකදීම හමු වී ඇත.)

සේනක බිබිලෙ වැනි දොස්තරලා අද වෙත්ද?

අපට ගාන්ධි කෙනෙක්, තාගෝර් කෙනෙක් මෙන්ම නෙල්සන් මැන්ඩෙලා, ලී ක්වාන් යූ ආදි කීර්තිමත් පුද්ගල චරිත නැති බව අපගේ සගයකු වන මාවලගේ ටෙලි වැකියකදීත් සඳහන් කර තිබිණි. කතාව සහතික ඇත්තය. එහෙත් අපට ඒ මට්ටමට සම කළ හැකි දේශපාලන නොවන චරිත කීපයක් හෝ තිබෙන බවත් ඒ කිසිවෙක් දූෂිත දේශපාලනයෙන් කිළිටි නොවූ බවත් කිව යුතුය. කුමක් වුවත් පොදු ජන ජීවිත ප්‍රාණ ඇපයට පත්වන ආකාරයේ දොස්තර හා හෙදි වර්ජන සිදු නොවීම ගැන දෙවියන්ට ද ස්තුති කළ යුතුය. වෘත්තීයවේදියකුට ඒ වෘත්තීය ගෞරවය එයට දිය හැකි ඉහළම වේතන, වරප්‍රසාද ලබාදීම ගැන අපට රණ්ඩුවක් නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ රෝගීන් සුවපත් කළ හැකි සෞඛ්‍ය සේවයක් අපට තිබුණත් මේ ගිලන්වූ සමාජය නැතහොත් රෝගී සමාජය නිරෝගී කළ හැකි දේශපාලනයක් අපට රටට නොමැති වීමය. එපමණක් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සංගම් නායකයකු ලෙස ක්‍රියා කරමින්, ආණ්ඩුවල ඉහළ තනතුරු හා වරප්‍රසාද ලබාගත් අයත් සිටිති. ඒ කිසිවෙක් තම වෘත්තීය සගයන්ගේ ප්‍රශ්න කීපයක් හෝ නිරාකරණය කළ බවක් ද වාර්තා නොවේ. මේ බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් (හෙද සංගමයේ සභාපති) නම් වසයෙන්ද මාධ්‍යයකදී විමසා තිබිණි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව කෙබඳු විවේචන – චෝදනා එල්ල වුවත් නිදහස් සෞඛ්‍ය සේවය යනු මෙරටේ නැති බැරි පොඩි මිනිහාට තිබෙන අයිතියක් හා හිමිකමකි. සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ සෞඛ්‍ය සේවය ගැන තද කතුවැකියක් ලියූ අපේ ජ්‍යෙෂ්ඨයකු වූ “ඇත්තේ සිරා” ලෙස හැඳින්වුණු බී.ඩී. සිරිවර්ධන භාවිත කළ යෙදුම් දෙකක් අපට මතකය. එකක් “දුන්නා මලා දොස්තරය” අනෙක “වදන වාට්ටුය.” මගේ මතකය අනුව නම් සිරා එදා මහජන සේවයක් වූ සෞඛ්‍ය ක්ෂේත්‍රය පතුරු ගැසුවේද දේශපාලනඥයන්ට හා පොදු ජනතාවට තිබෙන පහසුකම් සසඳමින්ය. “ඇති හැකි අයට ළමයි හම්බවෙන්න නර්සිං හෝම් තිබේ. අපට වදන වාට්ටු තිබේ. එසේම ඔවුන්ට බේත් ගන්න යන්න විශේෂඥ දොස්තරගේ චැනල් ප්‍රැක්ටිස් එක තිබේ. අපට දුන්නා මළා වෙදාගේ බේත් ශාලාව තිබේ. ඔහු අන්තිමට ලියා තිබුණේ මේ ඕනෑම එකක් තෝරා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ද තිබේ’ යනුවෙන්ය. මා මේ උපුටා ගැනීම් කළේ අද තිබෙන නිදහස් සෞඛ්‍ය සේවය ගැන සැසඳීමක් කිරීම අපේ පාඨකයන්ටත් පොදු ජනතාවටත් පවරා දෙමින්ය. එසේම සෞඛ්‍ය ඇමැති ධුරය හොබවන ඇමැති නලින්දට මෙන්ම ජනතාවට ඒ සේවාවන් ලබාදෙන සියලු පාර්ශ්වවලට ද සිතා බැලීමටත්ය.

මේ අතර තවමත් සමාජ දේශපාලන අංශවල හා මාධ්‍යවල ද පොලිසිය හා පාතාලය පිළිබඳ විවිධ පුවත් ගලායමින් තිබේ. අලුත්කඩේ ඝාතනයේ සැලසුම්කාරිය ලෙස දැක්වෙන සෙව්වන්දි නමැති තරුණ කාන්තාව සම්බන්ධයෙන් ලබාදෙන ඔත්තුවට ලක්ෂ 12ක් ගෙවීමට ද පොලිසිය සුදානම්ය. අපරාධ චෝදනා ලද ඇය පිළිබඳ කිසිදු හෝඩුවාවක් මෙතෙක් ලැබී නැත. ඊටත් වඩා උභතෝකෝටිකය වන්නේ පොලිසියම මෙහෙය වූ එහි ප්‍රධානියා ලෙස ද සිටි දේශබන්දු තෙන්නකෝන් පසුපස යෑමට පොලිසියටම සිදු වී තිබීමය. අධිකරණයෙන් වරෙන්තු නිකුත්ව තිබෙන මේ පොලිස් නිලධාරියා මෙසේ පොලිසිය මඟහැරීම කිසිසේත් සදාචාර නොවන බව පැහැදිලිවම කිව යුතුය. නීතිඥයන්ගේ මාර්ගයෙන් හෝ අධිකරණයට භාරවීමට ඔහුට නොහැකි වීම සරල හෝ සුළු සිදුවීමක් නොවේ. පොලිසියෙනුත් වැරදි සිදු විය හැකිය. නිල ඇඳුමක් ඇඳ සිටියත් ඒ මනුෂ්‍යයකු නිසාය. එහෙත් විනය හා නිර්භීත බව පොලිස් සේවයෙහි අනිවාර්ය දේවල්ය. අප මේ ලියන මොහොතේදීත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් ඇසුනේ ඔහුට ද සාමාන්‍ය චූදිතයකුට හා සමානව ක්‍රියා කරන බවකි. එසේම පොලිසිය හා පොලිස් කොමිසම අතර ද කිසියම් ගැටුමක් ඇතැයි මාධ්‍යවල පළ විය. මේවා මෙසේ සිදුවන්නේ ද යන්න දන්නේ අදාළ ඇමැතිවරයාත් ආණ්ඩුවත් පමණි. කොහොම වුණත් නීතිය හා සාමය රැකීමට කැප වී සිටින පොලිසියේ ඉහළම නිලධාරියා ලුහුබැඳ යෑමටත් ඔහු ගැන ජනතාවගෙන් තොරතුරු විමසීමටත් සිදුවී තිබීම ගැන ලැජ්ජා විය යුත්තේ ආණ්ඩුව පමණක් නොවේ. ඒ තත්ත්වයට පොලිසිය බාල්දු කළ වසල දේශපාලනඥයෝ ද එයට වගකිව යුතු වෙති.

පොලිසියේ හා පාතාලයේ විවිධ නොමනා ක්‍රියාකාරකම් විiුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ගලා එන අතරම තවත් සුවිශේෂ දූෂිත හා අනීතික මෙහෙයුම් පිළිබඳ පුවත් ද නොඅඩුව දැකීමටත් කියවීමටත් හැකි වී තිබේ. ඒ කෝප් කමිටුව අබියස කෙරෙන අනාවරණයන් ගෙනි. පසුගිය දිනවල ප්‍රබල ජන අවධානයකට ලක් වූයේ ජාතික තරුණ සේවා සභාවේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධ පුවත්ය. එහිදී ජනාධිපති රනිල්ගේ පාලන සමයේ සිටි ඇමැතිවරුන් හා නිලධාරීන් විසින් මෙ රටේ ජනතාවගේ මුදල් පරිහරණය කර තිබෙන ආකාරය ගැන නොයෙක් විෂමාචාර හෙළි විය. ඒවා හොරකම් හෝ අනීතික ක්‍රියා ඝනයට ඇතුළත් වන දේවල් දැයි අපට වැටහීමක් නැත. එහෙත් ඒවා සිදුවී තිබෙන ආකාරයත් එලෙස ක්‍රියා කිරීමට රාජ්‍ය ආයතනවලට හැකිවීමත් ගැන නීතිගරුක පුරවැසියකු තුළ ඇතිවන කම්පාව පසුතැවිල්ල සුළුපටු නොවන බව සඳහන් කළ යුතුය.

සේනක බිබිලෙ වැනි දොස්තරලා අද වෙත්ද?

ඉන්පසු කෝප් කමිටුව අබියසට ආවේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ දූෂිත මෙහෙයුමකි. ජනාධිපතිවරණයේ දොරකඩ සිට කෝටි 25ක මැණික් මල්ලක් පිටකර ගෙන ඇතැයි එයින් කියැවිණි. නිල බල හා නම් ගම් සහිතව තොරතුරු හෙළි වෙද්දී සරල සිනාවෙන් යුතු ඇතැම් අදාළ අයගෙන් ප්‍රකාශ වූයේ ‘ඔව්වා මොනවාද මෙයා’ ආකාරයේ ප්‍රතිචාරයන්ය. කෝප් කමිටු සභාපති, විගණකාධිපති මෙන්ම එහි සාමාජික මැතිවරුන් ද විසින් ඒ දූෂිත ක්‍රියාන්විතය හෙළිකරනු ලැබ තිබුණත් එහි ඊළඟ පියවර කුමක් දැයි අපි නොදනිමු. රූපවාහිනී වාර්තාවලින් අප දුටු සිදුවීම් පෙළ මෙරටේ දේශපාලනඥයන්ගේ ගෝල බාලයන් හෝ සට්ටඩියන් විසින් කරන ලද ඒවා බව නිසැකය. සාමාන්‍ය රාජ්‍ය නිලධාරියකුට එබඳු මෙහෙයුම් කළ නොහැක. කුමක් වුවත් අප සඳහන් කළේ මෙරටේ කෝප් කමිටුවලින් හෙළි කරගත් ආසන්නතම සිදුවීම් දෙකක් පමණි. මෙයට පෙර ද ජනමාධ්‍යවල පවා සංවාදයට ලක්වූ කෝප් කමිටුවල අනාවරණයන් ගණනාවක්ම ඇත. එහෙත් ඒවාට සිදුවූ දෙයක් පිළිබඳ වාර්තා වී නැත.

කලකට පෙර කෝප් කමිටුවක සභාපති ධුරය හෙබ වූ ඩිව් ගුණසේකර වරක් ප්‍රකාශ කළේ ආන්දෝලනාත්මක මහ බැංකු කොල්ලය පිළිබඳව වාර්තාව ඉදිරිපත් කිරීමට සූදානම්ව තිබියදී එදා පැවති ආණ්ඩුව පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට පියවර ගත් බවය. කුප්‍රකට කොල්ලය එදා යටපත් වූයේ එලෙසය. තවත් වරෙක කෝප් කමිටු සභාපතිවරයකු වූ විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් අනුව එවක මන්ත්‍රීවරයකුව සිටි වාසුදේව නානායක්කාර අධිකරණයට ගොස් අදාළ දූෂිත ගනුදෙනුව නිෂ්ක්‍රීය කළ පුවතක් ද අපට මතකය. කුමක් වුවත් කෝප් කමිටුවලින් හෙළිවන දූෂිත මෙහෙයුම් අල්ලස් කොමිසමට හෝ අධිකරණයකට යොමුකර අදාළ හොරුන්ට දඬුවම් ලබාදිය හැකි නිශ්චිත ක්‍රමවේදයක් අපට නැති බව මේවා අනුව පෙනේ.

පාර්ලිමේන්තු විවාද මෙන්ම කෝප් කමිටු ද මාධ්‍යවලට විවෘත වී තිබීම නිසා වාරණයකින් තොරව ඒවායේ කටයුතු හා ක්‍රියාකාරකම් ජනතාවට දැක බලාගත හැකි වී තිබේ. එහෙත් විශේෂයෙන් කෝප් කමිටුවලින් දූෂිත, හොරමගඩි පිළිබඳ කෙරෙන අනාවරණයන් දැක බලා ගැනීමෙන් හෝ ලිවීමෙන් පමණක් සෑහීමකට පත්වීමට සිදුවීම අවාසනාවකි. මේ ආණ්ඩුවට වහාම මේ පිළිබඳව ශක්තිමත් නීතිමය විධි විධාන යෙදීමට කිසිදු බාධාවක් ඇතැයි ද අපි නොසිතමු.

අවසන් වසයෙන් මේ දිනවල නැඟෙන පළාත් පාලන මැතිවරණ උණුසුම ගැන ද වචනයක් කිව යුතුය. ආණ්ඩුවෙන් කියැවුණේ ‘ඔන්න ඡන්දෙත් තියෙනවා. සල්ලිත් තියෙනවා’ යන්නයි. එය මෙරටේ ඡන්දෙත් නෑ – සල්ලිත් නැහැයි එදා පැවසූ රනිල්ට එල්ල කළ උපහාසයකි. කුමක් වුවත් පළාත් පාලන ආයතන සඳහා මහජන නියෝජිතයන් පත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීමක් ලෙස හැඳින්විය යුතුය. මේ වනවිට පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීම සඳහා ආණ්ඩුව මෙන්ම විපක්ෂ කණ්ඩායම් ද ලක ලෑස්ති වෙමින් සිටිති. මේ ලියන මොහොත වනවිට පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂ හා වෙනත් ස්වාධීන කණ්ඩායම් ද ජනතාව අතරට පැමිණ සිටිති. පළාත් පාලන මැතිවරණයෙන් ලැබෙන ප්‍රතිඵලය ආණ්ඩුවේ මෙන්ම විපක්ෂවල ද දේශපාලන බලය හා ජනතා ප්‍රසාදය මැන බැලිය හැකි මිනුම් දණ්ඩක් වසයෙන් ගත හැකිය. එහෙත් එය නිශ්චිතවම ජනතා ප්‍රසාදය පිළිබඳ ප්‍රකාශනයක් ලෙස ගත නොහැකි බව පවසන අය ද සිටිති. මෙම මැතිවරණයෙන් පවතින රජයට බලයක් ලබාදීමෙන් ඒ ඒ ආයතනවලින් වඩාත් යහපත් සේවයක් සලසාගත හැකි බව ජාජබයෙන් ප්‍රකාශ වී තිබේ. ජනාධිපති හා පාර්ලිමේන්තුවේ බලය හිමි වී තිබෙන ඔවුන්ට ඒ සඳහා වැඩි අවකාශයක් තිබෙන බව පිළිගත යුතුය. එහෙත් විපක්ෂ කණ්ඩායම්වලට වුවද පැහැදිලි බහුතර බලයක් ලබාගත හැකි වුවහොත් ඒ බල ප්‍රදේශවලට ප්‍රමාණවත් සේවයක් ඉටු කිරීමට බාධාවක් ද නැත. කුමක් වුවත් රටේ ප්‍රධාන මැතිවරණයක් වන පළාත් පාලන ප්‍රතිඵලය ආණ්ඩුවට මෙන්ම විපක්ෂයට ද දේශපාලන වසයෙන් ශක්තියකි. එය පොදු ජන මතය පිළිබඳ ප්‍රකාශනයක් ලෙස ද ඔවුන්ට කෙරෙන දේශපාලන සංඥාවක් වැන්න.

මෙහිදී අප අවධාරණය කරන්නේ සාමකාමී හා නිදහස් ඡන්දයකි. එසේම ඇතැම් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් නැඟෙන දූෂණ චෝදනා මෙන්ම විවිධ අක්‍රමිකතා පිළිබඳව ජනතාවට ද අවබෝධයක් තිබේ. පළාත් පාලන ආයතන ක්‍රමය දූෂිත දේශපාලනයට යටත්වීමට පෙර යහපත් මහජන සේවාවන් පවත්වාගෙන ගිය බව ද රහසක් නොවේ. මෙම පළාත් පාලන ආයතන සම්බන්ධ ඉතිහාසයේ වැදගත්ම ආයතනය බවට එදා පත්ව තිබුණේ ගම්සභාවය.

ප්‍රාදේශීය පාලන ඒකක අතර පහළම ඒකකය ලෙස ගම්සභාව හැඳින්වේ. වර්තමානයේ දේශපාලන මාතෘකාවක් බවට පත්ව තිබෙන ‘බලතල බෙදාගැනීම සඳහා ගම්සභාව වැදගත් ආයතනයක් ලෙස ඒ පිළිබඳ විශේෂ අධ්‍යයනයක් කළ මාලනී ඇඳගමගේ ‘ශ්‍රී ලංකාවේ ගම්සභා ක්‍රමයේ ඉතිහාසය’ යන කෘතියෙහි දැක් වේ. පළාතේ පරිපාලන, සමාජ ආර්ථික අවශ්‍යතා සපුරාලීමට ඉන් ලද හැකි අනුබලය එහි සවිස්තරව දක්වා තිබේ. ඇත්ත වසයෙන්ම පළාත් පාලන ආයතන විධිමත් කිරීම පිළිබඳව අපේ දේශපාලන නායකයන් ගැඹුරින් සිතා බැලීමක් කර නැත. අද එය භාවිත කරනු ලබන්නේ දේශපාලනයට පිවිසීමේ මොන්ටිසෝරි ආයතනය ලෙස ප්‍රාදේශීය සභා නගර සභා යොදා ගැනීමට වඩා සාධනීය සේවාවක් ඒවායින් ලබා ගැනීමට අපේ පාලකයෝ අසමත් වූහ. එනිසා මෙම පළාත් පාලන මැතිවරණයේදීවත් ඒ වැරදි නිවැරදි කර පිරිසිදු ජනතා සේවයක් සහතික කර ගැනීමට සියල්ලෝම අවධානය යොමු කළ යුතු වෙති.


advertistmentadvertistment