අද වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් 50% ක් සපයන්නේ ගල් අඟුරු, ඩීසල් හා තාප බලාගාර මගිනි. 37% ක් ජල හා සුළං විදුලි බලාගාර වලිනුත් 13% ක් සූර්ය විදුලි බලාගාර වලිනුත් සපයයි.

පසුගිය කොවිඩ් සමයේ ඩීසල් හා ගල් අඟුරු ආනයනය කිරීමට අවශ්‍ය විදේශ විනිමය නොතිබීම හේතුවෙන් දිනකට පැය 6, 8 ,13 වශයෙන් විදුලිය කප්පාදු කිරීමට සිදුවිය. ඒ දිනවල පැවති නියඟය ද ඊට බලපෑවේය. ඒ වනවිට ලංකාවේ සූර්ය විදුලිබලාගාර ද අද මෙන් ව්‍යාප්තව නොතිබිණ. ඉන්පසු පැමිණි රජය මේ ගැටලුව විසඳීම සඳහා විදුලි ගාස්තු විශාල වශයෙන් ඉහළ දමා විදුලිය භාවිතය සෑහෙන ප්‍රමාණයකින් අඩු කළේය. ලංකාවේ අනාගත විදුලි අවශ්‍යතාවය නිසි ලෙස හඳුනාගත් එම රජයේ බලශක්ති ඇමැතිවරයා මෙයට දීර්ඝකාලීන පිළිතුරක් ලෙස වර්ෂ 2030 වනවිට ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බල ශක්තිය රට තුළ ඉතා කඩිනමින් ස්ථාපනය කළ යුතු බවට ශ්‍රී ලංකා සුනිත්‍ය බල අධිකාරියට නියෝග කළේය.

සූර්ය විදුලි උත්පාදනයේ පුනරුදය

නිවෙස්වල හා ආයතනවල වහලය මත ඉඳිකරන ලද සූර්ය බලාගාරවලට විදුලි ඒකකයක් සඳහා ගෙවනු ලැබූ මුදල රුපියල් 22/= සිට 37/= දක්වා එවකට සිටි අමාත්‍යවරයාගේ නියෝගය මත ඉහළ දමන ලදී. මේ හේතුවෙන් වහලය මත සූර්ය විද්‍යුත් කෝෂ ස්ථාපනය කිරීමේ ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගියේය. අලුතින් ස්ථාපන සමාගම් රාශියක් බිහිවිය. ඉංජිනේරු, තාක්ෂණ ශිල්පී, කම්කරු ආදී රැකියාවන් 450,00ක් පමණ බිහිවිය. වර්ෂ 2030 වනවිට බලශක්ති අමාත්‍යවරයා දුන් ඉලක්කවෙත පහසුවෙන් ළඟා විය හැකි බව අදාළ බලධාරීන්ට පෙනී’ ගියේය. මෙසේ ඒකකයට ගෙවන මුදල රු 37/= දක්වා ගෙවූවද ඉන් විදුලිබල මණ්ඩලයට හානියක් නොවන බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගිය වසරේ ඩීසල් බලාගාර වෙත ගෙවූ රුපියල් බිලියන 24ක් වූ මුදල සෑහෙන ප්‍රමාණයක් සූර්ය විදුලිය නිසා ඉතිරිවනු ඇති බවත් ඉන් ඉතා පහසුවෙන් සුර්ය විදුලි නිෂ්පාදකයාට ගෙවිය හැකි බවත් පෙන්වා දෙමිනි. ඩීසල් විදුලි බලාගාර වලට රු 65/= සිට 122/= ක මුදලක් එවකට ගෙවනු ලැබීය. තවද ජාත්‍යන්තර පාරිසරික සම්මුතීන්ට අනුව ශ්‍රී ලංකාව කාබන්ඩයොක්සයිඩ් වායුව අඩුවෙන් මුක්ත කරන රටක් බවට පත්වීමෙන්ද ලංකාවට විශේෂ වාසි සැලසෙන බව අමාත්‍යවරයාගේ මතය විය. ලංකාවේ වායුගෝලයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමට මින් පිටුවහලක් වන බවත් එමගින් ජනතාවගේ සෞඛ්‍ය තත්වයට ද යහපත් අයුරින් එය බලපාන බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. සූර්ය විදුලි බලාගාර ඉඳිකිරීම වෙනුවෙන් රජය කිසිදු මුදලක් වැය නොකරන අතර ඒ සඳහා ගෙන්වන සුර්ය පැනල, ඉන්වර්ටර, හා අනෙකුත් විද්‍යුත් උපාංග වලින් ගන්නා වැට් බද්දෙන් හා ගෙන්වන සහ ස්ථාපනය කරන ආයතන වලින් ලබාගන්නා ආදායම් බදුවලින් රජය අමතර ආදායමක්ද ලබන බව හෙතෙම කීය.

තෙල් තියෙන රටවලුත් විදුලිය ගන්නෙ සෝලා වලින්

සෝලා පවර් ඇයි විදුලි මාෆියාවට අවුල්

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව, ලොව ජනගහනයෙන් 90% වැඩි ප්‍රතිශතයක්, වායුගෝලයේ ඇති ගුණාත්මක බවින් තොර, දූෂිත වාතය ස්වසනය කිරීම නිසා ස්වසන ආබාධවලට ගොදුරුවන අතර, වාර්ෂිකව ඔවුන් අතුරෙන්, මිලියන 13 ක් පමණ ස්වසන ආබාධ වලින් මිය යති. මෙසේ වීමට ප්‍රධාන හේතුව වන්නේ ෆොසිල ඉන්ධන දැවීම නිසා හටගන්නා අංශුමය අපද්‍රව්‍ය සහ නයිට්‍රජන්ඩයොක්සයිඩ් වායුව බවද හෙළිවී ඇත. ලොව පුරා මෙසේ පීඩාවට පත්වන අයගේ සෞඛ්‍ය කටයුතු සඳහා වසරකට ඩොලර්’ බිලියන 3000 ක් පමණ වැය වන බවද ගණනය කර තිබේ.

ලෝකයේ රටවල් දැනට නොයෙක් ආකාරයේ ක්‍රමෝපායන් මේ සඳහා යොදාගනු ලබයි. විදුලිබලය වැඩිපුර නිපදවෙන මධ්‍යහ්නයේ එම විදුලිය බැටරිවල තැන්පත් කර රාත්‍රී කාලයේදී ප්‍රයෝජනයට ගැනීම එක ක්‍රමයකි. සූර්ය විදුලිය අතිරික්ත වන වේලාවන්හිදී ජලවිදුලි බලාගාරවල ජලය නැවතත් ඉහළ ජලාශවලට පොම්ප කිරීම දැනට ජපානය ඇතුළු රටවල් කිහිපයක් භාවිතා කරන තවත් උපක්‍රමයකි. මෙම අතිරික්ත සූර්ය විදුලිය නිපදවෙන වේලාවන්හිදී ජලවිදුලිය නිපදවීම සම්පූර්ණයෙන් නවතා දමා එම ජලය අවශ්‍ය වේලාවන්ට ප්‍රයෝජනයට ගැනීම සඳහා ඉතිරි කර තබාගනී.

ෆොසිල ඉන්ධන නිපදවන මැදපෙරදිග රටවල්වල පවා දිවාකාලයේ ඔවුන්ගේ කර්මාන්තශාලා, නිවාස, ආපනාශාලා, වෙළඳ සංකීර්ණ ආදියේ විදුලිබල අවශ්‍යතා පිරිමසා ගන්නේ සූර්ය විදුලිය මගිනි.

ලංකාව පස්ස ගහන්නේ ඇයි

පසුගිය දිනවල මුළු ලංකාවේම විදුලි ඇනහිටීමට හේතුව වඳුරෙක් පහරදීම බව කියා සිටි අමාත්‍යවරයා ඊට පැය කිහිපයකට පසු එය වූයේ සූර්ය බලාගාර නිසා යයි කියා සූර්ය විදුලි උත්පාදනය දඩයම් කිරීමේ උත්සාහය ඇරඹීය. එහෙත් එයට හේතුව පද්ධති ස්ථාවර කිරීම භාරව සිටි නිලධාරීන් හතරදෙනාම එදින නිවාඩු ගොස් සිටි හෙයිනැයි තවත් පැත්තකින් ආරංචි පැතිර ගියේය.

ගෙවපු ගානත් අඩු කරලා

දැනට සූර්ය විදුලිය මධ්‍යහ්න කාලයේ අතිරික්තයක් ඇති හෙයින් තවදුරටත් එය නංවාලීමට කටයුතු කිරීමෙන් පලක් නොමැති බව හා ප්‍රධාන විදුලි ධාරාවට තවදුරටත් සූර්ය විදුලිය එකතු කරගැනීමේ අපහසුව වත්මන් අමාත්‍යවරයා පෙන්වා දෙයි. එබැවින් සූර්ය විදුලියේ ව්‍යාප්තිය අඩපණ කිරීම සඳහා විදුලි ඒකකයට ගෙවන මුදල රුපියල් 17/- දක්වා පහත හෙළීමට ද කටයුතු කර ඇත. ඉන්පසු අද පවතින වියදමත් සමඟ සූර්ය විදුලිබලය අලුතින් ඇරඹීම ශ්‍රී ලංකාවෙන් අතුගෑවී යනු ඇත. ලංකාවේ දේශීය සෝලා කර්මාන්තය මුළුමනින්ම නතර කිරීමේ (අ) ගෞරවය වත්මන් අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් වෙත මහජනයා විසින් ලබාදෙනු ඇත.

මෙසේ රුපියල් 17/- දක්වා මිල අඩුකිරීම හේතුවෙන් මින් ඉදිරියට ලංකාවේ කිසිවෙකු සූර්යබල පද්ධතියක් ස්ථාපනය කිරීමට පෙළඹෙන්නේ නැත. ඒ ඔහු ඒ සඳහා යොදන ආයෝජනයෙන් ඔහුට පලක් නොවන නිසාය. මේ හේතුව නිසා ලංකාවේ සූර්ය විදුලිබල ස්ථාපනය කරන සමාගම් පවත්වාගෙන යාමට ද නොහැකි වනු ඇත. ඔවුන් සමාගම් වසා දැමුවහොත් එහි සේවය කරන ඉංජිනේරුවන් රට හැරයනු ඇත. තාක්ෂණික ශිල්පීන් කොටසක් රට හැරයන අතර තවත් කොටසක් ත්‍රිරෝද රථ එළවීමට එක්වනු ඇත. තත්ත්වය මෙසේ වූ කල දැනට ලක්ෂය ඉක්මවා ගිය සූර්ය බලාගාර ඉදිකරවා ගත් පාරිභෝගිකයන්ගේ සේවා අවශ්‍යතා සපයන්නේ කවුද? කිසිදු වැඩක් නොමැතිව සේවකයින්ට වැටුප් ගෙවමින් ස්ථාපන සමාගම් අතේ ඇති මුදලින් පවත්වාගෙන යා යුතු යයි අමාත්‍යවරයා කියන්නේද? මේවා අනාගතයේ දකින්නට ලැබෙන බරපතළ ප්‍රශ්න බව වේලාසනින් සිහි නුවණින් දැකිය යුතුය. සෝලා ස්ථාපන සමාගම් කිසිවෙකුගේ අදහස් නොගෙන සීත කාමරවලට වී ගන්නා මෙම ඒකපාර්ශ්වික තීන්දු තීරණ වහාම ඉවත් කොට සාමූහික තීරණයක් ගත යුතු බව සිතට ගතහොත් මැනවි.

සෝල පවර් ඉතිරියට කරන දේ

  1. එම කාලයේ ඩීසල් බලාගාර වලින් විදුලිය ලබාගැනී නැවත්වීමයි. මින් ඉන්ධන සඳහා යන විදේශ විනිමය ද ඉතිරිවනු ඇත. ගල් අඟුරු බලාගාර එසේ කර නොහැක්කේ ඒවා යළි ආරම්භ කිරීමේ ක්‍රමවේද සඳහා යම් කාලයක් ගතවන බැවිනි.
  2. ජල විදුලි බලාගාරවල ජනක යන්ත්‍ර කිහිපයක් නවතා දමා එම ජලය සූර්ය විදුලිය අඩුවන අවස්ථාවන්හිදී ප්‍රයෝජනයට ගැනීමට ඉතිරි කර ගැනීමයි.
  3. සූර්ය විදුලිය නිෂ්පාදනය මධ්‍යහ්නයේ වැඩිනම් එය පරිභෝජනය කරන ක්‍රමවේද හඳුන්වාදීමය.
සෝලා පවර් ඇයි විදුලි මාෆියාවට අවුල්

උදාහරණ ලෙස සූර්ය විදුලි බලාගාර ඇති නිවෙස්වල වැඩිපුර විදුලිය වැයවන ඉස්තිරික්ක, රයිස් කුකර් , හීටර, ගීසර වතුර මෝටර ආදිය දවල් 11.00 ත් දෙකත් අතර කාලයේ භාවිතා කරන ලෙස ඉල්ලා සිටීම හා එසේ කරන්නේ දැයි ඒවායේ සවිකර ඇති ස්මාර්ට් මීටර මගින් සොයා බැලීමය. සූර්ය විදුලිය අතිරික්ත වන සෙනසුරාදා, ඉරිදා හා නිවාඩු දිනවල මධ්‍යහ්නය ආසන්න කාලයේ තමන්ගේ විද්‍යුත් මෝටර රථ ආරෝපණය කරගන්නා ලෙස ඉල්ලා සිටීම හා එසේ කරන්නේ දැයි සොයාබැලීම. නවීන විද්‍යුත් මෝටර් රථයක් සාමාන්‍ය පුද්ගලික අවශ්‍යතාවයන් සඳහා සතියක වතාවක් ආරෝපණය කිරීම ප්‍රමාණවත්ය.

වලාකුළු තත්වයන් නිසා විටින් විට සූර්ය විදුලිබල සැපයුම ස්ථාවර නොවන නිසා යම් බලපෑම් ඇතිවුවද ඒවා විසඳාගත නොහැකි ගැටලු නොවේ. මුළු ලංකාවේම අහස මුළු දවස පුරා වලාකුලෙන් බරව පවතින දින තිබේ. නමුත් එවැනි දින ගැන ජාත්‍යන්තර කාලගුණ ආයතන හරහා දින දෙකකට පමණ පෙර සිට දැනගත හැකි අතර පූර්ව සූදානමක් ඇති කරගත හැකිය.

රටේ ආර්ථිකය දියුණු කිරීමට ලංකාවේ නොයෙකුත් ආකාරයේ නිෂ්පාදන කර්මාන්ත වැඩි දියුණු කළ යුතු බව සහ එසේ කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරද්දී අනාගතය ගැන අද තීන්දු තීරණ ගෙන ඒ සඳහා අවශ්‍ය බලශක්තිය දැන් සිටම සූදානම් කළ යුතුය. ඒ සඳහා අනාගතය පෙනෙනා අය බලශක්ති ක්ෂේත්‍රයේ ඇති බවක් පෙනෙන්නට නැත. අනෙකුත් රටවල් මෙම ගැටලුවලට උත්තර සොයා ගත් අයුරු ගැන අධ්‍යනය කිරීමට එතුමන්ලා උනන්දුවක් ඇති කරගතහොත් යෙහෙකි. එසේ දැක්මක් තිබුණේ නම් දැනට ආනයනය කර ඇති ෆොසිල ඉන්ධන මගින් ධාවනය වන රථවාහන වෙනුවට විද්‍යුත් වාහන ගෙන්වීමට රජය කටයුතු කිරීමට ඉඩ තිබුණ අතර ඉදිරියේදී ආනයනය කළ හැක්කේ විදුලිබලයෙන් ක්‍රියාත්මක වන වාහන පමණක්මය යන ජාතික ප්‍රතිපත්තියකට රජය එළැඹීමට ඉඩ තිබුණි.

සමහරක් රටවල වහලය මත සූර්ය බලාගාරයක් හිමි අයට බදුවලින් නිදහස්ව විද්‍යුත් මෝටර් රථයක් ආනයනය කිරීමට අවසර දී ඇත.

විද්‍යාව යනු සෑම ගැටලුවකටම පිළිතුරු සොයා ගැනීම විනා එය කළ නොහැකිය යනුවෙන් අතහැර දැමීම නොවේ. එසේ අතහැර දැමීමට නම් ඉංජිනේරුවෝ අනවශ්‍ය අතර බාස් උන්නැහේලා පමණක් සිටීම හොඳටම ප්‍රමාණවත්ය. ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවය පුනර්ජනනීය බලශක්තිය මගින් සපුරාලීමට විද්‍යාත්මක චින්තනයකින් යුත් බලධාරීන් සහ අමාත්‍යවරයෙක් මුල් පුටුවල සිටිය යුතු අතර කොමිස් දෙස නෙත්අයා සිටින අය සිටියහොත් එය විනාශයකට හේතුවේ.

චිත්‍රාන් ගමගේ


advertistmentadvertistment