වයසට ගිය කාලෙට ඇත්ගොව්වන්ට ඉතිරි වෙන්නේ බූරු ඇඳයි පඩික්කමයි විතරයි
අලියෙක් බලන්න වචන 21ක් තියෙනවා
ඇතෙක් බලන්න වචන 22ක් තියෙනවා
අලි බැලිල්ලයි, බලි බැලිල්ලයි කවදාවත් එපා වෙන්නෙ නැතැයි සිංහල ජනවහරේ කියමනක් තිබේ. එහෙත් වගකිවයුත්තන්ගේ “බලි” වැඩ නිසා අපට හැමදාමත් වැඩිපුර බලන්නට සිදුව තිබෙන්නේ “අලි සහ මිනිස් වලි” පමණි. එසේ නොවන්නට අලි කතා අතිශය සුන්දරය. අලි – මිනිස් කතා ඊටත් වඩා සුන්දරය. මේ ගැන හරියටම දැනගන්න ඔබ “අලි බාසුන්නැහෙලා” නොහොත් “ඇත්ගොව්වන්” සමග කතාබහ කළ යුතුමය.
වසර 2500කට වඩා වැඩි ලිඛිත ඉතිහාසකයට හා ඉපැරණි ජනප්‍රවාදගත ඉතිහාසයකට උරුමකම් කියන අපට අලි ඇතුන් සමග ඇත්තේ ඉතා කිට්ටු සබඳතාවයකි. අලි බාසුන්නැහැලා නොහොත් ඇත්ගොව්වන්ගේ අලි ගැන දැනුම ද ඒ හා බැඳුණු කතා ද රැසකි. මේ අපූරු සද්දන්තයා සමග එකිනෙක පෑහී ජීවත්වන ඔවුන් කියන කතා ද අපූරුය. එමෙන්ම අලි – ඇත් ගොව්වකු යනු බොහෝ කම්කරුවන්ට පවා ලැබෙන හිමිකම් පවා නොලැබෙන පිරිසකි. මේ සියලු කතා බහ ඒ ගැනය.
අලි ඇතුන්ට වැඩ දෙන්න තරම් අපි අමානුෂික නැහැ
මේ වනවිට දිවි මඟෙහි 57 හැවිරිදි අජිත් අශෝක ලියනගේ රුහුණු කතරගම මහා දේවාලයට අයත් වාසනා ඇත් රජුගේ ප්‍රධාන ඇත්ගොව්වාය. ඔහු කියන පරිදි හීලෑ අලි ඇතකු වුව බලා කියා ගැනීම භාරදූර වගකීමකි. එය හිතු හිතු හැටියට සියල්ලන්ට ම කළ හැක්කක් නොවේ.
“මම ඇත්ගොව්වෙක් විධියට වැඩ කරන්න අරන් දැන් අවුරුදු 40ක් වෙනවා. දැනට මම වසර 23ක් තිස්සේ මේ වැඩේ කරනවා. මගේ පුතා තමයි වාසනාගේ සහායක ඇත් ගොව්වා ලෙස කටයුතු කරන්නේ. මම මේ අවුරුදු 40 තුළ දී ලබපු අත්දැකීම වෙනකොහෙවත් පාඨමාලාවක් කරලා ලබන්න බෑ. පසුගිය කාලේ ඇත්ගොවුවන්ට පාඨමාවක් හඳුන්වලා දුන්නා. ඇත්තටම ඒක අසාර්ථක වුණා. එහෙම පාඨමාලා තියලා අලි බලන්න පුළුන් කමක් නෑ. අලි බලනවා කියන එකට නිසි පුහුණුවක් හා පරිණතභාවයක් තියෙන්න ඕනේ. හෙණ්ඩුවක් අතට ගත්ත පළියට අලි බාස් කෙනෙක් නැත්නම් ඇත්ගොව්වෙක් වෙන්න බෑ. අලියාගේ හැම ක්‍රියාකාරකමක් පිළිබඳවම අලි බාසුන්නැහේට අවබෝධයක් තියෙන්න ඕනා. මගේ තාත්තා තමයි මුලින්ම අලි බැලීම සිදුකළේ. ඉතින් ඒ දවස්වල තාත්ත එක්ක නිතරම එක එක අලි බලන ඇත්ගොව්වෝ අපේ ගෙදර එනවා. ඒ ඇවිත් ඒ අය තාත්තා එක්ක අලි ඇතුන්ගේ දේවල් ගැන කතා වෙනවා. ඒ අතරේ අලි භාෂාවේ සමහර වචන පවා තාත්තා යාළුවන් එක්ක කතා කරනවා. ඉතින් මම පොඩි කාලෙදීම අලි බලන රස්සාවට ආසා කළා. ඉස්කෝලේ ගියත් මට ආසාව තිබුණේ ඇත්ගොව්වෙක් වෙන්න. නමුත් ඉතින් මට ඒකට අම්මගෙන් හෝ තාත්තගෙන් අවසරයක් තිබ්බේ නෑ. අපි මේ රස්සාවේ අව්ව, වැස්ස නැතිව දුක් විඳිනවා. උඹ මේවා කරන්න ඕනි නෑ කියලා තමයි තාත්තා නිතරම මට කිව්වේ. හැබැයි මම මගේ ආසාව අත්හැරියේ නෑ. තාත්තා අලියා ගෙදර අරන් ආවම මමත් හෙමින් සැරේ තාත්තට හොරාට අලියට කිට්ටුවෙලා කන්න දෙනවා. අලි භාෂාවෙන් අලියට කතා කරනවා. එහෙම තමයි මං අලි බලන්න මුලින්ම පුරුදු වුණේ. තාත්තා අවසානෙදි මට ඇත්ගොව්වෙක් වෙන්න අවස්ථාව දුන්නා. ඉතින් මං තාත්ත එක්ක මුලින්ම අලි බැලීම කළා. හැබැයි ඒත් අවුරුදු දෙකක් තුනක් යනකම්ම මට හෙණ්ඩුවක්නම් අල්ලන්න දුන්නේ නෑ.
ගොඩක් අය දන්නේ නැති වුණාට හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් අනුගමනය කරන වෙනම සිරිත් විරිත් සමුදායක් වගේම චාරිත්‍ර වාරිත්‍ර ප්‍රමාණයකුත් අපට තියෙනවා. මේවා නොදැන ඇත්ගොවුවෙක් වුණාම හරි ඉක්මනට ඇත්ගොව්වට අතපය කඩාගෙන ගේ මුල්ලට වෙලා ඉන්න වෙනවා. මේක මේ රස්සාවේ හැටි. ඒ විතරක් නෙමේ, කොච්චර අපි මෙහෙම අලි ඇතුන් බලා ගත්තත් මේ රස්සාව අපිට කර ගන්න බැරිවෙච්ච කාලෙට අපිට උරුම වෙන්නේ බූරු ඇඳයි පඩික්කමයි විතරයි. ඒකත් අපි හොඳින් අවබෝධ කර ගෙනම තමයි මේ රස්සාව කරන්නේ. උදේට සතා ලිහලා අතට ගත්තම කොටි වලිගේ අල්ලගත්තා වගේ තමයි. පෙරහැරක අලියෙක් ඇතෙක් අරගෙන ගියත් ඒක ඉවර වෙනකම් අපි පුදුම භයකින් ඉන්නේ. කොහෙන් මොනවගේ කලබලයක් වේවිද දන්නේ නෑ.පෙරහැරක යද්දී එක අලියෙක් කුලප්පු වුණොත් අනිත් අලි ඔක්කොම කුලප්පු වෙනවා. හරිම කල්පනාවෙන් සතා එක්කගෙන යන්න ඕනේ. ගඩු කහපං කියනකොට ගඩු කහන්න ඕනේ. ගිනි පිඹ පං කිව්වම ගිනි පිඹින්න ඕනේ වගේ රස්සාවක් අපි කරන්නේ. ඒක බොහෝ අය දන්නේ නෑ. දැන් ඔය සත්ව සංවිධානවල ඉන්න කොළඹ මහත්තුරු හරියට කෑ ගහනවා හීලෑ අලිඇතුන් සම්බන්ධයෙන්. ඇත්තට ම ඒ අය දන්න දෙයක් නෑ .
මේ සත්තු අපි හීලෑ කරලා නිසි ක්‍රමවේදයකට හික්මීමකින් යුතුව හදන්න ඕනේ. එහෙම වෙලාවට කෝටු පාරක් ගහන්න වෙනවා.
ගෙදරක ළමයෙක් හැදුවත් වරදක් කළොත් සැරයක් දෙසරයක් කියලා අහන්නේ නැතිනම් ඊළඟට කරන්නේ පහරක් ගහන එක. ඒ පහර ගහන්නේ අමානුෂික හැඟීමකින් නොවේ. හදා ගැනීමේ අරමුණු ඇතිවයි. නැවත ඒ වරද සිදු නොකරන්නයි. එහෙම නැතිව කවදාවත් ඇත්ගොවුවෙක් තමන් ළඟ ඉන්න සතාට නිස්කාරණේ වධහිංසා කරන්නෙ නෑ. මේ ඇත්ගොවුවන් කියන්නේ හැමදාම දුක් විඳින පිරිසක්. වැස්සක්, අව්වක් බලන්න නෑ. සතාට ලෙඩක් දුකක් හැදිල ද ගැස්මක් ඇවිල්ල ද සතාට සීතලක් ඇවිල්ල ද මේ සියල්ල ම අපි නිතර බලන්න ඕනේ. ඒ සඳහා රැයක් දවාලක් කියලා එකක් නෑ. මේ ඇත්ගොව්වන් හැම දෙනාට ම අතපයේ පණ තියෙනකම් විතරයි මේ රස්සාව කරන්න පුළුන්කම තියෙන්නේ. ලංකාවට ම ඇත්ගොවුවන් ඉන්නේ ඉතාමත් සිමිත පිරිසක් විතරයි. මේ අය කෙරෙහි රජයේ පාර්ශ්වයෙන් හෝ වෙනත් කුමන පාර්ශ්වයකින් හෝ විශේෂ අවධානයක් යොමුවිය යුතුයි. මොකද අපිට ලෙඩක් දුකක් හැදිලා එක්තැන් වුණොත් අපේ පවුල්වල අය කාලා බීලා ජීවත්වෙලා ඉවරයි. ඒ නිසා අඩුම වයසට ගියාම දීමනාවක් දීමේ කිසියම් වැඩපිළිවෙළක් සකස් වියයුතුයි. මොකද අපිට කිසිම ජීවිත රක්ෂණයක් නෑ. පුද්ගලිකවවත් අපිට ජීවිත රක්ෂණයක් දමා ගන්න බෑ. ඇයි රස්සාව කියන එකට දමන්න වෙන්නේ අලි බලනවා කියලයි. එහෙම කිව්ව ගමන්ම කියනවා රක්ෂණ දමන්න බෑ කියලා. ඒ නිසා හැම අතින්ම ඇත්ගොවුවන් අසරණ වෙලා ඉන්නේ ” අලි ඇතුන්ගේ විස්තර කියන අතර වාරයේම ඔහු තමන්ගේ දුක ද කියන්නේය.
ලංකාවට ම ඉන්නේ එක්දහස් දෙසීයක් තරම් පිරිසක්
ලෝකයේ යම් කිසි සත්ත්වයකු වෙනුවෙන් කෙරෙන කිසියම් වත් පිළිවෙතක් ඇත්නම් ඒ මෙරට අලි ඇතුන් වෙනුවෙන් කෙරෙන වත් පිළිවෙත් පමණි. එය මේ වනවිට සංස්කෘතිකමය වටිනාකමක් ලැබෙන තරමට සමීප කාරණාවක් වී තිබේ. ආනන්ද නොහොත් බණ්ඩාර අලිබාසුන්නැහේ, කිරිවෙහෙර රාජමහා විහාරයට අයත් සාලිය හස්තියාගේ ප්‍රධාන ඇත්ගොව්වා ලෙස කටයුතු කරන්නේය. ඔහු කියන්නේ ඒ ගැනය.
“රජ දවසේ ඉඳන් ම අලි ඇතුන් අපේ සමාජයේ වැදගත්ම කොටසක් ලෙසයි සැලකුවේ. ඒ නිසා ම තමයි හීලෑ අලි ඇතුන් කේන්ද්‍ර කර ගනිමින් වෙනම ම උපසංස්කෘතියක් පවා මේ වෙනකොට බිහිවෙලා තියෙන්නේ. ගොඩක් අය දන්නේ අලියා පෙරහැරේ යන එක ගැන විතරයි. නමුත් හීලෑ අලි ඇතුන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේද රැසක් තියෙනවා. වත් පිළිවෙත් රැසක් තියෙනවා. අලි බලන ඇත්ගොව්වට ඇතා හෝ අලියා පිළිබඳව නිසි අවබෝධයක් නොතිබ්බොත් මහා විනාශයක් වුණත් වෙන්න පුළුවන්. මේ හීලෑ අලි ඇතුන් බලන රස්සාව කරන්නේ ඉතාමත් සිමිත වූ පිරිසක් විතරයි. හැමෝටම මේක කරන්න බෑ. ලංකාවට ම ඉන්නේ දාහක් එක්දහස් දෙසියක් තරම් පිරිසක් විතරයි.මේ අතරිනුත් අත්දැකීම් ඇති පරිණත ඇත්ගොවුවන් ඉන්නේ ඉතාමත් සුළු පිරිසක් විතරයි. මෙම අලි ඇතුන් බලන ඇත්ගොවුවා දන්නවා ඇතාගේ මද කිපෙන කාලය පිළිබඳව. ඒ පිළිබඳව ඇත්ගොව්වට නිසි අවබෝධය අනිවාර්ය යයි. එහෙම මද කිපෙන කාලයට ඇතා හෝ අලියා වෙනම ස්ථානයක තබා ගස් බැඳීම සිදුකරනවා. ඒ කාලෙට අලියට ඇත්ගොව්වව පේන්න බෑ. සතා මද කිපිලා ගස් බැන්දම ප්‍රධාන ඇත්ගොව්වට ඒ පැත්තට යන්නවත් බෑ. ගියත් හරිම කල්පනාවෙන් දුරට වෙලා තමයි ඉන්නෙ, සතාට නොපෙනෙන්න. පේන්න හිටියොත් ගලක්, නැතිනම් කන්න දීපු අත්තකින් හරි විසිකරලා ගහනවා. මද කිපුණු කාලෙට ඇතා ළඟට යන්නේ සහායක ඇත් ගොවුවා විතරයි. ඇතාට අවශ්‍ය කෑම ආදිය ලබාදීම මාස තුනක් විතර යනකම් කරන්නේ සහායක ඇත්ගොවුවා විසිනුයි. මේ ගස්බඳින සතා මද කිපීම අවසන් වුණාම ගහෙන් ලිහන්නත් සිරිත් පරිදි පැවැත එන ක්‍රමවේදයක් තියෙනවා. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි.
සතා ගහෙන් ලිහන දවසට සතර කොණේ පහන් පැල් සකස් කර එම ස්ථානයේ කිරි උතුරුවා දෙවින්ට බුදුන්ට පහන් පත්තු කර පළමුවම ආශිර්වාද ලබාගැනීම සිදුකරනවා. ස්වාමීන් වහන්සේලා වැඩම කර පිරිත් දේශනා කරන අතරවාරයේ සතා ළඟට යන ප්‍රධාන ඇත්ගොව්වා පළමුවම දේවාතා බැම්ම කියන චාරිත්‍රය ඉටුකරනු ලබනවා. එහිදී හස්තියා බිම නිදිකරවා හස්තියාගේ පිට උඩ වැඩසිටින දෙවියන්ට වෙනත් ස්ථානයකට වඩින ලෙස ආරාධනා කරනවා. මොකද මෙහෙම කරන්න හේතුව වෙන්නේ ඕනෑම හස්තියකුගේ පිට උඩට දින හතක කාලයක් යනකම් මිනිසකු නැඟ්ගේ නැතිනම් ඒ සතාගේ පිට උඩට දෙවියන් වඩින බවට අතීතයේ පටන්ම විශ්වාසයක් තියෙනවා. ඒනිසා තමයි එලෙස දෙවියන්ට වෙනම ස්ථානයකට වඩින ලෙසට ආරාධනා කරන්නේ. සතාගේ බැමි ලිහීමේ ඉඳන් හෙණ්ඩුව භාර කිරීම ඇතුළු සෑම කටයුත්තක් සඳහාම අනුගමනය කළයුතු වත් පිළිවෙත් තියෙනවා. අලියාගේ බැමි ලිහන දවසට අලි ඇතුන් බලන සියලුම දෙනාට එන්න කියලා අලි වාඩියේදී වෙනම ම පැමිණෙන පිරිසට කැවුම්, කිරිබත්වලින් සංග්‍රහ කරනවා. මේකට කියන්නේ බැහුම් ලිහීමේ මංගල්‍යය කියලා. බැහුම් ලිහන හස්තියාටත් එදිනට පැමිණෙන සියලුම දෙනාගෙන් හොඳ සංග්‍රහයක් ලැබෙනවා. අලි ඇතුන් කියන්නේ දෙවියන්ට වෙන් වූ සතකු ලෙසයි ඈත අතිතයේ සිට ම සැලකෙන්නේ. ඒ නිසා සෑම අලි ඇත්තු හිමියන් වගේම ඇත්ගොවුවන් ද නිසි වත් පිළිවෙත් නිසි පරිදි ඉටුකරන්නේ. මේවා පැරැන්නන් නිසි පරිදි අකුරට ම ඉටු කරගෙන ආවා. අද මේවා පිළිබඳව ගොඩක් අය දන්නෙ නෑ. ඔහු කියන්නේ ද මෙරට බොහෝ ඇත්ගොව්වන් ගැන සොයා බලන්නට කිසිදු ආයතනයක්, සංවිධානයක් නොමැති බවය. ඔවුනට ගැළපෙන සුබසාධක වැඩපිළිවෙළක් පිළිබඳ ඔවූහු ඉමහත් බලාපොරොත්තු තබාගෙන සිටිති.
අලීන්ට තේරෙන්න කතා කරන හැටි
තිස්සමහාරාම රාජමහා විහාරස්ථ දායක සභාවේ ලේකම් එච්.පී.සමන් කුමාර මහතා.
“අතීතයේ පටන්ම අලි ඇතුන් කියන්නේ ජනතාවත් එක්ක ඉතා සමීපව සිටි සත්ව කොට්ඨාසයක්. බුද්ධ චරිතය තුළ බැලුවත්, ජාතක කතා තුළ බැලුවත් අලි ඇතුන් අපට බොහෝම සමීපව කටයුතු කළ බවට පැහැදිලි සාක්ෂි සාධක තියෙනවා. ඉතින් අද වනවිට ලංකාවේ හීලෑ අලි ඇතුන් ඉන්නේ බොහෝම සීමිත ප්‍රමාණයක් විතරයි. ඒ අතරිනුත් වැඩි පිරිසක් ඉන්නේ විවිධ රටවල් තුළින් මෙරටට තෑගි ලෙස ලැබුණු සත්වයන්. ලංකාවේ අද අලියකු හිලෑ කරනවා කියන එක පහසු කටයුත්තක් නෙමේ. ඒ සඳහා හොඳ පළපුරුදු ඇත්ගොවුන් සිටිය යුතුයි. කැලේ ඉන්න සතෙක් අපි ගෙනැත් මනුස්සයා එක්ක එකට ඉන්න පුරුදු කරන්නනම් ඒ සඳහා මනා දැනුමක් ඇත්ගොවුවට තියෙන්න ඕන.”
මේ බව කියන්නේ තිස්සමහාරාම රාජමහා විහාරස්ථ දායක සභාවේ ලේකම් එච්.පී.සමන් කුමාරය. හෙතෙම අලි,ඇත් – මිනිස් සබඳතා ගැන දීර්ඝකාලීන අවබෝධයක් ඇත්තෙකි.
“අලියට “දහඅලියා දහ” කිව්වම අලියා දන්නවා යන්න කියන්නෙ කියලා. “පුරු අලියා පුරු” කිව්වම අලියා දන්නවා ගහක් තල්ලු කරන්න හෝ අත්තක් කඩන්න කියන්නේ කියලා. “බිල අලියා බිල” කිව්වම අලියා දන්නවා අලියාගේ පිට උඩට නැඟීමට ඉදිරිපස කකුල ඔසවන්න ඕනි කියලා. ඉතින් මේ විධියට අලියා හුරු කර ගන්නවා කියන එක මහ අමාරු වැඩක්. ඒකට තමා දක්ෂ අලිබාස්ලා ඉන්න ඕනෙ කියන්නේ. ලංකාව තුළ බැලුවත් නිසි ක්‍රමවේද අනුගමනය කරමින් අලි බලන පළපුරුදු අලිබාස්ලා ඉන්නේ සීමිත ප්‍රමාණයක් විතරයි. අලි බලන අයට කියන්නේ ඇත්ගොව්වා නැත්නම් අලි බාසුන්නැහේ කියලයි. ඉතින් බාසුන්නැහේ කියලා කියන්නේ නිකම්ම නිකන් නෙමේ. බාසුන්නැහේ කියන්නේ යමක ප්‍රවීණත්වයක් දක්වන පිරිසකට. ඉතින් අලි බලන්න ප්‍රවීණත්වයක් තියෙන නිසා තමයි ඒ අයට අලිබාසුන්නැහේ කියලා කියන්නේ. ඉතින් අලි බලන්න පුරුදු පුහුණු ආයතන හෝ පාඨමාලා තවම නෑ. මේක ඉගෙන ගන්න ආසාවක් තියෙන කෙනෙක්නම් ඔහුට සිද්ධ වෙනවා අලි බාස්කෙනෙක් එක්ක වගේම අලියකු පස්සෙන් අවුරුදු ගාණක් ගිහින් මේක ඉගෙන ගන්න. එහෙම නැතිව මේ රස්සාව ඉගෙන ගන්න විධියක් නෑ. දැනට බහුතරයක් ඉන්නෙ, තාත්තගෙන් පුතාට උරුම වෙන රස්සාවක් විධියටයි. බාහිරින් අලි බලන්න මේ වෘත්තියට පිරිස් එනවා බොහොම අඩුයි. ආවත් වැඩි දවසක් ඉන්නෙත් නෑ. මේ සඳහා කැමැත්ත හා ලැදියාව කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඇත්තටම මේ රස්සාව බොහොම භයානක රස්සාවක්. කොච්චර හීලෑ කරලා හිටියත් මේ සතා කුලප්පු වීම් වෙන්න පුළුවන්. කිසියම් ක්‍රියාකාරකමක් නිසා කේන්ති යන්න පුළුවන්. මේ පිළිබඳව අලිබාසුන්නැහේට නිසි අවබෝධයක් තිබිය යුතුමයි. ලෙඩක් වුණාම අලියට පොඩි අත්බෙහෙතක් කර ගන්න අලියගේ හැසිරීම් රටා හඳුනගන්න අනිවාර්යෙන්ම ඇත්ගොවුවට සිදුවෙනවා.”
සමන් කුමාර දිගු විස්තරයක් සංක්ෂිප්තව කියන්නේය.
කතරගම දේවාලයේ මද්දු හස්තියාගේ ප්‍රධාන ඇත්ගොව්වා ලෙස කටයුතු කරන ජේ.කේ.ධර්මදාසය. වයස අවුරුදු 16 සිට මේ කාර්යයේ යෙදෙන්නේය.
“මට දැන් වයස අවුරුදු 60ක් වෙනවා. මේ වෙනකොට මම ඇත්තු 09 දෙනකු ඇතුළුව අලි 32ක් බලලා තියෙනවා. ඒ විවිධ විහාරස්ථානවල දේවාලවලට හා විවිධ හාම්පුතුන්ට අයත් අලිඇතුන්. මේක මහා භයානක රස්සාවක්. අලියා ගහෙන් ලිහලා අතට ගත්ත වෙලාවේ ඉඳලා ආයේ ඒ සතා ගහක බඳිනකම්ම අපි බයකින් ඉන්නේ. ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ මේ සතා මොකක් හරි හේතුවක් නිසා භය වුණොත් කේන්ති ගියොත් ඒ සතා කලබල වෙන්න පුළුවන් නිසා. ඉතින් එහෙම වුණාම ඒකේ මුල්ම ප්‍රතිඵලය භුක්ති විඳින්න වෙන්නේ ඇත්ගොව්වට. අලියකුට කතා කරන්න මූලිකවම තියෙන්නේ වචන 21යි. ඇතකුට වචන 22ක් තියෙනවා. ඔය වචන ටිකෙන් තමයි මේ ඔක්කොම වැඩ කර ගන්න තියෙන්නේ. අපි කියන්නේ ඉතින් අලි බලන පිරිස ලංකාවේ ඉන්නේ බොහොම සීමිත පිරිසක්. මේ අය වෙනුවෙන් කුමක් හෝ රක්ෂණ ක්‍රමවේදයක්, වයසට ගියාම ජීවත් වෙන්න පුළුවන් විධියේ ක්‍රමවේදයක් සකස් කරන්න ඕනේ කියලයි. එහෙම් නැති වුණාම ජීවිතේ හයිය තියෙන කාලේ අපි මේ රස්සාව කරලා අතපය පණ නැති වුණාම ගෙදර බූරු ඇඳට වෙලා හාමතේ ඉන්න තමා වෙන්නේ.”
කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නා හිමියන්.
අද වෙනකොට ලංකාවේ හීලෑ අලි ඇතුන්ගේ ලොකු හිඟයක් තියෙනවා. අවුරුදු සිය දහස්ගාණක සිට පැවැතගෙන එන පෙරහැර සඳහා අලි ඇතුන් යොදාගැනීමේදී මේක හොඳට දැනෙනවා. ඒ වගේම තමයි අලිබාසුන්නැහේලා පිළිබඳව තියෙන ප්‍රශ්නයත්. මේ අය කරන මේ රස්සාව හැමෝටම කරන්න පුළුවන් කමක් නැහැ. ලංකාවට ම ඉන්නේ ඉතාමත් සීමිත අලිබාසුන්නැහේලා පිරිසක්. මේ අය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කිසියම් වැඩපිළිවෙළක් සකස් වියයුතුයි. බොහෝ ඇත් ගොවුවන්ගේ ජීවිත ඉතාමත් දුක්ඛදායි විධියට තමයි විසඳෙනනේ. ඒ අය වෙනුවෙන් තවමත් නිසි සුබසාධන වැඩපිළිවෙළක් නෑ. මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් හෝ යම් අවධානයක් යොමු වියයුතුයි. දැන් කිරිවෙහෙර රාජමහා විහාස්ථානයට අලීන් දෙදෙනකු ඉන්නවා. ඒ අලි බලන ඇත්ගොවුවන්ගේ සුබසාධනය පිළිබඳව මම පුද්ගලිකව සොයා බලනවා. නමුත් රටේ සිටින සමස්ත අලිබාසුන්නැහේලාට එහෙම නෑ. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා සියලුම ඇත්ගොවුවන් එක්තැනකට එකතු කරලා ඒ අයගේ සුබසාධනය වෙනුවෙන් යමක් කරන්න හා රජයේ අවධානය යොමු කරවන්න.
සටහන හා ඡායාරූප
දිලිප් එන්. ජයසේකර – මත්තල