ඇත්තටම දැන් සිනමාකරුවෙක්ට හෝ නිර්මාණකරුවෙක්ට කියන්නට තියෙන කතාව මොකක්ද? රසිකයන් ඉදිරියේ බෙදාගන්නට තියෙන අලුත්ම අලුත් කතාන්දර මොනවාද? වේගයෙන් ඇදී යන සමාජයක් ඉදිරියේ සිනමාකරුවන් ගොළුවෙලාද? ප්‍රේක්ෂකයන්ව පුදුම කරවන්නට, විස්මයට පත් කරවන්නට සමත් අපූර්ව කතා තවදුරටත් ඉතිරි වෙලා තියෙනවාද?
සී. ප්‍රේම්කුමාර් කියන්නේ ඔය ප්‍රශ්නයට උත්තර දෙන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක්. අතීතකාමයත් නිසි පදමට මුසුකරමින් දෙවැනි වතාවටත් ඔහු ආකර්ෂණීය චිත්‍රපටියක් කරලා. 2018 වර්ෂයේදී ප්‍රේක්ෂකාගාරය කැලඹූ විජේ සේදුපති රඟපෑ 96 චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ ඔහු මේ පාර සිය දෙවැනි චිත්‍රපටිය වන මෙයියලගන් චිත්‍රපටියට තෝරාගෙන ඇති තේමාව පාසැල් ප්‍රේමය නෙවෙයි. මගහැරුණු ගමක් සහ එහි මිනිසුන් ගැන අතීතකාමයයි මෙවර තේමාව.
සුපුරුදු ලෙසම මේ චිත්‍රපටියේත් පැරණි ගීත යළි ගැයෙනවා. ඒ 96 චිත්‍රපටියේ එන ජානු කියන පෙම්වතිය එස්. ජානකීගේ ගීත ගැයීම වගේ සුන්දර තාලෙට හා ලතාවටම නෙවෙයි. මිතුරන් දෙන්නෙක් බීමත්ව වැනි වැනී ඉලයරාජාගේ ගී සිහිපත් කරමින් ගැයීමක්. එයින් පස්සේ දෙන්නා ඉතා විසුළු විදියට මයිකල් ජැක්සන්ගේ සහ ආනන්ද් බාබුගේ නැටුම් අනුකරණය කරන්නට තැත් කරනවා. සහෝදරත්වය, මිත්‍රත්වය සහ බීමත් යාළුවො දෙන්නෙක් ගී ගයද්දී එන වෙනම අතීතකාම රසයක් කලින් චිත්‍රපටියට වඩා වෙනස්ව අධ්‍යක්ෂවරයා ගේනවා.
එහෙත්, ඇත්තම ප්‍රශ්නය තමයි මේ දිනවල සිනමාහල්වල තිරගත වෙන මෙයියලගන් චිත්‍රපටිය බලන්නම ඕනෑ ඇයිද කියන එක. 96 නම් ප්‍රේමය ගැන කතාවක්. ඒත්, ඊට එහා ගිහින් මෙයියලගන් කියන්නේ මනුෂ්‍යත්වය, මිත්‍රත්වය වගේම තමන්ගේකම සහ උරුමය ගැන කතාවක්.
කතා තේමාව හරිම සරලයි. අරුල් කියන මැදි වියේ මනුස්සයාට තමන්ගේ මුල් ගමට යන්න සිද්ධ වෙලා විවාහයකට. අරුල්ගේ චරිතය රඟපාන්නේ රෝජා හා බොම්බේ ආදී මනිරත්නම්ගේ අතීත සිනමා මය ප්‍රේමාන්දරවලින් ප්‍රකට වූ අරවින්ද් සාමි.
ඒ විවාහ වෙන ඥාති නැඟෙණියට ඔහු සහෝදරත්වයෙන් ආදරය කරන නමුත්, පුංචි කාලයේ ගම අත්හැරලා පවුල් පිටින් නගරයට ගියාට පස්සේ ඔහුට යළි ගමට යෑම හරි වේදනාකාරී අත්දැකීමක්. හිත් තැළෙන තැන් බොහොමයි. අරුල් අනෙක් මිනිසුන්ට විතරක් නෙවෙයි අලියන් සහ ගිරවුන්ද ඇතුළු සතුන්ට පවා ආදරය කරන හැඟීම්බර මනුස්සයෙක් බව මුල සිට අපි දකිනවා. ඒත්, ඔහු හැඟීම් හංගාගෙන ඒ හැඟීම්වලට සහ උණුසුම් මනුෂ්‍ය සම්බන්ධතාවලට වැඩිපුර විවෘත නොවී ඒවායින් ඈත් වී ඉන්න කෙනෙක්.
ඉතින්, ගමේ විවාහ උත්සවයට ගිහින් ඒකට ගොඩ වූ විගස ආපහු පැනලා එන්න බලාගෙනයි අරුල් ගමට යන්නේ. එහෙත්, ඔහුට විවාහ උත්සවයෙදී මුණගැහෙනවා අමුතු මිතුරෙක් සහ ඥාතියෙක්. පුදුමයට කරුණ කියන්නේ මොන තරම් තමන්ගේ අතීත මතකයන් ඇවිස්සුවත් අරුල්ගේ මතකයට මේ ඥාතියා කවුදැයි මතක් වෙන්නේ නෑ. ඒත්, මතක නැහැ කියන්නට බැරි නිසා අරුල් ඒ කෙනාව හඳුනාගත්තා වාගේ කතාබහ කරනවා. මංගල්‍ය උත්සවය පුරාවට අරුල් එක්ක මේ නම නොදත් ඥාති මිත්‍රයා කරක් ගහනවා. මේ මිතුරාගේ චරිතය රඟපාන්නේ සුපිරි නළු කාර්ති. මේ චිත්‍රපටියේ නිෂ්පාදකයා වූ සුපිරි නළු සූර්යාගේ බාල සහෝදරයා. ඇත්තටම කාර්ති සූර්යාගේ මල්ලී වන නිසාම බොහෝ අයට කාර්ති හුරතල් බාල සහෝදරයෙක් බව දැනෙනවා යැයි හිතෙනවා. කාර්තිගේ මුහුණු සිනහවෙන් සම්පූර්ණයෙන් පිරී ඉතිරී යනවා. ඔහුට තියෙන්නේ හරිම සුමුදු පිරිමි පෞරුෂයක්. කාටවත් කේන්ති යන්නේ නැති විදියේ පෞරුෂයක්. ඔයාකාර රංග පෞරුෂයක් තිබෙන කාර්තිගේ ඔය ඥාති මිත්‍රයාගේ චරිතය තමයි චිත්‍රපටිය රසවත් කරන්නේ. චිත්‍රපටියේ ආත්මය ඔහු.
මේ නගරෙන් ගමට ආ අරුල් සහ හරියට නම් ගම් නිච්චි නැති ඥාති මිත්‍රයා රාත්‍රියේ ගමපුරා ඇවිදිල්ල, දෙන්නා අතර රණ්ඩු, කයිවාරු, ආදරය, ගී ගැයීම් විතරක් නෙවෙයි පුංචි නර්තන අඩි තැබීම් ආදී සියල්ල එකතු වී චිත්‍රපටිය නිර්මාණය වී තියෙනවා. සමහර සිදුවීම් හාස්‍යජනකයි. තවත් ඒවා හැඟීම්බරයි.
අරුල් ගම අත්හැර ගියාට පස්සේ හැදෙන්නේ නගරයේ ආරෙට. මොකක්ද මේ නගරයේ ආරය කියන්නේ. මේක ගැමි ගොවි පවුල්වල සහ මධ්‍යම පාන්තිකයන්ගේ ජීවන විලාසයන්ගේ වෙනස කියලාත් කියන්න පුළුවන්. නගරය සහ ගම විදියට බෙදුවත් නූතන සංස්කෘතිය සහ ආදිකාලීන සංස්කෘතිය විදියට බෙදුවත්, පෙරදිග හා බටහිර ආරේ මනුෂ්‍ය සම්බන්ධතා විදියට සැලකුවත් මිනිස්සුන්ට පවතින්න පුළුවන් දෙවිදියකට. එකක් තමයි විවෘතව, අනෙක් අයව ඉවසමින්, එකිනෙකා සහ මුහුවෙමින් ජීවත් වෙන එක. දෙවැන්න තමයි තමන්ගේ පුද්ගලික අවකාශය පුද්ගලික විදියට පවත්වාගෙන යමින්, අනෙක් අයගෙන් ඈත්ව ගෙවන හුදෙකලා ජීවිතය. නගරවල නම් ලොකු තාප්ප මැද හැමෝම හුදෙකලා වෙලා. අතිශය කාර්යබහුල රස්සා කරන මධ්‍යම පාන්තික න්‍යෂ්ටික පවුල්වල ජීවිතය බිරිඳක්, සැමියෙක් සහ දරුවෙක් හෝ දෙන්නෙක් තමන්ගේ ලෝකයක සිර වූ ජීවිතයක් දකින්න පුළුවන්. දැන් යුගයේ නම් ඒ ජීවිතය ස්මාර්ට් දුරකථන නිසා ගෙයක් ඇතුළේ ඉන්න අය පවා එකිනෙකා එක්ක කතා කරන්නේ නැති තම තමන්ගේ ලෝකවල සිර වූ ජීවිතයක්.
සාමූහිකත්වය සහ හුදෙකලාභාවය කියන්නේ ජීවන විලාස දෙකක්.
අරුල් ගම අත්හැර ගිය පසු පුද්ගලිකත්වයට ගරු කරන, හුදෙකලාවීම ප්‍රිය කරන ජීවිතයක් ගත කෙරූවෙක්. ඒත්, ගමේදී ඔහුට මුණගැහෙන්නේ හැඟීම් විවෘතව බෙදාගන්න සාමූහික පැවැත්මක් තියෙන ඔහුට අවුරුදු ගාණකට පෙර අත්හැරුණ ජීවිතයක්.
‘මම ගමේදී ඔයා කවුද කියලා හෙව්වා විතරක් නෙවෙයි, මාවත් හොයාගත්තා’ කියලා අර නම් ගම් නොදන්න නෑදෑ මිත්‍රයාට විටෙක අරුල් කියනවා.
චිත්‍රපටියේ මුල් අඩියේ කාර්තිගේ ඥාති මිත්‍රයාගේ චරිතය තමන්ගේ ෆෝන් එකට එබෙන මොහොතේ අරුල්ට කේන්තිත් යනවා. වැසිකිළියට යන්න හැදුවත්, ‘යමු මටත් බරක් තිබුණා’ කියා එකට යන වැසිකිළියේ මුත්‍රා කරන අතරතුරේත් සද්දෙට කයියට අල්ලාගැනීමට තැත් කරන අර විවෘත මනුස්සයා මුලින් අරුල්ට දිරවන්නේ නෑ.
මේ පිරිමි දෙන්නා එකට කරක් ගැහිල්ල බලා ඉන්න ආසයි. මෙයියලගන් චිත්‍රපටියට තවත් තේමාවකුත් අහුවෙනවා. අරුල්ගේ චරිතය වගේම ප්‍රේක්ෂක අපිත් මෙතැන සමරන්නේ නෑදෑ හිතමිත්‍රයන් එක්ක අපට තියෙන පුංචි පුංචි විනෝදබර සහ සෙනෙහෙබර මොහොතවල් කොච්චර වැදගත්ද කියන එක විතරක්ම නෙවෙයි. ගම කියන්නේ උරුමය බවත් අමතක කරන්න බෑ. එතැනිනුත් එහාට ගිහින් ප්‍රේම්කුමාර් විටෙක සිහිපත් කරනවා අරගල කරන එක, සටන් කරන එක සහ වීරත්වය ගැන පවා. ජල්ලිකට්ටු වගේ සංස්කෘතිකාංගයක් උරුමයට, තමන්ගේ කමට, අනන්‍යතාවට ගැටගැසී ඇති අයුරු චිත්‍රපටියේ පෙන්වනවා. ඒ වගේම භක්තිය වගේ සංකල්පයක් අර ප්‍රබුද්ධයි කියන නාගරික හෝ උගත්යැයි කියන සමාජය බැහැර කරද්දී භක්තියේ අහිංසක මුත් සුන්දර ගති ලක්ෂණ මේ චිත්‍රපටියේදී දකින්න ලැබෙනවා.
සාමූහික පැවැත්මක් කියන්නේ එකිනෙකාට කවුද කියන එක නම් ගම් එක්ක මතකයේ සුරැකිව තබා ගැනීමේ සිට එකිනෙකා වෙනුවෙන් අරගල කිරීම දක්වා ඇදුණු එකක්.
ඕනෑ පවුලක ඉන්නවා කාර්ති වගේ ආදරේ හිතෙන කරදරකාරයෙක්. හැම වෙලාවෙම හිනාවෙලා ඉන්න කෙනෙක්. කියවන්න ගත්තාම ඉවරයක් නෑ. කිසි දෙයකින් හිත රිද්දාගන්නෙත් නෑ. ඒත්, සමහර වෙලාවට ඒ කරදරකාරයාගෙ කරච්චලය පොඩි කරදරයක් වෙනවා.
ඉතින්, ඒ පෞරුෂයට ගැළපෙන හුදෙකලාවට ප්‍රිය මැදිවියේ කල්පනාබර කෙනෙකුගේ චරිතය අරවින්ද් සාමි අපූරුවට ගේනවා. ඔහුගේ අරුල් කියන චරිතය ජීවිතේ යම් මොහොතක යමක් මගහැරුණු කෙනෙක්. ඔහු ගමට ආ පසු, කාර්තිව මුණගැසුණු පසු ටිකෙන් ටික ඒ මගහැරුණු දේයි සොයා යන්නේ.
අපි හැමෝටම පුළුල් පවුලක් තියෙනවා. අම්මා තාත්තාගෙන් සහ සීයලා ආච්චිලාගෙන් එහාට. ඒ සීයලාගේ සහෝදර සහෝදරියන්ගේ පවුල්, නැන්දලා මාමලාගේ පවුල්. මේ පවුල් ගහ මහ ඈතට රූස්සෙට විහිදෙනකොට ලොකුම ලොකු පවුලක් හැදෙනවා. අපේ කලින් පරම්පරාවල ලක්ෂණයක් තමයි ඔය පුළුල් පවුල තනි ඒකකයක් විදියට පැවතීම. ඒ පවුල උත්සවවලදී එකතු වෙනවා, බොහෝ විට ඒ පුළුල් පවුල එකම ගම්මානයක, එකම ප්‍රදේශයක ජීවත් වෙනවා. උත්සව වලද එකතුවෙලා ඒවා සමරනවා.
ඒත්, සමාජ මාධ්‍ය යුගයේදී අපි ඒ පවුල ගැන පුදුම තරහකින් තමයි කතා කරන්නේ. පවුලෙ අය සමාජ මාධ්‍යවලට ඇවිල්ලා අපේ පුද්ගලික ජීවිතවලට එබෙන හැටි ගැන අපි කතා කරනවා. අහවල් නැන්දා ඇවිත් කොච්චරවත් කසාද බඳින්නේ නැතිද කියලා කරදර කරන එකත්, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආදිය ආවාම ප්‍රතිඵලේ අහන්න නෑ සනුහරේම කෝල් කරන එක ගැනත් අපට තියෙන්නේ නුරුස්නා අදහසක්.
ඒත්, අපි හරියට බැලුවොත් ඒ නෑකම් හෝ වෙන ඕනෑ ආකාරයක හිතවත්කම් කොපමණ සුන්දර විදියට පවත්වාගෙන යන්න පුළුවන්ද? ඇත්තටම සමහර වෙලාවට අනුන්ගේ ඕපාදූප හොයනවා වාගේ හිතමින් අපට නෑ, හිතමිත්‍ර හා අසල්වැසි සනුහරයට එපා වෙන අවස්ථා තිබුණත් ඇත්තටම ගත්තොත් ඒ සම්බන්ධතා ලස්සනයි. මෙයියලගන් චිත්‍රපටියේ කතා කරන්නේ ඒ ගැන.
මේ හැරුණාම චිත්‍රපටියේ හරි සියුම් විදියට ලස්සන මනුෂ්‍ය සම්බන්ධතාවල අඩුවැඩිය ගැන කතා කරනවා.
මෙවැනි විස්කෘත පවුලක හෝ අසල්වැසි සම්බන්ධයක ඉන්න හැම පුද්ගලයාම එක හා සමාන ආර්ථික ශක්තියකින් හෙබි අය නෙවෙයි. සමාජ තත්ත්වයත් සමාන නෑ. සමහර පවුල් සහ සමහර පුද්ගලයන් ආර්ථික සහ සමාජයීය අතින් ටිකක් ශක්තිමත්. සරල බසින් කීවොත් පවුලක දුප්පත් හා පොහොසත් අය ඉන්නවා. පවුල ඇතුළේ ඉන්න බලවතුන් කරන සමහර පුංචි දේවල්, පවුලේ බලය අතින් දුර්වල අයට මහා ලොකු දේවල් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට බලය හා ධනය තියෙන පවුලක කෙනෙක් ගෙදර තියාගන්නට බැරිව විසිකරනවා වෙනුවට දුප්පත් ඥාතියෙකු අතට දෙන පුංචි දෙයක්, සමහරවිට ඇඳුමක් පැළඳුමක් පවා අර දුප්පත් කෙනාට අති දැවැන්ත සහ ලොකු දෙයක් වෙන්න පුළුවන්. ඒ අයගේ මතකයෙන් පවා ගිලිහී ගිය වචනයක්, පොඩි මිනිහාට අති දැවැන්ත දෙයක් වෙන්න පුළුවන්.
ප්‍රේම්කුමාර් කියන මේ සිනමාකරුවා මොකක්ද අපට හොයාදෙන්න උත්සාහ කරන්නේ. සාමාන්‍ය මිනිස් සම්බන්ධයක, පුංචි බැඳීමක තියෙන ජීවය, සුන්දරත්වය, උණුසුම අපට මොන තරම් මගහැරිලාද කියන එක ප්‍රේම්කුමාර් මතක් කරනවා.
ඉතින්, පුද්ගල සම්බන්ධතායි මෙයියලගන් චිත්‍රපටියේ කතාව. අධිධාවනකාරී ක්‍රියාදාම චිත්‍රපටියක් හෝ සිංදු සහ සටන් ජවනිකාවලින් පිරුණු මසාලා චිත්‍රපටියක් නොවන එය ඔබේ ජීවිතය ටිකක් මන්දගාමී මුත් රසවත් මනුෂ්‍ය සම්බන්ධතාවක් හරහා ගෙනියනවා. පුංචි පුංචි දෙබස්වලට හිනාවෙන්නට සලස්වනවා. ඒ නිසාම මෙයියලගන් බලන්නම වටිනවා. සිනමාකරුවෙක්ට කියන්නට කතාවක් නැහැ කියා හිතෙන කොටම වට්ටෝරු චිත්‍රපටියක් වෙනුවට නැවුම් කතාන්දරයක් අපට කියන්නට නැවත වතාවක් අධ්‍යක්ෂ සී. ප්‍රේම්කුමාර් සමත් වෙලා තියෙනවා.
● තරිඳු උඩුවරගෙදර