සලේ-පිල්ලෙයාන්-ගෝඨාභය ‘අශුද්ධ’ හවුල
පොහොට්ටු ජනාධිපති අපේක්ෂක වෙනුවෙන් මුස්ලිම් අන්තවාදීන්/ත්‍රස්තවාදීන් දිවි පිදුවේ ඇයි?
වෛද්‍ය නලින්ද 2021 පෙබරවාරි 01 දින කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය
හිටපු ජනාධිපති සිරිසේනත් අවධාරණය කළ ඉන්දියානු හස්තය
මලයාසියාවට තීරණාත්මක වගකීමක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2019 ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරයට ඍජුව හෝ වක්‍රව අරමුදල් සැපයුව බවට වෙබ් අඩවියක් චෝදනා කර ඇත. එම වාර්තාව අනුව 2017-2019 කාලයේදී මලයාසියාවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස සේවය කළ ඒ. ජේ. එම්. මුසාමිල් පාස්කු ප්‍රහාරය එල්ල කළ කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියාකළ සහරාන් හෂීම් මලයාසියාවේදී මුණ ගැසී ඇත. (මුසාමිල් තම අක්ත්‍ර පත්‍ර 2017 පෙබරවාරි 21 ඉදිරිපත් කළ අතර 2019 දෙවන සතිය වන විට නැවතත් කොළඹට පැමිණියේය. ඒ යහපාලන රජයෙන් නව පත්වීමක් ලබා ගැනීමටය). මෙය ඉතාම බරපතල අනිවාර්යෙන්ම විමර්ශනය කළ යුතුම චෝදනාවකි. ඊට අමතරව මෙම වාර්තාව අනුව පාස්කු ප්‍රහාරකයින්ට ලබා දුන් මුළු මුදල රුපියල් මිලියන 65 ලෙස ප්‍රකාශ කර ඇති අතර මෙම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයකු ලෙස 2020 සීනි බදු වංචාවෙන් වැඩිම ලාභ ලැබූ පුද්ගලයා ලෙස හඳුන්වා ඇත. මීට පෙර මෙම සහාසික අපරාධයට අරමුදල් සැපයුවා බවට චෝදනා එල්ල වූයේ දෙමටගොඩ මහවිල පාක් හි පදිංචි ව්‍යාපාරික මොහමඩ් යුසුෆ් මොහමඩ් ඉබ්‍රහිම්ගේ (Mohamed Yusuf Mohamed Ibrahim) පවුලටය. එජාපය ජයගත් 2015 මහ මැතිවරණයේදී ජවිපෙ (ජාතික ජන බලවේගය පිහිටු වූයේ 2019 දීය. ඒ ජනාධිපතිවරණය තරග කිරීමටය.) ජාතික ලැයිස්තුවේ සිටි ජාත්‍යන්තර කුළු බඩු ව්‍යාපාරික මොහමඩ් ඉබ්‍රහිම්ගේ පුත්‍රයන් වන මොහමඩ් ඉබ්‍රහිම් ඉන්ෆාස් අහමඩ් (Mohamed Ibrahim Infas Ahamed) සහ මොහමඩ් ඉබ්‍රහිම් ඉල්හාම් අහමඩ් (Mohamed Ibrahim Ilham Ahamed) පිළිවෙළින් සිනමන් ග්‍රෑන්ඩ් සහ ශ්‍රැන්ග්‍රිලා හෝටල්වලට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළේය. ඉල්හාම් අහමඩ් සමග ශ්‍රැන්ග්‍රිලා ප්‍රහාරයට ප්‍රහාරක කණ්ඩායමේ සහරාන් හෂීම් එක්විය. අතිශය ධනවත් මෙම ව්‍යාපාරිකයාට පුතුන් හතරදෙනකු සහ දූවරු තුන්දෙනකු සිටි අතර ස්වයං ඝාතකයින් දෙදෙනාගෙන් එක අයෙකුගේ ගැබිනි බිරිඳ දෙමටගොඩ මහවිල පාක් හි තම නිවාසයට පොලිසිය ඇතුළු වූ අවස්ථාවේදී පිපිරීමක් කර ජීවිතය විනාශ කර ගත්තේය. එම පිපිරීමෙන් ඇයගේ කුඩා පිරිමි දරුවන් දෙදෙනා සහ පොලිස් නිලධාරීන් තිදෙනක් ද මරණයට පත් වූහ.
මොහමඩ් යුසුෆ් මොහමඩ් ඉබ්‍රහිම්ට 2022 මැයි 25 වැනි කොළඹ මහාධිකරණයෙන් ඇප ලැබිණි. කල්මුණේ මහා මහාධිකරණය විසින් 2023 මාර්තු 5 වන දින සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් පාතිමා හාදීයා හට ඇප නියම කෙරිණි.
ගෝඨාභය රාජපක්ෂ උග්‍ර මුස්ලිම් විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ බවට නිරතුරුවම චෝදනාවට ලක්විය. ආරක්ෂක ලේකම්වරයා ලෙසද (2005-2015) යහපාලන සමයේදී ද (2015-2019) එම චෝදනාව වරින්වර දේශීය මෙන්ම විදේශීය පාර්ශ්වයින්ගෙන්ද විශ්‍රාමික ලුතිනල් කර්නල්වරයාට එල්ලවිය. ඡන්ද මිලියන 6.9 (52.25%) ලබා 2019 නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කිරීමෙන් පසුවද එම චෝදනාව ඔහුට එල්ල විය. එම ජනාධිපතිවරණයේදී මුස්ලිම් ඡන්ද ඔහුට ලැබුණේ නැත. ඒ ගෝඨාභය රාජපක්ෂ මුස්ලිම් විරෝධියකු ලෙස හඳුනාගෙන තිබූ නිසාය. අදටත් එම තත්ත්වයේ වෙනසක් නොමැත.
මහින්ද රාජපක්ෂ 2015 පැවැත්වූ ජනාධිපතිවරණයේදී පරාජය වීමට ද ප්‍රධානතම හේතුවක් වූයේද සමස්තයක් ලෙස සම්ප්‍රදායික මුස්ලිම් ඡන්ද පවා ඔහුට අහිමි වූ නිසාය. ඒ ගෝඨාභය රාජපක්ෂ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කර කටයුතු කළ බවට චෝදනාවට දැඩි ලෙස ලක්වූ පසුබිමකය.
නමුත් වසර 2019 අප්‍රේල් 21 දින උගත් මුස්ලිම් තරුණයින් එල්ල කළ ස්වයං ඝාතක පාස්කු ප්‍රහාර මාලාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට අවශ්‍ය අඩිතාලම දැමූ බව තවමත් චෝදනා එල්ල වේ. බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව 2023 සැප්තැම්බර් 5 වන දින විකාශනය කරන ලද Sri Lanka’s Easter Bombings’ වීඩියෝව අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂය) ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පසුබිම සැදීමට එවකට මේජර් ජෙනරාල් ධුරයේ සිටි තුආන් සුරේෂ් සලේ ස්වයං ඝාතක කණ්ඩායමක් යොදවා පාස්කු දින ප්‍රහාරය එල්ල කළේය. එම ප්‍රහාරය සැලසුම් කිරීමට සලේ ඝාතක කණ්ඩායම පුත්තලම් දිස්ත්‍රික්කයේ ස්ථානයකදී (කරදිපුවාල්හි පිහිටි පොල් වත්තකදී) පෞද්ගලිකවම හමුවී 2018 පෙබරවාරි මාසයේදී සාකච්ඡා කර ඇති බවට චැනල් 4 නාලිකාව චෝදනා කළේය.
නමුත් අදටත් පිළිතුරක් නොමැති ප්‍රශ්නය නැතහොත් ලිහා ගතනොහැකි ගැටලුව මුස්ලිම් විරෝධී ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීමට දැඩි මතධාරී ජාතික තව්හිත් ජමාත් (National Thowheed Jamath/) සහ ජමියාතුල් මිලාතු ඉබ්‍රාහිම් (Jammiyathul Millathu Ibrahim /JMI) මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක් දියත් කළේ ඇයි? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට එම සංවිධාන දෙකට තිබූ අවශ්‍යතාව කුමක්ද?
එම සංවිධාන දෙකම කිසිදු බෙදීමකින් තොරව මුස්ලිම් ජනතාව වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳව කිසිදු ආරවුලක් නැත. ජාතික තව්හිත් ජමාත් සංවිධානය සුෆි සහ ෂියා භක්තිකයින්ට ප්‍රහාර එල්ල කිරීම ද අවධානයට යොමු කරමින් ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ජිවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ යුතු බවට එම සංවිධාන දෙකට ගෝඨාභය-සලේ-පිල්ලෙයාන් ‘අශුද්ධ’ සන්ධානය ඒත්තු ගැන්වූයේ කෙලෙසද? ඇත්ත වශයෙන්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉල්ලන කිසිවකු මෙම මූලික ප්‍රශ්නයට පිළිතුරු සොයන බවක් තවමත් නොපෙනේ. මෙම ප්‍රශ්නයට නිවැරදිව පිළිතුරු සොයාගතහොත් කවුරුත් සොයනා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනා ගත හැකිය.
සිනමන් ග්‍රෑන්ඩ් (පෙරවරු 9.12) සහ ශ්‍රැන්ග්‍රිලා හෝටල්වලට (පෙරවරු 8.54) අමතරව කොළඹ පිහිටි කිංග්ස්බරි හෝටලයට (පෙරවරු 8.47) සහ කතෝලික පල්ලි දෙකකට කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයට ( පෙරවරු 8.45) සහ කටුවපිටියේ ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයට පෙරවරු 8.45) ප්‍රහාර එල්ල විය. ඊට අමතරව මඩකලපුවේ සියොන් දේවස්ථානයට පෙරවරු 9.10 ට (නුවර lighthouse දේවස්ථානයට අනුබද්ධිත) එල්ල කළ අතර ටාජ් සමුද්‍ර හෝටලයට ප්‍රහාරයක් එල්ල කිරීමට බාරව සිටි පුද්ගලයා දෙහිවල ට්‍රොපිකල් ඉන් නවාතන්පොළේදී තම බෝම්බය දහවල් 1.30 ට පුපුරුවා ගත්තේය. දෙමටගොඩ මහවිල පාක් හි පදිංචි ව්‍යාපාරික මොහමඩ් යුසුෆ් මොහමඩ් ඉබ්‍රහිම්ගේ නිවාසයේදී ඔහුගේ ලේලිය පිපිරවීම සිදුකළේ දහවල් 2.25 ටය.
පාස්කු ප්‍රහාරය සිදුකර වසර හයක් ගත වී ඇත. අද වනතුරු එම සංවිධාන දෙක තමන් එම ප්‍රහාරය එල්ල නොකළ බවට හෝ ගෝඨාභය රාජපක්ෂ දිනවීමට කටයුතු කර නොමැති බවට ප්‍රකාශ කර නැත. එවැනි තත්ත්වයක් තුළ එම සංවිධාන පාස්කු ප්‍රහාරය එල්ල කළේ කාගේ වුවමනාවකට ද යන ප්‍රශ්නය විසඳා ගත යුතුමය. පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ද්‍රවිඩ කතාකරන ප්‍රජාවටම එරෙහි ගෝඨාභය රාජපක්ෂ බවට චෝදනා කරන පාර්ශ්ව එවැනි පුද්ගලයකුට විධායක බලතල දීමට මුස්ලිම් ජාතිකයින් ස්වයං ඝාතක ප්‍රහාර එල්ල කළේ ඇයි යන ප්‍රශ්නයට ද අවධානය යොමු කළ යුතුය.
මුස්ලිම් අන්තවාදීන් ප්‍රහාරය එල්ල කළේ ගෝඨාභය වෙනුවෙන් යන ප්‍රකාශය/චෝදනාව සත්‍යය නම් අසල්වැසි ඉන්දියාවටත් 2019 ජනාධිපතිවරණයේ දී අවශ්‍ය වූයේ ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයයි.
ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන මණ්ඩලයේ සභික සහ ජාතික ජන බලවේගය (ජාජබ) විධායක කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස 2021 පෙබරවාරි 01 වැනි දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාවට ඍජුව චෝදනා කළේය. පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයකු ද වූ වෛද්‍ය ජයතිස්ස එම චෝදනාව බී.බී.සී සිංහල සේවය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී නැවතත් ප්‍රකාශ කළේය. පසුව එම ලිපිය බී.බී.සී සිංහල සේවය විසින් ඉවත් කළේය.
වර්තමාන සෞඛ්‍ය සහ මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය ජයතිස්ස එදා කළ ප්‍රකාශය පක්ෂ නායක අනුර කුමාර දිසානායක වහාම නිවැරදි කළත් එවැනි ප්‍රකාශයක් කිරීමට පක්ෂ ප්‍රබලයා පෙළඹුනේ ඇයිදැයි අදවනතුරු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන රහස් පොලිසිය විමසුව බවට වාර්තා වී නැත. නමුත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තමන් පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු දන්නා බවට 2024 මාර්තු 22 දින නුවරදී ප්‍රකාශයක් කළ සැණින් වික්‍රමසිංහ-රාජපක්ෂ රජය වහාම ඉහළ පෙළේ පරීක්ෂණයක් දියත් කළේය. සිරිසේන රහස් පොලිසිය කළ විමසීමකදී ඉන්දියාවට ඇඟිල්ල දිගු කළේය. එම පරීක්ෂණයේ වර්තමාන තත්ත්වය පැහැදිලි නැත.
ඉන්දියාවට ඇඟිල්ල දිගු කරන ඕනෑම අයෙක් ජනතාවට පැහැදිලි කළ යුතු කරුණක් ඇත. යෝජිත ප්‍රහාරය පිටුපස ඉන්දියානු බුද්ධි අංශ සිටියා නම් ඒ පිළිබඳව ඔවුන් ශ්‍රී ලංකාව දැනුවත් කළේ ඇයි? පළමුවන අනතුරු ඇඟවීම සවිස්තරාත්මකව ඉන්දියාව 2019 අප්‍රේල් 04 කළ බවට තහවුරු වී ඇත. නමුත් අද වනතුරු ඉන්දියාවට චෝදනා කරන කිසිවකු ප්‍රහාරය සැලසුම් කළ රටම ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැනුවත් කළේ ඇයි දැයි පැහැදිලි කර නැත.
යහපාලන දේශපාලන නායකත්වය සහ ආරක්ෂක සහ බුද්ධි ප්‍රධානීන් සිතා මතා ඉන්දියානු අනතුරු ඇඟවීම නොසලකා හැරියා නම් ඔවුන් එම කුමන්ත්‍රණයේ හවුල්කරුවන් විය යුතුය.
ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හෂීම් අතිශය ප්‍රචණ්ඩකාරී පුද්ගලයකු ලෙස යහපාලන රජය සමයේ පොලිසිය සහ හමුදා බුද්ධි අංශ හඳුනාගෙන තිබූ බවට අවධාරණය කළ යුතුය. ඒ ඉන්දියාව මුස්ලිම් ස්වයං ඝාතක කණ්ඩායම පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් කිරීමට සැහෙන කාලයකට පෙරය.
සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාකළ ආකාරය ජනාධිපති කොමිසම ඉදිරියේ හෙළිදරව් විය. නීතිපති දෙපාර්තමේන්තුවත් සමස්ත පාස්කු කුමන්ත්‍රණයේ පාර්ශ්වකරුවෙක්දැයි කියා සිතෙන තරමට එම හෙළිදරව්ව බලවත් විය. සහරාන් හෂීම් සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව විමසමින් 2017 ජුනි 7 වැනි දින ත්‍රස්තවාදී විමර්ශන අංශය නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ ලිපි ගොනුවට එම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවූයේ පාස්කු ප්‍රහාරයෙන් සති තුනකට පසුවය. එනම් 2019 මැයි දෙවන සතියේය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.
පාස්කු ප්‍රහාරයෙන් වසර හයකට පසුවවත් එම ‘අතපසුවීම’ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව අදාළ නිලධාරීන්ට එරෙහිව යම් පියවරක් ගනු ලැබූ බවට වාර්තා වී නැත. පාස්කු ප්‍රහාරයෙන් පසුව සති තුනක් යනතුරු නීතිපති දෙපාර්තමේන්තුවට අදාළ ලිපි ගොණුව අමතක වීම තේරුම් ගැනීමට අපහසුය. මෙම කාලයේ නීතිපති වූයේ ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරියයි. පාස්කු ප්‍රහාරයෙන් සති කීපයකට පසුව නීතිපති ධූරයට පත් වූ ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා 2021 මැයි 18 වැනි දින තමන් විශ්‍රාම යෑමට පැය 24 කට පෙර ‘සිරස’ට ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය මහා කුමන්ත්‍රණයක් (ග්‍රෑන්ඩ් කොන්ස්පිරසියක්/Grand conspiracy) බවයි. ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් අද වනතුරු කිසිදු පරීක්ෂණයක් සිදු කර නැත. ඊට හේතුව ත්‍රස්තවාදී විමර්ශන අංශයට විශ්‍රාමික නීතිපතිවරයාගේ කටඋත්තරයක් ගැනීම වළකාලමින් ඔහු ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ග බව අමුතුවෙන් කිව යුතු නොවේ.
දප්පුල ද ලිවේරා කළ අදටත් විමර්ශනය නොවූ ප්‍රකාශයට මාස 31/2 පෙර වෛද්‍ය ජයතිස්ස කළ ප්‍රකාශයට අවධානය යොමු කරමු. පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් වැඩිපුර ගොස් තිබුණේ සෞදි අරාබියට හෝ ලෙබනනයට නොව ඉන්දියාවට බව ඔහු අවධාරණය කළේය. පාස්කු ප්‍රහාරයෙන් පසුව සයින්තමරුතු ප්‍රදේශයේ සිදු වූ ස්වයං ඝාතකයින් කළ පිපිරීම්වලින් පසුව කටුවපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ අච්චි මෝහමධු හස්තුන්ගේ බිරිඳ වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජැස්මින් ඉන්දියාවට යෑමට අවස්ථාව ලබා දුන් බවද ප්‍රකාශ කළේය. ප්‍රහාරය සම්බන්ධයෙන් මුල් තොරතුරු ලබා දුන් ඉන්දියාව මහ කොමසාරිස් කාර්යාලයට හෝ තමන්ගේ අනෙකුත් ස්ථානවලට ආරක්ෂාව හෝ ප්‍රහාරයට පෙර එක්දින සංචාරයකට කොළඹට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයාට ආරක්ෂාව ඉල්ලීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ද සැක පහල කළේය. ජවිපෙ ප්‍රකාශකය අවධාරණය කළේ පාස්කු ප්‍රහාරය තමන්ට එල්ල නොවන බවට ඉන්දියාවට දැඩි විශ්වාසයක් තිබූ බවයි. එලෙසම ඉන්දියාව සාරාව ශ්‍රී ලංකාවට දෙන්නේ නැති බවත් ශ්‍රී ලංකාව ඉහළ වටිනාකම් තිබෙන එම සාක්ෂිකාරියව ඉල්ලන්නේ නැති බවත් චෝදනා කළ වෛද්‍ය ජයතිස්ස අවධාරණය කළේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අනතුරේ බවට ජනතාවට ඒත්තු ගැන්වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය ඉන්දියාව බවයි.
ඉන්දියාවෙන් සාරා තමන්ට භාර දෙන ලෙස ඉල්ලීමට කටයුතු නොකරන බවට චෝදනා කළේ ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවටයි. සාරා ව ලංකාවට භාර නොදෙන බවට චෝදනාව එල්ල වූයේ නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවටයි. ජාජබ ආණ්ඩුවට සාරා පිළිබඳව ඉන්දියාවට ඉල්ලීමක් කිරීමට දැන් අවස්ථාව ඇත.
මෑතකදී මඩකලපුවේදී අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග මත පාස්කු ප්‍රහාරය ඇතුළු අනෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුර චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් හිටපු කොටි ත්‍රස්තවාදී කණ්ඩායමේ සාමාජිකයෙකි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙරත් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කළ පුද්ගලයෙකි. යුද සමයේ 2006 දී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකු 74 හැවිරිදි මහාචාර්ය සුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැර ගැනීම සම්බන්ධයෙන් පිල්ලෙයාන් මඩකලපුවේදී අප්‍රේල් 8 වැනි දින අත්අඩංගුවට ගත් බවට පොලිසිය ප්‍රකාශ කළත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුගියදා නැගෙනහිර පළාතේ පළාත් පාලන ප්‍රචාරක රැලියකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රශ්න කරන හේතුව පාස්කු ප්‍රහාරය බවට ප්‍රකාශ කළේය.
පිල්ලෙයාන්ට එරෙහි චෝදනාව බරපතලය. චැනල් 4 ප්‍රකාශ කරන පරිදි සලේගේ අවශ්‍යතාව මත පිල්ලෙයාන් ස්වයං හමුදා නිලධාරියා සහ ස්වයං ඝාතකයින් අතර හමුවීමක් 2018 පෙබරවාරි මාසයේදී සංවිධානය කර ඇත. ඒ පුත්තලමේ ඉහත සඳහන් කළ පොල් ඉඩමේය. රහස් පොලිසිය 2019 ජනවාරි මාසයේදී පුපුරන ද්‍රව්‍ය සොයා ගනු ලැබුවේ මෙම ස්ථානයේ දීය. මෙහිදී අවධාරණය කළ යුතු විශේෂ කරුණක් ඇත. එම කාලයේ සලේ මලයාසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුයුක්ත කර සිටි අතර 2018 දී එම රටින් ශ්‍රී ලංකාවට හෝ වෙනක් රටකට යෑමට මලයාසියාවෙන් පිටවී නැත.
චැනල් 4 ආයතනය වෙනුවෙන්Sri Lanka’s Easter Bombings’ වීඩියෝව නිෂ්පාදනය කළ Basement Films ආයතනයේ Ben de Pea අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සලේගෙන් ලිඛිතව කළ විමසීමට එවකට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සලේ පිළිතුරු ඇත.
චැනල් 4 එල්ල කළ සමස්ත කුමන්ත්‍රණ චෝදනාවම රැඳී පවතින්නේ සලේ මලයාසියාවෙන් පිටවී 2018 පෙබරවාරි මාසයේදී දිනක සහරාන් හෂීම් ඇතුළු ස්වයං ඝාතන කණ්ඩායමේ පිරිසක් කරදිපුවාල්හි පිහිටි පොල් වත්තකදී රහසේ හමු වූ බව ඔප්පු කිරීමේ හැකියාව මතය. මෙම චෝදනාව කළ පුද්ගලයා හන්සීර් අසාද් මව්ලානා ය. දැනට දින 90 ක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිකුත් කළ රැඳවීම් නියෝග මත අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන කලක් පිල්ලෙයාන්ගේ සහායකයා ලෙස කටයුතු කර ඇත. චැනල් 4 නිෂ්පාදනය 2023 සැප්තැම්බර් 5 ලෝකයට ඉදිරිපත් කරනා විට පිල්ලෙයාන් වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරයෙකි. මව්ලානා ස්විට්සර්ලන්තයේ සරණාගත තත්ත්වය බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙකි. සලේ රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානියාය.
චෝදනා කරන අනෙකුත් පුද්ගලයන් අතර 2019 නොවැම්බර් මාසයේදී ලංකාවෙන් පලාගිය රහස් පොලිසියේ සිල්වා සහ නම් නොකරන ලද පුද්ගලයකු ද විය. ඊට අමතරව කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් සහ බොහෝ කාලයකට පෙර එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ජාතික ලැයිස්තුව පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අමතරව රජයේ නොයෙකුත් වගකීම් දැරු සරත් කෝන්ගහගේ ද විය. Sri Lanka’s Easter Bombings’ වීඩියෝව පෙන්වූ වහාම හදිසි මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කෝන්ගහගේ ප්‍රකාශ කළේ නිෂ්පාදකයා තමන් කළ ප්‍රකාශ විකෘති කළ බවත් තමන්ව රැවටුව බවත්ය. මහින්ද රාජපක්ෂ සමයේදී රටවල් කීපයක තානාපති ලෙස කටයුතු කළ කෝන්ගහගේ ඍජුව තමන්ව එම ක්‍රියාදාමයට සම්බන්ධ කළ ලියුම්කරුගේ මිත්‍රයෙක් වන ප්‍රශ්නගත කාලයේදී සිරස ආයතනයට සේවය කළ ෆරාස් ශෞකට්අලිට ඇඟිල්ල දිගු කළේය. ශ්‍රී ලංකා පදනම් ආයතන භූමියේ පවත්වාගෙන යන පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැත්වූ එම සාකච්ඡාවේදී කෝන්ගහගේ අපූරු ප්‍රකාශයක් කළේය. පුදුමාකාර ප්‍රකාශයක් කීවත් කමක් නැත. හිටපු රාජ්‍යතාන්ත්‍රිකයා ප්‍රකාශ කළේ තමන් දැන සිටියේ නිෂ්පාදකයා මහා බ්‍රිතාන්‍යයේ ITN ආයතනය බවත්ය.
පාස්කු ප්‍රහාරය සහ ඒ පිටුපස ඇති අප්‍රසන්න සත්‍යය ගැඹුරින් විමසිය යුතුය.
මෙම ලියුම්කරු කළ විමසීමකදී ජාතික තව්හිත් ජමාත් සංවිධානය කිසිසේත්ම මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් පෙනී නොසිටිය බවට විශ්‍රාමික රාජ්‍යතාන්ත්‍රිකයකු පැවසීය. සුන්නි ඉගැන්වීම දැඩි ලෙස අනුගමනය කළ ජාතික තව්හිත් ජමාත් සංවිධානය සුෆි සහ ෂියාවරුන්ට එලවා එලවා පහර දීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. අතිශය ආක්‍රමණකාරී ප්‍රතිපත්තියක් 2014 සිට පමණ අනුගමනය කළ එම සංවිධානය 2015 ජනාධිපතිවරණයේදී යහපාලන අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට සහයෝගය පළ කළ අතර 2015 මහ මැතිවරණයේදී මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට තරග කළ පක්ෂ සමග අවබෝධය පැමිණිය බව රහසක් නොවේ. අදාළ පක්ෂවලට එම සංවිධානය සමග කටයුතු කිරීමට සිදුවිය. ගිවිසුම්ගතවූ පුද්ගලයින්ට එම සංවිධානය සහයෝගය පළ කර අතර එසේ නොවූ අයට එරෙහිව කටයුතු කරන ලදී. නමුත් එම වෑයම සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.
මහාචාර්ය රාජන් හූල් ලිවූ ‘Sri Lanka’s Easter Tragedy (When the Deep State Gets Out of Its Depth’ මහින්ද හත්තක විසින් ‘පාස්කු ඛේදවාචකය: රහස් හස්තය එස වූ විට’ ලෙස පරිවර්තනය කරන ලදි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන් සුනන්ද දේශප්‍රියගේ පාස්කු ඉරිදා ප්‍රහාරය: පෞර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසඳුණු අභිරහස් මෙන්ම කතෝලික පල්ලිය ප්‍රකාශයට පත්කළ ‘තිත’ ද කියවිය යුතුමය. මහාචාර්ය හූල් (හතර වන පරිච්ජේදය, 32/33 වන පිටු) සහරාන්ගේ සංවිධානයේ අනුග්‍රහය ලැබූ කිසිවකු 2015 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට පත් නොවීය. එම පසුබෑම තුළ ජාතික තව්හිත් ජමාත් සංවිධානය වඩාත් ආක්‍රමණකාරී පිළිවෙතක් අනුගමනය කිරීමට පෙළඹීම පෙන්වා, එම ආක්‍රමණික පිළිවෙත අනුව පාස්කු ප්‍රහාරය එල්ල කළ බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. කොටි සංවිධානයේ අතකොළුව වූ ද්‍රවිඩ ජාතික සන්ධානය (Tamil National Alliance/TNA) මෙන් පාර්ලිමේන්තුවේ ආසන දිනාගැනීමට නොහැකිවුවත් තමන්ගේම දේශපාලන කණ්ඩායමක් බිහිකිරීම කර්තෘවරයා ජාතික තව්හිත් ජමාත් සංවිධානය ලබා ගත් සැලකිය යුතු ජයක් ලෙස අවධාරණය කළේය. 1987-1990 කාලයේ ජවිපෙ භීෂණය සම්බන්ධයෙන් ශ්‍රීලනිපය ක්‍රියාකළ ආකාරයත් කොටි ත්‍රස්තවාදය සම්බන්ධයෙන් TNA අනුගමනය කළ පිළිවෙතත් සමග මුස්ලිම් පක්ෂ තව්හිත් ජමාත් සංවිධානයට දැක්වූ ප්‍රතිචාරය සැසඳූ මහාචාර්ය හූල් අදාළ පක්ෂ නිර්දය ලෙස විවේචනය කළේය. ඔහු මෙලෙස සඳහන් කර ඇත: “මෙය දුෂ්ට බලවේග සමග රහස් ගිවිසුම්වලින් බැඳී සිටින නියෝජිතයන් තම ඡන්දදායකයින්ගේ විශ්වාසය පාවා දුන් අවස්ථාවකට තවත් නිදසුනකි.”
පාස්කු ප්‍රහාරයෙන් දින කීපයකට පසුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ එවකට මන්ත්‍රීවරයකු වූ එම්. ඒ. සුමන්තිරන් අවධාරණය කළේ සුළු ජාතිකයින්ගේ අයිතිවාසිකම් සහ දුක්ගැනවිලිවලට සවන්දීමට රජය සූදානම් නොමැති නම් මෙවැනි සිද්ධීන් සිදුවිය හැකි බවට අනාවැකි පළ කළේය. එම ආන්දෝලනාත්මක ප්‍රකාශය කළේ ‘අනිද්දා’ පුවත්පතේ පළමුවන සංවත්සරය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වූ උත්සවයකදීය. මෙම ලියුම්කරු එම අවස්ථාවට සහභාගි වූ අතර ජනාධිපති නීතිඥවරයා පාස්කු ඉරිදා සහාසික අපරාධය සාධාරණීකරණය කළේ මියගිය පුද්ගලයින් 280 සහ තුවාල ලැබූ පුද්ගලයින් 500 අතර ද්‍රවිඩ ජාතිකයින් රාශියක් සිටින බව නොසලකා හරිමිනි. වෙනත් පුද්ගලයකු මෙවැනි ප්‍රකාශයක් කළා නම් දැඩි විරෝධතාවයක් එල්ල වීමට ඉඩ තිබිණි. මෙම ලියුම්කරු ජනාධිපති කොමිසමට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළේ එවැනි අපරාධයක් මොනයම්ම තත්ත්වයකදීවත් සාධාරණීකරණය කළ නොහැකි බැවිනි. නමුත් ජනාධිපති කොමිසම ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නැත.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ