RDB බැංකුවේ නව සභාපති ලසන්ත ප්‍රනාන්දු

100

දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවෙහි නව සභාපතිවරයා ලෙස ලසන්ත ප්‍රනාන්දු මහතා පත්විය.

“RDB බැංකුවේ සභාපති ධුරය මම පැකිළීමකින් තොරව භාර ගත්තේ අපේ සමාජයේ බිම් මට්ටමේ අයට සේවය කිරීමේ දීර්ඝකාලීන අපේක්ෂාවක් ඉටු කිරීමේ අවස්ථාවක් ලැබෙන බැවිනි. ශක්තිමත්, කැපවූ ශ්‍රම බළකායක් සහ විහිදුණු ශාඛා ජාලයක් සහිත RDB බැංකුව තුළින් ඒ සඳහා යම් දායකත්වයක් දිය හැකි බව මගේ විශ්වාසයයි.”

අපගේ ඉලක්කය වනුයේ ව්‍යවසායකයන්ගේ ජීවනෝපායන් නඟාසිටුවීම, නව අවස්ථා නිර්මාණය කිරීම සහ රැකියා උත්පාදනය කිරීම – අවසානයේ අපගේ දේශීය ආර්ථිකයේ වර්ධනයට ඔවුන් දායක කරවීමයි. අපි එක්ව ලාංකික ප්‍රජාව සවිබල ගැන්වීම සහ සැමට දීප්තිමත් අනාගතයක් ගොඩනැඟීම සඳහා කටයුතු කරනවා” යැයි ලසන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

ලසන්ත ප්‍රනාන්දු මහතා හැටන් නැෂනල් බැංකුවෙහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ලෙස කලාප කළමනාකරුවන්, ක්ෂේත්‍ර සහ ශාඛා කාර්ය මණ්ඩලය සමග ඉතා සමීපව කටයුතු කරමින් ඉලක්ක සහ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් මෙහෙයවීම සහ පෙලඹවීම සිදු කළේය. එසේම HNB බැංකුව සහ නේපාලයේ ලක්ෂ්මී බැංකුව අතර තාක්ෂණික සේවා ගිවිසුමක් යටතේ එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ලෙසද වසරක් සේවය කර ඇත.

ඔහු ආසියානු සංවර්ධන බැංකුව (ADB) Vision Fund Lanka සහ Sejaya Micro Credit Ltd ආයතනයන්හි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන ක්ෂේත්‍රයේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයන්හි ව්‍යාපෘතීන්හි ද අත්දැකීම් ලබා ඇත. එමෙන්ම ඔහු රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ්හි විධායක නොවන මට්ටමේ ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙස ද අධ්‍යක්ෂ මණ්ඩල විගණන කමිටුවේ සභාපති ලෙස ද කටයුතු කර ඇත.

ඒ වගේම බැංකුකරුවන්ගේ ආයතනයේ යාවජීව (FIB) සාමාජිකයකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති (MBA) උපාධිධරයෙකි. එසේම ඔහු ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලයේ කැපීපෙනෙන ආදි ශිෂ්‍යයෙකි.


advertistmentadvertistment