සල්ලිවලට ගන්න බැරි ගොඩක් දේවල් මගේ ජීවිතයට හම්බ වුණා
වනවාසී වෙලා ජීවත් වෙන්න ඕනෑ

ගයේෂා පෙරේරා මේ වන විට ජීවත් වෙන්නේ ඇමරිකාවේ. හැබැයි ඒ වුණාට ගයේෂා ලංකාවේ ඉන්න කාලේ කරපු චිත්‍රපට තවම තිරගත වෙනවා. එහෙම වැඩක් මේ දවස්වල ප්‍රදර්ශනය වෙනවා. ඉතිං ඒ නිසා අපි ගයේෂා පෙරේරාට ඉඩක් වෙන් කරන්න හිතුවා.

ගයේෂා කොහොමද ඉතින්?

හොඳින් ඉන්නවා. පවුල එක්ක කොහේ හිටියත් සැපයි නේ.

ඔබ රංගනයෙන් දායක වුණ බඹර වසන්තය චිත්‍රපටය තිරගත වෙනවා නේද?

ඔව්. හරියටම අවුරුද්දකින් තවත් චිත්‍රපටයක් තිරගත වෙනවා. මම එහෙම කිව්වේ හරියටම ගිය අවුරුද්දේ මේ වෙද්දී ඉගිල්ලෙන මාළුවෝ තිරගත වුණා. මේ අවුරුද්දේ බඹර වසන්තේ මම හරිම අසාවෙන් කරපු චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම මං හරිම ආසයි මොහාන් නියාස් මහත්තයාගේ වැඩවලට. ඔහුගේ ආරාධනාව මම හරිම ඉහළින් භාර ගත්තා.

මොකද හිතෙන්නේ කාලෙකින් චිත්‍රපටයක් තිරගත වීම ගැන?

අවුරුද්දට එක ගානේ ආවම මදිද? (සිනාසී). මං හිතන්නේ මං පුදුම වාසනාවන්ත මනුස්සයෙක්. ලංකාවේ ඉන්නේ නැතුවත් කවදාවත් මාව අමතක කරන්න බැරි තරමට මම මගේ ප්‍රේක්ෂකාගාරය හදාගෙන අවසන්. චිත්‍රපට රංගන ශිල්පිනියක් වීම මම ලබපු තවත් ජයග්‍රහණයක්.

මට දැන් බංකොලොත් දේශපාලකයෝ එක්ක වැඩ කරන්න වුවමනා නෑ - ගයේෂා පෙරේරා

ලංකාව දාලා ආපු එක ගැන දුකයිද?

ලෝකේ කොහේ හිටියත් ලංකාව තරම් ලස්සන රටක් හොයන්න බැහැ.

මේ වෙනකොට මම ලෝකේ රටවල් පහළොවකට විස්සකට විතර ගිහින් තියෙනවා. ඒත් ලංකාව තරම් ලස්සන රටක් ලෝකේ කොහේවත් නැහැ.

බඹර වසන්තයේ චිත්‍රපටයට ආරාධනාව ලැබුණේ කොහොමද?

ඇත්තටම ආරාධනාව අරන් ආවේ මොහාන් නියාස් මහත්මය එක්ක ජගත් ගලප්පත්ති අයියා” චන්න අයියා” බුද්ධික අයියා” චංචලා” ටනාශ වැඩේ ඉන්නවා කිව්වම වැඩ කරන්න ආස හිතුණා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ වේශ නිරූපණය ගයනි අක්කා. නර්තන අධ්‍යක්ෂ ශාන් පෙරේරා සර් මේ අය ඒ අතර විශේෂයි.

මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ.?

මම ඉපදිලා තියෙන්නේ ඒ ආදරය ලබන්න නම්, ඒක මම ලැබූ එක්තරා පිනක්.

ආපහු රඟපාන්න අදහසක් නැද්ද?

තාම පොඩි කොමාවක් තියල ඉන්නේ. එත් මම ළඟදීම මගේම චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් පටන් ගන්න අදහසක් තියෙනවා. මගේ වැඩක් මටම ඕනේ විදිහට, සමාජයට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් වැඩක් අවුරුද්දකට එක වැඩක්වත් කරන්න අදහසක් තියෙනවා.

ඇමරිකාවේ හිටියත් රඟපෑමට ආරාධනා ලැබෙනවා කියන්නේ ඇත්තද?

ඔව් ඇත්තටම. ගොඩක් නිෂ්පාදකවරු. අධ්‍යක්ෂවරු මගෙන් වැඩවලට සම්බන්ධ වෙන්න ඉල්ලීම් කරලා තියෙනවා. මගේ කාලය දැනට වැඩකට යොදවන්න බැරි තැනක මම ඉන්නේ. ඒ මගේ ව්‍යාපාර කටයුතු නිසා.

ළඟකදී ලංකාවට එන්න අදහසක් නැද්ද?

එන්න ඕනෑ (සිනාසී).

දැන් දේශපාලනයෙනුත් ඈත්වුණාද?

මම දැන් මට අවශ්‍ය විදිහට පුළුවන් හැමවෙලේම උදවු කරනවා. ඒත් මට ආයෙත් බංකොලොත් දේශපාලකයෝ එක්ක වැඩ කරන්න ඕනෑවෙන එකක් නැහැ. මම මට පුළුවන් දේ කරන්න බලනවා.

ඇත්තටම තව චිත්‍රපට කීයක් විතර තියෙනවද තිරගත වෙන්න?

තව චිත්‍රපට තුනක් එන්න තියෙනවා. ඒ අතර ලකී ඩයස් මහත්තයා අධ්‍යක්ෂණය කරපු Breaking News චිත්‍රපටය විශේෂයි.

සැමියා සහ දරුවා සමඟ ඇමරිකාවේ ගෙවන ජීවිතය මොන වගේද?

සුන්දරයි, විශේෂයි, හරිම ආදරණීයයි. පුතා ලොකු වෙනවා දකින එක අපි දෙන්නටම තියෙන්නේ පුදුමාකාර සතුටක්. දෙමවුපියෝ හැටියට අපි ලස්සනට ජීවිතේ ගෙවනවා. මෙහෙ හිටියත්, ලංකාවේ හිටියත් වගකීම්, වගකීම්මයි.

රංගනයෙන් සම්පූර්ණයෙන් ඈත් වෙලාද?

මේ ජීවිතේ පොඩ්ඩක් වනවාසී වෙලා ජීවත් වෙන්නත් ඕනෑ. යථාර්ථයට මුහුණ දෙන්න අපි, අපිම වෙලා දකින්න ඕනේ. ඉතිං රඟපෑම මම කවදාවත් මගේ ජීවිතේ කරගත්තේ නැහැ. අදටත් රඟපෑම කියන්නේ මට මගේ එක් දක්ෂතාවක් විතරයි. මම ආසයි මගේම වැඩක් කරන්න” බලමු.

ලංකාවේ හිටියානම් රංගනයෙන් මීට වඩා දුරක් ඒවි කියලා හිතෙන්නේ නැද්ද?

මම හිතන්නේ යන්න පුළුවන් උපරිම දුර මම ආවා. විවිධ චරිත තව කරන්න තිබ්බා කියල හිතෙනවා. අවස්ථාවන් මඟ හැරෙන්න ඇති. ඒත් ඉදිරිය මීට වඩා සුබවාදීව දකිනවා.

ජාත්‍යන්තරය ජයගත් රූ රැජනක් විදිහට ලංකාවේ රූ රැජන තරගාවලිය ගැන මොකද හිතන්නේ?

අනේ මන්ද, දැන් ටිකක් වැහිවැහලා වගේ, රූ රැජනලා ගොඩක් ඉන්නවා. රූ රැජන තරගාවලි ගොඩක් තියෙනවා. ඒ කාලේ ඒ වගේ ගොඩක් තිබුණේ නැහැ. දැන් ඊට වඩා වෙනස්. හැබැයි සතුටු වෙන්න තියෙන අවස්ථාවන් වැඩියි. එච්චරයි. මම ඇමෙරිකාවේ මිස් ශ්‍රී ලංකා USA 2024 රූ රැජන තරගාවලියක් කරනවා. ඇමරිකාවේ සිටින ලංකා සම්භවයක් ඇති සියලුම යුවතියන්ට තව මාසෙකින් ඉල්ලුම් කළ හැකියි.

ඇමරිකාවේ රැකියාවක් කරනවද?

ඔව්. මම මගේම ව්‍යාපාරයක් කරනවා, දරුවන් වෙනුවෙන් වෙන්වුණ දිවාසුරැකුම් මධ්‍යස්ථානයක්. ඒ වගේම ළමාවිය සංවර්ධනය පිළිබඳව ලොස් ඇන්ජලීස් UCLA විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නවා. මධ්‍යස්ථාන පරිපාලන අවසන් අදියරේ තමයි දැන් ඉගෙන ගැනීම සිදුකරන්නේ.

ලංකාවට ඇවිත් ආපහු රඟපාන්න ඕනෑ කියලා හිතෙන්නෙ නැද්ද?

අනිවාර්යෙන්ම ආසයි.

ජීවිතය ගැන ආපස්සට හැරලා බලනකොට මොකද හිතෙන්නේ?

සතුටුයි.

කලකිරීම්, පසුතැවීම් එහෙම තියෙනවද?

අපොයි නැහැ. ජීවිතේ හැමදේම හරිම වෙලාවේ ලැබුණා. මට සතුටුයි මගේ ජීවිතේ ගැන.

අද ඔබ ගෙවන ජීවිතය ගැන මොකද හිතන්නේ?

මම මගේ පවුල එක්ක හරියට සතුටින් ඉන්නේ. මම හොඳම තීරණයක් අරන් හරිම ස්ථාවර විදිහට ජීවත් වෙනවා. ඒක තමයි සතුට. සල්ලිවලට ගන්න බැරි ගොඩක් දේ අද මගේ ජීවිතේ හම්බවෙලා තියෙනවා. හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා බඹර වසන්තේ චිත්‍රපටය නරඹන්න කියලා. ඒක නියම බයිස්කෝප් එකක්.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment