ඉන්ධන මිල වැඩි වුණාම මධ්‍යම රාත්‍රියේම ගාස්තු වැඩි කරනවා…අඩු වුණාම සද්ද නෑ
ජනතාව
ඉන්ධන මිල අඩු වුණා කියන්නේ මුළු රටේම මහජනතාවට දැනෙන සහනයකි. එහෙත් පසුගිය මස 30 වැනිදා රජය මගින් සිදුකළ ඉන්ධන මිල සංශෝධනය තුළින් ඉන්ධන මිලෙහි කැපී පෙනෙන අඩුවක් සිදුවුණ ද මේ වනවිට බස් රථ මගී ගාස්තු හා අනෙකුත් ප්‍රවාහන ගාස්තු අඩුවී නැත. ඉන්ධන මිල ඉහළ යන අවස්ථාවන්හිදී එදින මධ්‍යම රාත්‍රියේ සිටම මගී ගාස්තු, කුලී ගමන් ගාස්තු වැඩි කරන පාර්ශ්වයන් පසුගිය ඉන්ධන මිල අඩුවීමේ වාසිය මගීන්ට දෙන්නට මේ වනවිට ද කටයුතු කොට නැත. එහෙත් සිදුවිය යුත්තේ එය නොවේය. අඩුවූ ඉන්ධන මිලේ සහනය රටේ මහජනතාවට ලැබිය යුතුවීමය. රජය මගින් ඉන්ධන මිලේ යම් සහනයක් ජනතාවට ලබාදුන්න ද අද වනවිට එය මගී ජනතාවට නොයෑම සමාජයේ බලවත් ගැටලුවකි. මේ කතාව ද ජීවනබරින් බැටකන සමාජයක රජය මගින් ලබාදුන් ඉන්ධන මිල සහනය ජනතාවට තවමත් නොලැබෙන්නේ ඇයිද යන්න ය.
පහළ ගිය තෙල් මිල
බස් ගාස්තු අඩු කරන්න අපිට 4%ක ප්‍රතිශතයක් ඇවිත් නැහැ
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න
පසුගිය මස 30දා සිදුකළ මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේ ය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුවූ අතර එහි නව මිල රුපියල් 293කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුවූ අතර එහි නව මිල වන්නේ රුපියල් 341කි. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 325කි. ලංකා භූමිතෙල් මිල ද රුපියල් 85කින් පහළ දැමුණු අතර එහි නව මිල වන්නේ රුපියල් 178කි.
අප පෙරකී පරිදිම ජීවනබරින් මිරිකී සිටින රටේ ජනතාවට ඉන්ධන මිල අඩුවීම යනු ජීවන වියදමේ යම් සහනයක් සැහැල්ලුවක් ගෙන දෙන්නක් බව අමුතුවෙන්ම කිව යුතු ද නැත. පසුගිය කාලය තුළ මෙරට ආර්ථික අර්බුදයකට මුහුණදීමත්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑම හේතුවෙන් මෙරට ඉන්ධන මිල ඉහළ යන්නට වූයේ රොකට්ටුවකටත් වඩා වේගයෙනි. ඒ අල්ලපනල්ලේම මෙරට ප්‍රවාහන ගාස්තු හා බඩු ුමිල ද ඉහල යන්නට වූයෙන් රටේ ජනතාවට සිදු වූයේ කබලෙන් ලිපට වැටෙන්නට ය. තව ද අපේ රටේ ජනතාවට තෙල් නැව් එනතුරු මුහුද දිහා බලා සිටි කාලයක් තිබුණේය. තෙල් ටික ගන්නට පෝළිම් තුළ දින ගණන් සිටි කාලය ද රටේ ජනතාවට කිසිදා අමතක නොවනු ඇත. එවන් දුෂ්කර කාලයක් පසුකළ ජනතාවට අඩු කළ ඉන්ධන මිලේ වාසිය අද නොලැබෙන ගානය. එයට හේතුව මෙරට මගී ප්‍රවාහනයේ යෙදෙන මගී ප්‍රවාහන සේවාවන් අඩුවූ තෙල් මිලේ සහනය ජනතාවට දෙන්නට කටයුතු නොකරන නිසාය.
අද වනවිට මෙරට ජනගහනයෙන් වැඩි කොටසක් තම ගමන් බිමන් සඳහා භාවිත කරන්නේ පෞද්ගලික බස් රථ සේවාව හා ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවාව ය. තවත් කොටසක් දුම්රිය සේවාව ද ලබා ගනිති. ඊට අමතරව ත්‍රිරෝද රථ සේවාව ලබා ගන්නා පිරිසද අති විශාලය. එහෙත් මේ කියන මගී ප්‍රවාහන සේවාවන් වල මිල ගණන් අඩු නොවීම පිළිබඳව අද වනවිට මගී ජනතාවට ඇත්තේ කලකිරීමකි. ඔවුන් කියන්නේ තෙල් මිල අඩුවීම නිසා මගී ගාස්තුවේ සැලකිය යුතු අඩුවීමක් සිදුකළ යුතු බවය. එහෙත් මෙරට මගී ප්‍රවාහනයේ යෙදෙන්නන් කියන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවකි. ඔවුන් කියන්නේ රජයේ ඉන්ධන මිල පහත හෙළීම මගී ගාස්තුව පහත හෙළීමට තරමේ ප්‍රමාණවත් නොවන බවකි.
අඩු නොවන ගාස්තු ගැන කියන කතාව
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියන්නේ තෙල් මිල පහත දැමීමට ආණ්ඩුව කටයුතු කළ ද බස් ගාස්තු පහත නොදැමීමට තම සංගමය තීරණය කර ඇති බවය. පසුගියදා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ රුපියල් 12කින් ඩීසල් මිල අඩු වුව ද බස් ගාස්තු සංශෝධනයක් නොවන බවය.
“බස් ගාස්තු අඩුකරන්න මේ වෙලාවේ අපට හැකියාවක් නෑ. අපි මිල සූත්‍රයේ වසර 20ක් පුරාවටම සිටිමින් කටයුතු කරනවා. ඒක ජනතාවට අවබෝධ විය යුතුයි. එම මිල සූත්‍රයට පටහැනිව අපි කටයුතු කරලා නෑ. ඒ නිසා මේ වෙලාවේදී කවුරුත් බලාපොරොත්තු වෙන්න එපා ආණ්ඩුව රුපියල් 12කින් තෙල් අඩු කළා කියලා බස් ගාස්තු අඩුකරන්න ඕනෙ කියලා. එහෙම කරන්න හැකියාවක් නැහැ. මොකද අපිට 4%ක ප්‍රතිශතයක් ඇවිත් නැහැ. මේ පිළිබඳව අවධානය යොමුකරන්න පුළුවන් ජූලි මාසයේ සිදුවන වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී. මේ මාසයේ බස් ගාස්තු අඩුකරන්න නෛතික හැකියාවක් නෑ.” සභාපතිවරයා එසේ කියන්නේ ය.
තෙල් මිල රුපියලකින් දෙකකින් වැනි සුළු මුදලකින් පවා ඉහළ ගියහොත් මගී ගාස්තුව වැඩිකරන්න කියා ඉල්ලන බොහෝ උදවිය තෙල් මිල අඩුවෙද්දී කියන කතා ගැන අප පුදුම විය යුතු ද නැත. ඉන්ධන මිල කුඩා මුදලකින් අඩුවුව ද එහි සම්පූර්ණ වාසිය ගන්නේ ඔවුන් මිස මගියා නොවේය. රටේ ඉන්ධන මිල ද එකම තැනක රඳා නොපවතින බව සැබෑය. එය විවිධ අවස්ථා පාදක කරගෙන උච්ඡාවචනය වන්නකි. එහෙත් අපේ රටේ ඉන්ධන මිල වැඩි වනවිට වැඩිවන මගී ගාස්තු ඉන්ධන මිල අඩුවන විට අඩු නොවන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. ඇතැම් විට එයට හේතුව බස් රථ සංගම් වලට ඇත්තේ ඔවුන්ගේම වාසියට හදාගත් සූත්‍රයක් විය හැකිය.
ත්‍රිරෝද රථ ගාස්තුත් එහෙමමයි
ඉන්ධන මිල පහත දැමුවත් ත්‍රිරෝද රථ ගමන් ගාස්තු වල මිල අඩුවීමක් නෑ
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය මගින් කියා සිටින්නේ රජය මගින් ඉන්ධන මිල පහත දැමුවත් ත්‍රිරෝද රථ ගමන් ගාස්තු වල මිල අඩුවීමක් ද සිදු නොවන බවය. ඉන්ධන මිල අඩුවුව ද මගී ගාස්තුව අඩු නොවීම පිළිබඳව එහි සභාපති ලලිත් ධර්මසේකර වැඩිදුරටත් අප වෙත කියා සිටියේ මෙවැන්නකි.
“අපේ ප්‍රවාහන ගාස්තු සම්බන්ධව සූත්‍රයක් තියෙනවා. ඒ අනුව ඉන්ධන මිල අඩු වනවිට ගාස්තු අඩු වෙනවා. වැඩි වනවිට ගාස්තු වැඩි වෙනවා. ඒත් දැන් සියලුම ත්‍රිරෝද රථ අමතර කොටස් වල මිල එකට එකකින් ඉහළ ගිහින්. දැන් ඉන්දියාවේ යුදමය වාතාවරණයත් එක්ක අමතර කොටස්වල මිල තවත් ඉහළ යනවා. ඒ නිසා පෙට්‍රල් මිල, ඩීසල් මිල අඩු වුණා කියලා එකෙන් වාසියක් අපට ලැබෙන්නේ නැහැ. අනික රුපියල් 6කින් තෙල් අඩු වුණා කියලා ගාස්තු වලින් දැනෙන සහනයක් මගීන්ට දෙන්න අමාරුයි. අපි කියන්නේ තෙල් මිල අඩු කරන්න ඕනෙ මහ පොළොවට දැනෙන යථාර්ථයක් වෙන විදිහට. අපි කියන්නේ වගකිව යුත්තෝ කර අරින්න එපා. ත්‍රීවිල් සංගම් වලට තවදුරටත් ගාස්තුව තීරණය කරන්න හැකියාවක් නැහැ.”
මේ කියන දෙපාර්ශ්වයම කියන ආකාරයට රජය මගින් ඉන්ධන මිල පහත දැමූව ද එහි සැබෑ වාසිය පාරිභෝගිකයාට ලැබීම යනු විහිළු කතාවකි. පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති කියන ආකාරයට ද ඩීසල් මිල රුපියල් 12කින් අඩු වුණ ද එය ඔවුන්ගේ ප්‍රතිපත්තිය අනුව ගමන් ගාස්තු අඩු කිරීමට ප්‍රමාණවත් නැත. ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති කියන්නේද එම කතාවමය. ඒ විතරක් නොවේය. ඉන්ධන මිලේ සහනය මගී ජනතාවට ලබාදිය නොහැකි බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ද කියයි. එහි අධ්‍යක්‍ෂ ජනරාල් නයෝමි ජයවර්ධන කියන්නේ ්ද පවතින මිල සූත්‍රය අනුව බස් ගාස්තු මිල අඩු කිරීමක් සිදු කිරීමට නොහැකි බවය.
ඉහළ ගියත් පහළට නොවැටෙන ගමන් ගාස්තු
අපේ රටේ බස් ව්‍යාපාරිකයා හා මගී ප්‍රවාහනයේ යෙදෙන්නෝද කලදුටුකල වළ ඉහගන්නට දක්‍ෂය. කපටිය. පසුගිය කාලය පුරාවටම මෙරට ඉන්ධන මිල කෙමෙන් පහළ ගිය ද ගමන් ගාස්තු පහළ දැමීමක් ද සිදු නොවුණි. ඇතැම් කාලවලදී බස් ගාස්තුව අඩු වූයේ ද ජනතාවට දැනෙන මුදලකින් ද නොවේ ය. “ගාස්තු අඩු කරන්න 4්‍රක ප්‍රතිශතයක් ඇවිත් නැහැ” ඔවුන් එසේ කියමින් කරන්නේ ඉන්ධන මිල වැඩිවූ විට ගමන් ගාස්තු වැඩි කිරීමත් ඉන්ධන මිල අඩුවූ විට සූත්තරයක් පෙන්වා දීමය. අඩුම තරමේ ගෙවන මුදල ගෙවන මුදලට ටිකට් පතක් දෙන්නට ද ක්‍රියා නොකරන කොන්දොස්තරලා ද ඕනෑ තරම්ය. මගියාට ඉතිරි රුපියල දෙක ඉල්ලන්නට කොන්දොස්තරවරයා හා බහින් බස් විය යුතුය. මෙවැනි බස් රථ වලින් මගීන්ට සිදුවන හිරිහැර සහ අකටයුතුකම් සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිවලට ද ජනතාව පැමිණිලි කළ ද ඔවුන් ද එම පැමිණිලි විභාග කරන්නේ පැමිණිලිකරුවන්ගේ මුහුණ දෙස බලාය. ජාතික පොදු ප්‍රවාහනයේ ගාස්තු තීරණය කළ යුතු වන්නේ ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා වුව ද අද වනවිට බස් ගාස්තුව තීරණය කරනු ලබන්නේ ද බස් සංගම් වීම ද කනගාටුවට කරුණකි.
මේවා පිළිබඳව සොයා බලන්න, ක්‍රමවේදයක් සැකසිය යුතුයි
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ
පවතින තත්ත්වය පිළිබඳව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාගෙන් අපි විමසීමක් කළෙමු.
“ඉන්ධන මිල වැඩි වුණාම බස් රථ සංගම්, ත්‍රිරෝද රථ සංගම් කටයුතු කරපු විදිහ අපට මතකයි. ඒ අය රුපියල් 3කින් 2කින් තෙල් වැඩි වුණත් බස් ගාස්තුව වැඩි කරනවා. ත්‍රිරෝද ගාස්තුවත් වැඩි කරනවා. හැබැයි පසුගිය කාලය මුළුල්ලේම ඉන්ධන මිල අඩු වුණාට ගමන් ගාස්තුව අඩු කරන්න ඒ අය ක්‍රියා කළේ නෑ. ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ මිල සූත්‍රයක් තිබුණාට කොමිෂන් සභාවත් පාරිභෝගිකයාගේ පැත්තට වාසිවෙන ආකාරයට හදපු වගක් පේන්න නැහැ. මේ නිසා තමයි අපි නිතරම ඉල්ලුවේ මේ ගැන හොයල බලන්න කියලා. අපේ රටේ ඉන්ධන මිල නිතරම උච්ඡාවචනය වෙනවා. ඒත් වෙන රටවල හැම මාසෙම එහෙම වෙන්නේ නැහැ. කාලයක් එක විදිහට පවතිනවා. මේ නිසා අපේ රටේ භාණ්ඩ හා සේවාවල මිල නිතරම උච්ඡාවචනය වෙනවා.
පසුගිය අවුරුදු කිහිපයක ඉතිහාසය බැලුවොත් තෙල් මිල අඩුවෙන කිසිම අවස්ථාවක සේවා ගාස්තු අඩුවෙලා නැහැ. දැන් මේක ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක් වෙලා. තෙල් මිල වැඩි වුණදාම එදා රාත්‍රියේ සිටම බස් රථ ගාස්තු වැඩි වෙනවා. එයාල කියන්නේ ඒ අය ජාතික ප්‍රතිපත්තියකට අනුව ගාස්තු ක්‍රියාත්මක කරනව කියලා. ඒත් හරියට බැලුවොත් අඩුවූ තෙල් මිලේ සහනය මගියාට, පාරිභෝගිකයාට යන්නේ නැහැ. මේක එයාලගේ ලාභය වැඩි කරගන්න හදපු කූට ක්‍රමවේදයක්. අපි කියන්නේ මේවා පිළිබඳව සොයා බලන්න නියාමනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් සැකසිය යුතුයි කියලයි. එතනදී ත්‍රිරෝද රථයකට, බස් රථයකට තෙල් ලීටරයකින් කොපමණ දුරක් ධාවනය කරන්න පුළුවන් ද, ටයර් වේස්ට් එක, එන්ජින් වේස්ට් එක, රියැදුරාගේ වැටුප හා ලාභය ගැන හොයලා තීරණයක් කරන්න පුළුවන් ක්‍රමයක් සෑදිය යුතුයි. මේක කරන්න ස්වාධීන ආයතනයක මැදිහත්වීමක් තිබුණොත් හොඳයි. ඒ අය මේ ගැන පරීක්‍ෂණ කර, ගණනය කරලා රජයට නිවැරදි තොරතුරු ලබා දෙන්න ඕන. මේ නියාමනයන් සිදු කරන්න ගමනාගමන කොමිෂන් සභාව තියෙනවා. පාරිභෝගික අධිකාරිය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවතිනවා. ඒත් තවමත් මේවාට නිවැරදි තොරතුරු සපයන ආයතනයක් අපි තවමත් දැකලා නැහැ. ඇත්තම කතාව තමයි රජය තෙල් මිල අඩු කරලා සහනය ලබා දෙන්නේ පාරිභෝගිකයාට වුණාට එකෙන් ප්‍රයෝජනය ගන්නේ කූට ව්‍යාපාරිකයන්.”
ඉන්ධන මිල සංශෝධනය වීමේදී බස් ගාස්තු සංශෝධනයක් කඩිනමින් සිදුකළ යුතු බව මගී ජනතාවගේ අදහසය. ඔවුන් චෝදනා කරන්නේ ද ඩීසල් මිල වැඩිවූ විගස බස් ගාස්තු ඉහළ දැමුව ද ඩීසල් මිල පහත දැමූ වාසිය ඔවුන් ජනතාවට නොදීසිටීම ගැනය. මේ එවන් අප වෙත අදහස් දැක්වූ මගීන්ගෙන් කිහිප දෙනකි.
නලින්ද ලියනගේ – කෑගල්ල
අද වනවිට ජීවත්වෙන්න අවශ්‍ය කරන හැම දෙයකම මිල ඉහ ගිහින්. ඒත් එක්ක බැලුවම මහජනතාව ලොකු ප්‍රශ්නයකට මුහුණදීලා තියෙනවා. එක පැත්තකින් බඩු මිල. අනෙක් පැත්තෙන් තෙල් මිල. රජය පසුගියදා තෙල් මිල අඩු කළා. ඒත් ඒ සහනය අද ජනතාවට ලැබෙන්නේ නෑ. ඒක ගන්නේ බස් ව්‍යාපාරිකයෝ ටිකයි. මහජනතාව හැම පැත්තෙන්ම තැලෙනවා. ඉන්ධන මිල වැඩි වුණා කියන කොටම බස් ගාස්තු වැඩි වෙලත් ඉවරයි. ඒත් මිල අඩුකරාම ඒ ගැන අවධානය යොමු කරන්න කවුරුත් නෑ. මේ ගැන පාර්ලිමේන්තුවේදීවත් කතා කරන්නෙ නෑ. මේක තමයි අද තත්ත්වය.
නිලන්ති – පිළියන්දල
කවුරුත් කියන්නේ ජනතාවට සහනය දෙනවා කියලයි. ඒත් අද අඩු කරපු තෙල් මිලේ සහනයවත් ජනතාවට ලැබෙන්නේ නෑ. මොකද බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු තවමත් අඩුකරල නැහැ. එක හෝල්ට් එකක් ගියත් රුපියල් 40ක් ගන්නවා. 35 ටිකට් එකට සමහරු 40 ගන්නවා. අපි අහන්නෙ ඇයි එහෙම වෙන්නෙ දෙන්න කියලයි. අද බස් සංගම්, ත්‍රිරෝද රථ සංගම් නිහඬ වෙලා ඉන්නේ ඒ අයට අඩු කරපු තෙල් මිලේ වාසිය නිකන්ම යන නිසයි. මේක ජනතාවට කරන ලොකු අසාධාරණයක්.
රණතුංග – ජාඇල
අද තෙල් මිල අඩුකරපු සහනය ගන්නේ බස් ව්‍යාපාරිකයෝ ටිකයි, කුලී රථ හිමිකරුවෝ ටිකයි.
ගොඩක් බස්වල අද මගීන්ට ගමන් කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. එකක් පොල් පටවනවා වගේ සෙනඟ පටවගෙන අරගෙන යනවා. අනිත් එක ඉතිරි මුදල්වත් දෙන්න ඒ අය ක්‍රියා කරන්නේ නැහැ. රුපියල් 45ට 50ක් ගන්නවා. ගොඩක් වයසක අය මේක ගන්න යන්නේ නෑ. තරුණ අයත් ලැජ්ජාවට නිකන් ඉන්නවා. පැමිණිලි කරන්න කියල බස් රථ වල ප්‍රදර්ශනය කළාට මිනිස්සු බයයි පැමිණිලි කරන්න. ගොඩක් අය දැනුවත් නෑ. මේක තමයි අපේ රටේ ප්‍රවාහනයේ තත්ත්වය.
සෝමසිරි – වලස්මුල්ල
දුරබැහැර ඉඳන් රැකියාවට එන අපි බස් ගාස්තු නිසා සෑහෙන්න අපහසුතාවකට පත් වෙනවා. ලැබෙන පඩිය බස් ගාස්තු වලට
ගියහම ඉතිරියක් නෑ. තෙල් මිල කවදාවත් අඩු වුණාට අපේ රටේ මගී බස් ගාස්තුව මගියාට දැනෙන්න අඩු කළේ නෑ. වැඩිවෙන කොට වැඩි වෙන්නේ ලොකු ගණන් වලින්. තෙල් මිල රුපියලක් හරි වැඩි කළොත් අපේ රටේ බස් සංගම් හා අනෙකුත් ප්‍රවාහන අංශ එදා මධ්‍යම රාත්‍රියේ ඉඳන්ම වැඩි කරනවා. ඒත් ඒ අය ඉන්ධන මිල අඩු වුණාම සද්ද නෑ. ඒ අය කියන්නේ අඩු කරන්න තෙල් අඩු වුණ ගාන මදි කියලයි. අපි අහන්නේ එතකොට ඒ අඩු වුණ ගාන යන්නේ කාට ද කාගේ සාක්කුවට ද කියලා. ඒ අය කරන්නේ මේක තනිකරම මිනිස්සු රැවටීමක්. ප්‍රවාහනය විතරක් නොවෙයි රටේ හැම දෙයක්ම දැන් එහෙම තමයි.”
මෙකී කරුණු කාරණා විමසා බැලීමේදී පෙනෙන්නේ ඉන්ධන මිල කොතෙක් අඩුවුව ද එහි වාසිය පොදු ප්‍රවාහනය භාවිත කරන්නන්ට නොලැබෙන බවය. එහි වාසිය ලැබෙන්නේ බස් හිමිකරුවන්ටය, කුලී රථ හිමිකරුවන්ටය. නැතහොත් පෞද්ගලික වාහනයක් භාවිත කරන්නන්ටය. අවසානයේදී සිදුවන්නේ රජය ඉන්ධන මිල අඩු කළත් වැඩි කළත් මෙරට පොදු ප්‍රවාහනය භාවිත කරන පාරිභෝගිකයා අමාරුවේ වැටීමය. නැතහොත් ඔවුන් සූරා කෑමට ලක් වීමය.
රමින්ද මාවතගේ